මෙය කාන්තාවන්ට හැදෙන තනිකම් දෝෂයක්
- අනංගයා, මලවි කියන්නේත් කළු කුමාරයාටයි
කළු කුමාර සංකල්පය සාම්ප්‍රදායික දේව කතාවල එන චරිතයකට වඩා සංකල්පමය ජනප්‍රවාදයක් ලෙස සැලකිය හැකිය. එහෙත්, ගුප්ත විද්‍යාව අනුව කළු කුමාරයා නම් යක්ෂයා වනාහි යෞවනත්වය හා සබැඳි උපකාරක මිත්‍රයකු සේ සැලකේ. විශේෂයෙන් විවාහ වීමේ කල වයස සපිරුණු තරුණියන්ට ඇති වන මානසික ආතති තත්ත්වයක් ලෙස ද මනෝවිද්‍යාවේ සඳහන් වේ.
පෙරදිග යකැදුරෝ එය යක්ෂාරූඪයක් සේ සලකා බලිතොවිල් යාතුකර්මවලින් ආතුරයා සුවපත් කිරීමට උත්සාහ දරති.
අනංගයා, මලවි, ඊරෝස් වැනි නම්වලින් ද මේ චරිතය හඳුන්වනු ලැබේ. මෙරට පමණක් නොව විවිධ රටවල් අතර ද මෙය ප්‍රචලිතව පවතින බව ද සඳහන් වේ.
මෙවර ඉරිදා ලංකාදීපයෙන් අප විමසා බලන්නේ ‘කළු කුමාරයා’ නම් මේ අපූරු චරිතය සමාජගත වී ඇති අයුරුයි.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා මේ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.
“මුලින්ම කියන්න ඕනෑ කළු කුමාර දෝෂය කියන්නෙ සංස්කෘතිකමය පිළිගැනීමක්. අතීතයේ සිට ලංකාවේ විවිධ වයස්, ස්ත්‍රී/ පුරුෂභාවය, විවිධ ලෙඩ රෝග ආශ්‍රය කරගෙන නොයෙකුත් සංස්කෘතික පිළිගැනීම් තිබුණා. එකල යම්කිසි රෝගයක් හෝ යම් සිදුවීමක් විස්තර කිරීමට සංස්කෘතිය මඟින් කිසියම් සංකල්පයක් නිර්මාණය කළා.
‘කළු කුමාරයා’ කියන චරිතයත් එවැනි සංකල්පයක්. ඒ සංකල්පයට මුල් වූ බීජයක් තියෙනවා. ඒ කියන්නේ මෙම චරිතයට උත්පත්තියක් තියෙනවා.
ඒ, මෙම චරිතය නිර්මාණය වුණේ කෙසේ ද කියන දේ. කළු කුමාරයා කියන චරිතය සජීවීව දකින්න පුළුවන් කිසියම් බලවේගයක් කියනවාට වඩා මිනිස්සු නිර්මාණය කරගත් ප්‍රවෘත්තියක් නැතහොත් පුරාවෘත්තයක් හරහා එන චරිතයක් ලෙස තමයි මුලින් සඳහන් වෙන්නේ.
