- කුලියට පොල් ලෙලි ගසා උපයා ගන්නා සොච්චම් මුදලින් දෑස් නොපෙනෙන මව ද රැක බලාගනිමින් පාසල් යන දෑස් නොපෙනෙන සිසුවාගේ අනුවේදනීය කතාව
ආර්.ඒ. මහේෂ් ලක්මාල් කියන්නේ උපතින්ම දෑස් නොපෙනෙන ඉබ්බාගමුව ජාතික පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. ඔහු ලබන වසරේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. පාසල් නොමැති දිනවලට සහ පාසල ඇරී නිවසට පැමිණි පසු පොල් ලෙලි ගසා උපයා ගන්නා මුදලින් දෑස් නොපෙනෙන මව ද රැක බලාගන්නා අතරවාරයේ ඔහු ඉගෙනීමේ කටයුතු කරගෙන යන්නේ ද දහසකුත් එකක් අභියෝග හා දුක් කම්කටොලු අතරේය.
දෑස් නොපෙනෙන මෙම මව සහ පුතා සිටින්නේ දුප්පත්කමේ පතුලේ ය. අගහිඟකම් කියන ඒවා ඔවුනට අනන්තය, අප්‍රමාණය. මේ මව සහ පුතා ගැන තොරතුරු සොයා බලා අපට කිව්වේ කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාය.
මේ මව සහ පුතා පදිංචිව සිටින්නේ දොඩන්ගස්ලන්ද, මිනිරන්ගම කියන ගම්මානයේය. කුරුණෑගල මාතලේ මාර්ගයේ දොඩම්ගස්ලන්ද නගරය පසුකර ටිකක් දුර ගොස් එතැන් සිට අතිශය දුෂ්කර අතුරු මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගිය විට මේ දෙදෙනා පදිංචිව සිටින නිවස පිහිටා ඇත.
පසුගිය සෙනසුරාදා අප මේ මව සහ පුතා සොයාගෙන දොඩම්ගස්ලන්ද බලා ගිය ගමනට කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා සහ එම කොට්ඨාසයේ පොලිස් සැරයන් සුමිත් රත්නායක (45983) මහතා ද සහභාගි වූහ.
ලක්මාල්ගෙන් තොරතුරු විමසීමින් සිටින අතරවාරයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා විමසා සිටියේ “දැන් කාලා ද ඉන්නේ” කියා ය.
ඒ පැනය විමසූ අවස්ථාවේ ලක්මාල් කිසිම උත්තරයක් නොදී අහිංසක ලෙස බිම බලාගත් අතර ඒ ප්‍රශ්නයට උත්තර දීමට ඉදිරිපත් වූයේ ඔහුගේ මව ය.
“උදේට මොනවත් කෑවෙත් නෑ සර්. දවල්ට මොනවත් කන්න හැදුවෙත් නැහැ. උදේට කහට එකක් බීලා බඩගින්න නිවාගත්තා. දවල්ටත් කහට එකක් බීලා අපි දෙන්නා බඩගින්න නිවා ගන්නවා. ගෙදර උයන්න කියලා කිසිම දෙයක් නැහැ සර් . මේක අපිට හොඳට හුරුපුරුදු දෙයක්. හුඟක් දවස්වලට අපි දෙන්නා කන්නේ එක වේලයි. මට ඕනෑ කරන්නේ පුතාට උගන්නලා හොඳ තැනකට ගේන්න” යැයි දෑස් නොපෙනෙන මව කීවාය.
මවගේ මේ කතාව අසා සංවේදී වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේ ම යම් මුදලක් පරිත්‍යාග කළේය. මව මුදල් ලැබුණු බව පුතාට කීමෙන් පසු පුතා කිව්වේ “අම්මට සෙම් අමාරුව හොඳටම තියෙනවා . බෙහෙත් ටිකක් වත් ගන්න සල්ලි නැතුවයි හිටියේ. අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න යන්න පුළුවනි. අද හවසට අම්මට බෙහෙත් අරන් දෙන්න යනවා. මේ ටිකේ මේ පැත්තට තදින්ම වහින නිසා පොල් ලෙලි ගහන රස්සාවත් තිබුණේ නැහැ” යැයි කියා ය.
