ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- වයස අවුරුදු 12 දී පමණ ඇයට ජීවත්වීමට සිදුවූයේ අනාථ නිවාසයකය
- විලාසිතා ලෝකයට අවතීර්ණ වීමට පෙර කැබරේ ගායිකාවක් වූවාය
- මුළු ජීවිත කාලයේදී ඇය හඬා ඇත්තේ එක් වතාවකදී පමණකි
- ජිවිතය ජයගත් පසු තිස් වසරක් ඇය ජීවත්වූයේ සුපිරි හෝටලයකය
විලාසිතා වෙතින් ලෝකය හැඩ කිරීමට පුරෝගාමී වූ නගර ලෙස නිව්යෝර්ක්, පැරිස්, ලන්ඩන්, මිලාන්, බර්ලින්, බාසිලෝනා, මෙල්බර්න්, රෝමය වැනි අගනගර සඳහන් කළ හැකිය. ඒ අතරින් ප්‍රංශයේ පැරීසිය යනු නේකවිධ විලාසිතාවලට අගතැන්පත් නගරයකි. ලෝකයට අලුත්ම ෆැෂන් හඳුන්වාදෙන තෝතැන්න ලෙස සුන්දර පැරීසිය නම් කළ හැකියි. පවතින කෝවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකය අකර්මණ්‍ය වී අඩපණ වී ඇති මොහොතක විලාසිතා කෙරෙහි මිනිසුන් එතරම් උනන්දුවක් නොදක්වන බව සැබෑය. එහෙත් විලාසිතා යනු ලෝකයේ ඕනෑම තත්ත්වයක් හමුවේ වුවද විකාශය වෙන අංශයකි. අද අප කතා කිරීමට සූදානම් වෙන්නේ ලෝකයේ අංක එකේ විලාසිතා සමාගමක් වන පැරීසියේ කොකෝ ෂැනල් (Coco Chanel) ගැනය.
සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින්, තොප්පියකින්, විලවුන් බෝතලයකින් ඇතුළු විලාසිතා ගොන්නකින් විලාසිතා ලෝකය ඒකාලෝක කළ, ‘කොකෝ ෂැනල්’ ගැන ඔබ දැන ගත යුතුම යැයි අපි හඟිමු. වෙසෙසින්ම කාන්තා විලාසිතා ලෝකය කාන්තිමත් කළ කොකෝ ෂැනල් කාන්තාවගේ ජීවන කතාව අප කවුරුත් කියවිය යුතු වේ. සුපිරි විලාසිතා නිර්මාණයකට, ඉමිහිරි විලවුන් සුවඳකට එහා ගිය ඇයගේ ජීවිත කතාව වෙතින් සමස්ත කාන්තා පරපුරට මෙන්ම, සමාජයට ගත හැකි ආදර්ශවත් වූ හොඳ දේ බොහෝය. ‘‘හොඳ - හොඳම වේ’ ය යැයි කියවෙන්නා සේ, ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කරන්නේ, ඒ හොඳට සාපේක්ෂව ‘‘කොකෝ ෂැනල්’’ සහ එය බිහිකළ ව්‍යවසායික කාන්තාව ගැන ය.
1883 අගෝස්තු 19
එළඹ තිබූයේ ගිම්හාන සමයයි. සෑම ගිම්හාන සෘතුවක් එළැඹෙන තෙක් ප්‍රංශ ජාතිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. අව්ව ගත දවටා ගන්නට බොහෝ දෙනා රිසි බැවින් මෙකී සමයේදී තැන තැන බොහෝ දෙනා රොද බැඳ සිටින’යුරු සුලබ දසුනකි. යුරෝපය සංචාරක පරාදීසයක් වී සංචාරකයින්ගෙන් පිරී යන්නේද ගිම්හානයේදීය. 1883 අගෝස්තු 19 වැනිදා ගැබ්රියෙල් බොන්හුර් (බොනුර්) ෂැනල් (චැනල්) නම් වූ ඇය උපත ලැබුවේ එවන් වූ ගිම්හාන සමයකදී, ප්‍රංශයේ සෞමුර් මෙන්-එම්. ලොයර් නමැති ප්‍රදේශයේදීය. එය ප්‍රංශයේ බටහිරට අයත් නගරයකි.
