ජේආර්ගේ ඉහට උඩින් බෝම්බයක් පිපිරුණු හැටි


මැතිනිට - ජේ.ආර්ට ආරක්ෂාව දුන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් ලියනගේ කියන කතාව  

රෝමයේ ගුවන් තොටුපොළට පැමිණි ජයවර්ධන ජනාධිපතිතුමා සහ මැතිනිය

 

  • හැට දෙකේ කුමන්ත්‍රණයට සහභාගි වූ අයගෙන් ප්‍රශ්න කළේ ෆීලික්ස් ඩයස්   
  • මැතිනිගේ හා ජේ.ආර්ගේ ආරක්ෂක සේවාවේ හිටියා   
  • හැට ගණන්වල අගමැතිනියගේ දරුවන්ගේ ආරක්ෂාව භාරව සිටියා.   
  • එකල අනුර ටේබල් ටෙනිස් ගහන්න කතා කරනවා   
  • ජේ.ආර්ගේ පුත් රවි වෙඩි තැබීමේ ඉසව්වෙන් ඔලිම්පික් ගියා   

 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ගිය මුල්ම අය අතරින් දැනට ජීවත් වන පැරණිම ක්‍රීඩකයා ඔහුය   


බොක්සිං ක්‍රීඩාව නියෝජනය කරමින් ඔහු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී විය.   


ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතුවල නිරත විය.   


මේ ඔහු තම වෘත්තීය දිවියේ අත්දැකීම් විස්තර කළ ආකාරයයි.   


ඔබ ප්‍රථමයෙන්ම ප්‍රභූ ආරක්ෂක සේවයට එකතු වුණේ?   


එක්දහස් නවසිය හැට එක හැට දෙක කාලයේ   


ඒ කාගෙද?   


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ. එතකොට එතුමිය අගමැතිය. ඒ වගේම ආරක්ෂක හා විදේශ කටයුතු ඇමැතිනිය.   


♦ ඔබට කිනම් ආරක්ෂක කටයුතු ද භාර වුණේ?   


අගමැතිනියගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූයේ පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර. මට විශේෂයෙන් භාරවුණේ අගමැතිනියගෙ දරුවන් තුන් දෙනා වූ සුනේත්‍රා, චන්ද්‍රිකා හා අනුරගේ ආරක්ෂක කටයුතුය. 

 
♦ ඔවුන් කෙබඳු චරිතද?   


අගමැතිනියගේ දරුවන් කියල වෙනසක් තිබුණේ නැහැ. ඔවුන් අප සමග බොහොම සුහදව කටයුතු කළා.   


♦ සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර පුංචි අවදියේ දබර වෙනවාද?   


නැහැ. ඒගොල්ලො බොහොම හොඳ ළමයි. මම නම් දැකල නැහැ ඒ අය දබර වෙනවා.   


♦ ඒ තිදෙනා එක්ක ඔබේ සම්බන්ධකම් කොහොමද තිබුණේ?   


මට තිබුණේ රාජකාරි බැඳීම්නෙ. ඒත් සමහර දවස්වල අනුර මට කතා කරනවා ටේබල් ටෙනිල් ගහන්න කියලා.   


මගෙ බොක්සිං මීට් තියෙද්දී දරුවො තුන් දෙනාම එනවා ඒවා බලන්න. 

 
♦ සුනේත්‍රායි, චන්ද්‍රකායි ක්‍රීඩා කළාද? 

 
මට එහෙම දැනුමක් නැහැ. ඒත් අරලියගහ මන්දිරය ඇතුළෙන් පියානෝ වාදන හඬ නම් බොහෝ වෙලාවට එනවා. කවුරු වාදනය කළාද දන්නේ නැහැ.   


♦ මේ සොහොයුරියන්ට හිටිය යෙහෙලියන් කවුද?

   
රාජගිරියේ ඔබේසේකර වලව්වේ, ඩැන්ටන් ඔබේසේකරගෙ දුවක් එක්ක යහළුයි. ඇයත් අරලියගහ මන්දිරයට ආවා. ඔවුනුත් රාජගිරියෙ ඔබේසේකර වලව්වට ගියා.   


♦ 1962 ජනවාරි මාසයේ අසාර්ථක වූ කුමන්ත්‍රණය අවස්ථාවෙ ඔබ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආරක්ෂක නිලධාරියෙක්.   


