දයා විරහිත දාම ඝාතකයා ටෙඩ් බුන්ඩ්



ඇමෙරිකානු ජාතික තියඩෝර් රොබර්ට් බුන්ඩි ඉතා දරුණු ගණයේ දාම ඝාතකයෙකු වූයේය. ඔහු විසින් පැහැරගෙන, දූෂණය කර මරා දමන ලද තරුණ කාන්තාවන් සහ ගැහැනු දරුවන් ගණන බොහෝ ය. 1974 සහ 1978 අතර කාලයේ දී සහ තමා ප්‍රාන්ත හතක කාන්තාවන් තිස් ගණනක් ඝාතනය කළ බවට ඔහු පසුව පාපොච්චාරණය කළේය. එහෙත් ඒ සංඛ්‍යාව සියයක් පමණ විය හැකි බැව් ඔහු පිළිබඳව පර් යේෂණ කළ කණ්ඩායම් පවසා තිබිණි.   

“ටෙඩ් ඉතා කඩවසම්, උගත්, බුද්ධිමත් පුද්ගලයෙක්. ඒ හින්දම ඔහුට කාන්තාවන් වසඟ කර ගැනීම අසීරු වුණේ නෑ.” ඔවුහු කීහ. 

ජීවිතය ටෙඩ්ට සරදම් කරන්නට පටන් ගෙන තිබුණේ උපතේ පටන්මය. ඔහුගේ මව එලීනර් ලු‍යිස් කොවෙල්ය. 1946 ඔක්තෝබර් 24 දා වර්මන්ට් ප්‍රදේශයේ බර්මින්ටන්වල අවිවාහක මව්වරුන් සඳහා වෙන් වූ නිවාසයක දී ඇය පියෙකු නොදන්නා දරුවෙකුට උපත දුන්නාය. ඔහුගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම සඳහන් කළ යුතු ස්ථානයේ වූයේ ‘‘නොදනී” යනුවෙනි. සමහරු කියන්නේ ඇය පෙම් බැඳි ගුවන් හමුදා නිලධාරියා ඇයට දරුවෙකු ලබා දී පලා ගිය බවය. ඉතා ඉක්මනින් කිපෙන පුද්ගලයකු වන ඇගේ පියා විසින් ඇය දූෂණය කරනු ලැබූ බව ද, ටෙඩ් ඉපදුණේ එහි ප්‍රතිඵලයක් ලෙසින් බව ද තවත් සමහරු කීහ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවත් අවිවාහකව දරුවෙකු ප්‍රසූත කළ කාන්තාවකට ජීවිතය පහසු නොවිණි. එම නිසාම ටෙඩ් ඉපදී දෙමසකට පසුව ඔහු කාට හෝ හදා ගන්නට දෙන්නට එලීනර් තීරණය කළාය. එහෙත් ඇගේ පියා එයට විරුද්ධ වූයේය. 

“අපි දරුවා හදා ගනිමු. අපි දෙන්නා තමයි එයාගෙ අම්මයි තාත්තයි. ඔයා එයාගෙ අක්කා.” 
ඔහු අවධාරණය කළ විට ඊට විරුද්ධ වෙන්නට ලු‍යිස්ට හැකියාවක් නොවිණි. ඇය දරුවාත් රැගෙන ෆිලඩෙල්පියාවේ ඔවුන්ගේ නිවසට ගියාය. තාත්තාගේ නියමය අනුව ඇය පෙනී සිටියේ ටෙඩ්ගේ අක්කා ලෙසිනි. ටෙඩ් රහස හෙළිදරව් කර ගත්තේ 1969 දීය. 


“අවජාතකයා..” කියමින් ඔහු ඥාති සහෝදරයෙකුට අපහාස කළේය. කෝපයට පත් සහෝදරයා ඔහුගේ උප්පැන්න සහතිකය ගෙනැවිත් පෙන් වූයේය. 

“අවජාතකයා මම නෙමෙයි උඹ. බොරු නම් මේ බලපන් උප්පැන්න සහතිකේ..” 


එය කියවා බැලූ ටෙඩ් බොහෝ කම්පනයට පත් වූයේය. තමා රැවටී සිටි ආකාරය ගැන ඔහුට ලැජ්ජාවක් මෙන්ම වේදනාවක් ද දැනිණි. තමාගෙන් සත්‍යය වසන් කිරීම පිළිබඳව ඔහු අම්මා සමග තදින් අමනාප වූයේය. ඔහු මිය යන තුරුම ඒ අමනාපය පැවතිණි. 

