ශ්‍රී ලංකාවේ දේශපාලකයන් හා ඉහළ පෙළේ නිලධාරීන් සාම්ප්‍රදායික කෘෂිකර්මය වස විසෙන් පිරුණු එකක් බවට උමතුවෙන් මෙන් විශ්වාස කරන අතර එයට ඇති සාර්ථක විසඳුම කාබනික වගාව බවටත් විශ්වාස කිරීම කනගාටුවට කරුණකි.
සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය සඳහා කෘෂිරසායන ලබා නොදී සම්පූර්ණයෙන් කාබනික කෘෂි වගාවට එක් රැයකින් පරිවර්තනය වීමට ගන්නා ඇතැම් තීරණ නිසා රට පෙර නොවූ විරූ ව්‍යාකූල තත්ත්වයකට ඇද දමා ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් දිනපතා කෘෂිකර්ම ඇමැතිගේ පඹයින් පුළුස්සමින් ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණවල නිතරවීම අද අපට දක්නට ලැබේ.
එසේම ජනතාවගේ උද්ඝෝෂණවල පළමු ඉලක්කකරුවා කෘෂිකර්ම ඇමැති වුවත් ජනාධිපතිතුමාට මෙම තීරණය ගැනීම සඳහා බල කරන ලද උපදේශකයන් කවුරුන්ද යන්න රටට විවරණය නොවීම හා ඔවුන්ගේ පඹයින් නොපිලිස්සීම කනගාටුවට හේතුවක් වේ. තවද කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයින් අධික සංඛ්‍යාවක් මෙම තීරණයට විරුද්ධත්වය පළ කළ ද එයින් කිසිදු පලක් වී නොමැත.
මෙවැනි ඉතා බැරෑරුම් තීරණයක් ගැනීමට පෙර කළ යුතුව තිබුණේ එම විෂය හා සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් සමග ගැඹුරු අධ්‍යනයක යෙදීම, කාබනික අමුද්‍රව්‍ය හා සම්පත් පිළිබඳව තක්සේරුවකට පැමිණීම හා නිෂ්පාදන හා බෙදාහැරීමේ කළමනාකරණය සැලසුම් පිළිබඳව මූලික හා ගැඹුරු අධ්‍යයනයක යෙදීමයි. එසේ නොකළ බවට ඒ හා සම්බන්ධ විද්වතුන්ගෙන් නැගෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වේ.
මෙලෙස රට කඩි මුඩියේ කාබනික වගාවට පරිවර්තනය කිරීමට හේතු වූ ප්‍රධාන හා නොකී කාරණය වනුයේ ජාතික භාණ්ඩාගාරය හිස් වීම සහ පොහොර මිල සහනාධාර පිරිවැය පියවා ගැනීමට නොහැකි වීමය. කෙසේ වුවද ශ්‍රී ලංකා රජය මෙම ගැටලුකාරී තීරණයේ දිගටම එල්බ සිටිනවාට වඩා සම්මුතියකට එළඹීම යෝග්‍යය. දැන් එය ක්‍රම ක්‍රමයෙන් සිදු වෙමින් පවතින බව පෙනී යයි.
1960 දශකයේ දී පුනර්ජීවනය වූ කාබනික කෘෂිකර්මාන්තය මේ දක්වා ගෝලීය වගා බිම්වලින් 1.5% ක් දක්වා ළඟා වී ඇති අතර වාර්ෂිකව ඉතා සුළු 2% ක ප්‍රමාණයේ වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම කාබනික ගොවිපළ ආවරණය පුළුල් කිරීමට දැඩි උත්සාහයක් ගත් බොහෝ රටවල් අතුරින් 10% කටවත් ළඟා වීමට හැකි වූයේ රටවල් 16කට පමණි. තවද කාබනික කෘෂි ඉඩම් 66% පමණ තෘණ බිම්ය.
2008 වසරේ දී වගා ඉඩම් හෙක්ටයාර 54,000ක් වැනි සුළු ප්‍රමාණයක් නමුත් ගොවිපළ පොහොර සඳහා විශාල සත්ත්ව සම්පතක් ඇති භූතානය රටෙහි කෘෂිකර්මය 2008 වසරේ දී 2020 වනවිට සහමුලින්ම කාබනික රටාවට පර්වර්තනය කිරීමට ඉලක්ක කරගත් නමුදු ළඟා විය හැකි වූයේ 10% කට පමණි. කෙසේ වෙතත් රසායනික පළිබෝධනාශක භාවිතය වාර්ෂිකව 11.5% වර්ධනය වන බවට වාර්තා වේ. එයින් භූතාන් ගොවීන්ගේ කාබනික වගාවට ඇති ඇල්ම මොනවට පැහැදිලිය.
