තෙල් මිල වැඩි කිරීමට ඇති ඉඩකඩ හා ලෝක ප‍්‍රවණතා


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තාවකාලිකව වැඩි වී තිබේ. පසුගිය වසර දෙක ඇතුළත ඉහළම මිල, එනම් බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් හැටකට ආසන්න මිලක් වාර්තා කරන අතර එය ලෝක සැපයුම් ජාලය තරමක කැලඹීමකට ලක් කර ඇත. තෙල් මිල වැඩි වෙන්නට බලපෑ එකම හේතුව ඉරාකයේ පවත්වන ලද ආණ්ඩුව අනුමත නොකරන ලද ජනමත විචාරණයයි. එරට තෙල් සම්පත් බහුල කුර්දිස්ථානය ඉකුත් සතියේ දී ඉරාකයෙන් වෙන්වීම අරමුණු කරගෙන ජනමත විචාරණයකට ගියේය. එය ව්‍යවස්ථා විරෝධී බව ප‍්‍රකාශ කළ ඉරාක පාලනය එයට බාධා කරන ලද අතර ඉදිරියේ දී කුර්දිස්ථාන ප‍්‍රදේශයෙන් බොරතෙල් මිල දී නොගන්නා සේ ජාත්‍යන්තර ප‍්‍රජාවට දැනුම් දෙයි. එය පදනම් කරගෙන තෙල් බැරලයක මිල ඉහළ ගිය අතර කෙසේ නමුත් එය තාවකාලික තත්ත්වයක් විය හැකි බව ජගත් මූල්‍ය විශේෂඥයන්ගේ අදහසයි.   


කුර්දිස්ථාන ප‍්‍රාන්තය තම අභිමතය අනුව පවත්වන ලද ජනමත විචාරණයේ උණුසුම ශ්‍රී ලංකාවට ද දැනෙන්නට පටන්ගෙන තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩිකරන බව දන්වා ඇත. මාධ්‍ය වෙත මෙම ප‍්‍රකාශය කරන නමුත් එයින් උත්සාහ කරන්නේ මෙරට තෙල් වෙ​ෙළඳාම සම්බන්ධව පවතින තත්ත්වය සමාලෝචනය කරනු සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කරන පෙළඹවීමක් බව තේරුම් ගත යුතුය. මෙරට ජනතාව ජීවන වියදම ඉහළ යන ප‍්‍රවණතාවෙන් පීඩා විඳිමින් සිටිති. සහල්, පොල්, එළවළු සහ මාළු මිල ගණන් මාස කිහිපයකට සාපේක්ෂව වැඩි වී තිබේ. ගෑස් මිල නංවන්නට ඉඩ දුන් අතර එය පදනම් කරගෙන බත් පැකැට් එකක සිට තේ කොප්පය දක්වා මිල නංවන බවට වෙළෙඳුන්ගේ ප‍්‍රකාශ නිකුත් කරමින් සිටිති. ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද උද්ධමන අනුපාතිකය අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය ඉහළයාම සියයට 7.1ක් වන අතර එය මාස හයකට පසු වාර්තාවන ඉහළම උද්ධමන අනුපාතිකයයි. ඉන්ධන මිල වැඩි වුවහොත් මෙම ස්වභාවය තවත් දරුණු තත්ත්වයකට හැරීම වැළැක්විය නොහැකිය. 


