විසිවැනි ශතවර්ෂයෙහි මහත් ආන්දෝලනයකට ලක් වූ Lady Chatterley's Lover නවකතාවෙහි කේන්ද්‍රීය චරිතය වෙන චැටර්ලි ආර්යාව-ලෝරන්ස්ගේම පරිකල්පනයෙන් පින්තාරු වූ චරිතයක් වුව ද, ඇය ලන්ඩන් නගරයෙහි කලා සහ සමාජවාදී කවයන්හි හැදී වැඩුණු සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලෙහි (London School of Economics) සහ කලාව පිළිබඳ Sladeපාසලෙහි අධ්‍යාපනය හැදෑරූ එහෙත් ග්‍රාමීය පසුබිමකින් යුත් රොසලින්ඩ් බේන්ස් තෝනික්‍රොෂ්ට් නමැති සත්‍ය කාන්තාවකි. ඔහුගේ අවසාන නවකතාවෙහි ප්‍රධාන චරිතය වූ චැටර්ලි ආර්යාව අන් කවරෙකුවත් නොව ලෝරන්ස් ආදර සම්බන්ධයක් පැවැත්වූ රොස්ලින්ඩ්මය.
ගී ද මෝපසාන්, ඇල්බෙයා කැමූ, ෆ්‍රාන්ස් කෆ්කා, ජීන් පෝල් සාත්‍රේ, ෙශ්ක්ෂ්පියර්, මිල්ටන්, එලියට්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ආදීන් මොන තරම් ශ්‍රී ලාංකිකයාට සමීප වූයේ ද ඒ හා සමාන ලෙස නැති නම් මේ සියල්ලන්ට ම වඩා ශ්‍රී ලාංකික අපට සමීප ලේඛකයෙකු වූයේ ඩී. එච්. ලෝරන්ස් ය. පසුගිය වසර 50 තුළ ලෝරන්ස්ගේ ප්‍රධාන නවකතා සහ කෙටිකතා ශ්‍රී ලාංකික සාහිත්‍යකාමීන් අතර මහත් සේ ජනප්‍රියව තිබූ අතර, ඔහුගේ නවකතාවන් භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. ඇල්ඩස් හක්ස්ලි, ඊ.ආර්. ලිවීස්, ඊ.එම්. ෆොස්ටර් සහ ලෝරන්ස්ගේ දිගුකාලීන මිතුරියක වූ කැතරීන් කාස්වෙල් (Time and Tide 1930 මාර්තු 16) ලෝරන්ස්ව අගය කළ මුත් තවත් බොහෝ අය ඔහුව පිළිකුල් කළහ. – Kate Millet, Clair Jarvis වැනි ස්ත්‍රීවාදීහු-ලෝරන්ස් ස්ත්‍රී විරෝධියෙකු බවට ප්‍රසිද්ධියේ චෝදනා කළහ.
ඩේවිඩ් හර්බට් ලෝරන්ස් (D.H. Lawrence) එංගලන්තයේ නොටිංහැම්ප්ෂයර්හි පතල් කම්කරුවෙකුට දාව 1885 වසරෙහි උපත ලැබී ය. පෙනහලු රෝගයකට ගොදුරු වූ ඔහු එයින් 44 වෙනි වියේ දී එනම් 1930 දී) Venceහි රොබර්මොන්ඩ් විලාහි දී අභාවප්‍රාප්ත විය.
ලෝරන්ස් ලෝක ප්‍රසිද්ධ නවකතා සහ කෙටිකතා රචකයෙකු විය. ඔහුගේ පළමු නවකතාව වූ The White Peacock (1911) සිට Sons and Lovers (1913), Women in Love (1920), The Plumbed Serpent (1926), The Rainbow (1915), The Lost Girl (1920) දක්වා සහ ඔහුගේ මහත් ආන්දෝලනයට ලක් වූ 1960 ගණන්වල අධිකරණයට යොමු වූ, භාෂා කිහිපයකට පවා පරිවර්තනය වූ Lady Chatterley's Lover (1928) ඇතුළු නවකතා, කෙටිකතා සහ වෙනත් කෘතීන් රාශියක් අවුරුදු 19ක් වැනි සුළු කාලයක් තුළ ලෝකයට දයාද කළ ශාස්ත්‍රීය සහ නිර්මාණශීලී ධීර ගුණයක් තිබූ ලේඛකයෙකි. එසේම ඔහු ප්‍රබන්ධ ගණයට නොවැටෙන කෘතින් කිහිපයක් ද රචනාකොට තිබිණි. ඒ පිළිබඳව බොහෝ දෙනා නොදනිති. ඒවා නම් Freudin Psychoanalysi, Movement of European History, Studies in American Literature වේ.