ඔහු මලල ක්‍රීඩා තරගයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලැබුණු ත්‍යාග මුදලකින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට මීට වසර කිහිපයකට ඉහත දී මිලදී ගෙන ඇති ජංගම දුරකථනය ද මේ වන විට නිතර ලෙඩ දෙන නිසා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන නිසා ඔහු පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකට බව එහි ගිය අපට දැනගැනීමට හැකි විය.
ඔන්ලයින් ක්‍රමයට ගුරුවර ගුරුවරියන් ගෙන් ඉගෙන ගන්නා දේවල් අසා සිට ඔහු ඒවා පොත්පත්වල බ්‍රේල් ක්‍රමයට ලියාගෙන අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යනු ලබයි. ඒපාසල් ගොස් අධ්‍යාපනය ලබනවාට අමතරවය.
මේ දවස්වල පාසල් යනවට වඩා නිවසේ රැඳී සිටිමින් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබන බවද මහේෂ් සිසුවා ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා සමග කියා සිටියේය.
මහේෂ් ලක්මාල්ගේ අයියාගේ ද උපතින්ම ඇස් පෙනෙන්නේ නැති අතර ඔහු විවාහක එක්දරු පියෙකි. ඔහු ද බිරිඳ සහ දරුවා ජීවත් කරන්නේ පොල් ලෙලි ගසා උපයා ගන්නා මුදල්වලිනි.
මේ මවගේ සහ පුතාගේ තනි නොතනියට නිවසේ සුරතලයට සුනඛයෙක් ද පූසෙක් ද සිටිති. දෑස් නොපෙනුණාට මේ මව සහ පුතා සතා සීපාවාට දක්වන්නෙ පුදුම ආදරයකි. ළෙන්ගතුකමකි. ලක්මාල් කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගෙවා ගෙන දුෂ්කර මාර්ගයක් ඔස්සේ පාගමනින් ම පාසල් යෑමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන සෑම දිනකම ඔහුට ඉදිරියෙන්ම ගමන් කරන්නේ ගෙදර හුරතලයට ඇති කරන මේ අපූරු සුනඛයා ය.
“අපි දෙන්නට කොහේවත් තනියම ගමනක් බිමනක් යන්න දෙන්නේ නැහැ අපේ බලු සුරතලා අපි ඉදිරියෙන්ම ගමන් කරනවා. ගමේ අය හොඳින් දන්නා හඳුනන නිසා ඔවුනට හපාකන්න පනින්නේ නැහැ. නමුත් අපි දෙන්නගේ අතින් නිකමට හරි අල්ලන්න ආවොත් නම් අනිවාර්‌යෙන්ම හපා කනවා. එහෙම කරන්නේ අපිට යම් කරදරයක් කරන්න එනවා කියලා හිතාගෙන විය හැකියි” යැයි මේ මව සහ පුතා පැවසූහ.
මේ ලක්මාල්ගේ කතාවයි.
“මම මුලින්ම ඉගෙන ගත්තේ උහුමීය සඳගල අන්ධ විද්‍යාලයෙන්. අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා මම උසස් පෙළ හදාරන්න ඉබ්බාගමුව ජාතික පාසලට පැමිණියා. මම උසස් පෙළට බෞද්ධ සංස්කෘතිය, රංග කලා සහ ජනමාධ්‍ය යන විෂයන් හදාරනවා. එම විෂයන් පන්ති කාමරයේ දී උගන්වන විට අහගෙන ඉඳලා බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පාඩම් කරනවා.
මම ඉගෙන ගන්නේ බොහොම දුක් කරදර මැද්දේ. සමහර දවස් වලට ඉස්කෝලේ එන්නේ කහට උගුරක් බීලා. කැඳ උගුරක් බීලා මමයි අම්මයි බඩගින්න නිවාගන්නා දවසුත් තිබෙනවා. මට ගෙදර ඉඳලා ඉස්කෝලේ යන්න මහපාරට එන්න කිලෝමීටර් එකහමාරක් පමණ තිබෙනවා. ඒ දුර මම පයින් එන්නෙ. අපේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලා හැමදාම මගේ ඉදිරියෙන් ප්‍රධාන පාරේ බස් හෝල්ට් එක ළඟට එනකම් එනවා. මම බස් එකට නැග්ගහම තමා ආපහු අපේ බලු සුරතලා ගෙදර යන්නේ.