කුර්දිස්ථානය සතු බොරතෙල් ප‍්‍රමාණය බැරල් බිලියන 45ක් යැයි ගණන් බලා ඇති අතර එය ලෝකයේ විශාලතම ඛනිජ තෙල් නිධි අතර හයවැනි ස්ථානය හිමිකරගත් තැනකි. එහි තෙල් සැපයුම බාධා වුවහොත් අනාගතයේදී ගැටලු මතුවනු ඇති බව මෙයින් අවුරුද්දකට දෙකකට කලින් නම් සාධාරණ නමුත් අද වනවිට තෙල් මිල ගැන ලෝකයේ පවතින භීතිය තුරන් වෙමින් තිබේ. එයට හේතුව ලෝක ප‍්‍රජාව ඉතාම වේගයෙන් ඛනිජ තෙල්වලින් ඉවත්ව පරිසර හිතකර බලශක්තිය කෙරෙහි අනුවර්තනය වීමය. සූර්යබල ශක්තිය ඒ අතර ඉදිරියෙන් සිටී. ලෝකයේ තෙල් මිල, මෙරට තෙල් අලෙවියෙහි නිරත සමාගම්වල බලපෑම් සලකා බලන වත්මන් ආණ්ඩුව විකල්ප බලශක්තිය කෙරෙහි නැඹුරු විය යුතුය. බලශක්තිය උදෙසා සූර්ය බලය භාවිතයට හුරුකිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඉක්මන් උපදේශය විය යුතුව තිබේ. නමුත් ආණ්ඩුවට හෝ උපදේශකයන් හෝ එය ගැන තකන්නේ නැත. දිගින් දිගටම අසාර්ථක මන්නාරම ද්‍රෝණියේ තෙල් කැනීම් නැවතත් ටෙන්ඩර් කැඳවන බව ඉකුත් පෙබරවාරියේ දී වත්මන් ආණ්ඩුව නිවේදනය කළේය. ඉන්දියාවේ කෑන් සමාගම 2011 වසරේ සිට මෙහි තෙල් ගවේෂණ කටයුතුවල නිරත වූ අතර පසුව ඉවත් වූයේ එය ලාභදායී ව්‍යවසායයක් නොවන හෙයින්ය. මෙම ප‍්‍රදේශයේ මුහුද ගැඹුරෙහි වර්ග කිලෝමීටර් 30,000ක ප‍්‍රදේශයක තෙල් බැරල් බිලියනයක් ඇති බව පර්යේෂකයන් කියා තිබේ.

නමුත් මෙම බොරතෙල් පොළොව මතු පිටට ගෙන පිරිපහදුව සඳහා කරන වියදම වාසි නැති බව ආයෝජකයන්ගේ මතයයි. තෙල් බැරල් එකක් ඇමරිකානු ඩොලර් සියය ඉක්මවා ගියහොත් මෙහි තෙල් කැනීමට ජාත්‍යන්තර ආයෝජකයන් යුහුසුලු විය හැකි අතර එය මෙරටට වාසිදායක කර්මාන්තයක් විය හැකිය. නමුත් එවැනි පරිවර්තනයකට ඉඩ රහිත වත්මන් ස්වභාවය තුළ අලුත් ප‍්‍රවණතා කෙරෙහි අවතීර්ණවීම ඉතාම වැදගත්ය. ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට අඩුම මිලට ඉන්ධන සැපයීම සහ බලශක්තිය උදෙසා නව තාක්ෂණය වෙනුවෙන් පෙළඹවීම සුදුසුය. 


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි මිල වැඩි කරන බව සඳහන් කරන විට එය නතර කරන්නට මෙරට බලධාරීහු පියවර ගන්නට ඉඩ තිබේ. පාඩු නමුත් ජනතාවට සහනයක් වශයෙන් ලංකා තෙල් සංස්ථාවේ මිල වෙනස් කරන්නේ නැති බව සඳහන් කරන්නට ඉඩ ඇත. දැනට පිරිපහදු කරන ලද ඉන්ධන ආනයනයේ දී රජය අය කරන බදු එනම් ඩීසල් ලීටරයකින් අය කරන රුපියල් 32.00 සහ පෙට‍්‍රල් ලීටරයකින් අය කරන රුපියල් 65.00 යම් ප‍්‍රමාණයකින් අඩු කරන්නට ඉඩ තිබේ. මේවා තාවකාලික පියවර බව සඳහන් කළ යුතුය. මෙරට බලශක්ති භාවිතය ගැන රටට අලුත් දැක්මක් අවශ්‍යය. රට පැවැති තත්ත්වයෙන් වෙනස් කරන බව කියා බලයට පත් වත්මන් ආණ්ඩුව ද නීතිපතා නැගෙන ගැටලුවලට උත්තර සොයන්නේ පරණ ක‍්‍රමවලටය. එනම් තෙල් කොතැනින් හෝ ගෙනැවිත් ආණ්ඩුවට බදු ආදායම හදා ජනතාවට විකිණීමය. 


