කෝප්‍රල් පේමසිරි ක්‍රියාන්විතයේදී - එදා
තමා දෙස බලාසිටින එම යුවතිය පිළිබඳ පේමසිරි තුළ අදහසක් නොවුනද මඳක් ගතවෙත්ම කිසියම් හුරුපුරුදු බවක් ඒ මුහුණ තුළින් ඔහුට දැනිණ. ඒ සමඟම එම මාර්ග බාදකයේ සේවය කරන හිටපු එල්ටීටීඊ සාමාජිකයා කටහඬ අවදි කළේය. “එදා මහත්තය මට අර කතාවක් කිව්වේ යුද්දෙ කාලෙ සුබ්‍රමනියම් කියල කොටි කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරුව කියල. මේ ඉන්නෙ එයා.
ඒ වෙනවිට හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත හමුදා භට පිරිසට සිය ඒකකයෙන් තෝරා ගෙන සිටි දසදෙනා අතරට ඔහු ද ඇතුළත්ව තිබිණ. එවක සටන් බිම තුළ කෝප්‍රල් පේමසිරි දැක්වූ සුවිශේෂී දායකත්වය හා පුද්ගලික හැදියාව එම අවස්ථාව ඔහුට ලැබීමට හේතු වී තිබිණ. අනතුරුව 2009 වසරේ මැද භාගයේ පටන් සය මසක් හයිටියේ හමුදා සේවයේ නිරතව සිටි කෝප්‍රල් පේමසිරි යළි මව්රට බලා පැමිණියේ 2010 වසර මුල ය. එලෙස පැමිණි පසු යළි ඔහු සේවය සඳහා එක් වෙන්නේ ද 15 (ස්වේච්ඡා) විජයබාහු පාබළ රෙජිමේන්තුවටමය. ඒ වෙනවිට එය ස්ථාපිතව තිබුණේ පුනරීන් ප්‍රදේශයේය. එහිදී ඔහු සැලකිය යුතු කාලයක් තම ඒකකය තුළ විවිධ රාජකාරි සිදුකළ අතර 2012 වසර වෙනවිට හෙතෙම කටයුතු කරන ලද්දේ පුනරීන් තුඩුවෙහි වැලි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක වූ මාර්ග බාධකයකය. කෝප්‍රල් පේමසිරි ඒ වෙනවිට එම මාර්ග බාධකය භාරව කටයුතු කළ අතර, එහි සිට යාපනය ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සඳහා වැලි රැගෙන යාමේ කටයුතු පරීක්ෂා කිරීම හා ඊට ආරක්ෂාව සැපයීම ඔහුගේ වගකීම වී තිබිණ.

එම කටයුතු සඳහා එහි ප්‍රාදේශීය සභාව හරහා සිවිල් පුද්ගලයකු ද සේවයේ යොදවා සිටි අතර, එම ස්ථානයේ සිට වැලි රැගෙන යන ලොරි හා ටිපර් රථ සඳහා අවසරපත් නිකුත් කිරීම ඔහුගේ කාර්යය වී තිබිණ. යුද සමයේ LTTE සංවිධානය යටතේ සේවය කළ අයකු වූ එම පුද්ගලයා පසුව යුද්ධ හමුදාවට භාර වී පුනරුත්ථාපනය වූ අයෙකි. දිගින් දිගටම එම මාර්ග බාධකයේ කටයුතු කළ බැවින් එහි සේවයේ නියුතු හමුදා සාමාජිකයින් සමඟද හේ බෙහෙවින් කුලුපග විය. විශේෂයෙන්ම එහි සිටි කෝප්‍රල් පේමසිරි සමඟ ඔහු බොහෝ සමීපව කටයුතු කළ අතර, පේමසිරිට තරමක් දුරට දෙමළ භාෂාව කතා කළ හැකිවීම එම සබඳතා වැඩි දියුණු වීමට බලපෑවේය. එහිදී දිනක් දෙදෙනා අතර වූ කතාබහක දී මතුවූයේ නොසිතූ මාතෘකාවකි. එනම්, පෙර යුද සමයේ එම ප්‍රදේශයේ වූ ගැටුමකදී කොටි කාන්තාවක් ජීවග්‍රහයෙන් අල්ලාගත් අයුරුත් සුබ්‍රමනියම් නම් වූ ඇයගේ ජීවිතය බේරා ගැනීමට තමා කටයුතු කළ අයුරුත් එහිදී කෝප්‍රල් පේමසිරි එම පුද්ගලයා හමුවේ විස්තර කරන්නට වූයේය. එලෙස දිගින් දිගටම ඇදුණු එම කතාවේදී එහි සිටි සිවිල් පුද්ගලයා කෝප්‍රල් පේමසිරිගෙන් එම සිදුවීමට අදාළ තොරතුරු වඩවඩාත් හාරා අවුස්සන්නට වූයේ මහත් උනන්දුවකිනි. ඔහු ද කලක් එල්ටීටීඊ සංවිධානයේ සිටි අයකු බැවින් එම කාලවකවානුවට අදාළව ඔහු තුළ ද මතක පැවතීම ඊට හේතුවයි.

