ඉන්දියාවේ නාග්පූර් දරුවන්ට ලංකාවේ බොදු සිරිත් උගන්වන යුවළ


පරිතෝෂ් - චාමිනී

 

 

 

නාග්පූර් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි තුන්වැනි විශාලතම නගරයයි. එමෙන්ම එය ජනගහනය අතින් ඉන්දියාවේ දහතුන්වැනි විශාලතම නගරය ලෙස ද සැලකෙයි.  


බෞද්ධයන් ලෙස ගතහොත් නාග්පූර් වඩාත් ප්‍රකටව ඇත්තේ බෞද්ධ ව්‍යාපාරය නිසාවෙනි. එහි පිහිටා ඇති දික්ෂාභූමි නාග්පූර්හි පිහිටා ඇති විශාලතම ස්තූපය ලෙස සැලකෙයි. එමෙන්ම දීක්ෂාභූමි විවිධ රටවල ජනතාව නිරතුරුවම යන එන ප්‍රධාන සංචාරක ස්ථානයක් ද වෙයි.  


 ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා ලෙස සැලකෙන්නේ බී.ආර්. අම්බෙඩ්කාර්තුමාය. හයලක්ෂයක් අනුගාමිකයන් සමඟ අම්බෙඩ්කාර්තුමා බෞද්ධාගම වැලඳගත්තේ දීක්ෂාභූමි හිදීය. ඒ 1956 ඔක්තෝබර් 16 වැනිද‌ාය.  


කුල පීඩනයට, කාන්තාවන්ට හා කම්කරුවන්ට සිදුවන සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිට සමාජ වෙනසක් කළ ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ද අම්බෙඩ්කාර්තුමා ගෞරවයට පාත්‍රවෙයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ බෞද්ධාගමයි. ඒ නිසාම ඔහු බුදු දහම වැළඳගෙන ඒ වෙනුවෙන් පෙනී සිටියේය.  


1956 වසරේ ඔක්තෝබර් 14 දින හයලක්ෂයක් සමග බුදු දහම වැලඳ ගත්ත ද 1956 දෙසැම්බර් 6 වැනිද‌ා එනම් 65 වැනි වියේදී අම්බෙඩ්කාර්තුමා මෙලොව හැර ගියේය. ඒ නිසා බෞද්ධ ජනතාවට ඉටුවිය යුතු සේවාවට මඳ විරාමයක් ලැබුණේය.  


එහෙත් නාග්පූර් බෞද්ධ ජනතාව අම්බෙඩ්කාර්තුමාගේ එම වැඩපිළිවෙළ තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා තවමත් වෙහෙසෙති. ඒ බොදු සිරිත්, දහම් දැනුම පමණක් නොව සමාජයීය වශයෙන් ඉදිරියට එන්නට අධ්‍යාපනික දැනුම ද ලබාදීමේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමෙනි.  


 නාග්පූර්හි එවැනි සංවිධාන අතර ‘නිදහස’ මුල් පෙළේ සිටින්නකි. එහි නිර්මාතෘවරයකු වන පරිතෝෂ් සර්ද‌ාරි ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙන්නේ බෞද්ධ සිරිත් විරිත් නාග්පූර් වැසියන්ට හඳුන්වාදීමේ කාර්යයේදීය. මංගල්‍යයකදී, අවමංගල්‍යයකදී, ධර්ම දේශනයකදී, පිරිත් උත්සවයකදී, ද‌ාන මාන කටයුතුවලදී ආදී විවිධ අවස්ථාවලදී එම සිරිත් විරිත් ඔහු වීඩියෝ පට මගින් නාග්පූර් වැසියන්ට හඳුන්වා දෙයි.  


 ඒ සඳහා පරිතෝෂ්ගේ නියෝජිතයාට ශ්‍රී ලංකාවේ සිට එම සහාය ලබාදුන්නේ ශ්‍රී ලාංකික උපාධිධාරී ගුරුවරියකි. ඇය චාමිනී බුද්ධිකා වීරසූරිය යි.  


 “මම උපන්නේ කැලැත්තෑවේ. පාසල් ගියේ කැලැත්තෑව මහා විද්‍යාලයට. ඉන් පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. එහිදී මම හැදෑරුවේ ලලිත කලා විශේෂවේදී උපාධිය. ඉන් පසුව පශ්චාත් උපාධිය හැදෑරුවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්.  


