ආචාර්ය ගුණදාස අමරසේකර
මෙවර මුහුණට මුහුණ කතාබහ ආචාර්ය ගුණදාස අමරසේකර සමගය.
- මේ රට හරියට මෙහෙයවන්න පුලුවන් නායකයෙක් ඉන්නවා කියලා අපිට පේන්නෙ නෑ
- අම්මා ඉස්කෝලෙ උගන්වන ඒවා අහගෙන ඉඳලයි මම සිංහල ඉගෙන ගත්තෙ
- මම හිතන්නේ එදා පේරාදෙණිය මේ රටේ සැබෑ බුද්ධිමතුන් බිහි කරපු තැනක් වුණේ නෑ.
- මගේ “යළි උපන්නෙමි” නිසරු කෘතියක් කියල පස්සෙ මටම තේරුණා
- ශ්‍රීලනිපයේ වටිනාකම ඒකෙ ඉන්න අයවත් තේරුම් අරගෙන නෑ
අම්මලත් එක්ක යටලමත්තේ ගුරු නිවාසේ ඉන්න කාලේ අලුත දාපු සිමෙන්ති පොළොවේ තියපු අඩිපාරවල් ඉස්කෝලෙක හෝල් එකක තාම තියෙනවලු. ඒ අතීතයෙන් අපි කතාව පටන් ගමුද?
මම ඉපදුණේ 1929 නොවැම්බර් දොළොස්වෙනිදා. මේ වෙනකොට අවුරුදු අනූ දෙකක් මට. මම ඉපදුණේ ගාල්ලෙන් හැතැම්ම දාසයක් විතර ඈතින් තිබුණු යටලමත්ත ගමේ. ඒත් යටලමත්ත කියන්නේ අපේ මහගෙදර නොවෙයි. ඒකට හේතුව අපේ අම්ම ඉගැන්නුවේ යටලමත්ත ඉස්කෝලේ. අම්මල ඒක නිසා හිටියේ ඉස්කෝලේ ගුරු නිවාසේ. ඒකේ තමයි මම ඉපදුණේ. මම මුලින්ම එහේ සිංහල ඉස්කෝලෙට ගියා. මට කලින් අපේ අයියයි නංගියි ඉංග්‍රීසි ඉස්කෝලවලට ගියා. මට පහේ පන්තියට යනකම් විතර එහෙම යන්න වුණේ නෑ. හේතුව මට පුංචි කාලේ මීමැස්මොර රෝගය තිබුණා. ඒක නිසා අම්මල මාව ගෙදර තියාගෙන සිංහල ඉස්කෝලෙට අැරියා. ඒකෙන් එක හොඳක් වුණා. සිංහල ඉස්කෝලෙට ගිහින් සිංහල පිළිබඳව යම් අවබෝධයක් ලැබුවට පස්සේ තමයි මම ඉංග්‍රීසි ඉස්කොලෙට ගියේ. මගේ තාත්තත් හොඳ ප්‍රවීණ පඬිවරයෙක්. මේ හේතු ඔක්කොම බලපාන්න ඇති මම සාහිත්‍යයට නැඹුරුවෙන්න. මම සිංහල ගොඩක් ඉගෙන ගත්තේ අම්ම ඉස්කෝලේ උගන්වන ඒවා අහගෙන ඉඳලා.
ඔය මගේ අඩි සලකුණ ගැන කතාවත් මම කියන්නම්. මගේ ‘ආපසු ගමන’ කියන කෙටිකතාවෙත් ඔය සිද්ධිය සඳහන් වෙනවා. එතකොට මට ඕනෙ නම් අවුරුදු අටක් විතර ඇති. සිමෙන්ති දාපු හැටියේ පොළොවෙ මම නොදන්නාකමට ඇවිදගෙන ගිහින් තියෙනවා. ඒක තමයි මැකිලා නැතුව අඩිපාර ඉතුරුවෙලා තියෙන්නේ.
කොළඹින් විශ්වවිද්‍යාල සමය පටන් ගත්තත් ඒකේ හොඳම මතක සටහන් තියෙන්නේ පේරාදෙණියට ගියාට පස්සේ කාලෙ නේද?
