දෙමව්පියෝ සිය දරුවන්ගේ සැපපහසුව, සතුට, යහපත, උන්නතිය උදෙසා සිය ජීවිතයේ හැම මොහොතක්ම කැප කරති. මහා කුණාටුවක් මැද්දේ වුවත් දරුවන් ආරක්ෂා කරමින් හරි මඟට යොමු කරති.
දරුවන්ගේ සියලු දුක් වේදනාවන් ඔවුන්ට විඳින්නට ඉඩ නොදී තමා වෙතට පවරා ගන්නට හැකියාව ඇත්නම් ඒ වෙනුවෙන් දෙමව්පියන් නොකරන දෙයක් නැත. සැබැවින්ම ජීවිතයේදී කෙනෙකුට ලබා ගත හැකි අනර්ඝම තිළිණය වන්නේත්, ප්‍රබල ආශීර්වාදය වන්නේත් දෙමව්පියන්ගේ සෙනෙහසය. එය අහිමි වූ කල ඔවුන් නන්නත්තාර වන්නේ එම නිසාය.
අම්මා ජීවත්ව සිටි කාලයේ තාත්තා ආදරණීය සුන්දර චරිතයක් වී සිටි අන්දම දිනේෂිට මතකය. ඔවුන් සුරතල් කරන්නට, ඔවුන්ට වුවමනා නොවන දේ පවා ගෙනැවිත් දෙන්නට තාත්තා දෙවරක් සිතුවේ නැත. වැඩිවිය පත් වෙන්නට ආසන්න කාලයේ වුව ද දිනේෂි කුඩා දැරියක ලෙසින් දකින්නට ඔහුට වුවමනා වූයේය. ඔහු ඇය උකුළේ වාඩි කරවාගෙන සුරතල් කළේ, කරේ එල්ලාගෙන ලුණු ගෙන ගියේ ආච්චිගෙන් බැණුම් පවා අසමිනි. එහෙත් අම්මා මිය ගියේ ඒ ආදරණීය තාත්තා ද මරා දමමිනි. දැන් ඔවුන්ට මව්පිය සෙනෙහස, ආරක්ෂාව ඇත්තේම නැත. තමන් වැටුණ විට නැගිටින්නට අත දිගු කරනු ඇතැයි විශ්වාස කළ ලොකු මල්ලී ද පන්සලේම නැවතුණේය. එදා සිට දිනේෂිට පන්සල් යාමටවත් සිතුණේ නැත.
“ලොකු දුව මම තිස්සමහාරාමේ යනවා..”
අලුත් අවුරුද්ද උදා වී පැය ගණනාවක් ගත වූවාට පසුව ගෙදර පැමිණි තාත්තා කීවේ දිනේෂිගේ මුහුණ මඟ හැර ඉවත බලාගෙනය. ඔහුගේ ඇඳුම් කිළිටි වී, කොණ්ඩය අවුල් වී මුහුණ තෙල් පාට වී තිබිණි. බොහෝ වේලාවක් දියේ ගිලී සිට පැමිණි කලෙක මෙන් ඇස්වල රත් පැහැයක් විණි. ඔහු පෙරදා රැය පුරාම මත් දියරේ ගිලී සිටින්නට ඇතැයි ඇය කල්පනා කළේ කළකිරීමෙන් යුතුවය. තමන්ගේ දරුවන්ගේ සතුටට ආරක්ෂාවට වඩා මත් දියර පානය වටිනාකමින් වැඩි බැව් අදහන තාත්තලා කෙරෙහි එවන් පාපී සිතුවිලි ඇති කර ගැනීම දරුවන්ගේ වරද නොවේ.
“හා..” දිනේෂි කීවේ ආගන්තුකයෙකුට පිළිතුරු බඳින්නාක් මෙනි.
තාත්තා දැනුම් දුන්නේ තිස්සමහමාරාමයට යන කුලී ගමනක් ගැන විය යුතුයයි ඇයට සිතිණි. මෑතකදී එවන් දුර ගමන් නොගියත් අම්මා ජීවත්ව සිටි කාලයේදී ඔහු ලංකාව පුරාම එලෙස සංචාරය කළේය. ආපසු එද්දී ආදරය පමණක් නොව ඔවුන් වෙනුවෙන් ඒ ඒ පළාත් වල ඇති එළවළු වර්ග, ගඩා ගෙඩි, රස කැවිලි ආදී බොහෝ දේවල් පොදි බැඳගෙන ආවේය. දිනේෂිගේ දෙනෙත්වලට කඳුළු පිරුණේ අතීතයට අයිති ඒ තාත්තා සිහිපත් වීමෙනි.
