ලතංගම පිහිටි ඇවරිහේන කුඩා වැව හා තලංගම වැව අවට ප්‍රදේශයේ ස්වභාවික සෞන්දර්ය බරපතල තර්ජනයකට මුහුණපා ඇත. එයට හේතුවී ඇත්තේ මෙම ප්‍රදේශය හරහා එනම් පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ , තලංගම තෙත් බිම හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමයි.
එම අධිවේගී මාර්ගයේ රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා ගුවන් පාලමක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ගුවන් පාලම පිහිටුවීමේ දී කණු සිටුවීම, හෑරීම, සිමෙන්ති, කළුගල් පරිසරයට මුදා හැරීම, ශබ්දය, දෙදරීම, වායු දූෂණය යනාදී කරුණු ප්‍රදේශයේ පරිසරය හානි කිරීමට හේතුවන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය චයිනා හාබර් ඉංජිනියරින් සමාගම වෙත පැවරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් මැයි 24 දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉකුත්දා සදහන් කළේය.
අදාල මාර්ගය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සඳහා අදාල ආයෝජකයින්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා ඇති අතර එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මෙලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි.ඒ අනුව ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 16.4 කින් යුතු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විතය.ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 134.9 කි.එම මාර්ගයේ ඉදිකිරීම් චයිනා හාබර් ඉංජිනේරු සමාගම මගින් සිදු කෙරේ.
රැම්සාර් පාරිසරික ලැයිස්තුගත තලංගම පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය හරහා ඉදිකිරීමට යෝජිත මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එහි මූලික අදියරවල පැවතුනද, පසුගිය මාස කිහිපය තුළ නව කොන්ත්‍රාත්කාර සමාගමකට පැවරීම හරහා යළිත් විවිධ සැක සංකා මතුවෙමින් පවතී . තලංගම සහ ඇවරිහේන හි ප්‍රදේශවාසීන් පුන පුනා විරෝධතා මතුකරමින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවුවද, නව කොන්ත්‍රාත්කරුවෙකු සමඟ රජය ගිවිසුම්ගත වීම හරහා කොළඹට මෙන්ම සමස්ත ලෝකයටම වැදගත් තෙත්බිමක් අහිමි වේ යැයි ප්‍රදේශවාසීහු බියවී සිටිති.
පරිසර පනත යටතේ ඇවරිහේන වැව අවට ප්‍රදේශය පාරිසරික වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. ඉදිකිරීම්, ශබ්ද ඝෝෂා මෙම ප්‍රදේශයට නොකළ යුතුව ඇත. ජෛව විවිධත්වය ඇති ප්‍රදේශයක් ලෙසට ද මෙම ප්‍රදේශය නම් කර ඇත. විවිධ කුරුළු වර්ග, වෙනත් සතුන් බහුලව සිටින මෙම ප්‍රදේශයේ ඇතිවිය හැකි ශබ්දය, නිදහසේ හැසිරෙන සතුන්ට බාධාවක් වීමෙන් උන් ප්‍රදේශය හැර යාමට ඉඩ ඇත. දියවන්නා ඔය 1988 දී පිටාර ගැලීමෙන් පසු මේ ප්‍රදේශයෙන් ජලය පාලනය කරනු ලැබීය. කුලුණු ඉදිකිරීමෙන් නිදහසේ ජලය ගලා යාමට බාධා ඇතිවීමට ඉඩ ඇති බවද ඒම ප්‍රදේශයේ පදිංචිකරුවෝ මෙන්ම , පරිසර විද්‍යාඥයෝද පෙන්වා දෙති.
