කාලීන සිදුවීම් තේමා කරගත් අපූරු කවි දෝතක්



වර්ෂ 2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගාවලියේ හොඳම කාව්‍ය කෘති කිහිපය අතරට නිර්දේශ වූ “ගුරු වලප” කාව්‍ය සංග්‍රහය ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ විසින් රචනා කරන ලදී. “මකුළු මිනිසෙකි මගේ ගේ තුළ” පද්‍ය සරණිය ඇයගේ දෙවන කාව්‍ය කෘතිය වන අතර, එය වර්ෂ 2022 දී ජනගත කෙරිණි. කාලීන සමාජ සිදුවීම් කිවිඳියගේ බොහෝ කවිවලට  නිමිතිවී තිබීම  තුළින් ඇයගේ සමාජ සවිඥානික බව විද්‍යමාන කරයි. 

 
පුරුෂයකුගේ ගතික සිත පාදක කරගනිමින්, “ස්වාමි” කව රචිත ය. සැමියාගේ බිරිඳ කිවිඳියකි. ඒ හේතුවෙන් ඔහු, ඇය දෙස බලන්නේ සැකය පෙරටු කරගත් සිතකිනි. 
 
“ලියන හැම කවියක ම විපරමින් ඇවිදින 
සැකයේ ඔලගුවට අඩුම කුඩුමම සපයන 
කන්දක් වගේ ඔබ ඇතුළතින් කැකෑරෙන 
බිහි ලොවට ශාන්ත ව හිස නවා හිනාවෙන”
 
කාව්‍යකරණයේ නියැළෙන විවාහක කිවිඳියන් සමහරෙකු මුහුණපාන සුලබ ඛේදවාචකයක්, කිවිඳිය පාඨකයා හමුවේ නිරූපණය කරන්නී ය. එවැනි ස්ත්‍රියක ප්‍රේමය, විරහව, කුටුම්බයේ ගැටලු‍, අසම්මත යයි ඇතැමුන් හඳුන්වන ප්‍රේම බන්ධන පිළිබඳ කවි පබඳන විට, ස්වාමියා ඒ දෙස බලන්නේ සැක මුසු කෝණයකිනි. ඒ ඇයගේ ම අත්දැකීමක් කවි කරන්නේ දැයි සිතින් තැවෙමිනි. “කන්දක්” යනු නොසැලෙන ශක්තිමත් වස්තුවකි. කිවිඳියගේ ස්වාමියා ද එලෙසම ය. නමුදු කන්දක් වුව නාය යෑ හැකි ය. ඔහු ද සිතින් දෙගිඩියාවෙනි; බියෙනි; පසුතැවිල්ලෙනි. කිවිඳියගේ රූපාකාර්ථවත් පද භාවිතය ඖචිත්‍ය ය. එහෙත් ලෝකයාට සතුටු මුහුණක් පෙන්වමින් ඔහු ජීවත් වන්නේ ය. කිවිඳිය විවාහක ස්ත්‍රියක වූවද, මෙම සමාජ කාරණය අව්‍යාජව හා නොබියව සමාජගත කිරීම පැසසිය යුතු ය. 
 
“ජීවිතය” හිසින් යුත් පද්‍ය පන්තිය ජීවිතයේ අනිත්‍ය බව පසක් කරන නිමැවුමකි. එය මතුපිට අරුත් ඉක්මවා පාඨකයා ඥානමය වශයෙන් ආලෝකවත් කිරීමට සමත් නිර්මාණයකි. 
 
