තලෙයිබාන් නම පැරදු ඇෆ්ගන් ක්‍රිකට්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ ලැබීම ඇරඹූ සමයේ ‘සිලෝන් ටී’ යන නාමයත් යුද්ධයත් නිසා ප්‍රසිද්ධව සිටි ශ්‍රී ලංකාවට අලුත් සන්නාමයක් ලැබුණි. ඒ ‘ක්‍රිකට්’ය. ඒ ආකාරයෙන්ම තලෙයිබාන් යන නම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටි ඇෆ්ගනිස්ථානයටත් ‘ක්‍රිකට්’ අලුත් සන්නාමයක් වී තිබේ. ඒ මෙවර විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග දක්වා එම කණ්ඩායම පැමිණීමත් සමගය. කෙසේ වුවද මෙවර තරගාවලියට පෙර සිටම ක්‍රිකට් නිසා ඇෆ්ගන් නාමය ජනප්‍රියවී තිබූ බව අමතක නොකළ යුතුය. එහෙත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමත් සමග ඔවුන්ගේ නම වඩාත් ප්‍රචලිත වූ බව නොරහසකි. 

ඇෆ්ගන් වැසියන් ජය සැමරීමට වීදි බැසසිටි අයුරු

ඇෆ්ගන් ක්‍රිකට් යනු දුක්බර අතීතයක සුවබර අනාගතයක් යැයි ඇතැමෙකුට සිතෙන්නට හැකිය. එහෙත් ඇෆ්ගන් ක්‍රිකට් යනු ඊට වඩා වෙනස් එකකි. ඈත ඉතිහාසයේ සිටම යුද්ධ අඩු නැති, යුද්ධයක් යනු අතිවිශේෂ යමක් යැයි නොසිතන රටක් වූ ඇෆ්ගනිස්ථානයට, ක්‍රිකට් ගෙන එන්නේ දෙවැනි ඇන්ග්ලෝ-ඇෆ්ගන් යුද්ධයට එකතු වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ය. ඔවුන් සමග ඇෆ්ගන් වැසියන් ක්‍රිකට් ගැසූ ආකාරය ගැන බොහෝ කතා තිබේ. කෙසේ වුවද, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාවේ මෙන් එතැන් සිට ගොඩනැගුන ක්‍රිකට් අතීතයක් ඇෆ්ගනිස්ථානයට නැත.  එහෙත් ඇෆ්ගන් ක්‍රිකට් වංශකතාව ඇරඹෙන්නේ 2000 වර්ෂයේ සිට යැයි ක්‍රිකට් ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ එම වසරේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තලෙයිබාන් සංවිධානයේ අවසරය ලැබුණු හෙයිනි. 

තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගැනීමත් සමග ඔවුහු සියලු ක්‍රීඩා තහනම් කළහ. ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් තහනමක් තිබුණා යැයි ඇතෙමකු කියන්නේ මේ නිසාය. සත්‍යවශයෙන්ම වූයේ සියලු ක්‍රීඩා තහනම් කිරීමය. එහෙත් 2000 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් අවසර ලැබුණි. එහිදී තලේබාන්වරුන්ගේ අවධානය යොමුවුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී අඳින ඇඳුම ඔවුන්ගේ සංස්කෘතියට හානියක් නොකරන්නේ යැයි යන නිගමනය බව බොහෝ දෙනාගේ අදහසය. එසේම ඒ වෙනවිට පාකිස්ථානයේ සරණාගත කඳවුරුවලදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමුව සිටි බොහෝ ඇෆ්ගන් ජාතිකයෝ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බවට ආරංචියද ලැබී තිබුණි. තවත් අදහසක් වෙන්නේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය පමණක් නොව ඇෆ්ගනිස්ථානයේ ද අතිශය ජනප්‍රියි ‘‘ගිලි -දණ්ඩ’’ ක්‍රීඩාව හා ක්‍රිකට් අතර ඇති සමාන බව නිසාද ක්‍රිකට් ගැන තලෙයිබාන් සංවිධානයේ අවධානය යොමු වූ බවයි.  මේ සියල්ල 2000 දී ඇෆ්ගන් ක්‍රිකට් නිදහස් වීමට හේතුවක් විය. 