මම ඉස්කෝලේ යන්නේ එන්නෙ සුව සැරිය බස් රථයකින්. ඒ බස් එකේ අයිතිකාර සාගර මහත්තයා ම තමා කොන්දොස්තර වැඩේ කරන්නේ . සාගර මහත්තයා මගෙන් සල්ලි අය කරන්නෙ නැහැ. ඔහු කොටුහේන ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඉස්කෝලෙදි මගේ පන්තියෙ ඉන්න යහළුවෝ අධ්‍යාපන කටයුතුවලදී උදව් කරනවා. මගේ පන්තියේ භාරව ඉන්න අලුත්වත්ත ගුරුතුමියත් මට උදව්පදව් කරනවා.
මම සෑම සිකුරාදා දිනකම ඉස්කෝලේ යන්නේ නැහැ. සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් තුනේ කුලියට පොල්ලෙලි ගහන්න යනවා. පොල් ලෙලි ගහලා හොයාගන්න මුදල්වලින් තමා මමයි අම්මයි ජීවත්වෙන්නේ. එක පොල් ගෙඩියක් ලෙලි ගැහුවහම රුපියල් 2.50ක මුදලක් ලැබෙනවා. උදේ පාන්දර ඉඳලා හවස පහ විතර වෙනකන් පොල් ගෙඩි 600ක් 700 ක් විතර ලෙලි ගහන්න පුළුවන්කම තිබෙනවා. ඇස් දෙක පෙනුණා නම් මීට වඩා පොල්ගෙඩි ගානක් මට ලෙලි ගහන්න පුළුවන්කම තිබෙනවා. මාත් එක්ක පොල්ලෙලි ගහන ඇස් පෙනෙන කෙනෙක් දවසකට පොල්ගෙඩි එක්දාස් පන්සියක් දෙදහක් විතර ලෙලි ගහනවා. අවුරුදු තුනක විතර කාලයක ඉඳලා මම පොල් ලෙලි ගහන රස්සාව කරනවා.
මේ දවස්වල පාසල් යන්නේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවා. මගේ ළඟ තියෙන ජංගම දුරකථනය නිතර ලෙඩ දෙනවා. ඒ නිසා ඔන්ලයින් ක්‍රමයට ඉගෙනගැනීමට අපහසු වී තිබෙනවා. ජංගම දුරකතනයක් කවුරු හරි අරන් දුන්නොත් ඒක ලොකු පිනක්. මගේ එකම බලාපොරොත්තුව අධිෂ්ඨානය කොහොමහරි උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නයි. ලබන වසරේ මම උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා” යැයි ලක්මාල් සිසුවා පැවසීය.
දෑස් නොපෙනෙන ලක්මාල් සිසුවා මලල ක්‍රීඩාවට ද උපන් හපන්කම් ඇති අයෙකි. මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ලබාගත් පදක්කම් රැසක් ගෙලේ පැලඳගෙන ඔහු ලබාගත් ඡායාරූපයක් නිවසේ රාමු කර එල්ලා ඇත. ඒ ගැන තොරතුරු හෙළිකරමින් ලක්මාල් සිසුවා පැවසුවේ මෙවැනි කතාවකි.
“මම දෘශ්‍යාබාධිත තරග රැසකට සහභාගිවෙලා ජයග්‍රහණ රැසක් ලබා ගෙන තිබෙනවා. මීටර් 100, 200සහ මීටර් 400යන තරග ඉසව්වලින් මම සමස්ත ලංකා ජයග්‍රහණ පවා 2016සහ 2019 යන වසරවලදී ලබාගෙන තිබෙනවා.මට හොඳට කන්න බොන්න තිබුණා නම් පිට රටවල පැවැත්වෙන දෘශ්‍යාබාධිත තරගවලට සහභාගීවෙලා රටට ලොකු කීර්තියක් ගෙනවිත් දීමට තිබුණු බවට ලොකු විශ්වාසයක් තිබෙනවා. මම දැන් උත්සාහ කරන්නේ උසස් පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාලයට යන්න” යැයි කතාබහ නිමා කිරීමට මත්තෙන් ලක්මාල් සිසුවා කීය.
ලක්මාල් ගේ මව වන 61 හැවිරිදි වියේ පසුවන ආර් .ඒ කුසුමා රාජපක්ෂ මහත්මිය මෙසේ කීවාය.
