ඌරන්ට ඇටවූ විදුලිය උගුලට බිලිවූ අසරණ දරු පවුල


වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ලසන්ත බාලසූරිය මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරමින්.

 

 

විදුලිය රැහැනක පැටලී එකම පවුලේ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ ලේළියගේ හදිසි වියෝව නිසා මාතලේ, උකුවෙල, ගුරලවෙල ගම්මානයම එකම මළගෙයක් වී තිබේ.   
උකුවෙල, ගුරලවෙල ප්‍රදේශයේ වල් ඌරන්ට ඇටවූ නීති විරෝධී විදුලි රැහැනක පැටලී එකම පවුලේ පියා, මව සහ ලේලිය මිය ගියේ සසරේ පතාගෙන ආ සිද්ධියක් ලෙසය.   
ගුරලවෙල ගම්මානයේ කුඹුරු ගොවිතැන් වල් ඌරන්ගෙන් බේරාගැනීම සඳහා විදුලිය රැහැන් ඇද ආරක්ෂා කර ගැනීම පුරුද්දක් වී ඇති බව ගම්වාසීන් සමග කතා කිරීමේදී අපට වැටහුණි. 
 


ජීවිතවල වටිනාකම නොදැන අනාරක්ෂිත ලෙස මෙම විදුලිය රැහැන් අදින්නේ මස් කෑමට ගිජු මිනිසුන්ද නැත්නම් සත්‍ය වශයෙන්ම තම ගොවිතැන් ආරක්ෂා කරගැනීමටද යන්න ප්‍රශ්නාර්ථයකි.   
උකුවෙල නගරය පසුකොට ටික දුරක් ගොස් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් වමට හැරී යන විට ගුරලවෙල ගම්මානය හමුවේ. පාර දෙපස සුදු කොඩි ඔසවා තිබු අතර මේ මහා විපත දරාගත නොහැකිව සොබාදහමද කම්පා වී තිබෙන බව හැඟීගියේ අහසද කඳුළින් බරව ඇති සෙයක් පෙනීගිය බැවිනි. වෙල් යායට මදක් ඉස්මත්තේ නිවස පිහිටා තිබේ.   


ප්‍රදේශයම විටෙක මහත් අන්ධකාරයකින් වැසී තිබෙන්නේ සොබාදම් මාතාවද කම්පා වී ඇති නිසා යැයි මට සිතේ. වැහි අන්ධකාරය මැද මළ ගෙදරට ගොඩවූ මට දැකගත හැකිවූයේ සාලය මැද අවසන් නින්දේ පසුවන මව, පියා සහ ඔවුන්ගේ ලේළියයි.   
බුදු වදනට අනුව මරණය උරුමය. එහෙත් එකම පවුලේ පියා, මව සහ ලේලිය අවසන් ගමන් යන්නට අවසන් නින්දේ පසුවන අයුරු දරාගත නොහැකිය. ‘අනේ හපොයි, මොන විපතක් ද මේ’ කියමින් හඬා වැටෙන්නේ අකල්හි සිදුවූ විපත නිසාවෙනි.   


 මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගුරලවෙල දකුණ පදිංචිව සිටි ජී.ජී. වීරසේන (65) තිදරු පියා හා බිරිද ඩී.ජී. මල්ලිකා (53) හා පුතාගේ බිරිඳ ඉරේසා ශාන්ති අමරජිව (30) දෙදරු මවකි.   

 

නැගනිය විලාප දෙමින්.

 


