කවුරුත් නොයන කොන් කළ ගමකට පා තැබූ ප්‍රාදේශීය ලේකම් ඉන්දික උඩවත්ත


 
‘‘සර් අපිට ඇතුළට එන්න පුළුවන්ද?” ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩක් ඇරුණු දොර අසල සිටි මිනිසුන් දෙදෙනාගෙන් එක්කෙ​ෙනක් ඇසුවේය.
‘‘පුළුවන් එන්න’‘
 
ප්‍රාදේශීය ලේකම් කීවේය.
 
පය ලූ සෙරෙප්පු දෙක ගලවා එළියෙන් තැබූ අමුත්තෝ බොහෝ බයාදු ලෙස කාමරයට ඇතුළු වූහ.
‘ඇයි සෙරෙප්පු දෙක ගලවලා ආවේ’ මේ කාමරේ පන්සලක්වත් දේවාලයක්වත් නෙවෙයිනෙ’
ප්‍රාදේශීය ලේකම් ඇසුවේ සිනාසෙමිනි.
 
‘‘ඒ වුණාට ඔබතුමා කියන්නෙ බොහොම වැදගත් සර් කෙනෙක්නෙ. අපි ගමේ ඉඳලා ආවට මේ කාමරේ ඇතුළටවත් එන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවෙ නැහැ සර්”
‘‘ඇයි”
 
‘‘අපි කළුගල්පතනෙ මිනිස්සුනෙ සර්”
 
ප්‍රාදේශීය ලේකම් ඇස් ලොකු කරගෙන ඔවුන් දෙස බැලු‍වේ කළුගල්පතන යනු මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමක් නොවේදැයි කුහුලිනි.
‘අපි රජ්ජුරුවන්ට බෙර ගහපු මිනිස්සුනෙ සර්. ඒ නිසා අපේ ගමට ආණ්ඩුවෙ මහත්තුරු කවුරුවත් රාජකාරියකට එන්නෙ නැහැ.  ඒ නිසා අපේ ගමේ ප්‍රශ්න ගොඩයි. සර් හොඳ සර් කෙනෙක් කියලා මිනිස්සු කියන නිසයි අපි අද ආවෙත්. සර්ටවත් කියලා බලමු කියල හිතාගෙන.”
ඉනික්බිති ඔවුහු ඔවුන්ගේ ප්‍රශ්න එකින් එක කියන්නට පටන් ගත්හ. ඒ ප්‍රශ්න සියල්ලට සාවධානව සවන් දුන් ප්‍රාදේශීය ලේකම් අන්තිමේ ඔවුන්ට තේ කෝප්ප දෙකක් ද ගෙන්වා දුන්නේය. ඔවුන් නික්ම ගියේ ප්‍රාදේශීය ලේකම්ට වැඳ වැටීමෙන් ද අනතුරුවය.
 
“මොකටද සර් ඒ මිනිස්සුන්ව සර්ගෙ කාමරේ ඇතුළට ගත්තෙ. කවුරුවත් මෙච්චර කාලෙකට ඒ මිනිස්සුන්ව ගණන් ගත්තෙ නැහැ. වෙන එකක් තියා කවුරුවත් ඒ ගමටවත් යන්නෙත් නැහැ.  තව සර් මට කියලා තේ වතුරත් ගෙන්නල දුන්නා.”
ඔවුන් ගිය විගස කාර්යාල කාර්ය සහායකයා ප්‍රාදේශීය ලේකම්ට දොස් නගන්නට පටන් ගත්තේය.
ඒ සියල්ලට සිනාසෙමින් සවන් දුන්  ඔහු අන්තිමේ දී මෙසේ කීවේය
 
“අපි ළඟදීම කළුගල්පතනෙ ජංගම සේවයක් තියනවා. ඒ ගමේ ඉන්නෙත් මැද දුම්බර ප්‍රාදේශීය සභාවට අයිති මිනිස්සු.”
‘‘සර්ට හැමෝගෙන්ම බැණුම් අහන්න වෙයි. ඔන්න මම නම් දන්නෙ නැහැ.”
කාර්යාල කාර්ය සහායක කීවේය.
ඔහු යාන්තමට සිනාසුණා පමණි.
 