ඩී.එච්. ලෝරන්ස් |
ලෝරන්ස් නමැති චරිතය සංකීර්ණ වූවකි. අධික දුම්පානයෙහි නියැළුණු, ආකර්ෂණීය ගුරුවරයෙකු, දේශාටන ලේඛනයෙහි ඉදිරියෙන්ම සිටින්නෙකු, භාවගීත සහ නාට්‍ය රචකයෙකු සම-ලිංගිකයෙකු, ස්ත්‍රී විරෝධියෙකු මෙන්ම ස්ත්‍රී සේවනය ප්‍රිය කළ අයෙකු මෙන්ම බිරිඳ සිටියදී 'අනියම්' සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට පෙලඹුණු අයෙකු යන මේ සියල්ලෙන්ම සංකලනය වූ චරිතය නම් ලෝරන්ස්ය. ඔහු ලෝරන්ස් වන්නේම ද එම නිසා ම ය.
ලෝරන්ස්ගේ නවකතා ද ඔහුගේ ජීවිතය සේ ම අතිශයින් ම සංකීර්ණ මෙන්ම ඒ නිසාම පුද්ගලික ගවේෂණයන් වූ බව ඒවා කියවන විට පෙනේ. ඔහුගේ නවකතා සහ කෙටිකතාවලින් නිර්මිත චරිත ඔහුගේ ම පෞරුෂයට, ලෝක දෘෂ්ටියට සහ ඔහුගේ චංචල මනසට සමීප නවකතා සහ කෙටිකතා තුළ අරක්ගත් සහ දෝලනය වුණු, ගරු සහ නිගරු කෙරුණු චරිතයන් ය. පෞද්ගලික ජීවිතයේ දී ලෝරන්ස් ස්ත්‍රී විරෝධී ආකල්ප දැරූවෙකි. එසේම නවකතා සහ කෙටිකතා සන්දර්භය තුළ දී ඔහු ස්ත්‍රීවාදී අදහස් පමණක් නොව ස්ත්‍රිය ශක්තිමත්, නිදහස් සන්දර්භයානුකූලව බුද්ධිමත්, සංකීර්ණ චරිතධාරීන් ලෙස ද ඉදිරිපත්කොට ඇත. ඔහුගේ යුගයේ වෙනත් නවකතාකරුෙවකුට වඩා ලෝරන්ස් සිය The Rainbow, Women in Live, The Losy Girl නවකතාවලින් ස්ත්‍රිය කේන්‍ද්‍රයට ගෙන ඇත. ඒ වුව ද බොහෝ නවකතා සහ කෙටිකතාවලින් ඔහු ස්ත්‍රිය අවතක්සේරු කළේ ය. ඔහු “පාපොච්චාරණය” කරන පරිදි ඔහු සිය නවකතාවලින් උත්සාහ කරනු ලැබුවේ පුරුෂ මතයට අනුව ස්ත්‍රීන්ට ස්ත්‍රීකම ඉගැන්වීමටයි. මේ නිසාම ස්ත්‍රීවාදීන්ගේ දෘඪ විවේචනයට ඔහු ලක්විණි. (උදා. සිමොන් ඩී. බෝවාර්ගේ The Second Sex සහ කේට් මිලර්ගේ Sexual Politics). ලෝරන්ස්ගේ කවි පිළිබඳව එදා විචාරාත්මක අධ්‍යයනයක යෙදුණ සුසන් ගිල්බර්ට් ඔහුගේ “දෙබිඩි” චරිතය ප්‍රශ්න කරනු ලැබුවේ බොහෝ විට ඔහුගේ කෘතින් තුළින් “සජීවී පුරුෂාධිපත්‍යය/බලය” වැනි වාක්‍ය ඛණ්ඩ පාවිච්චි කළ ලෝරන්ස් “මා ස්ත්‍රියක් බව දැන දැනම මා සමග මෙතරම් සමීපව සහ ඍජුව කතා කළ හැක්කේ කෙසේ ද” යන්න අසමිනි. එහෙත් සුසන්ට අනුව ලෝරන්ස්ගේ කෘතින් හි “පුරුෂයා සැමවිටම ලිංගික කාර්යයේදී දෙවැන්නා වී ඇත.” (Man has been always the Second Sex) මතුවී ඇති කරුණුවලට අනුව මෙය ඔහු පිළිබඳ පාපෝච්චාරණයකි. ඔහුගේ නවකතාවල ප්‍රධාන සහ නියාමක චරිතය වූයේ ද ස්ත්‍රීන් ය.
