දඩයමෙන් දිවිගෙවූ කැලෑ ගුණේගේ ඉරණම


ජීවිතය යහමඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්පාර, මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

වසදී රිළවුන් මැරූ ඩිංගිරි බණ්ඩාගේ ඉරණම   


මීට වසර තිස් පහකට පෙර මධ්‍යම පළාතේ ප්‍රධාන නගරයකට නුදුරින් පිහිටි ගමක පවුල් තිස් පහක් පදිංචිව සිටියහ. ඔවුන් සමහරු නගරයේ කඩ සාප්පුවල සුළු රැකියා කළ අතර බොහෝ පවුල් ජීවත් වූයේ වගා කටයුතුවල යෙදෙමිනි.   


රජයේ කෘෂි ආයතනයක් මගින් පැපොල්, අන්නාසි, කෙසෙල්, කිලෝ ​පේර ආදී පලතුරු වගා කිරීමේ වැඩසටහනක් මෙහි සිදු කරනු ලැබීය. තමන් කැමති භෝගයක් තෝරාගෙන අක්කරයක් වගා කරන ගොවියකුට අදාළ උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීමත්, මුළු වටිනාකමින් අඩකට බීජ ලබාදීමත් අස්වනු නෙළීම අැරඹූ පසු කොටස් වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත මූලික කටයුතු සඳහා රුපියල් විසි පන් දහසක ණය මුදලක් ලබාදීමත් සිදුවිය. ගමේ දක්ෂ වගාකරුවෙකු මෙන්ම පෙදරේරුවෙකු ද වූ ඩිංගිරි බණ්ඩා ද මේ වැඩ සටහන යටතේ කිලෝපේර අක්කරයක් වගා කළේය. පේර වගාවෙන් වැඩි ආදායමක් ලැබිණි. එය සමහර මාසවල රුපියල් තිස්පන් දහසද ඉක්ම වූ ආදායමකි.   


ඩිංගිරි බණ්ඩාගේ මෙම සරු සාර පේර වගාව හිටි හැටියේ විශාල ලෙස අලාභ හානි සිදු වන්නට පටන් ගත්තේය ඒ වගාව අසල වන ලැහැබෙන් එන රිළා රංචුවකගෙනි. දහයක් පහළොවක් පමණ වූ මේ රිළා රංචුව දිනපතාම පැමිණ පේර ගෙඩි කාදැමීම නිසා සමහර මාසවල ඔහුට රුපියල් පන් දහසක් වත් උපයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. මේ නිසා අලුයම පේර වගාවට පැමිණ රෑ වන තුරුම එහි රැඳී සිට රිළවුන් පැන්නීමේ යෙදුණත් පලක් නොවිණ.   


එක පැත්තකට එන රිළවුන් පන්නන විට අනෙක් පැත්තෙන් තවත් පිරිසක් පැමිණ හානි කරන්නටත් පේර කා දැමීමත් ගෙඩි කඩාගෙන වන ලැහැබට පැන දිවීමත් නිසා කෝපයට පත් ඩිංගිරි බණ්ඩාර මෙම රිළා උවදුර මඟ හරවා ගැනීමට උපායක් යෙදුවේය.   


එකල විෂ බෙහෙත් වර්ග සුලබව නොතිබුණත් පොලිඩෝල් නමින් ඉතා විෂ සහිත බෙහෙත් වර්ගයක් තිබුණේය. ඩිංගිරි බණ්ඩා එම විෂ බෙහෙත් බෝලතයක් ගෙන විත් ජලයට මිශ්‍ර කොට බෝතල් පහක් ලෑස්ති කර ගත්තේය. ඉන්පසු ඉඳුණ කෙසෙල් ඇවරී කිහිපයක් ද ගෙන ඒවාට විෂ බෙහෙත් බෝතලයක් පමණ දමා රිළවුන් පේර වගාවට එන හැම තැනකම එල්ලා තැබුවේය.   


ඉන්පසු රිළවුන් පැන්නීමට නොගොස් නිවසට වී සිට සවස පේර වගාවට ගොස් විපරම් කොට බැලුවේය. රිළවුන් පැමිණ කෙසෙල් ගෙඩි පමණක් නොව පේර ද සෑහෙන ප්‍රමාණයක් කා දමා තිබූ අතර එකම රිළවෙකුවත් මැරී සිටියේ නැත. ඔහු පසු දිනත් රිළවුන් පැන්නීමට ගියේය. ඒත් එදින වෙනදා තරමට රිළවුන් පැමිණියේ නැත. පසු දින ද ඔහු රිළවුන් පැන්නීමට ගිය විට පේර වගාව අවට කැලෑවෙන් දුගඳක් දැනෙන්නට විය. ඔහු කැලෑ රොදට ඇතුළු වී විපරම් කොට බැලීය. තැනින් තැන රිළවුන් කිහිප දෙනෙකු මැරී සිටිනු දුටුවේය. ඩිංගිරි බණ්ඩා වහාම ගමේ කඩේට ගොස් කෙසෙල් ඇවරි දෙකක් ගෙන විත් බෙහෙත් දමා රිළවුන් එන තැන්වල තබා මහත් උජාරුවෙන් නිවසට ගියේය. එවිට ඔහුගේ බිරිඳ ජනෝහාමි ඩිංගිරි බණ්ඩාට කතා කොට ‘ඇයි මේ වෙලාවේ ගෙදර ආවේ අර රිළා හැත්ත ඇවිත් මේ වෙලාවටම පේර ගෙඩි ටික කනවා ඇති’ යි කීවාය.   