මේ පිළිබඳ සඳහන් පුරාවෘත්ත කිහිපයක් තියෙනවා. ඒ අතරින් එක් කතාවක සඳහන් ෙවන්නේ අනුරාධපුරයේ රජ කළ කෝටල නීලමධන නම් රජ කෙනකුගේ පුතකු වූ නීලමධන නම් කුමාරයෙක් සම්බන්ධ කතා පුවතක්. මේ නීලමධන කුමාරයා එම රජතුමාගේ බිසවගේ පුතකු නොවෙයි. අනියම් බිසවකට උපත ලැබූ කුමාරයෙක්. මොහු ඉතාම හැඩිදැඩි කළු සිරුරක් තියෙන ජව සම්පන්න පුදගලයෙක්. මේ කුමාරයාට එක් අවස්ථාවකදී සොලී රටට යාමට සිදු වෙනවා. එහිදී එරටේ කාන්තාවන් මොහුව දැකීමෙන් පසුව කුමාරයා කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇති වෙනවා. ඒ ආකර්ෂණයත් එක්ක ඔහු තමන්ගේ ස්වාමිපුරුෂයා කරගැනීමට මේ කාන්තාවෝ අතර විශාල පොරයක් ඇති වෙනවා. ඒ පොරකෑමේදී මේ කුමාරයා මිය යනවා. ඒ මිය යන්නේ ඔහු වෙනුවෙන් පෙරකෑ එම ස්ත්‍රීන් සමඟ වෛරයකින් කියායි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ කුමාරයා යක්ෂයෙක්ව ඉපිද කාන්තාවන්ට යම් යම් හානි කරමින් වින කරන මට්ටමට පැමිණ ඇති බව සඳහන් වෙන්නේ. ඒ තමයි කළු කුමාරයා පිළිබඳ ප්‍රසිද්ධම කතාන්දරය. ඒ කතාවට අමතරව තවත් කතාන්දර කිහිපයක්ම සඳහන් වෙනවා.
ඉතින් මේ කළු කුමාරයා කාන්තාවන්ට වින කරන යක්ෂයෙක් විදිහට එන බලවේගයක් ලෙස තමයි සංකේතවත් කරන්නේ.
මේ චරිතය හැඩි දැඩි සිරුරක් තියෙන කළු පැහැති කිසියම් ආකරයක කාන්තාවන්ට ආකර්ෂණයක් ඇති පුද්ගලයෙක් ලෙස අර්ථ දැක්වෙන්නේ. කළු කුමාරයා බැල්ම දානවා, කළු කුමාරයාගේ බැල්ම වැටෙනවා, කළු කුමාරයාගේ දෘෂ්ඨිය වැටෙනවා, කළු කුමාර දිෂ්ඨිය වැටෙනවා කියලා අද වෙද්දි හඳුන්වන්නේ මේ කළු කුමාර බැල්ම කියන දේ තමයි. ඒ යක්ෂයාගේ නරක බැල්මට කාන්තාවක් අහු වුණාම ඒ දේට කියන්නේ තනිකම් දෝෂය කියලා. මේ තනිකම් දෝෂයට භාජනය වෙන්නේ ගොඩක් වෙලාවට මල්වරව එතැන් පටන් විවාහ ෙවනතුරුම අවිවාහකව සිටින තරුණියන්. ඒ තුළින් පැහැදිලි වෙන්නේ මල්වර වීමත් සමඟ කාන්තාවකගේ ඇති ෙවන හෝමෝන වෙනස්වීම් සමඟ ඔවුන්ගේ ලිංගික ආශාවන් සහ ලිංගික අවශ්‍යතාව හා බැඳුණු කිසියම් ආකාරයක චර්යාවල අක්රමිකතාව. නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ආවේගවල වෙනස් හැසිරීමක් හෝ වෙනස් ආකාරයක ප්රකාශනයක්.
මෙම තත්ත්වය පිළිබඳ අද සැලකිල්ලට යොමු කිරීමේදී මෙය එක්තරා ආකාරයක මානසික ආබාධයක්, මානසික දුර්වලතාවක් ලෙස වර්ධනය වීමක් බව සඳහන් වෙන්නේ.
