කුමුදුගේ කතාව ’’අන්තිම නිවාඩුව ’’


සැරයන්  උපලි  ජයතිස්ස (ඡායාරූපයේ මැද) 


‘‘යුද්ධය” යනු නීරස මාතෘකාවකි. ගිනි අවි ගැටුණු සෑම බිමකම අවසානයට ඉතිරි වූයේ අඳෝනා, මැසිවිලි හා විනාශය පමණි. එය ජීවිත වලින්ද භෞතික පරිසරයෙන් ද වන්දිගෙ වූ අභාග්‍යසම්පන්න පරිසරයකි. යුද්ධයක සෘජු මැදිහත්කරුවන් වනුයේ සටන් වදින පාර්ශ්වයන්ය. අප රටෙහි ඊට දෙපිරිසක් මුල් වූ නමුත් ඉන් පීඩාවිඳි තවත් පාර්ශ්ව කිහිපයක්ම සිටියේය. ඒ අතර රණවිරු බිරින්දෑවරුන් ද තිරය පිටුපස හිඳ නිහඬව ඉහිලූ දුක්කන්දරාව අති මහත්ය. ඔවුන් හෙළු කඳුළු එකතු කළේ නම් බැරල් ගණන් පිරවීමට හැකි තරම්ය. තිස්වසක් පුරා මෙරට පැවති යුද්ධයේ අභාග්‍ය සම්පන්න ඉරණමට ගොදුරුව තම ස්වාමි පුරුෂයන් අහිමි වූ බිරින්දෑවරු සංඛ්‍යාව දහස් ගණනකි. ඉන් බොහෝ දෙනකුට සටනින් දිවි පිදූ තම ස්වාමියාගේ සිරුර හෝ දැකගත හැකි නොවීය. ඔවුන් දුටු එකම සාධකය වූයේ  අතුරුදන් ලැයිස්තුවේ තිබූ නම පමණකි. එවන් අය අදට ද හාස්කමකින් හෝ යළි තම සැමියා තමා කරා පැමිණේවි යැයි බලා සිටිති. 

යුද්ධය හේතුවෙන් තරුණ වයසේදීම ස්වාමිපුරුෂයන්  අහිමි වූ කාන්තාවන් දිගින් දිගටම සංඛ්‍යාත්මකව වැඩිවීම එකල ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්ව තිබිණ. බොහෝ බිරින්දෑවරු එම තත්වයට පත් වූයේ ඉතාම තරුණ වයස්වලදීය. ඒ අතර, අත දරුවන් සමඟ හුදෙකලා වූ අය ද වේ. ඇතැම්හු දරුවන් පිළිසිඳගත් අලුත ද, ඇතැමෙක් දරු ප්‍රසූතිය සිදුකළ අලුත ද එසේ වැන්දඹුවන් බවට පත් වූහ. මේ කුමන තත්ත්වය යටතේ වුව ද සමස්තයක් ලෙස රණවිරු බිරින්දෑවරු තරම් මානසික හා සමාජ පීඩනයකට ලක් වූ තවත් බිරින්දෑවරු කොටසක් ඇතැයි සිතිය නොහැක. 

මෙවර “යුද සමයේ සැඟවුණු කතාවක් තුළින් ඇරඹෙනුයේ එවන් හුදෙකලා බිරින්දෑවරුන්ගේ කඳුළු පෙළකි. 

ඒ 1990 දශකය ඇරඹුමයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි  ‘‘මොරවැව” එවකට ත්‍රස්තවාදයේ සෘජු තර්ජනවලට ලක්ව තිබූ ප්‍රදේශයකි. එහි තැන තැන පැවති මාර්ග බාධක ද, ඇඳිරි වැටීමට ආසන්න වෙද්දී හුදකලාවෙන් ප්‍රධාන හා අතුරු මාර්ඟ ද ඉඳහිට තැනෙක ඇසුන වෙඩි හඬවල් ද එම ක්‍රියාන්විත බිමෙහි හැටි සොබා මනාවට පෙන්නුම් කළේය. සිංහල, මුස්ලිම්, දෙමළ ජන කොටස් ත්‍රිත්වයම එහි වෙන් වෙන්ව පදිංචිව සිටි අතර ත්‍රස්තවාදී කලබල උත්සන්න වෙන විට දමිළ ජනතාව පමණක් සිය ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වී තිබුණි. ප්‍රදේශයේ ජන ජීවිතය සහමුලින්ම පාහේ යුද්ධය හා බැඳී පැවති අතර ඒ නිසාම එහි වැසියන්ට අත්විඳීමට සිදු වූ දුක් ගැහැට නිමක් නොවීය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ එහි ගම්මානවල කිසිවකුත් නිවෙස්වල රැඳී නොසිටි අතර යන්තමින් අඳුර වැටෙද්දී අතට හසුවෙන යමක් රැගෙන හුදෙකලා වනාන්තර තුළ කල් ගෙවන්නට සිදු වූයේ තම අත දරුවන් ද කරපින්නාගෙනය. 

