දකුණු ආසියාවේ ලාබාලම ආචාර්ය උපාධිලාභිණිය


ලක්බිමේ නම තැබූ දියණියෝ  

 

ආචාර්ය බුද්ධිමා සුබසිංහ   

 

පිරිමියාට සාපේක්‍ෂව ගැහැණිය අරමුණු කරා ළඟා​ෙවන්නේ බොහෝ බාධක කම්කටොලු මැදිනි. අධ්‍යාපනය, රැකියාව, සමාජ පරිසරයේ අවශ්‍යතා හිසේ පටවාගත් ඇයව හැමවිටම බාහිරින් දකින්නේ සුන්දර ළඳ බොළඳ ලෙස වුවත්, උත්සාහය, අධිෂ්ඨානය, කැපකිරීම නිසාම ජීවිතය ජයගත් කාන්තාවන් අප ඕනෑ තරම් දැක ඇත. එහෙත් අඩු වයසින් ජීවිතය ජයගත් අය හමුවන්නේ කලාතුරකිනි. විශේෂයෙන් ගැහැණු දරුවකුට එය විශාල අභියෝගයකි. අධ්‍යාපනයෙන් ජීවිතය ධනාත්මකව ගොඩනගා ගත් ගැහැණුන් අතර මේ දිගහැරෙන්නේ එවන් තවත් අභිමන් ලියකගේ කතාවකි.   


ඇය බුද්ධිමා සුබසිංහ ය.   


“මම මගේ ජීවිතයට උත්තර දෙන්න හොඳම ආයුධය අධ්‍යාපනයයි කියලා හිතාගත්තේ දෙක වසරෙදි. කෙනකුට හිතෙන්න පුළුවන් දෙක වසර ළමයකුට එහෙම හිතෙන්න පුළුවන්ද කියලා. හැබැයි ඇත්තටම මට හිතුණා. මොකද ඒ වෙනකොට මම මේ අධ්‍යාපන වටපිටාව ඇතුළේ ලොකු මානසික හිංසනයකට ලක්වෙලා හිටියේ. දෙවැනි වසරෙන් තුන්වැනි වසරට මම අඩිය තිබ්බේ වාර විභාගවල අවම ලකුණු මට්ටමකින්. තුන්වෙනි පන්තියට එද්දි මට ආපු ආත්ම ශක්තිය මොන බාධකය ආවත් මම අතහැරියේ නැහැ. අවුරුදු 19 වෙනකොට මම උපාධි දෙකක් ලබාගත්තා.

   
අවුරුදු 24 වෙනකොට ආචාර්ය උපාධියක් ලබාගෙන දකුණු ආසියාවේ ලාබාලතම ආචාර්ය උපාධිලාභිනිය වෙන්න මට වාසනාව ලැබුණා. මේ ආපු ගමන හැරිලා බලද්දී මට මං ගැනම පුදුමයි.”   


දකුණු ආසියාවේ ලාබාලතම ආචාර්ය උපාධිලාභිනිය වන ඇය ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ ශිෂ්‍ය අධ්‍යයන අංශයන්ගේ ප්‍රධානී (Head Student Life & Engagement, NIBM) ආචාර්ය බුද්ධිමා හංසිනි සුබසිංහයි.   


දරුවන් දෙදෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණිය වූ ඇය කුඩා කල සිටම අධ්‍යාපනයට උපන් හපන්කම් කීවාය. මාතර සිය දෙමාපියන්ගේ උපන් ග්‍රාමයේ කුඩා කල ජීවිතය ගත කරන ඇයට පියාගේ සහ මවගේ රැකියා කාර්ය බහුලත්වය මත සාමාන්‍ය දරුවකු පෙර පාසල් යන වයස් සීමාවට ප්‍රථම පෞද්ගලික පෙර පාසලකට යොමු වීමට සිදුවූයේ අවුරුදු දෙකක් පමණ කුඩා වියේදීය.   