‘‘කොකෝ ෂැනල්’’ ලෙස ගැබ්රියෙල් නම් වූයේ පසු කාලයකදීය. ඒ ගැන කීමට පෙර ඇයගේ ළමා විය ගැන අපි කියවමු.
වාර්තාවල සඳහන් වෙන පරිදි ගැබ්රියෙල්ගේ මව පියා වත්පොහොසත්කම් තිබූ පවුල්වල උදවිය නොවුණි. ඇයගේ පියා කළේ පදික වෙළෙදාමකි. මව ලොන්ඩ්‍රියක සේවිකාවක වූවාය. දරිද්‍රතාවය නිසා වූ උග්‍ර ආර්ථික පීඩනය හමුවේ මේ පවුල දිවි ගෙවා ඇත්තේ ඉතා අසීරුතාවයෙනි. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් යුතු වූ ඒ පවුලේ දෙවැන්නිය වූයේ අපේ මේ කතාවේ කතා නායිකාව වන ගැබ්රියෙල් ෂැනල්ය. එදා මේ පවුල කොතරම් නම් දරිද්‍රතාවයෙන් වෙලී සිටියේද යත්, දුප්පතුන් සඳහා ආධාර ලබා දුන් පුණ්‍ය ආයතනවලින් පවා යැපීමට සිදුවිය. ඔවුනට හරි හැටි ඉන්න හිටින්නට තැනක් ද නොතිබිණි.
ග්රැබ්රියෙල්ගේ පවුල මුහුණ දුන්නේ දුප්පත්කමේ පීඩනයට පමණක් නොවීය. එවකට ඇයගේ මව පසුවූයේ තිස් දෙවැනි වියේය. දරුවන් සය දෙනෙකු බිහිකිරීමට කැපවීමක් කළ ඒ තුරුණු මව අකාලයේ මියගියේ පෙනහැල්ලේ ඇති වූ ආබාධයක් නිසාය. ඇයගේ අකල් වියෝවින් පසුව ගැබ්රියෙල්ගේ පියා පිරිමි දරු තිදෙනා (එක් දරුවකු අකලට මිය ගියේය) තමා බාරයට ගත් අතර, ගැබ්රියෙල් ඇතුළු ගැහැනු ළමුන් තිදෙනා අනාථ නිවාසයකට බාර දුන් බව සඳහන් වේ. ඒ වෙන විට ගැබ්රියෙල් දැරිය පසුවූයේ එකොළොස්වැනි වියෙහිය. එ් වෙන විට මේ පවුලේ සියලු දෙනා ජීවත් වූයේ නගරයේ එක් කාමරයක් පමණක් තිබූ ඉතා කුඩා ස්ථානයකදීය. (ඇයගේ නම ෂැනල් (Chanel) ලෙස භාවිතා කළද, උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ ෂැෂනෙල් (Chasnel) යනුවෙනි. උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ඇත්තේ මව හෝ පියා විසින් නොවූ අතර, ඥාතියකු ලබාදුන් තොරතුරු මත එය ලියාපදිංචි කරද්දී, ලේඛනගත කළ, නිලධාරියා අතින් එම වැරැද්ද සිදුව තිබේ. මේ හේතුව නිසා උප්පැන්නයේ නම වෙනස් කිරීමට ෂැනල් හට නොහැකි වුණි. ඇය අනාථ නිවසට යොමු කිරීමට පෙර ඇයගේ සහෝදරයින් දෙදෙනා කම්කරුවන් ලෙස රස්සා කරමින් සිටි අතර, නැගණියන් දෙදෙනා හට ගැබ්රියෙල් ෂැනල් තරමට අරමුණක් නොතිබි බව කිව හැකිය. මේ නිසා පාසල් අධ්‍යාපනය ගැන පවා ඔවුන් උනන්දු වූයේ නැත.
අනාථ නිවාසයක ගත කළ ජීවිතය සුව පහසු එකක් නොවූවද, ගෙබ්‍රියෙල් ෂැනල් එහි සිට ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තාය. වයස 18 ඉක්මවූ පසු කන්‍යාරාමයකට යාමට ඇය හට සිදුවිණි. එහි සිට ජීවිතයට අලුත් දේ ඉගෙනීමේ අවකාශය ඇය හට ලැබිණ. මැහුම්, ගෙතුම් මෙන්ම ගැයුම් පවා ඉගෙනීමට ඕ උනන්දු වූවාය.