විශේෂයෙන් තනියෙන් ජීවත් ෙවන, සමාජයෙන් ඈත්ව ජීවිතය ගත කරන, වැඩිපුර විනෝදයට නොයන, විරුද්ධ ලිංගිකයන් සමඟ වැඩි ඇසුරක් නැති තරුණ කාන්තාවන්ට මෙය වැඩි වශයෙන් ඇති ෙවන බව හිතන්න පුළුවන්. මෙම හැසිරීම් රටාවට අනුගත කාන්තාවන්ට කළු කුමාර බැල්ම ඇතිව තිබෙන බව සඳහන් වෙන්නේ. මේ කාන්තාවන්ට කවුරු හෝ පිරිමියෙක් තමන් ළඟට පැමිණ ළං වීම, ඔවුන් සමඟ සමීපව සිටීම, සමහර වෙලාවකදී හීනයක් නොවුණත් ඔවුන්ගේ මනසේ මැවෙන සංකල්පයත් සමඟ මිශ්‍රව තමන්ව කවුරුන් හෝ අල්ලා ගන්නවා, බදාගන්නවා වැනි දේවල් සහ යම් යම් දේවල් කෑමට දෙනවා වැනි හැඟීම් පවා දැනෙන්න ගන්නවා. මෙය සම්පූර්ණයෙන් කාන්තාවගේ හෝමෝන ක්‍රියාවලියත් සමඟ බැඳි සිදුවීමක් ලෙස තමයි හඳුන්වන්නේ. පැරැණි කාලයේදී අදහසක් තිබුණා මල්වර සිරිත් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මෙම දෝෂයන් හටගන්නවා කියන දේ. දැරියක් මල්වර වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඒ, ඇයගේ දෙවැනි උපත. ඉතින් මල්වර වීමේදී එය නරක වෙලාවට සිදු නොවීම, මල්වර වීමෙන් පසුව තනි වීම වැනි සිදුවීම් මතත් මෙම දෝෂය හටගන්නවා. එතැනින් පසුව මාස් ශුද්ධිය ඇති ෙවනවිට එම කාලය තුළදීත් මේ බැල්ම ඇති ෙවන බවට ද නාන තොටවල් ආශ්‍රිතව, තුන්මංසල, සිව්මංසල වැනි පාළු හුදෙකලා ස්ථානවල තනි වීමක් සිදු වෙනවා නම් එතැනදීත් කළු කුමාරයාගේ බැල්ම වැටෙනවා කියන විශ්වාසයක් තියෙනවා.
මේ හරහා පැරැණ්නන් උත්සාහ කළා යම් ආකාරයකට එම දැරියන්, කාන්තාවන් තනි නොකොට ගුරුහරුකම් ලබාදිය හැකි අය සමඟ ඇසුර ලබාදෙන්නට. එහිදී ඔවුන්ට තම ඉදිරි ජීවිතය ගත කරන ආකාරය, ජීවිතයේ බරපතළකම පිළිබඳවත්, යම් වගකීම් ගැන අවබෝධයක් ලබාදීමත්, මල්වර වීමෙන් පසුවම ඒ චාරිත්‍ර වාරිත්‍ර විධි ඉෂ්ට කිරීමේදීම කාන්තා ජීවිතයේ වගකීම් සීමාවන් සම්බන්ධව දැනුවත් කළා. යම් කාන්තාවකට මෙම දෝෂය ඇති වීමේදී සිදුවන රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නේ කෑම අරුචිය, ශරීරය වැහැරී යාම, විශාදයට පත්වීම, දැඩිව කල්පනා කිරීම, නොයෙක් ආකාරයේ විකෘති චර්යා රටාවන්, දැඩි ලෙස කලබල වීම් වැනි ලක්ෂණ.
මේ ලක්ෂණ මතුවෙන අවස්ථාවකදී එකල සිදු කළේ ‘කළු කුමාර සමයම’ නම් ශාන්තිකර්මය. කළු කුමාර සමයම නැටීම තුළින් තමයි යම් ආකාරයක ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කළේ. වර්තමානයේ මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විට මානසික උපදේශනයට බඳුන් කර එම කාන්තාවන්ට යම් මානසික චිකිත්සාවක් ලබාදෙනවා.