“මගේ අම්මා සේවය කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ. තාත්තා වැඩ කළේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ. මගේ අම්මයි, තාත්තයි කොළඹ රැකියාවට ගියේ මාතර ඉඳලා. මාව රැකබලා ගැනීමේදී උද්ගත වූ ප්‍රශ්නය එක්ක අවුරුදු දෙකහමාර වෙනකොට අම්මයි, තාත්තයි මාව පෙර පාසලකට යොමු කළා. මම පෙර පාසලට ගියේ කිරි බෝතලෙත් අරන්. මම අධ්‍යාපනය ලැබුවේ විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලේ.   
අවුරුදු දෙකහමාරේදී විල්ස්ඩන් ජාත්‍යන්තර පාසල් පෙර පාසලට ගිය මට එහි පළමු වසරට වයස අඩුවෙන් යොමු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව පළමු පංතියේ අධ්‍යාපනය ලැබූ වයසින් අඩුම දරුවා වුණේ මම. ඒ නිසාම පන්ති භාර ගුරුවරිය මට ගොඩක් ළං වුණා. අනෙක් දරුවන්ට වඩා ගුරුවරු මට ලොකු අවධානයක් දුන්නා. පාසලේ අනෙක් ගුරුවරුත් එහෙමයි. මට කෑම ටික පවා කැව්වේ ගුරුවරු. මොකද අනෙක් දරුවන්ට වඩා මම ගොඩක් වයසින් බාල නිසා. වැඩිපුර මට ගුරුවරුන්ගේ අවධානය යොමු වෙනකොට පන්තියේ අනිත් ළමයි මාව කොන් කරන්න පටන් ගත්තා.   


ඉන්න පොඩිම ළමයා නිසා පන්තියේ ළමයි මට විවිධාකාරයෙන් හිංසාවන් කළා. මට ගහනවා, ටොකු අනිනවා, මගේ පොත්, පෑන්, පැන්සල් හොරකම් කරනවා. මට මතකයි එක පාරක් පන්තියේ ළමයි ඉස්කෝලේ වොෂ්රූම් එකක් ඇතුළට දාලා මාව ලොක් කළා. අඬ අඬා වොෂ්රූම් එක ඇතුළට වෙලා ඉද්දි ටීචර් කෙනකුට මම අඬන සද්දෙ ඇහිලා දොර ඇරලා තමයි මාව එළියට ගත්තේ. ඒ හිංසනයන් මට දරාගන්න බැරි වුණා. ඒ හිංසනයන් නිසාම මම ඉගෙන ගන්න උනන්දුවක් දැක්වුවේ නැහැ. දවසින් දවස මාව අදක්‍ෂ ළමයි ගොඩට වැටුණා. ඉස්කෝලේ යන්න බෑ කියලා අඬපු අවස්ථා අප්‍රමාණයි.   


චූටි කාලේ ඉඳලා මම දැක්කේ පාසලේ අධ්‍යාපනය කියන්නේ එපා කරපු දෙයක් විදිහට. ළමයි කරදර කරන නිසා ඉස්කෝලේ යන්නේ හරිම බයෙන්. අම්මා මාව ඉස්කෝලෙට එක්ක ගියේ බලෙන්. මගේ මානසික මට්ටම බිංදුවටම වැටුණා. ඉගෙන ගන්න එක එපාම වුණා. අම්මයි තාත්තයි මගේ හිත හැදුවට ඒ වැටුණ මානසික වැටිල්ලෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ.   


