“ කසුරි ’’ නික්මගොස් දස වසරයි


(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතා මියගොස් නොවැම්බර් 16 වන දිනට දස වසරකි . මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 40 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට  පත්කරන ලද, ’මාධ්‍ය සමීක්ෂා II’ ග්‍රන්ථයේ සංස්කාරකවරයා වූයේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි ය. එහි පසුවදනෙහි මහත්මා ගාන්ධි විසින් සිදුකෙරැණු   ප්‍රකාශයක් - එම ග්‍රන්ථය පරිශීලනය කරන මාධ්‍යවේදින් උදෙසා මෙසේ සඳහන් කර තිබුණි. 

“ ඔබ කිසියම් කාර්යක් පටන් ගැනීමට පෙර සිතන්න, ඔබේ සිහියට නැගෙන අහිංසකම මිනිසාට ඒ  කාර්‌යයෙන් අත්වෙන්නේ කුමන සෙතක් ද කියා” 

ගාන්ධිතුමා සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ප්‍රකාශ කළ ඒ මානවවාදී වදන් පෙළ - ’’මාධ්‍යවේදියකු, මාධ්‍ය පිළිබඳ හදාරන්නෙකු වශයෙන් ඔබට ද අදාළ බව සිතන්න.” යනුවෙන් සඳහන් කරමින් ඉහත කියමනට යටින් එතුමා කෙටි සටහනක් ද යොදා තිබුණි. 

යම් වැඩමුළුවක් පවත්වන අවස්ථාවක, සාකච්ඡාවක් මෙහෙයවන අවස්ථාවක මාධ්‍යවේදීන් යහපත් උදාර මානව ගුණදම්වලින් සපිරි පිරිසක් කිරීමට එතුමා නිතර උත්සුක විය. ඒ වගේම මනුෂ්‍යය ජිවිතය ඉතා උපේක්ෂා සහගතව දකිමින් ඒවා තම ප්‍රකාශනයන්හි යොදා ගැනුණි.

අප බොහෝ හෘදයාංගමව අමතන ’’කසුරි’’ නැත්නම් කරුණාදාස සුරියආරච්චි  මියගොස් මෙම මස 16 වන දිනට වසර 10 ක් වේ. මිනිසුන් අතර ඉතා සුවිශේෂි වූ මානව දයාවෙන් සපිරි උදාර මිනිසුන්ගේ නික්මයාම ජීවත්වන අපට සපුරාලිය නොහැකි පාඩුවකි. පිරවිය නොහැකි හිඩැසකි. එසේම ශෝකයකි. එතුමාගේ වියෝව සමීපතම ඥාතියකු මියගියාක් මෙන් සිතට දැනෙන්නේ ඒ නිසාවෙනි. ජීවිතයේ අනේක විධ මිනිසුන් විවිධ අවස්ථාවල දී මුණගැසුන ද , හෘදයාංගමව කටයුතු කරන යහපත් ගතිගුණ ඇති මිනිසුන් හමුවනුයේ කලාතුරකිනි. එතුමා එවැනි දුර්ලභ ගණයේ යහපත් ගතිගුණ වලින් සපිරුණ අයෙක් වූවා සේම, එම ඇසුර අපට ද භාග්‍යයකි. 

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙසත්, ග්‍රන්ථකරණයේ නියැලුනු සාහිත්‍යකරුවෙකු ලෙසත්,  නාට්‍යකරුවෙකු ලෙසත්, තරුණ කළ දක්ෂ දැල්පන්දු ක්‍රීඩකයෙකු ලෙසත්, ප්‍රකට වුවද - මා මෙම සටහන තබනුයේ එතුමා සමග ගතකළ කාලය තුළ අත්විඳි සොඳුරු මතක හා සිදුවීම් ආවර්ජනා කරමිනි. 