හිත ඇත්නම් මොනවද කරන්න බැරි?
‘‘නරකාදියේ සිට දිව්‍යලෝකයට යාමට නම්, මම මා සොයා යා යුතුය, ජීවිතයේ කාටවත් සොරකම් කළ නොහැකි දක්ෂතා ඇතිකර ගත යුතුය.’’
එසේ සිතූ ඇය කන්‍යාරාමයේදී ඉගෙන ගෙන සිටි මැහුම් ගෙතුම් කලාව වෙතින් යමක් කිරීමට ඉටා ගත්තාය. ඒ අනුව ඇඳුම් මැසීමේ ආයතනයක සේවයට ගොස් ඇඳුම් මසන්නියක ලෙස සේවයට එක්ව සිටියාය. එම රස්සාව කරන අතරේ ලැබුණු විවේකයේදී තවත් කීයක් හරි උපයා ගැනීමට අදිටන් කර ගත් ඇය අවන්හලක ගී ගැයීමටද ගියාය.
කැබරේ ගායිකාවක ලෙස අවන්හලක ගී ගැයීම
මෙම අවන්හලට වැඩි හරියෙන්ම ආ ගියේ අශ්වාරෝහක හමුදාවට අයත් සෙබළුන්ය. සිහින් සිරුරැති, ෂැනල් හට තිබුණේ පිරිමි දහසක් වසඟයට ගන්නා තරමේ පෙනුමකි. එහෙත් ඇය නිතරම උනන්දුවූයේ තමාගේ හැඟිම්වලට වඩා ‘අරමුණු’ ජය ගැනීමේ අභිප්‍රාය මුල් කරගෙන කටයුතු කිරීමටය. මෙම අවන්හලේදී ඇය සෙබළුන් පිනවූයේ කැබරේ නැටුමට අදාළව ගී ගයමිනි. එහිදී Ko-Ko-Ri-Ko ලෙස ගායනා කරද්දී 'Qui-quia vu coco' ලෙස ඇයට ප්‍රංශයේ පිරිමින් ආමන්ත්‍රණය කර ඇත. ‘කොකෝ’ (CoCo) යන අන්වර්ථ නාමය ඇයට ලැබුණේ එලෙසින් යැයි සඳහන් වේ. අවන්හලට ආ ගිය රසවතුන් කෝ- කොකෝ? යනුවෙන් විමසන්නට වූ නිසා ඒ නම පටබැඳුණු බව සඳහන්ය. එහෙත් ෂැනල් පවසා ඇත්තේ ඒ නම ඇයට පියා විසින් මුලින්ම ආමන්ත්‍රණය කළ බවය. ඒ කොයිහැටි වූවද අවසන ඇය ලෝකයට ගියේ ‘‘කොකෝ ෂැනල්’’ යනුවෙනි.
කොකෝ ෂැනල් (CoCo Chanel) ලෝකය ජය ගැනීම.
ගැයුමෙන් සහ නැටුමෙන් සමාජශාලා වෙත පැමිණෙන මිනිසුන් පිනවමින් සිටි, ඇය ස්ථාන කීපයකදී එම වෘත්තියේ නිරත වී සිටියාය. ඇයගේ ජිවිතයේ එතෙක් ආ ගමන වෙනස් මගකට අවතීර්ණ වූයේ වයස අවුරුදු 23දී පමණය. ධනවත් පිරිමි දෙදෙනෙකු හඳුනාගෙන සිටි ඇය වසර තුනක් පමණ බලිසන් නම් වූ ධනවතා සමඟ එකට ජීවත් වූවාය. ආර්යාවක මෙන් ජීවත්වීමේ සුව පහසු සහ සුඛෝපභෝගී වටපිටාව ඒ නිසා ඇය හට හිමිවුණි. එපමණක්ද නොවී බල්සන් මුතු- මැණික් රන් අභරණ සියල්ල වෙතින් ත්‍යාග දෙමින් ‘ෂැනල්ගේ ජීවිතය වර්ණවත් කළේය. වර්තාවල සඳහන් වෙන පරිදි ‘සුරූපී’ ෂැනල්ගේ සිරුරේ පහස ලැබුවේ බල්සන් විතරක්ම නොවුණි. ඔහුගේ මිතුරකුව සිටි කපිතාන්වරයකු සමගද ඇය පෙමින් වෙලී සිටි බව සඳහන්ය. ඔහුද වංශාධිපතියකු විය. එනිසා ඔහු හට විවාහ වීමට සිදුවූයේ වංශක්කාර පවුලක කාන්තාවක සමගය. එහෙත් ඔහුගේ ලොල් බව, ආදරය තිබුණේ සිහින් සිරුරැති වූ ආකර්ෂණීය පෙනුමින් යුතු වූ ‘ෂැනල් ’ වෙත පමණක්මය.
