ඩොලර් ලක්ෂ දෙකහමාරකට අලෙවි වූ ක්‍රිකට් පිත්ත


 

 

ගොල්ෆ් පන්දුවක් සිය නිවස අසල තිබූ වතුර ටැංකියක එල්ලා එය ටැංකියට ගසා නැවත එන විට විකට් කරුවකින් ගැසූ පුංචි කොලු ගැටයෙක් කාලයාගේ ඇවෑමෙන් ක්‍රිකට් පිත්තක් අතට ගත්තේය.   


ඒ ක්‍රිකට් පිත්ත එදා මෙදා තුර ඕනෑම ක්‍රීඩාවකින් යම් පුද්ගලයකු දැක්වූ ඉහළම දස්කම් දැක්වීමේ අසමසම වූ වාර්තාවකට හිමිකම් කියන පුද්ගලයකු බිහි කරන ලදී.   


ඔහු ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් හෙවත් ඩොන් බ්‍රැඩ්මන්ය.   


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඉනිමක සාමාන්‍ය 99.94ක් වැනි විශාල අගයක රඳවා ගැනීමේ දක්ෂතාවක් දැක්වූ ඔහු ක්‍රිකට් ඉතිහාස‍යේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා පමණක් නොව විශිෂ්ටතම ඕස්ට්‍රේලියානුවා ලෙස ද සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 

 
වෙනත් කිසිම ක්‍රීඩාවක නිරත වූ කිසිවෙකුට එවන් දස්කමක් දැක්වීමට කිසිදු දිනක හැකි වී නැත.   
1908 වර්ෂයේ අගෝස්තු මස 27 වැනි දා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බෝරල් නම් ගමේ දී ජෝර්ජ් සහ එමිල් නම් යුවළගේ බාලම පුතු ලෙස උපත ලැබූ ඔහු කුඩා කාලයේ පටන් ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දැක්වූවේය.   


ක්‍රිකට්, ටෙනිස්, බේස්බෝල් හා පාපන්දු වැනි ක්‍රීඩා සියල්ලටම දස්කම් දැක්වූ ඔහු නිරන්තරව ස්වෝත්සාහයෙන් කරන ලද පුහුණුව සාර්ථකත්වයට හේතු වූයේය.   


1920 දී අළුබදුන තරගාවලියේ දී සිඩ්නි පිටියේ පැවැති තරගයක් නැරඹීමට සිය පියා සමග ගිය ක්‍රීඩා බ්‍රැඩ්මන් එදා එංගලන්තය හමුවේ අමාරුවේ වැටී සිටි ‍ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගොඩගත් චාර්ල්ස් මැකාට්නිගේ සුපිරි ඉනිම දැක ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් ඇතිකරගත්තේය.   


තමන් ඉගෙනුම ලැබූ බොව්රල් මහජන විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට එක් වූ බ්‍රැඩ්මන් පළමු ශතකය වාර්තා කරන්නේ මිටගොන් උසස් පාසලට එරෙහිව පැවති තරගයක දී ලකුණු 115ක් ලබමිනි. පිළිගත් තරගයක දී ඔහු ලැබූ පළමු ශතකය එයයි.   


මේ වනවිට බොව්රල් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සිය මාමා ජෝර්ජ් වට්මන් සමඟ තරග නැරඹීමට ගිය බ්‍රැඩ්මන්ට ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු සටහන් කිරීමට ද අවස්ථාව ලැබී තිබිණි.   
ලකුණු සටහන් කරමින් සිටි බ්‍රැඩ්මන්ට කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක් ලැබිණි. ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩකයකු ආබාධයකට ලක්විය. කිරීමට කිසිම දෙයක් නොවූ තැන මේ කුඩා පාසල් ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබිණි. එදා එම කණ්ඩායමේ නැංගුරමක් වූ කුඩා බ්‍රැඩ්මන් පළමු ඉන්මේ නොදැවී ලකුණු 37ක් ද දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 29ක් ද රැස්කළේ සියලු‍ දෙනාගේ අවධානය තමන් දෙසට නතු කරගනිමිනි.   
පාස‍ල් අධ්‍යාපනයට සමුදුන් බ්‍රැඩ්මන් දේපළ වෙළෙඳාම් සමාගමක රැකියාවකට එක්වූයේය. එහි හිමිකරුවා ක්‍රිකට් ලෝලියකු වූ බැවින් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ බ්‍රැඞ්මන්ගේ සිහිනය දැන ඔහුට පුහුණුවීම් සඳහා ඇති තරම් විවේකය ලබාදීමට කටයුතු කර තිබිණි. මෙය බ්‍රැඩ්මන්ට යළි ප්‍රාන්ත තරග සඳහා එක්වීමට හොඳ අවස්ථාවක් විය. 1925-26 තරග වාරයේ දී බොව්රල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ බ්‍රැඩ්මන් ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි ටෙස්ට් පන්දු යවන්නන්ට පවා දිගට හරහට බැට දෙමින් දස්කම් දක්වන්නට විය.   