“ලු‍යිස් මට සලකන විදිය දැක්කම ඒ මගේ අක්කා නම් වෙන්න බෑ කියලා මට හිතුණා.  අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතරේ අවුරුදු විස්සක වයස් පරතරයක් තියෙන්නත් බෑනෙ. ඒක හින්දත් මම සැක කරන්න පටන් ගත්තා.” 

පසු කාලයක ඔහු සඳහන් කර තිබිණි. 

1951 දී ලු‍යිස් සිය දරුවාත් රැගෙන වොෂින්ටනයේ පදිංචියට ගියාය. එහි දී ඇය ජොනී බුන්ඩි සමග විවාහ වූ අතර ටෙඩ් සිය දරුවෙකු ලෙස හදාවඩා ගැනීමට ඔහු කැමැත්ත පළ කළේය. ඒ අනුව ටෙඩ්ට බුන්ඩි වාසගම ලැබිණි. එමෙන්ම ටික කලක් ගත වෙද්දී සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් ද ලැබිණි. එහෙත් ටෙඩ් සහ ඔහුගේ සුළු පියා අතර සම්බන්ධය යහපත් වූයේ නැත. කම්කරු වෘත්තියේ නිරත වූ ජොනී උගත් අයෙකු නොවේ. එය නිරන්තරයෙන්ම ටෙඩ්ගේ සරදමට හා අවමානයට ලක් වූයේය. එමෙන්ම ඔහු විසින් ඉල්ලන ලද සියල්ලම ඒ ආකාරයෙන්ම ලබා දෙන්නට ජොනීට නොහැකි වූ නිසා ඔවුන් අතර ගැටුම් ද හට ගත්තේය. ඇතැම් අවස්ථාවල ජොනී විසින් ටෙඩ්ට පහර දෙනු ලැබිණි. 


ටෙඩ් අවුරැදු තුනක් වැනි කුඩා වයසේ සිටම දරුණු අයෙකු වන පෙර ලකුණු පළ කළේය. ඔහු පිහිවලට ලොකු උනන්දුවක් දැක්වූ අතර මීයන් වැනි සතුන් පිහියෙන් කැබලි කළ බැව් සඳහන්ය. දිනෙක ලු‍යිස්ගේ නැඟණිය ජූලියා නිදා සිට අවදි වෙද්දී ගෙදර තිබූ සියලු‍ම පිහි ඇය වටා තබා තිබිණි. ඇය හොඳටම බියපත් වී වටපිට බලද්දී ටෙඩ් ඇඳ අද්දර සිනාසෙමින් බලා සිටිනු දැක ඇත. ඉගෙන ගන්නට දක්ෂ සිසුවෙකු වුවත් ලැජ්ජාශීලී බව නිසා ඔහු අනෙකුත් සිසුන්ගේ සරදමට ලක් විණි. එම නිසා ඔහු හුදෙකලා වී සිටින්නට පුරුදු වූයේය. ගෙවල්වල විවර කවුළුවලින් එබෙන ඔහු තමා රිසි දෙයක් ඒවායේ ඇත්නම් කිසිදු බියක්, ලැජ්ජාවක් නැතිව ඒ දෙය සොරකම් කළේය. දෙවරක්ම ඔහු සොරකම්වලට සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. එහෙත් ඔහු එම චෝදනාවලට වැරදිකරු වූයේ නැත. 

1972 දී ඔහු වොෂින්ටන් සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. ඔහුට කැලිෆෝර්නියාවෙන් පැමිණි ඩියේන් එඩ්වර්ඩ්ස් හමු වූයේ එහිදීය. කාන්තාවකගෙන් ඔහු බලාපොරොත්තු වූ රූමත් බව, ධනවත් බව, වංශවත් බව, බලය ඩියේන්ට නොඅඩුවම තිබිණි. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්තේය. ඇය මැදින් බෙදූ දුඹුරු පැහැති දිග කොණ්ඩයක් සහිත සුන්දර කාන්තාවක් වූවාය. ටික කලක් ඇවෑමෙන් ඔවුන්ගේ සම්බන්ධය බිඳ වැටිණි.  

