දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය


දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුවන්ට සහාය වූයේ දියවඩන නිලමේවරයාය. ඔහුගේ රාජකාරිය වූයේ රජුට අත් දෝවනය කර ගැනීමට වුවමනා වූ අවස්ථාවේ රජුගේ දෑතට දිය වත් කිරීමය. එකල දියවඩන නිලමේගේ රාජකාරිය එය විය.
 
ඔහු මාලිගාවේ ආදායම පාලනය කරයි. මාලිගාවේ ප්‍රතිසංස්කරණ ආදිය කරවයි. ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සංවිධානය කරයි.
 
වර්තමානයේ දියවඩන නිලමේ තනතුර දළදා මාලිගාවට පමණක් සීමා වී ඇතත් උඩරට රජදවස මහ දියවඩන නිලමේ, පල්ලේවාහල දියවඩන නිලමේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ යනුවෙන් දියවඩන නිලමේවරුන් තිදෙනකු රාජකාරි කළ බව සඳහන් වේ. මහ දියවඩන නිලමේ රජුගේ උල්පැන් ගේ භාර නිලධාරියාය. පල්ලේ වාහල දියවඩන නිලමේ බිසෝවරුන්ගේ හා කුමාරවරුන්ගේ උල්පැන්ගේ කටයුතු භාරව සිටියේය. දළදා මාලිගාවේ කාර්ය භාරය ඉසිලූ තෙවැන්නා දළදා මාලිගාව සතු ගම්බිම් පාලනය කිරීම, නිලධාරීන් පත්කිරීම වතාවත් නිසි ලෙස පැවැත්වීම ඇතුළු රාජකාරි සිදුකළේය.
 
මාලිගයේ රාජකාරි කරන පාරම්පරික පවුල්වලින් සුළු මුලාදෑනින් පත් කරන්නේද දියවඩන නිලිමේවරයාය. එම සුළු මුලාදෑනින් පත් කරන්නේ මව් පාර්ශ්වයෙන් නොව පිය පාර්ශ්වයෙනි. පරම්පරා රාජකාරිය අවිච්ඡින්නව පවත්වාගෙන ඒම සඳහා එසේ පිය පසින් පත්වීම් කෙරෙයි. අතීතයේ මේ පවුල් පත්කරන ලද්දේ අග රජු විසිනි. මාලිගාවේ රාජකාරි කරන නිලධාරීන් පොදුවේ හැඳින්වෙන්නේ ‘ඇතුල් කට්ටලේ’ රාජකාරි කරන අය වශයෙනි.
 
කාරිය කෝරාල
 
සුළු මුලාදෑනින්ගේ නායකයා ‘කාරිය කෝරාල’ නමින් හැඳින්වේ. මාලිගාවේ සියලු සේවා හෙවත් ‘රාජකාරි’ සංවිධානය කරන්නේ ඔහුය. පෙරහැර වීථි දක්ෂිණා කරන විට දළදා කරඬුව වැඩමවන හස්තියාට ඉදිරියෙන් හස්තියා පිට ගමන් කරන්නේ ද ඔහුය. 
 
පෙරහැරක් හෝ වෙනයම් උත්සවයක් පැවැත්වීමට ඇති විට මාලිගයට අයත් ඉඩකඩම්වල පදිංචිව සිටින අයට ඒ බව දැනුම් දී ඔවුන්ට නියමිත රාජකාරි කරවයි. වර්තමානයේ දී රාජකාරි සඳහා නොඑන අය ඒ වියදම සැපයිය යුතුය. 
 
මාලිගයට ලැබෙන සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍ය භාරගෙන පාලනය කරන්නේද ‘කාරිය කෝරාල’ ය. මාලිගයේ සියලු රන් භාජන ඇත්තේ ඔහු භාරයේය. රාජකාරිය කරන අටළොස් මුලාදෑනින්ගෙන් යම් කිසිවකුගේ හෝ තනතුරක් පුරප්පාඩු වූ විට ඒ සඳහා කෙනකු දියවඩන නිලමේට යෝජනා කරන්නේද ‘කාරිය කෝරාලය. මාලිගයේ කළමනාකරු ලෙස ද ‘කාරිය කෝරාල’ හැඳින්විය හැකිය.
 
කත් ගෙනයන්නෝ
 
‘කත්රාලවරු’ හෙවත් කත් ගෙනයන්නෝ දෙදෙනෙකි. ‘වට්ටෝරුරාල’ යැයි තවත් මුලාදෑනියෙකි. ඔහු තේවාව භාර හිමියන්ගෙන් ‘වැඩ සිටින මාලිගාවේ’ යතුරු රැගෙන ගොස් තේවාව පැවැත්වීමට දොර හැර තේවාව අවසන් වූ පසු යතුර රැගෙන ගොස් නැවත තේවාව භාර හිමියන්ට භාර දෙයි. 
 
තේවාව පවත්වන අවස්ථාවේදී ඇතුළු මාලිගාවට පිවිසීමට අවසරය ඇති එකම නිලධාරියා ඔහුය. ඔහු නොපැමිණ විටක ඇතුළු මාලිගාවේ පිරිසිදු කිරීම් ආදී කටයුතු හිමිවරුන් අතින්ම කෙරෙයි.
 