ස්ත්‍රී විඥානයෙන් ඔහු ඔහුගේ නවකතාවල කේන්‍ද්‍රය පිරවුවද සූසන්ට අනුව ඔහුව සසල කළ සහ කෝප කළ ආකල්පය වූයේ ද ස්ත්‍රීන් අප්‍රිය කරන අභ්‍යන්තරික මානසික ආතතියයි. ලෝරන්ස් ස්ත්‍රී විරෝධී රචකයකු (Mysogenic Writer) වූයේ තරුණ අවධියේ දී සමලිංගික ප්‍රවණතාවක් ඔහු තුළ තිබූ බව අනාවරණය වීමත් සමගය. ස්ත්‍රී විරෝධියෙකු වීම සඳහා සම-ලිංගිකවීමට වඩා වෙනත් කරුණු ද තිබිය හැකි මුත් ලැබී ඇති සාක්ෂින් අනුව ලෝරන්ස් Women in Love නවකතාව ලියන අවධියෙහි ඔහු කෝනිෆර්හි තරුණ ගොවියෙකු වූ විලියම් හෙන්රි හොකිං සමග කෙටි කාලීන සමලිංගික සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. සමලිංගිකත්වය ලෝරන්ස්ගේ සමහර ප්‍රබන්ධයන්හි තේමාව වූයේ මෙම අත්දැකීම් නිසා යැයි ද මතයක් පවතී. වර්ෂ 1913 අතර කාලයේ දී ඔහු ලියූ ලියුමක (ඔහු විසින් ලියූ සියලු ලිපි එකතුව 5534 ක් බවට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත් කළ The Letters of D.H. Lawrence හි සඳහන්ව ඇත) ඔහු මෙසේ ලියයි.
“ඇත්තටම ශ්‍රේෂ්ඨත්වයට පත්වන බොහොමයක් මිනිසුන් සමලිංගිකත්වයට යොමුවන්නේ ඇයි ද යන්න දැනගැනීමට කැමතිය.”
(එහෙත් මා සිතන පරිදි ලෝරන්ස් සමලිංගිකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පටලවා ගත්තා දැයි හෝ නැති අතිශයෝක්තියෙන් මෙහිදී ඉදිරිපත් කරන්නේ දැයි සිතෙනුයේ සියලු සමලිංගිකයන් ශ්‍රේෂ්ඨ මිනිසුන් නොවූ බැවින් සහ නොවන බැවිනි. දේශපාලනයෙහි, ආගමෙහි, නීති ක්‍ෂේත්‍රයෙහි, කලාවෙහි සමලිංගික සම්බන්ධතා පැවැත් වූ කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත් වූ මුත් වැඩිදෙනා එසේ නොවූහ. ඇරත් සමලිංගිකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය අතර එකට එකේ ඇති සම්බන්ධයක් (One to One Relationship) දැකීම වැරදි යැයි හඟිමි. - ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ලේඛක) 'ලෝරන්ස් ප්‍රකාශ කළ පරිදි,
“මා වයස අවුරුදු 16 දී තරුණ පතල් කම්කරුවෙකු සමග එදා ඇති කරගත් සම්බන්ධය මගේ පරිපූර්ණ ආදරය ලෙස මම විශ්වාස කරමි.”
