ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
- බෙල් හෙලිකොප්ටර්ස් නිපදවීමට පුරෝගාමී වූ චරිතය වූවේ ‘ලැරී’ යන ආදරණීය නාමයෙන් ආමන්ත්‍රණය වූ ලෝරන්ස් ඩේල් බෙල් ය.
- බෙල්ගේ අයියා ගුවන් අනතුරකින් මියගිය පසු, ‘බෙල්’ ගුවන් යානා ක්ෂේත්රයෙන් ඉවත්වීමට ගිය ද මිතුරකු විසින් එය වළකා තිබේ.
- Bell-525 යානයෙහි වටිනාකම ඩොලර් මිලියන 20ක් රුපියල්වලින් නම් 3,97,96,30,920.00 ක්.
ලංකාවේ ව්‍යාපාරිකයකු විසින් හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීම ගැන පසුගිය දිනවල අප රටේ ජනතාව අතර ලොකු කතාබහක් ඇතිවිණි. මේ නිසාම අද අපේ සූදානම වන්නේ ලොව ප්‍රකට හෙලිකොප්ටර් යානා නිෂ්පාදන ආයතනයක් ගැන කරුණු විස්තර කිරීමටය. ‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’ විශේෂාංගය වෙතින් අද ලෝකයේ බොහෝ දෙනා අතර ප්රකටව ඇති ‘බෙල්’ හෙලිකොප්ටර් සමාගම ගැන කරුණු කියවමු.
ලෝ ප්‍රකට ලොක්හීඩ් මාටින්, බෝයිං වැනි සමාගම් සුපිරි හෙලිකොප්ටර් යානා නිපදවුව ද මෙම ‘බෙල්’ නාමය වඩා ප්‍රචලිත වූ හෙලිකොප්ටර් නාමයකි. එහෙම නම් කවුද මේ බෙල්?
බෙල් ටෙක්ස්ට්‍රොන් ඉන්කෝපරේෂන්
‘බෙල්’ නාමයේ හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබන්නේ, ඇමෙරිකාවේ ෆෝර්ට් වර්ත් ටෙක්සාස්හි මූලස්ථානය ඇති, බෙල් ටෙක්ස්ට්‍රොන් ඉන්කෝපරේෂන්ය. මුලදී මෙය හැඳින්වූයේ බෙල් හෙලිකොප්ටර් කම්පැනි නමිනි. පසුව බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රොන් විය. බෙල් හෙලිකොප්ටර් ලෙස ද හැඳින්වූ එය දැන් හැඳින්වෙන්නේ බෙල් ටෙක්ස්ට්‍රොන් ඉන්කෝපරේෂන් නමිනි. මෙම ගුවන් යානා නිෂ්පාදන සමාගම පිහිටුවනු ලැබුවේ 1960 වසරේදීය. යුද හමුදා සඳහා මෙන්ම වාණිජ වශයෙන්, එනම් පුද්ගලික නිෂ්පාදන ලෙස ද ‘බෙල්’ ආයතනය විසින් තම සේවා පහසුකම් සහ නිෂ්පාදන කරනු ලබයි. 1960 දී සමාගමක් ලෙස ස්ථාපිත වුව ද ‘බෙල්’ නිෂ්පාදන කතාවේ ආරම්භය 1935 වසර දක්වා දිව යන්නකි.
මුලින්ම 1935 ජුලි 10 වැනිදා බෙල් ගුවන් යානා සමාගම නමින් පුද්ගලික ආයතනයක් පිහිටවනු ලැබුවේ නිව්යෝර්ක් නගරයේ බෆලෝ පළාතේ විසු ලෝරන්ස් ඩේල් බෙල් විසිනි. කවුද මේ ලෝරන්ස් ඩේල් බෙල්?
ලෝරන්ස් ඩේල් බෙල්
ලෝරන්ස් ඩේල් බෙල් හෙවත් ‘ලැරී’ යන කෙටි නාමයෙන් හැඳින්වූ කර්මාන්තකරුවකු වූ බෙල් උපන්නේ 1894 අප්‍රේල් 5 වැනිදාය. ඒ, ඉන්ඩියානාහි මෙන්ටොන්හිදීය. 1907 දක්වා එම පළාතේ විසූ ‘බෙල්’ගේ පවුල කැලිෆෝර්නියාවේ සැන්ටා මොනිකා වෙත පදංචියට ගියහ. 1912 දී බෙල් තම වැඩිමහල් සහෝදරයා වූ ග්‍රෝවර් සහ ප්‍රහාරක ගුවන් නියමුවකු වූ ලින්කන් බීචී සමග එක්ව කාර්මිකයකු ලෙස වැඩ කර ඇත. 1913 යනු ලෝරන්ස් ඩේල් බෙල් හට අතිශය කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණු වසරක් විය.
