විදේශිකයන්ගේ පාලන කාලයේ
මෙරට පැතිරුණු වසංගත
“ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ට වියළි කලාපය හරහා යාමට තිබුණේ අති දුෂ්කර වූ ගමනකි. තම දරුමල්ලන් ද කර තියාගෙන මේ මාර්ගයේ යන බොහෝ දෙනෙක් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුව සිටියහ. බොහෝ දෙනකු අතරමග මැරී වැටුණහ. පැමිණෙන අයගෙන් මාතලේ දක්වා යාමට හැකිවූයේ කොටසකට පමණි. මේ මැරුණු මිනිසුන්ගේ මළ කඳන් මාර්ගය දෙපස විය. ඇතැම් ඒවා මිහිදන් කෙරුණු අතර ඇතැම් සිරුරු වැව්වලින් ගොඩට ආ කිඹුලන් විසින් කා දැමිණි. ටික දිනකට පසු මේ කම්කරුවන් ගමන්ගත් මාර්ගය අවට ගම්වල මිනිස්සු ද ලෙඩ වෙන්නට වූහ. ඔවුහුද මැරී වැටෙන්නට වූහ. මේ රෝගය පැතිරයාමත් සමග ගම්වැසියෝ රෝගීන් අතහැර දමා පවුල් පිටින් පලා ගියහ. ඇතැමුන් වන වැදුණහ. වනයේදී ඔවුන් ද මරු වැළඳ ගත්හ. ගම්මාන පිටින් සියලු දෙනා මිය යන්නට වූහ.” මේ වන වැදුණු දොස්තර නමින් මෙරට ප්‍රචලිත ආර්.එල්. ස්පිට්ල් විසින් කොලරාව වසංගතය මෙරට පැතිරගිය ආකාරය ගැන තැබූ සටහනකි.
කොලරාව ශ්‍රී ලංකාවේ තිබූ රෝගයක් නොවේ. එහි ආරම්භය සිදුවූයේ 19 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී අපේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවේ වරින් වර කොලරා වසංගත ගණනාවක් ඇතිවී තිබෙන අතර කොලරාව ගෝලීය වසංගතයක් තත්ත්වයට පැතිරගිය අවස්ථා හතක් වාර්තා වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව තවමත් වාර්ෂිකව කොලරාව වැලඳුණු රෝගීන් ලක්ෂ 13-40ත් අතර ප්‍රමාණයක් ලෝකය පුරා රටවලින් වාර්තා වෙන අතර කොලරාව හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයෝ 21,000 ත් 143,000ත් අතර පිරිසක් මියයති.
නමුත් බොහෝ රටවල් මේ පුද්ගලයන්ට වැළඳී ඇත්තේ කොලරාව බවත් ඔවුන්ගේ මරණයට හේතුව කොලරාව බවත් ලෝකයෙන් ම සඟවති. ඔවුන් පවසන්නේ පාචනය හේතුවෙන් මරණ සිදුවන බවයි. කොලරාව වැලඳී තම රටේ මිනිසුන් මිය යන්නේ යැයි ලෝකයේ ප්‍රචාරය වුවහොත් රටේ සංචාරක කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම ආදිය කඩා වැටී ආර්ථික අවපාතයකට රට ලක්වීම මෙයට හේතුවක් වී ඇත. කොලරාව ඒ තරමටම ලෝකයම භියෙන් සලිත කළ මාරාන්තික රෝගයකි.
කොලරාව ඇතිවන්නේ විබ්‍රියෝ කොලරා නමැති බැක්ටීරියාවක් ශරීරගත වීමෙනි. සාමාන්‍යයෙන් ජලයේ ජීවත්වන මේ බැක්ටීරියාව වෙරළබඩ ප්‍රදේශවල ලවණ සහිත මද උණුසුම් ජලයේ වැඩි වශයෙන් ජීවත් වෙයි. බැක්ටීරියාව ඇති අපිරිසිදු ජලය පානය කළ විට හෝ ලවණ සහිත ජලයේ ජීවත්වන නිසි පරිදි සකස් නොකළ ජීවීන් ආහාරයට ගැනීමෙන් කොලරා විෂබීජය ශරීරගත වෙයි.
