විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සමග යළිත් ක්‍රිකට් ගැන කතා බහ අලුත් වී තිබේ. මේ අනුව ලබන වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ බලාපොරොත්තු ඇතිවෙමින් තිබේ. ලබන වසරේ තරගාවලිය දක්වා මේ තරුණ ක්‍රීඩකයන් සමග ඉදිරියට යා යුතු බව ඉහළ මට්ටම්වල සාකච්ඡාව වී තිබේ. මෙය විය යුතු දෙයයි. තරුණයන් සමග ඉදිරියට යන්නට තීරණය කළ අවස්ථාවේ දී එයට බොහෝ ඍණාත්මක ප්‍රතිචාර ලැබුණද ඒ මතයේම සිටි නිසා ඔවුන්ගේ සාර්ථකත්වයක් සොයා ගත හැකි විය. දැන් ඔවුන් සාර්ථක වූ පසුව වෙනස් කිරීම් අවශ්‍ය වෙන්නේ නැත.
කෙසේ වුවද එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී දැක ගත හැකි වූයේ මැතිව්ස්, කුසල් පෙරේරා, චන්දිමාල්, අකිල ධනංජය වැනි ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයන් එල්.පී.එල්. කණ්ඩායම් විසින් මිලදී නොගැනීම සහ දේශීය තරගවල සිටි වයස්ගත ක්‍රීඩකයින් සහ ජාත්‍යන්තර තරගවලින් සමුගත් ක්‍රීඩකයන් කණ්ඩායම්වලට මිලදී ගැනීමකි. එහි අදහස මේ ක්‍රීඩකයන් විස්සයි 20 ජාත්‍යන්තර තරගවලින් ඉවතට තල්ලු වීමද? එහෙත් එම වෙන්දේසියේදීම උපුල් තරංග, ගිහාන් රූපසිංහ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් කණ්ඩායම් විසින් මිලදී ගෙන තිබුණි. මෙය සැලසුම් සහගතව සිදුකළ එකක් යැයි මේ වනවිටත් ඇත්තේ මහත් ආන්දෝලනයකි. සිතා මතා හෝ නොසිතා කණ්ඩායම් විසින් මැතිව්ස්, කුසල්, චන්දිමාල් වැනි ක්‍රීඩකයන් මිලදී නොගැනීම විශාල ප්‍රශ්නයකි. පළමු එල්.පී.එල්. තරගාවලිය යම් මට්ටමකට රැගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි තරගමාලාවේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දීම යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති කරගත් බව නොකියා බැරිය. මෙහි විශේෂම දෙය නම් පළමු තරගාවලියේ කොළඹ කණ්ඩායමේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයා ලෙස සහ නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් දෙස කොළඹ කණ්ඩායම පැත්ත බැලුවේ නැති වීමයි. එසේම කැන්ඩි ටස්කර් නායකයා වූ කුසල් ජනිත් පෙරේරාටද එවැනිම තත්ත්වයක් ඇති විය. සිතාමතා මේ ක්‍රීඩකයන් ඉවත් කළා නම් වියහැකි එක් දෙයක් වන්නේ මේ ක්‍රීඩකයන් තමන් ඇතුළත් වූ කාණ්ඩයෙන් පහළ අගයකදී අලෙවි වීමට කැමති නොවීම විය හැකිය. ඒ ගැන තවම තොරතුරු නැත.