“ඔයාගේ අයියා ‘ග්‍රෝවර් බෙල්’ ගුවන් අනතුරකින් මිය ගිහින්”
මිතුරකු බෙල් අමතා කියා සිටියේය.
ඔහුට ඇති වූයේ මුළු ලෝකයම නතර වූවාක් මෙන් වූ හැඟීමකි.
“දෙයියනේ අපෙ අයියා... ඇයි මෙහෙම වුණේ?”
සහෝදරයාගේ අකල් වියෝව නිසා ඩේල් බෙල් මල්ලී කාලය ගත කළේ දැඩි කණස්සල්ලෙන් විය.
“මට බැහැ, ආයෙත් මෙම ගුවන් යානා අංශයේ වැඩ කරන්න”
ඔහු ඔහුටම කියා ගත්තේය. “මම මේ සේවා සියල්ලෙන් ඉවත්වනවා.”
එසේ අදහස් කළ ද පසුව ඔහු ග්ලේන් එල් මාටින් කම්පැනි සමාගමේ රස්සාවට ගියේ, මිතුරකුගේ බලවත් ඉල්ලීම නිසාය.
“අයියාට කරන ගෞරවයක් හැටියට ඔයා මේ ක්ෂේත්රයේ හොඳ දෙයක් කරන්න”
මිතුරා ‘බෙල්’ හට කියා සිටියේය.
ඒ අනුව, නැවතත් ගුවන් යානා කාර්මික අංශය වෙත පිවිසි ලෝරන්ස් ඩේල් බෙල් ඒ වනවිට වයස අවුරුදු 20 පසු වූ අතර, මාටින් සමාගමේ කාර්මිකයින් පිරිසක් බාරව සුපර්වයිසර්වරයකු ලෙස නව ගමනක් ඇරැඹීය. පසු කලෙක එහි සාමාන්‍යාධිකාරි තනතුර දක්වා ඉහළට යාමට ඔහු සමත් විණි. එපමණක් ද නොව ග්ලේන් එල් මාටින් කම්පැනි එකේ ‘කොටස් හිමි’ පුද්ගලයකු වීමට ද ඔහු උනන්දු විණි. මෙකී කාලයේදී එනම්, 1915 දී පෙම් සබඳතාවක් අනුව ලුසිල් මේන්වරින් සමග විවාහ වූ ‘බෙල්’ ආදරණීය ජීවිතයක් ගත කළේය. මේ යුවළට දරුවන් නොමැති වුව ද වසර 33ක් හෙවත් දශක තුන හමාරකට ආසන්න කාලයක් මේ යුවළ ආදරණීය ජීවිතයක් ගත කළ බව සඳහන් වේ.
ජීවිතය වෙනස් වන්නේ එක් දෙයක් පමණක් මත නොවන වග වටහාගත් බෙල්, ජීවිතයේ වෙනස් නොවිය යුතු එකම දේ ‘අඹු-සැමි ආදරය, බැඳීම’ බව විශ්වාස කළේය. එහෙත් රැකියාව සහ ව්‍යවසායකත්ව ජීවිතයේදී නිරන්තරයෙන් වෙනස්වීම හොඳ යැයි සිතූ ‘බෙල්’ 1928 දී මාටින් සමාගම අතැර ගියේය. ඉනික්බිතිව ඔහුගේ සේවා ලබාදීමේ ගමනාන්තය වූයේ නිව්යෝර්ක් නගරයේ බෆලෝහි, කොන්සොලිඩේටඩ් නමැති ඒකාබද්ධ ගුවන් සමාගමය. එහි සේවයට එක්වී ටික කාලයකදී උප සභාපති සහ සාමාන්‍යාධිකාරි ලෙස තනතුරු දැරීමට ‘බෙල්’ ට හැකි විණි. කොන්සොලිඩේටඩ් සමාගම ස්ථානය මාරු කරමින් බෆලෝ සිට සැන්ඩියාගෝ වෙත ගෙන ගිය අතර, ‘බෙල්’ බෆලෝවලම නතර වුණි.