මෙම තෙත්බිම් ගංවතුර පාලනය හා ගංවතුර සංවේදී ප්‍රදේශවල ජල ප්‍රවාහනයට ඉමහත් බලපෑමක් කරනු ලබන අතරම ජෛව විවිධත්ව සහ සත්ව විශේෂ සංරක්ෂණයට ද දායක වන බව ඔවුහු පවසති.. එමෙන්ම කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ව්‍යායාම් මංතීරු සහ පක්ෂීන් නැරඹීම වැනි විනෝදාත්මක කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපනික අරමුණු සහ තාරකා විද්‍යාව කෙරෙහි උනන්දුව දක්වන්නන්ට තාරකා නිරීක්ෂණය සඳහා ද ඇවරිහේන වැව හා ඒ අවට ප්‍රදේශය වැදගත් පරිරසයක් ලෙස හඳුනාගෙන ඇත.
ඇවරිහේන වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ජාතික පරිසර පනත යටතේ පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම ප්‍රදේශය තුළ ගුවන් මාර්ගයක් ඉදිකිරීම අනවසර කටයුත්තක් බව ප්‍රදේශවාසීහු රජයට පෙන්වා දෙති.
ප්‍රදේශයේ පදිංචිකරුවෝ බහුතරයක් මෙම අධිවේගී මාර්ගය මේ ප්‍රදේශය ඔස්සේ ඉදිකිරීම ගැන බලවත් විරෝධයක් දක්වති. සුළු ගොවීන් පිරිසක් පරිසරය ගැන හැඟීමකින් තොරව කැමැත්ත දක්වා ඇත. පරිසරය, ජෛව විවිධත්වය, වන ජීවින් හා ජීවත් වන අයට පිරිසුදු වාතය අහිමිවීම මගින් සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීමට ද සිදුවෙනු ඇත. පරිසරය ආරක්ෂාවීම ඉදිරි පරපුර සඳහා ද වැදගත් වෙන කරුණකි. පරිසරය විනාශ වුවහොත් එය යළි ලබා ගැනීමට ද නොහැකි වනු ඇත. සිමෙන්ති වැලි, ගඩොල් මිශ්‍රකර කරනු ලබන ඉදිකිරීම් වෙනත් ස්ථානයක හෝ සිදුකර ගැනීමට හැකියාව ඇත. එහෙත් පරිසරය විනාශ වුවහොත් එය යළි ගොඩගැනීමට නොහැකි වනු ඇත. නව ඉදිකිරීමට වඩා පරිසරය ආරක්ෂා කිරීම බෙහෙවින්ම වටිනා, වැදගත් දෙයක් බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.
මේ පරිසරය ආරක්ෂා කර ගැනීම රටේ සංවර්ධනයට ද යොදා ගැනීමට අවස්ථාව සැලසේ. සංවර්ධන ක්‍රියාවලිය තුළ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැදගත්කම හා පාරිසරික පරිහානිය සහ තෙත් බිම් විනාශය වෙත මග පාදන සංවර්ධන කටයුතු නිෂ්ඵලය. මේ කෝවිඩ් වසංගතය පැතිර යන වකවානුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයක් තුළ දැක්වෙන පරිදි සෞඛ්‍ය යනු රෝග පාලනය පමණක් නොව කායික, මානසික හා සමාජ සුභසාධනය පැවතීම වෙයි.
කොළඹ තෙත් බිම් සෞඛ්‍යයේ මේ සියලු අංග ආවරණය කරනු ලබයි. රට අගුලු දමා තිබූ කාලය තුළ දී මිනිසා විසින් සිදු කෙරෙන පරිසර දූෂණය නැවතී ගිය අතර කොළඹ තෙත් බිම් ඒවායේ වටිනාකම පිළිඹිබු කරමින් දිදුලන්නට වූයේ වාතය පිරිසිදු කිරීමේ දී ඒවා කෙතරම් සමර්ථ වන්නේ ද යන්න පිළිබඳව මනා උදාහරණයක් ගෙනහැර පාමිනි.