ඒ කාලේ වෛද්‍ය විද්‍යාලය තිබුණේ කොළඹනේ. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ විතරයි වෛද්‍ය විද්‍යාලයක් තිබුණේ. ඒකෙත් අසූවකට වඩා ශිෂ්‍යයෝ හිටියේ නෑ ඒ වෙද්දී. වෛද්‍ය විද්‍යාව කරන අය, දන්ත වෛද්‍ය විද්‍යාව කරන අය, පශු වෛද්‍ය විද්‍යාව කරන අය ඔක්කොම එකට හිටියේ. පස්සේ ඒක පේරාදෙණියට ගෙනිච්චා. දැන් වගේ නෙවෙයි ඒ කාලෙ වෛද්‍ය ශිෂ්‍යයින් වැඩි දෙනකුට සිංහල භාෂාව බෑ. අපිත් එක්ක එකට හිටපු අයගෙන් නන්දදාස කෝදාගොඩටයි මටයි විතරයි සිංහල පුළුවන් ඒ කාලේ. අනිත් හැමෝම ඉංග්‍රීසි විතරයි දැනගෙන හිටියේ. ඒගොල්ලෝ ඔක්කොම බටහිර පන්නෙට හැදිච්ච උදවිය.
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තත් සාහිත්‍ය අතනෑර ඉන්නේ පුංචි කාලෙම වැටුණ පදනමේ ශක්තිය හින්දද?
ඇත්තටම ඔව්. ඒ බලපෑම ලොකු හේතුවක් වුණා ඒකට. ගෙදරදිත් අම්මයි තාත්තයි මේ පිළිබඳව මට ගොඩක් දේ කියලා දුන්නා. අපේ තාත්තට සංස්කෘත පිළිබඳවත් හොඳ දැනුමක් තිබුණා. 1932 මහත්මා ගාන්ධි ලංකාවට ආපු වෙලාවේ ගාන්ධිට ආසිංශනය කරලා සංස්කෘත භාෂාවෙන් කාව්‍යයක් පවා කරලා තියෙනවා. ඒ කාලේ ඒක ‘සරසවි සදරැස’ පත්තරේද කොහේද පළවෙලත් තියෙනවා. සිංහල ඉස්කෝලෙ යන කාලෙම තාත්තා මට ‘ජානකීහරණය’ කියවන්න කියල උනන්දු කෙරෙව්වා.
ඊට පස්සේ මම කොළඹ නාලන්දෙට ආවට පස්සෙත් උනන්දුව අඩු වුණේ නෑ. නාලන්දෙත් සාහිත්‍ය උනන්දුව ඇති කරවන පසුබිමක් තිබුණා. ඒ වෙද්දි රටේත් තිබුණ ලොකු ජාතික ප්‍රබෝධයක්. මේ කියන්නේ 1940 ගණන්වල. ඒ ජාතික ප්‍රබෝධ ඇතුළේ සාහිත්‍ය ප්‍රබෝධයක් තිබුණා. නාලන්දෙදි මම කවි ලියල ‘සිංහල බෞද්ධයා’ පත්තරේට ‘සිළුමිණ’ පත්තරේට එහෙම යවනවා. සිංහල වගේම අපි ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගත්තා. ඉස්කෝලේ යන කාලේ සෙනසුරාදාට මහජන පුස්තකාලෙට ගිහින් ගොඩක් ඉංග්‍රීසි පොත් කියවන්න පුරුදු වුණා. විශේෂයෙන් ඉංග්‍රීසි නවකතා, රුසියන් නවකතා, චාල්ස් ඩිකන්ස්ගේ පොත් එහෙම ඔක්කොම කියෙව්වා. මාත් එක්ක පුස්තකාලේ යන වැඩේට හවුල් වෙච්ච මිත්‍රයෙක් තමයි රිජ්වේ තිලකරත්න. එ් නිසා අපිට මේ භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වුණා.
දන්ත වෛද්‍ය පීඨය පේරාදෙණියට ගෙනිච්චේ 1952 විතර. 1957 විතර වෙනකම් අපි විශ්වවිද්‍යාලයේ ගත කළා. ඒ තමයි පේරාදෙණියේ ස්වර්ණමය යුගය. ඒ කාලේ හොඳ බුද්ධි ප්‍රබෝධයක් තිබුණා පේරාදෙණියේ. මගේ පොතපත වුණත් බිහිවෙන්නේ පේරාදෙණියෙදි.