සෝවියට් ආක්‍රමණ නිසා ඇෆ්ගනිස්ථානයෙන් පළාගොස් පාකිස්ථානයේ සරණාගත කඳවුරුවල සිටි බොහෝ දරුවන් සහ තරුණයන් බොහෝ දෙනෙකු 1990 දශකයේ ආරම්භය වෙන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් වී සිටියහ. මේ පිරිස 1995 දී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ෆෙඩරේෂනය පිහිටුවාගන්නේ පාකිස්ථානයේ දීය. මේ පිරිස ඇෆ්ගන් ක්‍රිකට් නිදහස් වීමෙන් පසුව ඇෆ්ගනිස්ථානයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹූහ. එහෙත් 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නුවරට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකන් ප්‍රහාර හමුවේ තවත් විශාල පිරිසක් පාකිස්ථානයේ සරණාගතයන් වූහ. ඔවුන්ද දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනහ. 

ඇෆ්ගන් ක්‍රිකට් ගැන කතාකරන විට අමතක කරන්නටම බැරි චරිතය වෙන්නේ 2008-2009 සමයේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉහළටම ඔසවා තැබූ ටජ් මලික්ය. ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස සැලකෙන මලික්, අසීරු සමයේ ඇෆ්ගන් ක්‍රිකට් තනිව ඔසවාගෙන ආ පුද්ගලයාය.

ටජ් මලික් (දකුණේ) තරගයක් අතරතුර

වසර 16 ක් තිස්සේ සරණාගතයෙකු ලෙස පාකිස්ථානයේ කඳවුරක සිටි මලික්, ඇෆ්ගන් ක්‍රිකට් ජාත්‍යන්තරයට ගෙන යෑමේ අඩිතාලම දැමුවේද එහි සිටය. 

“මම ක්‍රිකට් ගහන්න ගත්තේ 1987 දී.  අපි කඳවුරේ ඉන්නකොට පාකිස්ථානය ගහන මැච් බලනවා. මයික් ගැටින් ගේ එංගලන්ත කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කරනකොට අපි ඒ තරග රූපවාහිනයෙන් බැලුවා. ඒ එක්ක අපි කඳවුරේ ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ‘කචා ගාරි’ කඳවුරේ අපි ටීම් එකක් හැදුවා. ඒ ඇෆ්ගන් කණ්ඩායමක හීනය දකිමින්.” මලික් 2014 දී ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවියට එසේ කියා තිබුණි. කඳවුරේ කණ්ඩායම නම් වුණේ ‘ඇෆ්ගන් ක්‍රිකට් ක්ලබ්’ ලෙසය. එය මේ තරම් දුරක් පැමිණේ යැයි ටජ් මලික් එදා හිතුවාද දන්නේ නැත. 

මේ කඳවුර තිබුණේ පාකිස්ථානයේ පෙශාවෝර් ප්‍රදේශයේය. ඒ කාලයේ පෙශාවෝර් ප්‍රදේශයේ ක්‍රිකට් දෙස වැඩි දෙනා යොමුවෙමින් තිබුණි. මේ අතර ඇෆ්ගන් ක්‍රිකට් සමාජයට ද පෙශාවොර් හි අනෙක් ක්‍රීඩා සමාජ සමග ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබුණි. මලික්, පාකිස්ථානයේ එසේ ක්‍රිකට් ගසද්දී, අල්ලා දාද් නූරි ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ෆෙඩරේෂනය හැදුවේ 1995 දීය. ඒ සඳහා ඔහු තලේබාන් සංවිධානයේ අනුමැතියද ගත්තේය. මේ අතර ඇෆ්ගනිස්ථානයට පැමිණි මලික්, ෆෙඩරේෂනයේ සභාපතිවූ නූරි සමග එක්විය. මලික් ෆෙඩරේෂනයේ මහලේකම් සහ ජාතික පුහුණුකරු බවට පත්විය. මේ දෙදෙනා ඇෆ්ගන් ක්‍රිකට් කරට ගත්හ.