මේ ප්‍රාදේශීය ලේකම් නමින් ඉන්දික උඩවත්තය.
මීට අවුරුදු පහළොවකට පෙර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීමක් ලද ඉන්දික මුලින්ම සේවය කළේ අම්පාරට අයත් උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. පසුව ගම්පොළට අයත් උඩ පළාතේය. ඉන් පසුව යටිනුවරය. දැන් මැද දුම්බරය.
වික්ටෝරියා ජලාශය, කුණ්ඩසාලේ,  හුන්නස්ගිරිය සහ නකල්ස් කඳු පන්තියට මැදි වූ වර්ග කිලෝමීටර් 150ක පමණ ප්‍රදේශයක් මැද දුම්බරට අයත්ය. එහි කොටසක් තේ වතු සහිත දුෂ්කර ලැයිම් කාමරවල ජීවත්වෙන තේ දළු නෙළන ජනතාවගෙන් සමන්විතය. තවත් කොටසක් වියළි කලාපීය දේශගුණයක් සහිත හේන්, කුඹුරු ගොවිතැන් කරන ජනතාවගෙන් සමන්විතය. අනෙක් ප්‍රදේශවල බහුතරයක් දෙනා කරන්නේ තම ගෙවතු ඉඩම්වල එළවළු  සහ වෙනත් භෝග වර්ග වගා කරගෙන ජීවත්වීමය. 
 
ඉන්දික උඩවත්ත පොරොන්දු වූ හැටියටම ඉක්මනින්ම ජංගම සේවය කළුගල්පතනට ගෙන ගියේය. කළුගල්පතන ගම පිහිටියේ  කොත්මලේ ඔයට පහළින් සුන්දර පරිසරයකය. තම කාර්ය මණ්ඩලය සමග ගමට ගිය ප්‍රාදේශීය ලේකම් ගමේ ප්‍රශ්නවලට හැකි පරිදි විසඳුම් දෙන්නට උත්සාහ ගත්තේය. ගම්වැසියන් සිටියේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.
“අපේ මුල්ගම කොත්මලේ ජලාශයට යටවුණු නිසා මේ කළුගල්පතනෙ අපව පදිංචි කෙරෙව්වා. එදායින් පස්සෙ මෙච්චර කාලෙකට අපේ ගමට ආණ්ඩුවෙ කියන කිසිම නිලධාරියෙක් ඇවිත් නැහැ. අපේ ගම කොන්කරලා තිබ්බෙ. ඒකයි අපිට මේ තරම් ප්‍රශ්න ගොඩගැහිලා තිබුණෙ. අද ඒ ප්‍රශ්න වැඩිහරියක් විසඳුණා.”
පුංචි කතාවක් පවත්වා පැමිණි නිලධාරීන්ට ස්තූති කළ ගම් ප්‍රධානියෙක් පැවසීය.
 
ඉනික්බිති දිවා භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබිණි. එහෙත් ඔවුන්ගෙන් බත් කන්නට කවුරුවත් මනාප වූයේ නැත. අන්තිමේ පළමු පිඟාන ගෙන බත් බෙදා ගත්තේ ද ඉන්දික උඩවත්තමය. 
මැද දුම්බර කොට්ඨාසයේ වැඩිම ප්‍රශ්න ඇත්තේ වතු කලාපවලය.
“ඇත්තටම වතු ප්‍රදේශවල මිනිස්සු ජීවත්වෙන්නෙ සත්තු වගේ. ලැයිමෙ එක කාමරයයි තියෙන්නෙ. ගෙදර හැමෝම ජීවත්වෙන්නෙ ඒ කාමරේ ඇතුළේ. වැසිකිළි නැහැ, යන්නෙ කැලේට. ලයිට් නැහැ, ඉන්නෙ කුප්පි ලාම්පු එළියෙන් හරිම අපිරිසුදුයි. ඒත් මම ලැයිම් ගානෙ ඇවිදිනවා. ප්‍රශ්න ගැන හොයලා බලනවා. ඒත් ඔවුන්ගෙ ප්‍රශ්න බහුතරයකට විසඳුම් දෙන්න මටත් පුළුවන් කමක් නැහැ. මේ ළඟදී පුංචි ළමයි වගයක් තනිකරලා දාලා උන්ගෙ තාත්තා වෙන ගෑනියෙක් අරන් ගෙදරින් ගිහින්. ළමයින්ගෙ අම්මා මියගිහින්. මේ ළමයි තුන්දෙනා  බලා ගන්නෙ වයසක ලොකු අම්මා කෙනෙක්. ඉතින් මේ ආරංචියට මම ගිහින් බලලා පුළු‍ පුළු‍වන් හැටියට ආධාර කළා. ඒ ළමයි ලොකුමහත් වෙනතුරු ඉගෙන ගන්න, ජීවත් වෙන්න මොකක් හරි වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ.”
 
ජන දුක විමසමින්...
 