ඒ ඇසූ ඩිංගිරි බණ්ඩා මෙතෙක් කාටත් නොකියා සිට පොලිඩෝල් යෙදූ කතාව මුල සිට ඇයට කීවේය. ඉන් පසු ඔවුන් දෙදෙනා මෙය රහසක් වශයෙන් තබා ගැනීමට තීරණය කර ගත්හ.   


මේ ආකාරයට රිළා උවදුර නැති කර ගත් ඩිංගිරි බණ්ඩාගේ පේර වගාවෙන් මාස දෙක තුනක් ගත වන විට පෙර තිබුණ ආකාරයටම ආදායම් ලැබෙන්නට පටන් ගත්තේය.   
එක් දිනක් ඩිංගිරි බණ්ඩා හඳුනන නගරයේ කඩ හිමියෙකු අසල්වැසියෙකු අත පණිවිඩයක් එවා තිබුණේ පසු දින පැමිණ ඔහු හමු වන ලෙස කියාය. තම කඩයේ අලුතෙන් කාමරයක් සෑදීමට ඇති බවත් එය ඉක්මණින් කර ගැනීමට අවශ්‍ය බවත් පැවසූ මුදලාලි එය කර දෙන මෙන් ඩිංගිරි බණ්ඩාගෙන් ඉල්ලා සිටියේය. දින දහයකින් පමණ කාමරය සාදා දිය හැකි බව කී ඩිංගිරි බණ්ඩා පසු දිනම වැඩ පටන් ගත්තේය.

   
කාමරයේ වැඩ ඉක්මණින් නිම කර දුන් නිසා මුදලාලි ඩිංගිරි බණ්ඩාට පොරොන්දු වූ මුදල් ද ගෙවා කඩය ආසන්නයේ පිහිටි නිවසට ඔහු එක්ක ගොස් අරක්කු සංග්‍රහයක් ද කළේය.   
‘මගේ පේර වගාව පටන්ගෙන අවුරුද්දකටත් වැඩියි. ඒ කාලය තුළ මම බීලා තියෙන්නේ දවස් දෙකයි. ඒ දවස් දෙකේ අරන් ගිය බෝතල් දෙකෙන් ඉතුරු වෙච්ච බාග දෙකක් මගේ වාඩියේ තවමත් තියෙනවා. මේක අපි දෙන්නා බොමු’ යි කීවේය. පසුව දෙදෙනා අරක්කු බෝතලය බීවෝය. හොඳටම වෙරි වූ ඩිංගිරි බණ්ඩා අද හොඳටම රෑ වුණා කියා මුදලාලිගේ නිවසින් පිටත්ව අමාරුවෙන් නිවසට ගියේය. ඩිංගිරි බණ්ඩා බීමත්ව පැමිණි නිසා ඔහුගේ බිරිඳ කිසිවක් කතා නොකළාය. ඩිංගිරි බණ්ඩා මුදලාලිගෙන් ලැබුණ මුදල් ද ඇයට දී පේර වගාව බලන්න ගියා දැයි විමසුවේය.   


අැය දෙතුන් වරක් ගිය බවත් කිසිම හානියක් නැති බවත් කීවාය.   


‘කමක් නෑ, මාත් ගිහින් එන්නම්’ කියූ ඩිංගිරි බණ්ඩා විදුලි පන්දම රැගෙන පේර වගාවට ගියේය. එහෙත් සෑහෙන වෙලාවක් ගියත් ඔහු යළි නොපැමිණියේය. ජනෝහාමි දුවත් සමග ඔහු ගැන විපරම් කර බැලීමට ගියාය. වාඩියට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ සෙම දමමින් වැටී සිටින ඩිංගිරි බණ්ඩා ය. බියට පත් ඔවුන්ගේ කෑ ගැසීම ඇසී අහළ පහළ අය දුව ආහ. ඩිංගිරි බණ්ඩා රෝහලට ගෙන ගියහ. එහෙත් හෝරා කිහිපයකින් ඔහු මෙලොව හැර ගියේය.   


