ගල්ගුහාවක වෙසෙන මිනිහෙක්



ආදි මානවයා දිවි ගෙවූයේ කැලෑවේ තිබූ ගල් ගුහාවල ය. එහෙත් මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමගම මිනිස්සු ගල් ලෙන් වලින් නිවාස වෙත සංක්‍රමණය වන්නට පටන් ගත්හ. මිනිස්සු තම ආදායමට සරිලන පරිද්දෙන් නොතෙමී ආරක්ෂිතව ඉන්නට නිවාස ඉදිකර ගත්හ. නිවෙසක් ඉදිකරගත නොහැකි අයට එදා මෙදාතුර බලයට පත්වූ රජය මගින් විවිධ වූ ව්‍යාපෘති ඔස්සේ නිවාස ඉදිකර දුන්හ. එහෙත් කොතෙකුත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වූවත්, වසර හයකට ආසන්න කාලයක් තිස්සේ මහ කැලෑවේ ගල් පියස්සක් යට අනාරක්ෂිතව දිවි ගෙවන පුද්ගලයකු මීගහකිවුල තල්දෙන කොහාන රක්ෂිතයේ දී අපට හමුවිය. 

මෙම ස්ථානයට පැමිණීමට පෙර වසර 14 ක පමණ කාලයක් ඔහු ජීවත්ව ඇත්තේ ද මීගහකිවුල, බඹරගල රක්ෂිතයේ අටවාගත් තාවකාලික පැල්පතකය. මේ වනවිට වයස අවුරුදු 65ක් පමණ වන ඔහු ඩබ්ලිව්. එම්. ධර්මදාස ය. මිනිස් පුලුටක් නැති, වන සතුන් ගහන කැලෑවක් මැද වූ ගල් පියස්සක් යට දිවි ගෙවන ධර්මදාස සොයා අපි පසුගියදා  කොහාන රක්ෂිතයට ඇතුළු වුණෙමු. 

බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ තල්දෙන එකොළහ කණුව මංසන්ධිය අසලින් දකුණු පසට විහිදගිය තල්දෙන - කොහාන හෙවත් අංගොඩ මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළවිට හමුවන දිය පීල්ලක් අසලින් කොහාන රක්ෂිතයේ මීටර් පන්සියයක් පමණ කැලෑව මැදින් ගමන් කළ විට මොහු ජීවත්වන කුඩා ගල් පියස්ස හමුවෙයි. 

එය ගල්ලෙනක් නොව සැබෑවටම ගලක් මත රැඳී ඇති තවත් ගලකින් නිර්මාණය වූ ගල් පියස්සකි. ආරක්‍ෂිතව විසීමට තරම් පහසුකමක් නොමැත. සුළු වර්ෂාවකදී නොතෙමී සිටිය හැකි වුවත්, මහ වැස්සක දී ආරක්ෂාවීමට නොහැකි තරමට පටු ස්ථානයකි. 

ගල් පියස්ස යටවූ කුඩා ඇඳක ප්‍රමාණයේ දිගකින් හා පළලකින් යුත් කොටසක් මොහු සිය වාසස්ථානය කරගෙන සිටී. එහිම එක් කෙළවරක ගල් තුනක් තබා හදා ගත් ළිපක ඔහු කුසගින්දර නිවාගැනීමට කුමක් හෝ අහරක් පිළියෙල කරගනී.

ගල් පියස්සේ රෙදි පිළි තබන්නට තැනක් නැත. කණු දෙකක් සිටුවා හරහට දැමූ ලීයක් මත ඔහුට ඇති සරමක් හා කමීස දෙකක් එල්ලා ඇත. ඒ හැරුණු විට එහි ඇත්තේ කුඩා මැටි හා ඇලු‍මිනියම් වළං දෙක තුනක්, වතුර බෝතල් දෙක තුනක්, දර කැබැලි කීපයක්, පොහොර මල්ලක ඔතා සඟවා ඇති සීනි තේ කොළ ස්වල්පයක්  පමණි.  

