ජීවිතයට යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි. සාලියපුර පානියන්කඩවල රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ගිනි වතුර...
මොහු රජ රටට නුදුරු ග්‍රාමයක පදිංචිව සිය අඹු දරුවන් සමඟ ජීවත් වූ අතර රැකියාව වශයෙන් හොර මත් පැන් ෙපරීම කාලයක සිටම පුරුද්දක් වශයෙන් කළේය. සතියකට හොර මත් පැන් වඩි දෙකක් පමණ පෙරන අතර අලෙවි කිරීම සිදු කෙරුණේ සිය නිවෙසේ බිරිඳ විසින්මය.උදෑසන සිට රැය මැදියම් වනතුරු පැමිණෙන පාරිභෝගිකයන්ෙග් අවශ්‍යතාව ඉටු කිරීම ඇය සේවයට කැපවී සිටියාය.
මෙම අඹු සැමි යුවළ ජාඩියට මූඩිය වාගේ යැයි ගම්මුන් අතර ප්‍රචලිත කියමනක් ද විය. නිතරම මෙම නිවෙස දෙසින් අැසෙන තොර තෝන්චියක් නැති කරච්චලය ද අසල් වැසියන්ට හිරිහැරයක් වූවාද නොවේ. පොලිසිය විසින් නිතර නිතර කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් සේ පොලිසිය සිර මැදිරිය. බන්ධනාගාරය, උසාවි අධිකරණය යන මේවා මොවුන්ගේ ජීවිත සමග එකට බැඳී තිබිණ.
එම ස්ථාන ද මොවුන්ට තම නිවෙස මෙන් සුපුරුදු තැන්ය. මෙම ගිනි වතුර ජාවාරම හේතු කොටගෙන මෙම ප්‍රදේශයේ අඹු සැමි ආරවුල් පැන නැඟී අතර ඇතැම් මවුවරුන් තම දරු පැටවුන් පවා කුස ගින්නේ රඳවා ගනිමින් දෙස් දෙවොල් දී කඳුළු සැලුවාර ද අපමණ ය.
දිනක් මෙම නිවෙස දෙසින් විලාප දී කෑ ගසන සද්දයක් ඇසී අසල් වැසියෝ විපරමින් යුතුව නිවෙස වෙත දිව යන්නට වූහ. බිරිඳ තම දෑත හිස් මත ගසා ගනිමින් විලාප දී කියා සිටියේ තම සැමියා තමා සමග බහින් බස්වී සිරුරට ගිනි තබා ගත් බවත් තමා ජලය වත්කර ගින්න නිවා දැමූ බවත්ය.
රැස් වූ අසල් වැසියන්ට දැක ගත හැකි වූයේ පිළිස්සුම් තුවාල සහිත ගිනි වතුර ජාවාරම්කරුගේ සිරුරත් ඔහු වේදනාවෙන් යුතුව කෑකෝ ගසන අයුරුත්ය. කාලය අපතේ හැර බලා නොසිට රැස් වූ අසල් වැසියෝ මොහු වහාම කුරුණෑගල රෝහල වෙත ගෙන යෑමට අවශ්‍ය පියවර ගත්හ. වහාම රෝගියා පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන් කියා සිටියේ මේ වනවිට රෝගියා මිය ගොස් ඇති බවය. මේ අනුව මෘත ශරීරය මෘතශරීරාගාරයට ඇතුළු කිරීම සඳහා නිර්දේශ සටහන් යොදා ඇතුළත් කරන ලදී.
මෘත ශරීරාගාරය අසල රැස්වී සිටියවුන් අතර සිටි බිරිඳ විලාප නගමින් සිය සැමියා තමා සමඟ රංඩු සරුවල්වී සිරුරට ගිනි තබා ගත් අයුරු කියා පෑ අන්දම රැස්ව සිටියන්ගේ හද කම්පා කරවන සුළුය. ෙම් අතර මෘත ශරීරාගාරය භාරව සිටි රෝහල් සේවකයා මෘත ශරීරය දෙස විමසිලිවත්ම බලා සිට කව් ද කියන්නේ මෙයා ගිනි තියා ගත්ත කියලා යැයි විමසීය. නැවතත් හඬ අවදි කළ ඔහු මෙයා මැරිලා තියෙන්නේ අරක්කු පෙරන්නට ගිහින් ගෝඩා බැරල් එක පුපුරලා ගෝඩා ඇඟට විසිවෙලා යැයි මරණ පරීක්ෂණයටත් පෙර පවසා සිටින්නට විය.
