කොළඹ නගරයේ ඇවිදින බැංකුව ‘නාටුකොට්ටේ චෙට්ටියාර්’


                   

බැංකු බිහිවීමට පෙර කොළඹ වෙළෙඳුන්ට ණය දුන්නේ චෙට්ටියාර්ලා

 

වර්තමානයේ මුදල් තැන්පත් කිරීම, ණය දීම ආදිය සිදුවන්නේ බැංකු මගිනි. රජයේ හා පෞද්ගලික බැංකු මෙන්ම අන්තර්ජාල මූල්‍ය ක්‍රම වර්තමානයේ භාවිත වෙයි. එහෙත් 18 වැනි සියවසේ මෙරට බැංකු තිබුණේ නැත. ඉඩම් හිමියන්ගේ, වෙළෙඳුන්ගේ මුදල් වුවමනා පිරිමැසුණේ ඇවිදින බැංකු ක්‍රමයක් මගිනි. ඒ අන් කිසිවකු නොව ඉන්දියාවෙන් පැමිණි ‘නාටුකොට්ටේ චෙට්ටියාර්’ වරුන්ය. මේ පිරිස ප්‍රකටව සිටියේ ‘ගිනි පොලී’ ණයකරුවන් ලෙසය. ඔවුහු මුදල් පොලියට දුන් අතර මුදල් තැන්පතු සුරක්ෂිත කිරීම ද භාර ගත්හ.

ඡායාරූප කලාව ලෝකයට බිහි වූ මුල් කාලයේ කොළඹ නගරයේ ඡායාරූප ගත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සුරක්ෂිත ඡායාරූප අතර ඉන්දියානු වෙට්ටියකින් යටිකය වසාගෙන උඩුකයට ඇඳුමක් නොමැති හීන්දැරී වෙළෙඳුන් කිහිප දෙනකුගේ ඡායාරූප දක්නට ඇත. ඒ පිරිස නාටුකොට්ටේ චෙට්ටියාර්වරුන්ය. ‘බායිලා’ නමැති ඇෆ්ගන් වෙළෙඳුන් කණ්ඩායමක් ද එකල මෙරට ජනතාවට ණයට මුදල් දුන් බැංකුකරුවන් හෝ කටයුතු කර ඇතත් ‘නාටුකොට්ටේ චෙට්ටියාර්වරුන්’ බායිලාට වඩා ජනතාවට සමීපව සිටි වෙළෙඳුන් කණ්ඩායමක් බව සඳහන් වේ.

මෙරට වෙළෙඳ කටයුතු දියුණු කිරීමේලා චෙට්ටියාර්වරුන් කළ සේවය ඉතා ඉහළය ඔවුන් ණය දුන්නේ ගිනි පොලියක් අය කරමිනි. ‘චෙට්ටි’ හෙවත් හෙට්ටි වෙළෙඳුන්ගෙන් ඉතා ඉහළම පන්තිය වූයේ ‘නාටුකොට්ටේ චෙට්ටියාර්’ වරුන්ය. නාටුකොට්ටේ චෙට්ටියාර්වරුන්ගේ නිජබිම තමිල්නාඩුවේ ‘චෙට්ටිනාඩ්’ ප්‍රදේශයේ ලෙස සැලකේ. එකල බ්‍රිතාන්‍ය යටත් විජිත වූ ඉන්දියාව, ලංකාව, බුරුමය මැලේසියා හා ඉන්දුනීසියා යන රටවල රිසිසේ සැරි සරමින් මුදල් ගිනි පොලියට ණයට දෙමින් ‘නාටුකොට්ටේ චේටියාර්’ වරු මුදල් ඉපැයීමේ ව්‍යාපාරය ආරම්භ කළහ. මෙරට මුල්ම බැංකුව වූ ලංකා බැංකුව 1841 ආරම්භ කරන තුරුම මෙරට බැංකුකරුවන් වූයේ ‘නාටුකොට්ටේ චෙට්ටියාර්’ වරුන්ය.