ඉන් පසුව එම කාන්තාවට මෙවැනි තත්ත්වයක් ඇති වීමට පුළුවන් සමාජ සහ පවුල් පසුබිම සොයා බලා එයට මුල් වුණු මානසික හේතු පිළිබඳ විමසීමක් කරනවා. පසුව ඒ මානසික හේතු සියල්ල සම්පූර්ණයෙන් සිතින් ඉවත් කර දැමීමට හැකි මානසික ප්‍රතිකර්ම, චිකිත්සා ක්‍රම කරනවා. ඒ, මානසික උපදේශනය හෝ චර්යා ප්‍රතිකාර වෙන්න පුළුවන්.
ඒ ක්‍රම මඟින් මේ කාන්තාවන් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නවා. ගොඩක් කාන්තාවන්ට විවාහ වීමෙන් සහ දරුවන් ලැබීමෙන් පසුව මෙවැනි රෝග ලක්ෂණ තිබුණත් ඒවා මඟහැරී යනවා. ඒ දේවල් තුළින් නිසැකවම පෙනී යන්නේ මේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම ශාරීරික අවශ්‍යතා සහ ආශාවන් එක්ක ඇතිවන ඒවා සංතෘප්ත කරගැනීම සඳහා යටි සිත මගින් ඇති කරනු ලබන කිසියම් තත්ත්වයක් කියන දේ.
මනෝ විද්‍යාඥයන් පවසන අන්දමට සීමා බන්ධන සහිත සමාජවල ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් සමඟ හැසිරෙන්නට ගැටෙන්නට ඉඩ නොදී සීමා පනවනවා නම් වැඩිහිටියන්ගෙන් ඇති වන ඒ බලපෑම් මත එවැනි මානසික තත්ත්වයන් සමඟත් මේ දෝෂය ඇති වෙන්න පුළුවන්.
කළු කුමාරයාගේ බැල්ම වැටෙනවා කියන මේ රෝගී තත්ත්වය විවිධ නම්වලින් වෙනත් රටවලත් දක්නට තියෙනවා.
මෙවැනි තත්ත්වයන්ට අද වගේ දියුණු සමාජයක තොවිල් බවිල් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අද සමාජය ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ අද වෙද්දී ගම්වල පවා දැරියෝ මල්වර වීමටත් පෙර සිට තාක්ෂණය සමඟින් වැඩ කරන්නේ. සන්නිවේදන උපකරණ භාවිත කරනවා. දැන් තියෙන ප්රශ්නය මේ කළු කුමාර දෝෂය ඇති වීම නෙමෙයි. එහි විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මල්වර වීමටත් පෙර සිටම මේ දැරියෝ අන්තර්ජාලය, ජංගම දුරකතන, සමාජජාලා පරිහරණය කරනවා. ඒ තුළින් මේ අය වැරැදි ආකාරයට තමන්ගේ අවශ්‍යතා සහ ආශාවන් ඉෂ්ට කරගන්න පෙළැඹිලා තියෙනවා. ඒ තුළින් විවිධාකාරයේ අතවරවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඉතින් අද වෙද්දී නම් කළු කුමාර සංකල්පය කණපිට හැරිලා තියෙන්නේ. මොකද මේ වෙද්දී ඕනෑවට වඩා නිදහස ලැබිලා තියෙනවා. ඒ නිසාම පිටස්තර ලෝකයට ඔවුන් නිරාවරණය වෙලා. අද දැරියන්ට ප්‍රශ්න වෙලා තියෙන්නේ තනිකම් දෝෂයට වඩා තනිකම මකාගන්න තාක්ෂණය උපයෝගි කරග්නන විවිධාකාර ක්‍රම නිසා.”
වර්තමානයේ කළු කුමාරයා වැහිලා කියලා වාර්තා වෙලා තියෙනවා ද?
“ගම්වල තවමත් කළු කුමාරයා ඉන්නවා. කුඩා කල සිටම මෙවැනි විශ්වාස පිළිබඳ ඔළුවට දැම්මාම ඒ සමාජවල මේ දේවල් දක්නට ලැබෙනවා. කාන්තාවකගේ අසාමාන්‍ය චර්යාවක් තිබියදී ඒ දෙමව්පියන් වැඩිහිටියන් තේරුම් ගන්නේ මෙය පිටස්තර බලවේගයක් හෝ අමනුෂ්‍ය දෝෂයක් මත සිදුවන බවට. නමුත් මේ කළු කුමාර දෝෂය එසෙත් නැත්නම් තනිකම් දෝෂය වර්තමානයේදී බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ සන්නිවේදනයේ බලපෑම් මත සිදුෙවන වෙනත් විකෘති චර්යාවන්.”