ඔව්.   


♦ මතකද සිද්ධිය?   


අගමැතිනිය ඇතුලු සියලුම ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නයි කුමන්ත්‍රණය කරල තිබුණේ. කොළඹ දිසාව භාර පොලිස් අධිකාරි ස්ටැන්ලි සේනානායකගේ වයිෆ් සිරිමාවෝ බණ්ඩාරනායක වැඩම්ට මේ විස්තර හෙළි කරලා තිබුණා. ස්ටැන්ලි සේනාරත්නගේ වයිෆ් මායා කියන්නේ පී. ද එස්. කුලරත්න මහත්මයාගෙ දුව. 

 
♦ අරලියගහ මන්දිරය කොහොමද කුමන්ත්‍රණයට විරුද්ධව ක්‍රියාත්මක වුණේ?   


පීලික්ස් ඩයස් බණ්ඩාරනායක තමයි එම කටයුතුවල සම්පූර්ණ බලධරයා ලෙස කටයුතු කළේ.   
ප්‍රථමයෙන් නාවික හමුදාව මගින් මුළු අරලියගහ මන්දිරය වටා ශක්තිමත් ආරක්ෂක වළල්ලක් නිර්මාණය කළා. කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණ කටයුතු කළේ අරලියගහ මන්දිරය ඇතුළෙමයි. ඒ සඳහා විශේෂ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළා. කර්නල් රොයිස් ද මැල්, කර්නල් එෆ්. සී. ද සේරම්, සිඩ්නි සොයිසා ඒ වගේ සැකකරුවන් වරින් වර ගෙන්වල පීලික්ස් ඩයස් ඉතාමත් දැඩිව ප්‍රශ්න කළා. අගමැතිනියත් මේ ප්‍රශ්න කිරීම්වලට සහභාගි වුණා.   


♦ මැතිනිය කෙබඳු චරිතයක්ද?   


ඇය බොහොම නිහතමානී කාන්තාවක්. හොරගොල්ල වලව්වට ගිය බොහෝ වෙලාවට ඇය ඇගේ කෑම මේසයට අපිවත් එකතු කර ගත්තා.   


පෙනුමෙන් වගේම ක්‍රියා පිළිවෙතුත් ඇය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මූර්තියක් වගේය කියලයි මට හිතුනෙ. ඇය ගෞරවාන්විත ලෙස ඇඳුම් පැළඳුම් ඇන්දා.   


එක්දහස් නමසිය හැට එක, හැට දෙක කාලයේ මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂක අංශයේ කටයුතු කළා.   


♦ 1965 මැයි මාසයේ එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති වුණාම ඔබ ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවත් කරනවාද?   


නෑ. එක්දහස් නවසිය හැටපහේදී මම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස පත්වෙනවා. එතකොට එතුමා රාජ්‍ය ඇමැතිවරයා.   


♦ විශාල ආරක්ෂක පිරිසක් එතුමාට හිටියද?   


මමයි, රිචඩ් විජේසේකර කියන පොලිස් පරීක්ෂකවරයයි, පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙක් පමණයි හිටියේ.   


♦ ජේ.ආර්ගෙන් පසුව ඔබ කාටද ප්‍රභූ ආරක්ෂාව දුන්නේ?   


යළිත් ජේ.ආර්. ජයවර්ධන මහතාටම තමයි.   


1977 දී එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් ලබාගෙන රජයක් පිහිටුවනවා. ඊට පස්සේ හැත්තෑ නවයේදී මම නැවතත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂකයකු ලෙස පත්වෙනවා.   


එතකොට එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක බලය සහිත ජනාධිපතිවරයා.   


ලංකාවේ මුල්ම විධායක ජනාධිපතිවරයා වූ බලසම්පන්න රාජ්‍ය නායකයකුගේ ආරක්ෂක අංශයට ඔබව තෝරා ගන්න ඇත්තේ කිනම් හේතු නිසාද?   


ප්‍රධානම හේතුව මම හිතන්නේ 1960 දී මම ඔලිම්පික් තරග සඳහා බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිසා වෙන්න ඇති. එයට අමතරව වෙඩි තැබීම පිළිබඳව ශ්‍රී ලාංකික ශූරතා කීපයක්ම මම දිනාගෙන තිබුණා.   