2001 වර්ෂයේ දී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ෆෙඩරේෂනය අයි.සී.සී.යේ අනුබද්ධ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ අතරේ 2004 අසියානු ක්‍රිකට් කවුන්සල කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්ථානයට ආරාධනා ලැබුණි.  කණ්ඩායම් 15 ක් සහභාගී වූ එම තරගාවලියේ 6 වැනි ස්ථානයට පත්වීමට ඇෆ්ගනිස්ථානයට හැකි විය. 2006 දී ඔවුන් එම තරගාවලියේ තෙවැන්නෝ වූහ. එය ඇෆ්ගන් ක්‍රිකට් අධිවේගී ගමනකට සූදානම් බව පෙන්වූ පළමු 
අවස්ථාව විය. 

මොහොමඩ් නබි

“පෙශාවොර් හි අපි ක්‍රිකට් ගහනකොට අපි එහේ හොඳ කණ්ඩායම් ගොඩක් පැරැද්දුවා. ඒ නිසා අපි දැනගෙන හිටියා ආසියානු ක්‍රිකට් කවුන්සල තරගාවලිය එතරම් අමාරු නෑ කියලා.” මලික් කියා තිබේ.

මලික් කතාකාරයෙකි. 2008 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් ලීගයේ පස්වැනි කාණ්ඩයේ කණ්ඩායමක් ලෙස ශූරතාව වෙනුවෙන් ජර්සි (එංලන්තයත් ප්‍රංශයත් අතර ඇති කුඩා දූපතකි) වෙත යන ඇෆ්ගන් කණ්ඩායම 4 වැනි කාණ්ඩයට සුදුසුකම් නොලැබුවහොත් තමන් අත්ලාන්තික් සාගරයට පනින බව මලික් යන්නට පෙරම කීවේය. 

ඇෆ්ගන් කණ්ඩායමේ ජර්සි ගමන හරි අපූරු එකකි. ඒ ගමන පාදක කරගෙන Out of the Ashes නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට බ්‍රිතාන්‍යය කටයුතු කළේය. මේ වාර්තා චිත්‍රපටය නැරඹුවහොත් ඔබට ඇෆ්ගන් ක්‍රිකට් ගැන මෙන්ම ටජ් මලික් ගැනද බොහෝ දේ දැන ගත හැකිය. ජර්සි බලා යන ඇෆ්ගන් කණ්ඩායම ජර්සි තිබෙන්නේ කොහේදැයි දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ ඇමෙරිකාවේ නිව් ජර්සි පමණය. එසේම ඒ ගමනද අපූරු එකකි. මේ ගමනේ සිටි ලාබාලම ක්‍රීඩකයා වූයේ මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයේ දී, වැස්ස එනතුරු කකුල අල්ලාගෙන වැටුණු ගුල්බඩීන් නයිබ්ය. ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් වෙන මොහොමඩ් නබි ද එම කණ්ඩායමේ සාමාජිකයෙකු විය. තමන්ට කිසිසේත් හුරු නැති යුරෝපීය තත්ත්ව යටතේ ක්‍රීඩා කළ ඇෆ්ගන් ක්‍රීඩකයන් නැරඹීමට ඇතැම් පිරිස් පැමිණ තිබුණේ බෝම්බ ගහන රටේ අය ක්‍රිකට් ගහන්නේ කෙසේදැයි දැන ගැනීමටය. 

ජර්සි හිදී ශූරයන් වූ ඇෆ්ගන් කණ්ඩායම ලෝක ක්‍රිකට් ලීගයේ 4 වැනි කාණ්ඩයට උසස් වීම් ලැබීය. එම වසරේදීම ටැන්සානියාවේ පැවති 4 වැනි කාණ්ඩයේ තරගාවලියේ දී ශූරයන් වෙමින් 3 වැනි කාණ්ඩයට සුදුසුකම් ලැබූ ඔවුහු 2009 වර්ෂයේ 3 වැනි කාණ්ඩයේ ශූරයන් වෙමින් ඉහළටම පැමිණියහ. 