විශ්‍රාමික කෝප්‍රල් පේමසිරි අද
|
මෙලෙස එම මාර්ග බාධකයේ දී සිදුවූ එම කතාබහෙන් අනතුරුව තවත් දින දෙක තුනක් ගෙවී යන්නට විය. එක්තරා දිනෙක උදෑසනක යතුරු පැදියක නැගී මාර්ග බාධකය වෙත කාන්තාවක් හා පුරුෂයකු පැමිණෙන අයුරු කෝප්‍රල් පේමසිරි දුරතියාම දුටුවේය. වැලි රැගෙන යාමේ කටයුතු වලට සම්බන්ධව එහි නිරතුරු යනෙන පුද්ගලයින් සෑම අයකුම පාහේ පේමසිරිට හොඳින් හුරුපුරුදුය. නමුත් පෙරදී දැක නොතිබූ යුවලක් එලෙස පැමිණීම ඔහුගේ කුතුහලයට හේතු විය. එහි පැමිණි කාන්තාව අත කිසියම් පාර්සලයක් ද වූ අතර කොණ්ඩය කොටට කපා අලංකාර ලෙස මොට්ටුවක් ද තබා තිබූ ඇය, පෙනුමෙන් පැහැපත් බොහෝ ප්‍රියමනාප ගති ඇත්තියකි. යතුරු පැදියෙන් බැස එහි පැමිණි පිරිමි පුද්ගලයාට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් ගමන්කළ ඇයගේ දෑස් එකඑල්ලේම යොමුවී තිබුණේ ප්‍රේමසිරි දෙසය. පෙර කිසි දිනෙක මාර්ග බාධකය හරහා තමා වෙත එලෙස කාන්තාවක් පැමිණ නොතිබූ බැවින් පේමසිරි නොසන්සුන් වූයේය.
තමා දෙස බලාසිටින එම යුවතිය පිළිබඳ පේමසිරි තුළ අදහසක් නොවුණද මඳක් ගතවෙත්ම කිසියම් හුරුපුරුදු බවක් ඒ මුහුණ තුළින් ඔහුට දැනිණ. ඒ සමඟම එම මාර්ග බාධකයේ සේවය කරන හිටපු එල්ටීටීඊ සාමාජිකයා කටහඬ අවදි කළේය. “එදා මහත්තය මට අර කතාවක් කිව්වේ යුද්දෙ කාලෙ සුබ්‍රමනියම් කියල කොටි කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරුව කියල. මේ ඉන්නෙ එයා. මෙයාගෙ පදිංචිය අපේ ගමට කිට්ටුයි. මහත්තයට නොකිව්වට ඒ කතාව දැනගත්ත දවසෙම මම මේ ළමයව හොයාගෙන ගිහින් මහත්තය ගැන කිව්වා. එයාගෙ සහෝදරයත් එක්ක මේ ඇවිත් ඉන්නෙ මහත්තය කියපු සුබ්‍රමනියම්.”