ඔහුගේ පියා පතල් කම්කරුවෙකුය යන්න මෙහිදී අමතක නොකළ යුතුය. මිචෙල් ෆූකෝ නමැති ප්‍රංශ චින්තකයා ද සමලිංගික සම්බන්ධය ගැන මෙවැනිම අදහසක් දැරීය. එනම් ආදරයේ උපරිමය හෙවත් එහි උත්කෘෂ්ටය නැතිනම් පරමානන්දය (ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා) අධිගෘහිතව ඇත්තේ සමලිංගිකත්වය තුළය - මිචෙල් ෆුකෝ
ලෝරන්ස්ගේ ඉතාමත් ජනප්‍රිය සහ ආන්දෝලනයකට ලක් වූ නවකතාව වූයේ චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා ය. (Lady Chatterley's Lover). එම නවකතාවෙහි චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම අනියම් භාර්යාව බව මා විසින් හුවා දක්වනුයේ ඔහුගේ සාහිත්‍ය කුසලතාව සහ පෞරුෂය හෑල්ලුවට ලක් කිරීමට හෝ ලෝරන්ස්ගේ චරිතය ඔහුගේ මරණයෙන් පසු කෙලෙසීමේ අපේක්‍ෂාවෙන් නොව ලෝරන්ස්ගේ අව්‍යාජ චරිතය ජීවත් කරවීමට සහ ඔසවා තැබීමට මෙන්ම, ලෝරන්ස් සිය ජීවිත අත්දැකීම් මොනතරම් නිර්මාණශීලීව, සුන්දරව සිය නවකතාවන්ට බද්ධ කරගෙන ඇද්ද සහ එම අත්දැකීම් සාහිත්‍යය හරහා පාඨකයාට කොතරම් අපූරුවට ප්‍රදානය කර ඇත් ද යන්නත් කියාපෑමට පමණි. ලෝරන්ස්ගේ සංකීර්ණ චරිතයේ සහ ලියූ නවකතාවල සියලු පැතිකඩයන් මෙම ලිපියෙන් එළිදරව් නොකරන අතර අවධානයට යොමු කරනුයේ ඉතාමත් ආන්දෝලනයට තුඩු දුන් චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා නමැති කෘතියෙහි ප්‍රධාන චරිතය වූ චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම අනියම් භාර්යාව බවට සාක්‍ෂින් අනාවරණයව ඇති බව පෙන්වමින් ලෝරන්ස්ට හෝ රොස්ලින්ඩ්ට හෝ නිගරු නොකොට සිය අනියම් සම්බන්ධතාව පිළිබඳ අත්දැකීම් පාඨකයන් සමග රසවත් ලෙස බෙදාගැනීමට සැලස්වූ ආකාරයට උපහාරයක් ලෙස ය.
'බ්‍රෙන්ඩා මැඩොක්ස් The Married Man ; A life of D.H. Lawrence (1994) කෘතියෙන් ලෝරන්ස්ගේ හෙළි නොවුණු ආදර අන්දරයක් පළමු වතාවට අනාවරණය කරන අතර Harry Moor, The Priest of Love: A Life of D.H. Lawrence (1974) සහ John Worthoton, D.H. Lawrence: The Life of an Outsider (2005) පොත්වලින් ද තවත් කරුණු අනාවරණය වී ඇත.