පළවෙනි පොත ගහපු හැටි මතකද?
ඔව් ඒක වුණේ මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මම කතුවරයෙක් විදියට මතුවෙන්න පළමුවෙනි පියවර වුණෙත් ‘ලංකාදීප’ පත්තරේ. ඒ කාලේ ලංකාදීපෙ තිබුණා ජගත් කෙටිකතා තරගය කියල එකක්. ඒකට සැරයක් මම කතාවක් ලිව්වා. ඒක තේරුණා. ඒ කෙටිකතාවෙ නම ‘සෝමා’. ඒකෙන් මට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා ඒ කාලේ හැටියට. ඊට අවුරුදු කීපෙකට පස්සේ මම මගේ පළමුවෙනි කෙටිකතා සංග්‍රහය පළකළා. ඒකේ නම ‘රතු රෝස මල’. ගුණසේන සමාගමෙන් තමයි ඒ පොත ගැහුවේ. දැන් මං හිතන්නේ ඒක මුද්‍රණ විස්සක් තිහක් විතර ගැහුවා. මම ඒ දවස්වලම රුපියල් පන්සීයකට ඒකේ අයිතිය විකිණුවා එයාලටම. විෂය නිර්දේශවලටත් ඒකේ කෙටිකතා අරගෙන තිබුණා. පහු කාලෙක ‘සියදෝරිස්ගේ බයිසිකලය’ වගේ කෙටිකතාවත් එහෙම විෂය නිර්දේශවලට ගත්තු එකක්. ඊට පස්සේ දිගින් දිගටම පොත් පළ කළා. මගේ පළවෙනි නවකතාව පිටවෙන්නේ 1956 අවුරුද්දේ විතර. ඒක තමයි ‘කරුමක්කාරයෝ’. අධ්‍යාපන කටයුතු කරන අතරෙම පොතපත ලියන වැඩත් දිගටම කෙරුවා.
අමරසේකර මහත්තයගේ වඩාත් කතාබහට ලක්වුණු පොත තමයි ‘යළි උපන්නෙමි’. කොහොමද මේක ලියවෙන්නේ?
අපි යන කාලේ පේරාදෙණියේ සාහිත්‍ය අාධිපත්‍ය දරාගෙන හිටියේ සරච්චන්ද්‍ර මහත්තයා තමයි. අපිත් ඒ මුල් කාලේ පේරාදෙණිය සාහිත්‍යයේ සුවඳට අහුවෙලා හිටියේ. ඒ කාලෙ තමයි මගේ අතින් ‘යළි උපන්නෙමි’ ලියවෙන්නේ. පස්සේ ඔය පේරාදෙණි සාහිත්‍ය නැත්නම් ඒ ගුරුකුලය ගැන මගේ අදහස වෙනස් වුණා. කොච්චර කට්ටිය ඒක උඩ දාගෙන වර්ණනා කළත් පස්සේ මට අවබෝධ වුණා. මම හිතන්නේ එදා පේරාදෙණිය මේ රටේ සැබෑ බුද්ධිමතුන් බිහිකරන තැනක් වුණේ නෑ. පේරාදෙණියෙන් කළේ මේ රටට ඔබින බුද්ධිමතුන් බිහි කිරීම නෙවෙයි. මේ රටට ඔබින සාහිත්‍යධරයා බිහිකිරීම නෙවෙයි. ඒකෙන් වුණේ එක්තරා අනුකාරක පරපුරක් බිහි කිරීම. මමත් පේරාදෙණි ගුරුකුලයේ චින්තනය එක්ක ඉන්න කාලේ තමයි ‘යළි උපන්නෙමි’ ලියවුණේ. පස්සෙ මම ඒ මතයෙන් මිදුණා. සරච්චන්ද්‍ර මහත්තයා ඇතුළු බොහෝ දෙනෙක් ‘යළි උපන්නෙමි’ වර්ණනා කළා. ඒත් පස්සේ මටම තේරුණා මේක නිසරු කෘතියක් කියලා.
