ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
මහනුවරව ජේ.ඒ.එල්. ජයසිංහ මහතා ලියූ එවූ කතාවකි. ගම
ට සාපයක් වූ චණ්ඩියාගේ කෙරුවාව ගං පතුලේ සැඟව ගියේය
ඔහු සිය තරුණ ජීවිතය මුළුමනින්ම කැප කළේ අපරාධ, කොල්ලකෑම්, පහරදීම්, තර්ජනය කිරීම්, ස්ත්‍රී දූෂණ ක්‍රියා සහ මැරකම්වලටය. තරුණ ජවය ඔහු බොහෝ විට ප්‍රදර්ශනය කළේ අනුන්ට වධහිංසා කොට තළා පෙළා දැමීම සඳහාය.
ඔහු කළ අපරාධවල පලවිපාක ඔහු පසුපස පන්නාගෙන පැමිණියේ ඔහුගේ සෙවණැල්ල සේය. වරෙක මහමග ගමන් ගත් තරුණියන්ගේ රන්මාල කඩාගෙන පලා ගිය ඔහු නගරයේ නිවාසවලට පැන දේපළ කොල්ලකෑමෙහි ද නිරත විය.
ඔහු කළ සියලු අපරාධවලින් උපයාගත් මුදල් යෙදවූයේ මත්ද්‍රව්‍ය භාවිතය සඳහාය. ඔහුගේ නම කිවූ සැණින් ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ තරුණයෙකු බව ඔහු පදිංචි ප්‍රදේශයේ කවුරුත් දනිති.
වරක් ඔහු නගරයේ ලැගුම් හලකට කඩා වැදී එහි කාමරයක සිටි තරුණ යුවළකට පිහියක් පෙන්වා එහි සිටි තරුණ කත ඇගේ පෙම්වතා ඉදිරියේදීම දූෂණය කර පලා ගියේය. එහෙත් ඔහු දාමරිකයෙකු නිසාම ලැගුම්හල් හිමියාත් සිද්ධියට මුහුණ දුන් යුවළත් සිද්ධිය පොලිසියට පැමිණිලි නොකළහ.
ඔහු තරුණ ජවයෙන් කළ අපරාධ පිළිබඳව ඔහු වෙසෙන ප්‍රදේශයේ පොලිසියට වරින් වර වාර්තා වුවද මේ පුද්ගලයාව අල්ලා ගැනීමට පොලිසියට නොහැකි විය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට (හෙරොයින්) මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම ඔහුගේ අපරාධවලට හේතු විය. ඔහු වයස අවුරුදු 28 ක් වූ තරුණයෙකු වුවද ඔහුගෙන් ඔහුගේ ගමටත් ඔහුගේ දෙමව්පියන්ටත් පවුලේ සාමාජිකයන්ටත් කිසිදු සහනයක් නොලැබිණි.
ඔහුගේ නම කිවූ පමණින් ඔහු පදිංචි ගම් ප්‍රදේශයේ ජනතාව ද බියට පත්වෙති. මිනිසුන්ට නිකරුණේ පහරදීමට, කපාකොටා දැමීමට ඔහු ක්ෂණිකව පියවර ගනී. ඔහුගේ ක්‍රියාකාරකම්වලට එතරම් ආයුෂක් නැති බව ඔහු සිහිනෙකින්වත් නොසිතුවේය.
දිනක් කිසියම් අපරාධයක්, සමාජ විරෝධි ක්‍රියාවක් සිදුකිරීමට ඔහු සඟයෙකු සමග සූදානමින් නගරයට ආසන්නව මාර්ගයක ගංගාවක් සමීපයේ රැඳී සිටියේය. ඔහු නොසිතූ අවස්ථාවක පොලිස් කණ්ඩායමක් ස්ථානයට කඩා පාත් විය. කිසිවක් කරගත නොහැකි වූ චණ්ඩියා ගඟට පැන්නේය. ගඟේ දියවැල් ඔහු ගිලගත්තේ ඔහුගේ සියලු පාපයන්ට ලබා දුන් දඬුවමක් සේය.