කෙසේ වුවද මේ සියල්ල අතරේ තරුණ ක්‍රීඩකයෙකුවන ධනංජය ද සිල්වා නොසලකා හැරීම විශාල ප්‍රශ්නයක් බව ලිවිය යුතුමය. ඔහු විස්සයි විස්ස ක්‍රමයට ගැලපෙනවා ද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් සිරිවර්ධන, රූපසිංහ, අසේල ගුණරත්න සහ ටී.එම්. සම්පත්, සීක්කුගේ ප්‍රසන්නට වඩා ඉදිරියෙන් ධනංජය සිටියි. එවැනි ක්‍රීඩකයෙකු කිසිවෙකු පැත්තකින් තබන්නේ නැත. මේවා ක්‍රීඩකයන්ට රටක් එපා වෙන සිද්ධිය. එහෙත් ධනංජය ද සිල්වා වැනි ක්‍රීඩකයෙකුට මෙය පාඩමක් කරගෙන ඉදිරියට යා හැකිය. විශේෂයෙන්ම කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහුට මේ සියල්ල අමතක කර අලුත් ගමනක් යන්නට හැකිය. අනෙක් අවාසනාවන්ත ක්‍රීඩකයා මිනෝද් භානුකයි. ඔහු ශ්‍රී ලංකාවේ විස්සයි 20 අංක 02 කඩුලු රකින්නා වුවත් ඔහුටද අවස්ථාවක් නොවීම පුදුම සහගතය. කෙසේ හෝ වේවා එල්.පී.එල්. තරගාවලිය ගැන ඉදිරියේ දී වැඩි වැඩියෙන් අපට කතා කළ හැකිය. ඒ නිසා ලෝක කුසලානය දෙසට හැරෙමු.
මේ සටහන ලියැවෙන්නේ බ්‍රහස්පතින්දා නිසා තරගාවලිය ආරම්භයේ දීම අප විශ්වාස කළ ආකාරයට අවසන් තරගය කරා ගමන් කරමින් සිටි එංගලන්තයේ ගමන සුනුවිසුනු කළ නවසීලන්තය සමග අවසන් තරගයට යන්නේ කවුදැයි ලිවීමට නොහැකිය. එහෙත් තරගාවලිය ආරම්භයේ දීම අපේ බලාපොරොත්තුව වූයේ වඩාත් නිදහසේ ක්‍රීඩා කරන අලුත් පරම්පරාවේ පාකිස්ථාන කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇති බවයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව හමුවේ පාකිස්ථානය ජයගනු ඇතැයි යන විශ්වාසයේ තවමත් අපි සිටිමු. එහෙත් බදාදා දිනයේ දී මොහොමඩ් රිස්වාන් සහ ෂොහිබ් මලික් උණ තත්ත්වයකට ගොදුරු වූ බවට ලැබුණ ආරංචිය නම් පාකිස්ථානයට සුබ නොවේ. මේ දෙදෙනා නොමැති වුවහොත් ඔස්ට්‍රේලියාවට තරගය ජයගැනීමේ වැඩි වාසියක් අත්වේ. එහෙත් ඉතිහාසය නැවත සිදුවෙයි නම් මේවර ලෝක කුසලානය යා යුත්තේ
පාකිස්ථානයටය. 2009 දී පාකිස්ථානය ලෝක කුසලානය දිනා ගත් අතර ඔවුන් ලෝක ශූරයන් ලෙස සිටියේ මාස 11 ක කාලයක් පමණි. 2010 දී යළිත් විස්සයි 20 ලෝක කුසලානයක් පැවැත්වුණි. මෙවරද ඒ ආකාරයෙන්ම සිදුවෙයි. 2022 ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන්නේ 2022 නොවැම්බර් මස 13 වැනිදාය. ඒ අනුව මෙවර ශූරයන් වන කණ්ඩායමට ද ලෝක ශූරයන් ලෙස සිටිය හැකි කාලය නිවැරදි ලෙස අවුරුද්දකට අඩුය. පාකිස්ථානය යළිත් එවැනි කෙටි කාලීන ශූරයන් බවට පත්වීමට නම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවට එරෙහි කඩුල්ල පාකිස්ථානය ජයගත යුතුය. මේ වනවිට සිදුව ඇති දෙය ඔබ දන්නවා ඇත. මේ තරගය ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත්නම් අවසන් තරගය පළමු වරට විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයකට ලෝකයේ පහළ අර්ධයේ කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනු ඇත. එසේ වුවහොත් නම් ඔස්ට්‍රේලියාව හැර අනෙක් සියලුම රටවල් සහයෝගය පළකරනු ඇත්තේ නවසීලන්තයටය. ඒ ලොව බොහෝ ක්‍රිකට් ප්‍රේමීන් තමන්ගේ රට හැරුණු විට වඩාත් ප්‍රියකරන කණ්ඩායම නවසීලන්තය වීම නිසාය. කේන් විලියම්සන් යටතේ මහත්මා ගුණයෙන් අනූන කණ්ඩායම බවට පත්වූ නවසීලන්තයට මේ ලෝක කුසලානයත් දිනා ගත හැකි වුවහොත් එය මහත්වරුන්ගේ ක්‍රීඩාවට නියම අර්ථයක් දීමක් වනු ඇත. අවසන් තරගයට පාකිස්ථානය පැමිණියත් ඔස්ට්‍රේලියාව පැමිණියත් මේ කණ්ඩායම් දෙක හමුවේ පසුගිය වසර 5 තුළ නවසීලන්තය අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව අසාර්ථකය. විශේෂයෙන්ම මැද පෙරදිගදී පාකිස්ථානය හමුවේ ඔවුන් විස්සයි 20 ජයක් ලබා නැත. ඔස්ට්‍රේලියාව හමුවේද තමන්ගේ රටේ දී වැඩි පරාජයන් ප්‍රමාණයක් නවසීලන්තය ලබා ඇත. මේ නිසා ඔවුන් ඉතිහාසය පසෙක තබා අවසන් තරගය ක්‍රීඩා කළ යුතුව තිබේ.
සමස්ත තරගාවලිය පුරාම විස්සයි 20 ක්‍රිකට් යම් පරිනාමකයට ලක්විය. පන්දුවට පහර දෙන ක්‍රමය සහ පන්දුවට පහර දීමේ ඉනිම බෙදා ගන්නා ආකාරය වෙනස් විය. එනම් කඩුලු ඉතිරි කරගෙන අවසන් ඕවර 5 ට ගමන් කිරීමයි. පාකිස්ථානය සහ එංගලන්තය මෙහිදී ඉදිරියෙන් සිටියේය. තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය මෙය කළේය. මේ කණ්ඩායම් කඩුලු 3 කට වඩා වැටෙන්නට ගිය විට ඉනිම ආරක්ෂා කරගෙන 15 වැනි ඕවරය දක්වා කල් බලන හැටි දැක ගත හැකි විය. එසේම ඔවුන් එක ලකුණ බැගින් හෝ රැස් කිරීමට පසුබට නොවූ කණ්ඩායම්ය. ඉන්දියාවට සිදුවූ දෙය ගැන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සතුටකි. මේ තරගාවලිය ඇරඹෙද්දීම අප කියූවේ ඉන්දියාවට අවසන් තරගයට යන්නට හැකියාව නොමැති බවයි. ඔවුන් අධික වෙහෙසකින් ක්‍රීඩා කරන බව අපි ලියූවෙමු. එසේම සත්කාරක රට වශයෙන් මුදල් ඉපැයීම ගැන දැඩි අවධානයක් යොමු කිරීමද ඉන්දියාවට ප්‍රශ්නයක් විය. තරගාවලියේ පළමු ඉරිදා දිනයන් දෙක ඉන්දියාවට වෙන්වූයේ වැඩි ආදායමක් ලැබීමටය. පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය බිලියනකට වඩා වැඩි පිරිසක් නැරඹූ බව දැන් ගණන් බලා තිබේ. එහෙත් එම තරගයෙන් පසුව සතියක් ගතවනතුරු ඉන්දියාවට තවත් තරගයක් තිබුණේ නැත. මෙය ඔවුන්ට පාඩුවක් බව බොහෝ විචාරකයෝ තරගාවලියේ කාල සටහන එද්දීම කියූහ. එහෙත් තරග විකාශයෙන් ලැබෙන වාසිය ඊට වඩා වැඩි විය. මේ නිසා ඉන්දියාව සතියක් බලා හිඳ ඊළඟ ඉරිදා නවසීලන්තයට මුහුණ දුන්නේය. අමතක නොකළ යුත්තේ සත්කාරක රට වශයෙන් ඉන්දියාවට මේ වරප්‍රසාදය තිබෙන බවයි. එහෙත් කුමන වරප්‍රසාදයක් තිබුණත් තරග දිනන්නට බැරි නම් වැඩක් නැත යන්න මේ තරගාවලියේ දී ඉන්දියාව පෙන්වූයේය.