තමන් හදපු දරුවෙක් අත ඇරලා දානවා වගේ කොහොමද ‘යළි උපන්නෙමි’ පස්සෙ කාලෙක ඔබ ප්‍රතික්ෂේප කරන්නේ?
ඒකට හේතු කීපයක් මට තියෙනවා. එකක් එ්ක මම ලිව්වේ මගේ ගැටවර වයසෙදි. පස්සේ මම කසාදයක් එහෙම බැඳල තැන්පත් වුණාම ඒ අදහස් වෙනස් වුණා. කතාවක් තියෙනවනේ ජීවිතේ හතරවෙනි දශකයේ ප්‍රඥාව පහළ වෙනව කියලා.
මම 1967 එංගලන්තයට ගියා. මගේ පශ්චාත් උපාධිය කරන්න. එහෙදි මට තේරුම් ගියා අපි සම්පූර්ණයෙන්ම අනුකාරක ජාතියක් කියලා. අපි අපේ රට අවබෝධ කරගෙන අපේ සමාජයට අවශ්‍ය සාහිත්‍ය නිෂ්පාදනය කරන්නේ නෑ කියලා මට තේරුම් ගියා. අපි කොච්චර ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් අපිට එංගලන්තයේ සංස්කෘතියට ඇතුල් වෙන්න බෑ. අපිට තියෙනවා අපිටම සුවිශේෂ වෙච්ච සංස්කෘතික සභ්‍යත්වයක්. මෙන්න මේ අවබෝධය මට එංගලන්තයේදී ඇති වුණා.
මම 67 එංගලන්තයට ගියාට පස්සේ 71 මේ රටේ කැරැල්ලක් ඇතිවෙනවා. මම එහේ ඉඳන් මේ කැරැල්ල ගැන ගොඩක් අධ්‍යයනය කළා. ඒ වෙලාවෙත් මට හැඟීමක් ඇති වුණා එදා ඒ 71 කැරැල්ලෙන් විනාශ වෙලා ගිය තරුණ පරපුර ගැන අපිත් වගකියන්න ඕනෑ කියලා. ඒ තරුණ පරපුරට අවශ්‍ය බුද්ධිමය චින්තනය, සාහිත්‍ය, අධ්‍යාත්මික අවබෝධය ලබාදීමට සාහිත්‍යකරුවෝ වශයෙන් අපි අසමත් වුණා කියන පශ්චාත්තාපී හැඟීම මට ඇති වුණා. මේව ගැන දිගින් දිගටම කල්පනා කරගෙන යනකොට මගේ මනස හුඟක් වෙනස් වුණා. ඒකෙන් පස්සේ තමයි මම මගේම ‘යළි උපන්නෙමි’ නවකතාව ප්‍රතික්ෂේප කරල පේරාදෙණිය සාහිත්‍ය ගැන දිගින් දිගටම විවේචනය කරන්න ගත්තේ. හැබැයි බොහෝ දෙනෙක් ඒක හරියට අවබෝධ කරගත්තෙ නෑ මං හිතන්නේ. සරච්චන්ද්‍ර ගැන මට ලොකු ගෞරවයක් තියෙනවෘ. ඒකෙ විවාදයක් නෑ. ඒත් මම හිතනවා ඔහුගේ ලොකු අඩුපාඩුවක් තිබුණා. අවසානයේ දී ඔහුත් ඒක වටහාගත්ත කියලා මං විශ්වාස කරනවා. ඔහුට මේ රට පිළිබඳ සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් විඥාණයක් තිබුණෙ නෑ. මුළු පේරාදෙණි සාහිත්‍යයේම තිබුණු අඩුපාඩුවක් ඒක. බුද්ධිමතෙකුට අවශ්‍යම දෙයක් සභ්‍යත්ව විඥාණය සහ සමාජ විඥාණය. ඒ දෙක නැති සාහිත්‍යයක් තමයි පේරාදෙණියෙන් බිහිවුණේ. මං හිතන්නේ සරච්චන්ද්‍ර ඒකට වගකියන්න ඕනෑ.
ඩොක්ටර් සරච්චන්ද්‍ර ඔබේ හොඳ හිතවතානේ. ඔය විවේචනය එතුමට කෙළින්ම කිව්වේ නැද්ද ඉතින්?