 බැංකු බිහිවී නොතිබූ කාලයේ යුරෝපා රටවල බැංකු බවට පත්වී සිටි යුදෙව් ජාතිකයන් හා සමානවම දකුණු ඉන්දියාවෙන් ආ ‘නාටුකොට්ටයන්’ ලංකාවේ වෙළෙඳ ප්‍රජාවේ මුදල් වුවමනාව ඉටුකර දුන්හ. ‘නාටුකොට්ට චෙට්ටියාර්වරන්’ පොදුවේ ජන සමාජයේ හැඳින් වුණේ ‘නාටුකොට්ටයන්’ යනුවෙනි.

1656 දී මෙරට මුහුදුබඩ ඕලන්දයට යටත් වන්නට පෙර සිටම නාටුකොට්ටෙයි චෙට්ටියාර්වරුන් ලංකාව සමග සබඳතා පැවැත් වූහ. 1796 බ්‍රිතාන්‍යයන් මෙරට පැලපදියම් වූ පසු ‘නාටුකොට්ටයන්ගේ’ වෙළෙඳාම දියුණුවන්නට පටන් ගත්තේය. කොළඹ වෙළෙඳාමෙන් වැඩි කොටසක් ඔවුන් අතට පත්විය. 1866 ඔක්තෝබරයේ කොළඹ ජනතාවට හාල් හිඟවීමෙන් මහත් කෝලාහලයක් හට ගත්තේය. මාසයක පමණ කාලයේ සහල් මිල දිනපතාම ඉහළ යාම මේ ප්‍රශ්නයට හේතු විය. පනම් තුනට තිබූ හාල් සේරුව දින පහළොවක දී පනම් පහ දක්වා ඉහළ නැංවීමෙන් මහජනයා කෝප වූයේ කොළඹ හාල් වෙළෙඳුන් සමගය. ඉන් වැඩි දෙනා ඉන්දියානු වෙළෙඳුන් වූ ‘නාටුකොට්ටයන්ය.’ 

1866 ඔක්තෝබර් 24 වැනිදා ‘ලක්මිණි’ පහන’ පුවත්පත එම සිද්ධිය මෙසේ වාර්තා ගත කර ඇත. ‘වැල්ලෙ වීදියේ නාටුකොට්ටයන්ගේ මහා හාල් ගබඩාවලට ද නාගුළු ගංතෙර නාටුකොට්ටයන්ගේ හාල් ගබඩාවලට ද වැදුණු මහජනයා රිසි රිසි සේ පරිද්දෙන් හාල් කොල්ලකෑම කරනා තුරු ඔවුහු හාල් ගබඩා වසා ගත්තෝය. යනුවෙන් ලක්මිණි පහන පුවත්පතේ සඳහන් වෙයි.

මුල්ම වාණිජ බැංකුව වූ ලංකා බැංකුව ආරම්භ වූයේ 1841 වසරේය. මෙයට පෙර ලංකාවේ බැංකුකරුවන් වූයේ නාටුකොට්ටේ චෙට්ටියාර්වරුන්ය. එකල නාටුකොට්ටේවරුන් හඳුන්වන ලද්දේ වාණිජ බැංකුකරුවන් ලෙසය. වෙළෙඳුන් මුදල් හුවමාරු කරගත්තේ ඔවුන්ගෙන් නිසා මේ නම පටබැඳිණි. එකල සහල් මිරිස් ආදිය ගෙන ආවේ ඉන්දියාවෙනි. මේ සඳහා ඇපකරුවන් වූයේ නාටුකොට්ටේවරුන්ය. සහල් ආනයනකරුවන්ට මුදල් ලබා දුන්නේද ඔවුන්ය. ‘ලංකා බැංකුව’ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් විවෘත වූ ලන්ඩනයේ මූලස්ථානය කරගත් බැංකුවක් විය. 1848 දී මෙම බැංකුව වසා දැමිණි.