එවකට ඕස්ට්‍රේලියාවේ සිටි අති දක්ෂ පන්දු යවන්නකු වූ බිල් ඒ. රයිල් සිටි කණ්ඩායමට එරෙහිව ඔහු තම ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළේ ලකුණු 234ක් ලබාගනිමිනි. ඉන් පසු පැවැති තරගයේ දී ඔහු මොස්වැලේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 320ක් රැස් කළේය.   


මේ අතර 1926 දී එංගලන්තය සමඟ තරගාවලියක දී ලැජ්ජාසහගත පරාජයක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් සමුගැනීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් බ්‍රැඩ්මන් ගැන ද අවධානය යොමු කළේය.   


බොව්රල් කණ්ඩායමට ක්‍රීඩා කළ බ්‍රැඩ්මන්ට නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ දොරටුව විවර විය. ඒ අනුව ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේ දී ඔහු තම පළමු පෙළ තරගයට සහභාගී වන විට 19 වැනි වියේ පසු වූ හෙතෙම එම පළමු තරගයේ දී ම ශතකයක් රැස් කළේ පුවත්පත්වල පවා අවධානය දිනාගනිමිනි.   
මෙලෙස දැක්වූ දස්කම් හේතුවෙන් ම ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට 1928-29 එංගලන්තය හා පැවැති අළු‍බදුන තරගාවලියේ දී ටෙස්ට් වරම් හිමිවිය.   


පළමු තරගයට ම ඔහුට තරග කරන්නට අවස්ථාවක් ලැබුණ ද සාර්ථක වන්නට හැකිවූයේ නැත. ඒ තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 675කින් පරාජය වූයේ ඉතිහාසයේ වඩාත් නින්දාසහගත පරාජයක් උරුම කරගනිමිනි.   
දෙවැනි ටෙස්ට් තරගයේ බ්‍රැඩ්මන්ඞ් අතිරේක ක්‍රීඩකයා විය. තෙවැනි තරගයේ යළි ඔහුට අවස්ථාව ලැබිණි. තරගය පැවැතියේ මෙල්බර්න් පිටියේ දී ය. එම තරගයේ දී පළමු ඉනිමේ ලකුණු 79ක් රැස්කළ බ්‍රැඩ්මන් දෙවැනි ඉනිමේ ලකුණු 112ක් වාර්තා කළේ ටෙස්ට් තරගයක දී ශතකයක් රැස්කරගත් ලොව ලාබාලම ක්‍රීඩකයා වීමේ ගෞරවය ද හිමිකර ගනිමිනි.   


ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ගේ පිත්ත ඉන් පසු දිගින් දිගටම ක්‍රියාත්මක විය. ඔහු සහභාගී වූ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ලකුණු 123ක් රැස්කළ අතර ඉන් පසු එළැඹි එංගලන්ත සංචාරයේ ක්‍රීඩකයන් තෝරාගැනීමේ පුහුණු තරගයේ දී පළමු ඉනිමට ලකුණු 124ක් රැස්කිරීමට ද ඔහු සමත්විය. ඔහුගේ ස්ථාවරත්වය හේතුවෙන් ම දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරුවා වීමට ඔහුට අවස්ථාව ලැබිණි. එදා පළමුවරට ආරම්භක පිතිකරුවා වූ ඔහු දවාගැනීමට ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් නොලැබිණි. ඉනිම අවසන් වනවිට බ්‍රැඞ්මන් ලකුණු 205ක් රැස්කරගෙන සිටියේය.   


ඉන් පසු ක්වීන්ස්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයක දී ලකුණු 452ක් රැස් කිරීමට ඔහු සමත් වූයේ ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.   