“මගේ ඇස් දෙකත් උපතින්ම පෙනෙන්නේ නැහැ. මම නමය වසරට වෙනකන් විතරක් ඉගෙනගෙන තිබෙනවා. ඉස්කෝලේ දී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් මම පසුව විවාහ වුණා.මා එක්ක විවාහ වුණ කෙනාට ඇස් පෙනෙනවා. මට දරුවෝ දෙන්නෙක් ලැබුණා ඒ දෙන්නට ද ඇස් පෙනෙන්නේ නැහැ. දරුවෝ දෙන්නා පුංචි කාලෙදිම සැමියා මාව අතහැර දමා යන්න ගියා. එදා ඉඳලා අද වෙනකම් ඔහු මට හමුවෙලා නැහැ. ඉන්නෙ කොහෙද කියන්න දන්නෙත් නැහැ. ඔහුද පොල් කඩා ජීවිකාව ගෙනගිය කෙනෙක්. සැමියා අතහැර ගියාට පස්සෙ මම නොවිඳිනා දුක් විඳලා තමා මේ දරු දෙන්නා උස්මහත් කළේ. ලොකු පුතා ද පොල් ලෙලි ගසා ජීවිකාව ගෙන යනවා. විවාහවෙලා දරුවෙක් ද ඉන්නවා. පොඩි පුතා තමයි මේ විදියට හොඳට ඉගෙන ගත්තේ. පොඩි පුතාට හොඳට උගන්වලා මගේ ඇස්දෙක පියවෙන්න කලින් මොකක් හරි හොඳ රස්සාවක් හොයල දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. මමයි පොඩි පුතයි ජීවත්වෙන්න නොවිඳිනා දුක් විඳිනවා. අහල පහළ අයත් ඔවුනට පුළුපුළුවන් විදිහට අපිට උදව් උපකාර කරනවා. අපි බඩගින්නෙ හිටියත් ගෙදර සුරතලයට ඇති කරන පූස් පැටියාව සහ සුනඛයාව නම් බඩගින්නෙ තියන්නේ නැහැ. සුරතල් සුනඛයා අපි යන එන තැන්වල ගමන් කරමින් අපිට ලොකු ආරක්ෂාවක් සපයනවා.අපි දෙන්නටම ඇස් පෙනෙන්නේ නැති බව මේ සුනඛයාට තේරී ඇති වගක් පෙනෙන්නට තිබෙනවා. සුනඛයා සහ පූසා අපිට හරිම ළෙන්ගතුයි.
අපි සෙල්ලම් ගෙයක් වගේ පුංචි පැල්පතක තමා ජීවත් වුණේ. මීට අවුරුදු දෙකහමාරකට තුනකට විතර කලින් අපි ජීවත්වෙන පුංචි පැල්පත දැකලා ගමේ ග්‍රාමසේවක මහත්තයා මැදිහත්වෙලා යොවුන් සේනාංකය මේ විදියට අපිට ඉන්න පුළුවන් ගෙයක් හදලා දුන්නා. ඒ හැමෝම මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ හැම දෙනාටම පින් මේ විදියට ඉන්න ගෙයක් දොරක් හදලා දුන්නට. හැබැයි දැන් ඉතින් ලයිට් බිල ගෙවන එකක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ළඟදීම ඇවිත් ලයිට් කපලා යයි. මොකද ලයිට් බිල තවමත් ගෙවාගන්න බැරිව ගියා.” යැයි ඇය පවසන්නීය.
අනුන්ගේ දුකකදී, උණුවන සංවේදී හදවත් ඇති අය අප සමාජයේ ඕනෑ තරම් සිටිති. දෑස් නොපෙනෙන මේ අසරණ මවගේ සහ පුතුගේ කඳුළැලි පිස දමන්නට ඔබටත් සුළුවෙන් හෝ දායක විය හැකිය. මේ අසරණ දෑස් නොපෙනෙන මවට සහ පුතාට යම් ආධාරයක් උපකාරයක් කිරීමට කැමති නම් ලක්මාල්ගේ 078-4427963යන දුරකථන අංකයට කතා කළ හැකිය.
එසේත් නැත්නම් ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාගේ 0716213753යන දුරකථන අංකයට ද කතා කර ලක්මාල්ගේ සහ ඔහුගේ මවට උදව්වක් උපකාරයක් කිරීමට සම්බන්ධ කර කරගැනීමට පුළුවනි.
■ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - සකුනි රාජපක්ෂ