දියත උයන, අපේ ගම උද්‍යානය, නුගේගොඩ නාගරික තෙත් බිම් උද්‍යානය (වැලි පාර්ක්) යනාදී මහජන මධ්‍යස්ථාන සහ උයන් නිර්මාණය කරමින් ඒවා තත්ත්වයෙන් උසස් කරනු ලැබුවේ එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.. කෙසේ වුවත්, බැද්දගාන, කොළොන්නාව, දියවන්නාව, තලංගම සහ තලවතුගොඩ ආදී ජෛව විවිධත්ව මධ්‍යස්ථාන සැලකිල්ලට ගනිමින් රැම්සාර් සමුළුව යටතේ 2018 වර්ෂයේ දී දකුණු ආසියාවේ තනි තෙත් බිම් නගරය ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් විය.
මහ කොළඹ ප්‍රදේශය තුළ මේ මොහොතේ ඉතිරිව ඇත්තේ හරිත ප්‍රදේශ කීපයක් පමණි. කෙතරම් සැලකිල්ලෙන් හා මනා ලෙස ඉදිකරනු ලැබුව ද ගුවන් මාර්ග ඉදිකිරීමෙන් ඒවායෙන් නිකුත් වෙන විෂ හා ශබ්දය හේතුවෙන් අදාළ තෙත් බිම් සෙමින් අතුරුදන්ව යන බවට අප්‍රමාණ සාක්ෂි ඇත. මෙම තෙත් බිම්වල ජීවත් වන ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති කරන විමෝචනයෙන් හා ශබ්ද දූෂණයෙන් තොර යහපත් වාතය භුක්ති විඳීමට අවස්ථාව සැලසී ඇත. එබැවින් පරිසර පද්ධතියට ඉමහත් විනාශයක් ඇති කරමින් ආරක්ෂිත තෙත් බිම් ප්‍රදේශ හරහා දිවෙන ගුවන් මාර්ග ඉදිකිරීම සුදුසු නොවන්නකි.
විනාශ වුවහොත් යළි කිසිදා තැනිය නොහැකි මෙම අගනා සම්පත විනාශවීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. තවත් විශේෂත්වයක් වෙන්නේ මේ ප්‍රදේශය සංචාරකයන් සඳහා වැඩිදියුණු කිරීමට ඇති හැකියාවයි. මෙම ප්‍රදේශය මුළු ලෝකයටම විවෘත කළ හැකි ප්‍රදේශයකි. හොඳ ආදායම් මාර්ගයක් ලෙස දියුණු කළ හැකිය. කොළඹ ආසන්නයේ පිහිටි නිසා සංචාරකයන්ට ගමන් කිරීම ද පහසුය. විද්‍යාත්මකව මෙම ප්‍රදේශය හරිත ප්‍රදේශයක් වශයෙන් හඳුන්වා දී තිබෙන්නේ මෙහි ඇති වටිනාකම නිසාය. පනතක් මගින් නම් කර තිබෙන්නේ ද එම වටිනාකම හේතුවෙනි.
මෙම ප්‍රදේශය ඔස්සේ ගුවන් පාලම් මාර්ගයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රවාහන පහසුකම් සැලසීමට නම් ඒ සඳහා යෝජනා කීපයක් විද්වතුන් ඉදිරිපත් කරනු ලැබ ඇත. රට හා ලෝකය පීඩාකාරී කෝවිඞ් - 19 වසංගතය මෙන්ම ආර්ථිකය මත ඇතිවෙන ඉතා අයහපත් බලපෑම් සමග සටන් කරන මෙම කාලය තුළ නැවත සකස් කළ නොහැකි පාරිසරික හානි වෙත අවධානය යොමු කරමින් සම්ප්‍රදායික සංවර්ධන මාදිලියෙන් ඔබ්බට ගොස් මානව ආත්මය සමගම සංවර්ධන සිදු කෙරෙන විකල්ප මාර්ගයක් වෙත අවධානය යොමු කළ යුතුව ඇත. එබැවින් රථවාහන තදබදය අවම කිරීම සඳහා අධික පිරිවැයක් දරමින් අපගේ සුවිශේෂී වූ පරිසර පද්ධතිය විනාශ කෙරෙන අයුරින් ආරක්ෂිත තෙත් බිම්වලට ඉහළින් මහා මාර්ග ඉදිකිරීම වෙනුවට අඩු පිරිවැයක් දරන විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකිය.