දිගින් දිගටම පිතිකරුවකු ලෙස ස්ථාවර වෙමින් අසාමාන්‍ය දක්ෂතා දැක්වූ බ්‍රැඩ්මන් 22 හැවිරිදි වියට පැමිණෙන විට අළුබඳුන වාර්තා, ඔස්ට්‍රේලියා තරග වාර්තා මෙන්ම ලෝක වාර්තා රැසක් ද තමන් නමට ලියාගැනීමට සමත්ව සිටියේය.   


එංගලන්තය සමඟ පැවැති එක් තරගාවලියක දී ලකුණු 974ක් රැස්කරගත ඔහුගේ ඉනිමක සාමාන්‍ය 139.14ක් විය. එහි දී ඔහු ද්විත්ව ශතක දෙකක් හා ත්‍රිත්ව ශතකයක් ද රැස්කරගත්තේ තවමත් නොබිඳුණු වාර්තාවක් සටහන් කරමිනි.   


1930 අළුබඳුන තරගාවලියවන විට එංගලන්ත ක්‍රීඩා ලෝලීහු ද මේ අපූරු ක්‍රීඩකයා දැක ගැනීමේ නොනිත් ආශාවෙන් පසුවූහ. ඔහු එංගලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිවේ දී ලකුණු 334ක් ලබාගනිමින් එංගලන්ත පන්දු යවන්නන්ට පහර පිට පහර දුන්නේ එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ ම ඔල්වරසන් මධ්‍යයේය. එය එවකට ටෙස්ට් පිතිකරුවකු ඉනිමක ලැබූ ඉහළම ලකුණු ගණන ලෙස වාර්තා පොත් අතරට එක්විය.   


එංගලන්ත ඕස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් තරගයෙන් පසු ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම අතර පුහුණු තරගයක් පැවතිණි. ග්ලැමෝගන් කණ්ඩායමේ නායකයා වූමේ මොරිස් ටර්න්බුල් නමැති ක්‍රීඩකයෙකි. මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව දිනය අවසානය දක්වාම පිතිකරණයේ යෙදුණු අතර බ්‍රැඞ්මන්ඞ් සිය අර්ධ ශතකය ආසන්නයේ සිටියේය. ඒ මොහොතේ පන්දු යැවූ ඩායි ඩේවිස් විසින් බ්‍රැඩ්මන් අසීරුතාවකට පත්කරමින් සිටි අතර ඔහු බ්‍රැඩ්මන් දවාගනු ඇතැයි සිතූ ප්‍රතිවාදි නායකයා මේ පන්දුයවන්නා ඉවත්කර වෙනත් පන්දු යවන්නකු යෙදවූවේ සියල්ලන් පුදුමයට පත්කරමිනි.   


මේ ගැන පන්දු යවන්නා පවා නායකයාගෙන් ප්‍රශ්න කර තිබුණි මොරිස් පසුව පවසා තිබුණේ මෙවැනි කතාවක්.   


“එදා ඩේවිස් බ්‍රැඩ්මන් මොහොතකින් දවා ගන්නා බව මම දැන සිටියා. එය අපිට අවාසියක්. ඊට පසු දිනය නිවාඩු දිනයක්. බ්‍රැඩ්මන්ගේ දස්කම් බලන්න පසුදා ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරෙනවා. ඒක අපිට ආර්ථික වශයෙන් වාසියක්. ඒ නිසා පසුදා දක්වා බ්‍රැඩ්මන් ක්‍රීඩා කළ යුතුයි කියා මා තීරණය කළා. ඒ නිසා පන්දු යැවීමෙන් ඩේවිස් ඉවත් කළා.”   


ඔහු කී දෙය සත්‍යයක් විය. ඩේවිස් ඉවත් කළ මොහොතේම බ්‍රැඩ්මන් සිය අර්ධ ශතකය ලබාගත්තේය. එමෙන්ම පසු දිනය ස්වන්සි නගරයේ ශාන්ත හෙලෙන්ස් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබිණි. නමුත් බ්‍රැඩ්මන් ලකුණ 58 දී දැවී ගොස් තිබිණි.   


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රථම ඕස්ට්‍රේලියානු සංචරයේ දී බ්‍රැඩ්මන් කොදෙව්වන්ට රිදෙන්නට බැට දුන්නේය. එම තරගාවලියේ තුන්වැනි තරගයේ පළමු ඉනිමේ ලකුණු 223ක් හා සිව්වැනි තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 152ක් රැස්කළේය.   


