ලෝකය වටා සැරිසරන්නට හීන දකින බොහෝ යුවතියන් අතර ඒ හීනෙට පියාපත් දෙමින් තම සිහින සැබෑ කර ගත් යුවතියක් මෙවර සංචාරකයාට හමු විය. අවාරේ සිරිපා කරුණා කරමින් බොහෝ යුවතියන් අතර ප්‍රසිද්ධියට පත් ඇය ගීමාලි විශ්වනීය.
Q: විශ්වනී ට්‍රැවල් කරන්නෙ තනියම. මේ ට්‍රැවල් ලයිෆ් එකේ ආරම්භය වෙන්නෙ කොතැනද?
වසර කිහිපයකට කලින් මගේ ජීවිතේ යම් කඩාවැටීමකට ලක් වුණා. ඒ ආතතියෙන් මිදෙන්න තමයි මම සංචාරයට පෙලඹුණේ. 2022 ඔක්තෝබර් පළවෙනිදා තමයි මම ඉස්සෙල්ලාම ට්‍රැවල් කරන්න පටන් ගත්තෙ. ඒ යකාගෙ පඩිපෙළ කළුපහනට. ඊට පස්සෙ මම වැඩිපුරම ගිහින් තියෙන්නෙ මධ්‍යම කඳුකරේ ආශ්‍රිත කඳු පන්තිවලට. ඊට පස්සෙ අවාරයට වාර කිහිපයක්ම සිරිපාදේ කරුණා කරලා තියෙනව. තනියම නකල්ස් කඳු පන්තියෙ සෑහෙන්න ප්‍රමාණයක ගිහින් තියෙනවා. නම් වශයෙන් ගත්තොත් තුන්තිස්ගල, දූවිලි ඇල්ල, දුම්බර ඇල්ල, යහන්ගල, කනවිද්දාගල, ගැරඩිගල වගේ කඳු. ඊට අමතරව නාරංගල, නමුණුකුළ ගිහින් තියෙනවා.
Q: විශ්වනී වැඩිපුරම සංචාරය කරන්නෙ වනගත කඳු ප්‍රදේශවල. විශේෂයෙන් හුදෙකලා සංචාර. ගැහැනු ළමයෙක් නිසා ඒකට අවසර ලැබුණද?
මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි, අප්පච්චියි, නංගියි. මුලින්ම නම් එයාලා ගොඩක් බය වුණා. ගැහැනු ළමයෙක් තනියම කෑම්පින් යනවා එයාලා කවදාවත් දැකලත් නැහැ. මම මුල්ම ගමන ගියේ ගෙදරට නොකියා. හැබැයි නංගිට කියලා ගියේ. ඒ බය නිසා ඉස්සෙල්ලම පොඩි පොඩි විරෝධතා ආවා. හැබැයි කිසිම වෙලාවක යන්න එපා කියලා කිව්වෙ නෑ. ඒ වෙනුවට එයාලා කළේ පිටිපස්සෙන් ඉඳන් මට හැම සහයෝගයක්ම දුන්න එක. අප්පච්චි තමයි මගෙ ට්‍රාන්ස්පෝට් ප්‍රොවයිඩර්. රෑට බස් එකට මාව ගිහින් දාන්නෙ, ආපහු පාන්දරට එක්ක එන්නෙ ඔක්කොම කරන්නෙ අප්පච්චි තමයි. එයා තමයි මට කෑම්පින්වලට ඕනෙ කරන ලයිට්, අනිත් පොඩි පොඩි බඩු එහෙම මම කියන්නත් කලින් හොයලා ගෙන්නලා දෙන්නෙ. අම්මා කරන්නෙ බෝධි පූජා තියන එක, යන්න කලින් පිරිත් නූල් ගැටගහනවා. පෙන්නුවෙ නැති වුණාට එයාලා ලොකු බයකින් ඉන්නෙ. ඒ නිසා මම අම්මට හැමදාම කියනවා ‘අම්මා බය වෙන්න එපා මම පරිස්සමට ගිහින් පරිස්සමට එනවා කියලා. ඒ පොරොන්දුව නිසාම මමත් ගිහින් එනකල්ම ගොඩක් පරිස්සම් වෙනවා. නංගි කරන්නෙ පවුලෙ අනිත් අයව බැලන්ස් කරලා, ෂේප් කරලා දෙන එක. එයාලා කොච්චර බය වුණත් ඒ විදිහට මට ලොකු සහයෝගයක් දෙනවා.
