කවුරුත් නොදුටු ඔවුන් දුටු පාර



ජපාන තානාපති ව්‍යාපෘතිය සඳහා 
ගිවිසුම ලබාදුන් දින ධර්මා සමඟ.


සියඹලාණ්ඩුව අයත් වන්නේ ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයටය. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ග්‍රාම සේවා වසම් 48කින් සමන්විත වේ. හරිත නිම්න බඳු වූ මෙම ගම්මාන පාරිසරිකව ගතහොත්, අතිශය සුන්දර භූමි කලාප ලෙස හැඳින්විය හැකිය. ගහකොළ අසිරිය පමණක් නොව, වන සතුන් බහුලව ගැවැසෙන අභයභූමියක් වැනි කලාපයකි. ඒ සුන්දරත්වයට මැදිව මෙහි දිවි ගෙවන්නේ ගොවිතැන් කරගෙන ජීවිකාව ගෙන යන පිරිසකි. 

වී සහ බඩඉරිඟු වගාවේ නියැළෙන මෙම ගොවීන් හට වගාවේ නියැළිය හැකි වන්නේ එක් කන්නයකදී පමණකි. නියඟයට මුහුණ දීමට සිදු වීම ඊට හේතුවය. ඉහත සඳහන් කළ ග්‍රාම සේවා වසම් 48න් 19ක් අයත් වන්නේ කොටියාගල සහ ඇතිමලේ යන ගම්මාන කලාපයන් ඇතුළතය. මෙකී ගම් අතරින් කොටියාගල යනු, කොටි, වලසුන්ගෙන් පමණක් නොව අලි ඇතුන්ගෙන් ගහන වූ තෝතැන්නකි. 

ලංකාවේ අසිරිය නැරැඹීමේ පිපාසාවෙන් සංචාරය කරන අයට මෙම ගම්මාන සොඳුරුතම පාරාදීසයන් වුව ද, මෙහි වෙසෙන ගම්මුන්ට නම් ජීවිතය ගත කිරීමට සිදුව ඇත්තේ අතිශයින්ම කටුක ලෙසටය. වෙසෙසින්ම කොටියාගලට අයත් දෙව්පුදගම සහ කරකොළගස්පිටිය ගම්මානයන්හි වෙසෙන ජනතාව හට ජීවිත ගත කිරීමට සිදුව ඇත්තේ නේක විද දුෂ්කරතා සහ ගැහැටවලට මුහුණ දෙමිනි.

පෙර තිබූ මග


එළි පෙහෙලි කළ පසු


ඔවුනට ගමන්කිරීමට සිදුව ඇත්තේ මඩ වගුරු, කටු ලැහැබ අතරින්, ඔවුන් විසින්ම සොයා ගන්නා ලද අඩි පාර යැයි කිව හැකි මාර්ග ඔස්සේය. මේ පළාතට අයත් පාසල් දෙකකි. එකක්, කොටියාගල පාසලය. අනෙක, ඇතිමලේ විජයපුර පාසලය. එම පාසල් සඳහා පැමිණීමට ළමුනට සිදුව ඇත්තේ දුෂ්කර කැලෑබද මාර්ග ඔස්සේ. කිලෝමීටර අටකට ආසන්න දුරක් ගෙවමිනි.

තම අනාගතය එළිය කරගැනීමට නම්, ළමුන් පාසල් යා යුතුම වූ නිසාවෙන් පාසල් ගියත්, ඔවුන් එය සිදු කරන්නේ ජීවිත ගැන අපේක්ෂා අත්හළ පිරිසක් ලෙසය. වල් අලි ප්‍රහාරවලට මුහුණ දීමට සිදු වීම ඊට හේතුවය. ගෙවී ගිය සමයේදී වල් අලි ප්‍රහාර නිසා කැකුළු වියේදීම දිවි අහිමි වූ මේ පළාතේ පාසල් සිසුන් ගණන අට දෙනෙකි.

ඊට හේතුව, කොටියාගල පාසලට ඒමට පවා පාරක් නොතිබීමය. ගමේ අසරණ ගොවි ජනතාව තමුන් දැඩි සේ මහන්සි වී, කැප වී එක් කන්නයක් වෙනුවෙන් දහදිය වගුරා, නෙළා ගන්නා අස්වැන්න විකිණීම සඳහා ගෙන යන්නේ ද එලෙසින්ම ජීවිත ගැන වූ බලාපොරොත්තු පසෙකලාය.