හරිත විප්ලවයේ පියා ලෙස සැලකෙන ‘නෝමන් බෝර්ලොග්’ 2010 වර්ෂයේදී නොබෙල් සංසදයෙහි ඔහු කළ දේශනයේ දී ප්‍රකාශ කළේ සියලුම කෘෂිකර්මාන්තය කාබනික නම් වගා බිම් ප්‍රමාණය ඉතාමත් වේගයෙන් වැඩි කළ යුතු බවත්, වනාන්තර හා වෙනත් ඉඩම් විශාල ප්‍රමාණයක් වගාවන් සඳහා කැප කළ යුතු බවත් එයින් ඇතිවන පාරිසරික හානිය සිතීමටවත් නොහැකි වගත්ය. මෙම මතය සනාථ කරමින් ගෝලීය ආහාර ඉල්ලුම සපුරාලීම උදෙසා ඒ අනුව 65% සිට 200% ක වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකින් ද සනාථ කොට ඇත. විද්‍යාත්මක ගණනය කිරීම් වලින් හෙළිදරව් කරනුයේ සාම්ප්‍රදායික ගොවිතැන ආහාර නිපදවීමේ දී වැඩි ඵලදායිතාවයක් ඇති බවය. කෙසේ වෙතත් කාබනික ගොවිතැන ඵලදායී වන බවට සිදුකර ඇති ගණනය කිරීම් ද නැතුවාම නොවේ.
අද ලොවට පවතින සැබෑ අභියෝගය වනුයේ දැනට පවත්නා භූමියෙන් 60% ක වැඩි ආහාර ප්‍රමාණයක් 2050 වසර වනවිට නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයෙන් උත්පාදනය කිරීමයි. එය කාබනික කෘෂි කර්මාන්තයෙන් සිදුකළ හැකි ද? නිතර සඳහන් වන කියමනක් වනුයේ කාබනික කෘෂි කර්මාන්තයට පෘථිවිය සුරැකිය හැකි නමුත් සාම්ප්‍රදායික කෘෂිකර්මය ලෝකය පෝෂණය කරනු ඇති බවයි. මෙම කඳවුරු දෙකේ වෙනස්කම් දවල් හා රාත්‍රියේ වෙනස මෙන් යැයි බොහෝ විද්වතුන්ගේ කියමනකි.
පොහොර භාවිතය
ගුණාත්මකභාවය තහවුරු වන හා නිර්දේශ කරන ලද ප්‍රමාණයන් භාවිත කිරීම අනුව රසායන පොහොර භාවිතය සෞඛ්‍යයට අහිතකර නොවන බව තහවුරු වී ඇත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ අධික ලෙස පොහොර භාවිතයයි. රසායනික පොහොර වල ඇති නරක පැත්ත වනුයේ නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය සඳහා යූරියා ඇමෝනියම් සල්ෆේට් ආදිය සඳහා ස්වභාවික වායු සහ පොසිල ඉන්ධන වලින් 5% ක් පමණ භාවිත කිරීමයි. කෘත්‍රිම පොහොර අධික ලෙස පසට එකතු කිරීම නිසා ඇති වන නයිට්‍රජන් ඔක්සයිඩ් වලින් ගෝලීය උණුසුම ඉහළ යාමක් ද සිදුවේ. එසේම රසායනික නයිට්‍රජන් පොහොර පසට කාන්දුවීම තුළින් ගංගා හා සාගර ආශ්‍රිතව මියගිය කලාප බිහිවීමට ද සිදු වී ඇත. උදාහරණයක් වශයෙන් තේ වතුවල රසායනික පොහොර කාන්දුවීම, පස ඛාදනය වීමත් සමග සිදුවේ. තේ වගා කරන බොහෝ බිම්, බොහෝ කඳුකර බැවින් 40% සිට 60% දක්වා පොහොර අපතේ යන වග පර්ෙය්ෂණ මගින් පෙනී ගොස් ඇත. සාමාන්‍යයෙන් පිළිගැනෙන මතයක් නම් කාබනික පොහොර යෙදූ පසෙන් කාන්දු වන පෝෂ්‍ය පදාර්ථ අවට ජලය හා වාතයට මුසුවීම රසායනික පොහොර වලින් සිදුවන කාන්දුවට වඩා අඩු වගයි. කෙසේ වුවද 1990 දශකයේ ස්වීඩනයෙහි දී කරන ලද ක්ෂේත්‍ර පර්ෙය්ෂණයකින් හෙළිදරව් වූයේ කාබනික ගොවිබිම්වලින් සාම්ප්‍රදායික ගොවිබිම්වල වඩා පෝෂණ ඉවත්වීම වැඩි විය හැකි බවයි.