Q: ගැහැනු ළමයෙක් මේ විදිහට තනියම ට්‍රැවල් කරද්දි කවදාවත් බයක් දැනිල නැද්ද?
මගේ පළමු සෝලෝ කෑම්පින් කරේ නමුණුකුළ කන්ද උඩ. මුලින්ම කාත් කවුරුත් නැතුව කන්දක් උඩ මම තනි වුනා කියන අවස්ථාවේ මම බය වුනා. වෙනදට කඳු නගින කවුරු හරි හිටියත් එදා කවුරුත්ම හිටියෙ නැති දවසක්. මම උඩට යනකොට පහමාරයි. ගමේ අයත් පොඩ්ඩක් මාව බය කරලා යැව්වෙ උඩ කැලෑහරක්, කොටි එහෙම ඉන්නවා කියලා. උඩට ගිහින් බැලුවම ඇත්ත තමයි කතන්දරේ. කැළෑහරක්ගෙ ගොම එහෙම තියෙනවා. මගෙ ඔළුවෙත් මම මවා ගෙන හිටියෙ දැන් හරක් එයි කියන සිතුවිල්ල. එදා හොඳටම හුළඟයි වැස්සයි නිසා ටෙන්ට් එක ගහ ගන්නත් මම එදා සෑහෙන මහන්සි වුණා. රෑ අටහමාරට විතර දැන් මට ඇහෙනවා හරක් ඇවිල්ලා මගේ ටෙන්ට් එක වටේ කැරකෙනවා. මේ එකක්වත් මම දැක්කෙ නෑ. ඒත් ඇහෙන සද්දත් එක්ක ඒවා මම හිතින් මවාගෙන හිටියෙ. පැය කාලක් විනාඩි විස්සක් විතර යනකල් මම හිටියෙ මනුස්සයෙක් ජීවිතේ හොඳටම බය වෙනවා කියලා කියන්නෙ, අන්න ඒ වගේ බය වෙලා. ඒත් පස්සෙ මමම කල්පනා කළා මේ මම මවා ගෙනනෙ බය වෙන්නෙ කියලා. එහෙම හිතලා හිමීට ටෙන්ට් එක ඇරලා බැලුවා. ඊට පස්සෙ තමයි දැක්කෙ හුළඟයි, වැස්සයි එක්ක ටෙන්ට් එකයි රේන් කවර් එකයි ගෑවෙන කොට එන සද්දෙට තමයි මම බය වෙලා තියෙන්නෙ. එදා තමයි මම ඉගෙන ගත්තෙ, වෙන්න ඕනෙ බය වෙන එක නෙවෙයි අවධානෙන් ඉන්න එක කියලා.
Q: තනියම ට්‍රැවල් කරද්දි ඔබ කෑම්පින් ගැන වනාන්තර ගැන කොහොමද ඉගෙන ගත්තෙ?
පොඩි කාලෙ ඉඳන් මම ආසයි ඇවිදින්න යන්න, ඒ නිසා පරිසරය සම්බන්ධ වැඩසටහන් බලනවා. සිරිපාදෙ වගේ නම් බය වෙන්න ඇත්තෙම නෑ. ආරක්ෂාව ගැන බය වෙන්න ඕනෙ තැනක් නෙවෙයි සිරිපාදෙ කියන්නෙ. හැබැයි කැලෑවල් ඇතුළෙ සත්තුන්ගෙ අවදානම නම් හොඳටම වැඩි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 6/7 ක් වගේ කැලේ ඇතුළට ගියාට පස්සෙ ඒ ප්‍රදේශෙ තනිකරම සත්තුන්ගෙ අඩවියක්නෙ. එහෙම අවදානමක් තියෙන තැනකට ඉතින් අපි යන කොට හරි විදිහට දැනුමක් ඇතුව යන්න ඕනෙ. අපි යන තැන සත්තු ගැවසෙන තැනක්ද වගේ දේවල් මුලින්ම තීරණය කරලා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න