“මම ඇත්තටම ආදරය කරපු එකම කෙල්ල තමයි ඩියේන්..”

සිය චරිත කතාව ලියූ අයෙකුට ඔහු කියා තිබිණි. එහෙත් සම්බන්ධය නතර කර ඇත්තේත් ඔහුමය. ඒ වන විටත් ඔහු සිටියේ එලිසබෙත් ක්ලෝපර් සමග සබඳකමක් පවත්වමින් නිසා ඩියේන් අත් හරින්නට ඇතැයි තතු දන්නෝ පැවසූහ. 

කෙසේ වුවත් ඔහු විසින් ඝාතනය කරනු ලැබූ බොහෝ කාන්තාවන් ඩියේන්ගේ රුවට සමාන මැදින් බෙදූ දුඹුරු පැහැති කොණ්ඩය සහිත, රූමත් අය වීම විස්මය දනවන කරුණකි. 

ටෙඩ් බුන්ඩි සිය ඝාතන ක්‍රියාවලිය ඇරඹූ ආකාරය ගැන කිසිදු පැහැදිලි හෝඩුවාවක් නැත. ඔහු විවිධ පුද්ගලයන්ට සිය තොරතුරු කීවත් ඒ එකම දේවල් නොවේ. 1969 දී තමා තරුණියක් පැහැර ගත්තත් ඇය නොමැරූ බැව් එක් තැනක දී කියා තිබිණි. තවත් අයෙකුට ඔහු කීවේ අත්ලාන්තික් නගරයේ දී කාන්තාවන් දෙදෙනෙකු මරා දැමූ බවය. 1972 දී සියැට්ල්හි දී ද, 1973 ටුම්වෝටර්හි දී ද තවත් දෙදෙනෙකු මැරූ බැව් ඔහු කීවේය. කෙසේ වුවත් ඔහු විසින් කරන ලද පළමු ඝාතනය වාර්තා වී තිබුණේ 1974 දීය. එවකට ඔහුගේ වයස අවුරුදු 27 කි. ඔහු ගැටවර වියේ සිටම ඝාතන ක්‍රියාවලිය ඇරඹූ අයෙකු බවට සැකයක් හැම දෙනෙකුගේම සිත්වල ඇති වූයේය. 

ඔහු අලවංගුවකින් හිසට පහර දී හෝ ගෙල මිරිකා ඉතා අමානුෂික ලෙස කාන්තාවන් ඝාතනය කළේය. ඔහු වැඩිපුරම ආස්වාදය ලැබුවේ ඝාතනය කළ වහාම ඔවුන් හා ලිංගික සබඳකම් පැවැත්වීමෙනි. 

ඒ 1974 ජනවාරි 4 දාය. ඩියේන් සමග සම්බන්ධය නතර කළේ ඒ දිනයේ හෝ ඊට පෙර දිනයකය. මැදියම් රැය පසුවී ටික වේලාවකට පසුව ඔහු සියැට්ල් විශ්වවිද්‍යාල නගරයේ සිසුවියක හා නාටිකාංගනාවක ද වන 18 හැවිරිදි කැරන් ස්පාර්ක්ස්ගේ නවාතැන් කුටියට ඇතුළු වූයේය. ඇගේ ඇඳෙන්ම ගලවා ගත් පොල්ලකින් හිසට පහර දී සිහිසුන් කිරීමෙන් අනතුරුව ඇයට ලිංගික අතවර කළ ඔහු අර යකඩ පොල්ලම උපයෝගී කරගෙන ඇගේ ලිංගික අවයවවලට හානි කළේය. ඇගේ මුත්‍රාශය පවා සිදුරු වී තිබිණි. ඇය දින දහයක් සිහි මූර්ඡා වී රෝහලේ සිටියාය. මිය නොගියත් ඇගේ පෙනීම හා ඇසීම අහිමිව තිබුණේ මොළයට සිදු වූ හානිය නිසාය. 