අපි ඒ ගැන වාද විවාද කරගෙන තියෙනවා. ලොකුම වාදය කළේ මෙහෙදි නෙවෙයි. ඒක කළේ එංගලන්තයේ බී.බී.සී. ගුවන් විදුලියෙදි. ඒ වෙනකොට ලංකාවේ මේ මාතෘකාව ගොඩක් කතාබහට ලක්වුණු එකක්. බී.බී.සී. සිංහල සංදේශයේ වැඩසටහනක් ලෑස්ති කරලා තිබුණ මේ ගැන කතා කරන්න. ඒකට සරච්චන්ද්‍ර මහත්තයයි මමයි එක්ක විමල් දිසානායකයි සුචරිත ගම්ලතුයි තමයි සහභාගි වුණේ. ඒක මහ දරුණු විවාදයක්. එච්.එම්. ගුණසේකර තමයි ඒක කළේ. ඒකෙදි අපි එම මාතෘකාව ගැන හොඳට වාද විවාද කරගත්තා.
මොන වාද විවාද තිබුණත් ඔබට කවියෙක් විදියට කළඑළි බහින්න අත දෙන්නෙත් ඩොක්ටර් සරච්චන්ද්‍රම නේද?
පේරාදෙණියෙ ඉන්න කාලෙම තමයි මගේ ‘භාවගීතය’ පිටවෙන්නේ. කවි ලියන්න මම මෙහෙයවූවේ සරච්චන්ද්‍ර මහත්තයා තමයි. මුල් කාලේ කොළඹ ආරෙ කවි ලිය ලිය ඉන්නකොට මට තේරුණා මේක හරයක් ඇති දෙයක් නොවෙයි කියලා. ඔය අතරෙ තරංගනි කියල සඟරාවකට මගෙන් කවියක් ඉල්ලුවා. මම ලියලා දුන්නා. ‘නගරයේ පෑයූ දේදුන්න’ කියල තමයි ඒක නම් කළේ. ඒක පළ වුණා සඟරාවේ. ඕක දැකල සරච්චන්ද්‍ර මහත්තයා අගය කරල විශ්වවිද්‍යාලයේ ළමයින්ටත් දීල තිබුණා රසාස්වාදනයට. පස්සෙ සරච්චන්ද්‍ර මගෙන් ඇහුව වෙන කවි ලියපුව නැද්ද කියලා. මම කිව්වා ටිකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ කවි ටික ඉල්ලගෙන සරච්චන්ද්‍ර මහත්තයයි ඩී.ජේ. විජේරත්න ආචාර්යවරයයි හොඳ නරක බලල මට කිව්වා ඒ ටිකෙන් පොතක් කරන්න කියලා. එහෙම තමයි මගේ පළවෙනි කවි පොත ‘භාවගීතය’ එළියට එන්නේ. පස්සෙ දිගටම ලිව්වා. ‘අමල්බිසෝ’, ‘ගුරුළුවත’, ‘අසක්දාකව’ වගේ කවි පොත් ගණනාවක් ලිව්වා. ඇත්තටම මම කවියෙක් වෙන්න මූලික හේතුව සරච්චන්ද්‍ර මහත්තයගෙ බලපෑම විවේචනය උනන්දු කිරීම තමයි.
අමරසේකර මහත්තයගෙ දේශපාලන මැදිහත්වීම් සිද්ධවෙන්න පටන්ගත්තේ කොහොමද එතකොට?