විද්‍යාඥයන් පවසන්නේ කොලරාව ඇතිකරන බැක්ටීරියාවේ මාදිලි රැසක් ඇතත් වසංගත තත්ත්වයක් ඇතිකරන්නේ ‘‘ඕ 01’’ සහ ‘‘ඕ 139’’ ලෙස හඳුනාගෙන ඇති ප්‍රභේද දෙකක් බවයි. මේ බැක්ටීරියාව ශරීරගත වූ විට ඉන් සිරුර අභ්‍යන්තරයේ දී විෂක් නිපදවෙන අතර එම විෂ හේතුවෙන් අන්ත්‍රවල ඇති සෛලමගින් වැඩිපුර ශ්‍රාවයන් නිකුත් කිරීම සිදුවේ. මේ හේතුවෙන් සිරුරේ තරල සහ ලවණ පිටවීම වේගවත් වී ඒවා ඉක්මනින් ආහාර මාර්ග පද්ධතියෙන් පිට කිරීමයි. කොලරාව වැලඳුණු විට ඉක්මනින් ප්‍රතිකාර නොලැබුණහොත් රෝගියකු පැය අටක් වැනි කෙටි කාලයක දී මිය යයි.
රෝගියාට බඩ යාමේ ප්‍රතිඵල වන්නේ මේ බැක්ටීරියාව මිලියන ගණනක් බාහිර පරිසරයට එකතුවීමයි. එබැවින් පැතිරීම වේගවත් වන අතර යහපත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අපහසු අඩු ආදායම් ලාභීන් රෝගයට පහසු ගොදුරක් බවට පත්වෙයි.
ඉන්දියාවේ විෂ්ණු සංහිතා නමැති ග්‍රන්ථයේ ක්‍රිස්තු පූර්ව පස් වෙනි ශතවර්ෂයේ දී පැවැති කොලරාව වැනි රෝගයක් ගැන සඳහනක් පවතී. ඉන් පසු හිපොක්‍රටීස් ක්‍රිස්තු පූර්ව හතර වැනි ශතවර්ෂයේ තිබූ රෝගයක් ගැන සඳහන් කර ඇති අතර එය ද කොලරාව හා බෙහෙවින් සමානය. ක්‍රිස්තු වර්ෂ 01 වැනි සියවසේ දී තුර්කියේ ඇතිවූ කොලරාව වැනි රෝගයක් ගැන පැරණි ලේඛනවල හමුවන අතර 1543 දී ඉන්දියාව පිළිබඳ සටහන් කරන පෘතුගීසි ජාතික ගැස්ප කොරෙයා විසින් සඳහන් කර ඇති රෝගය කොලරාව විය හැකියැයි විද්වතුන්ගේ පිළිගැනීමයි.
කොරෙයා පවසන්නේ ඉන්දියාවේ ගංගානම් ගඟ අසබඩ එහි මෝය ආසන්නයට වන්න මේ රෝගය බහුලව පැතිර තිබූ බවයි. අද මේ ප්‍රදේශය ඉන්දියාවේ බටහිර බෙංගාලයට හා බංග්ලාදේශයට අයත්වන ප්‍රදේශය බව හඳුනාගත හැකි අතර අදටත් මේ කියන ප්‍රදේශයේ කොලරා රෝගීන් වාර්තා වෙයි. ඉන්දියාවේ මේ රෝගය හඳුන්වා ඇත්තේ මොරිසි යන නමිනි. කෙසේ වෙතත් පෘතුගීසි, ලන්දේසී, ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාවේ සිය අණසක පතුරවන කාලයේ දී මේ රෝගය ගැන විටින් විට වාර්තා තබා ඇත. මෙය වසංගතයක් ලෙස පැතිරයාම පිළිබඳ ප්‍රථම සටහන හමුවන්නේ 1817 දී ජෙසෝ දිස්ත්‍රික්කයෙනි. ඒ ප්‍රදේශය වර්තමාන බංග්ලාදේශයට අයත් වේ. මේ රෝගය බෝවන්නේ ඔවුන් ආහාරයට ගන්නා බත්වල අඩංගු වූ විෂක් හේතුවෙන් යැයි ද එකල අනුමාන කර ඇත.
