වළපල්ලට ගිය රටවල්
අල්ලස, දූෂණය, වංචාව, හොරකම ඉහවහාගිය රටක් ඉදිරියට යන්නේ කෙසේද? ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ ජීවතුන් අතර ඉන්න මිනිසුන් පණපිටින් මරන මජර දේශපාලනයකි. එම රටවලින් ඇසෙන්නේ මාවතේ සිටින දුගී දුප්පත් දරු දැරියන්ගේ විලාපයයි. දකින්නේ දිවිය සමග පොරබදන ජනතාවගේ වියෝගින්නයි. මේ දේශයන්හි අර්බුද පිට අර්බුද ගොඩගැසේ. එවැනි රටවල ජනතාවට දෙවියොත් පිහිට වෙන්නේ නැත. ඒ රාජ්‍යයන්හි වැඩිපුරම ඉන්නේ ජන වරමට පස්ස හරවන දේශපාළුවන්ය. ඔවුන් ඉන්නේ හොරු සමග හෙළුවෙන්ය.
අදත් මම ලියන්නේ මහා ඛේදවාචකයකට මුහුණදී ඇති තවත් රටක් පිළිබඳ විස්තරයකි. මේ රටේ ද සිටින්නේ සකලවිධ වූ මූල්‍ය වංචා සිදුකරන, දෙපිට කාට්ටු වැඩ කරන, දේශපාලකයින්ය. ලොව වළපල්ලට ගිය රටවල් රාශියක් මේ ජීවිත කාලය තුළ මම දැක ඇත්තෙමි. මේ බොහෝ රාජ්‍යයන්හි සුන්දර දර්ශන ඇත. මේ සුන්දර දසුන් අසුන්දර කර ඇත්තේ පාලකයින්ම නොවේ. එම රාජ්‍යයන්හි පුරවැසියන් ද ඊට හවුල්ය.
ඒවායෙහි ඇති සුන්දර දර්ශන, කඳු හෙල් වන ලැහැබ් ගිරිදුර්ග, ගංගා, ඇළ දොළ, මුහුදු තීර පිළිබඳ වර්ණනා කිරීම සාහිත්‍ය ධරයින්ගේ කාර්ය භාරයකි. එම කාර්යය ඉටු කිරීම මගේ වෑයම නොවේ. මගේ වෑයම ඒ රටවල ජනතාව මුහුණ දෙන ඛේදවාචකය පිළිබඳ බිඳක් හුවා දැක්වීමයි. මෙසේ ඛේදවාචකය මෙසේ ඛේදවාචකයකට මුහුණ දී ඇති තවත් රටකි බෙනින් (BENIN) දේශය.
හොරුන්ට කතිරය ගසන පුරවැසියෝ
හොරා කාපු මුදල් විසිකරන දේශපාලකයන්ට කතිරය ගසන පුරවැසියන් වැඩි වශයෙන් ජීවත් වන බෙනින් නමැති මේ රට දැන් විනාශ වී හමාරය. මෙහි ජීවත්වන්නේ සල්ලි කාරයින්ට පාලනය බාරදී බකන්නිලාගෙන සිටින පුරවැසියන්ය.
බෙනින් වූ කලී ලොව දූෂිතම රාජ්‍යයන්ගෙන් එකකි. ජනතාව විසින් මේ රටේ පාලකයන් බවට පත් කරගන්නේ උගතුන්, නැණවතුන්, විශාරදයින්, ප්‍රාඥයින් නොවේ. වියතුන්ට එහි තැනක් නැත. නූගත්, දූෂිත ධනවතුන් තම පාලකයන් බවට පත් කර ගනිමින් වහල් බවින් මිදීමට අකමැති පුරවැසියන්ගෙන් ගහන රාජ්‍යයකි.
එය බටහිර අප්‍රිකාවේ දිළිඳුම රටකි. කි.මී. 4200 ක් දිග නයිගර් ගංගාව මේ රට මැදින් ද ගලා යයි. නමුත් එම ජලයෙන් නිසි ප්‍රයෝජනයක් නොගන්න මේ රට පණ අදින මිනිසුන්ගෙන් පිරුණු දේශයකි. මෙහි ජනගහණය එක් කෝටියකට මදක් වැඩිය. ව.කි.මී. 112,622 ක් හෙවත් ව.සැ. 43,484 ක් විශාලය. ටාගෝ, නයිජීරියා, බර්කිනෝ ෆාසෝ, නයිගර් යන රටවලට මැදිව පිහිටා ඇත. අතීතයේ දී වසරකට කපු ටොන් 451,000 ක් පමණ විදේශ රටවලට යවා මහා ධනස්කන්දයක් උපයාගත් බෙනින් රාජ්‍යය අද හිඟාකන තත්ත්වයට ඇද වැටී තිබේ. මේ එහි පාලකයන්ගේ කෙරුවාව ලොවට කියාපාන සාධකයක් පමණකි.