2008 ජර්සි ජයග්‍රහණයෙන් පසුව මලික්ගේ තනතුර අනතුරේ වැටුණි. එයට එක් හේතුවක් වූයේ මලික් ක්‍රීඩයන්ට දැඩි පීඩනයක් යොමු කරන බවට චෝදනාවක් ද තිබීමය. ඒ ගැන ක්‍රික් ඉන්ෆො සමග පැවති සාකච්ඡාවකදී මලික් කියා ඇත්තේ මෙසේය. 

“ජර්සි ජයග්‍රහණය දක්වා අපට කවුරුත් හිටියේ නෑ. කාගෙන්වත් උදව්වක් තිබුණේ නෑ. ඒත් ක්‍රිකට් ජනප්‍රිය වෙන්න පටන් ගත්තාම හැමෝම ඒ ගැන උනන්දු වුණා. ආණ්ඩුව මාව පුහුණුකරු තනතුරෙන් අයින් කළා. ‘අපි දැන් ඉහළට යනවා, ඔබ පහළ ශ්‍රේණියේ පුහුණුකරුවෙක්’ කියලයි ඔවුන් මට කිව්වේ. ඒත් මම අමාරුම කාලේ මගේ වැඩේ කළා” 

රෂීඩ් ඛාන්

මලික්ගෙන් පසුව, හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පෙශාවොර් වැසියෙකු වන කබීර් ඛාන් ඇෆ්ගන් පුහුණුකරු ලෙස පත්කෙරුණි. ඔවුන්ගේ පළමු ඉලක්කය වූයේ 2011 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමයි. එහෙත් 2009 දකුණු අප්‍රිකාවේ පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය පරාජය වීම නිසා ඔවුන්ට ඒ අවස්ථාව අහිමි විය. එහෙත්  අධිවේගයෙන් 2010 විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ඉලක්කය ඇෆ්ගනිස්ථානය ජයගත්තේය. එහිදී කිසිදු තරගයක් ජයගැනීමට ඔවුන් අපොහොසත් වුවත් වසර 2 කට පෙර ක්‍රිකට් ලීගයේ 5 වැනි තැන සිටි කණ්ඩායම පැමිණි ගමන සුරංගනා කතාවකට සමවිය. ඒ කතාවේ තවත් බොහෝ වීරයෝ සිටියහ. 

2013 දී කෙන්යාව පරදා  අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීගයේ ශූරතාව දිනාගනිමින් 2015 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ඇෆ්ගනිස්ථානයේ තවත් සුවිශේෂ කඩඉමක් විය. එයින් පසු ක්‍රමක්‍රමයෙන් බොහෝ ජයග්‍රහණ ඔවුන් කරා පැමිණුනි. ඒ සියලු ජයග්‍රහණ අතර සුවිශේෂ ජයග්‍රහණය මෙවර විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පැමිණීමයි. 

ටජ් මලික්, ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් යම් නුරුස්සන ස්වභාවයකින් සිටියද, මලික් එසැවූ ඇෆ්ගන් ක්‍රිකට් ව්‍යාප්ත කරන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය සැලකිය යුතු වැඩකොටසක් කරමින් සිටියි. වර්ග කිලෝ මීටර් 652,860 ක් විශාල, පළාත් 34 ක්, දිස්ත්‍රික්ක 325 ක් මෙන්ම ගම්මාන 34000 කට ආසන්න ප්‍රමාණයක් ඇති මුළු ඇෆ්ගනිස්ථානය පුරාම ක්‍රිකට් ව්‍යාප්ත කිරීමට ඔවුන් තරගාවලි පවත්වති. මේ වෙනවිට සෑම පළාතක්ම ක්‍රීඩාවේ තරගකාරී කොටසට එකතු වී සිටිති. පළාත් අතර තරග මෙන්ම කලාප අතර තරගද ඔවුහු පවත්වති. මේ නිසාම අධි වේගයෙන් බොහෝ දක්ෂ ක්‍රීඩකයන් සොයාගැනීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ වෙනවිට ක්‍රිකට් ක්‍රීඩකයන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථානයේ සිටිති. 2014 වෙනවිට ඔවුන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීම පිණිස කොන්ත්‍රාත් ලබාදුන් අතර පළමුව කොන්ත්‍රාත් ලබාදුන් ක්‍රීඩකයන් 32 ගෙන් 15 දෙනෙකු 19 පහළ ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයකි. එහෙත් එම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉහළ ආදායම් ඇති එකක් නොවේ. ඔවුන්ගේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා වන රෂීඩ් ඛාන්ට වාර්ෂිකව ලැබෙන්නේ ඩොලර් 87000 ක් වැනි මුදලකි. එහෙත් ඔවුන් අධිවේගයෙන් ක්‍රීඩාව ප්‍රචලිත කරන අතර තමන්ගේ ක්‍රීඩකයන්ට ලෝකයේ ඕනෑම රටකට ගොස් ක්‍රීඩා කිරීමටද අවස්ථාව දී තිබේ. සුවිශේෂ විස්සයි20 ක්‍රීඩකයන් රැසක් ඇෆ්ගනිස්ථානය බිහිකරගෙන ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසනි. අනෙක් අතින්, ක්‍රීඩකයන්ගේ ආර්ථික ශක්තියද ඉතාම වේගයෙන් දියුණු වී තිබේ. 