ඒ යටතේ කොළඹ නගරයට ඇතුළුවෙන අය සඳහා වාහන ගාල් කර යෑමේ බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන පුළුල් කිරීම, මෙට්රෝ දුම්රිය පද්ධතිය ද ඇතුළුව සාමාන්‍ය පොදු ප්‍රවාහන හා දුම්රිය ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම් , කොළඹ නගරයට ඇතුළු වෙන පෞද්ගලික රථවාහන සඳහා බදු පැනවීම සහ එමගින් පොදු ප්‍රවාහනය භාවිත කිරීමට අනුබල දී මාර්ග තදබදය අඩු කිරීමට පියවර ගැනීම,කොළඹ නගරය සහ ඉදිවෙමින් පවතින වරාය නගරය, හරිත නගරයක් බවට සංවර්ධනය කිරීම යන කාරණාය.
වෘක්ෂලතාදිය අඩු, ඉහළට ඉදිවූ ගොඩනැගිලිවලින් සිරවී පවතින සිංගප්පූරුව, ඩුබායි, හොංකොං වැනි නගර හා සන්සන්දනය කරනවිට වෙනස් ආකාරයකින් ආකර්ශනයක් ලබා ගැනීමට මෙන්ම තරගකාරිත්වයක් ලබාදීමටත්, තිරසර සංවර්ධන ඉලක්ක පවත්වා ගැනීමෙන් ගෝලීය වශයෙන් යහපත් ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට හැකිය. එමගින් ශ්‍රී ලංකාව හරිත නගර සංකල්පය සහිත රටක් ලෙස ආදර්ශයට නැගෙනු ඇති අතරම, ජීවත්වීමට මෙන්ම සංචාරය කිරීමට යහපත් රටක් ලෙස විදහා දැක්වෙනු ඇත. දැඩි රථවාහන තදබදය මගින් සිදුවෙන විමෝචනයෙන් හා දූෂණයන්ගෙන් සමන්විත වෙන ඉහළට එසවූ මාර්ගවලින් විනාශ වෙනවා වෙනුවට, සංචාරක ආකර්ෂණය වැඩි වෙන පරිදි කොළඹ තෙත් බිම් ‘ගාර්ඩ්න්ස් බයි අ වේ’ සංකල්පය අනුව පහසුවෙන් වෙනස් කළ හැකි බව පරිසරවේදී හු පෙන්වා දෙති.
පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ තලංගම තෙත් බිම හරහා නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේවන විට පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ තලංගම පදංචිකරුවන් දෙදෙනකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ මෙවැනි අවස්ථාවකදීය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය , තලංගම අවට පදිංචිකරුවන් වූ දිනේෂ් ඉන්දික ගුණසේකර , ඊ.ඔ.සමරක්කොඩි , යන අය මෙම ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති පී.පී. අලුත්ගේ , මධ්‍යම පරිසර අධිකාරිය , ඒහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ , නාගරික සංවර්ධන අධිකාරිය , ඒහි සභාපති හර්ෂ ද සිල්වා , පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ , සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
මෙම සිද්ධිය පිළිබද දැනට අභියාචනාධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතී. මෙම ජුනි 07 වැනිදින අරලියගහ මන්දිරයේදී මං පෙත් 4 කින් යුත් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් විවෘත කරන බව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබිණි .මෙම ව්‍යාපෘතියේ පළමු අධියර නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා දිවෙයි.මෙම මාර්ගයේ දෙවැනි අදියර කිලෝමීටර 3.15 ක් දක්වා දිවෙන අතර එය තලංගම / ඇවරිහේන තෙත් බිම් හරහා ඉදිකෙරේ.