ලෝරන්ස්ගේ නීත්‍යනුකූල භාර්යාව වූයේ ෆ්‍රීඩා වීක්ලි ය. ඔහු ඇය සමග විවාහ වූයේ 1912 දී ය. ඒ වන විටත් ඇය විවාහක කාන්තාවක වූ අතර දරුවන් තිදෙනෙකු ද සිටියේ ය. ෆ්‍රීඩා වීක්ලි දැඩි කාමාසක්ත ගැහැනියක වූ අතර මැඩොක්ස්ට අනුව (The Time Magazine 1994) ලෝරන්ස් හමු වූ පළමු දිනයේම ඇය විනාඩි 20 ක් ඇතුළත ලෝරන්ස් සමග සයනගතව ඇත. ඇය “බහු සුරතාන්ත” (Multi-Orgasmic) ගැහැනියක වූ අතර ලෝරන්ස් නිව්මෝනියා මෙන්ම පෙනහලු රෝගියෙකු ද විය. ඔහුට ඇයව සැනසිය නොහැකි බව ඔහු මිතුරන් සමග පවසා ඇත. මේ නිසා ස්ත්‍රී සුරතාන්තය (Female-Orgasm) කෙරෙහි ලෝරන්ස් ද්වේෂ සහගත වූ අතර ඔහුගේ The Plumbed Serpen නවකතාව එය හුවා දක්වනුයේ ද එම හේතුව නිසා ය. චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා වූ දැඩි පුරුෂ ශක්තියෙන් යුතු වූ (Virile) මෙලර්ස් නොහොත් ලෝරන්ස්ගේ දුබලත්වයේ පරිකල්පිත ‘ප්‍රබල’ අනෙකා (The Strong Other) වූයේ ලෝරන්ස්ම ය. ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන චැටර්ලි සාමිවරයා ද ලෝරන්ස්මය. ලෝරන්ස් විසින් ලෝඩ් චැටර්ලි සහ මෙල්රස් යන ප්‍රබන්ධ චරිත දෙක ප්‍රාණවත් කිරීම සඳහා පරිකල්පනය උපයෝගී කරගත් ආකාරය ප්‍රශංසනීයය. ලෝරන්ස් ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වනුයේ ද මෙහෙයිනි. මෙතැන් සිට අප නවකතාවෙහි ප්‍රබන්ධිත ප්‍රධාන චරිතය වන චැටර්ලි ආර්යාව සත්‍ය ලෝකයේදී හඳුනාගනිමු.
ලෝරන්ස්ගේ විවාහක බිරිඳ ෆ්‍රීඩා ජර්මනියේ සිටින වාරයේ ලෝරන්ස් 1920 වර්ෂයේ දී රොස්ලින්ඩ් හමුවීමට ඉතාලියට යයි. ඇයට ද කුඩා ගැහැනු දරුවන් තිදෙනෙක් සිටියහ. මනෝ චිකිත්සකයෙකු වූ ඇයගේ සැමියා ගෝඩන් බේන්ස්ගේ දික්කසාද නඩුවේ ප්‍රසිද්ධියෙන් වැළකීමට ඇය තාවකාලිකව ඉතාලියට සංක්‍රමණයව සිටියා ය. එහෙත් ඊට වර්ෂයකට පෙර ලෝරන්ස් රොස්ලින්ඩ්ව මුණගැසුණේ එංගලන්තයේ බර්ක්ෂයර්හි දී ය. ලෝරන්ස් ඉතාලියට එනුයේ රොස්ලින්ඩ්ට දික්කසාද නඩුව පිළිබඳ ප්‍රායෝගික උපදේශයක් දීම සඳහා ය. රොස්ලින්ඩ්ගේ වයස 29 කි. ඒ වන විට ඇය රූපශ්‍රීයෙන් උපරිමයෙහි සිටියාය. පූර්ව රැෆාලියානු දුඹුරු කෙස් කලඹක්, වර්ණවත් සමක් සහ විශාල දුඹුරු නෙත් සහිත වූ ඇය සත්‍ය වශයෙන්ම සුරූපිනියකි. ලෝරන්ස්ගේ නවකතාවෙහි එන චැටර්ලි ආර්යාව ව ලෝරන්ස් විසින් විස්තර කරනුයේ මෙසේය.
(A ruddy, country-looking girl with soft brown hair and sturdy body, and slow movements fullof ubusual energy. She had big, wondering eyes and a soft mild voice”( D.H. Lawrence Book Viub Associared 763-766)
“ඇය රතුවන් වූ මුහුණකින් ද, මෘදු දුඹුරු කෙස් සහිත ගැමි පෙනුමකින් සහ සෙමින් චලනය වන, අසාමාන්‍ය ජීවයකින් පිරුණු විශාල ඓශ්චර්යාත්මක දෑසක් මෙන්ම මුදු මොළොක් හඬකින් ද යුතු වූවාය.”
ඇත්තෙන්ම චැටර්ලි ආර්යාව පිළිබඳව ලෝරන්ස් කරනු ලබන ශාරීරික විස්තරයට රොස්ලින්ඩ්ට සමීපවනවා නොව විස්තරය ඇය ම ය. ලෝරන්ස් සිය නවකතාවෙහි තවත් ප්‍රධාන චරිතයක් වූ චැටර්ලි ආර්යාවගේ පියා වූ කොන්ස්ටන්ස් චැටර්ලිව හඳුන්වනුයේ මෙසේ ය.