තවත් හේතූන් තිබුණද?   


අපේ පවුල්වල බොහෝ ඥාතීන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්. මගේ මව ලිලියන් ලියනගේ කාලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ කටයුතු කළා. සීතා සෙනවිරත්න, ක්ලෝඩා ජයසුන්දරල එක්ක.   


ඔබ එකතු වෙන කාලයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩායමේ නායකය කවුද?   


පොලිස් අධිකාරි නීල් වීරසිංහ.   


අනික් ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් කවුද?   


පොලිස් අධිකාරි මුනි ගෝමස් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වන කැමිලස් අබේගුණවර්ධන, නෙල්සන් ජයසිංහ, ප්‍රේමදාස උඩුගම්පොළ, නිමල් වීරකෝන් යන නිලධාරීන් තමයි හිටියෙ. 

 
ජනාධිපතිවරයාගේ පුත් රවි ජයවර්ධන ආරක්ෂක කටයුතු අධ්‍යක්ෂණය කළාද?   


ඔව්. රවි ජයවර්ධන ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළා. ආරක්ෂක කටයුතු සංවිධානය පිළිබඳව ඔහුට සුවිශේෂ දැනුමක් තිබුණා. එක්දහස් නවසිය හැට හතරේදී වෙඩි තැබීමේ ඉසව් සඳහා ඔලිම්පික් තරගයට සහභාගී වූ වෙඩි තැබීමේ කණ්ඩායමේ නායකයා වුණේ ඔහුයි. වෙඩි තැබීමේ ඉසව් සඳහා ඔලිම්පික් තරගයට ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සහභාගි වූයේ එවරයි.  


ඒ කාලයේ ඔබ ජනාධිපති ආරක්‍ෂක සේවාව සඳහා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරනවාද?  


ඒ කාලයේ හුඟාක් ආරක්‍ෂක නිලධාරීන් සතුව පිස්තෝල වගේ සුළු ගිනි අවි තිබුණට, හදිසි අවස්ථාවකදී ඒවා ඉවතට ගෙන ක්‍ෂණිකව භාවිතා කිරීමට නිසි පුහුණුවක් ලබල තිබුණෙ නැහැ.  


මම යෝජනා කළා ජනාධිපති ආරක්‍ෂක සේවයෙහි ඉන්න පොලිස් නිලධාරීන්ට ඉතාමත් සුවිශේෂ තාක්ෂණ පුහුණුවක් ලබාදෙන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස කළුතර පොලිස් පුහුණු ආයතනයේදී ජනාධිපති ආරක්‍ෂක නිලධාරීන්ට පිස්තෝල භාවිතය පිළිබඳ විශේෂ පුහුණුවක් දුන්නා.  

 

බොක්සිං තරගයකට සහභාගීවූ සුමිත් ලියනගේ

 

1981 ජූලි මාසයේදී, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඩයනා ස්පෙන්සර් අතර වූ විවාහ මංගල්‍යයට සහභාගිවීමට ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?  


මුළු ලෝකයේම අවධානය පැහැරගත් එම දශකයේ සුවිශේෂ විවාහ මංගල්‍යයට සෑම රාජ්‍ය නායකයකුටම ආරාධනා කළා. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ලද ආරාධනාව අනුව, ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ මමත් ලන්ඩන් ගියා.  


ඔබ පමණද ලන්ඩන් ගියේ?   


නැහැ. පොලිස් අධිකාරි නීල් වීරසිංහ කලින්ම බ්‍රිතාන්‍යයට ගිහිල්ලා, ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියත් සමඟ ආරක්‍ෂක කටයුතු සංවිධානය කළා. ලංකාවෙන් එතුමා සමඟ ගුවන් යානයේ ගමන් කළ එකම ආරක්‍ෂක නිලධාරියා මමයි.  


එවැනි සුවිශේෂ වගකීමක් ඔබට පැවරුණේ කොහොමද?  


මට නිකමට හිතුනා මලයාසියානු ආරක්‍ෂක නිලධාරීන් පස් දෙනා මාව නිර්දේශ කළාවත්ද කියල.  
ඔබ යන්නේ එයාර් ලංකා ගුවන් යානයක?  