ඉන්පසු මදුරායි බැංකුව ඇරඹුණේය. එයද බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ බැංකුවකි. ඉන්දු - ලංකා වෙළෙඳ කටයුතු ඉතා ඉක්මනින්ම එම බැංකු වහා ඔරියන්ටල් බැංකුව යටතට පත්විය. ඒ සමගම නාටුකොට්ටේවරුන්ගේ බලය ටිකෙන් ටික අඩුවන්නට පටන් ගත්තේය. පසුබෑමට පත් නොවූ නාටුකොට්ටේවරුන් මෙම බ්‍රිතාන්‍ය බැංකුවල අතරමැදියන් බවට පත් වෙමින් ලාංකික වෙළෙඳුන් හා ඉඩම් හිමියන්ට ණය අනුමත කරදීමේ කටයුත්ත අරඹා විශාල ආදායමක් උපයා ගත්හ. මෙම ආදායම උපයා ගත්තේ ණයලාභියාට බ්‍රිතාන්‍යයන් සමග ඉංග්‍රීසියෙන් කතාබහ කිරීමේ නොහැකියාව භාවිත කරමිනි. බ්‍රිතාන්‍ය බැංකුකරුවන් සමග හිතවත් වූ නොට්කොට්ටේවරු පළමුව බ්‍රිතාන්‍ය බැංකුවෙන් ණය ලබාගෙන විශාල කොමිස් මුදලක් තමාට ලැබෙන සේ එම මුදල මෙරට ඉඩම් හිමියන්ට හා වෙළෙඳුන්ට වැඩි පොලියට ණයට දුන්හ. මෙම ණය ගෙවා ගත නොහැකි වීමෙන් එකල ධනවත් ඉඩම් හිමියන් රැසක්ම බංකොලොත්භාවයට පත්වී ඉඩකඩම් චෙට්ටියාර්වරුන්ට සින්න වූ බව සඳහන්ය. මීගමුව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ පොල්වතු ගණනාවක්ම සිංහල ධනවතුන්ගෙන් නාටුකොට්ටේවරුන්ට සින්න වූ ඒවාය. එකල මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත් වී තිබූ බව සඳහන් වේ.

1935 හා 1945 අතර කාලයේ පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් චෙට්ටියාර්වරුනට සින්න විය. මෙම තත්ත්වය රජයට ද බරක් වූ අතර තමන්ට ලබා දුන් ණය වෙනුවෙන් හෙට්ටින් තම ඉඩම් අත්පත් කරගත් බවට ජනතාවගෙන් පැමිණිලි ගලා එමින් තිබිණි. ඔවුන්ගේ මුදල් පොලියට දීම රජයට ද පාලනය කරගත නොහැකිව තිබුණි. ජනතාවගේ ණය අවශ්‍යතා සඳහා එතෙක් විධිමත් ක්‍රමයක් නොවූ නිසාය.

1918 දී මුදල් පොලියට දීමේ ආඥාව පනත පනවා මෙම තත්ත්වයන් පාලනය කිරීමට ඉංග්‍රීසි යටත් විජිත පාලනය උත්සාහ දැරුව ද එය එතරම් සාර්ථක වී නැත. චෙට්ටියාර්වරුන්ට තම ඉඩකඩම් උගසට තබා ණය ගන්නා ලාංකිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවීමක් මිස අඩුවීමක් වී නැත. චෙට්ටියාර්වරුන් උපයා ගන්නා ලාභය ද මෙරට නොතබා මදුරාසියට යවන නිසා ලංකා රජය මෙම ප්‍රශ්නයට තීරණාත්මකව මැදිහත් විය. 1938 දී රාජ්‍ය උගස් බැංකුව පිහිටුවන්නේ තම ඉඩම් උගස් තබා ලාංකිකයන්ට ණය ගැනීම පහසු කරවීමටය. මේ ක්‍රමයත් සමග චෙට්ටියාර්වරුන් වෙත ගිය ජනතාව උගස් බැංකුව වෙත හැරුණේය. අංක 18 දරන ඉන්දු පාකිස්තාන පුරවැසි පනත යටතේ 1948 දී බොහෝ චෙට්ටියාර්වරුන්ට මෙරට පුරවැසිකම අහිමි විය. බොහෝ දෙනා තම මව්බිම වූ දකුණු ඉන්දියාවට ගියහ. තවත් පිරිසක් මෙරට පුරවැසි බව ලබාගෙන මෙරට පදිංචි වූහ. වෙනත් චෙට්ටියාර්වරුන් මෙරට පදිංචිව සිටිය ද නාටුකොට්ටේ චෙට්ටියාර්වරුන් සිටින්නේ හතළිස් දෙනකු පමණක් බව 1981 දී ආචාර්ය වික්‍රම වීරසූරිය ලියූ පුවත්පත් ලිපියක සඳහන් වේ.