'“ඇයගේ පියා කලකදී සුප්‍රසිද්ධව සිටි රාජකීය හමුදා නිලධාරියෙකි. ඇය සහ ඇයගේ සහෝදරියන් හැදී වැඩුණේ කලාකරුවන් සහ සංස්කෘතික සමාජවාදීන් අතර ය.”
ලෝරන්ස් දික්කසාදයට උදව් කිරීමේ මුවාවෙන් රොස්ලින්ඩ්ට පමණක් නොව ඇයගේ ළමයින්ට ද ළං විය. ඔහු රොස්ලින්ඩ් සමග ආහාර ගැනීමෙන් පසු පිඟන් සේදීම කළ අතර රොස්ලින්ඩ් බැලීමට එන හැම වාරයක දී ම ඇයගේ දරුවන්ට කුමක් හෝ ගෙන ඒමට ද අමතක නො කළේ ය.
ආදර සම්බන්ධයට පදනම වැටුණේ මෙපරිදි ය. ලෝරන්ස් සිය තිස්පස් වන උපන් දිනය සැමරුවේ ෆ්ලොරන්ස්හි රොස්ලින්ඩ්ගේ නිවසේ ය. බ්‍රෙන්ඩා මැඩොක්ස්ට අනුව රොස්ලින්ඩ්ගේ දුව වූ Cloe Baynes Gree විසින් ඇයගේ මව වූ රොස්ලින්ඩ්ගේ ජීවිතය පිළිබඳව සිහිවටන රචනාව 1991 දී ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ලෝරන්ස් සහ රොස්ලින්ඩ්ගේ ආදර අන්දරයත් දෙදෙනා අතර මතු වූ ලිංගික ප්‍රශ්නත් අනාවරණය විය. ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබූ බව පහත සඳහන් දෙබස සනාථ කරයි.
ලෝරන්ස් - “ඔබගේ ජීවිතයට දැන් ලිංගික අත්දැකීමක් නැති එක පිළිබඳ ඔබේ හැඟීම ?”
රොස්ලින්ඩ් - “සත්තකින්ම මට දැන් එය අහිමි ව ඇත.”
ලෝරන්ස් - “හොඳයි ඇයි එහෙනම් ඔබ එය නොලබන්නේ ?”
රොස්ලින්ඩ් - “ඒක ලෙහෙසියෙන් පිනවන්න පුළුවන් එකක් නොවෙයි”
ලෝරන්ස් – “එහෙනම් ඔයයි මමයි ලිංගික වශයෙන් හැසිරිය නො යුත්තේ ඇයි ?”
රොස්ලින්ඩ් - “ඔව්, ඇත්තෙන්ම මට එය අවශ්‍යයි”
ඊළඟ දවසේ බලාපොරොත්තු සහිතව රොස්ලින්ඩ් ඇයගේ නිදන කාමරය සකස් කළ ද ලෝරන්ස්ගෙන් ප්‍රතිචාරයක් ඇය නුදුටුවා ය. ඊට පසු දින ලෝරන්ස් දිවා ආහාරයට පැමිණි අතර ආහාරය පිළියෙළ කරනු ලැබුවේ දෙදෙනාම එකතුවයි. වාචික ප්‍රතිචාරයක් ලෝරන්ස්ගෙන් ලැබුණ හෙයින් සතුටුව රොස්ලින්ඩ් ලෝරන්ස් සමග සයනගත වුව ද රොස්ලින්ඩ්ගේ සිහිවටනය ඉන් ඉදිරියට නොලියවී ඇති බව රොස්ලින්ඩ්ගේ දුව අනාවරණය කර ඇත. හේතුව, රොස්ලින්ඩ්ව සතුටු කිරීමට තරම් ලෝරන්ස් පුරුෂයකු නොවීමයි. ලෝරන්ස් සහ රොස්ලින්ඩ් අතර ප්‍රේම සම්බන්ධයකට වඩා වැඩි යමක් තිබූ බව ඇයගේ පවුලේ උදවිය පවා විශ්වාස කළ මුත් ලෝරන්ස් එය විශ්වාස නොකළේ ය. ෆ්ලොරන්ස්වල ලෝරන්ස් ගතකළ කාලයේ ලියූ සංවේදී සහ අනුරාගී කවි පදවැල් මෙයට සාක්‍ෂි සපයයි. සියල්ල කෙසේ වෙතත් බොහොමයක් කවි ලෝරන්ස් රොස්ලින්ඩ්ට තිබූ ප්‍රේමය සහ එහෙත් ඔහුගේ ඒ වන විට ලිංගික නොහැකියාව තුළින් ඉස්මතු වූ සංකල්පනාවන්ය.ලිංගිකත්වය පිළිබඳ ඔහුගේ දීර්ඝ සංග්‍රාමය ඔහුගේ සෞඛ්‍යය මෙන්ම පිරිහී ගොස් තිබුණි.