සියලු සැප සම්පත් සහ පහසුකම් යටතේ නගරයේ සුඛෝපභෝගී ලෙස ජීවත්වන ජීවිත හා සසඳා බලද්දී, මේ ගමේ ජීවත්වන මිනිසුන් ගෙවන ජීවිත මොන තරම් නම් ඛේදජනක ද යන්න මැනගත හැකිය.

වන ගහණයේ සිසිල, කෙත් සුළඟ ඔවුන්ගේ ගත නිවා දැමුව ද, පපු ඇතුළේ හටගත් ගිනි කඳු නිවාදැමීමට කිසිඳු වගකිව යුතු ආයතනයකට හෝ චරිතවලට නොපෙනුණ ද, රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘පෙර ගමන’ සංසදය හෙවත් ‘ගිල්ඩ්’ වෙත නිත්‍ය පාරක් තනා දීමට හැකි වූ බව ‘පෙර ගමන’ සංසදයේ මෙරට විධායක අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ලේඛිකාවක ද වන ධර්මා සමරනායක පවසන්නීය. මේ නිසා අද මෙම ගම්මානයන්හි වෙසෙන අල්පේච්ඡ ලෙස ජීවිත ගත කරන ජනතාවට යම් කිසි විදිහක අස්වැසිල්ලක් වී ඇතැයි ද ඇය සඳහන් කරන්නීය.

“අපි මීට පෙර වැසි දියෙන් ගොවිතැන් කරන විදිහට මේ පළාතේ ගොවීන් වෙනුවෙන් ව්‍යාපෘතියක් කළා. එකතු වන වැසි ජලය ඇළ මාර්ග දිගේ ඇවිත් සොරොව් වෙත ගලා යන විදිහේ ජල ව්‍යාපෘතියක්. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක දයාරත්නගේ ඉල්ලීම මත ඇතිමලේ විජයපුර ගොවීන් වෙනුවෙන් එදා ඒ ව්‍යාපෘතිය කළේ. ඒ නිසා කන්නයකට සීමා වී තිබූ වගාව කන්න දෙකේදීම කළ හැකි විදිහට ගොවීන්ට එය පහසුවක් වුණා. ඒක ඇත්තටම සාර්ථක ව්‍යාපෘතියක්.”

සංකල්ප ඇත්නම් කළ හැකි දේ බොහෝය. ධර්මා සමරනායක ප්‍රවීණ ලේඛිකාව යනු, එක’තකට ගෙවී ගිය ඇයගේ මාධ්‍ය දිවියේදී ලබාගත් හසළ දැනුම ජීවිතයේ සැඳෑ සමයේදී අපූරු ලෙස ප්‍රායෝගික භාවිතයකට යොමු කිරීමට උත්සාහ ගන්නා චරිතයක් වග පෙනී යයි. එසේ නොවන්නට, ඝන කැලෑවක් මැදින් පාරක් තනන්නට ඉදිරිපත් වන්නේ නැත.

“කරකොළගස්පිටියේ මිනිස්සු පාරක් නැතුව විඳින දුක අපි සියැසින් දුටුවා. ඒ ගමේ අය දෙවිපුදගමට වගේම දෙවිපුදගම අය කරකොළගස්පිටියට ඇවිදගෙන යන්න ගියොත් කිලෝමීටර් අටක් විතර යන්න වෙනවා. ඒ දුර ගියාම දවස ඉවරයි. හැබැයි ඝන කැලෑව ඔස්සේ පාරක් හැදුවොත් කිලෝමීටර් දෙක හමාරක් විතර දුරක් තියෙන්නේ.

ඒ නිසා අපි අපේ ව්‍යාපෘතියෙන් ඒ අභියෝගය බාර ගත්තා. ඒ විදිහට බාර ගෙන සාර්ථකව එම ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසුව අහිංසක ගොවි ජනතාවට අනතුරුවලින් බේරිලා ගමන් යන්න පුළුවන්. අද මේ පාර නිසා එයාලා ලොරි, මෝටර් සයිකල්, පාපැදි වගේ රථවලින් ගමන් ගන්නා හැටි දැක ගන්න පුළුවන්. ළමයින්ට පාසල් යාමටත් මේ මාර්ගය ලොකු හයියක් වෙලා. ඒ ඔක්කෝමත් වගේම අද ඒ ළමුන්ට වන සතුන්ගෙන් බේරිලා යන්න පුළුවන්.