ඒක සිද්ධවෙන්නෙත් සාහිත්‍ය හරහා තමයි. පේරාදෙණි සාහිත්‍ය ගැන මගේ විවේචනයත් එක්ක තමයි මට තේරුණේ අපි යන්නේ වැරදි පාරක කියලා. ඒ එක්කම වගේ තමයි මගේ දේශපාලන චින්තනයට නැඹුරුවීම සිද්ධවෙන්නේ. ඒ හරහා තමයි මගේ දේශපාලන මැදිහත්වීම් සියල්ල වගේ කෙරෙන්නේ. සාහිත්‍යකාරයෙක් කියන්නේ එක්තරා විදියක සමාජ දේශපාලන චින්තකයෙක්. සමාජ දේශපාලන චින්තනයන් නැති කෙනකුට සාහිත්‍යකාරයෙක් වෙන්න පුළුවන් කියල මං හිතන්නේ නෑ. රුසියාවෙ ඉඳපු රන-බෙල් තෑග්ග දිනපු සාහිත්‍යකාරයෙක් වෙච්ච ඇලෙක්සැන්ඩර් සොල්ෂිනෙට් සිංග් කියනවා සාහිත්‍යකාරයෙක් කියන්නෙ රාජ්‍යයක් ඇතුළේ තියෙන තවත් රාජ්‍යයක් කියලා. සාහිත්‍යකාරයෙක් කියන්නේ එතරම් බලගතු පුද්ගලයෙක් කියන එක තමයි ඒකෙන් අදහස් කෙරුවේ. සාහිත්‍යකරුවා සමාජ චින්තනය හසුරුවන පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මේ අදහස් එක්ක තමයි මගේ දේශපාලන චින්තනය මුවහත් වෙන්නේ.
කොහොමද දේශපාලන කඳවුරක් තෝරගත්තේ?
මම කවදාවත් යූ.එන්.පී. එක එක්ක ගනුදෙනුවක් තිබුණේ නෑ. මට මුල ඉඳලම යූ.එන්.පීය අපිට ගැළපෙන තැනක් නොවෙයි කියන අවබෝධය මට තිබුණා. වාමාංශික පක්ෂ ඇසුරක් තමයි මට තිබුණේ. සම සමාජ පක්ෂය එක්ක එහෙම බොහොම කිට්ටුවෙන් හිටියා. වතාවක් මම එන්.එම්. පෙරේරා ගැන කවියකුත් ලිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මම සහාය දැක්වූවා. පස්සෙ මට තේරුණා ඔය මාක්ස්වාදී පක්ෂත් මේ රටේ පසින් බිහිවෙච්ච එ්වා නෙවෙයි කියලා. එයාලත් අනුකාරක පංතියක් වුණා. මාක්ස්වාදය කරපින්නාගෙන මේ රටේ දේශපාලනය කරන්න බැරි බව දැන් එයාලටත් තේරිලා මං හිතන්නේ. මොනව වුණත් මේ රටේ පසින් බිහිවෙච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එකම දේ මේ කාරණය අඩුම තරමෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයවත් අවබෝධ කරගෙන තියෙනවද කියන ගැටලුව. ඒකෙ ඉන්න ඔය කපටි සූට්කාරයින්ට ඒ ගැන හරි අවබෝධයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශයට හේතුව ඒ අය මේ ඉතිහාසය අවබෝධ කර නොගැනීම තමයි. ඒක ඕපපාතිකව බිහිවෙච්ච පක්ෂයක් නොවෙයි. මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්තිවාරම වැටෙන්නේ අනගාරික ධර්මපාලතුමා හරහා. මම ඒක දිගින් දිගටම කියලා තියෙනවා.
71 තරුණ නැගිටීම්වලට ඔබලත් වගකියන්න ඕන කියල ඔබ කිව්වනේ. ජනතා විමුක්ති පෙරමුණ ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද?
ජනතා විමුක්ති පෙරමුණත් මාක්ස්වාදයේ අනුකාරකයො. එකම දේ ඔවුන් සංවිධානය වුණේ මේ රටේ විශාල හිඩැසක් තියෙද්දි. බණ්ඩාරනායකගෙ පනස්පහේ දරුවන්ගෙ පළවෙනි පරපුර තමයි ජේ.වී.පී. එක. බණ්ඩාරනායකලත් මේ දරුවො බලාගත්තෙ නෑ හරියට. දරුවො අනාථ වුණා. ඒ අනාථ වෙච්ච පරපුර අනුකාරකයො බවට පත්වුණා. එහෙම පිරිසක් තමයි ජේ.වී.පී. කියලා එන්නෙත්. 71 කැරැල්ලත් ඇති වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකියන්න ඕනෑ. ජේ.වී.පීයටත් පස්සේ මේ තත්ත්වය අවබෝධවෙලා තියෙනව මට හිතන්නෙ. ඒත් තාම මාක්ස්වාදී බරව බැහැපු කොටසක් ඒකේ ඉන්නවා.
