ක්‍රිකට් ලෝක කුසලානයේ නොදුටු පැත්ත



විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවීමත්, 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට හිමිවීමත් අතර යම් සමානකමක් ඇතැයි කෙනෙකුට සිතිය හැකිය. ඊට හේතුව, සත්කාරකත්වයන් ලබාගැනීම සඳහා එම රටවල් දෙකම භාවිතා ‍කළේ ඔවුන්ගේ මුදල් සහ බලය පමණක්ම වීමය.

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබාගන්නා විට කටාර් රාජ්‍ය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල කණ්ඩායම් 211 ක් අතරින් මුල් කණ්ඩායම් 50 අතරට පවා ඇතුළත්ව නොසිටි අතර විස්සයි-20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබාගන්නා විට ඇමෙරිකාවද ලෝක විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල කණ්ඩායම් 89 ක් අතරින් මුල් කණ්ඩායම් 25 අතරට පවා ඇතුළත්ව නොසිටියේය.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා කටාර් රාජ‍්‍යය යොදාගත් ක්‍රීඩාංගණ 8 න් 2 ක් හැර සෙසු ක්‍රීඩාංගණ 6 ම එම තරගාවලි වෙනුවෙන්ම වසරක් හෝ දෙකක් ඇතුළත අලු‍තින් ඉදිකළ ක්‍රීඩාංගණ වූ අතර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇමෙරිකාව යොදාගත් ක්‍රීඩාංගණ 3 න් 2 ක්ම එම තරගාවලිය සඳහාම ඉදිකළ තාවකාලික ක්‍රිකට් ක්‍රීඩාංගණ විය.

 

කෙ‍තරම් ධනස්කන්දයක් වැය කළද, අත්දැකීම් නොමැතිකම හේතුවෙන් මෙම තරගාවලි දෙකේදීම ක්‍රීඩකයන්ට මෙන්ම නරඹන්නන්ට අවශ්‍ය පහසුකම් හරිහැටි ලබාදීමටත්, ඔවුන්ට ක්‍රීඩා කිරීමට සහ තරග නැරඹීමට අවශ්‍ය නිදහස් නිරවුල් වාතාවරණයක් සකස් කිරීමටත් සංවිධායකයෝ අපොහොසත් වූ අයුරු දැකගත හැකි විය.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නොමැති රටක් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දැරීම සඳහා තෝරාගත් දෙවැනි අවස්ථාව මෙය වූ අතර මෙතෙක් පැවැති තරගාවලි 9 තුළ මින් පෙර එවන් අවස්ථාවක් සටහන් වූයේ 2021 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පමණක් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මින් පෙර යහමින් ක්‍රිකට් තරග පවත්වා තිබූ ජාත්‍යන්තර ම‍ට්ටමේ ක්‍රීඩාංගණ 3 ක්ම පැවැති බැවින් එම තරගාවලිය කිසිදු ගැටලු‍වකින් තොරව නිමාවට පත්විය. ‍කෙසේ වුවත්, ඇමෙරිකාවේ පැවැති තරගාවලියේදී තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. ඒ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇමෙරිකාව යොදාගත් ක්‍රීඩාංගණ 3 න් මින් පෙර දේශීය මට්ටමින් හෝ ක්‍රිකට් තරග පවත්වා තිබුණේ එක් ක්‍රීඩාංගණයකදී පමණක් වීම හේතුවෙනි.

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට රටවල් 20 ක සහභාගීත්වයෙන් පැවැති ලෝක කුසලාන තරගාවලිය වූ මෙම තරගාවලිය තරග 55 කින් සමන්විත විය. ඉන් අවසන් තරගය සහ අවසන් පූර්ව තරග 2 ද ඇතුළත්ව තරග 39 ක් බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රීඩාංගණ 6 කදී පැවැති අතර සෙසු තරග 16 පැවැතියේ ඇමෙරිකාවේ ඉහත කී ක්‍රීඩාංගණ 3 දීය.

මූලික වටයේදී ඉන්දියාව, පාකිස්තානය, ඇමෙරිකාව, කැනඩාව සහ අයර්ලන්තය ඇතුළත්ව සිටි ‘ඒ’ කාණ්ඩයේ තරග සියල්ල ඇමෙරිකාවේ ක්‍රීඩාංගණවලදී පමණක් පැවැති අතර ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ස්කොට්ලන්තය, නැමීබියාව සහ ඕමානය ඇතුළත්ව සිටි ‘බී’ කාණ්ඩයේ තරග මෙන්ම බටහිර ඉන්දීය ‍කොදෙව්, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, උගණ්ඩාව සහ පැපුවා නිව්ගිනියාව ඇතුළත්ව සිටි ‘සී’ කාණ්ඩයේ තරගද කොදෙව් ක්‍රීඩාංගණවලදී පමණක් පැවැත්විණ.