විශේෂයෙන්ම එතුමා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අප සමග කටයුතු කළේ වසර ගණනාවක් තිස්සේ හඳුනන ඉතා සමීපතමයෙකු ලෙසිනි. සභාපතිතුමාගේ සිට කාර්යාල කාර්ය සහායක නිලධාරියා දක්වාම ඉතා සුහදව තනතුරු භේදයකින් තොරව කටයුතු කළ සෑම අවස්ථාවකදීම කසුරි තුළින් මා දුටුවේ - උදාර හා මානව හිතවාදී ගුණයෙන් යුත්, සරල, ගුණ යහපත්කමින් පොහොසත් මිනිසෙකි. 

එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘ වශයෙන් කටයුතු කරන වකවානුවේ, එතුමා පුවත්පත් මණ්ඩලයේ කටයුතුවලට දායකත්වය ලබාදුන්නා සේම, පෞද්ගලිකව අනෙකෙකු වෙනුවෙන් කළ හැකි උපරිමයෙන් කටයුතු කිරීමට උත්සුක විය. විශේෂයෙන් සෑම මසකම දිස්ත්‍රික් පදනමින් ප්‍රාදේශීය මාධ්‍යවේදින් වෙනුවෙන් පවත්වනු ලබන මාධ්‍ය වැඩමුළුවල දී  සම්පත්දායක සහය නිබඳව මණ්ඩලයට ලැබුණි. එම වැඩමුළු මා විසින් සම්බන්ධීකරණය කළ අතර, එකදු වැඩමුළුවක් හෝ ප්‍රතික්ෂේප කළේ නැත. ඇතැම් වැඩමුළු අගනුවරින් බොහෝ ඈත දිස්ත්‍රික්කයන්හි දින දෙක තුන පවත්වන අවස්ථාවලදී පුහුණුවන මාධ්‍යවේදීන් වෙනුවෙන්, ඉටුවිය යුතු මෙහෙවර ගැනම පමණක් සිතා සතුටින් මා සමග එම ගමනට එක්වුණි. 

අම්පාර දිස්ත්‍රික්කය මුල් කරගෙන “ දැයට කිරුළ” වැඩසටහන පැවැත්වූයේ 2012 වසරේ දීය. සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන පවත්වන විට පුර්වගාමී වැඩසටහනක් ලෙස මණ්ඩලය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වැඩමුළු පවත්වනු ඇත. වැඩමුළුව පවත්වන දිනට පෙර දින හදිසි අවශ්‍යතාවයක් නිසා සහභාගීවිය නොහැකිබව සම්පත්දායක  විද්වතෙක් විසින් දන්වා සිටින ලද්දේ, අප මහත් අපහසුතාවයකට පත් කරවමිනි. දින භාගයකටත් අඩු කාලයක් ඇතුළත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මේ සඳහා සොයා ගැනීමේ අභියෝගය මා හට පැවරුණේ, තවත් අභියෝග රැසක් මධ්‍යයේය. මේ වනවිටත්   අපි අම්පාර බලා පිටත් වෙමින් සිටියෙමු. “ සර්, මං පොඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ’‘’  යැයි කියා, කාරණාව එතුමාට කීවෙමි. 

’’මගෙන් මොනව ද නිරෝෂණ වෙන්න ඕනේ? යනුවෙන්  එතුමා විමසුවේ ඉතා කාරුණිකවය. පසුදා උදෑසන 10 වන විට අම්පාර “මොන්ටි” හෝටලයට එතුමා පැමිණියේ, තනිව නොව තම පවුලේ සමාජිකයින් සමග තමාගේම  මෝටර් රථයෙන් කලින් සැලසුම් කර තිබු ගමනද මදකට වෙනස් කරමිනි. ස්තුති කළ හැකි ආකාරය කෙසේ දැයි මට සිතාගත නොහැකි විය. 
වරක් දකුණු පළාතට අයත් දිස්ත්‍රික්කයක පවත්වන ලද ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවකදී, එම වැඩමුළුව සංවිධානය කළ පිරිස හා මාධ්‍යවේදීන් අතර ඇතිවූ උද්වේගකර අවස්ථාවක් කිසිදු අයෙකුට පාලනය කළ නොහැකි විය. මිනිත්තු පහක් වැනි කාලයක් තුළ සීමිත වචන සංඛ්‍යාවක් පාවිච්චි කර අතිදක්ෂ ලෙස ඔවුන් සන්සුන්කර, වැඩමුළුව සැලසුම් කළ පරිදි දවස පුරාම සාර්ථක අයුරින් පවත්වා නිම කිරීමට එතුමාට හැකි විය. එම අවස්ථාවේදි එතුමා කටයුතු කළේ , දක්ෂ ආචාර්යවරයෙකු - එසේත් නැතිනම් ආගමික නායකයෙකු ලෙසිනි.