ඩිංගිරි බණ්ඩා මියගියේ වාඩියේ තිබුණ අරක්කු යයි සිතා වැරදීමෙන් පොලිඩෝල් බීලාද? යන්න තවමත් අබිරහසකි. එහෙත් සිදුව ඇත්තේ ඔහුට මේ ජීවිතයේදීම කළ කම් පළදීම නොවේද? 

 



අකුරැස්ස පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන ලියා එවූ කතාවකි.  

දඩයමින් දිවි ගෙවූ කැලෑ ගුණේගේ ඉරණම   


අතීතයේ ගම් දනව්වක විසූ ගුණසෝම තම දිවියේ වැඩි කාලයක් වනය තුළම ගත කිරීමට පුරුදු වූ අයෙකි. එබැවින් ගමේ වැඩි දෙනෙක් ඔහු හැඳින්වූයේ කැලෑ ගුණේ නමිනි.   


නූගතෙකු වූ ගුණසෝමගේ එකම ජීවනෝපාය වූයේ සතුන් දඩයම කිරීම හා කිතුල් මල් මැදීමයි. කැලෑව තුළ පැල් කොටයක දිවි ගෙවීමට පුරුදු වූ ගුණේ ගමට පැමිණි දිනවලට උයන කෑම බීම සඳහා අඩුමකුඩුම රැගෙන යයි. කිතුල් පැණි උණු කර නගරයට ගෙන විත් අලෙවි කිරීමෙන් අතමිට සරු කර ගනී. හොඳම පැණි ටිකක් මෙන්ම හොඳම දඩමස් ටිකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ කැලෑ ගුණේගෙන්ම පමණි. ගමේ මෙන්ම අවට ප්‍රදේශයක වුවත් මඟුල් තුලාවක්, දානයක් හෝ ප්‍රියසම්භාෂණයකදී කැලෑ ගුණේ ගේ සේවය නැතිවම බැරි තැනට පත්ව තිබුණි.   


කලට වේලාවට අත්‍යවශ්‍ය දෑ සැපැයීමට ගුණේ අතිදක්ෂයෙකු වූ අතර දිවා රෑ නොබලා සේවය සපයා දීමට ඔහුට සැදී පැහැදී සිටියේය.   
අහිසංක සතුන් දඩයම් කිරීම මහා පව්කාර ක්‍රියාවක් වුවත් ඔහුගෙන් ලැබෙන සේවය ගැන සිතා කිසිවෙකුත් කට ඇරියේ නැත. ගමේ වැඩිහිටියෙකු හෝ නිවසේ අයෙකු කරන අවවාදයක් පිළිගැනීමට ද ඔහු සූදානම් නොවීය.   


උගුල් අටවා අල්ලාගන්නා අහිංසක සතුන් මරා ගන්නේ ද ඉතා කෲර වධ හිංසා දෙමින් අමානුෂික අන්දමිනි. ඒ සතුන් අවසන් හුස්ම හෙළන්නේ මහත් වූ වේදනා විඳිමිනි.   
දඩමස් ඇතුළු අනෙකුත් දෑ අලෙවියට සතියේ එක් දිනක් නිශ්චිතවම වෙන් කර ගෙන එදිනට ගමට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවිය. ඒවා මිලදී ගැනීමට ගැමියන් ද සැදී පැහැදී සිටියෝය. එදින ද පසු දිනට ගමට යාමට අවශ්‍ය අඩුම කුඩුම පිළියෙල කොට තබා දවසේ වෙහෙස නිවාගන්නා අටියෙන් මධුවිතකින් සැනසෙන්නට සිතූ කැලෑ ගුණේ පැල් කොටය අසලම තිබූ කිතුලට නගින්නට විය.   


ගුණේ රා පොල් කටුවකින් ගත සනසාගෙන තෙලිජ්ජ මුට්ටිය ද වාරු කර එක් අතකින් මුට්ටිය ගෙන සීරුවට ගසේ හැරපට එකින් එකට පය තබමින් බහින්නට විය.   
කරුමයක මහත! තුන්වන හැරපටට පය තබනවාත් සමග ලිස්සා ගොස් ගස මුල පතබෑවුණේ නටුවෙන් ගිලිහුණු කොස් ගෙඩියක් මෙනි. අතපය බිඳී තුනටිය කැඩුණු ගුණේට කළ හැකි එකම දෙය වූයේ මරහඬ තැලීම පමණි. එහෙත් එය ඇසෙන මානයක කිසිවකු නොවීය.   
පසුදින ගුණේ ගමට එන තෙක් බලා සිටි ගැමියන්ට ඔහුගේ නොපැමිණීම මහත් ගැටලුවක් විය. වහ වහා ගම්මු කැලෑ වැදුණාහ. කිතුල් ගස මුල වැටී ඒ වන විටත් දැඩි ආයාසයකින් කෙඳිරිගාමින් සිටි ගුණේ ඔවුන්ට හමු විය. වහ වහා ක්‍රියාත්මක වූ ගැමියෝ ගුණේ වෙද ගෙදරට රැගෙන ඒමට කටයුතු කරනු ලැබුවත් සුවයක් ලැබෙන පාටක් නොවීය. දින ගණනාවක් කෑමක් බීමක් පවා ගැනීමට නොහැකිව ඔහු අතින් මියගිය සතුන් මරණාසන්නයේ නගන හඬට සමාන හඬකින් කෑ ගසමින් ගත කළ කැලෑ ගූණේ අවසන් හුස්ම වාතලයට මුසුකළේය.