“දැන් මට මගේම ගමනක් යෑමට වෙලාව හරි”
එසේ විශ්වාස කළ බෙල් සේවකයින් 56 දෙනකුගේ සහාය ඇතිව තමාගේම සමාගමක් ස්ථාපිත කිරීමට සමත් වුණි. 1935 ජුලි 10 වැනිදා විවෘත වූ එය නම් කරනු ලැබුවේ, ‘බෙල් එයාර්ක්‍රාෆ්ට් කෝපරේෂන්’ යනුවෙනි. කාලය කෙමෙන් ගෙවී යන අතරේදී ඇමෙරිකානු රජය විසින්, බෙල් ඇතුළු තවත් කර්මාන්තකරුවෝ 44 දෙනකුට පමණ, ජර්මනියේ සංචාරයකට යාමට අවස්ථාව සලසා දී තිබිණි. එම සංචාරය නිමවා බෙල් තම රටට නැවත ආයේ හිස් අතින් නොවීය. ජර්මනියේ එවකට නිෂ්පාදිත ගුවන් යානයක් කෙරෙහි ඔහුගේ සිත තදින්ම වෙලී තිබිණි. එපමණක් නොව ජර්මානු ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවක පිහිටි සැලැස්ම මනසේ රඳවාගෙන ආ ‘බෙල්’ ‘නයගරා දිය ඇල්ල’ පිහිටි ස්ථානයට සමීපව ඉදිකළ ඔහුගේ බෙල් කර්මාන්තශාලාව ඉදිකළේ, එකී සැලැස්මට අනුව යැයි සඳහන් වේ. එතැන් සිට බෙල් ‘P-39’ එයාර් ඇක්රෝබ්රා යානය සහ ‘P-63’ කිංග් කෝබ්රා නමැති ප්‍රහාරක යානය ද නිෂ්පාදනය කිරීමට පෙලැඹිණි. දෙවැනි ලෝක යුද සමයේදී බෙල්ගේ කම්පැනි එකට ලොකු ඉල්ලුමක් ලැබුණේ හමුදාවට නිෂ්පාදන කිරීමට ඇණවුම් ලැබූ නිසාවෙනි. P-59 එයාර් ඇකොමෙට් ප්‍රහාරක ගුවන් යානය යනු ඇමෙරිකානු සමාගමක් ජෙට් බලය හෙවත් ජෙට් පවර් සහිතව නිෂ්පාදනය කළ ප්‍රථම ගුවන් යානය විය. දෙවැනි ලෝක යුද සමයේදී ‘බෙල්’ලා හැදූ එම ප්‍රහාරක යානා ඇමෙරිකානු ගුවන් හමුදාවට ලොකු ශක්තියක් වූවේය.
බෙල්ගේ කම්පැනි එක මුලින්ම හෙලිකොප්ටරයක් නිෂ්පාදනය කිරීමට පෙලැඹී ඇත්තේ 1941 වසරේදී යැයි සඳහන් වේ. ‘Bell-30’ නමින් නිෂ්පාදිත එම හෙලිකොප්ටර් යානය ප්‍රථම වරට ගුවන්ගත කළේ 1943 වසරේදීය. මුල් ආකෘතිය රැගත් එය පසුව ‘බෙල් 47’ ලෙස වැඩි දියුණු කිරීමට බෙල් හට හැකි විණි. ‘සිවිල් භාවිතය’ සඳහා, එනම් හමුදාමය කටයුතුවලින් තොරව භාවිත කිරීමට සහතික ලත් හෙලිකොප්ටර් යානය ලෙස එය සඳහන් වේ. ‘බෙල් 47’ කොතරම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ ද යත්, කෙටි කාලයකදී යානා 5,600ක් පමණ නිෂ්පාදනය කිරීමට ‘බෙල්’ හට ඇණවුම් ලැබිණි. කොරියානු යුද සමයේදී මෙම හෙලිකොප්ටර් යානා විශාල සංඛ්‍යාවක් යොදාගත් බව ද සඳහන් වේ. ‘X-1’ යනු ‘බෙල්’ගේ ලොකු වික්රමාන්විතයකි. එය ‘සුපර් සොනික්’ යානාවකි. සිවිල් ගුවන් සේවයේදී යමකුට ජීවිතයේ එක් අවස්ථාවකදී පමණක් ලැබෙන විශිෂ්ටතම සම්මානයෙන් ඇතුළු සම්මාන රැසක් ‘ලෝරන්ස් ඩේල් බෙල්’ගේ නාමය හමුවේ රැඳී තිබේ. ඒ සම්මාන ගෞරව, නම්බුනාම සියල්ල හැරදා ඔහු ජීවිත ගමනෙන් සදහටම නික්ම ගියේ 1956 ඔක්තෝබර් 20 වැනිදාය. ඒ වනවිට ඔහු පසු වූයේ 62 වියේය. ඔහු වඩාත් ආසා කළ පළාත වූ නිව්යෝර්ක් නගරයේ බෆලෝහිදී ‘බෙල්’ගේ අවසන් සුසුම වා තලයට මුසු වූයේ, ඇමෙරිකාවට වර්ණවත් බවක් ගෙන දුන් තවත් මිනිසකු විලසිනි.