එම වසරේම පෙබරවාරි 1 දා ඒ නවාතැන් පොළේම වෙනත් කාමරයක සිටි විශ්වවිද්‍යාල සිසුවියක වූ ලින්ඩා ඈන් හීලි අතුරුදන් වූවාය. ටෙඩ් ඇගේ කාමරයට ඇතුළු වී පහර දී සිහි මුර්ඡා කිරීමෙන් අනතුරුව ඇයට කලිසමක් හා කමීසයක් අන්දවාගෙන සිය කාරයෙන් ඇය රැගෙන ඈත ප්‍රදේශයකට ගිය බැව් කිසිවෙකු දැන සිටියේ නැත. එහි දී කිහිප වරක් ඇය දූෂණය කළ ඔහු ඇය මරා දමා සිරුර කානුවක එබුවේය. 

1974 මාර්තු මාසයේ දී ඔහු විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවේ එවර්ග්‍රීන් ප්‍රාන්තයේ ඔලිම්පියා විශ්වවිද්‍යාලයේ සිසුවියක වූ 19 හැවිරිදි ඩොනා ගේල් මැන්සන්ය. ඇගේ සිරුර කිසිම දිනෙක සොයාගන්නට නොහැකි විණි. 

එම වසරේම අප්‍රේල් මාසයේ 18 හැවිරිදි සුසාන් රැන්කෝර්ට්, මැයි මාසයේදී 20 හැවිරිදි රොබර්ටා පාර්ක්ස්, ජූනි පළමු වෙනිදා 22 හැවිරිදි කැරල් බෝල්, ජූනි 11 දා 18 හැවිරිදි ජෝර්ජියන් හෝර්කින්ස්, ජූලි මාසයේ දී 23 හැවිරිදි ජෙනිස් ඈන් ඔට්, ඔක්තෝබර් 18 දා 17 හැවිරිදි මෙලිස්සා ස්මිත්, ඔක්තෝබර් 31 දා 17 හැවිරිදි ලෝරා ඈන් අයිම්, නොවැම්බර් 8 දා 17 හැවිරිදි ඩෙබ්රා කෙන්ට් ටෙඩ් විසින් පැහැරගෙන මරා දැමූ අය අතර වූහ. ඩෙබ්රාගේ සිරුර කවදාවත් සොයා ගන්නට හැකි වූයේ නැත. 

1975 ජනවාරි මාසයේ දී ඔහු විසින් ඝාතනය කරනු ලැබුවේ කොලරාඩෝ ප්‍රාන්තයේ 23 හැවිරිදි අයිලීන් කෑම්ප්බෙඩ්ය. ඇගේ සිරුර සොයා ගැනුණේ ඝාතනය වූ ස්ථානයේ සිට සැතපුම් තුනක් පමණ ඈත දී දින තිස් හයකට පසුවය. එම වසරේම ජනවාරි මාසයේ දී හිම ක්‍රීඩා පුහුණුකාරියක වූ 26 හැවිරිදි ජුලී කනින්හැම් අතුරුදහන් වූයේය. ඇගේ සිරුරත් සොයාගැනීමට නොහැකි විණි. 

ටෙඩ් විසින් 12 හැවිරිදි ලිනට් ඩෝන් පැහැරගෙන නාන ඔරුවක ගිල්වා මරා දමනු ලැබුවේ 1975 මැයි මාසයේදීය. ඇගේ සිරුර ස්නේක් ගඟට අත්හැරිය බැව් කීවත් සිරුරු කොටස් සොයා ගන්නට හැකි වූයේ නැත. 15 හැවිරිදි සුසාන් කර්ටිස් ද ජූනි මාසයේ දී ඝාතනය විණි. 

මේ කාලයේ දී ටෙඩ්ගේ පෙම්වතිය වූයේ එලිසබෙත්ය. ඔහුට එලිසබෙත් හමු වී තිබුණේ 1969 තරම් ඈත කාලයක දී සමාජ ශාලාවකදීය. අවිවාහක එක් දරු මවක් වූ ඇය ඇල්කොහොල්වලට ද ඇබ්බැහි වී සිටියාය. ඇයට ඉන් මිදෙන්නට උදව් කරනු ලැබුවේ ටෙඩ් විසිනි. එම නිසාම ඇය ඔහුට ආදරය කරන්නට පටන් ගත්තාය.