තමන් කළ සියලු අපරාධ සැණෙකින් ඔහුට සිහිවෙන්නට ඇතත් මොහොතකින් ඔහු දියේ ගිලී අතුරුදන් විය. දින කීපයකට පසු කුණු වූ හඳුනාගත නොහැකි මළ සිරුර ගං ඉවුරක තිබී හමුවිය. ඔහු කළ සියලු පාපයන් ඔහුට යෞවන වියේදීම පළ දුන්නේය. ඔහු මළ පුවතින් ගම්මු සතුටු වූහ. ඇතැම්හු සතුටට රතිඤ්ඤා පිපිර වූහ.
බුදු දහමට අනුව යම් අපරාධයක් කළොත් එහි කර්ම විපාක ජීවිත කාලේදීම පළදෙන බව පසක් කරමින් ඩික්සන් (අන්වර්ථ නාමයකි) නම් වූ මැර තරුණයා අකලට පර වූ මලක් මෙන් වියළී ගියේය. පොලිසියට ද ඔහුගේ කරදරයෙන් නිදහස් ලැබිණි. මළසිරුර බහාලු පෙට්ටිය ද මුද්‍රා තබා ඔහුගේ දේහය පස් යටට දැමීය. තමන් කළ පව්වලට වන්දි ගෙව්වේ එලෙසය.
අකුරැස්ස පහළ මලිදූව චිත්‍රාතන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.
උගත්කමින් ගැමියන්ට විනකර රෝගයවත් නොදැන දුක්විඳ මියගිය සිරිදාස ලියන්නා
සිරිදාස ලියන මහත්තයා මීට දශක ගණනාවකට පෙර ඈත දුෂ්කර ගම්මානයක උපත ලද්දෙකි. ගමේ යමක් කමක් ඇති පවුලක උපත ලැබූ සිරිදාසට නගරයේ උසස් පාසලක හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ පින පෑදුණි. පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් නිමකර විභාග වලින් ද උසස් ලෙස සමත් වූ සිරිදාසට රජයේ කාර්යාලයක ලිපිකරුවකු ලෙස රැකියාවකට වරම් ලැබුණි.
ඒ කාලයේ ඈත ගම් දනව්වල එවැනි රැකියාවක් කළ අයෙකුට ලැබුණේ ඉතාමත් ගෞරවනීය සැලකිල්ලකි. ඒ අනුව ගැමියන් සිරිදාස හඳුන්වන්නට වූයේ ‘සිරිදාස ලියන මහත්තයා’ නැතහොත් ‘ලියන රාලහාමි’ යන ගරු නාමයෙනි.
එසේ වුවත් සිරිදාස ලියන මහත්තයාගේ ක්‍රියා කලාපය නම් එතරම් හොඳ එකක් නොවීය. ඒ නිසාම ඔහු සිටින තැන ගැමියෝ ඔහුට කොතරම් ගරුසරු බවක් දැක්වුව ද නැති තැන බොහෝ දෙනා ඔහු හඳුන්වන්නට වූයේ ‘සිරිදාස ලියන්නා’ යන අන්වර්ථ නාමයෙනි.
සිරිදාස තම උගත්කම ඔහුගේ වාසියටම මහරවා ගත්තා මිස අහිංසක ගැමියන්ට නම් කිසිදු සහනයක් නොවීය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කෙසේ හෝ මුදල් උපයා ගමේම පොහොසතා වී ගරුසරු ලබමින් වැජඹෙන්නටය. එසේම ඔහු අයථා ක්‍රමවල යෙදී හෝ මුදල් උපයන්නට උත්සාහ කළේය. අහිංසක ගැමියන්ගේ දේපළ බොරු ලියකියවිලි සකසා ඔහු සතුකර ගැනීමට කටයුතු කළේ කිසිදු අනුකම්පාවකින් තොරවය. ගැමියන්ට අවශ්‍ය ලියුම් කියුම් වැඩක් කරගන්නට ඕනෑ වූ විට එයට සන්තෝෂමක් ලබා ගැනීමට කිසි විටක අමතක නොකළේය. එසේම ඔහු සේවය කරන ආයතනයෙන් වැඩක් කර ගැනීමට ද සිරිදාසගේ අත මිට මෙළවීමටම සිදුවිය. එසේ නොවුණහොත් එම කටයුත්ත ඉටු නොවන එකක්ම විය.
