උදේට පිටිකිරි වෙනුවට කැඳ එකක් බොමු ද?


 

ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය
ඉමාෂා උඩවත්ත

 

ස්වස්ථස්‍ය ස්වස්ථ රක්ෂණම්ආතුරස්‍ය විකාර ප්‍රශමනංච ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධානතම අරමුණු වන්නේ, නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමත්, රෝගී පුද්ගලයා රෝගී බවින් මුදවා ගැනීමත්ය. ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, රෝග වලට එරෙහිව  ක්‍රියා කිරීමටත්, ඕනෑම වයසක පුද්ගලයෙකුට පොදුවේ ආහාරයට ගත හැකි ඉතාම මෘදු ආහාරයක් වන කැඳ ඉවහල් වේ. 

 
ලංකාව වරින් වර අල්ලගත්ත විදේශීය ජාතිකයන් ලාංකිකයන් සතුව තිබුණු අසහාය ශක්තිය දැක එකල පුදුමයට පත් වුණා. ඒ පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. 
 
කොස්, දෙල්, අල බතල කාලා, කැඳ බීලා, ජීවිතේ ගැටගහගත්තු මිනිස්සුන්ගේ විර්යයට විදේශිකයන් බය වුණා. ඉතින් සිංහලයාගේ කොඳු නාරටිය බිඳින්නට මේ විදියට අපූරුවට මෙවැනි වදන් ඔවුන් විසින් සමාජගත කළා. 
 
එකම බොරුව කීප විටක් කියද්දී ඇත්ත කියලා පිළිගන්න සමාජය ඉදිරියේ, අන්තිමේ අපේ කැඳ කෝප්පේ පහළටම වැටුණා. පාලකයන්ගේ උප්පරවැට්ටිය වැඩ කළා. කැඳ බිවුවම ශක්තිය නැති වෙනවා කියා බොරු කියලා, මිනිස්සුන්ගේ ඔළු විනාස කළා. “කැඳ බීල වගේ” කියන කතාව අපේ සමාජයේ අද භාවිත වෙන්නෙ වැරදි විදියට. ඈලි මෑළි ගතියෙන් ඉන්න කෙනෙක් දැක්කම කැඳ බීල වගේ කියල කිව්වට, ඕකෙ ඇත්ත තේරුම මෙන්න මේකයි.
 
උදේට කැඳ බීපුවහම දවල් වෙනකොට හොඳට බඩගිනි වෙනවා. ආහාර රුචිය වර්ධනය වෙනවා. කොළ කැඳ කියන්නෙ ගොඩක් ගුණ වගේම රස පානයක්. ආහාරය හොඳින් පැසවී රස, රක්ත, මාංශ, මේද, අස්ථි, අස්ථි මජ්ජා, ශුක්‍ර යන සප්ත ධාතු වර්ධනය කරනවා. මස් මාංශ අනුභව නොකරන අයට කොළ කැඳ පානයෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම පහසු වෙනවා. කැඳ වීදුරුවක් කියන්නෙ රෝග ගණනාවකට සුව දෙන දිව්‍ය ඖෂධයක්.
 
හිස් බඩට බොන කැඳ වීදුරුවෙන් තමාගේ ශරීරයට අවශ්‍ය කරන පූර්ණ ශක්තිය ලැබෙනවා වගේම, ශරීරයේ යම් කිසි විසක් ඇත්නම් එය ඉවත් කරන්නටද ඊට පුළුවන්.
 
ආයුර්වේදයට අනුව කැඳ පෝෂ්‍යදායක, සෞඛ්‍යමත් සහ මෘදු ආහාරයක් ලෙස හඳුන්වනවා. එය අනෙක් ආහාරවලට වඩා ඉතා පහසුවෙන් ජීර්ණය වන අතර, ශරීරයේ තුන්දොස් වන වා, පිත්, හා සෙම්  සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ. කැඳ පානයෙන් බඩගින්න හා පිපාසය නැසේ.
 
මල, මුත්‍ර පහකිරීම පහසු කරයි.
ආහාර රුචිය වර්ධනය කරයි. සම පැහැපත් කිරීමට සහ ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය කිරීමට උපකාරී වේ. ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කර ආයුෂ වැඩි කරයි. ශරීරයට වාජීකරණ ශක්තිය ලබා දේ.
 
වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙක් හුරුව සිටින්නේ, උදෑසන අවදි වූ විට පිටිකිරි වීදුරුවක් පානය කිරීමටයි. එමෙන්ම ආදි කාලයේ නොතිබුණු බොහෝමයක් බෝ නොවන රෝග ඉතා ශීඝ්‍රයෙන්ම සමාජය ගිල ගනිමින් සිටින වාතාවරණයක පහසුවෙන්ම සාදාගත හැකි කැඳ වර්ගයක් පිටිකිරි වෙනුවට ආදේශ කර ගැනීම බොහෝ සෙයින් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දේ.
 