1820 දී තායිලන්තය, පිලිපීනය හා ඉන්දුනීසියාව දක්වා පැතිරගිය කොලරාව හේතුවෙන් 1820 දී ජාවා දූපතේ පමණක් ලක්ෂයක පිරිසක් මියගොස් ඇතැයි ඉතිහාසය සාක්ෂි දරයි. 1822 වන විට කොලරාව චීනයට හා ජපානයට පැතිරගිය අතර බ්‍රිතාන්‍ය හමුදාව මැද පෙරදිගටත්, තුර්කියට, සිරියාවට, යුරෝපයට හා රුසියාවට ද කොලරාව රැගෙන යාමට දායක වී ඇත.
කෙසේ වෙතත් කොලරාව පළමු වරට ගෝලීය වසංගතයක් වෙන්නේ 1820-26 වර්ෂවල දී ය. 1823 හා 1824 වර්ෂවල ශීත සෘතුවේ දී වසංගත තත්ත්වය යම් තරමකින් අඩුවී ගිය ද 1829 දී නැවත දෙවැනි වසංගතයක් ඉන්දියාවේ සිට ආසියාවේ නැගෙනහිර දෙසටත් මැදපෙරදිග දක්වාත් පැතිර ගිය බව බ්‍රිතාන්‍යයන්ගේ ලේඛනවල දැක්වේ.
1831-32 කාලයේ කොළරා වසංගතය ලෝකය පුරාම පැතිරගිය අතර ලිවර්පූල් නගරයේ මේ රෝගය වැලඳීම පාලනය කරගත නොහැකිව ජනතාව රෝහල්වලට පවා පහරදුන් බවට තොරතුරු තිබේ. ඒ වනවිට මේ රෝගය පැතිරෙන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන නාවිකයන් හේතුවෙන් බව තේරුම්ගෙන තිබූ අතර නැවක යම් රෝගියකු සිටින්නේ නම් කහ සහ කළු පැහැති කොඩියක් ඔසවන ලෙස නියෝගයක් ද නිකුත් කර තිබිණි. කහ සහ කළු වර්ණයෙන් යුතු එම කොඩිය හඳුන්වන්නේ නිරෝධායන ධජය යනුවෙනි.
1832 වර්ෂයේ දී ඇමෙරිකාව දක්වාම කොලරාව ව්‍යාප්ත වූ අතර එම වසරේ ජූලි මාසයේ දී කැනඩාවේ ප්‍රාන්තයකින් රෝගීන් 1000ක් වාර්තා වී තිබිණි. ඉන් අනතුරුව ශාන්ත ලෝරන්ස් ගංගා නිම්නය ඔස්සේ කොලරාව පැතිරී ඇති අතර ඇෙමරිකාවේ නිව්ෙයා්ර්ක්, පිඩඩෙල්පියා සහ මැක්සිකෝව වැනි ප්‍රදේශවලට ද කොලරාව පැතිරීයාම සිදුව ඇත.
1852 සිට 1923 දක්වා ගෝලීය වසංගත හතරක් සිදුව ඇති අතර 1854 දී බ්‍රිතාන්‍යයේ කොලරාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23,000 ඉක්මවා ඇත.