රට පුරා බිහිසුණු ඝාතන රැල්ලක් හමා යද්දීත් ඊට වගකිව යුතු පුද්ගලයා කොටු කර ගන්නට පොලිසියට හැකි වූයේ නැත. පරිණත ඝාතකයෙකු වූ ටෙඩ් තමා හසුවෙන ආකාරයට ක්‍රියා නොකිරීම එයට හේතුවය. ඔහුගේ ආචාරශීලී බව, සුහදත්වය, කඩවසම් පෙනුම නිසා කිසිවෙකු තුළ සැකයක් ඇති වූයේ නැත. ඔහු සිය සුදු පැහැති වොක්ස්වැගන් බීට්ල් කාරයට කාන්තාවන් නංවාගන්නට භාවිත කළ උපක්‍රමයක් වූයේ තුවාලකරුවෙකු ලෙස රඟපෑමය. අත බෙල්ලේ එල්ලාගෙන හෝ නොණ්ඩි ගසමින් යන ඔහු තමා අතේ ඇති පොත් ටික, බඩු මල්ල කාරයට දමාගැනීමට කාන්තාවන්ගේ උදව් පැතුවේය. ඒ උදව්ව කිරීමට ඔවුන් පැකිළු‍ණේ නැත. එහෙත් ඔහුගේ කාරයට නගින්නේ සිය අවසන් ගමන යාමට බැව් ඔවුන් යන්තමින්වත් අනුමාන කළේ නැත.  එහෙත් ඔහුගේ යම් යම් ක්‍රියා නිසා එලිසබෙත් තුළ සැකයක් ඇති වූයේය. ඇය රහසින් පොලීසියට ගොස් ඔහුට එරෙහිව පැමිණිලි කළත් දාම ඝාතකයා ඔහු බව ඔප්පු කරන්නට සාක්ෂියක් නැති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නට නොහැකි බැව් පොලිසිය විසින් කියනු ලැබිණි. ඇය දෙවන වරටත් සාක්ෂි සොයාගෙන පොලීසියට ගියාය.  

දිනෙක පාන්දර යාමයේ අධික වේගයෙන් ගමන් කළ වොක්ස්වැගන් රිය සෝල්ට් ලේක් පොලීසියේ අවධානයට ලක් වූයේය. නවත්වන්නට සංඥා කළත් නොනවත්වාම ගිය බැවින් පොලීසිය ඒ පසුපස හඹා ගියේය. අසීරුවෙන් නවත්වාගෙන කාරය පරීක්ෂා කරද්දී එතුළ වූ අලවංගු, මාංචු, මුව වැසුම්, අත් වැසුම්, කඹය, කුණු දමන බෑග් ආදිය දැක පොලීසිය පුදුම වූයේය. 

“උඹ ගෙවල් බිඳින හොරෙක් නේද..?” නිලධාරීහු විමසූහ. 

ඔහු කීවේ මාංචු කුට්ටම කුණු ගොඩක තිබී ඇහිඳගත් බවත් අනෙක් සියල්ල සාමාන්‍ය දේවල් බවත්ය. එහෙත් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු විසින් පැහැරගෙන යනු ලබද්දී අනූනවයෙන් බේරුණු කාන්තාවක් දුන් කට උත්තරයක් නිසා ඔහුට සිරදඬුවම් ලබා දීමට හැකි වූයේය. එහෙත් 1977 දී ඔහු දෙවරක්ම සිරෙන් පැන ගියේය. පළමු වර පැන ගියේ උසාවියේ පුස්තකාලයට යන අතරමග විවෘතව තිබූ ජනේලයක් තුළිනි. ඉන් දින අටකට පසුව නැවතත් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. 

දෙවන වර ඔහු තමා රඳවා සිටි සිර කුටියේ සිවිලිම සිදුරු කර ඒ තුළින් පලා ගියේය. ඔහු පලා ගිය බැව් බලධාරීන් දැන ගත්තේ පැය පහළොවකට පමණ පසුවය. ඔවුහු බොහෝ කලබල වී ඔහු සොයන්නට පටන් ගත්හ. 