මෙය රැස්ව සිටියවුන්ට හතර බිහිරි කතාවක් මෙන් ගැටලු සහගත කරුණක් විය. රැස්ව සිටියවුන් එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටිමින් විමතිව සිටිද්දී, නැවතත් රෝහල් සේවකයා තම අත්දැකීම් විස්තර කරමින් ගිනි තියා ගත්ත නම් හිස කෙස් රැවුල, පපුවේ රෝම අත්වල රෝම පිච්චී තිබිය යුතු යැයි ද මියගිය අයගේ එවැන්නක් සිදු වී නැතැයි ද පෙන්වා දෙන්නට තරම් දක්ෂයකු විය.
මේ අතර බිරිඳගේ හැඬුමද නතර වී තිබූ අතර කරුණු නොදත් අසල් වැසි පිරිසට ද සැඟවුණ රහසක වග තුග තේරිණ. අැත්තෙන්ම සිදු වී තිබුණේ කසිප්පු පෙරීමට යෑමේදී ගෝඩා බැරලය පිපිරීමෙන් සිදු වූ පිලිස්සුම්ය. සත්‍යය වසන් කිරීමට ගත් කූඨ උපක්‍රම මෙසේ එළි දකිද්දී, ප්‍රදේශෙය් දිවි ගෙවූ ජනතාවටත් ගම් දනව්වටත් පිළිලයක් වූ ගිනි වතුර ජාවාරම්කරුවකු උතුරන ගිනි වතුරෙන් දැවී මෙලොවදීම මිය ගියේ ජීවත් වන්නන්ට පාඩමක් කියා දෙමිනි.
අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය
විදුලි කම්බියක්........
අද අර්ධ නාගරික ගම්මානයක්ව ඇති මෙම ප්‍රදේශය මීට වසර පහළොවකට පමණ පෙර නගරයේ සිට සැතපුම් හයක් පමණ දුරින් පිහිටි පිටිසර ගම්මානයකි. එදා මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ගොඩ මඩ ගොවිතැනය. ගම ඉස්මත්තේ පිහිටි වැවෙන් ජලය ලබාගෙන කරන ගොඩ මඩ ගොවිතැනට වරින් වර රාත්‍රී කාලයේ පැමිණෙන වන සතුන්ගෙන් අලාභ හානි සිදුවීම කලෙක සිටම සිදු විය. එහෙත් වන සතුන් දඩයම් කිරීම හිරේ විලංගුවේ වැටීමට සිදුවන ක්‍රියාවක් වූයේ වැව ඉස්මත්තේ පිහිටි වන රොද රක්ෂිත ප්‍රදේශයක් වූ නිසාත්, වන ජීවී නිලධාරීන් නිතර ගැවසීමත් නිසාය.
ගමේ පාසල පිහිටා තිබුණේ වැවට දකුණු දෙසිනි. පාසලට යන වැලිපාර වැව් බැම්ම මතින් වැටී තිබුණ අතර බූරු සයිමන්ගේ ඉඩම වැව් බැම්ම යටි පැත්තේ පිහිටා තිබුණේය. දිනක් රාත්‍රී කාලයේ රක්ෂිත වන රොදින් පැමිණි වල් ඌරු රංචුවක් වැව් බැම්මෙන් බැස ගොස් බූරු සයිමන්ගේ ඉඩමේ වගාකොට තිබුණ මඤ්ඤොක්කා, බතල, කිරි අල ආදිය කා විනාශ කොට තිබුණි. ඒ දැක කෝපයට පත් බූරු සයිමන් “හොඳයි මට කළ පාඩුවට වාඩුව ගන්නම්” යැයි සිතා එදින ඇඳිරි වැටුණ පසු ගමේ කසිප්පු විකුණන සියදෝරිස් හා තැඹිලි කපන සියාතු ද හවුල් කරගෙන පාසලට විදුලිය ලබා දී තිබුණ විදුලි රැහැනට කම්බි කොක්කක් ගසා විදුලිය ගෙන, එම කම්බිය පෙර දින වත්තට උෟරු රංචුව ඇතුළු වූ වැටකපොල්ල හරහා මරුවැලක් සේ ගැට ගසා තැබුවේය.
