ඩීඑස්ගේ සිට ගෝඨාභය දක්වා රටේ හොඳම නායකයා මැතිනියයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර  

  • වමේ ව්‍යාපාරයේ තුන්වෙනි පරම්පරාව අපි   
  • රජිව් එවපු ලියුමෙන් එද‌ා පර්වතයක් වගේ හිටිය ජේ.ආර්. හෙල්ලිලා හිටියා   

 

මෙවර ‘මුහුණට මුහුණ’ සංවාදයට එක්වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරයි. 

 
වමේ දේශපාලනය කොහොමද ඇඟට දැනෙන්න ගත්තෙ මුලින්ම?   


මම දේශීය ආද‌ායම් දෙපාර්තමේන්තුවේ රැකියාව කරන කාලේ තමයි කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වුණේ. ඒ හැටේ දශකයේ මම දේශීය ආද‌ායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයෙක් විදියට කටයුතු කළා. මම දේශීය ආද‌ායම් එකේ විමර්ශන නිලධාරියෙක්. තක්සේරුකරුවෙක් විදියට තමයි කටයුතු කළේ. රැකියාව කරන අතරේ දේශපාලනය කරන්න ලොකු නිදහසක් තිබුණේ නෑ. හොරෙන් තමයි දේශපාලන වැඩ කළේ.   


ඔය අතරෙ සමගි පෙරමුණ ආණ්ඩුව ඇවිත් අපේ පක්ෂෙ ප්‍රධාන ලේකම් පීටර් කේනමන් නිවාස හා ඉදිකිරීම් ඇමැති වුණා. ඊට පස්සෙ ඔහු මගෙන් ඉල්ලා හිටියා අමාත්‍යාංශයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා විදියට කටයුතු කරන්න එන්න කියලා. ඒ ඉල්ලීමට මම රජයේ සේවයෙන් අස්වෙලා පීටර් කේනමන් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්කම ගත්තා. ඒත් එක්කම පූර්ණ කාලීන දේශපාලනයට ඇදිල ආවා. 1972 දී මම

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරීපත් වුණා. පස්සේ දේශපාලන මණ්ඩලයට පත්වුණා.   


තරුණ කාලෙම වමේ දේශපාලනයට නැඹුරුවෙන්න හිත ගත්තු විශේෂ වාමාංශික චරිතයක් එහෙම හිටිය ද?   


ඒ කාලේ වමේ ව්‍යාපාරය හරි ප්‍රබලයි. වෘත්තීය සමිති සියල්ලම වගේ පාලනය කෙරුවේ සමසමාජ පක්ෂයයි, කොමියුනිස්ට් පක්ෂයයි. අපි පාසල් යන කාලෙත් වමේ පක්ෂවල බලපෑම සමාජයට දැනුණා. පෞද්ගලිකව ගත්තොත් අපේ අයියා කෙනෙක් හිටියා ගම්කාරක සභාවේ සභාපති කෙනෙක්. ඔහුත් වමේ. ඒ බලපෑම ලැබුණා. අපේ ගම හම්බන්තොටයි. අපේ ගෙවල්වල ඉඳල හැතැප්ම හත අටක දුරින් තමයි මහින්ද රාජපක්ෂගෙ ගෙවල් තියෙන්නේ. රාජපක්ෂ පවුලෙ අය නිතර අපේ ගෙවල්වල පවා යනවා එනවා ඒ කාලේ. පාසලෙත් අපට හිටියේ ගොඩක් වමට බර ගුරුවරු. එක චරිතයක් කියලම නෑ. වමේ බොහෝ චරිත අපේ වාමාංශික නැඹුරුවට බලපෑම් කළා.   


පූර්ණ කාලීන පක්ෂ දේශපාලනයට එන්නේ කොයි කාලෙ ද හරියටම?   


