1998 වර්ෂයේ “නගරයට ආ මුවැත්තිය” හා 2003 වර්ෂයේ “නිශ්ශබ්ද” ලෙසින් කාව්‍ය කෘති දෙකක් ජනගත කළ අනුර කේ. එදිරිසූරිය විසි වසරක දිගු නිහැඬියාවකට පසු “ආදර වස්තුවක් කියන්නෙම පිස්සුවක්” නමින් තම අභිනව පද්‍ය සංග්‍රහය එළිදැක්විණි. කෘතියේ හැඳින්වීමේ දී මෙතරම් දිගු කාලයක් නිහඬ වීම පිළිබඳ කවියා මතු කරන හේතු සාධක මම හදවතින් ම අගයමි. කාව්‍යකරණය පිළිබඳ නිවැරදි අධ්‍යයනයකින් තොර ව වාණිජ අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස ම රැල්ලට කෘති ජනගත වන යුගයක තමන්ගේ නිර්මාණ පිළිබඳ නිවැරදි තක්සේරුවක සිටීම අගනේ ය.
“නගරයට ආ මුවැත්තිය ට, නිශ්ශබ්ද ට සමාන හෝ ඒවා ඉක්මවා යා හැකි කවි කිහිපයක් ඔබ අත තබන්නට හැකිවේද? යන මගේ සැකය; කෙටියෙන්ම, “අනුර කේ ට දැන් කවි බැහැ” කියා ඔබෙන් අසාගන්නට ආත්ම ශක්තියක් මට නොතිබීමය.”
අනුර තම කාව්‍ය නිර්මාණ පුළුල් සමාජ වපසරියක් ආවරණය කරමින් නිර්මාණය කිරීමට උත්සහ කර තිබේ. එය මෙම කාව්‍ය සංග්‍රහය රස විඳීමේ දී මනාව ප්‍රත්‍යක්ෂ වේ. කාව්‍ය නිර්මාණ හතළිස් එකක් අන්තර්ගත අතර අනතුරුව තවත් කවි දහයක් ඔහුට ම ආවේණික අලුත් අත්හදා බැලීමකින් යුක්තව නිර්මාණය කර තිබේ. එලෙසම මේ එකම කාව්‍ය නිමවුමකට වුව තේමා හිසක් නොමැති වීම මෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂී තාවයකි.
ජාති, ආගම් කරපින්නා ගෙන සිටිනා මිනිසුන්ට අනුරගේ දෙවන කවි පන්තිය පරමාදර්ශයක් ලෙස මම සලකමි.
“බොකුටු කෙස් ඇති
මහලු තල් ගස
බේරෙ වැව ළඟ
කල්පනාවක”
කථකයා කවියා ම ය. ඔහු මහලු මිනිසකුගේ වාග් සිත්තමක් පාඨක මනසෙහි චිත්‍රණය කරයි. ‘බොකුටු කෙස්’ හා ‘මහලු’ පද ඔහුගේ බාහිර ස්වරූපය රූපණය කරයි. ‘තල් ගස’ යනු උතුරු ප්‍රදේශයට ආවේණික ශාකයකි. එසේ නම් කවියා අපට චිත්‍රණය කරන්නේ දමිළ වයෝවෘද්ධ මිනිසකු හුදෙකලාවේ කල්පනාවක නිමග්නව සිටිනා චිත්ත රූපයකි. ඔහුට ඔහුගේ ම අතීතය සිහිපත් වෙයි.
“සමසමාජේ පක්ෂෙ වැඩකට
කොළඹ ආවේ බොහොම ඉස්සර
දෙහිවලින් හිරයකුත් කරගෙන
බින්න බැස්සා ගෑනි සිංහල”
කවියා මේ මිනිසාගේ දේශපාලන ප්‍රතිපත්තිය සේ ම ආදරය හා විවාහය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔහු පෙනී සිටිනා අයුරු මැනවින් ප්‍රතියමාන කරයි. ඔවුන් දෙදෙනාගේ දරුවන් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග යන සියලු ආගම් අදහන දරුවන් සමඟ එකමුතුව කෙළිසෙල්ලම් කළ කාලය සිහිපත් කරයි. තමාගේ දරුවන් එසේ ජීවත්වන අවදියක ‘සිංහ ලේ’ යැයි අමුතු ආත්මාභිමානයක් ඇති කරගත් තරුණ පිරිසකගේ හැසිරීම සැබවින්ම ශෝකජනක ය. කවියා එහි පවත්නා සමාජ දේශපාලන ඛේදවාචකය මැනවින් සංනිදර්ශනය කරයි.