ඉතා රහසිගතව කරන ලද මෙම ක්‍රියාව බූරු සයිමන් බිරිඳටත් නොකියා රහසක්ව තබා ගෙන සිට අලුයම හතරට පමණ ගොස් විපරම් කර බැලුවේය. වැඩේ සාර්ථක වී තිබුණි. මව් ඊරියත් සමග පැටව් දෙදෙනක් ද විදුලි සැර වැදී මීටර් දෙක තුනක් ඇතට විසිවී මියගොස් සිටියහ. බූරු සයිමන් වහාම දිවගොස් සියදෝරිස් හා සියාතු ද සමඟ පැමිණ එළිය වැටෙන්නට පෙර ඌරු මළකුණු තුන සැතපුම් බාගයක් පමණ දුරින් පිහිටි ළඳු කැලෑ රොදකට ගෙනගොස් සඟවා තබා ආපසු පැමිණ අහල පහළ නිවෙස්වල අය ඔවු නොවුන්ගේ වැඩ පළවලට ගිය පසු හැමටම හොරා අවශ්‍ය උපකරණ ද රැගෙන ගොස් ඌරු මළකුණු තුන කපා දුම් මැස්සක් සාදා දඩ මස් වේළන්නට පටන් ගත්තේය.
මේ වනවිට වේලාව සවස දෙක පමණ වී තිබුණි. මස් වේළීම බූරු සයිමන් හා සියාතු කරද්දී සියදෝරිස් කසිප්පු ගෙන ඒම සඳහා යාමට ගියේය. සියදෝරිස් වන රොද මැදින් පාසල් මාර්ගය අසලට එනවිට පාසල ඇරී ළමයින් පාරේ එනු දැක ඔවුන් යනතෙක් සැඟ වී සිටි මඟට බැස ගම දෙසට ගියේය. ඔහු වැව් බැම්ම කෙළවරට එන විට ඌරු දඩයම සිදු කළ ස්ථානයේ ළමුන් රංචුවක් කෑ ගසමින් ඒ මේ අත දුවනු දුටුවේය. සියදෝරිස් ද එතැනට දුව ගියේය. එවිට ඔහුට දක්නට ලැබුණේ පාසල ඇරී ළමුන් සමඟ පැමිණි බූරු සයිමන්ගේ එකම දියණිය වූ දාහත් හැවිරිදි ප්රියංගණීද විදුලි සැර වැදී එම ස්ථානයේම මිය ගොස් ඇති බවය. වහාම ක්‍රියාත්මක වු සියදෝරිස් “මොකාද යකෝ මේ තිරිසන් වැඩේ කළේ, මේ කරන්ට් කම්බියක් දාලා තිබිලානේ මේ අහිංසක කෙල්ල එ්කේ පැටලිලා තියන්නේ. ඔය ළමයි එන්න එපා මේ අහළ පහළටවත්” කියමින් වැට අයිනේ සඟවා තිබුණ දිග රිටක් ගෙන කම්බි කොක්ක ගලවා දැම්මේය.
වැව් බැම්ම යටි පැත්තේ බූරු සයිමන්ගේ ඉඩම තිබුණත් ලඳු කැලෑවෙන් වැසී තිබුණ නිසා මෙම වැටෙන් රිංගා ඉඩමට යාමට ඒමට පුළුවන්කමක් තිබුණේ නැත. මෙදින බූරු සයිමන්ගේ දුව වෙනදා මෙන් වැව් බැම්ම මතින් ළමුන් සමඟ යන විට ළඳු කැලෑව පොඩි වී අඩි පාරක් සෑදී තිබීම නිසා එම ස්ථානයෙන් ඇය ගෙදරට යාමට ගොස් විදුලිය සැර වැදී මියගොස් තිබුණි. එලිය වැටීමට පෙර ඌරු මළ කුණු ඉවත් කර ගැනීම කලබලයෙන් කළත් මෙම පාපතරයින් එකකුටවත් කම්බි කොක්ක ගලවා දැමීමට මතක් වූයේ නැත. ඒ හේතු වෙන් ප්‍රියංගනීට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් දින දෙකක් ගත වීමට පෙර බූරු සයිමන් සියදෝරිස් හා සියාතු ද සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගනු ලැබීය. මාස හත අටක් අත්අඩංගුවේ සිටි මොවුන් අධිකරණයෙන් ඇප ලබා පැමිණෙන විට බූරු සයිමන්ගේ බිරිඳ ඇගේ ගම් ප්‍රදේශයට ගොස් තිබුණි. බූරු සයිමන්ට ගමේ විසීමට නොහැකි පසු බිමක් ඇති වී තිබුණි.