බෙල් එයාර් ක්‍රාෆ්ට් කෝපරේෂන් ටෙක්ස්ට්‍රොන් කම්පැනිය මිලදී ගැනීම
‘ලෝරන්ස් ඩේල් බෙල්’ හෙවත් ‘ලැරී’ නිර්මාණය කළ ‘බෙල්’ සමාගම 1960 දී ඇමෙරිකාවේ බහුවිධ ව්‍යාපාරික සමූහ සමාගමක් වූ ටෙක්ස්ට්‍රොන් (Textron) මිලදී ගැනීමත් සමග බෙල් එයාර් ක්‍රාෆ්ට් සමාගම, ‘බෙල් ටෙක්ස්ට්‍රොන්’ බවට පත්විය. ටෙක්ස්ට්රොන්ලා බෙල් මිලදීගත් පසුව අංශ 3ක් යටතේ ව්‍යාප්ත කෙරිණි. එහිදී හෙලිකොප්ටර්ස් නිපදවන අංශය ‘බෙල් හෙලිකොප්ටර් කම්පැනි’ ලෙස නැවත නම් කළේය. හෙලිකොප්ටර් යානා සැලසුම් නිර්මාණය කරන සහ නිෂ්පාදනය කරන ‘ඔගස්ටා වෙස්ට්ලෑන්ඩ්’ සමාගම හා බෙල් හෙලිකොප්ටර්ස් සමාගම අතර ඇත්තේ වඩාත් සමීප සබඳතාවකි. එය හරියට ගහට පොත්ත මෙන් බැඳුණු බැඳීමකි.
බෙල් V-247, බෙල්-360, බෙල් AH-LZ, බෙල්-505, බෙල් 407, 429, UH-1Y, HueyII, V-280, 412, 525, V-22 යනු බෙල් හෙලිකොප්ටර්ස් සමාගම විසින් වත්මනෙහි නිපදවනු ලබන සහ නිපදවීමට සැලසුම් කර ඇති අතිනවීන තාක්ෂණයෙන් යුතු හෙලිකොප්ටර් යානා වේ.
‘බෙල් මිල’
ඒ අතරින් මෑතකදී මිල සඳහන් වූ බෙල් යානා කිහිපයක වටිනාකම මොන වගේ ද කියා බලමු.
Bell-505
බෙල්-505 එක් නියමුවකු සහ මගීන් 4 දෙනකුට ගමන් කළ හැකි Bell-505 හෙලිකොප්ටර් යානය බොහෝ විට ව්‍යාපාරිකයින් සහ පොහොසතුන් පුද්ගලිකව භාවිත කරන්නකි. එහි මූලික වටිනාකම ලෙස සඳහන් වන්නේ, ඩොලර් මිලියන 1.5කි.
Bell-407
නියමුවකු සහ මගීන් 6 දෙනකුට ඉඩ පහසුකම් ඇති, මෙහි මිල පටන් ගන්නේ ඩොලර් මිලියන 3.25 සිටය.