77 විතර ඉඳල තමයි. එතන ඉඳල මම කොමියුනිස්ට් පක්ෂේ ජාත්‍යන්තර ලේකම් බවට පත් වුණා. පීටර් කෙනමන් සහෝදරයා තමයි ප්‍රධාන ලේකම්. ඊට පස්සේ මම සරත් මුත්ටේටුවෙගම සහෝදරයා එක්ක තරුණ සමිති ව්‍යාපාරය කළා. මම පක්ෂෙ තරුණ සමිති ව්‍යාපාරයේ භාණ්ඩාගාරික. සරත් මුත්තෙට්ටුවෙගම සභාපති. අපිට විශාල තරුණ ව්‍යාපාරයක් තිබුණා. අනෙක් වමේ පක්ෂ එක්කත් ඇසුරට වැටුණා. මට ඇසුරු කරන්න ලැබුණා එන්.එම්. කොල්වින්, ලෙස්ලි, පිලිප්ලා වගේ අය. අපි වමේ තුන්වෙනි පරම්පරාවේ කට්ටිය. බැටී වීරකෝන්, තිස්ස විතාරණ, කාලෝ ෆොන්සේකා වගේ අපි කණ්ඩායම තමයි වමේ තුන්වෙනි පරම්පරාව.   


එකට ඉඳල පාරවල් දෙකකට බෙදුණු එකෙන් සමසමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට යහපතක් වුණා ද?   


සමසමාජ පක්ෂය තමයි මුල් පක්ෂය. 1935 සමසමාජ පක්ෂය පිහිටුවන්නෙ එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා වගේ අය එකතුවෙලා. දෙවෙනි ලෝක යුද්ධය එනකොට 1939 ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නයක් මතුවුණා පක්ෂය තුළ. පක්ෂය යුද්ධයට විරුද්ධවනෙ හිටියේ. නමුත් 1941 හිට්ලර් යුද්ධය හැරෙව්ව සෝවියට් දේශය පැත්තට. සමසමාජ පක්ෂය ඇතුලේ වික්‍රමසිංහ සහෝදරයා ගත්තු ස්ථාවරය වුණේ සෝවියට් දේශයට සහයෝගය දෙන්න ඕනෑ කියලා. ඒකට පක්ෂෙ තවත් අය කැමැති වුණේ නෑ. එතැනින් තමයි පක්ෂය දෙකඩ වුණේ. කොමියුනිස්ට් පක්ෂයක් බිහිවෙන්නේ මේ හේතුව උඩ. ජාත්‍යන්තරව වමේ ව්‍යාපාරය තුළ මේ ප්‍රශ්නය බලපෑවා. ඊට පස්සෙ පක්ෂ දෙකක් විදියට ඉදිරියට ආවත් විවිධ කාරණාවල දී අනන්‍යතාව තියාගෙන අපි කටයුතු කළා.

   
සිරිමාවෝ මැතිනිය එක්ක කොහොමද ඔබේ ගනුදෙනුව?   


මම පීටර් කෙනමන් සහෝදරයාගේ පුද්ගලික ලේකම්වරයා වෙලා ඉද්දි තමයි සිරිමාවෝ එක්ක කතාබහ පටන් ගත්තේ. මාස හයකට සැරයක් අපි බණ්ඩාරනායක මැතිනිය එක්ක සාකච්ඡාවකට යනවා. ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් එක්ක මැතිනිය වෙනම සාකච්ඡා කරනවා. අද නම් ඇමැතිවරුන්ගේ පෞද්ගලික ලේකම්ල කවුද කියලා නායකයෝ දන්නෙවත් නෑනේ. අනික අද ඇමැතිවරුන්ගෙ පුද්ගලික ලේකම්කමට ද‌ාගන්නෙත් තමන්ගේ නෝනා හරි පවුලෙ කෙනෙක්නේ. අදට වඩා වෙනස් එද‌ා. පීටර් කෙනමන් අල්ල ගන්න බැරි නම් මාත් එක්ක තමයි අවශ්‍ය කාරණය කතා කරන්නේ. ඒ වෙලාවෙ විපක්ෂ නායකවරයා වෙච්ච ඩඩ්ලි සේනානායක වුණත් පීටර් කෙනමන් නැත්නම් මට තමයි අවශ්‍ය දේවල් කියන්නේ. එද‌ා පෞද්ගලික ලේකම්වරු බලගතුයි අදට වඩා. අමාත්‍යාංශයේ සියලු ලිපි ගොනු අමාත්‍යාංශ ලේකම් මට තමයි එවන්නේ. මං හරහා තමයි ඒවා ඇමැතිට යන්නේ. එහෙම වගකීමක් අපිට තිබුණා. හැම අමාත්‍යාංශයකම ඒ වගේ.   
 පස්සේ පස්සේ අපි ළඟින් වැඩ කරන්න ගත්තම වැඩිය හිතවත් වුණා. බණ්ඩාරනායක මැතිනිය මට ‘ඩිව්’ කියල තමයි ආමන්ත්‍රණය කළෙත්. අනුර චන්ද්‍රිකා එක්ක එහෙම නිතර සාකච්ඡාවලට අපි එකතු වෙනවනේ. 

