ඩුබායි රටේ රිය අනතුරකින් ඔත්පල වූ ලාංකික සේවිකාවට ඩිරාම් මිලියනයක වන්දියක්


හීන දහසක් මැද අපේ රටේ ඇතැම් කාන්තාවන් එතෙර ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා අවස්ථා සඳහා පිටත්ව යනු ලබන්නේ තමන් ගත කරන ජීවිත තත්ත්වය වඩාත් සුඛිත මුදිත කර ගැනීම සඳහාය. අපේ රටේ කාන්තාවන් මෙසේ විදෙස් ගත වන්නේ අද ඊයෙක සිට නොවේ. දැනට දශක හතරක පමණ සිට සිදුවන මේ ක්‍රියාවලිය හමුවේ මොවුන් කීයෙන් කීදෙනකුගේ ජීවිත ඔවුන් හීන මැවූ පරිදි ගොඩගැනීමට හැකි වුණාදැයි සොයා බැලුවහොත් බහුතරයක් කාන්තාවන්ගේ තත්ත්වය දුක්ඛිතය. 

 
ඇතැම් විටක විදේශ ගතවන සමහර ලක් කතුන් ඔවුන් සිටියාටත් වඩා දුක්ඛිත තත්ත්වයට පත්වෙති. ඊට මෑතකදී කදිම උදාහරණයක් සැපයුවේ තරංගා දිල්රුක්ෂි නම් අපේ කාලයේ තරුණ කාන්තාවකි.   
තම පවුල වෙනුවෙන් යස ඉසුරු ගොඩ නගා ගැනීම වෙනුවෙන් වසර කිහිපයකට පෙර තරංගා මැදපෙරදිග ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගියේ මල් වැනි තම දරු දෙදෙනා සැමියාගේ බාරයේ තබාය. අතපය හතර හොඳින් තිබූ තරංගා එහි සේවය කරමින් සිටියදීම අදින් වසරකට පෙර නොසිතූ පරිදි රෝද පුටුවකට සීමා වූවාය. එය ඉතාම අවාසනාවත්ත සිද්ධියකි. රියැදුරු ආචාර ධර්මවත් හරිහැටි නොපිළිපැදි රියැදුරකුගේ ක්‍රියාවක් නිසා ඇය කිසිවක් තනිව කරගත නොහැකි ලෙස ආබාධිත සහිත තත්ත්වයට පත්වූවාය.  


යස ඉසුරු රැගෙන එන්නට ගොස් ඇයට රෝද පුටුවක තනි වන්නට සිදු වුවද ඇයගේ හිතේ හයිය නම් අඩුවක් නැත. මේ තත්ත්වය මත ඇය ඩුබායි අධිකරණය හමුවේ නීතියේ පිළිසරණ පතන්නේ ඒ ගැන දැඩි අදිටනකිනි. ඇයට එහිදී සාධාරණය ඉටුවිය.  


මෙම අනතුරින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් වූ තරංගා දිල්රුක්ෂිට ඩිරාම් මිලියනයක වන්දි මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක්) ගෙවන්නැයි එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයකුට ඩුබායි අධිකරණය ඉකුත්දා නියෝග කළේය.   
45 හැවිරිදි මෙම කාන්තාවට ඩුබායි අධිකරණයෙන් වූ සාධාරණත්වය ගැන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්සු පුවත් සේවය වාර්තා කරනු ලැබුවේ මහත් ජයග්‍රාහී ලෙසිනි.   


එම රිය අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි මහත්මිය ගල්ෆ් නිව්ස් පුවත් සේවය වෙත පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවය.   
තමා එම අවස්ථාවේ පාර හරහා ගමන් කරමින් සිටි බවත් ඉන්දියානු ජාතිකයකු පැදවූ වෑන් රථයක් තමා යට කරගෙන ගිය බවත්, පසුව ඩුබායි රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000ක දඩයක් නියම කළ බව ඇය කීවාය.   


නමුත් මාව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රියැදුරුගෙන් වන්දි ඉල්ලා ඩුබායි අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පැවරීමට මම තීරණය කළා. එයට ඩුබායි හි වයි.ඒ.බී. නීති සමූහයේ නීති නියෝජිත සලාම් පපිනිස්සෙරි මහතා ස්වේච්ඡාවෙන් දායක වූ බව ද ඇය කියා සිටින්නීය.   
ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ලිපිලේඛන තහවුරු කරගත් අතර අවසානයේ දිල්රුක්ෂිගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනයක් ප්‍රදානය කරන්නැයි විත්තිකාර ඉන්දීය ජාතික රියැදුරුට නියම කරනු ලැබීය.   


1995 වර්ෂය සඳහා වූ ඩුබායි රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව ලාංකික ගෘහ සේවිකාවට වන්දි ගෙවිය යුතු බවත්, නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවත් ඩුබායි අධිකරණය තරංගාගේ නඩු විභාගයේ තීන්දුව ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.   
ලංකාවේ අඩු ආදායම්ලාභී පවුලක තැනැත්තියක වන තරංගා දිල්රුක්ෂි මහත්මිය පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වීමෙන් පසු මව් රටට පැමිණ සිටින්නීය. ඇය සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනකු සමග අසීරුවෙන් ජීවිතය ගත කරන්නීය. ඇයගේ ඕනෑ එපාකම් විමසීමට ඇයට දැන් සිටින්නේ ඔවුන්ය.   


ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තාවලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත්, ඇයට හැම විටම තවත් කෙනකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බවත් ඇයගේ ඩුබායි නීතිඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත.  


තරංගාට මෙලෙස සාධාරණයක් ඉටු වුවද සාධාරණත්වයේ නාම මාත්‍රික දෙයක්වත් ඉටු නොවන අපේම කතුන් බොහොමයක් තවමත් විදේශගතව සේවය කරති.   


විදෙස්ගතව දුක් විඳ දිවයිනට පැමිණෙන කාන්තාවන් තමන් මුහුණ පෑ දුක්ඛ දෝමනස්සයන් කොතෙකුත් මාධ්‍ය හරහා පැවසුවත් සෙසු කාන්තාවන් අපිට එසේ නොවෙතැයි සිතා තවදුරටත් විදෙස්ගත වෙති.   
ගෝලීයකරණ සංකල්පය හමුවේ ශීඝ්‍රයෙන් කාර්මීකරණය වන ලාංකීය සමාජයේ සංකීර්ණ අවශ්‍යතා සපුරාගත නොහැකිය. එනිසා පවුල තුළ තම සාම්ප්‍රදායික කාර්යභාරයෙන් මිදී එතෙර රන් කහවණු සොයා යාමට ලාංකීය කාන්තාවට සිදුවීම ඇය අභිමුව අභියෝග රැසක් මෙන්ම සමාජ ගැටලු රැසක් ද ඇති කරවන්නකි. 

 

සටහන
තිළිණි ද සිල්වා