කිඹුලිය වුනත් මව් සෙනෙහස එක ලෙසය


 

මාදම්පේ සහ නෙළුම් පොකුණ දුම්රිය ස්ථාන දෙක අතර කඩුපිටි ඔය හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ආසන්නයේ ඇති ස්ථානයක, බිත්තර දමා එම බිත්තරවලින් පැටව් බිහිවෙන තෙක් එම බිත්තරවලට දිවා රාත්‍රී දෙකේ කිඹුලියක ආරක්ෂාව සපයන අතිශය දුර්ලභ අවස්ථාව දැක ගැනීමට හැකිය.

මේ අතිශය දුර්ලභ අවස්ථාව සියැසින් දැකගැනීමට පැමිණෙන පිරිස් එහි ගිය අපට ද දැකගැනීමට ලැබිණි. කිඹුලිය ද එම බිත්තරවලට ආරක්ෂාව සපයමින් තමාගේ පාඩුවේ සිටින්නේ මෙලොව එළිය දැකීමට සිටින කිඹුල් පැටවුන්ට ඇති ආදරය සෙනෙහස නිසාය. ආදරය සෙනෙහස මිනිසුන්ට පමණක් නොව සතා සීපාවුන්ට ද උරුම වූ දෙයකි. 

මේ බවක් නොදන්නා මස් වැද්දන් කිහිපදෙනෙකු පසුගිය 27 වැනිදා රාත්‍රී කාලයේ උත්සාහ කළේ මදු ගසා එම කිඹුලිය අල්ලා මස් කිරීමටය.

සතා සීපාවට ගහට කොළට ආදරය කරන නෙළුම් පොකුණ ගමේ පිරිසක් එහි  නොපැමිණෙන්නට, මස් වැද්දන්ගේ තියුණු මන්නා පිහි පහරවලට ලක්වී ඒ අහිංසක සතාගේ ජීවිතය අවසන් වෙන්නට බොහෝ සෙයින් ඉඩකඩ තිබිණි.

කිඹුලා අල්ලා මස් කිරීමට රාත්‍රී කාලයේ කිහිප දෙනෙකු පැමිණෙන බවට, මාදම්පේ නෙළුම් පොකුණ ශ්‍රී සිරිවර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය  මාකඳුරේ සීලරතන හිමියන්ට ලැබුණු තොරතුරක් උන්වහන්සේ විසින් විහාරස්ථ දායක සභාවේ පිරිසකට දැනුම් දෙනු ලැබූහ. එම දැනුම් දීම අනුව ගමේ කණ්ඩායමක් දුම්රිය පාලමෙන් එතෙර වී එම ස්ථානයට යන අතරවාරයේ කිඹුලා අල්ලා ගැනීමට ආ අය ඔවුන් රැගෙන පැමිණි මන්නා පිහි කඹ සහ තොණ්ඩු ද රැගෙන අඳුරේම පලා ගොස් ඇත. මෙම සතා පත්ව සිටින අනාරක්ෂිත තත්ත්වය ගැන විහාරාධිපති හිමියන් පොලිසිය ද දැනුම්වත් කර ඇත.

විහාරාධිපති මාකඳුරේ ශීලරතන හිමියන් ද අවස්ථා කිහිපයක දී කිඹුලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම ස්ථානයට වැඩම කළහ. උන්වහන්සේ ද ගහට කොළට සතා සීපාවට බෙහෙවින් ආදරය කරන, වකුගඩු රෝගයෙන් පෙළුණු කතෝලික භක්තිකයෙකු වූ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වකුගඩුවක් දන් දී ජීවත්වීමේ වාසනාව උදාකර දුන් දාන පාරමිතා පුරන හිමිනමකි.

කිඹුලිය බිත්තර දැමීමට කලින්, කඩුපිටි ඔයෙන් ගලා යන දිය කඩිත්තක් ඉස්මත්තේ බිත්තර දැමීමට සුදුසු ස්ථානයක් සකස් කරමින් සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන නෙළුම් පොකුණේ පදිංචි වසන්ත ධනසීල මහතාය. ඔහු ඩැහැගැනීමට කිඹුලිය උත්සාහ කර ඇති අතර, ජීවිතය බේරාගෙන ඇත්තේ අනූ නමයෙනි.

වසන්ත මහතා මේ ගැන තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.

‘‘වෙසක් පුන් පොහොය දවසේ උදෑසන මම දුම්රිය මාර්ගය පරීක්ෂා කරමින් ගමන් කළා. මගේ අවධානය යොමුවී තිබුණේ දුම්රිය මාර්ගයේ යම් දෝෂ සහිත ස්ථාන තිබේ නම් ඒවා කෙරෙහියි. එක්වරම මගේ ඉදිරියෙන් මානා කැලේ අස්සේ ඉඳලා ලොකු කිඹුලෙක් මතු උනා. මට කරකියාගන්න දෙයක් නැතුව ගියා. මම දුවන්නට පටන් ගත්තා. අඩි විස්සක් විතර මා පසුපස කිඹුලා එළවාගෙන ආවා. මම දිව්ව නිසා කිඹුලට මාව අල්ලා ගන්නට බැරිව ගියා.