“ලොකු දුව මාත් එක්ක තරහින් ඉන්නෙ කියලා මම දන්නවා.. මම පන්සල් යන්න එනවා කියලා හිතාගෙන තමයි වැඩට ගියෙ.. ඒත් යාළුවො මට එන්න දුන්නෙ නෑ.. තිසේරා මුදලාලිත් කිව්වා තව ටිකක් ඉඳලා යන්න කියලා.. ඒත්.. ඒත්..”
කියන්නට ආ දෙය අවසන් නොකළ කිත්සිරි සුසුමක් හෙළමින් හාන්සි පුටුවේ දිග ඇදී නළලත පිරිමැද ගත්තේය. ඒ නොකියූ කොටස දිනේෂි අම්මා වෙතින් දැන සිටියාය. ඇගේ කළකිරීම දැඩි වූයේය.
“තාත්තෙ අද අලුත් අවුරුද්දක් පටන් ගත්තෙ.. අද ඉඳලවත් ඔය බීම නවත්තලා ඉස්සර හිටිය විදියට ඉන්නකො.. ඔය බීමෙන් වෙන්නෙ ඉතුරු වෙලා තියෙන හැම දේම නැති වෙන එක විතරයි කියලා තේරුම් ගන්නකො..”
අම්මාගේ උපදෙස් අනුව දැඩි හඬින් කියන්නට තැත් කළත් වචනයෙන් වචනයට ඇගේ හඬ දියාරු වී ගියේය. ඇස්වලට කඳුළුත් පිරී ආවේය.
“ඔව් ලොකු දුවේ.. මට දැන් ඒක තේරෙනවා.. බේබද්දෙකුට ලොරියක වගකීම දෙන්න බෑ කියලා තිසේරා මුදලාලි මාව රස්සාවෙන් අයින් කළා..”
ඔහු කී විට හිස මැදට කුළු ගෙඩි පහරක් වැදුණ කලෙක දැනෙන්නාක් බඳු කැරකිලි ස්වභාවයක් දිනේෂිට දැනිණි. ඇයට නිත්යාගේ තරවටුව මතක් වූයේ නිමේෂයකිනි. කවදාවත් තමා කරන්නට නොසිතූ වරදකට ඇය පළි ගෙන ඇත්තේ තාත්තාගෙනි. ඇයට නම් සමාවක් දිය යුතුම නැත.
“හිතේ අමාරුවට ටිකක් බිව්වට මම බේබද්දෙක් නෙමෙයි ලොකු දුවේ.. ඒත් තිසේරා මුදලාලි එහෙම කිව්වා.. අවුරුදු විස්සක්ම මම වැඩ කරපු ලොරිය අදින් පස්සෙ අලුත් එකෙකුට දෙනවලු.. මම ඔයාලා බලා ගන්නවා වගේම සැලකිල්ලෙන් ආදරෙන් ලොරියත් බලා ගත්තෙ.. එක හීරීමක් වෙන්න දුන්නෙ නෑ.. ලක්ෂ ගණන් හම්බ කරලා දුන්නා සත පහක් වංචා කරන්නෙ නැතුව.. ඒවා දැන් තිසේරා මුදලාලිට මතක නැති වෙලා..”
තාත්තා ශෝකයෙන් කියාගෙන ගියත් ඔහුගේ ඇස්වල තෙතමනයක් හෝ නැති බැව් දිනේෂි නිරීක්ෂණය කළාය. හැඬුණේ ඇයටය. මෙතෙක් වේලා තාත්තා කෙරෙහි කලකිරීමක් දැනෙමින් පැවති බව ද ඇයට අමතක වී ගියේය.
“අනේ තාත්තෙ..”
ඇය හාන්සි පුටුව පාමුල වාඩි වී ඔහුගේ දෙපා බදා ගත්තාය. ඔහු දිග ඇදුණ ඉරියව්වෙන්ම සිට ඇගේ හිස පිරිමැද්දේය.