දරුවෙකුගේ මිල ඩොලර් 15 යි.
වෙනත් රටවල මෙහෙකාර වැඩවලට දරුවෙකු ඩොලර් 15 ක මුදලකට විකුණා දමන දෙමව්පියන් සිටින රටක් පිළිබඳ මම මීට පෙර අසා නැත්තෙමි. එය සිදුවන්නේ ද මේ බෙනින් රටේය. පොහොසත් පවුල්වල මෙහෙකාර කම් කරන වයස අවුරුදු 5ට අඩු දරු දැරියන් දස දහස් ගණනින් සිටීමෙන්ම මේ රටේ සැබෑ ස්වරූපය පැහැදිලි වේ.
මෙහි මුළු ජනගහණයෙන් සියයට 50කට වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් 1 කට අඩුය. මේ රෙට් අවුරුදු 5 කට අඩු වයසැති ළමයින්ගෙන් සියයට 29 කට වඩා මන්ද පෝෂණයෙන් පෙළෙති. ජනගහණයෙන් දෙලක්ෂයක් සඳහා එක් වෛද්‍යවරයෙක්, ගැබිනි මව්වරුන් 12,000 කට එක් වින්නඹු සේවිකාවක් සිටින බෙනින් රට ගැන වෙන කතා කවරේද? ලොව ළදරු මරණ සංඛ්‍යාව වැඩි වශයෙන්ම සිදුවන්නේ මේ රටේය.
අගාධයට වැටුණ බෙනින් රට
බෙනින් රට ජනරජයක් වුණේ 1960 දීය. ඒ මීට අවුරුදු 58 කට පෙර ප්‍රංශයෙන් නිදහස ලබාගත් පසුවය. නිදහස ලබාගත් පසු රට ආපස්සට ගිය බව නම් සැබෑය. වැඩිදෙනා කතා කරන්නේ ප්‍රංශ භාෂාවය. මෙහි ජනතාවට කට්ට කෛරාටික දේශපාලකයන්ගේ අපබ්‍රංශ තේරෙන්නේ නැත. අල්ලපු රටවූ බර්කිනෝ ෆාසෝ සමග නිරන්තරයෙන් සිදුවන දේශ සීමා අරගල රට ආපස්සට යාමට මූලික හේතුවකි.
සෞඛ්‍ය සේවය අන්තයටම පිරිහී ඇති රටකි. ලිංගාශ්‍රිත රෝගයක් වන එච්.අයි.වී. (HIV) ඒඩ්ස් වෛරසය නිසා රෝගාතුර වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 72,000කට අධිකය. ඉන් 38,000ක්ම කාන්තාවන්ය. එච්අයිවී වෛරසය නිසා පීඩා විඳින ළමයින් සංඛ්‍යාව 5700 කට අධිකය. ක්ෂය රෝගය හා මැලේරියාව ජනතාව පීඩාවට පත් කරයි. පාලකයන්ට මේවා නොපෙනේ.
පික් පොකට් ගහන පෝරිසාදයෝ:
විදේශීය ආයෝජන එක්ක දූෂණය දෙගුණ තෙගුණ වීම මේ රටේ ද නිරන්තරයෙන් සිදුවන්නකි. ජෝන් ඇඩම්ස් කිව්වේ රටක් යටත් කරගන්න පුළුවන් කඩුවෙන් හෝ ණය දීමෙන් බවය. බෙනින් රටේ ද පාලකයින් විදේශ ණය කන්දකින් රට වසා දැමීම මේ ජනරජය විනාශ වී යාමට මූලික හේතුවයි. ලංකාවටත් සිදුවුණේ මේ ටිකමය. පසුගිය වසර 70 තුළ දී විදේශ ණය බරින් ලංකාව ද වැසී ගියේය. බෙනින් රටේ ද ඉන්න දේශපාලකයන්ගෙන් බහුතරය විදේශ ණය හා ආධාර පොකට් එකට දාගන්න නරුමයින්ය. පෝරිසාදයින්ය.
බෙනින් රටේද ඉන්නේ දැවැන්ත ව්‍යාපෘති අරඹන්නට පෙර බොරු ශක්‍යතා වාර්තා ඉදිරිපත් කර රටත් ජනතාවත් රවටන පාලකයන්ය. මහා දුක් ගින්දරකින් දිවි ගෙවන නිසා මෙහි ජනතාවගේ ආයු කාලය ද එන්න එන්නම අඩුවී ඇත. පිරිමින්ගේ ආයු කාලය අවුරුදු 55 සහ ගැහැනුන්ගේ ආයු කාලය අවු. 59 දක්වා අඩුවී ඇත්තේ මේ නිසාය.
පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 60,000 කට වැඩිය. බොහෝ පළාත්වලට ජලය, වැසිකිළි, විදුලිය, ගමනා ගමන පහසුකම් නැත. මහා දිය කඳක් රට හරහා ගලන නමුත් ජනතාවට පිරිසිදු ජලය සැපයීමේ ක්‍රමවේදයක් නැත. අධ්‍යාපනයට වෙන් කරනුයේ සොච්චම් මුදලකි.
කපු රජා ජනපති වුණ හැටි
කපු වගා බිම්වල ගිනි අව්වේ දහඩිය වගුරන කුඩා දරු දැරියන්ගේ විලාපය රැව්පිළිරැව් දෙයි. ශ්‍රමිකයන් රට අතහැර යාම ශීඝ්‍රයෙන් සිදුවේ.
2016 මාර්තු මස මෙහි ජනපති බවට පත්වුනේ පැට්‍රිස් ටැලොන්ය. (PATRICE TALON) බෙනින්හි අංක එකේ ධනපතියා ඔහුය. ඔහුව හැඳින්වූයේ කපු රජා (KING OF COTTON) වශයෙනි. කපු වගාවට අයත් ගොවි බිම් හා කම්හල් ඔහු සතුය. මුදල් විසිකර බලය ලබාගත් ඔහු මුදල් පසුපස හඹා යන්නෙකු වශයෙන් හඳුන්වන ලද්දේ විදේශ මාධ්‍යයන්ය. මෙය ද උගතුන්ට ඉහළට යන්නට ඉඩ නොදෙන ආණ්ඩුවක් තිබෙන රටකි.
කැකිල්ලේ නඩු තීන්දු
මම ඉකුත් සතියේ ලිපියේ මලාවි දේශය ගැන ලිව්වෙමි. එහි තීන්දුව කලින් තීරණය කර නඩු ඇසීමේ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දුන්නෙමි. බෙනින් රට ගැනද කියන්නට තිබෙන්නේ ඒ ටිකමය. මෙහි අධිකරණය, පොලිසිය, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව, ඉඩම් අංශ, පරිපාලන සේවය පගා මරුවන්ගෙන් පිරී ගොස්ය. රට අස්ථාවර වී ඇත්තේ මේ නිසාය. මේ සියල්ලටම දේශපාලකයන් හවුල්ය. පගාවෙන් හෝ දේශපාලකයන්ගේ උදව්වකින් තොරව රටේ කිසිම තැනකින් ජනතාවට වැඩක් කරගන්න බැරිය. ලංකාවෙත් එහෙමය. එදාත් එහෙමය. මෙදාත් එහෙමය.
බෙනින් රටේ ද ඉන්නේ දේශපාලනය නමැති නැටුමට අනුව නටන බෙර පදයට පාද තබන පුරවැසියන්ය. පරාජයට පත්වූ හොරකම් කළ රට වැනසූ පවුල් බලය තර කරගත් දේශපාළුවන් පසුපස වන්දනාවේ යාම බෙනින් රටේ බහුතර ජනතාවට සැපකි. සනීපයකි. මේ වැඩේ රටට විපතකි. වින්නැහියකි. මෙය ඔවුන්ට නොතේරේ.
බෙනින් රටේ අධිකරණ ඇමැතිවරිය මාරී එලිස්ය. (MARIE ELISE) එහි පවතින්නේ ඉතා දූෂිත අධිකරණ පද්ධතියක් බව ඇය ප්‍රකාශ කළාය. බොහෝ විනිසුරුවරුන් මෙන්ම නීතිඥ ප්‍රජාවද දූෂිත බව ඇය නිර්භයවම සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලය තුළදීය. අධිකරණය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඇය ක්‍රමවේදයක් යෝජනා කළාය. මෙම ප්‍රකාශයට එරෙහිව බෙනින් රටේ බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥයින් ඇයට එරෙහිව නැගී සිටියහ. විනිසුරුවරු උසාවි වර්ජනය කළහ.
මේ බෙනින් අධිකරණ ඇමැතිවරිය තම ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තේ නැත. ස්වාධීන අධිකරණ පද්ධතියක් බෙනින් රටේ ස්ථාපනය කිරීමට ඇය ගෙනා යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 2000, 2006, 2011, 2016 යන වර්ෂවල දී සිව් වරක්ම ජනපති වරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ ඇය තවමත් තම සටන නවතා නැත.
බෙනින් රජය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 83 දෙනාටම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇතත් මේ දක්වා එම ආදායම් ලේඛන ඉදිරිපත් කර ඇත්තේ තුන්දෙනෙකු පමණකි.
සිරි හීන්පැල්ල
නිව්යෝර්ක් නුවර සිට ලියයි