කොලරාව පතුරුවන විෂබීජය ජලයෙන් බෝවන්නක් බව මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ වසංගත රෝග විද්‍යාඥයකු වන ජෝන් ස්නෝව් විසිනි. වසංගත රෝග විද්‍යාවේ පියා ලෙස හඳුන්වන ඔහු කොළරා මරණ වාර්තා පිළිබඳ අධ්‍යනය කරමින් සිටිය දී ඔහුට හඳුනාගැනීමට හැකි වී තිබෙන්නේ මාර්ගය එක් පැත්තක පුද්ගලයන් පමණක් මේ රෝගයෙන් මිය යන බවයි. මේ ගැන වැඩිදුරටත් සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඒ මාර්ගයේ වම් පසට එක් සමාගමකින් සහ දකුණු පැත්තට තවත් සමාගමකින් පානීය ජලය සපයන බවයි. රෝගීන් වාර්තාවන පැත්තේ ජල සැපයුම ඉවත් කළ විට රෝගීන් වාර්තා වීම නතර වූ බව ද සඳහන් කර ඇත. මෙය කොලරාව ජලයෙන් බෝවන බව අනාවරණය කරගැනීමට හේතු වූ සිද්ධියයි.
1863-75 අතර කාලයේ පැවැති හතර වැනි ගෝලීය වසංගතයෙන් හංගේරියාවේ මරණ 190,000ක් සිදුව තිබේ. පස් වැනි ගෝලීය වසංගතය 1881 දී ආරම්භ වී 1896 දක්වා පැවතිණි. මේ වසංගතය පවතින වකවානුවේ 1892 දී ජර්මනියේ හැම්බර්ග් නුවර ජනගහනයෙන් සියයට 1.5ක් කොලරාව හේතුවෙන් මියගිය බව සඳහන් වේ. එමෙන්ම 1883 දී රොබට් කොක් නමැති ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙක් ඉන්දියාවේ සහ ඊජිප්තුවේ කොලරා රෝගීන් පිළිබඳ අධ්‍යයනය කර කොලරාවට හේතු වන විබ්‍රියෝ කොළරා නමැති බැක්ටීරියාව හඳුනාගත් අතර එය රෝගීන්ගේ බඩවැල්වල ඇති බව ද අනාවරණය කරන ලදී. මේ බැක්ටීරියාව සොයාගත්තේ ඉතාලියේ වෛද්‍යවරයකු වන පිලිපෝ පැකිනි විසින් යැයි ද මතයක් පවතී.
කොලරාව හය වැනි වරටත් ලෝකයට දැඩි බලපෑමක් එල්ල කළේ 1899 - 1923 කාලයේදී ය. එවර යුරෝපයට හා උතුරු ඇමෙරිකාව හැර සෙසු රටවල්වලට මේ වසංගතයේ බලපෑම තිබිණි. එම වසංගතයේ වාර්තාවල දැක්වෙන්නේ 1918 - 1919 අතර කාලයේදී ලක්ෂ 05කට අධික පිරිසක් කොලරාව හේතුවෙන් මියගිය බවයි.
කොලරාව හත් වැනි වරටත් ගෝලීය වසංගතයක් ලෙස හිස ඔසවන්නේ 1991 දී වන අතර එවර ඉන්දුනීසියාවෙන් ආරම්භ වී ආසියාව හා මැදපෙරදිග රටවලටත් අප්‍රිකාවටත් ව්‍යාප්ත වී තිබේ. වසර 100 කට පසු එවර ඇමෙරිකා මහද්වීපයට ඇතුළුවන කොලරාව රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇත. ගෝලීය වසංගතයක් ලෙස කොලරාව ව්‍යාප්ත නොවූව ද 2007-2009 කාලයේ දී සිම්බාබ්වේහි රෝගීන් 97,000ක් වාර්තා වී ඉන් 4,200ක් මියගොස් ඇත. එමෙන්ම 2010 - 2011 කාලයේදී හයිටි රාජ්‍යයේ කොළරා රෝගීන් 500,000කට වඩා වාර්තා වී තිබේ. 2017 දී සෝමාලියාවේ හා යේමනයේ ද ලක්ෂ 05ක් පමණ රෝගීන් වාර්තා වී 2000ක පිරිසක් මියගියහ.