මෙහි අන්තර්ගත තෙවන කවිය ද රූපකාර්ථ බහුල පද්‍ය පන්තියකි. කංසා සුරුට්ටුවකින් ලබන පහස ඔහු පරිසරය හා සම්මුඛ කරන්නේ ඉතා ම මනරම් ලෙස ය.
“පිච්චි පිච්චී අළු වෙවී
ඇල් හුළං හා
සමනලුන් සේ
යන්නෙ මේ
දවසේ කන්දොස්කිරියාව”
කථකයා රැකියාවක නියැලෙන්නෙකි. ඔහුගේ වෘත්තිමය වටපිටාව ඝෝෂාකාරී ය. සවස් යාමයේ කංසා උගුරක් උරමින් ඔහු නිදහසේ කාලය ගතකරයි. ඉන් ලබන වින්දනය දවසේ කලහකාරී බව නැති කරයි. ‘සමනලුන්’ අහිංසක ය. තමන්ගේ පාඩුවේ මල් පැණි උරයි. කථකයා ද එලෙසම ය. ඔහු ද මින් අහිංසක සතුටක් භුක්ති විඳියි.
“ගංගානිගේ
නිල් දෙතොල් සාත්තුවෙන්
නිරන්තර කිතිකැවෙන
සල පතළ මළුවක”
කථකයා මේ පහස විඳින්නේ ගඟක් ආශ්‍රිතව ය. ඒ නිසා ම ගං දිය ඔහුගේ කකුල ස්පර්ශ කරයි. කවියා එය පබඳින්නේ ඉතා ම මනරම් ලෙස ය. සැබවින්ම මේ ‘ගංගා’ කථකයාගේ පෙම්වතිය හෝ බිරිඳ ද විය හැකි ය. කවිය අවසානයේ කථකයා විඳින මිහිරි බව කවියා රූපකාර්ථවත් ලෙස රූපණය කරන්නේ පරිසරය ද ඔහු හා මුසුව කංසා පහස විඳින බව පාඨක මනසෙහි නිරූපණය කරමිනි. කංසා දුම්වැටියේ පහස විඳීමෙන් පසු ඇති වන ‘පුරුෂ ශක්තිය රාජ සෙයියාවෙන්’ යන දෙපදයෙන් නිරූපණය කරයි. එහි සියුම් උපහාසාත්මක බවක් ද ගැබ්ව පවතියි.
“මදුරුවොත් දැන් යන්නෙ
සුවඳ විඳ විඳ
සිංදු කිය කිය
රාජ සෙයියාවෙන්
බිඟු සෙන් වගේ
නැළවි නැළවී”
පිය විප්‍රයෝගය යනු දරුවකුට දරාගත නොහැකි වේදනාවකි; කම්පනයකි. එකොළොස් වෙනි කවි පන්තියෙන් එවන් ශෝකාලාපයක් ගම්‍ය වේ. එක ම පවුලේ සහෝදරයකු සහ සහෝදරියක තම මිය ගිය පියා සිහිපත් කරන්නේ නත්තල් සීයාගේ ආගමනය හේතුකර ගෙන ය. ඔවුහු නත්තල් සීයාට නිවසට ආරාධනා කරන්නේ මෙසේ ය.
