කැප්පෙටිපොළ වීරයා දිවි පුදා වසර 203 යි


මාතලේ හුලංගමුවේ කැප්පෙටිපොළ වළව්ව

 

මෙම නොවැම්බර් 26 වැනිදාට 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නායකත්වය දුන් වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන වසර 203 ක් සපිරෙයි. 


මොණරවිල කැප්පෙටිපොල මහ දිසාව නිරතුරුවම තම ඉනෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතෙහි ලියන ලද ධම්ම පදයක් භාවිතා කළ බව බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හෙන්රි මාර්ෂල්ගේ සිංහලේ පී. 233-234 ග්‍රන්ථයේ සහ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ලේ පළමු කාණ්‍ඩය ග්‍රන්ථයේ සඳහන්ය. 


එම සටහනේ සහ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි 1818 නොවැම්බර් මස 26 වැනිදා මරණයට පත්වුණු කැප්පෙටිපොළ මහ දිසාව මෙදින උදෑසන දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය ද දළදා වහන්සේට පූජා කළේය. පුස්කොළ පොත ඉංග්‍රීසි ජාතික සෝබර්ස්ට අවසාන ත්‍යාගය ලෙස භාර දීමට එහි නිලධාරියෙකුට දැනුම් දුන්නේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේළි කිහිපයක් කියවා වධකයා දෙස බලා ‘බොල එක කඩු පහරින් මගේ ගෙල සිඳ දමව්’ කියා ඉතිපිසෝ භගවා අහරං යන පාඨය කියූ බවත් අහරං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොල දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන්වූ බවත් කියති. 
එම සටහන දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු කැප්පෙටිපොළ මහ දිසාව කළ ප්‍රාර්ථනාවක් මෙසේ සඳහන් විය. 


ඉතෝ වුතෝභ වර ජම්බු දීපෙ 
හිමාලයෙ හෙමයම්හි කූවේ 
කප්පායුකො දේවපාතීව හුත්වා 
මෙත්තෙයිය නාථස්ස සුනෝමි ධම්මං 


අර්ථය- මොලොවින් චුතව යන මා උතුම් දඹදිව හිමාල වනයෙහි ස්වර්ණ කඳඨයට කල්පයක් ආයුෂ ඇති දේවනායකයෙකුව ඉපිද මතු බුදුවන මෙතේ බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීමට හේතු වාසනා ලැබේවා. 
මොනරවිල කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා දමන මොහොත සම්බන්ධ පුවත සහ 1818 ඌව වෙල්ලස්ස නිදහස සමග ලෝක ඉතිහාසයේම රන් අකුරින් ලියවී තිබේ. 


1818 නොවැම්බර් 21 වැනිදා අලුපොතදී කොහුකුඹුරේ රාළ සහ බූටෑවේ රටේ රාළ සමග කොටියා ලකුණ දරණ ඌව වෙල්ලස්ස කොඩිය අතින්ගත් කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු සටන්කාමීන් හා ඒ සටන මර්දනය කිරීමට ඉංග්‍රීසි හමුදාවක් සමග පැමිණි මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව මුහුණට මුහුණලා හමුවිය. 


සිංහල සටන්කාමීහු මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවට චෝදනා නැගූහ. සිංහලේ නාමයෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කෙරෙන සටනේදී මව්බිම වෙනුවෙන් අප සමග එක්ව සටනේ නායකත්වය ගන්නා මෙන් ඌවේ සටන්කාමීහු කැප්පෙටිපොළ මහ දිසාවට ඇරයුම් කළහ. 


එය එසේ වේවා යි හඬ නැගූ මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව බ්‍රිතාන්‍යයේ කතිර කොඩිය ඉංග්‍රීසි හමුදාවේ කපිතාන් අතට දී ‘තොපගේ මේ කොඩියත් තොපගේ ආයුධත් රැගෙන ආපසු යනු. තොපගේ තුවක්කුවලින් තොපටම පහර දීම සිංහලයන්ට මදිකමකි. කැප්පෙටි​පොළ දිසාව ඉංග්‍රීසීන්ගෙන් සිංහලේ නිදහස් කර ගැනීම පිණිස සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වනු’යි කැප්පෙටිපොළ ගිගිරුවේය. 
ලොව අභීත යුග පුරුෂයන්ගේ නම් අතරට කැප්පෙටිපොළ මහ දිසාව එක්වන්නේ ඌව සටන්කාමීන් සමග එක්වද්දී බ්‍රිතාන්‍ය කතිර කොඩිය හා යුද ආයුධ ඔවුන්ට භාරදී පලවා හැරීම සහ මරණයේදී පවා පෙන්නුම් කළ අභීත ලීලාවන් නිසාය. 
අනුරාධපුරයේ පුලියන්කුලමේ පිහිටි බ්‍රිතාන්‍ය යුද කඳවුරේ සිටි ලෙෆ්ටිනන්ට් විලියම් ඔනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම්පියසේදී 1818 ඔක්තෝබර් 28 වැනිදා කැප්පෙටිපොළ දිසාව බ්‍රිතාන්‍ය පාලකයින්ගේ අත්අඩංගුවට පත්වුණි. 