ඔය කාලෙදි තමයි මට පරිතෝෂ් හඳුනාගන්න ලැබෙන්නේ, ඔහුගේ නියෝජිතයකු මාර්ගයෙන්. අපි එකිනෙකා දැකලා නැති වුණත් දුරකථන මාර්ගයෙන් හොඳින් දැන හඳුනාගෙන සිටියා.  


මේ අතරෙයි මට අජන්තා - එල්ලෝරා ලෙන් දැක ගැනීමට යන්න ලැබෙන්නේ. ඒ විශේෂවේදී උපාධිය සඳහා.  
 අපි මුලින්ම හමුවෙන්නෙ අජන්තා - එල්ලෝරා ලෙන් භූමියේදී. එය නරඹා එළියට එනවිට ඔහු මට විවාහ යෝජනාවක් ගෙනාවා. ඒ අවස්ථාවට පරිතෝෂ්ගේ දෙමව්පියොත් පැමිණ සිටි බව කිව යුතුයි.”  
මේ අතරතුර ඇයට උපාධි ගුරු පත්වීමක් ද ලැබිණ. ඒ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයටයි.  
ඉන්දියානු මනාලයාගේ මවුපියන්ගේ ද ශ්‍රී ලාංකික මනාලියගේ මවුපියන්ගේ ද ආශිර්වාදය ඇතිව ටික දිනකින්ම පරිතෝෂ්-චාමිනී විවාහය සිදුවිය.  


 ඇය බෞද්ධ සිරිත් විරිත් අනුව පරිතෝෂ් හා විවාහ වී ඉන්දියාවේ නාග්පූර් කරා පදිංචියට ගියාය.  
“මට ඒ කාලෙ ඉඳලම හින්දි භාෂාව කතා කරන්න පුළුවන්. මෙය පරිතෝෂ් හා කටයුතු කරද්දී විශාල උදව්වක් වුණා. ඒ වගේම නාග්පූර් හි පරිතෝෂ් හා ගෙවන ජීවිතයේදී ඔහුගේ දහම් කටයුතු වගේම සමාජ සේවා කටයුතුවලදීත් හින්දි භාෂාව දැනගෙන සිටීම විශාල සහායක් වුණා.”  
“අම්බෙඩ්කාර්තුමා සමඟ මේ ජනතාව බුදු දහම වැලඳ ගත්තත් එතුමා කෙටි කලකින්ම මෙලොව හැර යාම නිසා ධර්ම ඥ‌ානය ආදිය ලබා ගැනීමට නොහැකි වුණා. ඒ නිසයි නාග්පූර් බෞද්ධයන්ට බෞද්ධ ධර්මය වගේම බෞද්ධ සිරිත් විරිත් හඳුන්වා දිය යුත්තේ.” ඇය කියයි.  


 නාග්පූර්හි තිබෙන බොහෝ පාසල් පෞද්ගලික අංශයට අයත් බව ඇය කියයි.  
“මේ නිසා බොහෝ දරුවන් රජයේ පාසල්වලට යනවා අඩුයි. මේ නිසා සමහර පාසල් වැහිලා යනවා. පරිතෝෂ් පසුගියද‌ා ඔහුගේ නියෝජිතයන් සමඟ එකතු වෙලා මෙවැනි පාසලක් බදු පදනම යටතේ අරගෙන දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන්නට උත්සාහ කරනවා.” ඇය කියන්නීය.  
පරිතෝෂ් පවසන්නේ ඔහුගේ සංවිධානයෙන් කෙරෙන්නේ ආර්ථික අතින් ප්‍රශ්න ඇති දරුවන්ට විවිධ භාෂා උගන්වන බවයි.  


“එයින් ඒ දරුවන්ට කාටවත් අත නොපා සමාජයට එන්න පුළුවන්. අපි විශේෂයෙන්ම ජපන්, ඉංග්‍රීසි ආදී භාෂා උගන්වනවා. ඒ පිටරට රැකියා ලබාගැනීමට. එපමණක් නොවෙයි ඉන්දියාව තුළ රැකියා ලබාගැනීමටත් මේ භාෂා පන්ති මෙන්ම අධ්‍යාපන කටයුතු ඉවහල් වෙනවා. එමෙන්ම සමාජයට වැඩද‌ායක පරපුරක් බිහිකිරීම සඳහා විවිධ සමාජමය වැඩමුළු ආදිය පැවැත්වෙනවා. මේ සියල්ල කෙරෙන්නේ දහම් දැනුම ද මුල් කරගෙනයි. විශේෂයෙන් කිව යුත්තේ මේ සඳහා මුදල් අය නොකරන බවයි.”  
ශ්‍රී ලංකාවේ තම බිරිඳ තෝරා ගැනීම නිසා බුදු දහම පිළිබඳව බොහෝ දේ දැන ගැනීමට ලැබුණ බවත් ඔහු පවසයි.  