ආහාර පිළියෙල කිරීමට ඇවැසි පිහියක් ඇතුළු අත්‍යවශ්‍යම උපකරණ කීපයක් කවුරුන් හෝ ගනීවි යැයි සිතා වරින් වර කැලෑවේ විවිධ තැන්වල එය සඟවමින් ආරක්ෂා කර ගන්නා බව ධර්මදාස පවසන්නේය. තමන් සතු කුඩා පැදුරු කඩමාල්ල එලාගෙන කොට්ටයක් වෙනුවට ගල් ගෙඩියක් හිසට තබාගෙන රැය පහන් කරන බව ඔහු කීය. අඳුර පලවා හරින්නේ නිදාගන්නා තැනම පය පාමුල දල්වන ළිපේ ආලෝකයෙනි. ඔහුගේ අවශ්‍යතා කොතෙක් සීමිත ද යත් අඩුම තරමින් විදුලි පන්දමක් හෝ කුප්පි ලාම්පුවක් පවා නොමැත.

අප ඔහුගේ සීතල නිවහනට ගොඩවැදුණු තැන ධර්මදාස සිය කටහඬ අවදි කළේ මෙසේය.

“මහත්තයෝ මට කාත් කවුරුවත් නැහැ. සලකන්න කියලා කෙනකුත් නැහැ. මට හැඳුනුම්පතක් තියෙනවා. ඡන්ද අයිතියත් තියෙනවා. උප්පැන්නෙයි හැඳුනුම්පතයි අනෙක් ලියකියවිලි ටිකයි මම පහළ ගෙදරකින් ආරක්ෂාවට තියලයි තියෙන්නෙ. 

 මං මෙතැනට ඇවිල්ල දැන් අවුරුදු පහ හයක් වෙනවා. මෙතෙන්ට එන්න කලින් මං ජීවත් වුණේ මේ කැලේම උඩහා තියෙන බඹරගල රක්ෂිතයේ. වගාවක් කරගෙන පැලක් අටවගෙන අවුරුදු දොළහක් විතර එහෙ ජීවත් වුණා. එතැන කිසි දෙයක් හදාගන්න බෑ. රිළවුන්ගෙන් හරිම කරදරයි. හැමදේම රිළවුන් අරන් යන්න පටන් ගත්තා. බැරිම තැන මං ඉන්න තැනක් හොය හොයා කැලේ ඇවිදගෙන යද්දි තමා මෙතැන හම්බ වුණේ . අන්තිමට ඒක අත ඇරලා දාලා තමයි මෙතැන්ට ආවේ. දැන් මෙතැන්ට ඇවිල්ලා අවුරුදු පහක් හයක් වෙනවා. මට දැන් මෙතැන හොඳට පුරුදුයි. පහළ ගමට ගිහින් කුලියක් කරගන්නත් ලේසියි. එනිසා තමයි මං මෙතැන ඉන්නේ.

උදේට නැගිටලා පල්ලෙහා පීල්ලෙන් මූණ කට හෝදගෙන පහළ ගමේ කුලී වැඩකට යනවා. වරුවක් වැඩ කරොත් රුපියල් දාහක් එක්දාස් දෙසීයක් හම්බවෙනවා. ඒත් මහත්තයෝ ඒකෙන් කන්න බොන්න හොයාගන්න අමාරුයි. හාල් කිලෝ එකක් ගෙනාවොත් අඩුම ගානේ වේල් තුනක් වත් කනවා. තේ කොළ ටිකයි, ලාම්පු තෙල් ටිකයි හැමදේම ගන්ඩ ඕනෑ. ඒ මුදලින් මොනවා කරන්නද ?. මම උයන්නේ රෑට විතරයි. කලින්ම රෑට උයලා කාලා නිදාගන්නවා. කළුවර යන්න මේ ගිනි මැලේ තව ටිකක් දර දාලා අවුළුව ගන්නවා.”

මෙහෙම ඉන්න බය නැද්ද’ ? අපි ඇසුවෙමු.

“මට දැන් මේ වගේ තැන් හොඳට පුරුදුයි. දැන් මේ කැලෑ ජීවිතේට ඇවිල්ලා අවුරුදු විස්සකට වැඩියි. අද වෙනකල් මට කිසිම සතා සර්පයකුගෙන් කරදරයක් වෙලා නැහැ. කැලේ මැද ඉන්න බයකුත් නැහැ. ගම්වල ඉන්නවට වඩා මෙතැන මං හරි සන්තෝසෙන් තමයි ඉන්නේ. මොනවාහරි තම්බගෙන කාලා පාඩුවෙ නිදාගන්නවා. උදේට නැගිටලා වැඩකට පොළකට ගිහින් ආයෙත් ඇවිල්ල පහළ පීල්ලෙන් නාලා මොකක් හරි තම්බගෙන කාලා ඉන්නවා. ඕක තමයි මගේ ජීවිතේ.”