මා වෛද්‍යවරයකුගේ යහපත් ක්‍රියාවක් පිළිබඳ පුවත්පත් වාර්තාවක් පල කළ අවස්ථාවක, පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් ඉදිරියේ එතුමා ඒ වාර්තාව කියවූයේ මාධ්‍යවේදීන් සමාජයේ පෙර ගමන්කරුවන් වන්නා සේම, සත්පුරුෂ ගුණයෙන් යුත් උදාර ගති පැවතුම් ඇති පිරිසක් විය යුතු බව අවධාරණය කරමිනි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙසත්, ග්‍රන්ථ කතුවරයෙකු ලෙසත්, කවියෙකු ලෙසත්, සාහිත්‍ය විචාරකයෙකු ලෙසත්, එතුමාගේ නිර්මාණ තුළ ද මෙම මානවාදී ගුණාංග සෑම පද පෙළක් තුළම අන්තර්ගත වී තිබුණි. වරක් නුවරඑළිය දිස්ත්‍රික් වැඩමුළුවකට ගොස් එන අතරතුර කාර්මික දෝශයක් නිසා වෑන් රථය පන ගැන්වීමට නොහැකි විය. එය යථා තත්ත්වයට  පත්කරන තෙක් හපුතලේ කඳු බෑවුමේ එතුමාත් මාත් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයනුත් පස්වරු 05 සිට රාත්‍රි 08 පමණ වන තෙක් ගතකළ හෝරා තුනකට වැඩි කාලය ආස්වාද ජනක හා අපුර්ව වූයේ සාහිත්‍ය කතිකා, දාර්ශනික කියමන් වලින් පමණක් නොව - සිනහවේ ඉමක් නොමැති ආගිය කතා ද හේතුවෙනි. අපුර්ව පරිසරය හා බැඳුනු ඒ හෝරා කිහිපය අදටත් සිහියට නැගෙනුයේ, පෙර නොවූවිරෑ අපුර්වත්වයක් සිහියට නගමිනි. 

එපමණක් ද නොව එතුමා තම දූ දරුවන් සමග ඉතා සමීපව කටයුතු කළ පියෙකි. දිනක් පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලැබූ වැඩමුළුවක් අවසන් කර කසුරි නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේය. ඒ වෙනකොට “සරල“ පුතා (එතුමාගේ මුණුපුරා) ඉතා කුඩාය. මෝටර් රථයේ ඉදිරි අසුනේ ඉතාම වෙහෙසකරව නිදාගෙන සිටි කසුරිව පුදුම කිරීමට මෙන් දොර විවෘත කර, එතුමා ආසන්නයටම පැමිණ “සීයේ“ කියා ඇමතූ විට එතුමා තිගැස්සී නැගිට්ටේය. විවේකීව  ගතකරන බොහෝ අවස්ථාවලත්, විශේෂයෙන්ම වැඩමුළුවලට දුර බැහැර ගිය අවස්ථාවල - සරල ගැන නිතරම මා හා කතාබස් කළේ මුණුපුරා, බිරිඳ, තම පුතණුවන් හා නිවැසියන් කෙරෙහි වූ උතුරා යන ආදරයකිනි. මිනිසුන් අතර ඉතා ආදරණීය, ගෞරවනීය මිනිසුන් අතළොස්සක් වේ නම් - ඉන් මුල් කිහිප දෙනා අතර එතුමාද සිටිනු ඇත. ඉතා හෘදයාංගම සුන්දර මතක සමුදායක් තබමින් අපෙන් මීට වසර දහයකට පෙර සමුගත් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.


නිරෝෂණ තඹවිට 
පුවත්පත් කොමසාරිස්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය