කතාවක් ලිවීමේදී ප්‍රබන්ධයම විතරක් භාවිත කරන්න බෑ



පායිම්පත්වරය කාව්‍ය සංග්‍රහය සහෘදයින් අතට පත් කරමින් දමයන්ති ගල්පායගේ සිය ලේඛන දිවියේ මුල් පියවර තැබුවාය. කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඇය ගී පද රචිකාවියකි. මුල් කාලයේ දී කිවිඳියක් ලෙස ඇයගේ නිර්මාණ සහෘදයින් අතරට ගෙන ගියේ නව මාධ්‍ය හරහාය.

ඇයගේ ප්‍රථම නවකතාව වැන්ග්‍රො හිල්ස්/21 වේ. ඇය විසින් “කුලාන් ඔෂිරෝ සහ සේද”‍ නවකතාව පාඨකයින් වෙත ගෙන ආවේ පසුගිය වසරේ දීය. එම කෘතිය පිළිබඳව ඇය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව මෙම ලිපිය ඔස්සේ ඔබට ගෙන එන්නෙමු. 

 “කුලාන් ඔෂිරෝ සහ සේද”‍ ජපානය පසුබිම් කරගනිමින් ලියවුණ කතාවක්. ඔබ ජපානය වෙත ගොස් ලද අත්දැකීම් ද ඊට පාදක වූයේ?

දමයන්ති ගල්පායගේ

මගේ කතාව ජපානය පසුබිම් කරගෙන ලියවූවක් වුණත් මම ජපානය කරා ගිහින් නැහැ. මේ කතාව ඇතුළේ තියෙන කතන්දරය ගොඩනගද්දී මට ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වුණා. මම ඒක හුඟක් ආශාවෙන් කැපවීමෙන් කරපු වැඩක්.

 ඔබ එහි කෙටි කාලයක් හෝ ජීවත්ව නැත්නම් මෙවැනි අත්දැකීමක් ලියුවේ කොහොම ද? ඔබේ අධ්‍යයනය කොයි වගේ එකක් ද?

නිර්මාණයක් කරද්දි මම ඒ සඳහා යොදා ගන්න භාෂාව වගේම කාලය සහ ප්‍රදේශ ඒ ඒ චරිත පිළිබඳව අවබෝධයකින් යුතුව ලියන්න උපරිම උත්සාහ ගන්නවා. විශේෂයෙන් මේ කතාව ලියද්දි මට ජපානය ගැන බොහෝ දේ සොයා බලන්නත් ඒ සියල්ල තහවුරු කර ගනිමින් අධ්‍යයනයක් කරන්න වුණා. ඇත්තටම කිව්වොත් මම මනසින් ජපානය පුරා ඇවිදිමින් කතාව ලිව්වා කිව්වොත් නිවැරදියි. මම කාලයක් තිස්සේ ජපානය ගැන කියවල තිබුණා. කුලාන් ඔෂිරෝ සහ සේද කතාන්දරයට වඩාත්ම පාදක වුණේ ජපානයේ ශිරකවා ගම්මානය. ජපානේ ඉන්න මගෙ යාළු‍වෝ ශිරකාවාගෝ ගම්මානයට ගිහිල්ලා මට අවැසි ස්ථාන පවා වීඩියෝ මගින් පෙන්නුවා. එම අවස්ථාවන්වලදී මම ජපානයෙ ඇවිදිනවා වගේ හැගීමක් මට දැනුණේ. ජපන් සංස්කෘතිය එහි ආහාර පාන වගේම ආහාර ගන්නා විදිහ විශේෂයෙන්ම මල් බෙරි සහ සේද නිමැවුම පිළිබඳව බොහෝ කාරණා මට සොයාගන්න හැකි වුණා. මුතු සොයා කිමිදුම් කළ ඇමෙරිකාවේ ජීවත් වෙන ජපන් වයෝවෘද්ධ කාන්තාවක් කියූ බොහෝ දේ මගේ කතාව තවත් වර්ණවත් කළා. ජපන් වැසියන් කීපදෙනෙක් මම සොයපු තොරතුරුවලට දීපු උත්තර සියල්ල මට බොහෝ වටිනා සම්පත් වුණා. ඒවා සිංහලට පරිවර්තනය කරලා දීපු රාජ්‍ය නිලධාරින්ට ස්තුතිවන්ත වෙන්න ඕනැ. ඇත්තටම මේ නිර්මාණයේදී මගේ විදෙස් මිතුරන්ගෙන් ඒ ලැබුණ සහයෝගය ඉමහත්.

 අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීමේ දී ප්‍රබන්ධයම පමණක් ඇතුළත් කරන්න බැහැ නේද?

අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කරන අවස්ථා වගේම ප්‍රබන්ධයකදී අපේ අත්දැකීම් එකතු වෙනවා. කතාවක් ලිවීමේදී ප්‍රබන්ධයම විතරක් භාවිත කරන්න බැහැ. සිද්ධීන් ස්ථාන චරිත සැබෑ ඒවා තියෙන්නත් පුළුවන්.