ඊට කලින් දවසක මම මාර්ගය පරීක්ෂා කරමින් යන විට මානා ගස්කැලේ පොඩි වී තිබුණා. හරියට විසි කැත්තකින් ගහලා සුද්ද කරලා වගේ. ඊට පස්සේ තවත් දවසක එම ස්ථානයේ පස්වලින් කන්දක් සකස්කර තිබෙනවා දුටුවා. ඊට පස්සේ දවසෙත් ඒ කන්ද කලින් තිබුණාට වඩා ලොකු කර තිබුණා. මම තේරුම් ගත්තා කිඹුලෙක් බිත්තර දාන්න මෙම ස්ථානය සකස් කර තිබෙනවා කියා. ඔය තැන පසු කරගෙන යද්දී මට මානා පඳුරැ අතරින් සතෙක් බඩගාගෙන යන ශබ්දත් දවස් කීපයක්ම ඇසුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. කිඹුලා බිත්තර දාන්න කලින් සකස් කරගත් පස් කණ්ඩිය මතට වී  සිටින අයුරු තමයි මුලින්ම දැක්කේ. ඊට පස්සේ මම මේ ගැන පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් ගමේ හිතවතුන්ටත් කිව්වා.

කිඹුලා මෙම පස් කණ්ඩිය මතට වී බිත්තරවලට ආරක්ෂාව සපයන අන්දම දැක බලා ගැනීමට අවට ගම්වල පිරිස් පැමිණෙමින් සිටිනවා.  මිනිසුන්ට ඒකට හුරු වෙලා. කිඹුල උගේ පාඩුවේ ඉන්නවා. කාගෙවත් පස්සේ පන්නන්න යන්නේ නැහැ. සමහර වෙලාවට වතුරේ බැහැගෙන ඌ බිත්තර දමා ඇති පැත්ත බලාගෙන ඉන්නවා.

බිත්තර පුපුරා ගොස් පැටව් එළියට එන තෙක් මේ දවස් ටිකේ මමයි සම්පත්, සමීර, තිලක්, ඉන්දු ,මද්දු සහ සමන්ත ඇතුළු හිතවතුන් පිරිසක් සමග එකතු වී කිඹුලාට ආරක්ෂාව සපයනවා’’ යැයිද වසන්ත මහතා  පවසයි.

කිඹුලා විසින්ම සකස් කර ගත් පස් කණ්ඩිය මතට වී බිත්තරවලට ආරක්ෂාව සපයන අන්දම ඌ සමීපයටම ගොස් දුර්ලභ ඡායාරූප කිහිපයක් සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ නෙළුම් පොකුණේ පදිංචි අරුණ කිත්සිරි විසිනි. ඔහු වෙන්නප්පුව, නයිනමඩමේ පිහිටි ධීවර අමාත්‍යාංශ කාර්යාලයේ රාජකාරි කරන නිලධාරියෙකි.

මදු ගසා කිඹුලා අල්ලා ඌ මස් කිරීමට පැමිණ ඇතැයි කියන්නේ මාරවිල, තල්විල ප්‍රදේශයේ  වෙසෙන කිහිප දෙනෙකි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සූරියබණ්ඩාර මහතාට මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කතාකර දැනුම් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය 28 වෙනිදා ආනවිලුන්දාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම කිඹුලා ගැන සොයා බැලීමට එහි පැමිණියහ.

වනජීවී ක්ෂේත්‍ර සහායක ජගත් රත්නායක සහ වනජීවී කාර්යාලයට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ ප.න. ජයතිලක යන මහත්වරු කණ්ඩායමක් එහි පැමිණියහ. ආනවිලු‍න්දාව වනජීවී කාරයාලයේ ස්ථාන භාර නිලධාරී වනජීවී අඩවි සහකාර බුද්ධික ප්‍රියාල් උපනන්ද මහතාගේ උපදෙස් අනුව එම ස්ථානයේ අවවාදාත්මක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරනු ලැබීය.

වන හා වෘක්ෂලතා පනත යටතේ මෙම සතා ආරක්ෂිත සත්වයෙකු නිසා එම සතාට හානි කිරීම හෝ මරා දැමීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙමින් මෙම පුවරු ප්‍රදර්ශනය කර ඇත. මෙම සතා යම් හෙයකින් මරා දැමුවහොත් එම අය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වනජීවී අඩවි සහකාර උපනන්ද මහතා පැවසීය.

ගම්වාසී පිරිස් බිත්තර පුපුරා ගොස් කිඹුල් පැටව් එළියට පැමිණ කඩුපිටි ඔයට පිහිනා යන තෙක් එම ස්ථානයට පැමිණ කිඹුලාට ආරක්ෂාව සපයමින් රාත්‍රිය පහන් කරන්නේ ඉවසිය නොහැකි සීතලෙන් ගැහෙමිනි. නිදි වර්ජිතව කිඹුලාගේ ආරක්ෂාව වෙනුවෙන් අපමණ කැපකිරීම් කරන නෙළුම් පොකුණේ එම පිරිසට ප්‍රශංසාව පිරිනමන බව වනජීවී නිලධාරීහු පවසති.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඡායාරූප, මාදම්පේ එස්.  හේරත්


මෙම ඡායාරූපය පළ කිරීමට ලබා දුන් අරුණ මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.