අපි මුලින්ම දැනගන්න ඕනෙ. මම ට්‍රැවල් කරන්න පටන් ගන්න කලින් ඒ ගැන තියෙන, වැඩසටහන්, වීඩියෝස් එහෙම සෑහෙන්න බලලා ඒ ගැන මූලික දැනුමක් අරගෙන තොරතුරු සොයාගෙන තමයි යන්නේ. ඉතුරු ටික එන්නෙ අත්දැකීම්වලින්. හැම ගමනකින්ම මම මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවා. මුලින්ම මම පොඩි කන්දක් නැගලා තමයි මේක මට කරන්න පුළුවන්ද කියලා බැලුවෙ. එහෙම පටන් අරන් ටික ටික ඉගෙන ගත්තා. පළවෙනියටම මම කෑම්ප් කරන්න කියලා, ටෙන්ට් එකක් අරන් අවාරෙ සිරීපාදෙ හයික් එකක් ගියා. කෑම්ප් කරන්න තැන් තියෙයි කියලා හිතලා. ඒත් දවස් දෙකම වැස්සට තෙමුණු එක විතරයි වුණේ. දෙවෙනි පාර මම ගියෙ නාරංගල එහෙදි ටෙන්ට් එක ගහගන්න පොඩ්ඩක් පුළුවන් වුණත්, හුළඟක් ඇවිත් ඔක්කොම ගහන් ගියා. හැබැයි මම එදා තමයි ඉගෙන ගත්තෙ, ටෙන්ට් එක පොළොවට හයි කරන්න ටෙක් කියලා කූරු වගයක් තියෙනවා කියලා. මගෙ ළඟ ඒවා තිබ්බෙ නෑ. එතන හිටපු කට්ටියකගෙ ටෙන්ට් එකක තමයි මම එදා හිටියෙ. තුන්වෙනි පාර තමයි නමුණුකුළ, එදා මම ඔක්කොම දේවල් ගැන දැන ගෙන ගියෙ. ඒ නිසා අවුලක් වුනෙ නෑ. ඒත් එදා තමයි කලින් කිව්ව විදියට මම බය වෙන්න හොඳ නෑ කියන පාඩම ඉගෙන ගත්තෙ.
Q: ගෑණු ළමයෙක් විදිහට තනිව ට්‍රැවල් කරද්දි ආරක්ෂාව ගැන හිතන්නෙ කොහොමද?
ගෑනු ළමයෙක් කියලා එහෙම කිසිම බාධාවකට අද වෙනකල් මම මූණ දීලා නැහැ. කෑම්පින් කරද්දි වුණත් මට හම්බුණේම හොඳ මිනිස්සු, නරක මිනිස්සු හම්බුන් නැහැ. විශ්වාසය ඇති වෙන දවසට සිහියෙන් යන්න පුළුවන් නම් ගෑනු ළමයෙක් කියන එක කිසිම බාධාවක් නෙවෙයි. අපිට ඒ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි මුලින්ම දැනගන්න ඕනෙ. ඒ විශ්වාසෙ අපිට තියෙන්න ඕනෙ. ගෑනු ළමයෙක්ට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෙ මුලින්ම තමන් ගැන. ඊට පස්සෙ තමන් කරන වැඩේ ගැන හරි සිහියක් තිබ්බම හරි. ඒ දෙක තිබ්බොත් ඕන දෙයක් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්.
Q: ට්‍රැවල් කරද්දි ලැබුණු අමතක නොවෙන අත්දැකීම් ගැන කතා කළොත්?