තවදුරටත් ඔහුගෙන් ඒ පිළිබඳව දැනගන්නට තරම් දෙයක් පේමසිරිට ඉතුරුව නොතිබිණ. හෙතෙම තුෂ්නිම්භූතව එම කාන්තාව දෙසම බලාසිටින්නට වූයේ මෙවැනි ආශ්චර්යමත් හමුවීමක් සිදුවීමේ විශ්මය අත්විඳිමිනි. නමුත්, සුබ්‍රමනියම්ගේ හැසිරීම වෙනස්ම වූවකි. සතුට සේම දුක්බර බවකින්ද යුතුව සිටි ඈ තුළ කියාගත නොහැකි හැඟීම් සමුදායක් තෙරපෙමින් තිබුණු බව දිස්විය. පේමසිරි සමීපයට වන් ඈ සෘජුව ඔහු දෙස බලමින් විමසන්නට වූ එකම කාරණය වූයේ “ඇයි මාව මැරුවෙ නැත්තේ” යනුවෙනි. එදවස තම සංවිධානයෙන් එලෙස පණ තිබී හමුවූ හමුදා සාමාජිකයින් කිසිවෙකු බේරා නොයැවූ අතර, ඔවුන්ගේ නිසැක ඉරණම මරණය පමණක්ම විය. නමුත් මරා දැමීමට එතරම් ඉඩක් පවතිද්දීත් පෙරදිනක තමාව එලෙස බේරාහැරීම පිළිබඳව ඕ යළි යළිත් පේමසිරි ගෙන් ප්‍රශ්න කරන්නට වූවාය. සිංහල හමුදා භටයකු සතු වූ එම මානුෂීය ගුණයේ තරම පිළිබඳ ඈට දරාගත නොහැකි තරම්ය. එනිසාමදෝ ඈගේ දෙනෙතින් කඳුළු කැට ගලා හැළෙන්නට වූයේ ඈටත් නොදැනීමය. “අපිට නිකරුෙණ් මිනිස්සු මරන්න ඕනැ කමක් නෑ සුබ්‍රමනියම්...” පේමසිරි ඇය දෙස බලාගෙනම පැවසුවේය. මෙලෙස දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටී තත්පර ගණනාවක් ගත වූයේය. තමා මුලංකාවිල් රෝහල අසල පදිංචිව සිටින බවත්, ඉඩක් ලද විටක එහි පැමිණෙන්නැයි සුබ්‍රමනියම් එහිදී පේමසිරි වෙත දන්වා සිටියාය. ඒ සමඟම ඇය විසින් රැගෙන එන ලද පාර්සලයක් ඔහු අත තැබීය. පේමසිරි කිසිත් නොදොඩා එය තම දෑතට මිරිකාගත් අතර, තිගැස්මක් හා ආශ්වාදයක් ඔහු සිත වෙළාගනිමින් තිබිණ. අනතුරුව පේමසිරිගෙන් සමුගත් ඇය තම සහෝදරයා ද සමඟ යතුරු පැදියෙන් පිටත් වූයේ එහි සේවයේ සිටි දමිළ හිතවතාට ද අනේක වාරයක් ස්තුති කරමිනි. අනතුරුව මාර්ග බාධකය පසුකර යන ඔවුන් දෙදෙනා තිතක් වී නොපෙනී යන අයුරු පේමසිරි බලා සිටින්නට වූයේ දිගු සුසුමක් ද සමඟිනි. එතෙක් වේලා තම අතෙහි මිරිකී තිබූ පාර්සලය දෙස බැලූ ඔහු එය හෙමි හෙමින් දිග හැර බැලුවේය. කේක් ගෙඩියක් සහ විශාල ප්‍රමාණයේ ෆැන්ටා බෝතලයක් එහි විය.
මෙලෙස කාලය ගත වෙන්නට විය. සුබ්‍රමනියම් පිළිබඳ පේමසිරි සතුවූ මතක නිරතුරු ඔහුගේ හදවත ප්‍රබෝධමත් කිරීමට සමත් වූයේය. සුබ්‍රමනියම් අවසානයට කළ ඉල්ලීම පරිදි ඇයගේ නිවස සොයා යාමට තරම් හිතක් පේමසිරි තුළ පැවතිය ද එවක පැවති රාජකාරි ස්වභාවය හා තම වෘත්තිය තුළ වූ සීමා හමුවේ ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවීය. නිල ඇඳුම් දරා සිටින කෙනෙකු ලෙස එලෙස දමිළ කාන්තාවක් සොයා නිවසකට යාමෙන් තමාට අනවශ්‍ය ගැටලුවක් මතුවේ යැයි ඔහු කල්පනා කළේය. ඒ අනුව තවත් කලක් යද්දී එකී සිදුවීම පිළිබඳ වූ සියලු මතක ද ඔහුගේ සිතින් බැහැර වූයේ ඔහුටවත් නොදැනීමය.
