මීට වසර 60කට එපිට එනම් 1957 වසරේ සැප්තැම්බර් මාසයේ “ලංකාදීප” පත්‍රය විසින් ආරම්භ කරන ලද ලංකාදීප පත්‍රයේ ගුවන් විදුලි පාඨක සමාජය වසරේ ජනප්‍රිය ගායිකාව හා ජනප්‍රිය ගායකයා තේරීමේ තරගයක් පවත්වා ඇත. ජනප්‍රිය ගායිකාව “ගුවන් විදුලි රංජනී” ලෙස ද ජනප්‍රිය ගායකයා “ගුවන් විදුලි රංජන” නමින් ද හඳුන්වා තිබුණි.
මේ තරගයේ දී “ගුවන් විදුලි රංජනී” ලෙස ඉන්ද්‍රාණි විජේබණ්ඩාර අභිෂේක ලබා ඇත. ලංකාදීප ගුවන් විදුලි සමාජ, සාමාජික සාමාජිකාවන් 3.000 කින් 904 දෙනකු ඉන්ද්‍රණිට ඡන්දය දී තිබු බව 1957 ක් වූ සැප්තැම්බර් 29 වෙනිදා “ඉරිදා ලංකාදීප” පත්‍රයේ මුල් පිටුවෙන් වාර්තා වී ඇත. එහි ශීර්ෂ පාඨය” ඉන්ද්‍රානි ගුවන් විදුලි රංජනී” යන්නය. ඉන්ද්‍රාණි එවකට ලංකා ගුවන් විදුලියේ ගායිකාවක් හා චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ප්‍රකටව සිටියාය.
“ගුවන් විදුලි රංජන” වශයෙන් කිසිම ශිල්පියකුට සැලකිය යුතු තරම් ඡන්ද ගණනක් ලැබී නැති නිසා “රංජන” වශයෙන් කිසිවකු නම් කෙරී නැත. “ගුවන් විදුලි රංජනී” තරඟයේ දී ඡන්ද 356 ක් ලැබූ වසන්තා සන්දනායක දෙවැනි තැනට පත් වී ඇත. චන්ද්‍රා ද සිල්වාට ඡන්ද 320ක් ද කෝකිල දේවි වීරතුංගට ඡන්ද 272 ක්ද, ශීලා පීරිස්ට ඡන්ද 176ක් ද ලැබී තිබූ අතර තවත් කිහිප දෙනකුට එක් අයකුට සියයට අඩු ගණනේ ඡන්ද ලැබුණු බව පත්‍රයේ පළ වී තිබුණි. ‘රංජන’ හා ‘රංජනී’ දෙදෙනාටම සම්මාන ලබා දීම “දීපශිඛා චිත්‍රපට උළෙලේදී “ලංකාදීප” පත්‍රය කලින් අදහස් කර තිබුණු නමුත්, ඉන්ද්‍රානිට එම සම්මානය “ලංකාදීප” කාර්යාලයට කැඳවා එහි ප්‍රධාන කර්තෘ ඩී.බී. ධනපාල මහතා අතින් පිරිනැමීමට තීරණය කර ඇත.
ඡන්ද දීමේදී “ රංජන” වශයෙන් ගුවන් විදුලි ශිල්පියෙක් තෝරා ගැනීම සාමාජික සාමාජිකාවන්ට මහත් ප්‍රශ්නයක් වූ බව දී තිබෙන ඡන්ද අනුව පෙනී ගිය බැවින් “ලංකාදීප” සංවිධායක මණ්ඩලයට ප්‍රශ්නයක් වූ බව ද කියැවේ. මේ දෙදෙනා වෙනුවෙන්ම කූපන දෙකක් වෙන වෙනම පත්‍රයේ පළ කළ නමුත් ඇතැම් අය ඡන්දය දී තිබෙන්නේ “රංජනී” වෙනුවෙන් පමණි.
රංජන කෙනෙක් නොතේරීම නිසා “රංජන” “රංජනී” දෙදෙනා හරියාකර නම් කළ අයට තෑගි දීමට තිබුණ ගුවන් විදුලි යන්ත්‍ර දෙක හිමි වුණේ රංජනී හරියාකාර නම් කළ අයගෙන් තෝරන දෙදෙනකුටය. රංජනී හරියට නම් කළ 904 දෙනා අතර කුසපත් ඇදීමේදී ගුවන් විදුලි යන්ත්‍ර ඇදුන සාමාජිකයන් දෙදෙනා වූයේ පොතුහැර, කූරියම්පල ඩබ්ලිව්. ඒ. අැල්බට් හා ඉඹුල්ගොඩ ඉහළයාගොඩ සුනිල් පායේ ඩී.ඇස්.ගාමිණී ගුණවර්ධනයි.
මේ ජයග්‍රහකයන් දෙදෙනාෙගන් කෙනකුට කොම්පඤ්ඤ වීදියේ ‘බවුස්ටඩ්’ සමාගම මගින් ප්‍රදානය කරන බ්‍ලව් පන්ක්ට්’ ගුවන් විදුලි යන්ත්‍රය ප්‍රදානය කළ අතර සීමාසහිත මිලර්ස් සමාගම මගින් ප්‍රදානය කරන ‘පෛ’ ගුවන් විදුලි යන්ත්‍රය අනිත් ජයග්‍රාහකයාට හිමි වී ඇත.
“ලංකාදීප ගුවන් විදුලි රංජනී” ලෙස අභිෂේක ලබන විට ඉන්ද්‍රානිගේ වයස අවුරුදු 17කි. 1940 ජුලි 15 වැනිදා කිරිලපනේදී උපත ලද ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ඇම්.ඇම්.ඩබ්ලිව්. විජයබණ්ඩාරගේ දුවකි. පේම්ස් විජයබණ්ඩාරගේ මිනිපිරියෙකි. ඇගේ මිහිරි ළමාවිය ඇරඹෙන්නේ මුලින්ම ඉගෙනුම ලැබූ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි. ඇයට බෙහෙවින් බලපෑ ගුරුතුමිය වූයේ සංගීතය ඉගැන්වූ ඊවා පෙරේරා ගුරු මහත්මයයි. ඇය නිසා ඉන්ද්‍රාණි ගායනයට යොමු වූවාය
“මම වැඩිපුර ඒ කාලයේ ගැයුවේ රුක්මණී දේවි හා චිත්‍රාගේ ජනප්‍රිය ගීත. එයට මා නැඹුරු වූයේ සංගීත ගුරුතුමිය ඒ ගී මිහිරි හඩින් ගැයූ නිසා. මමත් ඇය අනුගමනය කරලා ගීත ගයමින් ගායන දිවියේ දොර විවර කර ගත්තා. පාසලේදී සහභාගි වූ මුල්ම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ මහා පඩිරුවනක්ව සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පිළිගැනීම පැවරී තිබුණේ මට. එදා දේශනයක් සඳහා පැමිණි එතුමාට මා බුලත් අතක් දී පිළිගත්තේ ළමා සාරියකින් සැරසිලාය. ඒ සමඟම එතුමා ගේ ගුණ ඇතුළත් කවියක් ගැයුවා. එතුමා මගේ හිස අතගා සුබ පැතුවා.”
ඉන්ද්‍රාණි හා පුරා කියා කවි තරගයෙන් ජයග්‍රහණය කර ඇත ඇත්තේ මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ කොළඹ තරුණ බෞද්ධ සංගමය වසරක් පාසා පවත්වනු ලැබූ “කෝකිල හටන” නම් කවි තරගයෙන් ලංකාවේ පාසල් ගණනාවකින් පළමුවැනියා වීමෙන්ය. එදා ඇය ත්‍යාගය ලබා ගත්තේ රිදී ගායක ලෙස ප්‍රකටව සිටි එඩ්වින් කෝට්ටේගොඩ මහතා අතිනි. පාසල් සමයේ ඇය “සකුන්තලා” (සකුන්තලාගේ පුතා ලෙස) “සිරිසඟෙබා්” යන නාට්‍යවල රඟපෑවාය. එපමණක් නොව මහාමාන්‍ය ඩී.ඇස් සේනානායක මහතා හා මැතිනිය පාසලට පැමිනි උත්සවයකදී ගීතයක් ගයමින් පිළිගත් ආකාරය ඉන්ද්‍රාණි අභිමානයෙන් මතක් කරන්නීය. ඇයට තවත් අමතක නොවන දිනයකි. 1951 වසරේ ජනවාරි මාසයට යෙදී තිබුණ ලංකා ගුවන් විදුලියට 25 වසරක් පිරීම නිමිත්තෙන් ගැයූ ගීතය.
“මේ ගීතය සුනිල් සාන්තයන් සමඟ ගැයීමට මට වාසනාව ලැබුණා. මේ ගීතය රචනා කළේ පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා.
ලෝ පුරා - රැව් නඟා- හේළි නාද පා
උක් රෙදෙව්ව කින් සදා - සදා දිනේ දිනේ
එකල සිටි විශිෂ්ටතම ගායකයා වූ සුනිල් සාන්ත සමග යුග ගීතයක් ගැයීමට ලැබීම තම ජීවිතයේ වාසනාවක් කොට ඇය සලකන්නීය. සුනිලුන් බොහෝ කොට යුග ගීත ගැයුවේ චිත්‍රා සමඟය. මේ ගීතය පටිගත කරන කාලයේ චිත්‍රා සිටියේ ඉන්දියාවේ නිසා ඉන්ද්‍රාණිට ඒ අවස්ථාව ලැබී ඇත. එවකට බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ගොස් එහි ලැගුම් ගෙන සිටි මර්සලීන් ජයකොඩි පියතුමාගේ තනුවකට ගීතයක් ගැයීමට ඉන්ද්‍රාණි වැනි පාසල් ශිෂ්‍යාවකට අවස්ථාවක් ලැබීමට ඇයට විශේෂ සිද්ධියකි. ඒ වගේම එකල ලංකා ගුවන් විදුලියේ සේවය කළ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා පසුව චිත්‍රපට අධ්‍යක්ෂ ගුවන් විදුලියට රචනා කළ “ඇසළ සඳ” ගුවන් විදුලි නාට්‍යයේද ඇයට ගීතය ගායනා කිරීමට ලැබිණ.
මර්සලීන් ජයකොඩි පියතුමාගේ දිරි ගැන්වීම යටතේ ඉන්ද්‍රාණි ගුවන් විදුලියේ “ළමා පිටිය” ට බැඳීමට වරම් ලැබෙයි. සරත් විමලවීර මෙහෙය වූ “ළමා පිටියේ” දී ඇයට මුල්ම ළමා ගීතය වූ “තුන් ලෝක ගුරු බුදු සෑසි පියා” ගැයීමට අවස්ථාව ලැබිණි. ගීතයේ රචනය සරත් විමලවීර අයියාගෙනි. මේ අවස්ථාව ඇය මෙසේ ආවර්ජනා කළාය.
ඒ කාලේ මාත් එක්ක ළමා පිටියේ හිටිය මිතුරු මිතුරියන් මට තාම මතකයි. චන්ද්‍රා කබ්රාල්, මල්ලිකා ද සිල්වා (පසුව කහවිට), ඉන්ද්‍රාණි රොද්‍රිගෝ (පසුව ගුණවර්ධන) අමිතා වැදිසිංහ (පසුව දළුගම), සීතා නානායක්කාර, චන්ද්‍රා මානෙල් කල්දේරා, ලියනගේ සොහොයුරියන් තිදෙනා, ලියෝනි වීරසිංහ (පසුව කොතලාවල), බර්ටි ජයසේකර (පසුව පරිපාලන නිලධාරි) මැල්කම් ගුණරත්න, ඇන්ටනී මහවාසල, හා ඇස් ලියනගේ. අප ගැයූ ගීත සංගීතවත් කලේ ඩී.ඩී.ඩැනී, තිලකසිරි ප්‍රනාන්දු, කුලරත්න තෙන්නකොන්, ඇම්.කේ.රොක්සාමි යන අයියලා. 1955 වසරේ ජපානයේ ජාත්‍යන්තර චිත්‍ර තරගයක් පැවත්තුවා. මේ තරගයට ඉදිරිපත් වූ අපේ ළමුන්ටත් තෑගි පිරිනැමුණේ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේදී එදා උත්සවයේ දී ගැයීමට සරත් විමලවීර අයියා ගීතයක් ලියලා දුන්නා. ඒ කාලයේ ජනප්‍රිය ගායකයකුව සිටි සුසිල් ප්‍රේමරත්න අයියාට. සුසිල් අපූරු තනුවක් හදලා මා සමඟ ගැයුවා. එදා අප ඒ ගීතය මව් ගුණ ගී තරගයකින් දිවයිනේම මුල් තැනට තේරුණා. මේ ඒ ගීතය.
“සොම්නස හෝ සංතාපය හමුවේ
සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිම කළ පිළිරුව අම්මා”
සුසිල් අයියා මගේ ගායන ජීවිතය ආලෝකවත් කළා. ඔහු ඒ කාලයේ “ලංකාදීප” පත්‍රයේ චිත්‍රශිල්පියෙක් හැටියටත් ප්‍රකටව හිටියා. ඔහු “ඉරිදා ලංකාදීප” පත්‍රයට අඳින චිත්‍රකතා බැලීමට අපි පුල පුලා බලාහිටියා ඊළඟ ඉරිදා එන කල්. මට තාම මතකයි තනිකඩයා, මහහේෙන් රීරියකා ‘මුදලි වලව්වක අවුල මේ චිත්‍රකතා අතර විශේෂයි. ලංකාදීප පත්‍රය සංවිධානය කළ“පංච කල්‍යාණි” තරගය වෙනුවෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා රචනා කළ ගීතය ගැයුවෙත් සුසිල් අයියාත් මාත්. 1956 පංචකළ්‍යාණි තරගයෙන් මුල් තැනට තේරුණේ කාන්ති ගුණතුංග.