කෙසේ වුවත්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය ඇතුළත්ව සිටි ‘ඩී’ කාණ්ඩයේ මූලික වටයේ තරගවලින් කොටසක් ඇමෙරිකාවේ ක්‍රීඩාංගණවලදීද, ඉතිරි කොටස කොදෙව් ක්‍රීඩාංගණවලදීද පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබිණ. සුපිරි 8 දෙනාගේ වටයේ සිට අවසන් මහා තරගය දක්වා සෙසු තරග සියල්ල පැවැත්වීමට යොදා තිබුණේ කොදෙව් ක්‍රීඩාංගණ වලදීය.

ඒ අනුව බලන කල, ඇමෙරිකාවේ අලු‍තින් ඉදිකරන ලද, නියමිත ප්‍රමිතිය නැති බවට චෝදනා එල්ලවෙන ක්‍රීඩාංගණවලදී, මූලික වටයේ තරග ක්‍රීඩා කළ කණ්ඩායම්වලට යම් අසාධාරණයක් සිදුව ඇතැයි යමෙකුට පැවසිය හැකිය. එහෙත් මූලික වටයේ තරග සියල්ල ඇමෙරිකාවේදී ක්‍රීඩා කර, සුපිරි 8 දෙනාගේ වටයේ තරග ‍කොදෙව් ක්‍රීඩාංගණවලදී ක්‍රීඩා කර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ බැවින් කිසිවකුට එවන් අසාධාරණයක් සිදුව නැතැයි තවත් අයකුට පැවසිය හැකිය.

එහෙත් සැලකියයුතු කාරණය වෙන්නේ ඉන්දියාව මූලික වටයේදී ක්‍රීඩා කළ තරග 4 න් පළමු තරග 3 ම ක්‍රීඩා කළේ එකම ක්‍රීඩාංගණයකදී වීමය. එහිදී ඔවුන්ගේ පළමු ප්‍රතිවාදියා වූයේද අයර්ලන්තය වීමය. එබැවින් ඉන්දියාවට පාකිස්තානයට සහ ඇමරිකාවට එරෙහිව නසාව් ක්‍රීඩාංගණයේදීම තරග වැදීමට පෙර එහි තණතීරුවල හැසිරීම පිළිබඳව යම් වැටහීමක් තිබිණ. ඉන්දියාව හැරුණුකොට, තරගාවලියට සහභාගි වූ සෙසු රටවල් 19 න් එම වාසිය හිමිවූයේ දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට පමණි.

දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ තරග 4 න් 3 ක්ම නිව්යෝක් නුවර නසාව් ක්‍රීඩාංගණයේදීද, නවසීලන්තය ක්‍රීඩා කළ තරග 4 න් 3 ක්ම ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබේගෝ හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදීද පැවැත්විණ. එහිදී ලද වාසියෙන් නිසි ප්‍ර‍යෝජන ගැනීමට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමත් වුවත්, නවසීලන්තයට ඉන් නිසි ඵල නෙළාගැනීමට නොහැකි විය.

ඔවුන් එසේ වාසි ලබද්දී, ශ්‍රී ලංකාවට තමන් සහභාගි වූ මූලික වටයේ තරග 4 ක්‍රීඩාංගණ 4 කදී ක්‍රීඩා කිරීමට සිදුව තිබිණ. එබැවින් ඔවුන්ට එක් ක්‍රීඩාංගණයක අත්දැකීම් ලැබෙන විට මීළඟ තරගය සඳහා වෙනත් ක්‍රීඩාංගණයක් බලා යෑමට සිදුවිය. එලෙස අගතියට පත්ව තිබූ සෙසු කණ්ඩායම නෙදර්ලන්තය වූ අතර ඉතිරි කණ්ඩායම් 15 ටම ඔවුන්ගේ මූලික වටයේ තරග 4 න් 2 ක් හෝ එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබිණ.

තවද ඇතැම් ක්‍රීඩාංගණවල තරග පැවැත්වෙමින් තිබූ වේලාවන් වලදී තවත් කණ්ඩායම්වලට පුහුණුවීම් සඳහා අවස්ථාව ලබා දී තිබූ අයුරුද දැකගත හැකි විය. ඩලාස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමද එම අත්දැකීමට මුහුණ දුන් අතර, තීර්ණාත්මක තරගයකට පෙර එවන් අත්දැකීමකට මුහුණදීමෙන් ඔවුහු මහත් අපහසුතාවකට පත්වූහ.

බංග්ලාදේශ තරගයට පෙර දිනයේදී, ශ්‍රී ලංකාවට ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියක් සඳහා කාලය වෙන්කර තිබූ අතර එම වේලාවේදීම ඇමෙරිකාව සහ පාකිස්තානය අතර තරගයද පැවැත්විණ. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔවුහු පුහුණු දැළ තුළ පමණක් පුහුණුවීම්වල නිරත වීමෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි හෝටලය වෙත නික්ම ගිය අයුරු දැකගත හැකි විය.  


  • ශානුක අරවින්ද