මේ අමනුෂ්‍ය දෝෂ පසුපස හඹාගොස් ජීවිතේ වරදවාගත් පිරිසක් පවා අද සමාජයෙත් දකින්න ඉන්නවා නේද?
“මේ තනිකම් දෝෂය තියෙන කාන්තාවන් ගොඩක් වෙලාවට අවිවාහක පිරිස්. මොවුන් ගොඩක් වෙලාවට මිථ්‍යාව පසුපස යනවා. ඒ දේවල් එක්ක දේවාලවල පිහිට පතාගෙන කට්ටඬි ළඟට යනවා. අද සමාජයේ දේවාල කරන කට්ටඬි සියයට 90ක් පමණ කරන්නේ තක්කඩිකම්, හොර, බොරු, රැවටීම්, මුලා කිරීම්. මේ අය සමහර ප්‍රශ්නවලින් අසරණ වුණාමනේ මේ දේවල් පසුපස යන්නේ.
නිසි කලට දරු සම්පත් නොමැති වීම නිසා කාන්තාවන් මේ වගේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ඉතින් යම් හේතුවක් මත අසරණව ඒ සේවාවන් ගන්න ගියාම මේ කට්ටඬියන් තමන් ළඟට එන කාන්තාවන්ගෙන් මුදලුත් ලබාගෙන ලිංගිකවත් ඔවුන්ව අවභාවිත කරනවා. පසුගිය කාලයේ එවැනි ප්රවෘත්ති අනන්ත අප්‍රමාණව දකින්න ලැබුණා. මිනිස්සු කොයි තරම් මෝඩයි ද කියනවා නම් ඒ කාත්තාවන්ට ශාන්තිකර්ම කරන්න කියලා තනිව කාමරයට ගෙන ගොස් පිරිත් නූල පැත්තකට දාලා සේවාව ලබාගන්න කාන්තාව පමණක් තනි කරගෙන ඇයට නොයෙකුත් විදිහේ අතවර කරනවා. සමහරු දූෂණය වෙනවා. ඒ දේවල් දඬුවම් ලැබිය යුතු බරපතළ අපරාධ. ඒ නිසා ඇත්තටම සමාජයෙන් ඉල්ලීමක් කරන්න ඕනෑ කාන්තාවන්ට එවැනි ප්‍රශ්න තියෙනවා නම් සුදුසුකම්ලත් උපදේශන සේවාවකට හෝ එසේත් නොමැති නම් මනෝ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරයෙක් ළඟට ගොස් ඒ තුළින් උපදෙස් ගන්නවා හැර මිථ්‍යාව පසුපස ගොස් තක්කඩි ඇදුරන්ට රැවටෙන්න එපා කියලා. ඇත්තටම වැහෙන කළු කුමාරයෙක් නැහැ. ඒක හිතින් මවාගත් සංකල්පයක්. පුංචි කාලෙ ඉඳලා මේ දේවල් ඔළුවට දැම්මාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.
අද මේ හැම ලෙඩ රෝගයකටම දියුණු වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්. මනෝ උපදේශනය පිළිබඳ අවබෝධය තියෙන වෛද්‍යවරු බටහිර වගේම ආයුර්වේද පැත්තෙත් ඉන්නවා. එහෙම තියෙද්දී තමයි හොරුන්ට ගොදුරු වෙන්නේ. ඒ හොර කට්ටඬියන් ඉන්නේ ජනතාව මුලා කරලා මුදල් ගසාකන්න. ඒවාට ප්රචාරක දැන්වීම් පවා පළ කරමින් නොයෙකුත් ආකාරයෙන් ඔවුන් පෙනී සිටිනවා. ඒ පාරම්පරිකවම දේවාල පවත්වාගෙන මේ ශාන්තිකර්ම පවත්වන බවට. එලෙස දේවාල පවත්වාගෙන මිනිස්සු මුලා කරන කට්ටඬියෝ තමයි ඇත්තම කළු කුමාරයෝ.”
බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය කෙබඳු ද යන්න දැනගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහල් මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ද සම්බන්ධ කරගත්තෙමු.
“කළු කුමාර දෝෂය ඇති වීම පිළිබඳ විශ්වාසයක් තියෙන්නේ සංස්කෘතිකමය වශයෙන්. මේ විශ්වාසය වෙන්නේ කළු හැඩිදැඩි දේහදාරී පුදගලයෙක් සිහිනෙන් දැකීම. මොහු සමහර ප්‍රදේශවල දේවතාවෙක් ලෙසත්, තවත් සමහර ප්‍රදේශවල යක්ෂයෙක් ලෙසත් හඳුන්වනවා. මේ කළු කුමාරයා කළු මීමෙක් මත තමයි ඔහුගේ ගමනාගමනය කරන්නේ. ඒ වගේම බෙල්ල වටේ අලි අතුණුබහන් ඔතාගෙන ඉන්නවා කියලත් විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තුළ ගැබ්ව තිබෙන්නේ කළු පාට කුළු මීමෙකුගේ ශක්තිය. හැඩිදැඩිභාවය, හැඩිදැඩි පිරිමිභාවය, පිරිමි ශක්තිය පෙන්නුම් කිරීමේ සංකේතයන්.
මේ චරිතය ගොඩක්ම පෙනෙන්න ගන්න එක් කොට්ඨාසයක් තමයි තරුණියෝ, තරුණ කාන්තාවෝ, මැදිවියේ කාන්තාවෝ. මේ අතර සමහර කාන්තාවන්ට මේ කළු කුමාර චරිතය සිහිනෙන් දකිනවා පමණක් නොවෙයි ඔහු තමන් සමඟ ඇඳේ සිටිනවා වගේත් දැනෙනවා. එසේ දකින අවස්ථාවලදී සමහර වෙලාවට ඇහැරුණොත් කවුරුන් හෝ තමා ළඟ සිටියාක් මෙන් දැනෙන්න පුළුවන්. ඒ වගේම තම කාමරය තුළ සැරිසරනවා වගේත්, තවත් සමහරුන්ට ඇඟපත අතගානවා, කකුල්වලින් අදිනවා, ඇඳෙන් පහළට ඇදලා දානවා, යම්කිසි බලවේගයකින් තමන් තද කරගෙන බැඳගෙන ඉන්නවා වගේ හැඟීම් දැනෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට මෙම සිදුවීම වැඩිදුරටත් ගොස් මොහු තමන්ගේ ශරීරය අතගානවා, ස්පර්ශ කරනවා වගේත් දකිනවා.
ඒ වගේම විවාහ වී දරුවන් නොමැති මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවනුත් මෙවැනි ලක්ෂණ සහිතව කළු කුමාරයාව දකිනවා. මෙම තත්ත්වයන් පිළිබඳ මනෝ විද්‍යාත්මකව බැලුවහොත් මේ චරිතය මඟින් සංකේතවත් වෙන්නේ මේ තරුණියන්ගේ හිතේ තියෙන ආශාවන්. ඒ දේවල් ඉටුකරගන්න ඇතැම් විට ඔවුන්ට මාර්ගයක් නැහැ. කල වයසට විවාහ නොවීම මේ තත්ත්වයන්ට හේතු වෙනවා. ජීවිත අත්දැකීම් නොමැති තරුණ ගැහැනු ළමයින්ටත් යම් යම් ආශාවන් ඇති වෙනවා. ඒ ඇති වෙන ආශාවන් ඒ අයට සිහිනෙන් නින්දෙදි ඇති වෙන්න පුළුවන්.