ධාන්‍ය වර්ග සහ දේශීය කොළ වර්ග භාවිතයෙන් සාදා ගන්නා කැඳ මඟින් ඒවායේ අන්තර්ගත  ගුණ  ශරීරයට ලබා ගත හැකිය. කැඳ සාදාගැනීමට භාවිතා කරන අමුද්‍රව්‍ය මත ප්‍රතිලාභ එකිනෙකට වෙනස් වේ. බත් කැඳ ,කිතුල් පිටි කැඳ, කුරක්කන් කැඳ, ඕට්ස් කැඳ, කොහිල කැඳ, සව් කැඳ වැනි ධාන්‍යමය කැඳ වර්ග මෙන්ම කරපිංචා, මුකුණුවැන්න, හාතවාරිය, ගොටුකොළ, හීන් බෝවිටියා, පොල්පලා, මොනරකුඩුම්බිය, රණවරා වැනි කොළ කැඳ වර්ගද ශ්‍රී ලංකාවේ ප්‍රචලිතය.
 
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත, කෂාය යන ෂඩ් රසයම කොළකැඳවල අඩංගු වන අතර, නූතන විද්‍යාවට අනුව කාබෝහයිඩ්‍රේට්, විටමින්, ප්‍රෝටීන, ඛනිජ ලවණ, තෙල් හා මේදය, තන්තු, ජලය යන පෝෂණ සංඝටක අඩංගු වේ.
 
ඉක්මනින්ම පහසුවෙන්  සාදාගත හැකි කොළ කැඳ වර්ග  කිහිපයක ගුණ ගැන අපි දැනගමු.
 
  • කරපිංචා කැඳ
ඉතා පහසුවෙන් ම සොයා ගත හැකි කරපිංචා සෙම සහ වාත නාශනය කරන, ආහාර අරුචිය, අජීර්ණය මෙන්ම විවිධ උදරගත රෝග වලට ඉතා ගුණදායක පානයකි. එමෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටද කරපිංචා හොඳ ඔසුවකි.
 
  • ගොටුකොළ කැඳ
මතක ශක්තිය වර්ධනය කරන අතර, සමේ රෝග ඇතිවීම පාලනය කර සම පැහැපත් කරයි. පීනස රෝගීන්ට සහ කිරි දෙන මව්වරුන්ටත් ඉතාම ගුණදායක කැඳ වර්ගයකි. පිළිකා රෝගීන්ට, අධිරුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ටත් සුදුසුය.
 
  • මුකුණුවැන්න කැඳ
ඇස් පෙනීම වර්ධනය කරන අතර, ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. ශරීරයේ විෂ නසන අතර, වාජීකරණ ගුණයෙන් යුක්තය. මලබද්ධය, හිසරදය, පීනස සහ අක්මා රෝග සහිත අයටද මෙය ඉතාම ගුණදායකය.
 
  • මොනරකුඩුම්බිය කොළ කැඳ
අක්මා රෝග දුරු කරයි. මාන්දම දුරු කරයි. බඩගිනි ඇති කරයි. ආහාර දිරවීම පහසු කරයි. සෙංගමාලයට ගුණයි. රත්පිත් හා දැවිල්ල නැති කරයි.
 
  • ඉරමුසු කැඳ
චර්ම රෝගවලට ගුණදායක පානයක් වන අතර මුත්‍රා දැවිල්ල අඩු කරයි. පණු රෝග, කක්කල් කැස්ස, සෙම් රෝග සඳහා ද ගුණ දෙයි.
 
  • පොල්පලා කැඳ
මුත්‍රා මාර්ගයේ හට ගන්නා ගල් දිය කරන පොල්පලා කැඳ ශරීරයේ විෂ බැහැර කරයි.
 
  • හාතවාරිය කැඳ
ශරීරයේ විෂ නැති කරමින් ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.
 
  • වැල් පෙනෙල කැඳ
සරු භාවය ඇති කරන අතර, අධික රුධිර පීඩනය අවම කරයි. පිළිකා වළක්වන ගුණය සහ ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරිත්වයකින් පවත්වා ගැනීමට උපකාරී වේ. රක්ත ශෝධනය කරයි.
 
  • කුප්පමේනියා කැඳ
සෙම් රෝග දුරු කර පීනස රෝගයද සමනය කරයි. කැස්සට ගුණ දෙන අතර සමනය කරන අතර ශරීරයේ විස නසයි.
මේවාට අමතරව විවිධ රෝග වර්ග සුව කිරීමට විශේෂිත වූ කැඳ වර්ග පිළිබඳව ද පොත පතෙහි සඳහන්ව ඇත.
 
උදාහරණ : එළබටු කොළකැඳ,
 
වැල් තිබ්බටු කොළ කැඳ, කීකිරිදිය කොළ කැඳ, පැණි  ඔළිඳ කොළ කැඳ, නීරමුල්ලිය  කොළ කැඳ, යකිනාරං කොළ කැඳ.