මෙම තෙත් බිම පාරිසරික ආරක්ෂිත කලාපයක් වශයෙන් ජාතික පාරිසරික පනතේ විධි විධාන යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 2017 /3/15 දින ප්‍රකාශයට පත් කර තිබුණ නමුත් මෙම ව්‍යාපෘතිය කුමන අදියර ක් ආරම්භ කරනවාද නැද්ද යන්න පිළිබද කිසිදු සදහනක් ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකෙරුණු බව පෙත්සම්කරුවන් අධිකරණයට දන්වා ඇත.
යම් හෙයකින් මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කළහොත් එය ජාතික පාරිසරික ආරක්ෂක කලාපයක් වන තලංගම තෙත් බිම හරහා දිවයන අතර , එමගින් ජාතික පාරිසරික පනතේ විධිවිධානය උල්ලංඝනය වන බවත් , මේ සිද්ධිය සම්බන්ධ මුල් නඩුවේ මෙම ව්‍යාපෘතිය පිළිබද සේවාවර්ජිත පරිසර මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සකස් කළ පරිසර වාර්තාවට අනුව මෙම මාර්ගය තලංගම තෙත් බිම හරහා ඉදිකළහොත් , තෙත් බිම් පරිසර පද්ධතිය බරපතල හානි සිදුවන බවත් සඳහන් කර තිබේ.
එබැවින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. මෙම පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සලකා බැලීම ලබන 26 වැනිදා තෙක් කල් තබනු ලැබ ඇත.
කෙසේ වෙතත් නව ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන් විසින් අධිවේගී මාර්ගය පාරිසරික ආරක්ෂිත කලාපයක් වශයෙන් ඇති මෙම තෙත්බිමට බාධා නොවන අයුරින් ඉදිකිරීමට විකල්ප කිහිපයක් යෝජනා කිරීමට එකඟ වී ඇත. “මෙම ප්‍රදේශයේ උමං මාර්ගයෙන් ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම එක් විකල්පයක්” යැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී එස් වීරකෝන් මහතා කියා සිටියේය.
එහෙත් මේ පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමක පවතින බවත් නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් එය අවසන් කළ යුතු බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ක්වි ෂෙන්හෝං වෙත ලිපියක් යොමු කරමින් තලංගම තෙත්බිම අවට පදිංචිකරුවන් සඳහන් කර ඇත්තේ යෝජිත අධිවේගී මාර්ගය සැලසුම් කළ පරිදි දිගටම කරගෙන ගියහොත් පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳවය.
කොළඹ දිස්ත්‍රික්කයට , ඒම දිස්ත්‍රික්කයේ පිහිටි තෙත්බිම් වලින් සියයට 40% කට වඩා අහිමි වී ඇති බවත්, එවැනි විනාශයන් නිසා ඇති වූ හානිය දැවැන්ත ගංවතුරකින් පෙන්නුම් කර ඇති බවත්, මෑතකදී අවසන් වූ වැසි කාල පරිච්ඡේදය තුළ කඩුවෙල අධිවේගී මංසන්ධිය අබලන් වී ඇති බතෝ තානාපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ සඳහන් වේ.