“අපි ළඟදීම නාග්පූර් දරුවන් වෙනුවෙන් දහම් පාසල් පටන් ගැනීමට සැලැසුම් කරගෙන ඉන්නවා. ඒ වගේම සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාවේ දැනට ඉටුකෙරෙන බෞද්ධ සිරිත් විරිත් වඩාත් හොඳින් චාමිනී සමග හඳුන්වා දීමට අවස්ථාව ලැබී තිබෙනවා.

  
ඇය විවිධ ශ්‍රී ලාංකේය කෑම වර්ග මට හද‌ා දෙනවා. එය අලුත් අත්දැකීමක්.” පරිතෝෂ් කියයි.  
 සංස්කෘතික කටයුතුවලදී වඩාත් පහසුවක් වී ඇත්තේ චාමිනී චිත්‍ර ශිල්පිනියක් වීමය. ඒ හරහා ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව නාග්පූර් ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඇයට අවස්ථාව ලැබී තිබේ. ඇය දැනටමත් නාග්පූර් විහාරස්ථාන කිහිපයකම සිය සිතුවමින් සරසා තිබේ.  


“නාග්පූර්වල තවරේ කොලනියේ තියෙන බෝධිගයා විහාරයට තමයි මම මුලින්ම චිත්‍රයක් ඇන්දේ. එය අඩි අටයි හයක ප්‍රමාණයක චිත්‍රයක්. එය බිතු සිතුවමක්. එයින් නිරූපණය වන්නේ සිදුහත් උපතයි.  
මේ චිත්‍රයට එම විහාරස්ථ ද‌ායක සභාව හුඟක් කැමැති වුණා. ඒ ඉල්ලීම අනුව මට තවත් චිත්‍ර 6ක් අඳින්න අවස්ථාව ලැබුණා. ඔවුන් හුඟක්ම කැමැති තද වර්ණවලටයි. මෙය ලංකාවෙන් ගිය මට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්.  


ඉන් පසුව නාග්පූර්වල භාවනා මධ්‍යස්ථානයක ශාලාවේ මම භව චක්‍රය ඇන්දා. මම එය නිර්මාණය කිරීමේදී ලබාගත්තේ අපේ ඉපැරැණි සඳකඩ පහණේ ආභාෂයයි.  
 මගේ නිර්මාණ කටයුතු ගැන කටින් කට ගියා. ඒ අනුව මට තවත් පන්සල් තුනක චිත්‍ර අඳින්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.”  


චිත්‍ර ශිල්පිනියක ලෙස අපේ සිතුවම් මේ අයුරින් නාග්පූර් විහාර මන්දිර සරසද්දී ඇයට දැන් දැන් විවිධ කාන්තා සංවිධානවලින් ද උත්සව සඳහා ඇරයුම් ලැබෙයි.  


“නාග්පූර් දේශගුණය අතින් බැලුවත් ලංකාවට වැඩිය හුඟක් වෙනස්. කාලයකට උෂ්ණත්වය හතළිස් ගණන්වලට යනවා. සීතල කාලෙට පහ දක්වා පහළ යන කාල තියෙනවා. ඒක තරමක අභියෝගයක්. කෑම බීම ගත්තත් ඔවුන් විවිධ තෙල් වර්ග පාවිච්චි කරනවා. ගෙයින් ගෙයට ඒ පාවිච්චි කරන කෑම වට්ටෝරු වෙනස් වෙනවා.” ඇය කියයි.  


“මම පරිතෝෂ් සමඟ එකතු වෙලා කෙරෙන සංස්කෘතික සමාජ වැඩවලට අමතරව ක්‍රමානුකූලව ධර්ම අධ්‍යාපනය ලබාදීම සඳහා පිරිවෙනක් වැනි ධර්ම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමේ අදහසක් තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ ආධාර ඇතිව” චාමිනී කීවාය.

 

 

 රොඩ්නි විද‌ානපතිරණ