ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි. 1967 දී ඇඹුණු මෙම යුද්ධය 1975 දී අවසන් වූ පසුව කළ ගණන් බැලීම් අනුව 275000 – 310000 අතර ජීවිත විනාශ වී තිබු බව තහවුරු කෙරුණි. ඒ අනුව ඉතිහාසයේ අති දරුණු සිවිල් යුද්ධයක් බවට කාම්බෝජ සිවිල් යුද්ධය නම් කළ හැකිය.
මේ සිවිල් යුද්ධය නිමාවෙන් පසුව, දුප්පත්කමේ පතුළටම වැටුණු කාම්බෝජය, ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගන්නේ 1990 දශකයේය. සංචාරකයන් අතර කාම්බෝජය ජනප්‍රිය ගමනාන්තයක් වෙන අතර එහිදී වැඩි අවධානය යොමු වෙන්නේ ‘අංකෝර් වට්’ නම් ලොව විශාලම බෞද්ධ සිද්ධස්ථානය වෙතය. ‘අංකෝර් වට්’ වෙනම කතාවකි.
අංකෝර් සිද්ධස්ථාන පිහිටා ඇත්තේ සියම් රියප් නගරය ආශ්‍රිතවය. කුඩා ගුවන්තොටුපොළක් (මත්තල වැනි) ඇති සියම් රියප් නිතර සංචාරකයින් පැමිණෙන නගරයකි. මේ නගරයට එන බොහෝ දෙනා සියම් රියප් හි යුද කෞතුකාගාරය නැරඹීමට යති. එය යුද්ධයක් පැවති අප වැනි රටක සංචාරකයෙකුට පැය දෙකක පමණ කටයුත්තක් වෙන අතර යුද්ධයකට මුහුණු නොදුන් අයෙකුට නම් පැය හතර පහක අධ්‍යයනයකි. මූලික වශයෙන් මෙය හඳුන්වා දිය හැක්කේ එළිමහන් කෞතුකාගාරයක් ලෙසිනි. එයට හේතුව, යුධෝපකරණ බොහොමයක් එළිමහනේ ස්ථාපතික කර ඇති හෙයිනි. එහෙත් මේ නිසාම ඒවායේ බාහිර පෙනුමට හානි වී තිබෙන අයුරු දැක ගත හැකිය.
සිවිල් යුද්ධයේ දී භාවිත කළ යුධෝපකරණ, ගිනි අවි සහ කාම්බෝජ යුද්ධයේදී වැඩියෙන්ම භාවිත වූ යුදඅවියක් වූ බිම් බෝම්බ ආදියත් එයින් සිදුවූ හානිය පිළිබඳවත් මෙම කෞතුකාගාරයට පැමිණෙන පිරිසට ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය. එසේම යුද්ධය සම්බන්ධයෙන් ලියැවුණු විවිධ කෘති අලෙවි කරන පොත්හලක් ද මෙහි තිබේ. ඇතැම් අවස්ථාවල එම කෘති ලියූ ලේඛකයන් යැයි කියන්නෝද සිටිති. හොඳ භාෂා පරිවර්තකයෙකු සිටියි නම් මේ පිරිස සමග කතාබහ කර ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ අවස්ථාවක් ද සංචාරකයන්ට තිබේ. සියම් රියප් වෙත යන අයෙකුට, නරග මධ්‍යයේ සිට ඩොලර් 4 කට හෝ ඊට මදක් වැඩි මුදලකට ත්‍රීරෝද රථයකින් ගොස් මෙම යුද කෞතුකාගාරය නැරඹීමට හැකිය. සියම් රියප් හි ත්‍රීරෝද රථ රියැදුරන්ට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමේ හැකියාව සහ යම් ප්‍රමාණයකට සන්නිවේදනය කිරීමේ හැකියාව තිබේ. මේ නිසා ගමන පහසුය. මේ ගමන අතරතුර, පැරණි බෞද්ධ විහාරද ඔබට දැක ගත හැකිය. සියම් රියප් වෙත යන ඔබට, ඇමෙරිකානු ඩොලර් ළඟ තබා ගැනීම වටී. විශේෂයෙන් ඩොලර් එක,දෙක, පහ වැනි නෝට්ටු මෙහිදී නිතර භාවිත කිරීමට සිදුවෙයි. ඒ බොහෝ ගනුදෙනු ඩොලර්වලින් සිදුවෙන නිසාය. මේ නිසා වෙනත් රටවලදී වැඩි ඉල්ලුමක් නැති කුඩා නෝට්ටු, කාම්බෝජයේ සංචාරක නගරවලදී වැඩි වශයෙන් භාවිත කළ හැකි බව මතක් කළ යුතුය.
අපේ රටේද යුද්ධයක් තිබුණි. එහෙත් යුද කෞතුකාරගාරයක් නැත. යුද කෞතුකාගාරයක් යනු වෛරය වපුරණ ස්ථානයක් නොවේ. යුද්ධයේ ඛේදය පෙන්වන ස්ථානයකි. එහෙත් එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආදායම් ලැබිය හැකි ස්ථානයකි. ඒ ගැන බලධරයන් මතක තබා ගැනීම වටී.
සටහන/ඡායාරූප
කාංචන දසනායක