 
සිරිමාවෝ මැතිනියගේ ඔබ දකින විශේෂත්වය මොකක්ද?   


ඩී.එස්. සේනානායකගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ දක්වා රාජ්‍ය නායකයන් අතරින් කවුද හොඳම නායකයා කියලා මගෙන් ඇහුවොත් මම ඇස් දෙක පියාගෙන කියන්නේ සිරිමාවෝ මැතිනිය කියලා. ඒකට හේතුව ප්‍රතිපත්තිය, වැඩකිරීමේ පිළිවෙල, නායකත්වය වගේ කාරණා.   


ඩිව් ගුණසේකර පළමුවෙනි වතාවට පාර්ලිමේන්තුවට එන කතාව මතක් කරමුද ටිකක්. 

 
මම ඉස්සෙල්ලම පාර්ලිමේන්තු එන්නේ 1986. 1977 මැතිවරණයෙන් වමේ එක්කෙනෙක්වත් දිනුවෙ නෑ. එන්.එම්., කොල්වින්ල ඔක්කොම පරාදයි. අපි ඉලෙක්ෂන් සෙටිෂන් එකක් ද‌ාලා කලවාන අතුරු මැතිවරණයෙන් දිනුවා. සරත් මුත්තෙට්ටුවෙගම පත් වුණා. ඔහු අනතුරකින් මිය ගියාට පස්සේ පක්ෂය මාව නම් කළා ඒකට. 

 
පාර්ලිමේන්තු ජීවිතය කොහොම ද?   


මම පාර්ලිමේන්තු තුනක හිටියා. විපක්ෂෙ හිටියා. ආණ්ඩු පක්ෂෙ හිටියා. ඇමැතිකම්වල හිටියා. ඒත් විපක්ෂෙ ඉඳපු කාලෙ තමයි හොඳම කාලෙ කියල මම හිතන්නේ. අපි කීප දෙනයි විපක්ෂෙ හිටියේ. අනිත් ඔක්කොම ආණ්ඩු පක්ෂෙ. අනුර බණ්ඩාරනායක තමයි විපක්ෂනායක. මහජන එක්සත් පෙරමුණේ හිටියේ දිනේෂ්. අපි තුන්දෙනා තමයි ප්‍රධාන චරිත තුන විදියට කටයුතු කළේ. හයෙන් පහක බලයක් තිබුණු ආණ්ඩුවක් එක්කයි අපි හැප්පුණේ. විවාදයකින් තොරව කිසිම දෙයක් අනුමත කරන්න දුන්නේ නෑ. ඒකෙන් අපි හොඳ පළපුරුද්දක් ලැබුවා දේශපාලනය ගැන.   


මතකද පළමුවෙනි පාර්ලිමේනතු කතාව?   