නමුත් ජගත් ප‍්‍රජාව එසේ නොවේ. විද්‍යාර්ථීන් පෙන්වා දෙන අන්දමට වසර 2050 වනවිට ලෝකයේ රටවල් 140ක් ස්වකීය බලශක්ති අවශ්‍යතා සූර්ය බලය, ජල විදුලිය හෝ සුළං බලය භාවිත කරනු ඇත. ශ‍්‍රී ලංකාව අයත් විය හැකි තවදුරටත් තෙල් භාවිත කරන රටක් වශයෙන් දැයි ප‍්‍රශ්නයක් මෙම අවස්ථාවේ දී මතු කිරීම සුදුසුය. 


ශ‍්‍රී ලංකාව ආනයනය කරන ඉන්ධනවලින් සියයට හැටක් වෙන් කරන්නේ ප‍්‍රවාහනයටය. මගී ප‍්‍රවාහනයේ පවතින තදබදය මෙම ඉන්ධනවලින් සෑහෙන ප‍්‍රමාණයක් නාස්ති කරයි. ලෝකයේ රටවල් ඛනිජ තෙල් ඉන්ධන භාවිතයෙන් ඉවත් වෙමින් සිටී. ඉලෙක්ට්‍රික් හා දෙමුහුන් වාහන භාවිතය හෙයින් ලෝකයේ ඛනිජ තෙල් පරිභෝජනයට සිදුවන බලපෑම අති විශාල බව අනාවරණ වෙයි. වාර්තා වන තත්ත්වය අනුව වසර 2030 වනවිට දිනකට බොරතෙල් බැරල් මිලියන එකොළහකින් සහ 2050 වනවිට තෙල් බැරල් මිලියන හැටකින් පරිභෝජනය පහත වැටෙන්නට ඉඩ ඇති බව සලකා බලා ඇත. එය බොරතෙල් ඉල්ලුම හා තෙල් මිල කෙරෙහි ද බලපානු ඇති බව අනාවරණය වන වැදගත් කරුණකි. 


ලෝකයේ නොයෙක් රටවල් විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය ගැන තම අභිලාෂ දැනටමත් ප‍්‍රකාශයට පත්කර තිබේ. සී.එන්.එන්. වාර්තාවක් දක්වන අන්දමට ඉන්දියාවේ බලශක්ති අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය ඒ අතරින් වැදගත්ය. හෙතෙම වසර 2030 වනවිට එරට මංමාවත්වල ඉන්ධන භාවිත කර ධාවනය වන වාහන තුරන් කිරීම සිය දර්ශනය බව ප‍්‍රකාශ කර ඇත.  බ්‍රිතාන්‍ය 2040 සිට ඉන්ධන වාහන අලෙවිය නතර කරන්නට තීරණය කරන අතර 2050 දී ධාවනය වන සියලු වාහන විදුලිය හෝ දෙමුහුන් තාක්ෂණයේ විය යුතුයැයි නියෝග කරයි. ලෝකයේ වැඩිම වාහන අලෙවියක් ඇති රට වශයෙන් බ්‍රිතාන්‍ය 2016 වසරේදී අලුත් වාහන මිලියන 2.7ක් මිලදී ගෙන ඇති අතර ඒවා නවීන ඉන්ධන තාක්ෂණයෙන් යුතුය. ප‍්‍රංශය 2040 දී හා නෝර්වේ 2025 සිට පෙට‍්‍රල් හෝ ඩීසල් හෝ ඉන්ධන භාවිත කරන වාහන අලෙවිය නතර කරන ප‍්‍රතිපත්තියට පැමිණ තිබේ.