“හැරී නොබලමින් ආපසු 
එක් වරකුදු ශෝක සිතින 
වසත් මායිමෙන් පිය මැන  
ගිමත් කලට යමි සතුටින”
 
කිවිඳිය ජීවිතයේ මැදි වියට එළැඹුම පිළිබඳ ශෝක නොවන්නී ය. බාහිර රූපයේ වෙනස්වීම ඇය සඟවන්නට උත්සාහ නොකරන්නී ය. නරකෙස් මතුවීම, සම රැලි වැටීම ඇයගේ වයෝවෘද්ධ බව රූපණය කරන්නී ය. තම කුසින් බිහිකළ දරුවන් පිළිබඳ නොතැවෙන්නී ය. මේ නිසා කුටුම්බයට පමණක් නොව, ලෝකයා වෙත ද ඇය කළ ආදරය පිළිබඳ තුටු වන්නී ය. ඇයගේ අවසන් පැතුම ද පරාර්ථකාමී ය. ජීවිතය පිළිබඳ උපේක්ෂාවෙන් බලන මිනිසුන් අද ද හිඟ නොවේ. 
 
“සුවඳ ඉවර වී යම් දින 
බිම පතිත වුවත් කම් නැත 
පොහොර වෙමි ගසේ මුල් මත 
දී සාරය නව මලකට” 
 
මානව බන්ධුතා අතර පවතින දුරස්ථභාවය “පර මල” පැදි පෙළෙන් නිරූපිත ය. සමාජ, ආර්ථික, දේශපාලනික ව්‍යසනයන් හමුවේ කල් ගෙවන මිනිසුන්ගේ ජීවන රටාව කෘතිමය; කලහකාරී ය; අවිවේකී ය. නිවසන සාමාජිකයකු පිළිබඳ අවධානයක් යොමු නොකරන තරමට, ඔවුනගේ ජීවිත යාන්ත්‍රිකය. එවැනි නිවසක උදය කාලය යුද්ධයක් වැනි ය. කලබලය; ඝෝෂාකාරී ය. 
 
“වේගයෙන් තරගයක ඔරලෝසු කටු දුවන 
ඒ පසුපසින් මිනිස් කෝච්චිය හැල්මෙ යන 
ගිලිහෙන්න ආසන්න පර මලක් ඇඳක් මත 
අවසාන හුස්මකට ගැහි ගැහී වෙර දරන”
 
“පර මලක්” යනු මුකුලිත වූ මලකි. සම්පූර්ණව දිරාපත් නොවුණ ද- එහි පැහැයක්, පිවිතුරු බවක් හෝ සුවඳක් නොමැත. කිවිඳියගේ නිවසේ වෙසෙන්නේ ද එවැනි වයෝවෘද්ධ අයෙකි. ඔහු හෝ ඇය හුස්ම ගන්නට පවා මහත් පරිශ්‍රමයක් දරයි. යහනෙහි වැතිරී සිටින මහලු‍ පුද්ගලයා “පර මලක්” ලෙස සමාරෝපණය කිරීම සාර්ථකය. එය චිත්ත රූප මවන අතර, පාඨක හදවතෙහි සංවේගය වඩා තීව්‍ර කරයි. 
 
“පාසල් ප්‍රේමය” හිසින් රචිත කාව්‍යය ද වත්මන් සමාජ කාරණයක් විශද කරයි. එය කෙටි කවක් වුව අපූරු ය; නැවුම් ය. 
 
“පිපෙන හැම කැකුළ ම 
සිඳලන නමුදු සොය සොය 
මල් පිපෙන අරුමය 
නවතන්න බැරි වීම පුදුමය” 
 
කොතරම් මල් කඩා ඉවත් කළ ද ගසක් දලුලෑම හා මල් වැරීම යනු නොනවතින ක්‍රියාදාම ද්විත්වයකි. පාසල් ප්‍රේමය ද එලෙසම ය. ආචාර්ය මණ්ඩලය දෛනිකව පාසලේ ප්‍රේම සබඳතා වාරණය කළ ද, නව නීතිරීති සම්පාදනය කළ ද, පසුදා සිට එවැනි ප්‍රේම කතා තව තවත් අලු‍ත් වේ. මේ අව්‍යාජ කාරණය චිත්ත රූපිත, කාව්‍යාත්මක බස් වහරකින් රූපණය කිරීම කිවිඳියගේ ප්‍රතිභාව මැනවින් විශදවන්නකි. 
 