ඔබ ගෙනාපු ජාතික චින්තනය කියන කන්සෙප්ට් එක හරියට වැඩ කළාද මේ රටේ?
අපේ සමාජ දේශපාලන ගමන දිහා විවේචනාත්මකව බලමින් ඉන්න අතරෙ තමයි මම ඔය ජාතික චින්තනය කියන එක ගේන්නේ. පළවෙනි වතාවට මේ ගැන මම රටට කියන්නේ 1986දි වගේ රත්නපුරේ තිබුණු රැස්වීමකදි. හැම රටකටම ජාතියකටම තියෙනවා යම්කිසි ජාතික විඥ්ඥාණයක්. ඒක තමයි ජාතික චින්තනය කියන්නේ. ඒ වගේම ඔය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වගේ එකක් හැදුවෙත් මේ මතවාදය ඉස්සරහට ගෙනියන්න. අපේ මේ ජාතික චින්තනය කියන අදහස තාම හරියට රටේ වැඩි හරියක් මිනිස්සු අවබෝධ කරගෙන නෑ. ටික දෙනෙක් මේ අදහස ගැන අවබෝධයෙන් වැඩ කරනවා. තාම අපි මානසික වශයෙන් වහල්ලු. මේ රට හරියට මෙහෙයවන්න පුළුවන් නායකයෙක් ඉන්නවා කියලා අපට පේන්නේ නෑ. රට තුළත් එහෙම ප්‍රබුද්ධ චින්තනයක් ඇත්තේ නෑනේ. ඔය දේශපාලන කපටි සූට්කාරයෝ ව්‍යාජ ජාතිකත්වයක් වටහාගෙන ඉන්න පිරිසක්.
ඔබත් එක්ක දේශහිතෛශී ජාතික ව්‍යාපාරය වගේ ඒව හදන්න එකතුවෙච්ච අය සැබෑ ජාතිකත්වයක් ගැන අදහසක් තිබුණු අය කියල විශ්වාසද?
ගොඩක් අය එහෙම තමයි. හැමෝගෙම අදහස් එක වගේම වෙන්නේ නෑ. මතවාද වුණත් කලින් කලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එ්කත් එක්ක ජේ.වී.පී එකේ කොටස් හිටියා. තවත් අය හිටියා. විමල් වීරවංශ වගේ අයත් හිටියා. තව කලාකරුවෝ, විවිධ අය හිටියා.
රටේ මිනිස්සුන්ගේ විවේචන රාශියක් එල්ලවෙන විමල් වීරවංශ වගේ කෙනෙක් එක්ක ඔබ පෑහෙන්නෙ කොහොමද?
මම විමල් වීරවංශ අඳුරාගත්තේ එ් දවස්වල ජේ.වී.පී. එකෙන් ගහපු පත්තරේ හරහා. ඒකේ තිබුණු ලිපි පෙළක් ගැන මගේ හිත ගියා. ආරංචි කරලා බැලුවහම ඒවා ලියලා තියෙන්නේ වෙන නමකින් විමල් වීරවංශ. මට තේරුණා ජේ.වී.පී. එකෙත් මාක්ස්වාදයෙ බරව බැහැපු නැති කීප දෙනෙක් තාම ඉන්නවා කියල. ඊට පස්සේ අපි කතාබහ කළා. වැඩ කළා. දැන් විමල් වීරවංශට වෙලා තියෙන්නේ ඇමැතිකම් අරව මේවා බදාගෙන කරන්න යාම නිසා තමන්ගේ චින්තනයට එකඟව වැඩ කරන්න බැරිවීම. තැත්නම් ප්‍රබුද්ධ මනසක් තියෙන මිනිහෙක්. ආණ්ඩුවල තානාන්තර අරගත්තම ඕනම ප්‍රගතිශීලි මිනිහෙක් හිරකාරයෙක් වෙනවා. ඒක තමයි ගැටලුව.
යුද්ධෙ ගහලම ඉවරයක් කරන්න ඕන කියලා ආණ්ඩුවට බලකරපු අය අතර ප්‍රධාන චරිතයක් ඔබ.