 
‘‘තව දවසක් රජරට විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න ළමයෙක් විශ්ව විද්‍යාලෙන් අයින්වෙලා කියලා ආරංචියක් ආවා. මම ගිහින් හොයලා බැලු‍වා. දුප්පත්කම හින්දා වියදම දරාගන්න බැරිවයි ඒ ළමයා ඒ අසීරු තීරණේ අරන් තිබුණෙ. පස්සෙ මම දානපතියෙකුට කියලා ඒ ළමයගෙ ඉගෙනීම අවසන් වෙනතුරු ශිෂ්‍යත්වයක් හදලා දුන්නා.”
 
ප්‍රාදේශීය ලේකම් ලෙස ඉන්දිකට විසඳන්නට සිදුවන්නේ මිනිසුන්ගේ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්න විතරක් නොවේ. මානුෂික ප්‍රශ්න ද ඉඳහිට ඔහුට විසඳන්නට සිදුවේ. 
‘‘එක දවසක් අවුරුදු හැට පහක විතර මනුස්සයෙක් ඇවිත් මගෙ ඉස්සරහ අඬන්න පටන් ගත්තා. අද උදේ එයාට එයාගෙ නෝනා බත් පිඟාන බෙදලා දීලා නැහැ කියලා. මම ඇහුවා ඊයෙ දෙන්නා රණ්ඩු වුණාද කියලා. පොඩි රණ්ඩුවක් වුණාලු‍. පස්සෙ මම ගිහින් ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් කියලා මේ දෙන්න සමගි කෙරෙව්වා. විරසක ඉවර කරවලා  නෝනාට කියලා  බත් පිඟාන බෙදවලා දුන්නා.”
 
මෙවැනි විවිධ මානුෂික ප්‍රශ්න රාශියකට විසඳුම් දෙන්නට  සිය රාජකාරි ජීවිතයේ දී ඉන්දික උඩවත්තට සිදුව තිබේ. ඉන් සමහරක් ඔහු කලින් රාජකාරි කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලදීය.
 
‘‘උහන ආඳල් ඔය  කියලා ඔයක් තියෙනව. ඒ ඔයට එහා පැත්තෙ තියෙන්නෙ මහවෙල කියලා පැරුණි ගමක්. 2010 අවුරුද්දෙ ලොකු ගංවතුරක් ආවා. ගංවතුර ආවාම මහවෙල ගම තනිවෙනවා. මේ ගංවතුර දවසක එක ආච්චි කෙනෙක් මගෙ ඔෆිස් එකට ආවේ තෙමි ගෙන. එයාගෙ චීත්තෙන් වතුර බේරෙනවා. මම බැලු‍වා මොකද මේ කියලා. ආච්චිට කේන්ති ගිහින් හිටියෙ. ‘‘අපිට කන්න බොන්න මුකුත් නැහැ. අපේ ගම ගංවතුරට යටවෙලා තියෙන්නෙ. වේල් තුනකින් බඩට බත් ඇටයක් නැහැ.’’
 
ආච්චි කිව්වා
 
“මම ග්‍රාම නිලධාරි මහත්තුරුන්ට කියලා තිබුණෙ තමන්ගෙ වසම්වල ගංවතුර ප්‍රශ්න තියෙනවනම් මිනිස්සු ගැන හොයලා බලන්න, කෑම බීම ලබාදෙන්න කියලා. ඉතින් මම ග්‍රාම නිලධාරි මහත්තයට එන්න කියලා ඇහුවා. මහවෙලට ගංවතුර ආධාර දුන්නද? නැද්ද? කියලා.
 
‘‘ගංවතුර හින්දා මහවෙලට යන්න බැහැ සර්” කියලා මිනිහ උත්තර දුන්නා.
 
එතකොට ආච්චි කියනවා මම වයසක ගෑනියෙක් වෙලත් ගංවතුරෙ බැහැගෙන ආවානම් ඔය මහත්තය පිරිමියෙක් වෙලා ඇයි ගංවතුරෙ එන්න බැරි කියලා.
පස්සෙ මම පොලිසියටයි හමුදාවටයි කියලා මහවෙලට බත් පැකට් යැව්වා. ගංවතුර බැහැලා යනතුරුම. ඉන් පස්සෙ කාලෙක මම අඩි තුන හමාරක පළල පුංචි පාලමක්  හදලා දුන්නා ආඳල් ඔයට උඩින්. ඒ නිසා දැන් ගංවතුර ආවා කියලා මහවෙල ගම තනි වෙන්නෙ නැහැ.”
ඉන්දික උඩවත්ත යටිනුවර සේවය කරන සමයේ ද අපූරු සිදුවීමකට මුහුණ දුන්නේය.
 
