ලොකු මල්ලී පන්සලේ සිටින බැව් දැන ගැනීමෙන් තමා මේ තරම් කලබලයට පත් වූයේ මන්දැයි දිනේෂි කල්පනා කළාය. පන්සල යනු ඔහුගේ වයසේ කොල්ලන් කැමැත්තෙන් යන තැනක් නොවේ. ඔහු පෝයට පන්සල් කැටුව යන්නටත් එකල අම්මා මහත් වෙහෙසක් දැරූ බැව් ඇයට මතකය.
“මල්ලි ඉන්නෙ පන්සලේ මිසක් නරක තැනක නෙමෙයි.. ඉතින් ඇයි ඔයා ඒක ගැන ඔච්චර කල්පනා කරන්නෙ..?”
ඇය දෙස විමසිල්ලෙන් බලා සිටි සකුණ විමසුවේය.
“මට දුකයි සකුණ අයියෙ.. හැම දෙයක්ම හරි ඉක්මනට වෙනස් වෙනවා කියලා මට දැනෙනවා..” ඇය හීල්ලුවාය.
“වෙනස් වෙන්නෙ නැතුව එක තැන තිබ්බොත් ලෝකෙ පැවැත්මකුත් නෑනෙ නංගී..”
සකුණ කීවේ සුපුරුදු ලෙසම බැරෑරුම් ස්වරයෙනි.
“මට ඒ වේගේ දරාගන්න අමාරුයි අයියෙ.. තාත්තයි, මල්ලිලයි, නංගියි හොඳට බලා ගන්නවා කියලා මම අම්මට පොරොන්දු වුණා.. ඒත් ඒක කරන්න බැරි වෙයි කියලා මට දැනෙනවා.. මං ලොකු වරදක් කළා වගේ ලොකු මල්ලී මාත් එක්ක තරහින් ඉන්නෙ..”
දිනේෂි හීල්ලුවාය.
“ඒ තරහක් විදියට පිට වෙන්නෙ තරහ නෙමෙයි නංගී අසරණකම.. ඔයාලටත් වැඩිය අම්මට ළං වෙලා හිටියෙ ලොකු මල්ලිනෙ.. එයාට ඒ දුක දරාගන්න අමාරුයි.. ඔයා තව ටිකක් මල්ලිට ළං වෙන්න.. එහෙම නැත්නම් එයාට හිතෙයි දැන් කවුරුවත් එයාට ආදරේ නෑ කියලා..”
ආච්චි දැරුවේ ද ඒ හා සමානම අදහසක් බැව් දිනේෂිට සිහිපත් විය. එහෙත් ඇයට එසේ සිතන්නට නොහැකි වූයේය. තමා ද අසරණ වී සිටින අවස්ථාවේ ලොකු මල්ලී තමාට සරණක් නොවී මඟහැර යාම ඇයට පෙනුණේ කුරිරුකමක් ලෙසිනි. අනෙක් මල්ලීත්, නංගීත් තවමත් පොඩි එවුන්ය. දැනුම් තේරුම් ඇති අයෙකුට සිටියේ ලොකු මල්ලී පමණකි.
“සමහර විට අම්මා කියයි කරන්න ඕන මොනවද කියලා..”
ලොකු මල්ලී පිළිබඳව දැනුන අවංකම හැඟීම් සකුණට වුව ද කියන්නට අකැමැති වූ ඇය අපේක්ෂා සහගතව පැවසුවාය.
“හැමදේම කිය කියා කරදර කරනකොට අම්මා යන්නම යයි.. ඒ හින්දා ඔයාට තනියෙන් විසඳාගන්න බැරි දෙයක් විතරක් කියන්න.. අනිත් එක අම්මා හැමදාම එන එකකුත් නෑනෙ.. මළවුන් වුණත් ඒ ලෝකේ මොන මොන රාජකාරි තියෙනව ද කියලා කාටවත් කියන්න බෑනෙ..” සකුණ කියාගෙන ගියේය.
දිනේෂි වුවමනාවෙන් ඇහුම්කන් දීගෙන සිටියාය. ඔහු කියන හැම වචනයක්ම සත්‍යයයි අදහන්නට ඇය මැලි වූයේ නැත.
“ඒත් ඉතින් එයා ඇවිල්ලා ඉන්නවා කියලා මම දැනගන්නෙ කොහොමද..?” ඇය ඇසුවේ බොළඳ හඬිනි.