එසේම ඔහු නිතරම කළේ ගැමියන්ට විරුද්ධව පෙත්සම් ගැසීමයි. එය සිරිදාස ලියන්නාගේ විනෝදාංශයක් බවට පත් විය. ගැමියන් රජයෙන් හෝ වෙනත් තැනකින් යමක් කර ගැනීමට යාමේ දී ඒවාට එරෙහිව කුමක් හෝ පෙත්සමක් යවා කඩාකප්පල් කර දැමීම අනිවාර්ය අංගයක් විය. අහිංසක ගැමියකුගේ දරුවෙක් යමක් දැන ඉගෙන රැකියාවක් ගැනීමට උත්සාහයක් ගතහොත් ඉහළ තැන්වලට පෙත්සම් ගසා ඒවා වළක්වා ලීම සිරිදාස ලියන්නා අනිවාර්යයෙන්ම සිදුකළ දෙයක් විය. වෙනකක් තබා සහනාධාරයක් ලබා ගැනීමට ඉල්ලීමක් කරන ලියුමක් හෝ ලියා ගැනීමට සිරිදාසගේ උදව්ව අවශ්‍යම වූ අතර ඒවාට සිරිදාස ගැමියන්ගෙන් සන්තෝෂම් ලබා ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය. ගැමියකුගේ දරුවකු ඉහළ රැකියාවකට තබා කම්කරු තනතුරකට හෝ යාමට සිරිදාස සිටිනතාක් ඉඩක් නම් නොලැබුණි. එවැනි කටයුත්තකට අහිංසක ගැමි දරුවකු සැරසෙන්නේ නම් ‘ඔක සිරිදාස ලියන්නාට නම් දැනගන්නට අරින්නට එපා. ඕකා දැන ගත්තොත් කරල හමාරයි.’ යනුවෙන් අවවාද කිරීමට වැඩිහිටි ගැමියෝ පුරුදුව සිටියහ.
කල්යත්ම සිරිදාසගේ මේ අමන ක්‍රියා ගමේ හැමෝම පිළිකෙව් කරන්නට වූහ. ටිකෙන් ටික ඔහුගෙන් උදව් ලබා ගැනීම අත්හැර දැමූහ. ඔහු ගමෙන් කොන්වෙන්නට විය. ඔහුට ලැබෙන වාසි ටිකෙන් ටික අඩුවෙන්නට ද විය. ගරු නම්බු ද නැතිව ගියේ නොසිතූ පරිද්දෙනි. මෙයින් මහත් වූ මානසික පීඩනයකට පත්ව මේ ගැන සිතමින් සිටි සිරිදාසට කෑම බීම පවා රුචියක් නැති තරම් විය.
වැඩිකල් නොයාම ඔහු කිසිවකුටත් හඳුනාගත නොහැකි වූ රෝගයක් වැලඳුනි. පවුලේ අය කොතෙක් බේත් හේත් කළත් සුවයක් නම් නොවීය. ඔහු එතෙක් ඉපයූ සියලු ධනය රෝගය සඳහාම වැය විය. අවසානයේ වැලඳුණ රෝගය වත් නොදැන මහත් සේ දුක් විඳ මෙලොව හැර ගියේ කළ දේ වලට මෙලොවදීම දඬුවම් විඳිමිනි.
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.