ඉන්දියාව සමග ඉතාමත් සමීප සම්බන්ධතා ඇති ශ්‍රී ලංකාවට කොලරා රෝගයෙන් කිසිදු ගැලවීමක් ලැබුණේ නැත.
පෘතුගීසීන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ දී මැණික්කඩවර කඳවුරේ පුද්ගලයන් 300ක් පමණ හිටි හැටියේ මියගොස් ඇති අතර ඔවුන්ගේ මරණයට හේතුව කොලරාව විය හැකියැයි විශ්වාසයක් පවතී. ඉන් පසු 1679 දී ලන්දේසි මහාචාර්ය වරයකු වන පෙන්ස් රයිඩි මෙරට සිටි ලන්දේසීන්ට රෝගයක් වැලඳුණු බවට සටහන් තබා ඇත. ඔහු දක්වන ලක්ෂණ අනුව එම රෝගය කොලරාව විය යුතුය. බෙල්ජියම් වෛද්‍යවරයකු 1689 දී පාචනය හා වමනය ඇති වූ රෝගයක් පිළිබඳ සටහන් කර තිබේ.
එමෙන්ම 1774 දී ත්‍රිකුණාමලයේ කොළරා වසංගතයක් ලෙස වර්ධනය වූ බවටත් එය 1782 දක්වාම පැවැති බවටත් ලන්දේසි ලේඛන කිහිපයකින් තහවුරු වෙයි. ඉන් පසු කොලරාව සම්බන්ධ වාර්තාවක් ලැබෙන්නේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල කාලයේ දීය. එම වර්ෂයේ දී ඉන්දියාවේ කොලරා වසංගතය දරුණුවට පැවති අතර ලක්ෂ හයකට වඩා වැඩි පිරිසක් මියගොස් තිබේ. එකල යාපනයේ විශාල පිරිසක් කොලරාවට ගොදුරු වී ඇත. එමෙන්ම කොළඹ හා ත්‍රිකුණාමලයෙන්ද රෝගීන් වාර්තා වූ බව පැවසේ.
කෙසේ වෙතත් යුරෝපීය ජාතිකයන් තැබූ ලේඛනවල පැහැදිලිව දක්වා ඇත්තේ වෙළෙඳාම සඳහා යාපනයට නිතර නිතර ආගිය ඉන්දීය වෙළෙන්දන්ගෙන් සහ කෝපි වතු වවද්දී ඉංග්‍රීසීන් විසින් මෙරටට ගෙන ආ ඉන්දීය කම්කරුවන් හේතුවෙන් කොලරාව අපේ රටට පැමිණි බවයි.
යුද හමුදා වෛද්‍ය ඒකකයේ පැරණි ලේඛනවලට අනුව 1854 දී කොළරා රෝගීන් 11,145ක් වාර්තා වී තබේ. 1866 දී 10,541ක් ද 1867 දී රෝගීන් 10,127 ක් හා 1877 දී රෝගීන් 22,586ක් ලෙස වාර්තා වී ඇති අතර සාමාන්‍යයෙන් ඉන් සියයට 50කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ද සඳහන්ය.
කෙසේ වෙතත් මෙරට කොලරාවෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ යාපනය ඇතුළු උතුරු පළාතයි.
1866 දී මන්නාරම මැදවච්චිය පාරේ සැතපුම් දෙකක් පමණ ඈතින් පිහිටි පෙරිපුලි මර්ලෙන්කුලම් නම් ගමේ තුන් දෙනකු හැරුණු විට අන් සියලු දෙනා මියගිය බව වාර්තා වී ඇත.