එහි මෙසේ සඳහන් වේ.

‘හින්දු ආගමිකයන් වූ ඔවුහු දැඩි ආගමික භක්තියක් ඇතිව ආගමික කටයුතු සඳහා දිනපතාම සෑහෙන කාලක් යොදවති. එදිනෙදා වෙළෙඳාමේ ලාභයෙන් කොටසක් ආගමික කටයුතු සඳහා වෙන්කිරීමේ සිරිතක් ඔවුන්ට ඇත. කොළඹ, මීගමුව, යාපනය, පුත්තලම හා මහනුවර නගරවල ඔවුන් විසින් විශාල හින්දු කෝවිල් තනා ඇත. කොළඹ වාර්ෂිකව පැවැත්වෙන වේල් උත්සවය චෙට්ටියාර්වරුන් විසින් පමණක් පමණක් පවත්වනු ලබන ආගමික උත්සවයක් වේ.’

කොළඹ නගරයේ වෙළෙඳාම වර්ධනය වූයේ නාටුකෝට්ටේ චෙට්ටියාර්වරුන් ඇවිදින බැංකුකරුවන් ලෙස වෙළෙඳ ප්‍රජාවට මුදල් ණයට දුන් නිසාය. මෙරට වැසියන් කිසිම බියකින් තොරව නාටුකොට්ටයින්ගේ සේප්පුවල තම මුදල් තැන්පත් කර තිබිණ. එකල මුදල් තැන්පත් කිරීමට බැංකු නොතිබූ නිසා විශ්වාසවන්ත ස්ථානය වූයේ නාටුකොට්ටයන්ගේ සේප්පුවය. ඒ වෙනුවෙන් පොලියක් අය කෙරිණි.

ඉඩම් අත්පත් කරගත්තේ ද වාරික ගණනාවක් ගෙවීම පැහැර හැරියොත් පමණය. නාටුකොට්ටේවරුන්ගේ යකඩ සේප්පුව බ්‍රිතාන්‍ය බැංකුවල ආරක්ෂිත සේප්පුවට වඩා සුරක්ෂිත යැයි මතයක් එකල ජනතාව අතර පැතිරී තිබූ බව සඳහන් වේ. ඔවුන්ගේ සේවය සඳහා යොදා ගත්තේ තම ජන කොටසේම අය පමණකි. ලංකා බැංකුව ආරම්භ කරන තුරු ලාංකිකයන්ට ඉංග්‍රීසි බැංකු වෙත යාමේ හැකියාවක් නොවුයේ ඔවුන් ඉංග්‍රීසි නොදන්නා නිසාය. මෙම හිස්තැනට රිංගා ‘නාටුකොට්ටයන්’ ගිනි පොලියට ණය දී විශාල ආදායමක් උපයා ගත්ත ද කොළඹ නගරයේ දේශීය වෙළෙඳ පන්තියක් ඇතිවීමට මෙම ගිනි පොලී ණය බලපෑවේය. ඒ නිසා ‘නාටුකොට්ටේ චෙට්ටියාර්’ වරුන් මෙරට වෙළෙඳ ශ්‍රේණියක් ගොඩ නැගීම සඳහා කළ සේවය ඉතා ඉහළ බව පිළිගැනේ.


ප්‍රේමකීර්ති රණතුංග