මියගිය වීරසේන මහතාගේ බාල දියණිය වූ දුලිකා ශ්‍යාමලි අනතුරින් දිවිගලවා ගෙන ඇත්තේ හාස්කමකින් මෙනි.   
මියගිය වීරසේන මහතා සවස කුඹුරට යාම පුරුද්දක් කරගෙන සිටියේය. වෙනදා වගේම එදිනද කුඹුරට ගොස් ඇත්තේ ජලය හැරවීමට විය හැකිය. සවස 6 ට පමණ නිවසින් පිටත්වූ වීරසේන රෑ බෝවනතෙක්ම නිවසට නොපැමිණීම පිළිබඳව මල්ලිකාගේ සිත කලබලයට පත්විය. මල්ලිකා ලේළියට සහ දියණියට කියා ඇත්තේ තාත්තා තාම ගෙදර ආවේ නැති බවය. බිරිඳ මල්ලිකා යුද හමුදාවේ සේවය කරන පුතුට දුරකථන ඇමතුමක් දී පැවසුවේ ‘පුතා, තාත්තා තාම ගෙදර ආවේ නැහැ. අපි පොඩ්ඩක් වෙල පැත්තේ බලන්නම්’ කියාය. ඒත් පුතා පවසා ඇත්තේ, ‘වෙලේ බලාගෙන යන්න කරන්ට් කම්බි ඇදලා ඇති’ කියාය. එහෙත් රෑ දහය වෙන තෙක්ම පියාගේ නොපැමිණීම නිසා, බිරිඳත් ලේළියත් දියණියත් පියා සොයා වෙල් යාය පැත්තට ගියෝය.   


අහෝ සිදුවූයේ කිසිවකු අපෙක්ෂා නොකළ දෙයකි. මල්ලිකා අම්මාටද පය පැටලී කම්බිවල පැටලී විදුලි සැර වැදුණේය. සියලු දෙනා කෑ මොර දුන්නේ මුළු ගුරලවෙලම දෙවනත් කරමිනි. ලේළිය වූ ඉරේෂාද මව බේරා ගැනීම සඳහා අතින් ඇල්ලු වත් ඇයටද විදුලිය සැර වැදී වෙල් යායට වැටුණි. නැගනිය අම්මාත් අක්කාත් අල්ලාගැනීමට උත්සාහ දැරුවත් එය පලක් නොවීය. ඇයගේ අතට විදුලි සැර වැදිණි.   
දෙදෙනාගේ කෑ ගැසීම ප්‍රදේශයම මහත් දෝංකාරයක් දුන් අතර ගම්වාසීන් වහා පැමිණ මල්ලිකාත් ඉරේෂාත් මාතලේ මහ රෝහලට ඇතුළත් කරන විටත් මෙලොව හැර ගොසිනි.   
පසුව වෙල් යාය පීරා වීරසේන මහතා සොයන්නට විය. කම්බි පොට අත්දෙකෙන් අල්ලාගෙන උපැස් යුවළ පලඳවාගෙනම වීරසේන මහතා අවසන් ගමන් ගොස් වැටීසිටියේ කුඹුර මැදය. නිවස ආසන්නයේ ඇති කඩයට යාමටද පුරුද්දක් ව සිටි බවත් ඒ එන අතරේ මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුවන්නට ඇති බවත් පවුලේ ඥාතීහු පැවසූහ.   
එකම දියණිය වන දුලිකා හැඬූ කඳුළින් මෙසේ පැවසුවාය.   


‘තාත්තා රෑ බෝ වෙන විට ගෙදරට එනවා. ආවේ නැති නිසයි “තාත්තා බලන්න අම්මයි, අක්කයි අපි ගියේ. අම්මයි අක්කයි තාත්තයි. බේරගන්න බැරිවුණා. මං කොහමද ජීවත්වෙන්නේ. ඇය හඬමින් කියා සිටියේ ඒ අය අපිව දාලා ගියා, අයියලයි, මායි දාලා අම්මයි, තාත්තයි ගියා. තාත්තා රෑ වෙලා ගෙදර එන නිසා පරක්කුවට අක්කයි මායි අම්මයි බලන්න ගියේ. අපි හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඇයි අපටම මෙහෙම වුණේ යැයි කියමින් ඇය විලාප දෙමින් හඬමින් පැවසුවාය.   
‘‘කාටවත් කරදරයක් නොමැතිව හිටිය පවුලකට තමයි මේ කරදරය වුණේ. මුළු ගමම මළගෙයක් වෙලා. හීනෙකින්වත් මේ වගේ විපතක් වේවි කියල අපි හිතුවේ නැහැ.’’ එම අසල්වාසී ඥාති කාන්තාව කීවේ කඳුළු පිරි දෙනෙතිනි.   
වීරසේන සහ මල්ලිකා මහත්මියට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියකි. පුතුන් දෙදෙනා ආරක්ෂක අංශයේ එක් අයෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අතර අනෙක් පුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරයි. ගමේ කා අතරත් හොඳින් ජිවිතය ගෙවමින් සිටි මේ දෙදෙනාට සිදුවු විපත පිළිබඳ ගම්වාසීන් තුළ ඇත්තේ මහත්වූ වේදනාවක් බව ඔවුන් සමග කතා බහ කිරීමේදී වැටහුණි.   