ඒ වන විට ෂැනල්ද ප්‍රංශයේ උසස් පැළැන්තියක තැනැත්තියක මෙන් ජීවිතය ගෙවමින් සිටි අතර, ඇය නවාතැන සඳහා සුඛෝපභෝගී හෝටලයක මහල් ස්ථානයක් වෙන්කර ගෙන ජීවත් වෙමින් සිටියාය. මේ වෙන විට බල්සන් සමග ගොඩනගා ගෙන සිටි ජීවිතයේදී, ඇය ව්‍යවසායකත්වයේ ගමනට අවතීර්ණ වී සිටියේ කාන්තාවන් (උසස් පැළැන්තියේ) වෙත අලංකාර තොප්පි නිපදවීම (මසා නිම කිරීම) නිසාය. කොහොමටත් උසස් යැයි හැඳින්වූ පැළැන්තියේ නෝනලා තමුන්ගේ උජාරුව පෙන්වීමට විවිධ දේ භාවිතා කළ අතර, ෂැනල්ගේ ‘තොප්පිය’ එවැනි පවුල්වල අය අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඇයගේ අනෙක් අනියම් පෙම්වතාව සිටි වංශක්කාර ‘කැපෙල්’ගේ මූල්‍යමය උදවු ඇතිව (බල්සන්ද උදවූ කළේය) කොකෝ ෂැනල් හට පැරිසීයේ සුපිරි ස්ථානයක් වූ දුවිලිහිදී (Deauville) ඇයගේ නිර්මාණ ඇතුළත් සාප්පුවක් ඇරඹීමට හැකි විණි. එහි අලෙවි කිරීමට තිබුණේ ඉතා උසස් ලෙස නිම වූ තොප්පි (කාන්තා) ජර්සි, පිරිමි යට ඇඳුම්, කාන්තා යට ඇඳුම් ඇතුළු දේ ය. පැරිසියේ සහ ප්‍රංශයේ ධන කුවේරයන් නිතර ගැවසුණු තැනක් වූ මෙතැනදී ඇරඹි සාප්පුව එකී පොහොසතුන් අතර, ප්‍රචලිත වීමට වැඩිකල් ගත නොවීය.
Chanel නාමය යටතේ බොහෝ විලාසිතා නිර්මාණය වෙමින් එළිදැක්වූ අතර, ඒවා ප්‍රචාරය කිරීම වෙනුවෙන්, නිරූපණයට කොකෝ ෂැනල් එක්කර ගත්තේ ඇයගේ සහෝදරියක වූ ඇන්ටනෙට් සහ නැන්දා කෙනෙකි. ෂැනල් (චැනල්) විලාසිතා කා අතරත් ජනප්‍රිය වෙමින් තිබූ අතරේ වංශක්කාර අනියම් පෙම්වතාව සිටි කැපෙල් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. සුරූපී කොකෝ ෂැනල් ජිවිතයට තෝරාගෙන සිටි හොඳම පිරිමියා යැයි ඇය විශ්වාස කළ කැපෙල් අකාලයේ මියයාම ඇයට ගෙන දුන්නේ දරාගත නොහැකි වූ සන්තාපයකි. සුඛෝපභෝගී රිට්ස් හෝටල පරිශ්‍රයේ ඇය සතු වූ මහලට වී දවසම ඇය හැඬුවාය. ඇය ආදරයට ආදරය කළ ගැහැනියක මිස, කාටවත් මුදලට සිරුර ලබාදුන් කාන්තාවක් නොවූවාය. ඇය වංශක්කාර පවුලකට අයත්ව සිටියේ නම්, නිත්‍ය විවාහය කැපෙල් සමඟ සිදුවීමට ඉඩකඩ තිබිණි.