එච්.එම්.ඩී. කුමුදු කුමාරි, මොරවැව ග්‍රාමයේ පදිංචි පාසල් සිසුවියකි. ඕ සෑම දිනකම පා ගමනින් පාසල කරා ගමන් කරන ලද්දේ ප්‍රදේශයේ වූ යුද හමුදා කඳවුර ආසන්නයෙන් වැටී තිබූ මාර්ගයේය. ක්‍රියාන්විත අවශ්‍යතා සඳහා යුද හමුදා සාමාජිකයන් නිරතුරුව ප්‍රදේශයේ සැරිසැරීම එකල සාමාන්‍ය සිදුවීමකි. කුමුදු කුමාරිට නිතර එවැනි අය හමුවීම ද සුලබය. නමුත්  ඒ අතර වූ අයෙක් ඇය ගැන අමුතු උනන්දුවක් දන්වන බව ඇයට තේරුම් යන්නට වූයේ තරමක් කල්ගත වූ පසුවය. 

සැරයන් උපාලිගේ දියණිය


 

9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් උපාලි ජයතිස්ස ඒ වෙන විට රාජකාරී කරන ලද්දේ මොරවැව පිහිටි යුද හමුදා කඳවුරේය. මහනුවර මැදවල පදිංචිකරුවකු වූ ඔහු එම කඳවුරෙහි රාජකාරී සඳහා එක්ව තිබුණේ මෑත වකවානුවකදීමය. සිය රාජකාරී අතරතුර, කඳවුර ඉදිරිපිට ඇති මාර්ගයේ යනෙන බොහෝ පිරිස් අතර ඔහුගේ සිත්ගත් කුමුදු කුමාරි නම් පාසල් සිසුවිය පිළිබඳ ඔහු උනන්දු වෙන්නට වූයේ එලෙසිනි. ඒ අතරම ඔහු තම සිතැඟි පවසා ඇය නමට ලියූ පෙම් හසුනක් ද ඈ අතට පත් කරන්නේ 1990 දෙසැම්බර් 11 ලෙස දිනය ද සටහන්වය. එතැන් පටන් එම ආගන්තුක ඇරයුම වෙනුවෙන් කුමුදු කුමාරිගෙන් ද ලැබුණේ බලාපොරොත්තු සහගත ප්‍රතිචාරයකි. යුදමය පසුබිමක් කොතරම් පාරිසරික දුෂ්කරතා පැන නැගුණ ද, හදවතක් තුළ වෙන ආදරයක් දලුලන්නට එහි කිසිදු බාධාවක් නොවීය. කුමුදු හා සෙබළ උපාලි අතර ප්‍රේමයක් ලියලන්නට වූයේ ඒ බැව් කදිමට සනාත කරමිනි. 

කෙසේ නමුත් තම සම්බන්ධය කන වැකුණු සැණින් කුමුදුගේ මව්පියෝ බෙහෙවින් කලබලයට පත් වූහ. ඊට ඔවුන්ගේ කිසිදු අනුකූලතාවක් නොලැබිණ. යුද ගැටුම් පැවති එම ප්‍රදේශයන්හි දිනපතා මියෙන, තුවාල ලබන හමුදා සාමාජිකයන් පිළිබඳ නිරන්තරව කන වැකුණු පසුබිමක් තුළ තම දියණිය එවන් අයෙක් සමඟ සබඳතාවක් පැවැත්වීම අනාගත අවදානමක් මතුවිය හැකි බවට ඔවුන්ගේ උපකල්පනය විය. සැබැවින්ම යුද සෙබළුන් පිළිබඳ ඒ වෙන විට සමාජයේ පැවති පොදු ආකල්පය ද එසේම විය. කෙසේ නමුත් සෙබළ උපාලිගේ දැඩි උවමනාව මතම මව්පිය විරෝධ මධ්‍යයේ වුව තම ආදරය නොවෙනස්ව පවත්වාගෙන යාමට කුමුදු කුමාරි කටයුතු කළාය. අවසානයේ කෙසේ හෝ දෙපාර්ශ්වයේ කැමැත්ත දිනා ගන්නා සෙබළ උපාලි ඇය සමඟ අතිනත ගන්නේ දෙවසරකට ආසන්න වූ සිය ප්‍රේමය මල්ඵල ගන්වමිනි. 