කාගේවත් පිළිසරණක් නොමැති වු බූරු සයිමන් ගමෙන් පිටවී ගොස් ජීවත්වීම සඳහා මේසන්වරුනට අත් වැඩ දෙමින් දිවි රැක ගැනීමට පටන් ගත්තේය. ඒ අතර තට්ටු නිවාසයක උඩ තට්ටුවේ කොන්ක්‍රීට් කණුවක් දැමීමට කම්බි කූඩුවක් සිටු වීමට ගොස් අසල තිබුණ විදුලි රැහැනක සිටුවීමට ගිය කම්බි කූඩුව ගෑවීමෙන් ඒ දිගේ ගලා ආ විදුලි ධාරාව වැදීමෙන් පළමු නඩු වාරයට අධිකරණයේ පෙනී සිටීමටත් පෙර ඔහුද මිය ගියේය.
කිතුල්ගල දික්හේන එච්.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.
අපා දුක්.........
මීට අඩ සිය වසරකට පෙර ඈත පිටිසර ගමක දිවි ගෙවූ ඔහු නමින් කළුබණ්ඩාය. පාසලකට හෝ පන්සලකට හෝ කිසිදා නොගිය ඔහු හිතුවක්කාර ගති පැවතුම් තිබූ සැර පරුෂ පුද්ගලයෙකි. පස් දරු පියකු ලෙසින් මැදි විය ගෙවන විට පෙර සිටම පුරුදුව සිටි සතුන් මැරීම මස් අනුභව කිරීම අාදී පව්කම්වලටම ගත වුණ දිවියෙහි වෙනසක් දකින්නට තිබුණේම නැත. දිවා කල මෙන්ම රාත්‍රී කාලයේ දී ද වනාන්තරයේම කරක් ගැසීම තුවක්කු පදම් කිරීම හෝ ඇළේ දොළේ ගංගාවේ මාළුන් ඇල්ලීමට යාම දින චරියාවේම කොටස් ලෙසින් පැවතුණේය. ඔහු පියෙකු වුවද දරුවන් ගැන බැලීමට ද වුවමනාවක් නොතිබුණා වැනිය. සවස් වන විට මත් වතුර බී පදම්වී නිවෙසට ආවේ යක්ෂයකු වාගේය. එවිට දරුවන් ද අසලකටවත් නාවේ ඔහුගේ බියකරු බව නිසාමය.
නිතරම තුවක්කු බටේ අතේමය කළු පාට ලේන්සුවකින් ජටාවක් බැඳ පිහි කට්ටලයක්ම ඉණේය. උඩු කය නිරාවරණය කරගෙන නිතරම බුලත් විට හපමින් සිටින කළු බණ්ඩා අසළින් යෑමටවත් නොහැකි ලෙස වෙඩි බෙහෙත් ගඳය. ඌරකු, මුවකු, මී මින්නකු, දඬුලේනකු, සාවකු, රිළා වඳුරු, ආදී සතෙකු නොමරන දිනයක් නැති තරඕය. නැත්තම් ඔයේ ගංගාවේ මාළුවකු හෝ අල්ලාගෙන ඇවිත් බිරිඳ ලවා උයා පිහාගෙන කෑම අත් නොහලේමය. බෙහෙත් කොටන තුවක්කුව සතුන්ට බඳින කඳන් අතංගුව වීසි දැල මෙම නිවෙෙස් නිරන්තරයෙන්ම පෙනෙන්නට තිබූ පරිහරණ භාණ්ඩය.
කුස්සියේ නොකැඩුණු වළඳක් හෝ ඇතිළි මැටි කෝප්ප ආදී භාණ්ඩයක් නැති තරම්ය. ඒ බිරිඳ සමඟ රණ්ඩු සරුවල් නිමාවක් නොමැති නිසාය. ගුටි බැට නොකෑ දවසක් අැද්ද යන්න ඇයට ද මතක නැතුවා මෙන්ය. පාසලකට යාමට හෝ වරම් නොලද මෙම පවුලේ දරුවන් අතරින් සිව් දෙනකුම පිරිමි දරුවන්ය. යම්තම් හය හතර දැනෙන විටම කුමක් හෝ වැඩක් පළක් රැකියාවක් සොයාගෙන වරින් වර පිට පළාත්වලට ගියෙන් නැවත ගමට ආවේ ඉඳහිටය. ඒ මව බැලීමටය. එකම දියණිය ද පිට පළාතකින් ගමට පැමිණි තරුණයකු හා හාද වී හොරෙන්ම ගමෙන් පිටව ගියේ මේ අතරවාරෙදිය. තැනින් තැන වතු පිටිවල නිවෙස්වල වැඩ පළ කර දී යමක් සොයා කියා ගනිමින් සිටි මේ ගෙදර කළුබණ්ඩාගේ බිරිඳ ද අසනීප තත්ත්වයෙන් බෙහෙත් ගන්නට ද උපකාරයක් නොලබමින් සිටී.