චිත්‍රපට කතාවක බඳු වූවද මෙම සත්‍ය සිදුවීමට මේ වෙන විට වසර 10 ක් ගෙවී අවසන්ය. එකී දස වස තුළ මෙහි සඳහන් පුද්ගලයින්ගේ ජිවිත හා බැඳුණු වෙනස්කම් රැසකි. මෙහි කතා නායකයා වූ කෝප්‍රල් පේමසිරි 2018 වසරේ දී යුද හමුදාවෙන් විශ්‍රාම ලැබ මේ වෙන විට පදිංචිව සිටිනුයේ අම්පාර ප්‍රදේශයේය. එසේම සෙබළ තිලකරත්නද සැරයන් වරයෙකු ලෙස අදට ද සක්‍රීය සේවයේ නිරතව හිඳී. නමුත් ඔහුට, ගතවූ දස වස තුළදීම පේමසිරිව මුණගැසී නැත. එවකට සටන් ඇවිළුණු අර්සපුරකුලම් ගම්මානය ද, මුලන්කාවිල්, පුනරීන් ආදී ප්‍රදේශ ද වර්තමානයේ භෞතික වශයෙන් බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇත. යුද්ධයේ නිමාවත් සමඟ ගත වූ වසර 15 තුළ එම ප්‍රදේශයට සංවර්ධනයේ අරුණලු වැටී ඇතත් එහි ජන ජීවිත නම් සුඛිත මුදිත වී ඇත්දැයි නොදනී.
මෙම කතාව කන වැකුණු දා පටන් මම සුබ්‍රමනියම් සොයන්නට වූයෙමි. මුලන්කාවිල් රෝහල සමීපයේ ද ඈ පිළිබඳ විපරම් කරන්නට නියෝජිතයින් යෙදෙව්වෙමි. විටෙක සඳහන් වූයේ එවැනි නමක් ඇති යුවතියක සිය පවුලේ සාමාජිකයින් ද සමඟ මෑතකදී යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවකි. තවත් විටෙක දැනගත්තේ එහි පදිංචි සුබ්‍රමනියම් සමුදි නම් කාන්තාවක් පිළිබඳය. නමුත් ඇය රෝහල් සේවිකාවක ලෙස කටයුතු කරන බවත් කිසිදින LTTE සාමාජිකාවක නොසිටි බවකි. කෙසේ නමුත් අදට ද මා ඈ සොයන උවමනාව අතහැර නැත. මා මෙන්ම කෝප්‍රල් පේමසිරි ද සැරයන් තිලකරත්න ද ඇය සෙවීමේ උත්සාහයක නියැළී සිටිනුයේ මාගේ බලවත් ඉල්ලීම නිසාමය. කෙදිනක හෝ ඇය හමුවෙනු ඇතැයි මා තුළ ඇත්තේ තදබල විශ්වාසයකි.
සටහන කියවන කිසිවකු විසින් හෝ ඇය සොයා දෙන්නේ නම් ඒ පිළිබඳ කෝප්‍රල් පේමසිරිට වඩා වඩාත්ම සතුටු වෙන්නේ මාය. ඒ මක්නිසාද යත් මෙම කතාව ඇයගේ බසින් ම ලියන්නට මා සැදී පැහැදී සිටින නිසාමය. යුද්ධය හමුවේ මිනිස්කමින් පිරිපුන් මෙවැනි ළතෙත් ගුණැති කතා ඉතිරි වෙද්දී යුද්ධය එතරම් කුරිරු වූයේ කෙසේදැයි අදට ද ප්‍රහේලිකාවකි.
විමසන විටදි කළ කී දේ නොමැත සරී
වැරදුන තැනක් ඇති අපටත් කොහේ හරී
ආ මග නැවත ගොස් ඇරැඹූ තැනින් හැරී
නිවැරදි කර ගනිමු මාවත නොමැත බැරී
නිමි.