කොලරාව පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1867 දී කොලරා කොමිසමක් පත්කර ඇත. ඒ කොමිසමෙන් සිදුකළ දේ පිළිබඳ පැහැදිලි තොරතුරු නැතත් ඉන් වසර 10කට පසු නැවත වතාවක් කොලරාව හිස එසවීම හේතුවෙන් 1878 දී ද යළිත් කොමිසමක් පත්කර තිබේ. 1891 වර්ෂයේ දී ත්‍රිකුණාමලයේ කොලරාව පාලනය කිරීම සඳහා අපිරිසිදු ළිංවලට තාර දමා වැසීමට උප දිසාපතිවරයා තීරණය කිරීම හේතුවෙන් උරුණ වූ ජනතාව උපදිසාපතිවරයාට පහර දුන් බව ට පවා වාර්තා ඇත.
1891 දී කැකිරාව කඩවීදියේ සංක්‍රමණික කම්කරුවන් අතර කොලරාව පැතිර ගිය බවත් එතැන් සිට සැතපුමක් ඈතින් පිහිටි නිකිනිවැව නම් ගමේ ද රෝගය පැතිරගිය බවත් උතුරු මැද පළාතේ එවකට රජයේ ඒජන්තවරයා වූ ආර්.ඩබ්ලිව්. ලිවේරා සඳහන් කර ඇත.
ඔහු පවසන්නේ කොලරාව හේතුවෙන් භයංකර ප්‍රතිඵල දක්නට ලැබුණු බවයි. ගම් පුරා හැමදෙනාම පාහේ රෝගය නිසා මියගිය බවත් ඉතිරි වූ ටික දෙනකු පලා ගිය බවත් ඔහු සිය ලේඛනවල දක්වා ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනකු ද කැලයේ දී මියගොස් ඇති බව ඔහු සටහන් කරයි. දවස් ගණන් මේ මිනිසුන්ගේ මළ සිරුරු වළ දමා නොතිබූ බවත් අවසානයේ ඒවා ගිනි තැබූ බවත් රජයේ ඒජන්තවරයා සඳහන් කරන්නේ රජයේ සහකාර ශල්‍ය වෛද්‍යවරයා පැමිණෙන තුරු මේ සිරුරු තබාගැනීමට සිදුවූ බවත් පවසමිනි.
මහනුවර නගරයේ දී දිගින් දිගටම කොලරාව පැතිරීම සිදුවූ අතර 1921 දී මහනුවර නගර සභාව විසින් පිරිසිදු පානීය ජල සැපයුම් විවෘත කිරීමෙන් පසු කොලරාව ක්‍රමයෙන් අඩු වී ගොස් ඇත.
වතු කම්කරුවන් මෙරටට පැමිණියේ මන්නාරම ඔස්සේය. මන්නාරමින් අනුරාධපුර මාර්ගයේ පැමිණ ඔවුහු මාතලේ දක්වා පැමිණියහ. මාතලේ දී ඔවුන් අධිරාජ්‍යවාදීන් විසින් කෝපි වවන දිස්ත්‍රික්කවලට රැගෙන ගියහ. එකළ මේ රෝගය හඳුන්වාදීමට සිංහල භාෂාවේ වචනයක් තිබුණේ නැත. මේ නිසා 1878 දී මෙරට ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ආර්. කිංසි රෝගයට නමක් යෙදීමේ වැදගත්කම පවා වාර්තා කර තිබේ. කෙසේ වෙතත් මේ රෝගයට කොලරාව යන නම ලැබුණේ කෙසේ ද කියා සඳහනක් නැත. කොලරාව යනු ග්‍රීක වචනයකි. මෙරට වැසියන් මේ රෝගය කලින් හඳුන්වා ඇත්තේ ජල සන්නිය ලෙසිනි.