සැරයන්  උපලි  ජයතිස්ස හා කුමුදු කුමාරි විවාහ වූ දින 


 

විවාහයෙන් පසුව මහනුවර මැදවල පිහිටි තම ස්වාමියාගේ නිවසේ නතර වූ කුමුදු, අලුත් පරිසරයේ තම අලුත් ජීවිතය අරඹන්නට වූවාය. ඒ වෙන විට දෙමාපියන් හැරුණු විට ස්වාමියාගේ සහෝදර සහෝදරියන් තිදෙනෙක් ද එහි වූ නමුත් ඇයට එහි දැනුණේ දැඩි හුදෙකලා බවකි. විශේෂයෙන්ම පැවති ක්‍රියාන්විත තත්ත්වය හේතුවෙන්, කෝප්‍රල් උපාලිගේ නිවාඩු බෙහෙවින් සීමා වී තිබූ අතර බොහෝ අවස්ථාවල ඔහුට නිවසට ඒමට හැකි වූයේ අවම වශයෙන් මාස තුනක් ඉක්ම ගිය පසුවය. ස්වාමියාගේ දුරස් බවද, ඔහුගේ රාජකාරී ප්‍රදේශයේ වූ ජීවිත අවධානයම ද  හමුවේ බිරිඳ කුමුදු නිරතුරුවම පසු වූයේ පීඩනයකිනි. ඒ අතරම කලාතුරකින් හෝ ඔහු නිවාඩු පැමිණිය ද, නිවසේ පැවති පරිසරය හමුවේ ඇයට නිදහසේ තම හැඟීම් ස්වාමියා සමඟ බෙදාගැනීමට තරම් අවස්ථා ද නොවීය. සැමියා සමග ගමනක් බිමනක් යාම පවා ඇයට සීමා වී තිබූ අතර දෙදෙනා එක්ව දළදා මාලිගාවට ගිය ගමනක් හැරෙන්නට වෙනත් විනෝද ගමනක් යාමට තරම්වත් අවස්ථාවක් ඇයට නොලැබිණ.

කෙසේ හෝ මෙලෙස කලක් ගතවෙද්දී, උපාලිට දාව තම කුලුඳුල් දරුවා පිළිසිඳ ගත්තේ කුමුදු තුළ  අප්‍රමාණ බලාපොරොත්තු පුරවාලමිනි. ඒ සමඟම උපාලි පැමිණි ආසන්න නිවාඩු වාරයක දී, ඔහු සමඟ කුමුදු මොරවැව පිහිටි තම මහගෙදර කරා යනුයේ දරු ප්‍රසූතිය තෙක් එහි රැඳී සිටීමේ අදහසිනි. එහිදී ඇයට දෙමාපියන්ගෙන් ලැබුණේ නොමද සැලකිල්ලකි. ඒ වෙන විට ඔවුන් දුෂ්කරතා මැද සාමාන්‍ය ජීවිතයක් ගතකළ ද, තම දියණියට කිසිවකින් අඩුපාඩු නොවෙන්නට කුමුදුගේ දෙමාපියෝ වගබලා ගත්හ. මෙලෙස කාලය ගෙවී 1995 පෙබරවාරි 28 දින  කුමුදු සිය කුලුදුල් දරුවා ප්‍රසූත කළාය. දියණියක වූ ඇයට “කසුනි තරුශිකා” ලෙස සුන්දර නමක් ද තැබුවාය. 

දියණිය ලැබී මෙලෙස තවත් කලක් ගතවෙන විට මොරවැව, ගජබාපුර ආදී ප්‍රදේශ රැසකට ස්ථාන මාරු ලැබ සිටි සෙබළ උපාලි, පිළිවෙළින් සැරයන්වරයකු ලෙස උසස් වීමක් ද ලැබ තිබුණි. එලෙස තවදුරටත් ඔවුනගේ ජීවිත ගලා යද්දී, ඔහුට මුලතිව් කඳවුරට මාරුවීමක් ලැබෙනුයේ අනපේක්ෂිත අයුරිණි. ඒ වෙන විට හුදෙකලාව පිහිටි මුලතිව් කඳවුරේ පැවති දැඩි අවදානම හමුවේ තම ස්වාමියා එහි යාම පිළිබඳ බිරිඳ කුමුදු තුළ කිසිදු කැමැත්තක් ද නොවීය. නමුත් කුමන වාතාවරණයක් යටතේ වුව, හමුදාවේ රාජකාරී ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් පසු වූ ඇය සියල්ල දරා ගනිමින් සිටියා මිස සැමියාගේ ගමනට හරස් නොවූවාය. 