සමහරවිට ඒ අය ඒ දේවල් යටපත් කරන්න හැදුවත් සැබෑ ජීවිතේදී ඒ හැඟීම් සිහිනෙන් මතු වෙනවා.
සමහර වෙලාවට යටි හිතේ ඇතිවන ආශාව කළු කුමාර චරිතය මඟින් නිරූපණය වෙනවා. මේ කාන්තාවන්ට සමහර වෙලාවට අවබෝධයක් නැහැ ඇත්තටම මේ මොකද වෙන්නේ කියලා. නමුත් ඔවුන්ට ඇතිවන හැඟීම පිට කරන්නේ ඒ කළු කුමාරයා පිළිබඳ අත්දැකීම් තුළින්.
ආශාව යටි හිතේ මින් නිරූපණය වුණත් එය සිය කැමැත්තෙන්ම ස්වාභාවිකවම ෙවන සිදුවීමක් නොවන නිසා තරුණ කාන්තාවෝ මේ තත්ත්වයට බිය වෙනවා. මේ බිය නිසා ඔවුන්ට මේ දේ කැමැත්තකට වඩා කරදරයක් බවට පත්වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට තමන්ගේ යටි හිතේ තියෙන ආශාවන් කාන්තාවන්ට මතුපිටට කියන්න බැහැ. තමන්ගේ මව්පියන්ටවත් ප්‍රකාශ කරන්න බැහැ. ඒ සංස්කෘතික බැඳීම් නිසා. එවැනි අවස්ථාවලදී මතුපිටින් ප්‍රකාශ කිරීමට නොහැකි ආශාවන් ප්‍රකාශ කිරීමේ අවිඥානික උපක්‍රමයක් ලෙස සංස්කෘතියට අදාළව මෙවැනි ප්‍රකාශ යටි සිතින් නිකුත් වෙන්නේ.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව කළු කුමාරයා වැහීම සාමාන්‍ය මනෝ විද්‍යාත්මකව තරුණ කාන්තාවන් තුළ ඇතිෙවන ප්රකාශනයක් මිස රෝගයක් සේ සැලකෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදීම තරුණිය තුළ අතෘප්තිකර මානසික ආශාවන් හෝ වෙනත් දරු පල නොමැති වීම නිසා ඇතිවන ගැටලුවක්. මෙය තරුණියන්ගේ දෝෂයක් ලෙස හඳුනාගත යුතු නැහැ. මෙම තත්ත්වයන් තරුණ වියේ ඇතිවන ස්වාභාවික ආශාවන් බව තේරුම්ගත යුතුයි. එ්ත් සමඟ කාන්තාවකට සහකරුවෙක් නොමැතිව ලතැවීමක් හෝ එසේ නොමැති නම් දරුවන් නොමැතිව දුක් වීමක් තිබේ නම් ඒ සඳහා අවශ්‍ය සමාජීය සහයෝගය නිසි වයසට වැඩිහිටියන් විසින් ලබාදෙනවා නම් මෙවැනි තත්ත්වයන් කාලයත් සමඟම අඩු වීමක් සිදු වෙනවා. ඇතැම් විට විවාහ ජීවිතයේ ආශාවන් ඉටු වුවත් දරුවන් නොමැති කාන්තාවන් ද මේ කළු කුමාර චරිතය දකින්නට පුළුවන්. එවැනි කාන්තාවන් විවාහ ජීවිතය පිළිබඳව අතෘප්තිමත්. මෙවැනි ගැටලු සමාජ ගැටලු ලෙස හඳුනාගෙන ඒවාට උදව් උපකාර ලබාදීම තමයි සිදු කළ යුත්තේ. ඇත්තටම මේ සංකල්පය පවතින දෙයක් නෙමෙයි. මූලිකවම සංස්කෘතික සංකල්පයක්.”
සටහන
ධනු විජේරත්න