මෙම පර්ෙය්ෂණයෙන් පෙනී ගියේ කාබනික පසෙන් සපයන ලද නයිට්‍රජන් ප්‍රමාණයෙන් භෝගය 65% ක් ලබාගත් අතර 35% කාන්දු වූ වගයි. නමුත් සාම්ප්‍රදාය කෘෂි පසකින් 81% ක් බෝගය ලබාගත් අතර කාන්දු වී ඇත්තේ 19% ක් පමණි. මෙම දත්තයන් කාබනික කෘෂි විද්වතුන් පිළිගැනීමට අකමැති වනු ඇත. එහෙත් ඉතා ප්‍රකට ජේම්ස් මැක්විලියම්ස් (2010) ලියන ලද Just Food නැමති සුප්‍රකට පොතෙහි (75 පිටුවේ) සඳහන් වී ඇත. තවද කෘත්‍රිම පොහොරවලට වඩා කොළ පොහොරවලින් පොස්පරස් කාන්දු වන වගද එම පොතෙහි සඳහන් වී ඇත.
කෘමි නාශක ද්‍රව්‍ය
කාබනික ගොවිතැනේ දී ස්වභාවික දිලීර නාශක ලෙස ගෙන්දගම්, තඹ සහ කොපර් සල්පේට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. උදාහරණයක් ලෙස වෙනත් පළිබෝධ නාශකවලට වඩා ගෙන්දගම් භාවිතයෙන් කැලිෆෝනියාවේ දී මිදි ගොවිපල සේවකයන්ට ආබාධ ඇති වන බව පර්ෙය්ෂණවලින් හෙළි වී ඇත. කාබනිකව වගා කරන ලද මිදි මත ඉසින ලද ගෙන්දගම් දූවිලි, නිදන්ගත ශ්වසන රෝග ඇති කරන බවටද වාර්තා වී ඇත. කොපර් සල්පේට් හා පල්මානික්කම් වර්ගීකරණය කර ඇත්තේ පළමු ගණයේ විෂ වර්ගයක් ලෙසය. විශේෂයෙන්ම මාළුන්, පණුවන් හා පසට වඩා අහිතකරය. තඹ පසට ඉසීමෙන් පසට ජෛව හානියක් සිදු නොවන බැවින් එය පසට දැඩි ලෙස එකතු වේ. කොපර් සල්ෆේට් තඹ එකතුවීම පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් නිගමනය කර ඇත්තේ මිදි වත්තක වැඩ කරන කාන්තාවකගේ මව්කිරිවල කොපර් ප්‍රමාණය එලෙස රසායනික මූලාශ්‍රවලට භාජනය නොවූ කාන්තාවකගේ මව්කිරිවල ඇති කොපර් ප්‍රමාණය මෙන් 6.2 වැඩි ගුණයකින් යුක්ත බවයි. තවදුරටත් කරන ලද පර්ෙය්ෂණවලින් හෙළි වී ඇත්තේ කාබනිකව වගා කරන ඇපල් වතුවල කොපර් සල්ෆේට් අඛණ්ඩව යෙදීම තිරසාර ඇපල් නිෂ්පාදනය අනතුරේ හෙළීමට හේතු විය හැකි බවයි.
කෘමිනාශක සාම්ප්‍රදායික හෝ කාබනික වුවද සිදුවනුයේ ඉලක්ක කර ගත් පළිබෝධකයින්ට වඩා අන් බොහෝ ජීවින්ද විනාශ ෙවන වගයි. ඇමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු මෙන්ම ඉහළ පෙළේ පිළිගත් අණුක ජීව විද්‍යාඥයකු වන බෘස් ඒමිස් පෙන්වා දෙන ආකාරයට අපට නිරාවරණය වූ රසායන ද්‍රව්‍ය 99.9% ප්‍රමාණයක්ම සම්පූර්ණයෙන්ම ස්වභාවික බවයි. (Strong views on origins of Cancer: New York Times 1998 15th July) නමුත් සාම්ප්‍රදායික පළිබෝධ නාශක කෙරෙහි ඇති අපගේ වැරදි මත අනුව මෙම යථාර්ථය පිළිගැනීමට අපහසු වීමයි. අප කාබනික හෝ වෙනත් ආකාරයකින් ශාක ආහාරයට ගන්නා විට සාමාන්‍යයෙන් විෂ රසායන ද්‍රව්‍ය 50ක් පමණ පරිභෝජනය කරන අතර ඒවායින් බොහෝමයක් ස්වභාවික බව එම ලේඛකයාගේ තර්කයයි.