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තවමත් තමන්ගේ රටේදී ජාත්‍යන්තර තරග පවත්වා නැත. එයට එක් හේතුවක් වෙන්නේ ආරක්ෂක හේතුමත කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ සංචාරය නොකිරීමයි. අනෙක් හේතුව තවමත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටි ඇෆ්ගනිස්ථානයේ නොමැති වීමයි. 2021 දී තලේබාන් පාලනය පැමිණීමෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙතෙක් ඇෆ්ගනිස්ථානය සමග අයි.සී.සී තරගාවලිහිදී හැර සාමාන්‍ය තරග සඳහා සහභාගී වී නැත. ඔවුන් දිගින් දිගටම ඇෆ්ගනිස්ථානය සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි. ඇෆ්ගනිස්ථානයේ ඇති මානවහිමිකම් උල්ලංඝනය වීම් මෙයට මූලික හේතුව බව ඔස්ට්‍රේලියාවේ අදහසයි. කෙසේ වුවද මෙයින් ඇෆ්ගනිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් රසිකයන්ට දැඩි අසාධාරණයක් වෙන බව බොහෝ දෙනාගේ අදහසයි. 

අනෙක් බොහෝ කණ්ඩායම් මෙන්ම ඇෆ්ගන් කියාදෙන පාඩම නම් එක් ක්‍රීඩකයන් පිරිසක් විශ්වාස කිරීමේ ඇති වැදගත්කමයි. අතිශය අසීරු එහෙත් හුරුපුරුදු යුද්ධයක් සමග ක්‍රිකට් ඇරඹූ ඇෆ්ගනිස්ථානය, අද විස්සයි20 පිටියේ දී තමන් ගැන දැඩි විශ්වාසයක් ඇති කරගෙන ඇත්තේ කාලයක් තිස්සේ එකම පිරිසක් කණ්ඩායමේ තබාගනිමින් ඒ ක්‍රීඩකයන් විශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙය මාධ්‍යයට හෝ සමාජ මාධ්‍යයට අවශ්‍ය ලෙස ක්‍රීඩකයන් තෝරන ශ්‍රී ලංකාව වැනි රටකට හොඳ ආදර්ශයකි. අනෙක් අතින්, මුදල් හිඟ වුවද ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට ගන්නා උත්සාහයයි. මේ සියල්ලත් ලෝකය පුරාම ක්‍රීඩා කළත්, තමන්ගේ රටේ නම යටතේ ක්‍රීඩා කිරීම ආඩම්බරයක් කරගත් ක්‍රීඩකයන් පිරිසක් සිටීමත් ඔවුන්ගේ සාර්ථකත්වයේ ප්‍රධාන හේතුව වී තිබේ. එහෙත් අඩුවයසින් අයි.සී.සී තරගාවලියක ඉහළට පැමිණීමේ ප්‍රතිඵලය කෙසේ ඇෆ්ගන් ක්‍රිකට් වෙත බලපෑම් කරනු ඇතිදැයි අපට දැනගත හැකි වෙනු ඇත්තේ ඉදිරියේදීය. 


  • කාංචන දසනායක