මේ පාර තනද්දී පරිසරයට හානි නොවන අයුරින් නිර්මාණය කිරීමට හැකි වුණා. ජලය බැස යාමට තැන තැන සපත්තු පාලම් 6ක් මේ මාර්ගයේ තැනීම කළා. මේ පළාතේ ගොවි ජනතාව අද ඔවුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතුවල නියැළෙන්නේ හරිම සතුටින් බව පෙනී යනවා.

අපට මේ විදිහට පාරක් තනා, ඒ අයගේ ජීවිතවලට අරුතක් දෙන්න පුළුවන් වුණේ, ප්‍රජා මූල්‍ය සංවර්ධන ආධාර යටතේ, මෙරට ජපාන තානාපති කාර්යාලය හරහා ජපන් රජයෙන් මූල්‍යාධාර ලැබුණ නිසයි. 2022 දී අපි මේ ආධාර සඳහා ඉල්ලුම් කළේ. 2023 දී ව්‍යාපෘතිය නිම කළේ අනේකවිධ බාධක මැද.”

ධර්මා සමරනායක එලෙසින් කියා සිටියේ, වෙහෙසකර ව්‍යාපෘතියක අවසන දැනෙන ආත්ම තෘප්තිය දරා ගෙනය. මෙලෙසින් රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් වෙනුවෙන් යහපත් නායකත්වයක් ලබා දුන් නිසා ගම්මාන දෙකක් අතර පාරක් තැනීම කළ හැකි වූ බව ඇය පවසන්නේ අපමණ වූ සතුටකිනි. අද ඒ පාර දිගේ ගමන් කරන මිනිසුන් දෙස බලා ලබන සතුට මුදලට ගත නොහැකි බව ඇගේ අදහසය. මෙලෙසින් මාර්ගයක් ඉදි වීම නිසා, අද මේ සුන්දර පළාතට සංචාරකයන් පැමිණීම තවත් සුබ ප්‍රවාහයක් ලෙස ඇය සිහිපත් කරන්නීය.

සොරොව්ව බැඳ ඇති අයුරු


නිමා කළ පාරේ මඟ සළකුණු


“හාස්කම් ඇති කැබිලිත්ත දේවාලයට යෑමට වගේම ඓතිහාසික රුහුණු කතරගමට, යාල අභයභූමියට ගමන් ගැනීමේදී මේ පළාත සෙන්ටර් එකක් හෙවත් ඒ සෑම දිශාවකටම යාම සඳහා වූ මංසන්ධියක් ලෙස නම් කරන්න පුළුවන්. මේ පාර තැනීමට පෙර සංචාරකයන් මෙහි පැමිණියේ නැහැ. අද මේ වගේ මගක් ඇති වග දැනගත් පසු බොහෝ සංචාරකයන් මෙම ගම්මාන ඔස්සේ සංචාරය කිරීම නිසා අපේ සංචාරක කර්මාන්තයට එය හොඳ ආයෝජනයක් වෙලා. දේශීය සංචාරකයන් පවා මේ පළාත ඔස්සේ ගමන් කිරීම නිසා මෙහි ජනතාවට සහ ඔවුන්ගේ ජීවිතවලට ලොකු ආලෝකයක්, වටිනාකමක් ලැබී තිබෙනවා. මේ පළාත කෙරෙහි කිසිම රජයක වගකිව යුතු දේශපාලන චරිතයක අවධානයට ලක්ව තිබුණේ නැහැ. සමාජ ස්තරයෙන් කොන් වූ පළාතකට, සමාජයකට තමයි අපි මේ කටයුත්ත කර දුන්නේ. සමහර අය රාජ්‍ය නොවන සංවිධානවලට බණිනවා. ඒත්, එසේ බැණුම් නොඅසන ජනතාවගේ ප්‍රසාදයට පත්වූ ‘පෙර ගමන’ සංසදයට (පෙර ගමන ගිල්ඩ්) සහ අපේ සමස්ත කණ්ඩායම මෙන්ම ඒ කණ්ඩායමට නායකත්වය ලබා දීමට හැකි වීම මගේ පිනක්.”


          සටහන 

  • සඳුන් ගමගේ