“කළුවා”, “කළුවැද්දා” යන අනර්වර්ථ නාමයෙන් වැඩි පුරම ප්‍රචලිතව තිබුණේ ඔහුගේ විලාසය ගති පැවතුම් නිසාම විය හැකිය. වෙසක් පෝය දිනවලදී පවා සවස් කාලයේ ගංගාවේ දැල් එළමින් සිටියේ ගමේ පිරිස් පන්සලට යන පාර ඉසවුවේමය. අමුඩයකින් සැර සී දියට බැස මාළු අල්ලන අතර වාරයේ පංසල් යන පිරිස්වලට ද සමච්චල් කළේ පංසල් ගිහින් ඇති පලේ කුමක්ද? මේ සීතලේ දියේ සිටින මාළුන් ගොඩ දැමීම ඊට වඩා පිනක් බව කියමිනි.
කාලය මෙසේ ගෙවී යද්දී වරින් වර අසනීප වූ කළුවාගේ බිරිඳ ද ඇයගේ නැගණිය සිටි වෙනත් ගමකට කැන්දාගෙන ගියේ වෙනත් හව් හරණක් නොවූ නිසාමය. ඇය ද යළිත් කිසි දිනයක ආවේ නැත්තේ ද විඳි ගැහැට දුක් අවහිර නිසාම විය යුතුය.
මේ කිසිත් නොදැනුණා සේ කළුබණ්ඩා පුරුදු ඉරියවු වෙන්ම තම කාරිය නොවෙනස්වම කළා මිස දරුවන් භාර්යාව ගැන කිසිවක් සොයා බැලුවේම නැත. මත් වතුර පානය එන්න එන්නම වැඩි විය. සතුන් දඩයමට ද, ගෝලබාලයන් ද එකතු විය රාත්‍රී කාලයේ දී අනුන්ගේ වගාවල අල, බතල, මඤ්ෙඤාක්කා සොරකම් කිරීමට ද වතු පිටිවල කෙසෙල් කැන්, පොල් ආදිය හොරෙන් කඩා වඩා ගැනීමට ද පෙළෙඹුණේය. ගමේ ජනතාවට ද මෙම අරෝවන් හිසරදයක් ද ම විය. මෙම දිවියට කණ කොකා හඬන්නට වූයේ මෙසේ තවත් වසර කීපයක් ගෙවීගෙන යන අතර වාරයේ දීය. දිනක් ඔහුගේ ගෝල බාලයන් පිරිසක් කැටුව ගිනි කඳයා ද රැගෙන කැලෑ පාරකින් ගමන් කරමින් සිටියේ පොල් වත්තක් අසලින්ය. වත්ත මායිමට වෙන්නට අටවා තිබූ ගිනි කඳයාගේ මරුවැල මොහුට පෑගීමෙන් විශාල දෝංකාරයක් මතු කළේ දුමක් සමගිනි. වැදුණු වෙඩි සැර කකුලක් පසා කරගෙන ගොස් කළුවා ලේ විලක් මැද ඇද වැටුණේය. ගෝල පිරිස වහාම වාහනයකින් රෝහලකට රැගෙන ගියෙත් මාස ගණනකට පසුව කකුල කපා දමා ආපසු ආවේ කිහිලි කරුවක ආධාරයෙනි.
කර කියා ගත හැකි දෙයක් අහිමිව පිහිටට කිසිවකු ද නැති කළ සිදු වූයේ සිඟමන් යදින්නටය. අත පා කීයක් හෝ ලබාගෙන පංසලේ බණ මඩුවේ රාත්‍රී කාලය ගෙවුවේද, එයින් මත් වතුර ද පානය කිරීමෙන්ය. මහ පාරේ සති පොළේ තැනින් තැන ඇවිද වසර කීපයකට පසුව අබල දුබලව සිට පැරණි නිවෙසටම ආවේ ඇවිද ගැනීමට ද බැරිවය.
ඉඳහිට කවුරුන් හෝ ලබාදෙන ෙදයක් බිම වැතිරී සිටින අයුරින් ලබා ගත්තත් ඇවිද ගන්නට බැරි කළ මළ මුත්‍ර ගොඩේම වැටී මාස ගණනක්ම නොමැරී මැරී කල් ගත විය. පැවතුණු දුර්ගන්ධය නිසා අසල් වැසියෝද එතැනින් නොගියහ. පසුව මිය ගිය බැව් ද දැන ගත්තේ ද දින ගණනකට පසුවය. කළ පව් මෙලොවදීම ඵලදුන් බව තතුදත් ජනතාව අදත් පවසනු ඇසේ.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්