ඔව්. ඒක අමතක වෙන්නේ නෑ. මම පැය එක හමාරක් කතා කළා මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාව. ජනවාර්ගික කාරණය ගැන තමයි වැඩිපුර අවධානය යොමු කළේ ඒකෙන්. පළවෙනි අය වැය කතාවෙත් මම පැය එක හමාරක් කතා කළා. විපක්ෂය වෙනුවෙන් අවසන් කතාව කළේ මම. මගේ පළවෙනි පාර්ලිමේන්තු අයවැය විවාදයේ කතාව අහගෙන ඉදපු අගමැති ප්‍රේමද‌ාස මට එන්න කියලා අතට අත දීලා කිව්වා එන්.එම්. පෙරේරාගෙන් පස්සේ ආර්ථික ප්‍රශ්න ගැන හොඳ විග්‍රහයක් ඇහුවා. මම එකග නොවුණත් අගය කරනවා’ කියලා විපක්ෂෙ ඉන්න කොට අපි කියවනවා තොරතුරු හොයනවා. ගවේෂණය කරනවා. හරිම උද්යෝගයෙන් අපි කතාවකට වුණත් එද‌ා සූද‌ානම් වෙන්නේ. යූ.එන්.පී. එකේ පතාකයො එක්ක තමයි අපිට කටින් ගහල දිනන්න වුණේ. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, හමීඩ්, රන්ජන් වගේ ගොඩක් අය හිටියා. ඒ අය එක්ක සූද‌ානම් නොවී කතා කරන්න බැහැ. එක පාරක් මම හදිසියෙන් කරපු කතාවක් ගැන කතානායක ඊ.එල්. සේනානායක මගෙන් ඇහුව ‘හෝම් වර්ක්’ කරලා නෙවෙයි නේ ද කතා කළේ කියලා. එතුමා හිනාවෙවී තමයි එහෙම ඇහුවෙ. ඒත් මම ඒක පාඩමකට ගත්තා. මොන වැඩ තිබුණත් පාර්ලිමේන්තු කතාවක දී හොඳ සූද‌ානමකින් යන්න ඕනැ කියලා. මගේ පළමුවෙනි කතාව කරල ඉවර වෙනවත් එක්කම පාර්ලිමේන්තුවෙ සේවකයෙක් මට කොළ කෑල්ලක් ගෙනල්ලා දුන්නා ඒක එවලා තියෙන්නේ හිටපු අගමැති ඩබ්ලිව්. දහනායක. එයාගෙ අත්අකුරින් ලියල තිබුණ හොඳ කතාවක් කළා කියලා. එද‌ා පාර්ලිමේන්තුවෙ සම්ප්‍රද‌ායක් තිබුණා කවුරු වුණත් හොඳ කතාවක් කළා නම් ඒක අගයන. විපක්ෂෙ කෙනෙක් කළත් ඒකෙ හරයක් තියෙනවා නම් ආණ්ඩු පක්ෂෙ අය අගය කරනවා. මගේ කතාවලට එහෙම එන එන අය අගය කරල එවපු චිට් කෑලි මම එකතු කරලත් තිබුණා. දැන් තමයි මොන දේ කිව්වත් කෑකෝ ගහල හූ කියල අසෝබන විදියට හැසිරෙන්නේ.   


ජේ.ආර්. ජයවර්ධන ගැන තියෙන අත්දැකීම් කොහොමද?   


හයෙන් පහක බලයක් තියාගෙන හිටපු පර්වතයක් වගේ මනුස්සයෙක් තමයි එච්චර දැඩි විදියට හිටපු ඔහුත් සසල වෙච්ච අවස්ථාවක් මට මතක් වෙනවා. මම මේ සිදුවීම එද‌ා ඩේලි නිව්ස් පත්තරේටත් ලිව්වා. දවසක් මම ගෙදර ආපු ගමන් රෑ එකොළහට විතර ගෙදර අය කිව්වා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කතා කළා හැකි ඉක්මනින් හම්බවෙන්න එන්න කිව්වා කියලා. ඊට කලින් මම ඔහුත් එක්ක ඒ හැටි කතාබහ කරලා නෑ. එක වතාවක් ආද‌ායම් බදු එකේ ඉද්දී බෞද්ධ සංගමේ රැස්වීමකට එතුමට ආරාධනා කරන්න හම්බ වුණා දේශනයක් පවත්වන්න.   ‘බෞද්ධාගම සහ මාක්ස්වාදය’ කියලා එතුමා දේශනයක් කළා ඇවිත්. ඒ ආරාධනය කළා ඇරෙන්න මම එතුමා එක්ක කතාබහ කරලා නෑ ඊට කලින්. හම්බවෙලා තිබුණෙත් නෑ. ජේ.ආර්. ජයවර්ධන අපේ ගෙදරට කතා කරලා මම නැති නිසා නොම්මරයක් දීලා තිබුණා ආවම කතා කරන්න කියලා. අපි දන්නවනේ ජේ.ආර්. හෙණ ලෝකයා කියලා. මම රෑ ඔතෙන්ට ගියාම පත්තරකාරයො එහෙම ඉඳලා ෆොටෝ ගහලා පස්සෙන්ද‌ා පත්තරවල ද‌ාවි ඔන්න මම රෑට ජේ.ආර්. හම්බවෙන්න රිංගුවා කියලා. ඒක නිසා මම ඔක්කොටොම කලින් පීටර් කේනමන් සහෝදරයාට කතා කරලා විස්තරේ කිව්වා. පීටර් සහෝදරයා කිව්වා ‘ඔබ මන්ත්‍රී ඒ ජනාධිපති මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇතිනේ කතා කළේ රෑම ගිහින් බලන්න’ කියලා. මම ඉතින් ගියා ජනාධිපති මන්දිරේට. මම කිව්වම ජනාධිපතිතුමා හම්බවෙන්න ආවේ කියලා ආරක්ෂක නිලධාරීන් කිව්වා එයාලට එහෙම දෙයක් දැනුම් දීලා නැති නිසා යන්න දෙන්න බෑ කියලා. මම කාර් එකට වෙලා හිටියා. 