ස්ත්‍රීන් කෙරෙහි ලෝරන්ස් තුළ තිබූ වෛරය අඩු නොවීය. මෙය ඔහුගේ මුල්කාලීන සමලිංගිකත්ව අත්දැකීම නිසා වර්ධනය වූවක් ද? එසේත් නොවේ නම්, ලිංගික දුබලතාව නිසා ඉස්මතු වූවක් ද යන්න අපැහැදිලි ය. එහෙත් සිය අවසාන නවකතාව චැටර්ලි ආර්යාවගේ පෙම්වතා වශයෙන් නම් තැබීමෙන් ඔහු සියුම් ලෙස ස්ත්‍රී වර්ගයාගෙන් මෙන්ම රොස්ලින්ඩ්ගෙන් ද පළිගත් බව පෙනෙනුයේ ආර්යාවන් කැලය රකින්නන් (මෙලර්ස් වැනි) සමග වුව හිඳ තම ලිංගික උවමනාවන් සපුරා ගැනීමට උපක්‍රමශීලී වන අය ලෙස හැඳින්වීම නිසාවෙනි. පශ්චාත්-ස්ත්‍රීවාදී ලේඛිකාවන් විසින්, මෙම නවකතාවෙහි ශීර්ෂය පවා ස්ත්‍රීන් කෙරෙහි ව්‍යංග වෛරයක් ඇතිව යොදන ලද්දක් බව පෙන්වා දුණි. නවකතාවෙහි නම “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” යන්නයි. “මෙලර්ස් චැටර්ලි ආර්යාවගේ පෙම්වතා මිස මෙලර්ස්ගේ ආදරවන්තිය චැටර්ලි නොවේය“ යන්නක් මෙම ශීර්ෂයෙන් ලෝරන්ස් ගම්‍ය කරමින් ඔහු ස්ත්‍රී විරෝධී මානසිකත්වයකින් සිය නවකතාව ලියූ බවට චෝදනා එල්ල වුණි. සිය ආශාවන් සංසිඳවා ගැනීමට මෙලර්ස් ළඟට චැටර්ලි ආර්යාව යැවීමෙන් ලෝරන්ස් පුරුෂ සංකල්පය ඉදිරියේ ස්ත්‍රිය අවප්‍රමාණය කර ඇතැයි විරෝධතාද එල්ල වුණි.
ලෝරන්ස් 1926-27 කාලයේ ලිංගික දුබලතාවකින් පෙලීමත්, එසේම “මගේ පිටුපස ගැහැනියක් නැත්නම් මට කිසිවක් කරගත නොහැකිය” යන විශ්වාසය මත රොස්ලින්ඩ් සමග ආදරයෙන් වෙළුණද, ඔහුට ඇයව ලිංගික වශයෙන් තෘප්තිමත් කිරීමට හෝ ඔහුට ඇයගෙන් තෘප්තිමත් වීමට හෝ බැරි වූ බවට සාධක සපයනුයේ රොස්ලින්ඩ් ම ය (Roslind's Memoirs-Cloe Baynes' 1991).