“දෙවන විවාහය” නම් කව ද වත්මන් සමාජය තුළ උග්‍ර ලෙස පවතින ගැටලු‍වක් අරමුණු කරගනිමින් රචිත ය. 
 
“ස්ථාන මාරුවක් වෙනස් නැත සිරගෙය” 
 
පළමු විවාහයෙන් දික්කසාද වන ඇතැම් පාර්ශ්ව දෙවන විවාහය ද සිදුකර ගනියි. එසේ පළමු විවාහයෙන් දික්කසාද වන්නේ, කුටුම්බය සිරගෙයක් තරමට ම වාසයට නුසුදුසු බිමක් වන විට ය. නමුදු එය ම හේතුවක් නොවන බව කිව මනා ය. දෙපාර්ශ්වයේ ම නොගැළපීම් මෙයට බලපානු ලැබේ. එසේ දික්කසාද වූවකු නැවත එම සිරගෙදරට ම යෑම තුළ බරපතළ පුද්ගල හා සමාජ කාරණා පැනනැගෙයි. නමුදු පළමු විවාහයට වඩා අතිසාර්ථක විවාහ දිවියක් දෙවන විවාහය තුළ ගතකරන පුද්ගලයෝ බොහෝ වෙත්. එලෙස ම පළමු විවාහයට වඩා දුක්ඛිත ජීවිත ගතකරන දෙවන විවාහ ද නැතිවා ම නොවේ. එබැවින් කිවිඳිය උපස්ථම්භනය කරන කාරණයේ සාර්ථක හා අසාර්ථක යන පැති දෙක ම සමපාත වෙමින් පවතින සමාජ කුටුම්බ ඇති බව කිව යුතු ම ය.
 
ප්‍රදීපිකා කිවිඳියක නිසා ම ඇයගේ අව්‍යාජ හෘද සාක්ෂිය ම කවියට නැගුවා දැයි පුද්ගලිකව සැක සිතෙන නිර්මාණයක් ලෙස “මගේ කවි” පද්‍ය පෙළ මම හඳුන්වන්නට කැමැත්තෙමි. අගනුවරින් බොහෝ දුර දුෂ්කර ගම්මානයක ජීවත්වන කිවිඳිය කවි පබඳින්නේ මහත් අරගල මැදය. 
 
“සංඥා කිරණ ඉඳහිටක
ඕනෑවට එපාවට ඇවිත් යන 
නිකින්නේ දිය පිපාසෙන් අඳ ව 
අලි ඇතුන් කෝපයෙන් ගම් වදින”
 
කිවිඳිය ජීවත්වීමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නී ය. ඇයගේ පද්‍ය නිර්මාණ සාර්ථක නිසා ම, අගනුවර කවි කිවිඳියන් ඇයට ආරාධනා කරන්නේ එහි එන ලෙස ය. නමුදු ඇය කොළඹ පැමිණෙන්නේ වසරකට එක් දිනක් පමණි. ඒ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයක ය. කිවිඳිය, එය මෙසේ වාග්චිත්‍රණය කරන්නී ය.
 
“මහා කවි වැසි වැටෙන 
බිනර මාසෙක දිනක 
පිටාර ව වේල්ලෙන් ගලා ආවොත් මිසක”
 
කවි සාදවලට කොතරම් ප්‍රිය වුව ද ඇයට ඒවාට සහභාගී වීමට නොහැකි ය.  ඇය උපන් බිම තුළ ගෙවන දුෂ්කර ජීවිතය මතින් ඇයගේ කවි විකසිත වේ. ඒ නිර්මාණවල පවතින්නේ ජීවන අව්‍යාජත්වය යි. ඒ හේතුවෙන් ඇයගේ කවිය අනාගතයට සුබ දිශානතියක් පෙන්වන කවියකි.
 