කෘත්‍රිම හා ස්වභාවික රසායනික ද්‍රව්‍ය මගින් සෞඛ්‍යයට සිදුවන බලපෑම්වල කිසිදු වෙනසක් නොමැති බවටද සාක්ෂි ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂක ඒජන්සිය (EPA) මෑතක කරන ලද අධ්‍යයනයකින් සඳහන් කරනුයේ ආහාර දූෂක ලෙස සලකන පළිබෝධනාශක අවශේෂ වැදගත් නොවන බවයි. එසේම විද්‍යාඥයින් සඳහන් කරන්නේ කාබනික ආහාර පරිභෝජනය සෞඛ්‍යයට හිතකර බවට ඔප්පු කළ හැකි සාක්ෂි ද නොමැති බවයි.
ජේම්ස් මැක්විලියම්ස්ගේ ඉහත සඳහන් කළ කෘතියේ ද තර්ක කරන්නේ කෘත්‍රිම පළිබෝධ නාශකවල ඇති අවදානම අධිතක්සේරු කර ඇති අතර කාබනික වගාවේ යොදා ගැනෙන පළිබෝධ නාශකවල අවදානම විශාල ලෙස අවතක්සේරු කර ඇති වගයි. මෙහිදී පැහිදිලිවම නොකියන කාරණය නම් කාබනික ගොවිපළවල සිදුවන සියල්ල ස්වාභාවිකය යන වෙළෙඳ ප්‍රතිරූපය පුද්ගලයන්ට ප්‍රක්ෂේපණය කිරීමට වෙර දැරීමයි.
කාබනික ගොවිතැනේ දී රොටෙනොන් (Rotenone) සහ පයිරෙත්‍රින් (Pyrethrins) වැනි විෂ සහිත ශාක සාර කිහිපයක් කෘමි පාලනය සඳහා භාවිත කරයි. ඒවා පාරිසරික හා සෞඛ්‍ය අවදානම් ඇති කරයි. රොටෙනොන් කුරුල්ලන්ට මධ්‍යස්ථ ප්‍රමාණයෙන් විෂ සහිත වන අතර මාළුන් සඳහා ඉතා විෂ වේ. එසේම රොටෙනොන් පයිරෙත්‍රින් සමඟ මිශ්‍ර වූ විට මී මැස්සන්ට ද අහිතකර වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීය ආරක්ෂිත සහ සෞඛ්‍ය පරිපාලන ආයතනය අනුව එය මිනිස් අක්මාවට හා වකුගඩුවලට හානි කිරීමට හැකිය. ඇතැම් පර්ෙය්ෂණයන් පෙන්වා දෙනුයේ රොටෙනොන් සහ පාකින්සන් රෝගය අතර සම්බන්ධයක් ඇති බවයි. පයිරෙත්‍රින් (Pyrethrins) බොහෝ සතුන්ට විෂ සහිත බව පෙන්වා දී ඇත. එය මිනිස් පිළිකා කාරකයක් වීමට අමතරව මසුන්ට විෂ සහිත වන අතර කටුස්සන් ද මරා දමන බවට පෙන්වා දී ඇත.
ප්‍රතිජීවක හා බැර ලෝහ
කොම්පෝස්ට් ගොඩවල්වල ඇති ප්‍රතිජීවක වලින් ඇත්තේ සෞඛ්‍යයට අවදානමකි. කොම්පෝස්ට් කිරීමෙන් කාබනික සංයෝග බොහොමයක් බිඳ දැමීමට උපකාරී වන අතර සතුන්ගෙන් එය ප්‍රතිජීවක දිරාපත් වීමට බෙහෙවින් ප්‍රතිරෝධී වේ. කාබනිකව වගා කරන ලද එළවළු හා පළතුරුවල ප්‍රතිජීවක බොහෝ දුරට දක්නට ලැබෙන අතර ඒවා පරිභෝජනය කිරීමෙන් ප්‍රතිජීවකවලට ප්‍රතික්‍රියා නොකරන බැක්ටීරියා ශරීරයේ වැඩිවීමට හැකිය.