ෂැනල් තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සහාය වූ බල්සන් සහ කැපෙල් දෙදෙනා කිසිම විටෙක අමතක නොකළාය. ජීවිතයේ වැටෙන්නට තැනක් නොමැතිව සිටි ඇය ඒ අගහිඟකම් හමුවේ පීඩන හමුවේ හඬමින් ජීවිතයට මුහුණ දුන් කාන්තාවක නොවුණි.
‘‘ඒත් මම කැපෙල් මියගිය දවසේ හොඳටෝම ඇඩුවා.’’ හැබැයි ඒ තමයි මගේ ජීවිතයේ අවසාන හැඬුම. ආයෙත් කවදාවත් මම අඬන්නේ නැහැ.’’
එලෙසින්ම ඇය මියෙනතුරු ඉන්පසු කිසිදාක කඳුළු සලා නැති වග සඳහන් වේ. ‘‘හිමිවීම්- අහිමිවීම්’’ ඇය දරා ගන්නේ කුඩා කල සිටමය. ඇය කියූ පරිදි දෑසින් කඳුළු පිට නොකළාට ඇය හිතින් හඬන්නට ඇත. ඇයද ගැහැනියකි. ඒ හැරත් නිර්මාණශීලිත්වයේ පිරිපුන් ගැහැනියකි. නිර්මාණශීලිත්වය යනු කිසිම ජගතෙකුට ගත හැකි දෙයක් නොවේ. ඕනෑ නම් කළ හැක්කේ නිර්මාණශීලි මිනිසා කෙරෙහි ඊර්ෂ්‍යා කිරීම පමණෙකි.
ජීවිතය ගැන එලෙසින් විශ්වාස කළ කොකෝ ෂැනල් ෂැනල් (Chanel) නාමය වෙතින් ප්‍රංශය ජයගත් පසු ඇමෙරිකාව ඇතුළු යුරෝපය ජයගත්තේ, උසස් පැළැන්තියේ අයට පමණක් වචනයකට සීමා වූ විලාසිතා නිර්මාණ රැසකින් නොවීය. සැබැවින්ම ඒවා ඉතා අගනා නිර්මාණ ලෙස සඳහන් කළ හැකිය. චැනල් (ෂැනල්) නාමයේ විලවුන් යනු ලොව ඉතා අනර්ඝ සුවඳ විලවුන් නිෂ්පාදනයන් යැයි සැලකේ.
රජවරුන්ගේ පුතුන් පවා ඇයට වසඟ වූ හැටි
මේ වෙන විට ඇයට වසඟ වී සිටි තවත් චරිතයක් ලෙස රුසියානු වංශක්කාර රජ පරම්පරාවකට අයත්ව සිටි දමිත්‍රි පව්ලොවිච් නම් කළ හැකිය. කොහොමටත් ෂැනල්ගේ ඇසුර පැවතියේ තම ‘විලාසිතා’ නාමය නිසා වංශක්කාර සහ ධනවත් පවුල්වල උදවිය සමගය. බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ වංශක්කාර පවුල්වල ඇසුර ඇය හට තිබුණි. No- 5 Chanel Paris සුවඳ විලවුන් නිසා වංශක්කාරයෝ ඇයගේ නිෂ්පාදන වටා රොද බැඳ සිටියේය. මේ වසඟවීම කෙසේද යත් වින්ස්ටන් චර්චිල් සහ හිට්ලර් සමඟද ෂැනල් හට මිත්‍රත්වයක් තිබූ බව සනාථ වේ. හිට්ලර්ගේ සිත දිනාගැනීම එතරම් පහසු දෙයක් නොවුණි. නමුත් එදා දෙවැනි ලෝක යුද සමයේදී, ෂැනල් හිට්ලර්ගේ සමීපතම මිතුරියක වූයේ ‘නාසි’ කඳවුරට ඇය ප්‍රියතාවයක් දැක්වූ නිසා යැයි වාර්තාවල සඳහන් වේ. නමුදු එවැනි සබඳතා තිබුණේ කුමන කරුණු අරබයා ද කියා දන්නේ, ඇයම පමණක් ය.
විලාසිතා ලෝකයට අද්විතීය නාමයක් ලබා දී ‘ෂැනල් පැරිස්’ හෙවත් කොකෝ ෂැනල් නමින් ප්‍රකට වී සිටි මේ අපූරු කාන්තාවගේ චරිතාපදානය ලිවීම - කියවීම යනු ඉතා දිගු වූවකි. ඒ අතරින් අප මේ සටහන් කළේ ඇයගේ දිවියේ මහා කතාවෙන් බිඳක් පමණෙකි. අපි මොහොතකට කොකෝ ෂැනල්ගේ දිවියේ අවසානය මොන වගේද කියා බලමු.