පලා යාමෙන් පසුව ඔහු ෆ්ලොරිඩාවේ ටෝලාහසී වෙත ගියේය. 1978 ජනවාරි 14 වෙනිදා ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ චි ඔමේගා මන්දිරයට කඩා වැදුණ ඔහු එහි නවාතැන් ගෙන සිටි තරුණියන් සිව් දෙනෙකුට පහර දී දෙදෙනෙකු මරා දැමීය. මාගරට් සහ ලීසා ඒ දෙදෙනාය. පෙබරවාරි 8 දා ඔහු විසින් පැහැරගෙන මරා දමනු ලැබුවේ 12 හැවිරිදි කිම්බර්ලි ලීච් නමැති දැරියයි. ඔහුගේ අපරාධ ජීවිතය මෙන්ම රටට උදා වී තිබූ බිහිසුණු කාලයක් ද ඒ ඝාතනය සමගම නිමාවට පත් වූයේය.  බලවත් පරිශ්‍රමයකින් පසු පොලීසිය ටෙඩ් අත්අඩංගුවට ගත්තේය. අපරාධ පරීක්ෂණ අංශය විසින් ඔහුගේ කාරය පරීක්ෂා කරද්දී එහි රැඳී තිබූ කෙස් ගස් කිහිපයක් හමු වූයේය. ඒවා ඔහු විසින් මරා දමනු ලැබූ කාන්තාවන් කිහිප දෙනෙකුගේ කෙස්වලට සමාන වූයේය. එමෙන්ම මියගිය ලීසාගේ සිරුරේ තිබූ සැපීම් සලකුණු ටෙඩ්ගේ දත්වලින් සිදු වී ඇති බැව් ඔප්පු විණි. 1979 දී මාගරට්ගේ හා ලීසාගේ මරණ වෙනුවෙන් ඔහුට මරණ දඬුවම් දෙකක් නියම වූයේය. ඔහු වරින්වර අභියාචනා ඉදිරිපත් කරමින් ජීවිතය ගලවා ගන්නට වෙර දැරුවත් පලක් වූයේ නැත. 

ඔහු දෙදරු වැන්දඹුවක වූ කැරොල් ඈන් බූන් සමග සම්බන්ධයක් ඇති කර ගෙන තිබුණේ පළමු වර අත්අඩංගුවට පත් වීමට පෙරය. 1980 දී ටෙඩ් බුන්ඩි බන්ධනාගාරයේදීම ඇය සමග විවාහ වූයේය. එයට උසාවියෙන් අවසර ලැබිණි. බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී ඔහු ඇය සමග අඹුසැමි සම්බන්ධතා පවත්වන්නට අවස්ථාව ද උදා කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1982 දී කැරොල් දියණියක බිහි කළාය. ඇයට රෝස් බුන්ඩි නම දුන්නේ ටෙඩ් විසිනි. ඒ වන තුරුම කැරොල් සිතා සිටියේ ඔහු නිකරුණේ සිරබත් කන බවය. එහෙත් ඔහු සිය අපරාධ පාපොච්චාරණය කරන්නට පටන් ගත්තාට පසුව බියටත්, කළකිරීමටත් පත් ඇය 1986 දී ඔහුගෙන් දික්කසාද වී දරුවත් සමග වොෂින්ටනයේ පදිංචියට ගියාය. ඇය ඇගේ හා දරුවන්ගේ නම් පවා වෙනස් කර ගත්තේ සැඟවී සිටිය යුතු බැවිනි. 

1989 ජනවාරි 24 දා උදේ හතට ටෙඩ් විදුලි පුටුවේ හිඳුවා මරා දමනු ලැබිණි. ෆ්ලොරිඩා ප්‍රාන්ත උසාවිය පිටත රැස් වී සිටි ජනතාව ඔල්වරසන් දුන්නේය. රතිඤ්ඤා හා මල් වෙඩිවල හඬ අවට පරිසරය දෙදර වූයේය. 

“පිච්චියන්.. බුන්ඩි පිච්චියන්..”

සමහරු සාස්පාන් රැගෙන විත් ඒවා එකට ගටමින් කෑ ගැසූහ.

ඔහුගේ අපරාධ ජීවිතය පිළිබඳව පොත් කිහිපයක්ම ලියැවී තිබේ. චිත්‍රපටි කිහිපයක් ද නිර්මාණය වූයේය. පැරණි පෙම්වතිය වන එලිසබෙත් ක්ලෝෆර් විසින් ඔහු සමග ගත කළ කාලය අළලා ලියන ලද මයි ලයිෆ් විත් ටෙඩ් බුන්ඩි මේවා අතරින් විශේෂ වෙයි. 


චන්දි කොඩිකාර