හක්ගෙඩි අප්පු
 
හක්ගෙඩිකාර අප්පු හෝ හක්ගෙඩි මුහන්දිරම් නමින් දන්නා තවත් මුලාදෑනියෙකි. හක්ගෙඩිය පිඹීම ඔහුගේ රාජකාරියයි.
 
මුළුතැන් රාලලා
 
මුළුතැන්රාලවරුන් දෙදෙනෙකි. දානය පිළියෙල කිරීමේ නායකයන් වන්නේ මේ දෙදෙනාය. දිනපතා බුද්ධ පූජාව සකස් කරන මුළුතැන්ගෙයි සියලු කටයුතු ඔවුන් භාරයේ තිබේ. අලුයම බුද්ධ පූජාව ව්‍යංජන 32ක් සමග දහවල් මුළුතැන් පූජාව මුළුතැන් රාල යටතේ සිදුවේ.
 
ආලත්ති අම්මලා
 
දළදා මාලිගාවේ සේවය කරන කාන්තා නිලධාරීන් දෙදෙනෙක් වෙති. මේ දෙදෙනා හැඳින්වෙන්නේ ආලත්ති අම්මලා යන නමිනි. ආලත්ති යනු දමිළ භාෂාවෙන් ආ වචනයකි. ආශිර්වාද කිරීම යන්න එහි තේරුමය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආඥාවක් පරිදි ස්ත්‍රීන් දෙදෙනකු දළදා වහන්සේට ආශිර්වාද කිරීම සඳහා යොදවා ඇත. ආලත්ති අම්මලා ලෙස හැඳින්වෙන්නේ එම තනතුරු දෙකයි. ඔවුහු සුදු ඇඳුමින් සැරසී සිටිති. දළදා තේවාව අවසානයේ ගන්ධ කුටියේ දොර අඩක් විවෘත කර තේවා භාර නිලධාරිහු මහ පහනෙන් තෙමාගත් පහන් වැටියක් එළියේ රිදී දොරටුව ළඟ සිටින ආලත්ති අම්මලාට ලබාදෙති. ඔවුන් පිටත සිට පහන් කරකවා ආලත්ති බා ඇතුළට පැමිණේ. මේ වන විට මාලිගාවේ සේවය කරන ආලත්ති අම්මලා ‘තල්වත්ත’ පරම්පරාවෙන් පැවත එන්නන්ය.
 
මුරකාරයා
 
බුද්ධ පූජා සඳහා තුනපහ ඇඹරීම, දර පැලීම, වතුර සැපයීම ආදිය ඔහුට පැවරී ඇත.
 
පල්ලේ මාලේ රාල
 
පල්ලේමාලය හෙවත් පහල මාලයේ කටයුතු භාරව ඇත්තේ ‘පල්ලේ මාලේ රාල’ නමැති නිලධාරියාටය. ඔහු පහල මාලයේ ප්‍රතිමා මන්දිරයේ ඇති ආහාර පූජාවේ කද ඔසවාගෙන යාම ද ගබඩාවේ භාරකාරකම ද එහි පාලනය ද සිදුකරයි. 
 
වටකුරු රතු තොප්පියක් පලඳියි. පල්ලේ මාලය පිරිසිදු කර නියමිත වේලාවට පහන් දැල්වීම හා ගබඩාවේ තැන්පත් කර ඇති වටිනා දෑ සුරකීම ඔහුගේ කාරියකි. පල්ලේ මාලේ තේවාව කරන හිමිවරුන්ට සහායවීම ද රන්දෝලි පෙරහැරේ දෑල ඇතකු පිට නැගී දළදා වහන්සේට මල් ඉසීම ද පල්ලේමාලේ රාලේ ගේ රාජකාරියට ඇතුළත්ය.
 
ගෙපරාල
 
‘ගෙපරාල’ හෙවත් ‘ගෙබෝරාල’ නමැති තවත් නිලධාරියෙක් ඇතුල් මාලිගාවේ රාජකාරි කරයි. ඔහුට ද විශේෂිත බලතල ඇත. වැඩ සිටින තැන ගඳකිළියට යාබද ගෙපලුම් බරාදය භාරව කටයුතු කිරීම ගෙපරාලගේ ප්‍රධාන වගකීමය. ගෙ බලන රාල ගෙපරාල ලෙස හැඳින් වූ බව සැලකේ. රිදී පහන්, පිංපෙට්ටි ආදිය ආරක්ෂා කිරීම ඔහුගේ රාජකාරියට අයත් වේ. 
 
තේවා කටයුතු සඳහා උණු පැන් ගෙන යාමද බුද්ධ පූජාව ‘කත්තියන බරාදය’ (දංකද තියන බරාදය) දක්වා ගෙන යාම ද අලුත උපන් දරුවන් දළදා වහන්සේ ළඟ තබා ආශිර්වාද ලබාදීම ද  ‘ගෙපරාල’ ගේ රාජකාරියට අයත් වේ. වට්ටෝරු රාල තෝරාගන්නා පවුල්වලින්ම ‘ගෙපරාල’ ද තෝරාගනු ලැබේ.
 