‘ඒවං ගිහිං බං’
සතුන් මැරීම පවක් බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් සතුන් මරණ ආකාරය අනුව ඌ විඳීන වද වේදනාවන් අනුව පවේ විපාකය තවත් වැඩිවෙනු ඇත. බෙල්ල කපා මරණ සතෙකු වෙඳනා විඳින්නේ ටික වේලාවකි. වෙඩි තබා මරණ සතා ද වෙඩිල්ල වැදුණ ස්ථානය අනුව වේඳනා විඳ මරණයට පත්වෙයි. දැල් දමා මාළු අල්ලන විට මාළුවා පැය ගණනක් හුස්ම ගැනීමට නොහැකිව වේදනා විඳ මැරෙයි. බිලී බා අල්ලා ගන්නා මාළුවා බිලී කටුව ගැලවීමේ දී උගුරේ ඇතිවන තුවාලයත් හුස්ම ගැනීමට නොහැකියාවත් යන වේදනා දෙකම විඳ මැරෙයි.
හුස්ම ගැනීමේ අපහසුවෙන් මැරෙන අයෙකු විඳින වේදනාව දන්නේ ඔහුම පමණකි. එය බලා සිටින්නෙකුට නොදැනේ. නව කොරෝනා රෝගයෙන් මිය ගිය දහස් ගණනක් රෝගීන් එම වේදනාව විඳ මරණයට පත්වෙන්නට ඇත. උඟුල් අටවා සතුන් මරණ විට ද මරණ ආකාරය අනුව ඌ විඳින වේදනාව තීරණය වෙයි. මේ කියන්නට යන්නේ උගුල් අටවන්නෙකුට අත් වූ දුක්ඛිත ඉරණමක් ගැන කතාවකි.
ගමේ තරමක පොහොසතෙකු හා ශක්ති සම්පන්න මැදිවියේ පසු වූ ඔහු හැඳින්වූයේ ‘ඒවං’ නමිනි. එයට හේතුව ද රසවත් මෙන්ම දුක හිතෙන කතාවකි. පුරාණ කාලයේ හරක් අයිතිකරුවන් හරක් හඳුනාගැනීමටත් අනන්‍යතාව තහවුරු කිරීමටත් කළේ සතා හංවඩු ගැසීමයි. මොහු වන්නිහාමි නිසාත් නමේ මුලකුර ඒ අකුර නිසාත් ඔහුගේ හරක් පට්ටියේ සිටි සියලුම හරකුන් හංවඩු ගසා තිබුණේ ‘ඒවං’ යනුවෙනි. ඒ නිසාම ඔහු ද ඒවං නමින් හැඳින්වුනි. ඔහුට කුඹුරු ද වතුපිටි ද තිබුණි. ඔහු කුඩා කාලයේ පියා මිය ගියා ද මව වෙනත් විවාහයක් කර නොගත් නිසාත් පවුලට සිටියේ ඔහු පමණි. වත්තේ කොස් පොල් දෙල් හා පුවක්වල ආදායමත් කුඹුරුවල ආදායමත් නිසා ඔහුට මිල මුදලින් අඩුවක් නොවීය.
දඩයමට සූරයෙක් මෙන්ම කෑදරයෙකුද වූ ඒවං ට විවාහයක් කර ගැනීමට නොහැකි වූයේ ද ‘ඔය පවුකාරයාට අපේ දුව නම් දෙන්නේ නැහැ.’ කියා මව්වරුන් කියන්නට පුරුදු වූ නිසාය. ඒවං ට මස්, මාළු නැතිව ආහාර ගැනීමට බැරිය. දඩයමත් නොලැබුණු දාට දැලක් හෝ බිලී පිත්තක් රැගෙන වැවට ගොස් මාළු අල්ලා ගෙන එයි.