මෙලර්ස් යනු අන් කවරකුවත් නොව ලෝරන්ස්ම බව බොහෝ දෙනා විශ්වාස කර තිබුණි. ඇත්තෙන්ම ෆ්‍රොයිඩියානු දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළහොත්, මෙලර්ස් යනු ලෝරන්ස්ගේම මානසික ප්‍රක්ෂේපණයයි (Mental Projection) නැතහොත් ලෝරන්ස්ගේ සිත තුළම ජීවත් වූ මෙලර්ස් නමැති හැඩි දැඩි ෆැන්ටසි ‘අනෙකා ය’. එපමණක් නොව 1926-27 එනම් නවකතාව ලියන කාලයේ දී නවකතාවෙහි චැටර්ලි ආර්යාවගේ ස්වාමියා වූ වංශාධිපති එහෙත් අප්‍රාණික ලෝඩ් චැටර්ලි ය. ලෝරන්ස් විසින් 'ලෝඩ් චැටර්ලිව හඳුන්වා දෙනුයේ ලිංගික බෙලහීනයෙකු ලෙස ය. නවකතාවේ චරිත සහ තථ්‍ය චරිත මෙසේ ගොඩනැගෙන විට ඉහත සමීකරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ රොස්ලින්ඩ් සමග ලිංගිකව හැසිරීමට අපහසු වූ ලෝරන්ස් නැතහොත් ඔහු ම වන “ලෝඩ් චැටර්ලි” සහ“මෙලර්ස්” නමැති ෆැන්ටසි චරිත මගින් සිය අවිඥානික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කිරීම දෙස බලන විට ය. මේ කාලය තුළ ලෝරන්ස් ශාරීරිකව රෝගී වූ අතර ලිංගික වශයෙන් ද අකර්මණ්‍ය විය. මේ නිසා ඔහුගේ බිරිඳ ෆ්‍රීඩා ඉතාලියානු නිලධාරියෙකු සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබුණු අතර මේ නිලධාරියා ඇයගේ තුන්වැනි සහකරු වූයේ ලෝරන්ස් ජීවත්වන අතරතුර දී ම ය.
මේ සියල්ල ම මිනිසෙකුගේ අත්දැකීම් ය. මේ සියල්ල ම ලෝරන්ස් නමැති මිනිසාගේ, නවකතාකරුවාගේ, කවියාගේ අත්දැකීම් ය. නවකතාවකට නිමිත්ත සපයනුයේත්, එහි අන්තර්ගතය සකස් කරනුයේත් චරිත නිර්මාණය වනුයේත් ඒ ඒ චරිතවල පෞරුෂය නිර්වචනය වනුයේත් අත්දැකීම් මත සහ ඒවා හරහා ය. Sons and Lovers නවකතාවේ Miriam Jessie Chambers සිය මුල් පෙම්වතිය වී තිබීම ද ලෝරන්ස්ගේ සත්‍ය සම්බන්ධයන් නවකතාවන්ට කාන්දු වූ බවට උදාහරණයකි. චැටර්ලි ආර්යාව හෙවත් තෝනික්‍රොෆ්ට් සමග තිබූ සම්බන්ධය ද සිය නවකතාවෙහි ජවය, බලය සහ න්‍යෂ්ඨිය විය.
අපි ලෝරන්ස්ගේ පෞද්ගලික ජීවිතය හෝ චරිතය නොව, ඔහුගේ අත්දැකීම්වලින් නිර්මිත චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නමැති නවකතාව පමණක් අගයමු. මෙම ලිපියෙන් මා උත්සාහ කළේ, “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” නමැති ලෝරන්ස්ගේ මුඛ්‍ය නවකතාව හුදු පරිකල්පනයෙන් ම උත්තේජනයව ලියැවුණ නවකතාවක් නොව, ඔහුගේ ම සැබෑ අත්දැකීම් හා මනෝභාවයන් මත පදනම් ව නිර්මිත කෘතියක් බව පෙන්වීම ය. අදටත් එම නවකතාව ලෝරන්ස්ගේ ශ්‍රේෂ්ඨතම නවකතාව වනවා පමණක් නොව, ලෝක නවකතා සාහිත්‍යයේ වුව ද ප්‍රධාන නවකතා 10 අතර ස්ථානගතව තිබීමෙන්, එහි අමිල අගය වැටහෙනු ඇත. අපි ද එය එසේ ම සලකමු. හේතුව, ලෝරන්ස් සිය අත්දැකීම් ප්‍රබන්ධයෙන් වෙන් නො කිරීමට වග බලාගත් නිසා ය. ලෝරන්ස්ගේ ශ්‍රේෂ්ඨතම නවකතාව “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” වනුයේ ද මේ නිසා ම ය.