ඔව්. අපි හිටියේ ඒ අදහසේම තමයි. සාම කතාවලින් මේක හරියන්නේ නෑ කියල අපිට තේරුණා. ත්‍රස්තවාදය යුද්ධයෙන්ම ඉවරකරල දාන්න කියලා අපි කීපවතාවක්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති හම්බවෙලා කිව්වා. මහින්ද රාජපක්ෂටත් ඒ පිළිබඳ විශ්වාසයක් තිබුණා ඒ කියද්දි. ඔහුත් දෙගිඩියාවෙන් හිටියේ එතකොට. ත්‍රස්තවාදය ඉවර කරන්න අපි කරපු බලපෑම සෑහෙන හේතුවක් වුණා කියලා මම හිතනවා. හැබැයි යුද්ධෙ ඉවර කළාට පස්සෙ මහින්ද රාජපක්ෂට විශේෂ කාර්යභාරයක් තිබුණ. මගේ හැඟීම නම් ඒ කාර්යය ඔහු අතින් ඉටු වුණේ නෑ. මහින්ද රාජපක්ෂට යුද්දෙ ඉවර කළාට පස්සේ කියන්න තිබුණේ ‘අපි අවුරුදු තිහක් තිබුණු යුද්ධය ඉවර කෙරුව. දැන් අපි සියලු දෙනාම එකතුවෙලා මේ රට ගොඩනගමු’ කියලා. ඒත් එයා ඒක කළේ නෑ. නොකළ යුතු වැඩ තමයි ඊට පස්සේ කෙරුවේ. මිනිසුන්ගේ විරෝධයන් ගොනුවෙන්නේ ඒ හරහා. යුද ජයග්‍රහණයේ සැබෑ අර්ථය රටට තාම ලැබුණේ නෑ.
හැබැයි ඡන්දයක් කිට්ටු වෙද්දි ඔබ තාම රාජපක්ෂලගේ ගුණ ගායනා කරනව. වෙන කෙනෙක් ඇත්තටම නැද්ද?
නෑනේ. කවුද ඉන්නේ. එහෙම කෙනෙක් පේන්න නෑ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. විකල්පයක් නෑ තාම. අපිටත් පුළුවන් ඕන තරම් රාජපක්ෂලා විවේචනය කර කර ඉන්න. ඒත් වෙන කවුද නිර්දේශ කරන්න පුළුවන් චරිත. රාජපක්ෂලට සිද්ධවෙලා තියෙන්නේ වැරදි උපදේශකයො ටිකක් වටකරගෙන ඉන්න එක.
ඔබට ඔච්චර විශ්වාස නම් ඔබලට පුළුවන්නේ හරි උපදෙස් දෙන්න. ඔබලත් ළඟින්ම ඉන්නවනේ.
අපි නම් දැන් ළඟින් ඇත්තෙත් නෑ. අපි දෙන උපදෙස් පිළිගන්නව කියලත් මං හිතන්නේ නෑ.
සියවසකට කිට්ටු ජීවිතේ ගැන දැන් කොහොමද හිතෙන්නේ?
මම ලොකු දේවල් බලාපොරොත්තු වෙච්ච මිනිහෙක් නොවෙයි. හිතට එකඟව ජීවත් වුණා. හිතට එකඟව සාහිත්‍ය නිර්මාණ කළා. තාන්නමාන්න බලාපොරොත්තු වුණේ නෑ. එහෙම දෙන්න හදපුව ගත්තෙත් නැ. හුඟක් දෙනා මට කියනවා මගේ ජීවිත කතාව ලියන්න කියලා. මට ඒකට ආසාවක් ඇත්තෙත් නෑ. මං හිතන්නෙ නෑ පොත් ලියන්න තරම් මහ ලොකු ජීවිතයක් මං ගත කළා කියලා. මං සංතෝසෙන් ජීවත් වුණා. මං කරපු කියපු දේවල්වල යම්කිසි හරයක් තියෙනව නම් ඒක ඉතුරුවේවි. තැත්නම් මාව අමතක වෙලා යාවි. එච්චරයි.
පිළිසඳර
ප්‍රියන්ත කොඩිප්පිලි