පොඩි වෙලාවකින් ලලිත් ඇතුලත්මුදලි ඇවිත් මාව එක්කගෙන ගියා ඇතුළට. මම යනකොට ඇතුළෙ ‘කිචන්’ කැබිනට් එක රැස්වෙලා. ප්‍රේමද‌ාස, ලලිත්, ගාමිණී, හමීඩ් වගේ කීප දෙනෙක් තමයි හිටියේ. ජනාධිපතිගෙ මල්ලි හෙක්ටර් ජයවර්ධනත් හිටියා. මම ඇතුළට ගියාම ‘ඩිව් එන්න’ කියලා ජේ.ආර්. මට දුන්න රජිව් ගාන්ධි එවපු ලියුමක් කියවල බලන්න කියලා. දිනේෂ් ගුණවර්ධන, අනුර බණ්ඩාරනායක දෙන්නත් එයි කියලත් කිව්වා. මම ලියුම කියෙව්වා. උතුරට පරිප්පු ද‌ාපු සිද්ධියට අද‌ාළ කතාව තමයි තිබුණේ. රජිව් කියලා තිබුණේ ලංකා ආණ්ඩුව උතුරේ අයට කෑම අවහිර කරපු එකට මෙහෙත් පෙළපාලි යනවා. ඒක අපිටත් ප්‍රශ්නයක්. ඒක විසඳුවේ නැත්නම් මම ඒකට මැදිහත් වෙනවා, කියලා තර්ජනය කරල තිබුණේ. අපි උදේ තුන විතර වෙනකම් මේ ගැන සාකච්ඡා කළා. කොයිතරම් පර්වතයක් වුණත් සෙලවිලා හිටියේ ​ජේ.ආර්. ඒ වෙලාවේ. හයෙන් පහක බලය තිබුණත් මේ ගැන අපිත් එක්කත් සාකච්ඡා නොකර තීරණයකට යන්න සුදුසු නෑ කියලා. මම තමයි විසඳුම ඉදිරිපත් කෙරුවේ. ප්‍රේමද‌ාස කිව්වෙම යුද්දෙට යමු කියලා. ඒකට හේතුව මාස කීපෙකින් ප්‍රේමද‌ාස තරග කරන ජනාධිපතිවරණය එනවා. ඒක ඔළුවෙ තියාගෙන තමයි උපක්‍රමශීලීව ප්‍රේමද‌ාස අදහස් පළ කෙරුවේ. 