ඒත් දෙවැනි පන්තියේ අවසන් වාර විභාග පරීක්ෂණයේදී පළමු තැන ගන්න ළමයින්ට තෑගි දෙන උත්සවයේ පිටිපස්සේ පේළියට වෙලා එදා සහතික, තෑගි ගන්න ළමයි දිහා මම බලාගෙන හිටියා. එදා මගේ අම්මයි, තාත්තයි ආවේ නැහැ. මොකද මට තෑගි නැති නිසා. ඒ දෙමාපියෝ, ළමයි සතුටට පත්වෙනවා මම ගොඩක් වෙලා බලාගෙන හිටියා. මට මේ තත්ත්වයට පත් වෙන්න බැරි ඇයි කියලා එදා මට හිතුණා. එදා මට ලොකු ආත්ම ශක්තියක් ආවා. මම තනියම කල්පනා කළා. හැමදාම ළමයින්ගේ හිංසනයන්ට ලක් වෙවී අඬ අඬා ඉන්නේ නැතුව මේ හිංසනයන්ගෙන් ගොඩ යන්න හොඳම ආයුධය ඉගෙන ගන්න එක කියලා එදා මම හිතාගත්තා. දැඩි තීරණයකට ආවත් ඒ තැනට යන්න ලේසි වුණේ නැහැ. මොකද මම මානසිකව වැටිලා හිටපු නිසා. මට කවුරුත් කියලා දුන්නේ නැහැ වැටුණු තැනින් නැගිටින්න. එතනින් නැගිට්ටේ මම තනිවමයි.   
තුන්වැනි පන්තියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා මම පන්තියේ එක, දෙක, තුන අතර ස්ථාන ගත්තා. බොහෝ අවස්ථාවලදී පළමුවැනියා වුණා. දුර්වල ළමයි ගොඩේ හිටපු මම ඉස්සරහට එන්න ආයුධය කරගත්තේ පාඩම් කිරීම. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්ත නිසා මට අවුරුදු 13 දී ලන්ඩන් සාමාන්‍ය පෙළ ලියන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා.”   


රජයේ පාසලකට යන්න අවස්ථාවක් ලැබුණේම නැද්ද? මා විමසීමි.


“මගේ අම්මයි, තාත්තයි මාව රජයේ පාසලකට ඇතුළත් කරන්න ගොඩාක් උත්සාහ කළා. රජයේ පාසලකට ඇතුළත් වෙන්න ආසාවක් තිබුණා. මොකද මගේ එකම හීනය වුණේ වෛද්‍යවරියක් වෙන්න. ජාත්‍යන්තර පාසලකට ගියාම වෛද්‍ය විද්‍යාලයට යන්න බැහැ කියලා මම දැනගෙන හිටියා. ඒත් මට රජයේ පාසලකට යන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා තමයි මම පරිගණක විද්‍යාව තෝරගත්තේ.   


සාමාන්‍ය පෙළ සමත් වෙලා පරිගණක තාක්‍ෂණය ඉගෙන යන්න මම ගේට්වේ කොලේජ් එකට ගියා. අවුරුදු 15 වෙද්දී මම උසස් පෙළ අවසන් කළා. අවුරුදු 16 වෙනකොටම උසස් පෙළ සමත් වුණාට පස්සේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් උපාධිය කිරීමට අවස්ථාව ලැබුණා. එතකොට මට අවුරුදු පහළොව අවසන් වුණා විතරයි. ඕස්ට්‍රේලියාවට තනියම යවන්න මගේ දෙමාපියන් කැමැති වුණේ නැහැ. හැබැයි මම ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා උපාධිය හැදෑරුවා. ඒ අතරතුර ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ විශේෂ ගෞරව උපාධිය යන උපාධි දෙකම අවුරුදු 19 වෙනකොට ලබා ගත්තා.”   