1930 වන විට 22 හැවිරිදි මේ ක්‍රීඩකයා අනිකුත් කණ්ඩායම්වලට කොතරම් හිසරදයක් වූවේ ද යන්න ඔහුගේ වාර්තා පිරික්සීමෙන් පෙනී යයි. එම වර්ෂයේ දී පමණක් ටෙස්ට් තරග 15ක දී ඉනිම 18ක් ක්‍රීඩා කළ බ්‍රැඩ්මන් ලකුණු 2227ක් රැස්කරගෙන සිටියේ සාමාන්‍ය 131.00 ට හිමිකම් කියමිනි. ඉන් ලකුණු 856ක් ම හතරේ පහරවලින් රැස්කරගත් ඒවා විය. එම ලකුණු අතරට ද්විත්ව ශතක 06ක් ඇතුළත් විය.   


එංගලන්ත ක්‍රිකට් පරිපාලනයට මේ වනවිට තිබූ විශාලතම ගැටලු‍ව වූයේ බ්‍රැඩ්මන් දවාගත හැකි පන්දු යවන්නකු සොයා ගැනීමයි. නමුත් ඔවුන්ගේ සියලු‍ උපායන් අසාර්ථක විය.   


1934 වර්ෂයේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා බවට පත්වූයේය. 1937දී අළු බඳුන තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිකරගත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් එම තරගාවලිය ජය ගැනීමට සමත්වූයේ පිත්තෙන් ද දස්කම් දක්වමිනි. එම තරගාවලියේ ඉනිමක දී ලකුණු 270ක් රැස්කරන්නට ද ඔහු සමත් වූයේය. 

 
1938 එංගලන්ත සංචාරය ද බ්‍රැඩ්මන්ගේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට වූ තරගාවලියක් විය. එහි දී ඉනිම් 26ක දී ශතක 13ක් රැස් කළේය. එහි දී ලකුණු 2429 රැස් කළ බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක වැඩිම ලකුණු සාමාන්‍ය වූ 115.66 ට හිමිකම් කියයි.   

 


1940 දී රාජකීය ගුවන් හමුදාවේ සේවයට බැඳුණු බ්‍රැඩ්මන් ලු‍තිනන් වරයකු ලෙස වික්ටෝරියා හමුදා පාසලේ ශාරීරික පුහුණු කටයුතු මෙහෙයවූයේය. එමෙන්ම 1940 දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසාම නයිට් පදවියෙන් පිදුම් ලැබූ අතර මෙය ක්‍රිකට් ක්‍රීඩකයකු නයිට් පදවියෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාවයි.   
ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ ‍මේ අග්‍රගණ්‍ය පිතිකරුවා එරට සාර්ථක ම නායකයකු ලෙස ද පිළිගැනේ. 1948 අගෝස්තු මස 18 වැනි දා ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගයට සහභාගී වූයේ එංගලන්තයට එරෙහිවය. එම තරගයේ දී ඔහු නොදැවී සිටියේ නම් හෝ තවත් ලකුණු 4ක් ලබාගැනීමට සමත්වූයේ නම් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඩ්මන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉනිමක සාමාන්‍යය 100.00ට හිමිකම් කියන්නට තිබිණි.   
ඔහු පිහිටවූ වාර්තා අතර ටෙස්ට් තරගාවලි 05ක දී ලකුණු සාමාන්‍යය 201.50 ක් ලබා අසමසම වාර්තාවකට හිමිකම් කියයි. එමෙන් ම ත්‍රිත්ව ශතක 02ක් ලබාගත් පළමු ක්‍රීඩකයා වූ අතර පසුව බ්‍රයන් ලාරා එම වාර්තාව සම කළේය. එංගලන්තයට එරෙහිව ලකුණු 5000ක් ඉක්මවා රැස්කරමින් එක් රටකට එරෙහිව ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද ඔහු හිමිකම් කීවේය. එමෙන්ම එක් දිනකදී ලකුණු 309ක් රැස්කරමින් දිනක දී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාට හිමි වාර්තාවත් බ්‍රැඩ්මන් තමන් සතුකරගෙන ඇත.   
පළමු පෙළ තරගවල දී ලකුණු 28,067ක් රැස්කරගෙන ඇති බ්‍රැඩ්මන් පළමු පෙළ ලකුණු 95.15කට හිමිකම් කියයි. පළමුපෙළ තරගයක දී ඔහු රැස්කරගෙන ඇති වැඩිම ලකුණු ගණන 452කි. බ්‍රැඩ්මන්ගේ විශේෂත්වය වන්නේ ඔහු ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලයේ දී සමස්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම රැස්කරන ලද ලකුණු සංඛ්‍යාවෙන් 26%ක් ම හිමිකරගෙන තිබීමයි.   


බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් රැස්කරගෙන ඇති අතර ඔහු අසලට පැමිණි කුමාර සංගක්කාර ද්විත්ව ශතක 11ක් හා බ්‍රයන් ලාරා ද්විත්ව ශතක 09ක් රැස්කරගෙන තිබේ.   


බ්‍රැඩ්මන්ගේ ක්‍රීඩා දිවියේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ එංගලන්තයයි. ඔවුන්ගේ ජයග්‍රහණ රැසක් බ්‍රැඩ්මන්ගේ හැකියාව නිසාම ඕස්ට්‍රේලියානුවෝ උදුරා ගත්හ. එහෙත් ඔහුගේ දක්ෂතා කොතරම් ප්‍රකට වූයේ ද යත් 1948 වනවිට එංගලන්තයේ වඩාත් ජනප්‍රියම පුද්ගලයා වූ වින්ස්ටන් චර්චිල්ට පසු ජනප්‍රියම පුද්ගලයා වූයේය.   
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් දැක්වූ මේ සුවිශේෂී දක්ෂතා නිසාම ඔහුට ලැබුණු නයිට් පදවියට අමතරව 1979 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ “ කම්පෑනියන් ඔෆ් දි ඕඩර්” සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන් ම 20 වැනි සියවසේ බිහිවූ හොඳම ක්‍රීඩකයන් 10 දෙනා අතරට එක්වූ බ්‍රැඩ්මන් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස 2000 වර්ෂයේ දී විස්ඩන් සඟරාව විසින් නම් කෙරිණි. 20 වැනි සියවසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි විශිෂ්ඨතම නායකයා ලෙසින් ද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සම්මානයට පත්විය.   


පළමු වරට ඕස්ට්‍රේලියාවේ සංචරය කළ ටෝනි ග්‍රේග් ‍ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හමුවීමේ දැඩි ආසාවකින් පසුවිය. මේ සඳහා මඟක් සොයමින් සිටිය දී ඔවුන් හමුවට ආ උපැස් යුවළක් හා දුඹුරු පැහැති කබායක් පැලඳි ආගන්තුක පුද්ගලයෙක් ටෝනි ඇතුළු පිරිස ඇඩිලේඩ් වෙත පිළිගන්නා බව කීවේය. ඉන් පසු ඔහු ටෝනි ඇතුළු පිරිසට කෝපි පානයටත් ආරාධන කළ අතර එය මදිකමක් ලෙස සැලකූ ටෝනි ඇතුළු පිරිස ඔහුගෙන් ගැලවී යාමට මඟක් සොයමින් සිටියහ.   


ඔහුට තම ගමන් මළු භාර දුන් ටෝනි ඇතුළු පිරිස වැසිකිළියට ගිය ද ඔවුන්ට මේ ආගන්තුකයාගෙන් ගැලවී යාමට හැකිවූයේ නැත. කෝපි පානය කරන අතරතුර ආගන්තුකයා සමඟ පැමිණි සියලු‍ දෙනාට ද ක්‍රිකට් ගැන හොඳ අවබෝධයක් ඇති බව ද වැටහිණි.   


“ඔබට මේ ප්‍රදේශයේ ක්‍රිකට් සමඟ සම්බන්ධතාවක් ත‍ිබෙනවා ද ?” ටෝනි ග්‍රේග් අමුත්තාගෙන් විමසුවේය.   
නමුත් ඔහුගෙන් කිසිදු පිළිතුරක් නැත. මේ නිසා ටෝනි දිගින් දිගටම මේ තිදෙනාගෙන් ප්‍රශ්න අසමින් ඔවුන් අමාරුවේ දැමීමට උත්සාහ ගනිමින් සිටියේය. 

 
මේ සමග සර් ගාෆීල් සෝබර්ස් දොර ඇරගෙන එහි ඇතුළුවිය.   
“සර් බ්‍රැඩ්මන්, කොහොම ද ඔබ සනීපෙන් ද ?” යැයි ඔහු විමසුවේය.   