“මගේ කවි සාර වූයේ මෙබිම 
ලවණ දිය බිව් බැවිනි 
උරාගෙන ගිනි හුළඟ 
හුස්ම රැකගත් බැවිනි 
සකියනි, මගේ කවි යනු 
තව අලු‍ත් පැළයකට 
පොහොර දෝතක් පමණි” 
 
මේ නිර්මාණය රසවිඳීමේ දී මට සිහිපත් වූයේ විශිෂ්ට නවකතාකාරිනියක වන ශාන්ති දිසානායක මහත්මිය යි. ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී එරික් ඉලයප්පාරච්චි හා ලක්ශාන්ත අතුකෝරල කවියා ද මේ නිර්මාණය අතර මට මැවී පෙනුණි.
 
එසේ වූයේ එම නිර්මාණකරුවන් කවි, කතා සාදවලට සහභාගී නොවුණ ද, ඔවුන්ගේ නිර්මාණ පාඨක හදවත් මහත් ආදරයෙන් වැලඳගන්නා නිසාවෙනි. මේ නිර්මාණ එකතුවේ සාර්ථක නිර්මාණයක් ලෙස මෙය සංනිදර්ශනය කළ හැකි ය. 
 
යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ඒ සඳහා වෙහෙස මහන්සි විය යුතු ය. 35වන කෙටි කව ඒ අරභයා නිර්මාණය වූවකි. 
 
“මඩ ඉසින 
වද දෙවන 
අප්‍රේල් චිරි චිරිය 
විඳිය යුතු ම ය 
මල් දකින්නට 
මැයි මාසයේ පූදින”
 
මෙය සාර්ථක අනුභූතියක් වුව‌, එහි සංක්ෂිප්ත බව ගිලිහී ගොසිනි. මගේ විඳීමට අනුව පේළි සතරකින් මේ කාරණය ම නිර්මාණය කළ හැකි ය. එය මෙසේය. 
 
 “වෙසක් මස 
මල් දකින්නට 
බක්මහේ චිරි චිරිය 
විඳිය යුතු ම ය”
 
කාව්‍ය නිර්මාණ හතළිස් එකක් සංගෘහිත මෙහි නිර්මාණ වැඩි ප්‍රමාණය පාසල ආශ්‍රිතව නිර්මාණය වූ ඒවා ය. කිවිඳිය ගුරුවරියක නිසා ම, පාසල තුළ ඇය අත්විඳින බොහෝ දෑ ඇය කවියට නගන්නීය.  “දුවගෙ ප්‍රශ්නය”, “ශිෂ්‍යයාගේ අබිනික්මන”, “නොදැමුණු”, “විස්සේ කොළය”, “රණවිරු සැමරුම දා”, “බැඳීම්”, “සාමාන්‍යකරණයට අකමැත්තෙමි”, “මහ ගෙදර”, “ඔබ”, “සමහර සවස්වල”, “සමාන” සහ “මකුළු මිනිසා”  මා මෙම කෘතියේ රස විඳි සාර්ථක නිර්මාණ වේ. කාව්‍යාත්මක චිත්ත රූපිත බස්වහර බොහෝ නිර්මාණ සාර්ථක කර ඇති අතර, ඇතැම් නිර්මාණවල සංක්ෂිප්ත බව ගිලිහී ඇති බැව් කිව මනා ය. ඇතැම් කාව්‍ය නිර්මාණ සුලබ අත්දැකීම් වුව, ඒවායේ අපූරු බවක් රූපණය නොවන නිසා සාර්ථක බව හීන වී තිබේ. 
 
“ගුරු වලප” නම් කාව්‍ය කෘතිය මා පෙර රසවිඳ ඇති බැවින්, තෙවසරකට පසු ඇය ජනගත කරන “මකුළු මිනිසෙකි මගේ ගේ තුළ” කාව්‍ය සරණිය තුළ ප්‍රදීපිකා පතිරාජ කිවිඳියගේ කවිත්වය පියවර කිහිපයක්  ඉදිරියට පැමිණ ඇති බව නිර්ලෝභී ලෙස සඳහන් කරමි. ඇයට සුබාසිංශන ගෙන එමි.
 

  • අශෝක කුලතුංග