වරක් ඉන්ද්‍රාණි ලංකාදීප පුවත්පත් කාර්යාලයට ගිය විට විවේකීව සිටි සුසිල් ප්‍රේමරත්න සිත්තරා ඇගේ රුව චිත්‍රයට නැගීය. ඒ චිත්‍රය අදත් ඉන්ද්‍රාණි ළඟ සුරැකිව ඇත. එකල අැය වැඩියෙන්ම යුග ගී ගැයූ ගායකයා ද සුසිල් ප්‍රේමරත්නයන්මය. “දළදා පෙරහර” කෝ අද මැණිකා කොහෙද ගියේ” “සුළි සුළි නැගෙනා” “නාමල් කෝමලී” මේ ගීත අතර කැපී පෙනුණි. එදා ගුවන් විදුලියෙන් ඇසුණු බොහෝ ගීත හින්දි ගීතවලට වචන යොදා ගැයූ ඒවාය. එහෙත් සුසිල් විසින් තනු නිර්මාණ කොට ඉන්ද්‍රාණි සමඟ ගැයු ඉහත සඳහන් ගීත ගුවන් විදුලියේ අතිශයින්ම ජනප්‍රිය වීම පුදුමයක්ද? ගුවන් විදුලි රංජනී” ලෙස ඉන්ද්‍රාණි තේරුණු විට, ගුවන් විදුලි රංජන ලෙස ඇය සමඟ ජනප්‍රිය ගීත ගැයූ සුසිල් ප්‍රේමරත්න තේරුණත් ඔහු “ලංකාදීප” පත්‍රයට සම්බන්ධ නිසා ටයිම්ස් පාලන අධිකාරිය එය නවතා දැමූ බව ලංකාදීප උප කර්තෘවරයකුව සිටි ධර්ම ශ්‍රී කල්දේරා අප සමඟ පවසා තිබුණි. එහි සත්‍ය අසත්‍ය නොදනිමු.
ගුවන් විදුලියේ “ළමා පිටියෙන්” ඊළඟට ඉන්ද්‍රාණි ගියේ කරුණාරත්න අබේසේකර මෙහෙය වූ “සරස්වතී මණ්ඩපය” ට ය. සරස්වතී මණ්ඩපයේ ඇගේ සමකාලීන මිතුරු මිතුරියන් වූයේ උපුල් රංජන් විජයවර්ධන (පසුව හෘද රෝග විශේෂඥ වෛද්‍ය) ප්‍රිම්රෝස් ජයසිංහ (පසුව ළමා රෝග විශේෂඥ වෛද්‍ය) බුද්ධදාස බෝධිනායක (පසුව වෛද්‍ය) බණ්ඩාර කේ. විජයතුංග (පසුව සම්මානනීය ගීත රචක), ස්වර්ණ ශ්‍රී බණ්ඩාර පසුව (රජරට ගුවන් විදුලියේ පාලක හා ගීත රචක) දයා අබේෙස්කර පසුව (ප්‍රවීන ඉංග්‍රීසි නිවේදක), බර්ටි ජයසේකර පසුව (අමාත්‍යංශ ලේකම්), ඇන්ජලින් ද ලැනරෝල් පසුව ගුණතිලක අදීන්ය.
ඒ කාලයේ භාරතයට ගොස් උත්තර භාරතීය සංගීතය හදාරා පැමිණි ජී.ජන්ස්ටන් සිල්වා මහතා විසින් කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ පවත්වා ගෙන ගිය සංගීත පන්තිය සඳහා යොමු කළේ සරත් විමලවීර අයියා විසින්. ඒ පන්තියේ එදා මා සමඟ එකට ඉගෙන ගත් ශිෂ්‍යයන් අතර පී.වී.නන්දසිරි හා ශාන්ති ගීතදේව සිටියා.මේ දෙදෙනා සංගීතය අංශයෙන් ඉහළටම ගියා. ඩස්ටන් මහතා මට අනගි ගීතය නිර්මාණය කර දුන්. ගීතය රචනා කළේ සරත් අයියා විසින්.
වන මල් පියලි සලා මී අඹ පළා උරා ලෙහෙනිය ගීත ගයන්නා.