 



නිකඳළුපොත කරුණාදාස  සපුතන්ත්‍රී මහතා ලියා එවූ කතාවකි.   

ගුරුවරයාට පහර දීමේ දුර්ගුණය පලදෙයි  


පිටිසර ගමක විසූ සීමන් අප්පු ඉතාම අසරණ, හේන් ගොවිතැනින් ජීවිතය සරි කර ගත් අයෙකු විය. බිරිඳ ලෙඩගානේ සිටි අතර එකම පුතා වූ පියදාස දඩබ්බරයෙකු විය.   


පාසල් යනවා යැයි කියා පොත් ටික පසෙක තබා වැටව බැස මාළු ඇල්ලීම, අඹ, කජු වැනි ගස්වලට පොලු ගසා කඩා ගැනීම ඔහුගේ දින චර්යාව විය.   


පියදාසගේ පාසලේ දක්ෂ ගුරු මහතෙකු වූ සමරවීර මහත්තයා ළමයින්ට ආදරය දැක් වූ අතර උගන්වන්නේ ද හොඳට තේරෙන ලෙසටයි. එතුමාගෙන් ඉගෙන ගත් අය බොහෝ දෙනෙක් රජයේ රැකියාවල නිරත වූ අතර පියදාසට නම් මේ ගුරුතුමා පේන්න බැරි විය.   


දිනක් ගණන් පාඩම වෙලාවෙදි පියදාසගේ ගෙදර වැඩ පොත බලන විට එහි ගණනක් තියා එක ඉලක්කමක්වත් නොවීය. කෝපයට පත් ගුරුතුමා වේවැල්පාර දෙකක් ගැසුවේ ඔහු හොඳමඟට ගන්නටයි. එහෙත් ගුරුතුමා සමග වෛරය ඇති කර ගත් පියදාස ගෙදර ගියේ සිත සතුටින් නම් නොවෙයි. පාසල ඇරී පාපැදියෙන් ගෙදර යන ගුරුතුමා එනතුරු බෝක්කුවක් යට සැඟවී සිට එතුමා ඒ තැන පසුකරන විටම කළු ගලකින් දමා ගැසුවේ ඔළුවටමය. අන්දුන්කුන්දුන් වූ ගුරුතුමා ලේ ගලන හිසින් යුතුව නිවසට ගියේ වේදනාව මැඩගනිමිනි. තුවාලය නිසා සතියක් පමණ නිවාඩු දැමීමට ද සිදුවිය. ​   


​රෝහල්ගත වී සුවය ලැබ නැවත රාජකාරි ඇරඹූ එතුමා තමාට පහර දුන් අය කවුදැයි දැන ගත් නමුත් කොල්ලන්ගේ විසේ කොලුකමට කරන වැඩ යැයි කියමින් හිත හදා ගත්තා විනා වෛර කළේ නැත ඒ එසේ වුවත් පියදාස පාසලේ පස් පෑගුවේ නම් නැත. ඉන්පසුව පොල් කැඩීමට පුරුදු වූ ඔහු රැකියාව ලෙස තෝරාගත්තේ ද එයයි. මෙයින් දිනකට සෑහෙන මුදලක් සොයාගෙන අතමිට සරු කරගත්තේය.   


දිනක් විශාල වත්තක පොල් කැඩීමට ගිය ඔහු ගස් දහයක පොල් කඩා එකොළොස්වෙනි ගහට නැග පොල් කඩන විට වියළි අත්තක් අසුවීමෙන් එය ගැලවී ඔහු ද බිම පතිත විය. ඔළුව වැදුණේ බිම තිබූ කළුගලක ය.   


ඔහුගේ ජීවිතය එතනදීම හමාර විය. ගුරුවරයාට කළ දේ ඔහුට විපාක දුන් බව එතනට රැස් වූ අය කියන්නට වූහ. අවමඟුල ද චාමෙට සිදු වූ අතර මව්පියන්ට ගුරුවරුන්ට පහර දෙන අය දෙලොවම දුක් විඳින බව එදා භික්ෂූන් වහන්සේ ද දේශනා කළේ කාටත් දැනෙන්නට ය.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙනන්කෝන්