“එයාට කියන්න එයා ආවා කියලා පේන්න පිච්ච වැල හොලවනවා වගේ මොකක් හරි සලකුණක් කරන්න කියලා.. එතකොට හරිනෙ..”
ඔහු යෝජනා කළේය. ඇය වහා එයට එකඟ වූවාය.
“මම යනවා නංගී.. අපි දෙන්නා මෙතන කතා කර කර ඉන්නවා දැකලා කවුරු හරි පදයක් හදන්න බැරි නෑ.. අර පේන්නෙ නැද්ද උඩහ ආච්චි මිදුලට වෙලා බලාගෙන ඉන්නවා.. කඩේම ගිහින් අම්මට කියන්නත් බැරි නෑ..” කියමින් සකුණ බයිසිකලය පැදගෙන යන්නට ගියේය. ඔහු මිතුරෙකුගේ නිවසකට යනවා විය යුතුයයි දිනේෂිට සිතිණි. ඇය පාරෙන් එහා පැත්තේ කණ්ඩිය මත ඇති නිවස දෙස බැලුවාය. එහි හිමිකාරිය වන උඩහ ආච්චි ඕපාදූප සෙවීමට දක්ෂ කාන්තාවකි. ඇය නළල මත අත තබාගෙන දෑස හිරුරැසින් මුවාකර ගනිමින් මේ පැත්තම බලා සිටියාය. “තවත් කතන්දරයක් හදාගන්න එපා..” යනුවෙන් ලොකු මල්ලී සැර කළ ආකාරයත් දිනේෂිට සිහිපත් වූයේය. ඇය වහා ගෙතුළට ඇදුණාය.
කෙසේ වුවත් සකුණ සමඟ කතාබහ කළාට පසුව සිත සැහැල්ලු වූ බැව් ඇයට දැනිණි. සිතට දැනෙන සෑම දෙයක්ම නිදහසේ කතා කරන්නට තරම් විශ්වාසවන්තයෙකු සිටීම ඕනෑම කෙනෙකුට ලොකු අස්වැසිල්ලකි. එහෙත් සඳසීලී නැන්දා කෙරෙහි ඇය තුළ සැඟවුණ බියක් තිබිණි. ඇය ඕනෑම කෙනෙකුට කියන්නට ඇති දෙයක් මුහුණටම කියන කට සැර කාන්තාවක වීම එයට හේතු වූයේය.
සකුණගේ තාත්තා හන්දියේ සරුසාරම සිල්ලර කඩයේ හිමිකරුවාය. ඔහු උදෑසනම කඩේට යන අතර අම්මා ගෙදර වැඩ අවසන් කර, සකුණ පාසලට ගිය පසුව කඩයට ගියාය. ඔවුන් කඩය වසා නැවත ගෙදරට එන්නේ රාත්‍රි හතත් පසුවෙද්දීය. අක්කා විවාහ වී කළුතර පදිංචි වී සිටින නිසා සකුණ නිවසේ හුදෙකලා වූයේය. ඔහු වැඩිපුර මිතුරු ඇසුරටත්, සමාජ සේවා කටයුතුවලටත් නැඹුරු වූයේ ඒ හුදෙකලා බව මකා ගන්නටය.
පාඩම් වැඩ අවසන්ව, සෙල්ලම් කරන්නට යන්නටත් කම්මැලි සිතී, තනිවම නිවසට වී සිටින අවස්ථාවල සිය කාමරයේ ජනේලයෙන් දිනේෂිලාගේ නිවස දෙස බලා සිටින්නට සකුණ පුරුදු වී සිටියේය. රැලි සායක් සහිත චීත්ත ගවුමක් ඇඳගෙන බොහෝ උද්ෙයා්ගිමත් ලෙස එහෙ මෙහෙ යන, මල්ලිලාත්, නංගිත් සමඟ සෙල්ලම් කරන, කෙළිකවට වදන් දොඩන දිනේෂි දැකීම ඔහුට නෙතට උළෙලක් බඳු වූයේය. ඒ නිවසේ සාමාජිකයන් අතර වූයේ තමාගේ නිවසේ මෙන් දුරස්තර සම්බන්ධයක් නොවේ. කිත්සිරි මාමා විටෙක දිනේෂි උකුළේ හිඳුවාගෙන සිටින ආකාරය මෙන්ම කරේ එල්ලාගෙන ලුණු ගෙන යන ආකාරයත් ඔහු දැක තිබිණි.