කැඩ්මියම්, සින්ක්, ආසනික් සහ ඊයම් වැනි බර ලෝහ රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර යොදන පසේ වැඩිපුර එකතුවීමේ ප්‍රවණතාවයක් ඇත. එනම් රසායන පොහොරවලට වඩා වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර පසට යෙදීමත් සමග බෝගවලට එකතු වුණ බැර ලෝහ ප්‍රමාණයත් වැඩිය. බොහෝ විට කාබනික එළවළු සහ පලතුරුවල බැර ලෝහ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීමෙන් මෙය සනාථ කෙරේ.
පොහොර හා පළිබෝධනාශක අවභාවිතය
විශේෂයෙන් සාම්ප්‍රදායික ගොවිතැනට ඇති එක් බරපතළ ප්‍රශ්නයක් නම් කෘෂි රසායන අධික ලෙස භාවිත කිරීමය. කාබනික ගොවිතැන මෙම ගැටලුවලින් තොර නොවන බව ඉහත සාක්ෂිවලින් පැහැදිලි වේ. ස්වීඩනය, කැනඩාව සහ ඉන්දුනීසියාවේ සමහර පර්ෙය්ෂණ වැඩසටහන් මගින් පලිබෝධනාශක භාවිතය 50% 60% දක්වා අඩු කළ හැකි බව පෙන්නුම් කර ඇත. (Pimental al.(2005) Bioscience, 55 (7) 573-581)
සාම්ප්‍රදායික පළිබෝධ නාශකවල විෂ සම්බන්ධයෙන් ගත්කල පසුගිය අඩ සියවස තුළ අධික විෂ සහිත පළිබෝධනාශකවල සිට ඉතා අඩු විෂ සහිත පළිබෝධනාශක කරා ක්‍රමානුකූලව පරිණාමය වී ඇත.
අනෙක් අතට කාබනික ගොවිතැන සඳහා නිර්දේශිත පළිබෝධනාශක හමුවූ බවට වාර්තා ඕනෑතරම් තිබේ. මහාචාර්ය නයෝකි මොටොයාමා (Professor Naoki Motoyama ටෝකියෝ කෘෂිකර්ම විශ්වවිද්‍යාලය 2012) කාබනික පළිබෝධ නාශක සූත්‍රවල සාම්ප්‍රදායික කෘමි නාශකයක් වන ඇබමෙක්ටීන් (Abamectin, LD50=10 mg/kg) ඇතුළු විෂ සහිත පළිබෝධනාශක අටක් අවම වශයෙන් හඳුනාගෙන ඇති බවට වාර්තා වේ. එබැවින් කාබනික පළිබෝධනාශකවල සත්‍යතාව සමහර විට සැක සහිතය.
විශේෂයෙන් උඩරට එළවළු ගොවීන් අතර අධික ලෙස රසායනික පොහොර භාවිතය බහුලව දක්නට ලැබේ. සමහර ගොවීන්ගේ අදහසක් වනුයේ පොහොර වැඩිපුර භාවිතයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවයි.
අපට වඩා වැදගත් වනුයේ කෘෂි රසායනවල ඇති අවාසි වළක්වා ගැනීම කාබනික ගොවිතැනට පර්වර්තනය වීම නොව විචක්ෂණශීලී කෘෂි රසායන භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමය. මේ ප්‍රශ්නයට ඵලදායී විසඳුම් ලබාදීමට බලයට පත්වූ රජයන් දිගින් දිගටම අසමත් වී ඇත. අවසාන වශයෙන් කාබනික ගොවිතැන වසවිසෙන් තොර නොවන අතර ගෝලීය කෘෂිකාර්මික පසුබිම තුළ එය මෙතෙක් කුඩා ස්ථානයක් පමණක් අත්පත් කරගන්නා බැවින් ජනගහනයට හා පරිසරයට ඇති බලපෑම කුඩාය. කෙසේ වුවද අනාගතයේදී කෘෂි රසායන ද්‍රව්‍ය විචක්ෂණශීලී භාවිතය සහ ආරක්ෂක තාක්ෂණය උත්පාදනයෙන් මිනිසාට ඇති සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් සැලකිය යුතු ලෙස අඩු විය යුතුය.
ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