තමන් මෙතෙක් කතා කරමින් සිටියේ ඕස්ට්‍රේලියාවේ දී තමන් දැකීමට ආසාවෙන් සිටි සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ බව දැනගත් ටෝනි ග්‍රේග් එදා මහත් සේ ලැජ්ජාවට පත්වූයේය.   


ඒ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ස්වරූපයයි.   


කොතරම් විශිෂ්ටයකු වුව ද, ලොවේ ම අවධානය දිනාගත් දක්ෂතා දැක්වුව ද, සියවසේ විශිෂ්ටයා වුව ද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ජීවිතය මල් ඇතිරූ යහනාවක් වූයේ නැත. එය දුක් කම්කටොලුවලින් බහුල එකකි.   
කුඩා කාල‍යේ දී ම දැන හඳුනාගෙන සිටි ජෙසී මාර්තා මෙන්සිස් සමඟ වයස අවුරුදු 24 දී එනම් 1932 දී විවාහ වූ බ්‍රැඩ්මන් පවසා ඇත්තේ තම ජයග්‍රහණ සියල්ලේම සෙවණැල්ල ලෙස බිරිඳ සිටි බවයි. මේ යුවලට දරුවන් තිදෙනකු ඉපදුණ ද පළමු දරුවා ඉපදී දින දෙකකින් මියගියේය. දෙවැනි පුතු ජෝන්ට පෝලියෝ වැලඳුණු බැවින් ජීවිත කාලයම ඔහුට දුක් විදින්නට සිදුවිය. තුන්වැන්නා දියණියකි. ඇය ද රෝගී දරුවකු වීම ගැන බ්‍රැඩ්මන් සිටියේ දැඩි කනස්සල්ලකිනි. පිය පුතු දෙදෙනා අතර එතරම් සුහඳතාවක් ද වූයේ නැත. නමුත් බ්‍රැඩ්මන්ගේ බිරිඳ ජෙසී පිළිකාවකට ගොදුරු වී 1997 දී මියයාමත් සමඟ පුතා පියාට සමීප වූයේය.   


මේ සුවිශේෂී මිනිසා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ඔහුගේ රුව සහිත මුද්දරයක් නිකුත් කළ අතර ජීවත්ව සිටින පුද්ගලයකු වෙනුවෙන් නිකුත් කරන ලද පළමු සහ එකම මුද්දරය එයයි.   


මේ වනවිට ඔහු ඉපදී හැදී වැඩුණු නිවස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් කෞතුකාගාරය බවට පත්කර ඇත. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සමත්කම් දැක්වූ අයකු නො වෙයි. ඔහු හොඳ පරිපාලකයෙකි. පුළුල් චින්තකයෙකි. දාර්ශනිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ලියූ ලේඛකයෙකි. පියානෝ වාදකයෙකි.   
2001 පෙබරවාරි මස 25 වැනි දා ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මියගියේය. ඒ වනවිට 92 හැවිරිදි වියේ පසුවිය. ඕස්ට්‍රේලියාව ඔහුගේ නමින් එච්.එම්.එස්.බ්‍රැඩ්මන් ලෙස නෞකාවක් ද නම්කර තිබේ. එය දැන් ලෝකය වටා සංචාරය කරයි.   


බ්‍රැඩ්මන් 1928 දී සිය මංගල ටෙස්ට් තරගයේ දී භාවිතා කළ හිස් වැස්ම 2020 දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් 450,000කට වෙන්දේසි විය. ඕස්ට්‍රේලියාවේ කෝටිපතියකු වූ පීටර් ෆ්‍රීමන් විසින් එය මිල දී ගනු ලැබීය.   
එමෙන් ම පසුගිය දා ඔන්ලයින් ක්‍රමයට පැවැති වෙන්දේසියක දී බ්‍රැඩ්මන් භාවිතා කළ කිකට් පිත්තක් ඇමෙරිකානු ඩොලර් 245,000ක මුදලකට අලෙවි වී තිබේ. එය 1934 වර්ෂයේ දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිතා කළ පිත්තයි. එම පිත්තෙන් ඔහු ලකුණු 304ක් එක් දිනක් තුළ රැස්කරගෙන ඇති අතර එය පිත්ත භාවිතයෙන් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ලකුණු 244ක් ද රැස්කරගෙන තිබේ. මේ ඉනිම් දෙක පිළිබඳව ම බ්‍රැඩ්මන් විසින්ම පිත්තේ පිටුපස සටහන් කර තිබීම විශේෂත්වයකි.

 

 

සජීව විජේවීර