මම ගුවන් විදුලියේ රසධාරා මධුවන්ති වැඩ සටහන්වල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල ඇස්. රත්නායක, මහගම සේකර, සරත් විමලවීර ආදීන්ගේ රචනා ගැයීමට ලැබුණා.
ඊට පසුව සාගර පළන්සූරිය (කේයස්) පී.බී.අල්විස් පෙරේරා, සුමන අක්මීමන, කීර්ති කලහේ ආදීන්ගේ කවි සංකල්පනා මහගම සේකරයන්ගේ “පද්‍යාවලී” වැඩ සටහනේදී ගායනා කිරීමට ලැබුණා. මානවසිංහයන් ගීත නාටක එකල සංගීතවත් කළ අමරදේවයන් සමග ගැයීමට මට අවස්ථාව ලැබුණා. මා සහ අමරදේවයන් සමග සහාය ගායකයන් වුයේ දේවානන්ද වෛද්‍යසේකර හා විල්සන් ලියනගේය.
භාරත ඇගමැති ශ්‍රී නේරු තුමා දියණිය ඉන්දිරා සමග ලංකාවට පැමිණි අවස්ථාවේ අගමැති බණ්ඩාරනායක මහතා විසින් අරලිය ගහ මැඳුරේ පැවැත්වු උත්සවයේදී චිත්‍රසේන හා වජිරා නැටුමක් ඉදිරිපත්කළ අතර අමරදේවන්ය හා ඉන්ද්‍රාණිට ගීතයක් ගැයීමට අවස්ථාවක් ලැබිණ. යළිත් අරලිය ගහ මැඳුරේදීම කැනඩා අගමැති ඩිෆන් මේකර් පැමිණි අවස්ථාවේදී ද මේ දෙදෙනාට අවස්ථාවක් උදා වූහ. මේ කාලයේ ඉන්ද්‍රානි මියුසිස් විද්‍යාලයෙන් ඉවත් වී බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියාය. එහිදී ඇය සමස්ත ලංකා පාඨශාලයීය ගායනා තරගයෙන් මුල් තැන දිනා ගැනීම විශේෂයකි. දේවි බාලිකාවේ ඇය සමග එකම පන්තියේ සිටියේ ළමා පිටියේ ද සිටි ඈ ළමා රෝග විශේෂඥ ෙවෙද්‍ය ප්‍රිම්රෝස් ජයසිංහය. ඇය පසුව විවාහ වුයේ ද ළමා පිටියේ සිටි අද හෘද රෝග විශේෂඥ වෛද්‍ය උපුල් රන්ජන් විජයවර්ධන සමගය.
ඉන්ද්‍රාණි විජයබණ්ඩාර නම් චිත්‍රපට පසුබිම් ගායිකාවක දොරට වඩින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ද ප්‍රථම චිත්‍රපටය වූ රේඛාවෙනි. රේඛාව චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේ සුනිල් සාන්තය. ගීත රචනා කළේ මර්සලින් ජයකොඩි පියතුමාය.
සුනිල් සාන්ත ඉන්දියාවට යාමට අකමැති නිසා බී.එස්. පෙරේරාට එය භාර විය. චිත්‍රපටයේ එන ‘‘සුදු සඳ එළියේ නල මත පොපියන හිරිමල් කැකුළෙක රොන් කෙමියේ’’ හා ‘‘වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ’’ ගීත ගැයීමට ඉන්ද්‍රාණි ගායනා කළ යුතු යයි යෝජනා කර ඇත්තේ සුනිල් සාන්තයන් විසිනි. මේ එක ගීතයක් වෙනුවෙන් ඉන්ද්‍රාණීට රුපියල් දෙසීය පහනක් ලැබී ඇත. රේඛාවේ ප්‍රධාන චරිතය රඟ පෑ අයිරාංගනී මීදෙණිය (පසුව සේරසිංහ) මහත්මිය ඉන්ද්‍රාණි ඉගෙනුම ලැබු දේවි බාලිකා විද්‍යාලයේ පන්ති භාර ගුරුතුමිය වීමද තවත් විශේෂත්වයකි.
මෙහි විස්තර වෙන්නේ ඉන්ද්‍රාණි විජය බණ්ඩාර 1957 ලංකාදීප ගුවන් විදුලි රංජනී සම්මානය ලබන විට ඇගේ ගායන ජීවිතය ගැන පමණි. එතැන් සිට ඇති ඇගේ දීර්ඝ කාලීන ගායන ඉතිහාසය වෙනම ලිවිය යුතුය.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම
ලාල් සෙනරත්