මහනුවර දිස්ත්‍රික්කයේ පළමු පොලිස් අධිකාරීවරයා වූ ජෝන් ස්පෙන්සර් කොලිසෙපර් 1845 දී පවසා ඇත්තේ ඇතැම් ගම්වල රෝගීන් පිළිකුල් කරමින් ගම් වැසියෝ ඔවුන්ට උපකාර කිරීම පවා ප්‍රතික්ෂේප කළ බවයි. ගම්මුලාදෑනිවරු පවා තම වගකීම් මග හැරි අතර රෝගීන්ට උදව් කිරීමටත් මියගිය අය භූමදාන කිරීමටත් උදව් ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරුන්ට පවා ගැමියන්ගෙන් විරෝධතා එල්ල වූ බව ඔහු සඳහන් කර තිබේ.
1876 දී හපුතලේ වෛද්‍යාධාර කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇති සුප්‍රසිද්ධ හෙන්රි ලිප්ටන් පවසා ඇත්තේ බුත්තල අවට ගම්වාසීන් පණ පිටින් කැලයට ගෙන ගොස් වළ දමා මේ රෝගය වැලැක්වීමට පියවර ගත් බවට කට කතා පැතිර ගිය බවකි. එසේ වුව ද ඒ කතා අසත්‍ය බවත් ඇතැම් පවුල් රෝගයට බියෙන් ගම් බිම් හැර දමා වන වැදීම නිසා එවැනි කතා ප්‍රචාරය වූ බවත් ඔහු සඳහන් කර ඇත.
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට ද කොලරාව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සෘජු අත්දැකීම් තිබේ. වෛද්‍යවරයකු ලෙස සීමාවාසික පත්වීම් ලබා අනුරාධපුරයේ රෝහලේ ඔහු සේවය කළ 1982 වර්ෂයේ දී අනුරාධපුරයේ බෝවන රෝග වාට්ටුවට දිනකට කොලරාව වැලඳුණු රෝගීන් දෙදෙනකු පමණ පැමිණෙන බව ඔහු පවසයි. අනෙක් වාට්ටුවලින් තරමක් ඈත්ව පිහිටා ඇති මේ බෝවන රෝග වාට්ටුවේ කොළරා රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳෙහි යටින් මැද සිදුරක් සාදා තිබේ. ඒ බඩයනවිට ඒ මල පහ ද්‍රව්‍ය බේරී යාමට පහසුවන පරිදිය. වෛද්‍ය අබේසිංහ මහතා පවසන්නේ මේ සියලු මල පහ යටින් තැබූ විශාල බාල්දියකට එකතු වූ බවයි. මේ රෝගීන්ට මල පහ පිටවන්නේ හාල් හේදූ ජලය වැනි වර්ණයෙන් එතරම් දියාරු ලෙස බව ද ඔහු පවසයි. මොවුන්ගේ සිරුරෙන් ජලය සහ ලවණ වේගයෙන් පිටවීම නිසා විජලනය වී මිය යාම ඉක්මනින් සිදුවන බව ද ඔහු පැවසීය.
ගම් බිම් වැනසී පාළු වී ගිය අතර කොලරාව පාලනය කිරීම සඳහා පාචන රෝග මර්දන වැඩසටහක් මෙරට සෞඛ්‍ය අංශය විසින් ඉතාමත් ශක්තිමත්ව ක්‍රියාත්මක කෙරිණි. වමනය හා පාචනය තත්ත්වයක් ඇති විට සිරුර විජලනය වීම වලක්වාගැනීම සඳහා ජීවනී නම් පානය හඳුන්වාදෙනු ලැබුවේ ද එම ව්‍යාපෘතිය මගිනි. කෙසේ වෙතත් 2000 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවෙන් කොළරා රෝගීන් වාර්තා නොවන තරමටම රෝගය පාලන කිරීමට හැකිවී තිබීම මෙරට සෞඛ්‍ය අංශ ලැබූ සුවිසල් ජයග්‍රහණයකි.
(සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ හිටපු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමඟ සාකච්ඡා කර සකස් කරන ලදී.)
සජීව විජේවීර