“කිත්තලාගෙ ගෙදර තරම් කෝලම් කොහෙවත් නෑ.. මේ හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න කෙල්ල කොච්චර හරි තාත්තගෙ තුරුල්ලෙ.. අම්මා දැන ගන්න එපායැ ඔහොම හැසිරෙන්න එපා කියලා කෙල්ලට අවවාද කරන්න..”
ඔහුගේ අම්මා දිනෙක අසල්වැසි කාන්තාවක හා කියනවා ඔහුට ඇසිණි.
“එයාට ළමයින්ට අවවාද කරන්න වෙලාවක් තියෙනව ද සඳා..? බලපන්කො කොච්චර හරි බඩේ බෙරේ බැඳගත්ත ගමන්මයි.. එකෙක් බඩෙන් එළියට එන්නෙ තව එකෙක් ඇතුළට ගියාට පස්සෙ ද දන්නෙ නෑ..” අසල්වැසි කාන්තාව පැවසුවාය.
ඉනික්බිතිව කාන්තාවෝ දෙදෙනා මහ හඬින් සිනාසුණහ. දිනේෂිට සිනාසීම ගැන සකුණගේ සිතේ නොසතුටක් උපන්නේය. දරුවන් දෙමව්පියන් සමඟ සුරතල් නොවී කුමන අතකට යන්නටදැයි ඔහු කල්පනා කළේය. ඔහුගේ තාත්තා නම් ගෙදර සිටියේත් කඩේ මුදලාලි සෙයියාවෙන්මය. සුගතදාස ලාබ පාඩු හැරෙන්නට වෙන යමක් ගැන කතා කළේනම් ඒ බොහෝ කලාතුරකිනි. කඩේ වැඩත්, ගෙදර වැඩත් නිසා ඔහුගේ අම්මාට ඔහු සුරතල් කරන්නට, ඔහුගේ පාසැල් වැඩ ගැන සොයා බලන්නට කාලයක් තිබුණේ නැත. අඩුම වශයෙන් ඔහු දිවා කාලයේ ගෙදර සිටින්නේ ද, නැද්දැයි සොයන්නටවත් ඇය වෙහෙසුණේ නැත.
“අද කාලෙ කෙල්ලන්ටත් වැඩිය පරිස්සම් කරන්න ඕන කොල්ලො.. කඩේම බදාගෙන ඉන්නෙ නැතුව කොල්ලා ගැනත් ටිකක් හොයලා බලපන්..” සමහරු සඳසීලීට උපදෙස් දුන්හ.
“මගේ කොල්ලා වරදක් කරන්නෙ නෑ කියලා මම හොඳටම දන්නවා.. අලුතෙන් හොයන්න දෙයක් නෑ..”
එකල ඇය ආඩම්බරයෙන් පැවසුවාය.
සැබැවින්ම සකුණ ගැන හොඳ මිසක් නරකක්නම් ඇයට කවදාවත් අසන්නට ලැබුණේ නැත. පාසැලේ ශිෂ්‍ය නායකයෙකු වූ ඔහු ගමේ පොදු වැඩවලදීත් නිතරම පෙරමුණ ගත්තේය. එහෙත් උත්සවයක්, කරදරයක් වැනි අවස්ථාවකදී හැරෙන්නට දිනේෂිලාගේ ගෙදරට නම් නිකරුණේ ගොඩවැදුනේ නැත. අම්මා කියා තිබුණේත් ගමේ ගෙවල්වලට සීමා සහිතව යන ලෙසය.
දිනේෂිගේ අම්මා කුසේ සිටි දරුවාත් සමඟම මියගිය පුවත ඇසූ විට නම් සකුණට දැනුණේ අනපේක්ෂිත මොහොතක කිසිවෙකු හිසට පොලු පහරක් දුන් විට දැනෙන්නාක් බඳු තෝන්තු ගතියකි. එම මරණය සිදු වී ඇත්තේ දිනේෂිගේ මල්වර නැකතේ දෝෂය නිසායයි කටින් කට කියැවෙද්දී ඔහු ඇයට දැඩිව අනුකම්පා කළේය.
“කවුරු නැතත් මම ඔයාගෙ පැත්තට ඉන්නවා දිනූ නංගී..”
ඔහු අධිෂ්ඨානශීලීව මුමුණා ගත්තේ ඒ දිනවලමය.
෴ ලබන සතියට ෴