සිංහල ජනතාවගේ පැත්ත අරන් ඉන්දියන් විරෝධි තත්ත්වයකට තමයි ඔහුගේ කැමැත්ත තිබුණේ. මම තමයි කිව්වේ ආණ්ඩු දෙකේම ගෞරවය රැකෙන විදියට එයා උඩින් උතුරට ද‌ාන්න හදන කෑම රෙඩ් ක්‍රෝස් එකට දෙන්න. ඊට පස්සෙ අපි ඒක බෙදන්නම් කියලා. ඒකට එකඟවෙලා ප්‍රකාශයක් හැදුවා. ජේ.ආර්., ඊ.එල්. සේනානායකට පහුවෙනි ද වහාම කතා කරලා කිව්වා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ එක්කම ප්‍රේමද‌ාසට කිව්වා වෙන මොකුත් නොකියා හදපු ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. පස්සෙන් ද පාර්ලිමේන්තුව රැස්වුණා. පියන් කෙනෙක් අතේ ප්‍රේමද‌ාස මට එන්න කියල තිබුණා. මම ගියාම ප්‍රේමද‌ාස කිව්වා මට කතා කරන්න කියලා රජීව්ට විරුද්ධව. මම කිව්වා අපි කවුරුත් එකඟතාවයකින් ප්‍රකාශයක් හදපු එකේ එහෙම කරන්න බෑ කියලා. පාර්ලිමේන්තුව පටන් ගත්තම ප්‍රේමද‌ාස කතා කරන්න ගත්තා. අර හදපු ප්‍රකාශය පැත්තකින් තියලා පැයක් විතර රජිව් ගාන්ධිටයි, ඉන්දිරා ගාන්ධිටයි, පරපුරටයි පහර දුන්නා. ආණ්ඩුවේ ඇමැතිවරු මුණු ඔබාගෙන හිටියේ. කතාව කරල ඉවරවුණු ගමන් ප්‍රේමද‌ාස ගියා. නිශ්ශංක විජේරත්න මගේ ළඟට ඇවිත් කිව්වා ‘වළං කඩේට පැන්න ගොනා වගේ රට ඉවරයි.’ කියලා. පාර්ලිමේන්තුවේ ඉඳලා ගෙදර යද්දී ඉන්දියාව වැඩ පටන් අරගෙන. කෑම ද‌ානවා රට පුරා. ඉන්දියන් මහ කොමසාරිස් පාර්ලිමේන්තු ගැලරියේ හිටියනේ. එයා ටෙලිෆෝන් කරලා එවෙලෙම දැනුම් දීලා. ජේ.ආර්. ජයවර්ධනටත් කරගන්න දෙයක් නැති වුණා, එයාලගෙ වැරැද්දනේ.  


ජේ.ආර්. ප්‍රසිද්ධ ටිකක් කපටි දේශපාලන නායකයෙක් කියලනේ. ඔබලව බිලී බා ගන්න බැලුවෙ නැද්ද?  


එහෙම උත්සාහයක් ජේ.ආර්. ගත්තේ නෑ. මිනිස්සුන්ගේ හැටි බලලා තමයි ඔහු වැඩ කළේ. වමේ අය එක්ක බොහොම ප්‍රවේසමෙන් වැඩ කළේ. ජේ.ආර්. අපිත් එක්ක ඩීල් ද‌ාන්න ආවෙ නෑ කවද‌ාවත්. ප්‍රේමද‌ාස තමයි ඩීල් කාරයා.  


ප්‍රේමද‌ාස මොකක්ද ද‌ාපු ඩීල් එක?  


ප්‍රේමද‌ාස මම ගන්න කොයි තරම් උත්සාහ කෙරුවද?. පාර්ලිමේන්තුවෙදිම කිව්වා දවසක් ‘මම ඩිව් ගුණසේකරට කියනවා ඉදිරිපෙළට ඇවිත් වාඩිවෙන්න කියල, හෙට එනව නම් මම හෙට තැන දෙනවා.’ කියලා. මම ඒවට අහුවුණේ නෑ. ඒ කොහොම වුණත් හරි සුහදයි. මම ප්‍රේමද‌ාසට කියලා මගේ ආසනේ වැඩ ගොඩක් කරගත්තා. උදව්වක් ඉල්ලන පමාවට මට කරල දුන්නා. මගේ ආසනේ අබලන් වෙච්ච පාලමක් තිබිලා මම කිව්වම ඒක හදලා දෙන්න කියලා. එවෙලෙම අද‌ාළ අයට දැනුම් දුන්නා මාස තුනක් ඇතුළත වැඩ ඉවර කරලා ඩිව් අතින්ම විවෘත කරන්න කියලා කිව්වා. ඒ වගේම මාස තුනක් යන්න කලින් පාලම හදල මම විවෘත කළා. මං හිතන්නේ ඒ කාලේ ආණ්ඩුවෙන් දෙයක් කරලා විපක්ෂේ මන්ත්‍රීවරයෙක් විවෘත කළා නම් ඒ කලවානෙ පාලම තමයි.  