කත්තියන රාල
 
දංකද තබන ස්ථානයේ භාරකරු වන්නේ කත් තියන රාලය. දානය පාත්‍රවල තැන්පත් කර කදෙහි තබාගෙන මුළුතැන්ගෙයි සිට උඩමාලයේ කත් තියන බරාදයට ගෙන ඒම කත් තියන රාලගේ රාජකාරියට අයත්ය. තේවාව භාරය පරෙස්සම් කිරීම දන් කද ගෙන යන පූජා භාණ්ඩ පිරිසිදු කිරීම ආදී කටයුතු ‘කත්තියන රාලගේ’ භාරයේ පවතී.
 
පනික්කි හෙවත් බෙරකාරයෝ
 
පුරාණ රජකාලයේ පටන්ම ශබ්ද පූජාවෙන් දළදා වහන්සේ ද පුද පූජා කිරීමේ සිරිත පැවතුනි. පනික්කි හෙවත් ප්‍රධාන බෙරකාර පවුල් හතරක් මහනුවර රජ කල මාලිගාවේ සේවයේ යෙදී සිටියහ. අද ද එම පරම්පරා හතර සේවයේ යෙදී සිටියි. ඔවුහු හය වර්ගයක හේවිසි භාණ්ඩ වයති. මේ නිසා ඔවුන් ‘සිංහාරක්කාර පණික්කි’ යන නමින්ද හැඳින් වේ. සිංහාරක්කාරයන්ගේ ඇඳුමට හිස වසා බඳින ‘උරමාලේ’ නමැති තලප්පාවක් ද බඳ වටේ බඳින රෙදි වෙළුමක්ද අයත් වේ. මෙහිදී හිස වසා බඳින ජටාව සිංහාදුරක්කාරයන්ට හැර අන්කිසිවකු බැඳ සිටිය නොහැකිය.
 
උඩුමාලේ මොහොට්ටාල
 
උඩුමාලේ මොහොට්ටාල යනු ලේකම්වරයෙකි. මාලිගාවට පුදනු ලබන වටිනා කියන දේ ලේඛන ගත කරන්නේ ඔහුය. ‘ගබඩාවේ මොහොට්ටාල’ නමින් නිලධාරියා ‘කාරිය කෝරාලගේ’ ලිපිකරුය.
 
හඳුන් කපුරාල
 
හඳුන් කල්කය සම්පාදනය කිරීම හඳුන් කපුරාලගේ රාජකාරියයි. හඳුන් ගල ගෑමට පිළියෙල කරන ලද ගලක් පුරාණ රජ කල සිටම මුලුතැන්ගේ තිබිණ. මෙම කපුරාලලා දෙදෙනෙක් සිටිති. ඔවුහු අවුරුද්දෙන් අවුරුද්ද මාරුවෙන් මාරුවට සේවය කරති. ඔවුන්ගේ රාජකාරිය බදාදා දිනවලට පමණක් වෙන්ව ඇත.
 
මල්මුරේ
 
මල්මුරේගේ රාජකාරිය උදෑසන මල් බන්දේසියක් සහ සවස මල් බන්දේසියක් මාලිගාවට සැපයීමය. එම නියමය පිට ඔහු මාලිගාවේ ඉඩමක් භුක්ති විඳියි. මේ මල් සැපයීමට ‘මල්මුරේ’ යැයි කියති.
 
කවිකාරයෝ
 
කවිකාරයෝ සිවු දෙනෙකි. ඔවුහු උඩැක්කි, පන්තේරු, තාලම් පොත් යන ජාතික භාණ්ඩ ඇතිව ගායනා පවත්වති. මසකට දින 15 ක් මෙම පූජාව කළ යුතුය.
 
තේවාව භාර භික්ෂූන් වහන්සේ
 
දළදා මාලිගාව පවත්නේ මල්වතු සහ අස්ගිරි යන මහා විහාර දෙකේ මහානායක හිමිවරුන්ගේ පාලනය යටතේය. උන්වහන්සේලා විසින් තේවාව පැවැත්වීමට භික්ෂුන් වහන්සේලා තුන්නමක් පත් කරති. උඩුමාලේ ඇතුල් මාලිගාවේ තේවාවට දෙනමක්ද පල්ලේ මාලේ ධාතු මන්දිරයේ තේවාවට එක් නමක්ද වශයෙනි. මෙම තේවාවට පත් කරන භික්ෂුන් වහන්සේලා ගුරු ශිෂ්‍ය පරම්පරාව අනුව තෝරා ගනු ලබති.
 
යතුරු
 
දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවන මැදිරියේ යතුර ඇත්තේ දියවඩන නිලමේ අත ය. කරඬුවේ යතුරු කට්ටල තුනකි. මහා නායක හිමිවරුන් දෙනම සහ දියවඩන නිලමේ වෙත එම යතුරු තුන තිබේ. කරඬුව විවෘත කිරීමට මෙම තිදෙනාම එකතු විය යුතුය.
 
ප්‍රේමකීර්ති රණතුංග
චිත්‍ර: සමන් කළුබෝවිල