“අනේ නත්තල් සීයේ
ඔයා එනවා නම් මේ වතාවේ
අපේ තාත්තා වගේ එන්න ඕනේ
ඇඳ ගාව අපේ
තියන්නට හොරෙන්
චොකලට් අරන්
නැත්නම්
තරහ ම තරහයි හොඳේ”
පියා ජීවත්ව සිටිනා කාලයේ මේ දරුවන් දෙදෙනා සමඟ ඉතා ම ආදරයෙන් කාලය ගත කළ බව කවියා මෙම නිර්මාණය පුරා ම රූපණය කරයි. දරුවන් දෙදෙනාගේ පාසල් නිවාඩු සමය එළඹෙත්ම පියා ද නිවාඩු දමා ගෙදරට පැමිණෙන්නේ ප්‍රිය බිරිඳගේ නෝක්කාඩු මධ්‍යයේ ය. නමුදු ඒවා ‘දයාබර ඇනුම් පදයක්’ නිසා ම ඒ තුළ ගැබ්ව පවතින්නේ කුටුම්බයේ පවත්නා දැඩි ප්‍රේමණීය බව ය. මේ දරුවන් දෙදෙනාගේ පියාට අත්වූ ඛේදවාචකය කවියා පබඳින්නේ කවියේ කූට ප්‍රාප්තියේ ය.
“හැබැයි වෙඩි තියන පාරෙන්
එන්නෙපා හොඳේ”
මේ හේතුව නිසා ම දරුවන් දෙදෙනා නත්තල් සීයාට තාත්තා පැමිණි පාරෙන් නොපැමිණෙන ලෙස ආයාචනා කරයි. එය පාඨක හදවතෙහි සංවේගය වඩා තීව්‍ර කරයි. ඉන් කරුණා රසය නිරායාසයෙන් පිළිඹිබු වේ.
“හිමමුවාටත් වෙඩි වැදිලා
කරත්තෙත් කැඩිලා
ඔයාටත්
අපි බලන්නට
එන්න බැරිවෙයි
කවදාකවත්
අපේ තාත්තට වගේ”
4, 6, 8, 10, 12, 18, 22, 24, 28, 30, 31, 32, 36, 37, 40 සහ 41 අංක යටතේ නිර්මිත නිර්මාණ “ආදර වස්තුවක් කියන්නෙම පිස්සුවක්” කෘතියෙහි අන්තර්ගත ප්‍රථම කාව්‍ය නිර්මාණ හතළිස් එකෙන් මා රස විඳි නිර්මාණ වේ. එහි දී කවියා භාවිත කරන රූපකාර්ථවත් බස්වහර විශිෂ්ට ය. ඔහු සමාජයේ පවත්නා විවිධ ව්‍යසන අප හමුවට ගෙන එන්නේ අපූර්වත්වයෙනි. අනුර කේ එදිරිසූරිය සතු නිර්මාණ ප්‍රතිභාව ඉන් මැනවින් විශද වේ.
අනතුරුව රචිත කාව්‍ය නිර්මාණ දහය කවියා නැවුම් කාව්‍ය අත්හදා බැලීමක නිරත වූ බවට සාක්ෂි සපයයි. ඒ නිර්මාණ දහයම එකම ආකෘතියකින් පැදිකර ඇත. පළමු කවි ඛණ්ඩයේ ඇති කවි පේළි එකිනෙකට මාරු කරමින් නැවත නැවත රචනා කිරීම මෙහි විශේෂත්වය යි. නමුදු ඒ නිර්මාණ පෙර නිර්මාණ තරම් මා අපූර්වත්වයට පත්කිරීමට අපොහොසත් විය. විටෙක එය මගේ රසවිඳීමට බාධකයක් විය. පාඨකයාගෙන් පාඨකයාට කවි විඳීම විෂම නිසා ම එය තවත් කෙනෙකුට වෙන ම රසයක් ඇති කළ හැකි ය. ඉන් එක් කවක කොටසක් පහත දැක්වේ.
“කළු කපුටෙක්
නිල් අහසක පියඹන විට
නිල් අහසක
කළු කපුටෙක් පියඹන විට
අහසක නිල්
කළු කපුටෙක් පියඹන විට
කළු කපුටෙක්
අහසක නිල් පියඹන විට”
අශෝක කුලතුංග