 
“යටිනුවර තියෙනවා දුනුකේඋල්ල කියලා ගමක්. ඔය ගමේ පිරිමියෙක් දවසක් ආවා මාව මුණ ගැහෙන්න. ඇවිත් කියනවා. අනේ සර්ලා මගෙ සමෘද්ධි ගිණුමෙන් මට රුපියල්  දහදාහක් ගන්න ඕනැ. ඒත් මේ නිලධාරි මහත්තයා මට ඒ සල්ලි දෙන්නෙ නැහැ කියලා. පස්සෙ මම සමෘද්ධි නිලධාරිව කැඳවලා හේතු ඇහුවා. මේ මනුස්සයා සල්ලි ඉල්ලන්නෙ අම්මව දළදා වඳින්න එක්ක යන්න. නමුත් ගිණුමේ අනිවාර්ය ඉතුරුම් සල්ලි දෙන්නෙ අසනීපෙකට වගේ හදිසියකට විතරයි. වන්දනා ගමන් යන්න සල්ලි දෙන්නෙ නැහැ කියලා සමෘද්ධි  නිලධාරි කිව්වා. නමුත් මේ මනුස්සයා කියනවා එයාගෙ අම්මට ඇවිදින්න කරන්න පුළුවන් කාලෙ දළදා වඳින්න එක්ක යන්න ඕනැමයි  කියලා. මේ මනුස්සයා කසාද බඳින්නෙත් නැතුව තමන්ගෙ අම්මව බලා කියාගෙන ඉන්න හොඳ ආදරණීය පුතෙක්. අම්මගෙ ආශාව ඉෂ්ට කරන්න බැරිනම් එයාට සමෘද්ධි සල්ලි වලින් වැඩක් නැතිලු‍.”
මෙවැනි ප්‍රශ්න මැද රාජකාරි ජීවිතය ගෙවන ඉන්දික උඩවත්ත උපන්නේ උහනය. ඔහුගේ පියාට ගල්ඔය ව්‍යාපාරය යටතේ ඉඩම් ලැබී තිබුණේ 34 වැනි ජනපදයෙනි. රජගලතැන්න මහ විදුහලෙන් ශිල්ප සතර ලද ඔහු ප්‍රාදේශීය ලේකම් ලෙස අද ගෙවන්නේ විවිධ අත්දැකීම් සහිත ජීවිතයකි.
 
‘‘මේවා අපූරු අත්දැකීම්. සමහර වෙලාවට මේ අත්දැකීම්වලින් මට කවියක් ගීතයක් ලියැවෙනවා. තවත් සමහර අත්දැකීමකින් ලියැවෙන්නෙ නවකතාවක්. මේ විදිහට මම ලියපු කවි එකතු කරලා ‘කරඹ මලක්’ කියලා කවි පොතක් ලිව්වා.”  
 
“මම ඔය පොතට එකතු කළ කවියක් තියෙනවා කළුගල්පතන කියලා. ඒකෙ එක කවියක් මෙහෙමයි.”
 
මිනිසුන් අතර මිනිසුන්මයි මේ    ඉන්නේ
ගැරහුම් ඇයි ද මේ තරමට      පවතින්නේ
ඉපදුණු බිමත් දාලා මේ        ඇවිදින්නේ
කොත්මල ජලාසෙට යටවුණු ගමකින්නේ
 
“ඒ වගේම උහනදි ලැබුණු  අත්දැකීම් වලින් ‘ගිරිහෙළ හඬා වැටෙයි’ කියලා නවකතාවක් ලිව්වා. එතකොට ‘වරිච්චි ඉස්කොලේ’ කියලා තවත් නවකතාවක් ලියලා තියෙනවා. ඒත් දුෂ්කර ඉස්කෝලයක් හා ගමක් පසුබිම් කරගෙන ඉහළ පන්තිවල ළමයි ලවා හැමදාම ගෙදෙට්ට වතුර අද්දවගන්න නරක විදුහල්පතිවරයෙක් සහ හොඳ ගුරුවරයෙක් මේ නවකතාවෙ චරිත. ඒවගේ සිදුවීම් මම දැකලා තියෙනවා. කහටගස්යායල, බොක්කෙබැද්ද වගේ පැතිවලදි.”
 
ඉන්දික උඩවත්ත සිය රාජකාරි ජීවිතයේ දී හෙටත් තවත් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත ප්‍රශ්නවලට කන් දෙනු ඇත. හැකි පරිදි විසඳුම් ද ලබා දෙනු ඇත. ඒ ඇසුරින් අපූරු අත්දැකීම් ලබනු ඇත. ඒවායින් කවි ද ගීත ද නවකතා ද ලියනු ඇත.
 
 
■ ශාන්ත කුමාර විතාන