ඔහුගේ පවුලේ උදවිය ගැන මෙන්ම ළමා කාලය ගැන ඔහු සිය මතක පොත මෙසේ පෙරැළුවේය.

“පවුලේ විස්තර කියන්න මම කැමැති නැහැ. පොඩි කාලේ මගේ තාත්තා නැති වෙච්ච දවස්වලම තමයි මේ විදියට එළියට බැස්සේ . මං ගෙදරින් එළියට බැස්සේ 1984 අවුරුද්දෙ . එදා ඉඳන්ම  තැන් තැන්වල තමයි ඉන්නෙ . තාත්ත නැති වුණාට පස්සෙ මං ඔක්කම්පිටිය බුත්තල වගේ පැතිවල ගිහින් උක්ගස් කැපුවා. කුඹුරු වැඩ කළා. බුත්තල ගිහිල්ලා කොන්ත්‍රාත් කරන මනුස්සයකු ළඟ ඉඳගෙන වැඩ කරා. උක්ගස් කැපුවා. කුඹුරු වැඩ කරා. අන්තිමට ඒ මනුස්සයා මැරුණා‍ මාත් පැත්තකට වුණා. ඊට පස්සේ තමයි මං මේ කැලේට ආවේ. එදා ඉඳලා අද වෙනකම් ම මේ වනාන්තරේ තමයි මම ජීවත් වෙන්නේ. මේ කැලේ ඕනෑ තරම් සතා සර්පයො ඉන්නවා. ඌරන්, මුවන්, ගෝනුන් ඉන්නවා. හැබැයි මගෙන් උන්ටවත් උන්ගෙන් මටවත් කරදරයක් නෑ. අඩුම තරමේ මදුරුවකුවත් මට දෂ්ට කරලා නැහැ.

මං මෙතැන හිටියාට මම මේ එක ගහක අත්තකට වත් හානියක් කරලා නැහැ. තණකොළ ගහක්වත් අඩුම ගාණේ  ගලවලා නැහැ. මේක රජයේ රක්ෂිතයක්. මං පරිසරයට ගහකොළට පණ වගේ ආදරෙයි. වැටිලා තියෙන කෝටු කෑල්ලක් ගෙනල්ල තමයි ළිප හරි පත්තු කරගන්නෙ.  මේ තියෙන විදිහට මැරෙනකම් ජීවත් වෙන්න තියෙනවානම් කියලයි මං හිතාගෙන ඉන්නේ.”

මෙම ගල් පියස්ස යට ජීවිතය ඔහුට දරාගත හැකි වුවද, එහි පැමිණෙන්නකුට නම් වරුවක් හමාරක් හෝ මෙහි ගතකිරීම දුෂ්කර ක්‍රියාවකි.

‘මහා කැලේ මැද දී ලෙඩක් දුකක් හැදුණොත් මොකද කරන්නේ’ ? අපගේ පැනයට ධර්මදාස ගේ පිළිතුර මෙයයි.

“ලෙඩක් හැදුණොත් පහළ කඩේකට ගිහින් සිද්ධාලේප ටිකක්, කසාය පැකට් එකක්, පැරසිටමෝල් පෙත්තක් ගෙනල්ලා බීලා - නිදාගන්නවා. මම ගොඩක් දුක් විඳින මිනිහෙක්. කවුරු හරි ඉදිරිපත් වෙලා මට රස්සාවක් හරි ආධාරයක් හරි ලබල දෙනවනම් ඒක ලොකු පිනක්.” 

ධර්මදාස බොහෝ විට ජීවත්වන්නේ රක්ෂිතය පාමුල ගම්වලට ගොස් කුලී වැඩක් ඉල්ලාගෙනය. ඒත් ඒ ගෙවල්වලත් වෙන කෙනකුට දෙන්න තරම් කුලී වැඩක් නැත. මෙවැනි ධර්මදාස ලා මේ මිහිපිට තවත් නොසිටිය නොහැකිය. ඔහුගේ බලාපොරොත්තු ඉටු කර දීමට හැකිවේ යන බලා‍පොරොත්තුව ඇතිව අපි ඔහුට සමුදුන්නේ යළිත් දවසක හමුවන පොරොන්දුව පිටය.


කතාව සහ ජායාරූප 
      වියලු‍ව නිශාන්ත කුමාර