මෙලෙස තවත් කලක් ගතවිය. ඒ වෙනවිට සැරයන් උපාලි මුලතිව් රාජකාරී අරඹා වසරකට ආසන්න වී තිබිණ. සුරතල් දියණිය ද කලදවස ගෙවෙද්දී උස්මහත් වෙන්නට වූයේ නොදැනීමය. නමුත් පියා ලෙස ඇයගේ සුරතල් බලන්නට තරම් අවස්ථා සැරයන් උපාලිට බොහෝ සීමා විය. මුලතිව් කඳවුරේ රාජකාරියට වාර්තා කළ දා පටන් ඔහුගේ නිවාඩු පෙර අවස්ථාවලට වඩා සීමා වූ අතර එය ඇතැම් විට මාස හතරක් තරම් දිගු විය. සමස්තයක් ලෙස ඔහුගේ රාජකාරී දිවිය තුළ ඒ වෙන විට තම දියණිය දකින්නට ලැබී තිබුණේ වාර දෙක තුනක දී පමණි.

උපාලි මුලතිව්හි සිට යළිත් වතාවක් නිවාඩු ලැබ නිවසට පැමිණෙන ලද්දේ 1996 ජූලි මස පළමු සතිය ගෙවෙද්දීය. එවර ඔහුට පෙර නොවූ තරම් උද්දාමයට හේතු වී තිබුණේ, සිය දියණිය තවදුරටත් දඟකාරකම් පෙන්වන සමයක් වීම නිසාමය. එවර ද සුපුරුදු ලෙසට ඔවුන් තිදෙනා දළදා මාලිගාවට ද යන ලද්දේ විශේෂයෙන්ම එය බිරිඳ කුමුදුගේ ප්‍රියතම තැන ද වූ නිසාමය. මෙලෙස නිවාඩුවේ සතියක් ගෙවෙන්නටත් මත්තෙන් සැරයන් උපාලිට හදිසියේම නිවසට පැමිණි පොලිස් නිලධාරියකු හරහා පණිවුඩයක් ලැබිණ. එමඟින් කියවුණේ ඔහුට කඩිනමින් යළි කඳවුරට වාර්තා කරන ලෙසය. ඔහුට මෙන්ම එම පණිවුඩය ඒ වෙන විට මුලතිව් සිට නිවාඩු ලැබ සිටි සෙසු අයට ද දැනුම් දී තිබුණි. මුලතිව් කඳවුරට එල්ල වෙමින් තිබූ ත්‍රස්ත තර්ජන උත්සන්න වීමත් සමග, එහි ආරක්‍ෂාව දැඩි කිරීම පිණිස එලෙස භට පිරිස් කඩිනමින් යළි කැඳවීමට හේතු වී තිබිණ. 

ක්‍රියාන්විත පෙදෙසක සිට සෙබළකුට නිවාඩුවක් හිමිවීම යනු එකල අතිශය විරල කරුණකි. කෙසේ හෝ අමාරුවෙන් හිමිකරගත් එම සීමිත නිවාඩුව ද රිසිසේ ගෙවන්නට අවකාශ නොලැබීම හේතුවෙන් සැරයන් උපාලි තුළ සේම බිරිඳ කුමුදු තුළ ද ඇති වූයේ ඉමහත් කනස්සල්ලකි. හමුදාවේ රාජකාරී ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් සිටි උපාලි, උද්ගතව ඇති තත්වයට අනුගත වෙන්නට වූයේ සිය බිරිඳව ද අස්වසාලමිනි. ඒ අනුව 1996 ජූලි මස 14 දින උදෑසනින්ම ඔහු සිය ගමන් මල්ල ද සූදානම් කර ගනිමින් යළි කඳවුරක් බලා පිටත් වෙන්නට වූයේ අවසන් වතාවට ද බිරිඳ කුමුදුගේ හා දියණියගේ හිස සිඹිමිණි.

ඉතිරි කොටස ලබන සතියේ