1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සහ මඩුගල්ලේ මහ නිලමෙතුමාගේ හිස ගසා මරා දැමීමට නියම විය. කැප්පෙටිපොළ දිසාව නිරතුරුවම තම ඉණෙහි සඟවාගෙන යන කුඩා පුස්කොළ පොතක ලියන ලද ධම්ම පදයක් භාවිතා කළ බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ල පළමු කාණ්‍ඩය ග්‍රන්ථයේ සඳහන් වෙයි. 
මරණයට නියම වූ මඩුගල්ලේ නිලමේ මෙහිදී මුළුගැන්වූ බවද එහි සඳහන් වෙයි. මඩුගල්ලේ නිලමේ මෙහිදී මුළුගැන්වුණේ මෙතැනින්ද පළායාමට බව මතයක්ද වර්තමානයේ පවතී. 


කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස්කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරයක් ඉදිකර තිබේ. කැප්පෙටිපොළ දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවෙ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොනරවිල ග්‍රාමයයි. දිසාවගේ පියා ගොලහැල හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ විය. මෙම දෙපලට දියණියන් හා පුතුන් දෙදෙනක් වූහ. දියණිය ඇහැලේපොළ අධිකාරම්ගේ බිරිඳ වූ ඇහැලේපොළ කුමාරිහාමිය. වැඩිමල් පුතා මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමය විය. මව්පිය දෙදෙනාගේ පරපුර වෙනුවෙන් මොණරවිල කැප්පෙටිපොළ නමින් ඔහු ප්‍රකට විය. 


​මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ බිරිඳ දෙල්වල කුමාරිහාමිය. මේ දෙපලට එක් පුතෙක් විය. මොණරවිල කැප්පෙටිපොළ දිසාව දැයෙන් සමුගැනීමට පෙර බිරිඳට ප්‍රකාශ කර සිටියේ මොණරවිල වලව්ව භික්ෂූන් වහන්සේලාට පූජා කොට දරුවා සමග කෑගල්ලේ දෙල්වල වලව්වට ගොස් තම දෙමව්පියන් සමග ජීවත් ​ෙවන ලෙසය. කැප්පෙටිපොළ වලව්වේ ඉතිහාසය පිළිබඳව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහ කැරැල්ල පළමු වැනි කාණ්‍ඩය ග්‍රන්ථයෙහි සඳහන් කර තිබෙන අන්දමට මොණරවිල වලව්ව ඉංග්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්ව මෙහි දේපළ විනාශයට ලක්ව ඇත. අද වලව්වේ ගල් කණු කිහිපයක් පමණක් පවතින අයුරු එහි ගිය අපට දැක ගැනීමට ලැබුණි. මොණරවිල දිසාව විසින් පල්ලේපොල වේළුවනාරාම භූමියේ ඉදිකරන ලද බුදු කුටිය අදත් දැකගත හැකිය. 
මොණරවිල කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දී වාසය කර ඇත්තේ මොණරවිල ගම්පියසෙහිය. රාජකාරි සඳහා මහනුවර රජ වාසල වෙත යාමේදී අතරමග නැවතී ගිමන් හැරීම පිණිස මාතලේ හුලංගමුව ගමේ ඉදිකරන ලද වලව්ව අදත් විද්‍යමානව පවතී. 
මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්වීම නිසා ඔහුගේ එකම පුතාට කිසිම රාජ්‍ය නිලතලයක් ලැබී නැත. ඔහුගේ මුණුපුරෙක් වූ මුතුබණ්‍ඩා මොණරවිල කැප්පෙටිපොළට මාතලේ දිසාව තනතුර ලැබිණි. ඒ දිසාව විසින් හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොළ වලව්ව ප්‍රතිසංස්කරණය කර එහි පදිංචි වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවැනි මොණරවිල කැප්පෙටිපොළ දිසාව මෙම වලව්ව නඩු ඇසීමටද යොදාගෙන තිබේ. ස්වකීය පුතණුවන්ගේ විවාහ මංගල්‍යය නිමිතිකර මෙම වලව්ව වැඩිදියුණු කර තිබේ. ඉන් පසුවත් මෙම වලව්ව කිහිපවරක්ම වැඩිදියුණු කර ඇත. 


හුලංගමුව පාරේ පර්චස් 120 ක පමණ භූමි භාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16 කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට ලැබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් මෙහි පිළිබිඹු වෙයි. 
මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30 ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 ක් බැගින් ​වේ. බිත්තියක ඝනකම අඟල් 16 ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතා නොකර මැටි බඳාම විශේෂයක් මගින් බිත්ති ඉදිකර තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂී රටාවකින් නිර්මාණය කර තිබෙන මෙය දෙමහල් ගොඩනැගිල්ලකි. 


මෙම ​ඓතිහාසික වලව්වේ කැප්පෙටිපොළ දිසාවගේ හත් වැනි පරම්පරාව අදත් ජීවත් වෙති. වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ මිනිබිරියන් වන අක්කා නගෝ දෙදෙනෙක් වූහ. අක්කා මෛත්‍රී කැප්පෙටිපොළ මහත්මිය දැනට විදේශගතව සිටින්නීය. නංගි ධනරංජනී කැප්පෙටිපොළ මහත්මිය පසුගිය දිනක දැයෙන් සමුගත්තාය. ඇගේ සැමියා යන වික්ටර් හුංගමුව මහතා සහ දරුවෝ අදත් ඒ වලව්වේ ජීවත් වෙති. 

 

 

ඇම්.ඩබ්ලිව්. සෝමරත්න මාතලේ