හැත්තෑ එකේ කැරැල්ල සමයේ තිබූ දැඩි නීති නිසා පතරොම් සොයා ගැනීම අපහසු විය. ‘ඒවං’ කළේ උගුල් අටවා සතුන් මැරීමයි. උගුලට මුවන්, ගෝනුන් අසු වූ විට දින ගණනක් උන් නිරාහාරව තබා අඩපණ වූ විට මරා මස් කිරීම ඒවං ගේ සිරිතයි. බොහෝ විට ඔහු උගුල් අැටවූයේ ඔහුගේ වී හේනේය. අහස් වැස්සට වපුරන වී හේන වැසි කාලයට ඉතාම සරුය. කැලේ මැද පිහිටි නිසා සතුන් ද වී හේනට එති. දින තුන හතරකට වරක් සතෙකු දඩයම් කරගැනීම ඔහුගේ සිරිතයි. ඔහු බත් කනවාට වඩා මස් කනවා කීම සාධාරණය.
ඔහුගේ මව ද ඉඳහිට වී හේනට එන්නේ ‘පන්’ කපා ගැනීමටයි. ඇය වට්ටි පෙට්ටි පැදුරු ආදිය වියන්නට පන් කැපීමට එන දවසක උගුලට අසු වී දුක් විඳින සතුන් උගුල කපා නිදහස් කළේ ඒවං නැති වෙලාවකය. දිනක් ඇය දුටුවේ උගුලට අසුවී දුක්විඳින ගැබ්බර මුව දෙනෙකි. ඇය කොතෙක් උත්සාහ කළ ද උගුල කපා ගැනීමට නොහැකි වූ නිසා මුවදෙන නිදහස් කරන ලෙස ඒවං ගෙන් ඉල්ලා සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ ඇයටත් ගුටි කෑමට සිදුවීමය.
දිනක් ඒවං උදේ නිවසින් පිටත් වී ගිය මුත් දින දෙකකින් පමණ ආපසු නොපැමිණි නිසා මව කලබල විය. ගමේ තරුණ පිරිස ඒවං සොයා කැලෑව පීරන්නට වූහ. වැවද බාගෙට සිඳී ගොස් තිබුණ නිසා වැවේ කිමිදී බැලූ තරුණ පිරිස ඔහු සෙවීම අත්හළහ. ඒවං නැති බව පොලිසියට ද පැමිණිලි කර තිබුණි.
වැවේ සොරොව්ව අසළින් යන විට දැඩි දුගඳක් ඇති නිසා ගම්මු වෙල් විදානේ මහතාට ද ග්‍රාම නිලධාරි මහතාට ද දන්වා පොලිසියෙන් පැමිණ පසු සොරොව්ව පිරික්සීම පටන් ගත්හ. යකඩ කූර දිගේ සොරොව්ව තුළට බැසගත් තරුණයකුට ‘ඒවං’ගේ මළ සිරුර හමු විය. වතුර සිදී ඇති නිසා සොරොව්ව වියළී තිබුණි. හොරොව්ව තුළ ඉබ්බන් සිටින නිසා ඔහු ඉබ්බන් ඇල්ලීමට පැමිණ ඇති අතර එහිදී සොරොව්වට වැටී හිස තුවාල වී සිහිසුන් වීම නිසා මරණයට පත්ව ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කරන ලදී.
ගැබ්බර මුව දෙන මැරීමත් මවට පහර දීමත් සිදුකර සතියක් ගත වීමටත් පෙර ඒවං මිය ගියේ වතුර ටිකක් ආහාරයක් හෝ නොමැතිවය. ඔහුගේ මරණය ගමේ කිසිවෙකුවත් දුකක් නොවූ අතර දුක් වූයේ අම්මා පමණකි. ‘ඔය පවුකාරයා මැරිච්ච එකමයි හොඳ’ ගමේ වැඩි දෙනා එසේ කිව්වේ ඔහුගේ පාපතර ක්‍රියා නිසාය. ගමේ තරුණ පිරිස එම සිද්ධිය හාස්‍යයට ලක් කරමින් ‘ඒවං ගිහිං බං’ කියා පෝස්ටර් ද අලවා තිබුණි. සතුන්ට වද දී මැරූ ඔහු ද ඒ ආකාරයෙන්ම මරණයට පත් විය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්