උනන්දුව, අවශ්‍යතාව, අරමුණ, කැපවීම සියලු දේ තුළින් බාධක කෙතරම් ආවද අධ්‍යාපන කඩඉම් ඉතා විශිෂ්ට ලෙස ජයගන්නට ඇය සමත් වූවාය. කුඩා කාලයේ සිටම ඉලක්කයක්, සැලැස්මක් තබාගත් ඇය උපාධි ද්විත්වයකින් තම ගමන අවසන් නොකෙරීය. වයස අවුරුදු 19 වනවිට මෘදුකාංග ඉංජිනේරු තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිලාභී ඇයට තොරතුරු තාක්‍ෂණික ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කථිකාචාර්යවරියක් ලෙස සම්බන්ධ වීමටද අවස්ථාව හිමිවීම ඇයගේ ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් විය. ඒ අනුව බුද්ධිමා අවුරුදු 19 දී ළාබාලතම උපාධිධාරිනිය සහ කථිකාචාර්යවරිය බවට ද පත්වූවාය. ඇයගේ ඊළඟ ඉලක්කය වූයේ ආචාර්ය උපාධියක් ලබාගැනීමය.   


“අවුරුදු 20 වෙනකොට මම ආචාර්ය උපාධියට සූදානම් වුණා. ඒක ලොකු ඉලක්කයක්. ගොඩක් මහන්සි වුණා. විවිධ වූ බාධක ආවා. හැබැයි මම අරමුණ අතහැරියේ නැහැ. අවුරුදු 24 වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාවේ සයිබර් ආරක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව ආචාර්ය උපාධිය මම ලබාගත්තා. අධ්‍යාපනය නීරස වෙලා හිටපු මම අවුරුදු 24 දී ආචාර්ය උපාධියක් දක්වා ආපු ගමන ඉතාම දුෂ්කරයි. මගේ මව චන්ද්‍රලතා සුබසිංහ, පියා කුමාරසිරි සුබසිංහ, මගේ එකම සහෝදරයා රවිඳු, ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා සමීර, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු මට අකුරක් හෝ උගන්නපු සියලුම ගුරුවරුන් මගේ මේ ගමන පිටුපස විශාල ශක්තියක් වුණා.   


මගේ ඉලක්කය කරා එන්න මම මහන්සි වුණත් මම කවදාවත් පොත් ගුල්ලෙක් වෙලා හිටියේ නැහැ. පාසලේ විශ්වවිද්‍යාලයේ හැම බාහිර වැඩකටම මම දායක වුණා. හැබැයි මම පොත් කියවන්න ගොඩක් ප්‍රිය කළා. විශේෂයෙන් කියන්න ඕනෑ මගේ ගමනේ ආපස්ස හැරලා බලද්දී මම ගත්ත සමහර තීරණ ගැන මම අද සතුටු වෙනවා. පාසල් මට්ටමින්ද විශ්වවිද්‍යාල මට්ටමින්ද මට ඉදිරියට යන්න අවස්ථා ගොඩාක් ලැබුණා. ඒ ලැබුණු අවස්ථාවන්වලදී මම කැපී පෙනෙන්න ගියේ නැහැ. ලොකු අඩි තිබ්බේ නැහැ. අදටත් මම එහෙමයි. මට කොච්චර අවස්ථා ලැබුණත් ලොකු අඩි තියන්න යන්නේ නැහැ. මම නිතරම වැඩ කරන්නේ මගේ මට්ටමට ගැලපෙන අයුරින්.   


තව දෙයක් තමයි මගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න මාව ගොඩ නගපු එකම තැන තමයි දහම් පාසල. අවුරුදු පහෙන් දහම් පාසල් අධ්‍යාපනය පටන් ගත්ත මම තාමත් දහම් පාසල් යනවා. දැන් වසර පහළොවක් තිස්සේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයේ ලංකාවේ පළමු ඉංග්‍රීසි දහම් පාසලේ ගුරුවරියක් විදිහටත් මවු දරුවන්ට දැනුම ලබා දෙනවා.


දරුවන්ට මම පුංචි දෙයක් කියන්නම්. දුවන මනස එක්තැන් කරගෙන වැඩ කරන්න අමාරුයි. හැබැයි භාවනානුයෝගීව වැඩ කරනවනම් අපිට අරමුණ කරා ළඟා වෙන්න හරිම ලේසියි. දුවන මනස එක්තැන් කරගෙන සතියෙන් වැඩ කරන්න. ඒක මම අත්විඳලා තියෙන දෙයක්.”   