Bell-429
මෙය බොහෝ විට දියුණු රටවල පොලිස් සේවයට යොදා ගන්නා යානයකි. එක් නියමුවකු සහ මගීන් 7 දෙනකුට ඉඩ පහසුකම් ඇත. මූලික වටිනාකම ඩොලර් මිලියන 7.5ක් වේ.
බෙල්-412
මෙය නම් වඩාත් ආරක්ෂිත හෙලිකොප්ටර් යානාවකි. බොහෝ විට ගිනි නිවීම් කටයුතු සහ එවැනි ක්‍රියාන්විත සඳහා යොදා ගැනේ. 13 දෙනකුට ගමන් කළ හැකි මෙහි මූලික වටිනාකම ඩොලර් මිලියන 11ක් යැයි සඳහන් වේ.
Bell-525
ඉතාම දියුණු තාක්ෂණය සහිතව නිපදවූ මෙය තාක්ෂණයේ විශ්මයක් ලෙස නම් කළ හැකිය. 16 දෙනකුට යා හැකි මෙහි ආරම්භක වටිනාකම සඳහන් වූයේ ඩොලර් මිලියන 20ක් ලෙසය. 20000000.00 USD ශ්‍රී ලංකා රුපියල්වලට ගතහොත්, ඉලක්කමින් මෙසේය. 3,979,630,920.00
හෙලිකොප්ටර්ස් භාවිත කරන ලෝක තරු
බෙල් හෙලිකොප්ටර්ස් කිහිපයක් මිල එසේ සඳහන් වෙද්දී, පුද්ගලිකව හෙලිකොප්ටර් යානා භාවිත කරන ලෝක ප්‍රකට ‘තරු’ කිහිපයක් ගැන විපරම් කර බලමු.
ඇන්ජලීනා ජොලි
ලෝ ප්‍රකට හොලිවුඩ් තරුවක වන ඇන්ජලීනා ජොලි ඩොලර් මිලියන 1.6ක වටිනාකමකින් යුතු හෙලිකොප්ටර් යානයක් මිලදීගත් බව 2019 දී පුවත් පළවිණි.
හිටපු ජනපතිගේ යානය
ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සතුව පුද්ගලික හෙලිකොප්ටර් යානයක් ඇතැයි සඳහන් වේ.
ක්ලින්ට් ඊස්ට්වුඩ්
සුපතල හොලිවුඩ් නළු ක්ලින්ට් ඊස්ට්වුඩ් එයාගෙම හෙලිකොප්ටර් යානයක් පියාසර කිරීමට කැමැත්ත දැක්වූ අයෙක් යැයි සඳහන් වේ.
හැරිසස් ෆෝඩ්
සම්මානනීය හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් භාවිත කරන්නේ ‘බෙල් 407’ හෙලිකොප්ටර් යානයකැයි සඳහන් වේ.
ටයිටැනික් අධ්යක්ෂවරයා
ලෝකය මුසපත් කළ ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේම්ස් කැමරන් අධ්යක්ෂවරයා සතුව ද ජෙට් රේන්ජර් වර්ගයේ යානයක් තිබූ බව සඳහන් වේ.
මුකේෂ් අම්බානි
ආසියාවේ මහා ධනවතා වන මුකේෂ් අම්බානි සතුව සුපිරි හෙලිකොප්ටර් යානයක් ඇතැයි පුවත් පළ වී තිබිණි.
හෙලිකොප්ටරයක මිල දිහා බැලීමේදී එහි වටිනාකම අනුව පුද්ගලික ප්‍රයෝජනය සඳහා ඒවා මිලදීගත හැකි වන්නේ, මහා ධන කුවේරයන් හට පමණකි. ආර්ථිකයෙන් පොහොසත් දියුණු රටවල වෙසෙන පොහොසතුන් සතුව හෙලිකොප්ටර් යානා ඇත්තේ, ආදායම් බද්දෙන් ඒවා තොර වීම නිසාය. එකට දෙකක් බදු පනවා නැත. එනිසා එවැනි රටවල සල්ලි තියෙන අයට හෙලිකොප්ටරයක් ගැනීම එතරම් කජ්ජක් නොවේ. ඒ අතින් බලන කල අප රටේ ව්‍යාපාරිකයකු සතුව හෙලිකොප්ටර් යානයක් තිබීම ඇත්තෙන්ම ලොකු දෙයකි.
පරිවර්තන සටහන :
සඳුන් ගමගේ