ඔව්! ගුවන්යානය පැදවූ නියමුවා රඛිත වික්‍රමනායක. ඔහු එවකට එයාර් ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා.  


ඔබ කණ්ඩායම කෙළින්ම ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපොළට යනවද?  


නැහැ. අපි ප්‍රථමයෙන්ම ගොඩබස්වන්නෙ රෝමයේ ගුවන් තොටුපොළට. එතැන විනාඩි තිහක කාලයක් ඉන්න තිබුණා. අපි එයාර් ලංකා ගුවන් යානයෙන් බැහැල බසයකින් ගුවන් තොටුපොළේ පර්යන්ත ගොඩනැගිල්ලට ගියා.  


එතැන රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයාත් හිටියා. අපට රැඳී ඉන්න යට තට්ටුවෙ එක කාමරයක් වෙන් කරලා තිබුණා. අපි එතැනට ගිහිල්ල විනාඩි කීපයකින් ඉහළ මාලයක බෝම්බ ශබ්දයක් ඇසුනා. මම ජනාධිපතිතුමා අපේ කාමරයට ඇතුල් කරලා දොර ලොක්කලා.  


ජනාධිපතිතුමා බය වුණාද?  


නැහැ, ලියනගේ ගිහිල්ලා මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න එතුමා මට කිව්වා. එතැන එළියෙ හිටිය රෝමයේ අපේ තානාපති නියෝජිතයෙක් කිව්වා උඩ තට්ටුවක ඊශ්‍රායෙල් එයාර් ලයින් ඔපිස් එකකට බෝම්බයක් ගහලා දෙන්නෙක් මැරිලා කියලා.  

 


ඊළඟට මොකද වුණේ?  


කපිතාන් රඛිත වික්‍රමනායක කිව්ව මෙතැන ගොඩනැගිල්ලෙ ඉන්න ආරක්‍ෂාව මදි අපේ ගුවන් යානයට යමු කියලා. අපි කට්ටිය එම යාර තිහ හතළිහ බසයෙන් ගිහිල්ලා අපේ ගුවන් යානයට ඇතුලු වුණා.   


ඊළඟට යානය ගොඩ බැස්සුවෙ කොහෙද?   


අපි කෙලින්ම ගියේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපොළට.  


බ්‍රිතාන්‍යයේදී ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක කටයුතු සංවිධානය වුණේ කොහොමද?  


බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙක් ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්ත කරලා තිබුණා. එම කණ්ඩායමේ නායකයා රිඩවුඩ් කියල නිලධාරියෙක්. ජනාධිපතිතුමා ඇතුලු අපි කණ්ඩායමට වාහන හයක් වෙන් කරලා තිබුණා.  


අපිට නතරවෙන්න පිළියෙල කරලා තිබුණේ ලන්ඩන් නගරයේ ක්ලැරිප්ස් කියන හෝටලය. රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙකු සඳහා එය වෙන් වුණා.  


පළමුවෙනි කාර් එකේ ජයවර්ධන ජනාධිපතිතුමයි රිඩවුඩ් ස්කොට්ලන්ඩ් යාර්ඩ් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයයි ගමන් කළා.  


දෙවෙනි කාර් එකේ මමයි අනික් ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිස් නිලධාරීන් දෙදෙනයි ගමන් කළා. අනික් කාර් හතරෙ එලීනා ජයවර්ධන ආර්යාව ඇතුලු පිරිස ගමන් කළා.  


අපේ කාර් හය එක ළඟින් එක පෙළට ගමන් කළා.  


මම ටික වේලාවකින් දැක්කා අපේ කාර් හය වෙනුවට කාර් හතක් එතැන තියෙනවා.   


මම රිඩවුඩ් ට තත්ත්වය විස්තර කලා. විනාඩි දෙකක් ගියේ නැහැ. ඉස්සරහින් පොලිස් වාහනයක් ඇවිල්ලා අර හත්වෙනි කාර් එක, අපේ කාර් හයෙන් ඉවත් කළා.  


පසුව අපිට දැනගන්න ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නතරවෙන තැන පිළිබඳ තොරතුරු හොයන්න ආපු එල්.ටී.ටී.ඊ. කට්ටිය ඒ කාර් එකේ හිටියෙ කියලා.  