ඇයගේ ජීවිතය ඉහළටම රැගෙන යන්නට, ජීවිතය ධනාත්මකව ගොඩ නගාගන්නට යෝධ සෙවනැල්ලක් වූ ඇයගේ ආදරණීය සැමියා ද විශේෂයෙන් මතක් කළ යුතුමය. 

 
“ඇත්තටම මගේ සැමියා ශාමෙන් සමීර, අපි දෙන්නාගේ විවාහය සිද්ධ වෙන්නේ ප්‍රේම සබඳතාවක් මත. ඔහු පෞද්ගලික ආයතනයක ව්‍යාපාර කළමනාකරුවකු ලෙස සේවය කරනවා. ඇත්තටම ඔහුගේ සහයෝගයත්, දිරිගැන්වීමත් නොතිබුණා නම් මට මේ ගමන එන්න ගොඩක් අසීරු වෙනවා. එයා තමයි මගේ ගමනේ ලොකුම ශක්තිය. ඔහු කවදාවත් ගැහැනියගේ පැත්තෙන් සාම්ප්‍රදායිකව හිතුවේ නැහැ. එයා නිතරම කියන්නේ ඔයා ඔයාගේ ගමන යන්න මම පිටිපස්සෙන් ඉන්නවා කියලා විතරයි. මගේ ඊළඟ අරමුණ මහාචාර්ය පදවිය. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා.”  


අවුරුදු 24 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාවේ සයිබර් ආරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් දකුණු ආසියාවේ ලාබාලතම යෞවනිය වූ ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යාව හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරියක ලෙස ද සේවය කර ඇත. එමෙන්ම තරුණ කාන්තා නායකත්ව සන්නිවේදන ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් සහ තරුණ පිරිස නගාසිටුවීමට ජාතික හා අන්තර්ජාතික සංසදවල ද ඇය මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඇයගේ අධ්‍යාපනික දක්‍ෂතාවය සහ කුසලතාවය මත ආචාර්ය බුද්ධිමාට විදෙස් විශ්වවිද්‍යාලවලින් ද ලැබෙන ආරාධනා සුවිශාලය.  


“ඇත්තටම විදේශීය විශ්වවිද්‍යාලවලින් මට ගොඩක් ආරාධනා ලැබෙනවා එයාලා එක්ක වැඩ කරන්න එන්න කියලා. ඒ වගේම ඕස්ට්‍රේලියාවෙනුත් මට ආරාධනා ලැබිලා තියෙනවා, ස්වාමිපුරුෂයා සමඟම එන්න කියලා. ඒත් මම ඒ ආරාධනා සියල්ලම ප්‍රතික්ෂේප කළා. හේතුව, මම මේ තරම් දුරක් ආවේ මගේ රටේ අධ්‍යාපනය ලබාගෙන. මගේ රටෙන් ඉගෙන ගෙන පිටරටකට මගේ දැනුම දෙනවට වඩා මගේ රටේ දරුවන් වෙනුවෙන් මට කළ හැකි උපරිම දායකත්වය ලබාදෙන්න තමයි මගේ අරමුණ. ඒ නිසා මම කවදාවත් ලංකාව දාලා පිටරට විශ්වවිද්‍යාලයකට යන්නේ නැහැ කියලා හිතුවා.  


මට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරියක් වෙන්න බැරි වුණාට මම ආචාර්ය උපාධිය අරගෙන මට කළ හැකි සේවය මම රට වෙනුවෙන් කරනවා. අපිට අරමුණක් තියෙනව නම් ඒ අරමුණ කරා යන්න අපි සැලැස්මක් හදාගන්න ඕනැ. අදටත් මම වැඩ කරන්නේ සැලැස්මක් ඇතුව.” ඇය කීවාය.   

 

සටහන - නදීශා අතුකෝරළ