චන්ද්‍රිකා කුමාරතුංග බලයට ආපු ගමන් ඔබට රූපවාහිනියේ සභාපතිකම දෙන්න තරම් තිබුණු විශ්වාසය මොකක් ද?  


චන්ද්‍රිකා අගමැති වුණු ගමන් මට අයි.ටී.එන්. එක බාරගන්න කියලා කිව්වා. චන්ද්‍රිකා අගමැති විදියට දිවුරුම් දීලා එදාම රෑ ධර්මසිරි සේනානායක මට කතා කරලා කිව්වා. ‘ඩිව්ට අයි.ටී.එන්. එක බාරගන්න කියන්න කියලා චන්ද්‍රිකා කියනවා ඇවිත් වැඩේ බාරගන්න’ කියලා. මම කිව්වා මම ටෙලිවිෂන් කරන්න දන්නෙ නෑ. මට පුළුවන් ටෙලිවිෂන් බලන්න විතරයි කියලා. පහුවද‌ා උදේ චන්ද්‍රිකා කතා කළා. මම චන්ද්‍රිකාටත් ඒ උත්තරේම දුන්නා. එතකොට චන්ද්‍රිකා කියනවා. ‘දැන් මම අගමැතිකම් කරලා තියෙනවද මීට කලින්. ධර්මසිරි ජනමාධ්‍ය ඇමැතිකම් කරල තියෙනවද, මීට කලින්. කියන දේ අහල අභියෝගය බාරගන්න’ කියලා. ටෙලි​ෆෝන් එක තිබ්බා. මමත් අභියෝගය බාර ගත්තා ඉතින්. අපි එකට වැඩ කරල තියෙනවනේ ගොඩක්. ඒ දැන හැඳුණුම්කම උඩ චන්ද්‍රිකා මගේ හැකියාව ගැන අදහසක ඉදලා තමයි ඒ අභියෝගය බාර දෙන්න ඇත්තේ.  
 මම තමයි දේශපාලන සත්ත්වයෙක් විදියට පළවෙනි වතාවට රූපවාහිනියේ සභාපතිකමට පත්වුණේ. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ වැඩි කාලයක් එක දිගට ඒ ධුරයේ කටයුතු කරලා තියෙන්නෙත් මමයි. මම කිසිම පක්ෂයකට මතයකට ගැති නොවී මගේ ප්‍රතිපත්ති උඩ වැඩේ කරගෙන ගියා. කාගෙවත් බලපෑම්වලට යටවුණේ නෑ. පළවෙනි දවසෙම සියලු සේවකයෝ කැඳවලා මම කිව්වේ මගේ දේශපාලනය අර ඉස්සරහා තියෙන ගේට්ටුවෙන් එළියේ තියලා මම මේ පුටුවෙ ඉදගන්න ආවේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න සූද‌ානම් වෙන්න කියලා.  


ඔබ ආණ්ඩු දෙකක විවිධ ඇමැතිකම් දැරුවා. කතානායක වෙන්නත් වතාවක් තරඟ කළා. ආපහු පාර්ලිමේන්තු එන අදහසක් නැද්ද?  


ඔව්. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමැතිකම දැරුවා. ඒකට එකතු කරල තිබුණා ජාතික ඒකාබද්ධතා කොටසක්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගෙ දෙවෙනි ධුර කාලයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ඇමැති විදියට කටයුතු කළා. ආපහු ඉතින් පාර්ලිමේන්තු එන අදහසක් නෑ. පක්ෂ ලේකම්කමෙනුත් දැන් අයින් වෙච්ච එකේ ආපහු පාර්ලිමේන්තු එන අදහසක් නෑ.  


ඒ කියන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගත්තද?  


 අපෝ නෑ. එහෙම විශ්‍රාම යන්න බෑනේ, දේශපාලනඥයෙකුට. තනතුරු දරන්නේ නෑ. ඒත් ඇස් දෙක පියවෙනකම් දේශපාලනය කරනවා.  

 

 

 

පිළිසඳර -  ප්‍රියන්ත කොඩිප්පිලි