“වැඩි ගංවතුර, ජෛව විවිධත්ව විනාශය, වාතය සහ ශබ්ද දූෂණය, ප්‍රදේශයේ සන්සුන් භාවයට හා සුන්දරත්වයට හා ගොවීන්ගේ ජීවනෝපායන්ට බාධා වේ. වාතයෙහි ගුණාත්මකභාවය කෙරෙහි බලපෑම අවට ජීවත්වන දහස් ගණනකගේ සෞඛ්‍යයට බලපායි. රැම්සාර් සම්මුතිය යටතේ ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන ලෙස ලැයිස්තුගත කර ඇති තලන්ගම තෙත්බිම් රක්ෂිතයේ මෙම සංවේදී පරිසර පද්ධති ප්‍රදේශය මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගය නිසා විනාශ වී ගියහොත් එහි ප්‍රතිවිපාක ඇති වන හෙයින් වෙනත් විකල්ප මාර්ග සලකා බැලීමට චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සමඟ මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීහු තවදුරටත් තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිති. ”
අධිවේගී මාර්ගයේ දැනට පවතින මාර්ගය නව කැලණි පාලමේ සිට කොලොන්නාව, රාජගිරිය, බුත්ගමුව, බත්තරමුල්ල, කොස්වත්ත, පොතුආරාව, හෝකන්දර හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්වා දිවේ. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පක්ෂි විද්‍යාඥයෙකු හා පරිසරවේදියෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එමරිටස් විසින් මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කොට ඉදිරිපත් කරන ලද වාර්තාවක , මාකුඹුර හා සම්බන්ධ වීම සඳහා දැනට පවත්නා බත්තරමුල්ල / පන්නිපිටිය / කොට්ටාවා පාර මැදින් උස් අධිවේගී මාර්ගය සඳහා විකල්ප මාර්ගයක් ඉදි කළ හැකිබව පෙන්වා දී ඇත. අතුරුගිරියට කොට්ටාව දක්වා එක්වීමට අධිවේගී මාර්ගයක් දැනටමත් පවතී.. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම යෝජනාව තලංගම තෙත්බිම් රක්ෂිතයට සිදුවන පාරිසරික විනාශය වළක්වනු ඇති බවයි.
කෝට්ටේ අභය භූමිය, බද්දගාන තෙත්බිම් උද්‍යානය, කොළොන්නාව තෙත්බිම්, කොළඹ බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍ර කරගත් තෙත්බිම් පද්ධතිය, තලංගම වැව පාරිසරික ආරක්ෂක කලාපය, බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය මේ නගරය ආශ්‍රිතව පිහිටි තෙත්බිම් වේ. නගරයේ ගංවතුර තර්ජන අවදානම අඩු කිරීමටද පාරිසරික ආරක්ෂාවට මෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීමටද මින් සිදුවන්නේ මහඟු මෙහෙයකි.
එම පාරිසරික අගය ජාත්‍යන්තරව ඇගැයීමට ලක්වීම සිදුවූයේ 2018 වසරේ දීය. ඒ ඩුබායිහි පැවති රැම්සාර් (ලෝක තෙත්බිම් සම්මුතිය) පාර්ශ්වකරුවන්ගේ 13 වැනි සැසිවාරයේදී කොළඹ නගරය තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. රැම්සාර් සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6ක නාගරික තෙත්බිම් 18ක් තෙත්බිම් නගර ලෙස ප්‍රකාශිතය. චීනයේ නගර 6ක්ද ප්‍රංශයේ නගර 4ක්ද කොරියාවේ නගර 4ක්ද හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්ද එම නාගරික තෙත්බිම් අතරට ඇතුළත්ය. ඒ අතරින් ලෝකයේ එකම තෙත්බිම් අගනුවර වශයෙන් කොළඹට වැදගත්කමක් හිමිව තිබේ.
කොළඹ නාගරික තෙත්බිම්වල වැදගත්කම ජාත්‍යන්තර රැම්සාර් සංවිධානයට ඉදිරිපත් කරමින් මෙම සුවිශේෂිත්වය සමස්ත රටට මෙන්ම ලෝකයාටම හිමිවන බැවින් තලංගම තෙත්බිම අප රැක ගත යුතු නොවන්නේද.
ඩේලිමිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ විසින් ලියූ
''Kelani- Athurugiriya Elevated Expressway : Residents nudge foreign stakeholders to reconsider proposal'' යන ලිපිය හා තලංගම තෙත්බිම රැකගැනිම වෙනුවෙන් කැපවි සිටින විද්වතුන් ලබා දුන් තොරකුරු ඇසුරෙනි.
සකස් කළේ - තිළිණි ද සිල්වා
(ඡායාරූප - අන්තර් ජාලයෙනි)