අමතක නොවන දෙයක් ගැන කියනවා නම් අවසාන වතාවට ගිය සෝලෝ හයික් එකේදී මම ගියෙ නකල්ස්වල දූවිලි ඇල්ලට. ඒක දවස් හතරක ගමනක්. ඒක මම කලින් වතාවකුත් යන්න හැදුවට වැස්ස නිසා පාර එහෙම පැහැදිලි නැහැ කියලා ඒක මට තනියම යන්න දුන්නෙ නෑ. ඒ නිසා හැමෝම කිව්වෙ තනියම යන්න එපා කියලා. ඊට පස්සෙ කැලේ මැද්දෙදි මට ටීම් එකක් හම්බුනා. ඒත් මට ඒක තනියම යන්න ඕනෙ කියලා මාර විදිහට ඔළුවෙ තිබ්බා. ඒකෙ එක පැත්තකට කැළේ මැද්දෙන් කිලෝමීටර් 25ක් තියෙනවා. මම ගියෙ වියළි කාලෙ හින්දා නකල්ස්වල අලි ඉන්නවා, කොටි කොහොමත් ඉන්නවා. ඕක ඔළුවෙ තිබ්බට හිත කිව්වා, යන්න ප්‍රශ්නයක් වෙන් නෑ කියලා, ඒ නිසා මම ගියා. ඔළුවෙ තිබ්බා වගේම මේ පාර අලියා කැළේ ගැවසුණා. ඉතින් කිලෝමීටර් 25ක් තනියම කැළේ මැද්දෙන් යනකොට ඒක ගොඩක් භයානකයිනෙ, ඒ ගමන මම මාරම කල්පනාවෙන් ගියෙ. මොකද තැන් කීපයකදිම මට තේරුණා ළඟ ළඟම අලියා පාස් වෙනවා කියලා. ඒත් එදා නමුණුකුළේදි මම ඉගෙන ගත්තානෙ බය වෙන් නෑ කියලා, ඒ නිසා මොකක් හරි වුණොත් මම මූණ දෙනවා කියලා හිතුවා. පැය භාගයක් විතර එහෙම ඉඳලා ඒ සද්දෙ ආයෙ ඇහෙනවද කියලා බලලා තව මීටර් 500ක් විතර පහළට ආවට පස්සෙ පරණ ඇතෑරලා දාපු පොඩි වැවක් පේනවා. ඒ වැව ළඟ ෆොටෝ ටිකක් ගන්න නැවතුණාම ඒ වැව එහා පැත්තෙන්ම ආපහු අර සද්දෙ ඇහුණා. ඊට පස්සෙ මම ක්ෂණික තීරණයක් ගත්තා මේක හරි යන්නෑ කියලා. ඉක්මනට බඩු ටික අරගෙන එහෙම්මම ඉස්සරහට ගියා. එහෙම තැන් තුන හතරකදි විතර මට තේරුණා අලියා ඉන්නවා කියලා. මම වල්පොළ මුල්ල කියන තැනක තතර වෙලා දෙවෙනි දවසෙ තමයි ගමනෙ ඉතුරු ටික පටන් ගත්තෙ. දෙවෙනි දවසෙ හැන්දෑවෙ 5.45 ට විතර කිලෝමීටර් 25 මම ඉවර කරද්දි ජීවිතේ ලොකු අභියෝගයක් ජය ගත්තා කියන එක මට දැනුණා. ඒක මට අමතක නොවන අත්දැකීමක්. ටීම් එකක් ගියත් ඒක යන්නෙ ගයිඩ් කෙනෙක් එක්ක, ගයිඩ්ලා නැතුව යන්නෙ හරිම පොඩි ප්‍රමාණයක්, ඉතින් මම ගෑනු ළමයෙක් විදිහට ඒක ජය ගත්තා කියන එක මට අමතක නොවන සිද්ධියක්.
Q: ට්‍රැවල් කරන්න ආස ඔයා වගේ තවත් ගෑණු ළමයි ඇති?
ට්‍රැවල් කරන්න තියෙන්න ඕනෙ එකම දේ ආත්ම විශ්වාසය. තමන් ගැන විශ්වාසෙන් කටයුතු කරන්න ඕන. තව දෙයක් තමයි, ගොඩක් අය ට්‍රැවල් කරනවා, ආසාවට යනවා. හැබැයි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි යන අය පරිසරයට කුණු දාලා ඒක විනාශ කරනවා. අද අපි පරිසරය විඳින්නෙ ඒක අපිට තියෙන හින්දා ඒක තව කෙනෙක්ට තව දවසක විඳින්නත් ඉතුරු කරලා රකිමින් විඳින්න කියලා තමා කියන්නෙ.
Q: තනියම ට්‍රැවල් කරන්න මොකක් හරි අරමුණක් තියෙනවද ?
ඔව් මට අරමුණු දෙකක් තිබ්බා. එකක් ගැහැනු ළමයෙක්ට තනියම ට්‍රැවල් කරන්න බෑ කියලා හිතන අයගෙ මතේ වෙනස් කරලා කෙල්ලෙක්ටත් පුළුවන් කියලා පෙන්නන්න ඕනෙ වුණා. දැන් ඒ මතේ වෙනස් වෙලා ගොඩක් ගැහැනු ළමයි මම දකිනවා සෝලෝ කෑම්පින් යනවා. මට ඒක මාරම සතුටක්. ඊළඟ එක තමයි පරිසරය රකින ගමන් විඳින එක. ඒ සංකල්පයටත් හුරු වුණු මිනිස්සු පිරිසක් මම දකිනවා. ඒක ගැනත් ඇත්තටම මට සතුටුයි.
කෞශල්‍යා ලක්ෂානි