විලාසිතාවෙන් ලෝකය හැඩ කළ කොකෝ ෂැනල්ගේ නික්මයාම
Chanel නාමය වෙතින් මුළු ලොවක් වසඟයට ගෙන සිටි ගෙබ්‍රියෙල් ෂැනල් හෙවත් කොකෝ ෂැනල්, සුපිරි තරු පිරිවරා ගෙන එතෙක් ජීවිතය ගත කරමින් සිටියද, ඇයගේ ජීවිතයේ සැඳෑ සමයේදී නම් ඇය ජිවිතය ගත කළේ මහා පාළුවකින්, කාන්සියකින් යැයි සඳහන් වේ. තරුවක් ලෙස බැබලෙමින් සිටියද, වියපත්වෙන විට ස්වභාවය එයම වෙයි. කෙසේ වූවද කාන්තාවක ලෙස ඇයට හොඳ පෞරුෂයක් තිබිණි. ඇයගේ ප්‍රියතම වර්ණ වූයේ කළු පැහැය සහ සුදුය. ලා අළු පාටටද ඇය ඇලුම් කළ අතර රන් සහ රතු අනෙක් පාටය. යමෙකු මියයාමට පෙර, තමාගේ සොහොන්කොත සැලසුම් කරන්නේ කලාතුරකිනි. ‘කොකෝ ෂැනල්’ ජීවත්ව සිටියදීම තමාගේ සොහොන සඳහා වූ නිර්මාණ සැලසුම ඇය විසින්ම සැලසුම් කළාය. සිංහධේනුවකගේ රුවක් මිනිස් රුවකට සමානව ඇය සැලසුම් කළ අතර, සුදු මල් වලින් පමණක් සොහොන සරසන්න යැයි කියා සිටියාය. සිංහ රුව යොදා ගැනීමට හේතුව ඇයගේ උපන් වෙලාවට අනුව ලග්නය ‘සිංහ’ වූ බැවින් යැයි සඳහන්ය. ඒ මොන විදිහට සිදු වුවද, ඇය නම් මිනිස් වෙසින් පෙනී සිටි සිංහ ධේනුවක් ම වූවාය. දරිද්‍රතාවයේ පතුලේ සිට එළියට ඇවිත්, රන් ආලෝකයේ එලිය ලබා තරු අතර බැබලෙන තාරකාවක්ව සිටි ඇය 1971 හීතල ජනවාරියේ 9 වැනිදා වෙනදාට වඩා කලින්ම නින්දට වැටුණේ, අසනීප තත්ත්වයේ සිටි නිසාය.
ඇයි මැඩම් මොකද මේ? ඇයව බලාගත් සේවිකාව විමසා සිටියාය.
‘‘බලන්න මියෙන්නෙ මේ විදියටයි.’’ කියා සේවිකාවට කියූ ඇය අවසන් සුසුම් පොද පිට කළාය. ඒ ඇයගේ මුවින් පිටවූ අවසන් වදන් විය. 1971 ජනවාරි 10 වැනිදා රිට්ස් හෝටලයේ කළමනාකාරිත්වය ඇයගේ මියයාම නිල වශයෙන් ලොවට ප්‍රකාශ කළේය. ඒ ඇයගේ තිස් වසරක නිවහන වූ ස්ථානය එය වූ බැවිනි.
‘‘ජීවිතය කියන්නේ මහා පුදුමයක් නේද?’’
විලාසිතා කරන, විලවුන් ගත දවටන ඔබ මොහොතකට කැඩපත ඉදිරියට ගොසින්, ඔබගෙන්ම අහන්න. ගෙවූ ජීවිතයේදී මොනවද මම කළේ කියා ඔබගෙන්ම විමසන්න. මොනවත්ම කර නැතැයි හැඟුණොත්, හෙටම දැනෙන දෙයක් කරන්න උත්සාහ ගන්න. CoCo Chanel ගේ ජිවිතය දිහා බැලුවාම ඔබට ඒ ගැන වැටහේවි.
පරිවර්තන සටහන : සඳුන් ගමගේ