හදිසි අනතුරකින් රෝහලට; රෝගියාට කොරෝනාත් හැදිලා
තමන් කොතරම් අවදානමකට ලක්වුව ද පුද්ගලයකුගේ ජීවිතය බේරාගැනීම ඒ සියල්ලට වඩා ඉහළින් පවතින බව කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරු පිරිසක් සනාථ කර පෙන්වූහ.
හදිසි අනතුරකට ලක්ව මුහුණ දැඩි ලෙස හානි සිදු වූ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව දැන දැනම ඔහුගේ ජීවිතය බේරාගැනීම තම පරම කර්තව්‍යය බව දන්නා වෛද්‍යවරු පැය 05කට ආසන්න කාලයක් පුරා සිදුකෙරුණු සැත්කමකින් ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත්ව සිටිති.
මෙහි වඩාත් වැදගත්ම කරුණක් වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මුඛ හා දන්ත සෞඛ්‍ය සායන පවා නතර කර තිබීමයි.
මේ සිද්ධියට මුහුණ දුන්නේ අළුත්ගම දර්ගා නගරයේ මීගම ප්‍රදේශයේ පදිංචි චමින්ද ප්‍රියලාල් නමැති 40 හැවිරිදි සිව්දරු පියෙකි. ස්ථිර රැකියාවක් නොමැති ඔහු තම දරුවන් ජීවත් කරවීම උදෙසා කුලී වැඩක් කළේය.
පසුගිය 15 වැනි දා නිවසින් පිටව ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී කැඩී අබලන්වී ගිය මාර්ගයේ ඔහු පැදගෙන ආ පාපැදිය වළක වැටීම නිසා ඉදිරිපස රෝදය කැඩී ඔහු ඇද වැටිණි. මේ ඇදවැටීමෙන් ඔහුගේ මුහුණ හඳුනාගත නොහැකි තරමට විනාශ වී ගියේය. අසල්වැසියන් එක්ව ඔහු ඔසවන විට මුහුණ එකම ලේ ගොඩක් බවට පත්ව තිබුණු අතර මුඛයේ යටි හනුව, උඩු හනුව සහ නාසය ද කැඩී ගොස් තිබිණි. ඇස් අසලින් ද හම ගැලවී පේෂිවලට පවා හානි සිදුව තිබිණි.
ලේ විලක් මැද ඔහු කළුතර නාගොඩ රෝහලට ගෙන එනවිටත් සිහි මඳ ගතියෙන් පසුවූයේය. වහාම ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කළ අතර ඇන්ටිජන් සහ පී.සී.ආර්. සඳහා ජෛව සාම්පල ද ගන්නා ලදී. ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඔහු කොරෝනා ආසාදිත නොවන බවයි.
නාසයත් කැඩී ගොස් මුඛයට බරපතළ හානි සිදු වූ ඔහුට හුස්ම ගැනීම අපහසු වූයෙන් කෘත්‍රිම ශ්වසනය ද සැපයිණි. දැඩි සත්කාර ඒකකය ඔහුගේ ජීවිතය බේරාගන්නා ස්ථානය බවට පත්විය. වෛද්‍යවරුන්ට තිබූ ගැටලුවක් වූයේ මෙම පුද්ගලයාගේ මොළයට හානි සිදුව තිබේ ද යන්නයි. ඒ බව දැනගැනීම සඳහා පසු දා එනම් 16 වැනි දා ඔහු කොළඹ ජාතික රෝහලට යැවුණු අතර එහිදී කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔහුගේ මොළයට හානි සිදුව නැති බවයි. එදිනම ඔහු යළි නාගොඩ රෝහලට ගෙන එන ලදී.
නමුත් වෙනත් බරපතළ ගැටලුවක් මතු වී තිබිණි. ඒ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව මෙම තැනැත්තා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී තිබීමයි.
වෛද්‍යවරු රෝගියා සිටි තත්ත්වය ගැන මෙසේ කීහ.
“ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණේ. මුහුණේ අස්ථි බිඳීම් රාශියක් තිබුණා. විශේෂයෙන්ම යටි හනුවත්, උඩ හනුවත් කැඩී තිබුණා. ඔහුට හුස්ම ගැනීමට, ආහාර ගැනීමට පවා නොහැකිව තිබුණේ. කොරෝනා ආසාදිතයකු වීම නිසා කොරෝනා වයිරසයේ බලපෑමත් ඉතාමත් දරුණු විය හැකියි. මේ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට නම් ඉතාමත් සංකීර්ණ සැත්කමකින් මුහුණ යළි සැකසීමට අවශ්‍ය වුණා.”
නාගොඩ රෝහලේ මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් මහතා රෝගියා පරීක්ෂා කර ඔහුගේ මුහුණ යළි සැකසීමේ කාර්යයට අත ගැසුවේය.
නාගොඩ රෝහල
ඒ පසුගිය 20 වැනි දා ය. විශේෂඥ නිර්වින්දන වෛද්‍ය තරංගා පෙරේරා මහත්මිය රෝගියා නිර්වින්දනය කළාය. ෂන්මුගනාදන් විශේෂඥ වෛද්‍යවරයාගේ කාර්ය මණ්ඩලයත්, ශල්‍යාගාරවල හෙද හෙදියන්, තාක්ෂණ ශිල්පීහු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් මේ සඳහා දැඩි කැපවීමකින් යුතුව සහභාගි වූහ.
ඒ පිළිබඳ විශේෂඥ මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් මහතා මෙසේ කීවේය.
“මෙය ඉතා සංකීර්ණ සැත්කමක් වුණා. ඔහුගේ මුහුණට දරුණු ලෙස හානි සිදුව තිබුණා. අස්ථි කිහිපයක්ම බිඳී තිබූ නිසා අපිට කෘත්‍රිමව භාවිත කරන තහඩු යොදා ඒවා ප්‍රකෘති තත්ත්වයට පත්කරන්න සිදුවුණා. සැත්කමට පැය 05කට ආසන්න කාලයක් ගත වුණා. මේ රෝගියාට සැත්කම කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වුණේ මෙය නොකළානම් ඔහුගේ ජීවිතය අහිමිවීමට ඉඩ තිබූ නිසා. අපිට අවශ්‍ය වුණේ මේ පුද්ගලයා ජීවත් කරවන්න. ඔහු කොරෝනා ආසාදිත බව දැන දැනම මුඛයේ සහ මුහුණේ සැත්කමක් කරන්නට සිදුවීම සැබැවින්ම අභියෝගයක් වුණා. දැන් එය සාර්ථක වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා. මේ සඳහා දායක වුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් රෝහල් බලධාරීන් ඇතුළු සියලුදෙනාටත් අපි ස්තූතිවන්ත වෙනවා.”
කාර්ය මණ්ඩලය පවසන්නේ පැය පහකට ආසන්න කාලයක් පුරා සිදුකෙරුණු මේ සැත්කම වෙනත් දිනවල දී සිදුකරන සැත්කම්වලට වඩා විශේෂ වූයේ රෝගියා කොරෝනා ආසාදිතයකු බව දැන දැනම සැත්කම සිදුකිරීම බවයි. මේ හේතුවෙන් පැය 05කට වැඩි කාලයක් ආරක්ෂිත ඇඳුම් (PPE Kit) ඇඳගෙන සිටීම ඉතා අසීරු වූ බවත් ඔවුහු කියති.
පාපැදියෙන් ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි චමින්ද ප්‍රියලාල් දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටියි. මුහුණට සිදු වූ තුවාල හේතුවෙන් හුස්ම ගැනීමට පවා නොහැකිව සිටි ඔහු දැන් ආහාර පවා අනුභව කරයි. තුවාලවලට දැමූ ආවරණ ද දැන් ඉවත්කර ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් ඔහුට නිශ්චිත දින ගණනක් ගත වූ පසු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු නිවසට යාමට අවසර ලැබෙනු ඇති බවයි. ඉන් පසු නිවසේ නිරෝධායනය වී ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවනු ඇත.
මෙම සැත්කම කොරෝනා ආසාදිතයකු සඳහා ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම මුඛ හා හනුක සැත්කම යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
සටහන සහ ඡායාරූප
සජීව විජේවීර