ක්ලැරිප්ස් හෝටලයේ තුන්වෙනි තට්ටුවේ කාමර අපිට වෙන්කරලා තිබුණා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාමරයට ඉස්සරහ පිට කාමරය මට වෙන්කරලා තිබුණා. රිචර්ඩ් නික්සන් ආර්යාවත් (ඇමෙරිකානු ජනාධිපති බිරිඳ) නතර වෙලා හිටියෙ තුන්වෙනි තට්ටුවේ කාමරයක.  


චාල්ස් ඩයනා විවාහ උත්සවය පිළිබඳ තොරතුරු මොනවාද?  


ශාන්ත පෝල් ආසන දෙවි මැදු​රෙයි විවාහ මංගල්‍ය ආගමික චාරිත්‍ර ඉෂ්ට කෙරුණේ. දෙව් මැදුරෙ ඇතුළට යන්න අවසර ලැබුණෙ රජ පවුලේ ඥ‌ාතීන් සහ රාජ්‍ය නායකයින්ට පමණයි. ආරක්‍ෂක නිලධාරීන් වගේ අයට වෙනම ස්ථානයක සිට විවාහ චාරිත්‍ර සිදු කෙරෙන හැටි බලන්න ඉඩකඩ හදලා තිබුණා.  


භෝජන උත්සවය සඳහා මටත් පෞද්ගලික ආරාධනා පත්‍රයක් ලැබුණා.  


ඒ කාලයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්‍ෂාවට ලොකු පිරිසක් එතුමත් සමඟ තැනින් තැනට යනවද?  


එහෙම ලොකු පිරිසක් ගියේ නැහැ. ජාතික බුද්ධි අංශයේ සර්නි විජේසූරිය එක්ක ඔහුගේ නිලධාරීන් මුලින්ම ගිහිල්ලා ජනාධිපතිතුමා යන ස්ථානය, අවට පිහිටීම, ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සොයා බලලා නිර්දේශ කරනවා. ජනාධිපතිතුමා සමග ගියේ ඉතාමත් සීමිත ආරක්‍ෂකයින් පිරිසක් පමණයි.  


ජයවර්ධන ජනාධිපතිතුමාගේ දූ දරු සබඳතා කොහොමද?  


රවි ජයවර්ධනයි එයාගෙ පුතුන් තුන් දෙනයි හිටියෙ, ජයවර්ධන ජනාධිපතිතුමාගෙ නිවසට පිටුපස ගෙදරක.  
එතුමා මුණුබුරන් තිදෙනාට ඉතාමත් ආදරය කළා. ඔවුන්ව බලන්න නිතරම ඒ ගෙදරට ගියා.   


එතුමාගේ යහළුවන් වුණේ කවුද?  


අගමැති රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ සහ සිරිල් මැතිව් ඇමැතිවරයා. එතුමාගේ හොඳම යාළුවා වුණේ කර්නල් සී.ඒ. ධර්මපාල, ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ලෙසත් කටයුතු කළා. ෆවුන්ටන් කැෆේ එකළඟ ඇක්ලන් හවුස්වලයි කර්නල් ධර්මපාල හිටියෙ. බොහෝ විට ජනාධිපතිතුමා කර්නල් ධර්මපාලගෙ ගෙදර ගිහිල්ලා ගොඩාක් වෙලා කතා කර කර ඉන්නවා. කර්නල් ධර්මපාලව මුණගැහෙන්න යද්දී ජනාධිපතිතුමා ආරක්ෂක නිලධාරීන්ගෙන් මාව පමණයි එක්කන් යන්නෙ. 

 
ගාමිණී දිසානායක, ජේ.ආර්. ජයවර්ධන සමඟ තිබුණ සබඳතා කොහොමද?  


ගාමිණී දිසානායක බොහෝ විට ජනාධිපතිතුමා මුණගැහෙන්න ආවා. ඔවුන් බොහෝ වේලා කතා කරමින් ඉන්නවා. ජයවර්ධන, ගාමිණී දිසානායකට බෙහෙවින් ඇලුම් කළා.  


නුවරඑළියෙ, දිසානායක මහත්යාගේ බංගලාවට යන්න ජනාධිපතිතුමා ආශා කළා. දිසානායක මහතා, පුතුන්, අපි ක්‍රිකට් ගහන හැටි එතුමා බලාගෙන ඉන්නවා.  


ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ විනෝදාංශ මොනවාද?  


එහෙම විශේෂ විනෝදාංශයක් පිළිබඳව මට මතකයක් නැහැ. හැබැයි, රෝයල් - තෝමියන් ක්‍රිකට් මැච් එක බලන්න නම් එතුමා නොවරදවාම යනවා.  


ජයවර්ධන ජනාධිපතිතුමා සහ ඔබ අතර සම්බන්ධතාවය කිනම් ස්වරූපයේ එකක්ද?  


එතුමා මට ඉතාමත් කාරුණිකව සැලකුවා. චාල්ස් සහ ඩයනා විවාහ මංගල්‍යයට යන්න තිබුණේ සෙනසුරාදා දිනයක රාත්‍රි හතට. මම එදා දවල් 12ට විතර නුගේගොඩ නගරයට ගියා. සුළු අලුත්වැඩියාවකට දීලා තිබුණ මගෙ සපත්තු දෙකක් ආපසු ගන්න.  


ඒ කාලෙ මට තිබුණ 504 පර්ජෝ කාර් එකක්. මම අලුත්ම බ්‍රීෆ් කේස් එක කාර් එක පිටු පස්සෙ සීට් එකේ තියලා කාර් එකේ දොරවල් ලොක් කරලා සපත්තු දෙක ගන්න ඒ සාප්පුවට ගියා. වැඩිම වුණොත් විනාඩි පහළොවක් යන්න ඇති. මගේ කාර් එකේ තිබුණු බ්‍රීෆ් කේස් එක නැහැ.   


මොනවද බ්‍රී​ෆ් කේස් එක ඇතුළෙ තිබුණෙ.?  


මගෙ පාස්පෝර්ට් එක, වීසා ලියවිලි, සල්ලි වගේකුත් තිබුණ.  


ඔබ මොනවද කළේ?  


මම කෙලින්ම ගිහිල්ල ජයවර්ධන ජනාධිපතිතුමා මුණගැහුනා. සිද්ධිය එතුමාට මම කිව්වා. එතකොට හවස දෙකට විතර ඇති.  


එතුමා ඔබට දොස් පැවරුවද?  


නැහැ. එතුමා මට දොස් පැවරුවේ නැහැ. එතුමා නිහාල් වීරතුංග ලේකම්තුමාට කතා කළා. මගෙ විස්තරය කිව්වා. ඉක්මනට පාස් පෝර්ට් එක අරගෙන වීසා ගහලා ඉක්මනට අවශ්‍ය දේවල් හදල දෙන්න කියලා. සෙනසුරාදාවක හවස දෙකත් පහුවෙලා. කාර්යාල වහල තිබුණෙ. ඒවා විවෘත කරවලා මගේ සියලුම ලියකියවිලි අරන් දුන්නා. ඒ විතරක් නොවෙයි තෝමස් කුක්ලාගෙන් මට පවුම් එකසිය පනහකුත් ගෙන්නලා දුන්නා. අපි හරියටම රාත්‍රි හතට එයාර්ලංකා ගුවන් යානයෙන් පිටත් වුණා.   


ඔබ ජනාධිපති ආරක්‍ෂක සේවයෙන් ඉවත් වෙන්නෙ කොයි කාලයේද?  


එක් දහස් නවසිය අසූ හතරෙදි.  


අවසාන කාලයේ ජයවර්ධන මහතා රෝහල්ගතව සිටියදී ඔබ එතුමා බලන්න ගියාද?  


අවාසනාවකට මම ඒ දවස්වල කොළඹින් පිට රාජකාරි කළ නිසා එය මට මඟහැරුණා.  


ජේ.ආර්. ජයවර්ධන මහතා මියගිය විට මොනවද ඔබට හිතුණේ?  


මට විශාල දුකක් ඇතිවුණා. අවංක ඍජු නායකයෙක් නැතිවීම ගැන. ලංකාව වගේ දියුණුවෙන රටකට වැඩි බලතල තියෙන නායකත්වයක අවශ්‍යතාවය එතුමා වටහා ගත්තා. අවශ්‍ය තීරණ බය නැතිව ගත්තා.

 

 

පීටර් කැනියුට් පෙරේරා