“අඬන්න එපා ලොකු දුව.. ජිනා කියන්නෙ මගෙ ඇඟේ අනිත් බාගෙ.. එයා නැති වුණ දුක උහුලාගෙන ඉන්න මට ඉවසන්න බැරි තව දෙයක් තියෙනව ද..? මගේ නොවුණ ලොරියක් ගැන මම මොනවටද දුක් වෙන්නෙ..? හැබැයි කවදා හරි දවසක මටම කියලා ලොරියක් ගන්නවා කියල හිතාගෙන මම එළියට බැහැලා ආවේ..”
අම්මා මිය ගිය දිනයේ නොහඬා සිටින ලෙස තමාට කියූ ස්වරයෙන්ම ඔහු කීවේය.
“ඒකනම් හොඳ අදහසක් තමයි.. ඒත් තාත්තා මොනවටද තිස්සමහාරාමේ යන්නෙ..?”
හඬමින් වුවත් ඇය කුතුහලයෙන් විමසුවාය.
“ජීවිතේ අලුතෙන් පටන් ගන්න හොඳම තැන තිස්සමහාරාමේ කියලා මට හිතෙනවා ලොකු දුවේ.. මම නන්නත්තාර වෙලා ඉන්නකොට එහෙදී ඔයාලගෙ අම්මා හම්බ වුණේ.. මම හොඳ මනුස්සයෙක් වුණේ එයා හින්දා.. අම්මගෙ නෑදෑයො නැතත් එහෙ හොඳ යාළුවෝ ඉන්නවා.. ඒ හින්දා එහෙ ගියාම ආයෙමත් මට මොකක් හරි අලුත් පාරක් හොයා ගන්න පුළුවන් වෙයි... අනිත් එක මම ඔයාලව ජීවත් කරවන්න ඕන.. මේ ගමේ එකඑකාට පාච්චල් වෙවී ඉන්නවට වැඩිය දුරකට යන එක හොඳයි..”
ඔහු කියාගෙන ගියේය.
“අනේ තාත්තා.. ඔයත් ගියාම අපිට මොකද වෙන්නෙ..? ලොකු මල්ලිත් ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා පන්සලට ගිහින්.. මම කොහොමද මේ පොඩි උන් දෙන්නෙකුත් බලාගෙන තනියම ඉන්නෙ..?” දිනේෂි හඬා වැටුණාය.
“ඒකා ගිහි ගෙයි රඳන එකෙක් නෙමෙයි කියලා වේලාපත්කඩේ තිබ්බලු.. අම්මා ඒ කාලෙ ඕක කියද්දී මම හිනා වුණා.. ඒත් මේ ලෝකේ අපි අනුමාන කරන්නෙ නැති හුඟක් දේවල් සිද්ද වෙනවා..”
කිත්සිරි ඇගේ හිස මත වූ අත ඉවතට ගෙන දෑතම හිසට යටින් බැඳගෙන වහල දෙස බලා ගනිමින් මිමිණුවේය. කෙනෙකු අනුමාන නොකරන බොහෝ දේවල් මේ ලෝකයේ සිදු වෙන්නේ නම් සිය මල්වර නැකතේ ඇති දේවල් ද සත්‍යම විය යුතුයයි දිනේෂිට සිතිණි. මව්පියන්ට අපල බැව් කියැවී ඇති නිසා තාත්තා ද ඇය සිටින මානයෙන් දුරස් වෙන්නට සිතුවා විය යුතුය. ඔවුන් ගේ රැකවරණය පිළිබඳ අංශුමාත්‍ර හැඟීමක් හෝ නොමැතිව තිස්සමහාරාමය තරම් දුරකට යන්නට ඔහු තනිවම තීරණය කර ඇත්තේ එහෙයිනි.
“සිද්ද වෙන හැමදේටම තනියෙන් මූණ දෙන්න පුරුදු වෙන්න ඕන..” අම්මා කියන්නට ඇත්තේත් මේ දේවල් මෙලෙස සිදු වන බැව් දැන සිටි නිසා විය යුතුය. සිත ශෝකයෙන් බර වූයේ වී නමුත් මෙතෙක් බදාගෙන සිටි තාත්තාගේ දෙපා මුදා හළ ඇය දෑතින්ම කඳුළු පිසදාගෙන නැඟී සිටියේ අප්‍රමාණ ශක්තියකින් යුතුවය.
“තාත්තා යන්න.. මම කොහොම හරි පොඩි මල්ලියි නංගියි බලා ගන්නම්..”
ඇය තිර හඬින් කියද්දී කිත්සිරි ඇය දෙස බැලුවේ හිටිහැටියේම සිහිනයකින් අවදි වූවාක් බඳුවය.