මේ තරගාවලියේ කැපී පෙනෙනම කණ්ඩායම් වූයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තයයි. ශ්‍රී ලංකාවේ ඉදිරියට පැමිණීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට හේතු වූ බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට 2022 දී ද සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දෙන්නට සිදුවන්නේ ඔවුන්ගේ වරදකින් නොව පෙර වැරදි නිසාය. එය අයි.සී.සීයේ ප්ලෑන් එකක් නොවේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙය අමතක කර වඩාත් ප්‍රබල කණ්ඩායමක් ලෙස 2022 ලෝක කුසලානයට ගමන් කළ යුතුය. ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන මැදපෙරදිග පිටිවලට ගැළපෙන කණ්ඩායම් තුනක් අතරින් රිංගා අවසන් තරගය කරා ගමන්කිරීමට සමත් වූ නවසීලන්තයද මෙවර සුවිශේෂ කණ්ඩායමක් විය. ඔවුන්ගේ පන්දු රැකීම සියලු කණ්ඩායම්වලට ආදර්ශයක් විය. නායකත්වය උපරිමයට පැමිණියේය. වසර දෙකක් තුළ තම කණ්ඩායම විස්සයි 20, එක්දින හා ටෙස්ට් තරගවල ලෝක කුසලානයන්හිදී අවසන් තරගයක් කරා ගෙන ආ පළමු නායකයා ලෙස කේන් විලියම්සන් තමන්ගේ නම ඉතිහාසයේ ලියා හමාරය. ලොවක් ආදරය කරන සංසුන් ක්‍රීඩකයෙකුට මෙයට වඩා යන්නට තවත් දුරක් තිබේද? අනෙක් අතින් ලෝකයේ අංක එකේ විස්සයි 20 කණ්ඩායම වන එංගලන්තයත් මෙවර තරගාවලිය ජයගනීවි යැයි බලාපොරොත්තු වූ කණ්ඩායම වූ ඉන්දියාවත් පරදා අවසන් තරගයට පිවිසි කණ්ඩායමක් යනු අතිශය ප්‍රබල කණ්ඩායමකි.
මෙවර තරගාවලියේ අවාසනාවන්තම කණ්ඩායම දකුණු අප්‍රිකාවයි. බංග්ලාදේශයට එරෙහි තරගයේ දී ලකුණු වේගය වැඩි කර ගැනීමට උනන්දු නොවීමේ වරදත් ඔස්ට්‍රේලියාව සමග තරගය අවසන් මොහොතේ අත්හැර ගැනීමේ වරදත් දකුණු අප්‍රිකාවට බලපෑම් කළේය. මේ තරගාවලිය අවසානයේ දී වඩාත්ම කණගාටුවට පත්වන කණ්ඩායම වනු ඇත්තේ ඉන්දියාව නොව දකුණු අප්‍රිකාවයි. එකමුතුව එකිනෙකාට සහාය වෙමින් ක්‍රීඩා කිරීම ජයග්‍රහණයට පාර කැපෙන බවට මේ තරගාවලියේ දී ඔප්පු කළේ ශ්‍රී ලංකාව, පාකිස්ථානය, සහ නවසීලන්තයයි. කණ්ඩායමකට අවශ්‍ය වන්නේ තනි තනි තරු නොව එකාවන්ව ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් බව තවමත් සත්‍යයක් වූයේ මේ කණ්ඩායම් නිසාය.
කාංචන දසනායක