යුද හමුදාවේ සේවය කරන පුතුගේ ආදරණීය බිරිඳ වන ශානිකා මහත්මියගේ වියෝවෙන් කුඩා දරුවන් දෙදෙනා දැඩි කම්පනයට පත්ව සිටිති. අවුරුදු එකහමාරක වයසේ පසුවන දියණියක් සහ අවුරුදු දෙකහමාරක පුතෙකු සිටින අතර මව නිවසට පැමිණෙන තුරු ඔවුහු කිසිවක් නොදැන මග බලා සිටිති.   
එක් අයෙකු විසින් සිදු කළ යම් නීති විරෝධි ක්‍රියාවක් නිසා පවුල් දෙකක්ම අද වෙන විට අතරමංව සිටිති. දරුවන් දෙදෙනෙකුට සෙහෙනෙබර අම්මා කෙනෙක් අහිමිව ගොස් තිබේ. දහසක් බලාපොරොත්තු තබාගෙන සිටිමින් ජිවිතයේ සැදෑ සමය ගත කරමින් තම දරුවන් ගැන සිතා සතුටින් සිටීමට තිබූ කාලය ඔවුන්ට නැතිව ගොස් ඇත්තේ නොමිනිසුන් පිරිසකගේ ක්‍රියාවක් නිසා බව ගම්වාසීහු කිහිප දෙනෙකුම කියා සිටියහ.   

 

 


සිද්ධියවූ ස්ථානයට පැමිණි මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ලසන්ත බී. බාලසූරිය මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකරන ලදී.   
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත වහා පරීක්ෂණ ආරම්භ කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සරත් ධර්මකිර්ති මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.   
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පිට එම කුඹුරේ අයිතිකරු සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා (31දා) නියෝග කළේය.   
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ උකුවෙල, ගුරලවෙල උතුර, අංක 85 ඒ, දොඩම්දෙණියේ ගෙදර ධර්මසේන (59) යන අය සහ උකුවෙල, ගුරලවෙල, අංක 852 පදිංචි මල්පෝරුව මුදියන්සේලාගේ ප්‍රියංගනි යන අයවේ.   


මාතලේ මූලස්ථාන පොලිසිය මගින් මෙම සැකකරුට සහ සැකකාරියට එරෙහිව අනවසරයෙන් විදුලිය රැහැන් ඇද තිදෙනෙකු මරණයට පත්කිරීම යටතේ චෝදනා ගොනු කර තිබූ අතර පැමිණිල්ල වෙනුවෙන් මාතලේ මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ගයාන් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත පො.සැ 24233 හෙට්ටිආරච්චි මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.   
සිද්ධිය පිළිබඳව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ඩී.එස්.පී. සන්දනායක මහතාගේ උපදෙස් මත මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති සරත් ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.   
නව වසරක් උදාවත් සමග ගම්මානයේ නිවෙස්වල කිරිබත් ඉදුනත් වීරසේන මහතාගේ නිවසේ පළමු දින මළ බත ඉදුණේය.   


මියගිය වීරසේන මහතා ඇතුළු තිදෙදෙනාගේ දැස් දන් දී තිබුණේ තව කෙනෙකුට එම දෑස්වලින් ලෝකය දකින්නටය.   
තිදෙනාගේම නිසල දේහයන් නිවසේ එක පෙළට තැන්පත් කර තිබු අතර මළ හිරු බැස යන හැන්දෑවේ නව වසරේ දුරුතු මහේ පළමු දින ගුරලවෙල පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරුණේ මුලු මහත් ගම්මානයම කම්පාවට පත්කරවමිනි.

 

 

සටහන හා ඡායාරූප - 
මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න සහ එම්.ඩබ්ලිව්. සෝමරත්න