ඒ සියල්ල මනංකල්පිත අයුරින් කතාව ඉල්ලා සිටින අයුරින් නිර්මාණය නිම වෙන්න පුළුවන්. නිර්මාණයකදී ලේඛකයා සහ තේමාවන් අනුව ඔය කාරණා වෙනස් වෙන්න පුළුවන්.

 මෙම කෘතියේ භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

 නැහැ. මට එහෙම විශේෂ අභියෝගයක් වුණේ නෑ,  මේ කතාව හුඟක් ආසාවෙන් කරපු දෙයක් නිසා. මොකද මගේ අධ්‍යනය සහ සූදානම නිසා කතාව ඉල්ලා සිටින නිමාව දක්වා සැහැල්ලු‍වෙන් ලියාගෙන යන්න පුළුවන් වුණා. වසර දෙකක් පමණ මට මෙහි අඩුපාඩු සකසමින් නිමවන්න පුළුවන් වුණා.

 කවිය වැඩ බිම ලෙස යොදාගත් ඔබ දැන් නවකතාව තුළ ඔබේ වැඩබිම සකසා ගනිමින් සිටිනවා. පාඨකයාට වඩා සමීප විය හැකි මාධ්‍ය මේ දෙකෙන් කුමක් ද?

කවිය කියන්නේ වෙනම මාධ්‍යයක්. තවමත් කවිය මගේ මූලික වැඩබිම. නවකතාවක් ලියනවට වඩා අමාරුයි කවි පොතක් ලියන එක. නවකතාව වුණත් ආයාස කර ලිවීමකට වඩා මම ආසයි නිරායාස ලියවීමකට. ඒක පහසු නැහැ. කවි නවකතා ඔය කොයිම දේ ලිව්වත් හොඳ අවබෝධයකින් ඒක මට තනියම විඳින්න පුළුවන් විදිහට මම ලියන්න උත්සාහ ගන්නව. මොකද ඒ නිර්මාණය මට විඳින්න පුළුවන් නම් මම දන්නවා එය තව බොහෝ දෙනෙක්ට විඳින්න පුළුවන් නිර්මාණයක් කියලා. ඔය මාධ්‍ය දෙකේම පාඨකයාට දැනෙන්න ලියන්න පුළුවන් නම් ඔවුන් ඒක වැලඳ ගන්න බව මට විශ්වාසයි.

 මෙවැනි නවකතාවක් ලිවීමේ අභිප්‍රේරණය ලැබුණේ කොහොම ද?

 මගේ අතට ලැබුණු පුංචි බීජයක් මහ ගහක් කරනව වගෙම එයින් වනාන්තරයක් නිමවන්න මගෙ කතාවෙ කතාන්දරයට පුළුවන් වුණා කියල මම හිතනව. ඒ වනාන්තරය ඇතුළෙ ගැහැනියක මවකගේ හැඟීම් ගළපන්න භාෂාව සහ සොබාදහම මානුෂී හැඟීම් ඒ ආදරය තමයි මට ලැබුණ අභිප්‍රේරණය.

විශේෂයෙන්ම මේ කතාව ලියද්දි මට ජපානය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. හැමදාමත් මගේ හිතේ නළියපු පට පණුවා සහ සේද, පටපණුවා සුන්දර සේද නූල් දෙන්නෙ රජ වරුන් රැජිනියන්, ධනවතුන් සරසන්න. පට පණුවගේ මරණයෙන් පස්සේ තමයි මේ සුන්දර සිල්ක් රෙදි නිම වෙන්නේ. දහස් ගණනක් පට පණු ශ්‍රමිකයන්ගෙ මරණයෙන් පස්සෙ. සේද නිමැවුම සිදුවෙනව.

ඒක ශෝකාන්තයක්. විදේශීය රටකට ඉගෙන ගන්න ගිය ගෑනු ළමයෙක් විශේෂයෙන්ම වෙනත් රටකදී කොහොම ජීවිතය ගෙවාවිද කියලා මට නිතරම හිතුණ දෙයක්, ඒක වසර ගානක් අතීතයට දාලා මට හිතන්න ඕනැ වුණා. මවක්, ගැහැනියක්, සැලඹියක් මගේ හිත ඇතුළේ වැඩුණා. එහෙමයි මේ කතන්දරය ගොඩනැගෙන්නේ. 

මොනතරම් කුණාටු අතර වුණත් කඳුළු හංගන් ඉලක්කය කරා යන්න ගැහැණු සවිමත් කියල මට විශ්වාසයි. මේ හැම දේකම නිර්මාපකයා කාලය සහ සොබාදහම. අපි හැමෝමත් ඒ කාලයට අනුගතයි. කතාව එක්ක ජීවත් වෙලා ඒ කතන්දරේ ඇතුළේ ඇවිදලා ඒ චරිත එක්ක සමීපව ඉඳලා ඒ මතක අරන් අපිට එන්න පුළුවන්නම් මං හිතන්නේ ඕනැම කතාවක් එහෙම වෙනවනම් හරි සුන්දරයි. එතකොට ඉබේම ඒ කතන්දරය මතුවේවි.


  • නවෝද්‍යා ජයවික්‍රම