පසුගිය වසරේ දී නෝර්වේ රට තුළ ලියාපදිංචි කරන ලද අලුත් වාහනවලින් සියයට හතළිහක් විදුලිය හෝ දෙමුහුන් ඒවා හෝ බව අනාවරණ වෙයි. ඕස්ට්‍රේලියාව, චීනය, ඩෙන්මාර්ක්, ජර්මනිය, අයර්ලන්තය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු කොරියාව සහ ස්පාඤ්ඤය තමන්ගේ රටවල ඉලෙක්ට්‍රික් වාහන භාවිත කර ඉන්ධන සීමා කරන ඉලක්ක නියම කර තිබේ. ඇමරිකාව තවමත් නිශ්චිත සඳහනක් කර නැති නමුත් ප‍්‍රාන්ත අටක් තමන්ගේ ප‍්‍රාන්තවල 2050 වනවිට ඉලෙක්ට්‍රික් වාහන භාවිතය නතර කිරීම ගැන ඇති අභිමතාර්ථ දක්වා ඇත. ශ‍්‍රී ලංකාව ගමන් කරන්නේ කොයිබටද? 


බොර තෙල් මිල අඩුවන කාල පරාසය තුළ ආණ්ඩුවේ ආර්ථිකය එයින් පොහොසත් වී තිබේ. බදු ලැබෙන සහ ආදායම තර වෙන හෙයින් ඩීසල් හෝ පෙට‍්‍රල් හෝ අත් හරින්නේ නැත. ජනතාවගේ බර අඩු කර ආර්ථිකය විශාල වෙනස්කම් ප‍්‍රමාණයකට ලක් කළ හැකි නමුත් ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති තීරණයකට එළැඹෙන්නේ නැත. 2015 වසරේ දී ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 19.4කි. 2016 වසරේ දී එහි ලාභය රුපියල් බිලියන 69.6ක් බව මුදල් අමාත්‍යාංශ වාර්තා දක්වයි. මෙම ලාභ පෙන්වන්නේ ආනයනයේ දී රජය විසින් අය කරන මුලින් දක්වන ලද බදු ගෙවීමෙන් පසු බව සඳහන් කරන්නට අවශ්‍යය. තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ආණ්ඩුවට ආදායම් උපයා දෙන කේන්ද්‍රීය තැන් බවට පත්ව තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කරන බව දක්වා නිවේදන නිකුත් කරන්නේ රජයේ බදු අඩු කරගෙන සිය වෙ​ෙළඳාම තවත් තහවුරු කරගැනීමට බව තේරුම් ගැනීම අවශ්‍යය. මෙම ව්‍යුහය පරාජය කරන්නට නම් අලුත් තීරණවලට යා යුතුය. සමාගම්වලටත්, ආණ්ඩුවටත් බිලියන ගණනින් ධනය ගොඩගැහෙන්නේ ජනතාව ගෙවන වන්දියෙන් බව අවධාරණය කරන්නට අවශ්‍යය. 


තෙල් වෙනුවට රටට ඇති සූර්ය බලශක්තිය ප‍්‍රයෝජන ගැනීම ගැන උනන්දුවක් නොදක්වන්නේ මන්ද? එය තවත් විශාල කතාන්දරයකි. තෙල් තොග ඇණවුම් කිරීම, නැව් හා බවුසර් ප‍්‍රවාහනය, ගබඩා කිරීම, රක්ෂණය සුළු වෙළඳාම ඇතුළු සියලු දේ අති විශාල ධනය උපයන මාර්ග වන අතර ලෝක ආර්ථිකයේ දී මත්ද්‍රව්‍යවලට වඩා දූෂිතයැයි ගැනෙන්නේ ඛනිජ තෙල් වෙළඳාමය. ඒවායේ අත යටින් කෙරෙන ගනුදෙනු නතර කරන්නට කිසිදු ආණ්ඩුවක් අසමත්ය. එපමණක් නොව ව්‍යුහය වෙනස් කරන තීරණ ගැනීම වළක්වන්නට ද මෙම දූෂිත අංශ බලපුළුවන්කාර බවින් පොහොසත්ය. ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන සමාලෝචනයක් කිරීමට සුදුසුම අවස්ථාව එළැඹ තිබේ.

 

 

 

 

 

 

ගාමිණී සරත් ගොඩකන්ද