දළද‌ාව වැඩමවන්න පිංකළ ඇත්තු


කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළද‌ා පෙරහැරේ සධාතුක කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමි​ෙවන්නේ ඉතාමත් සීමිත වූ හස්තිරාජයන් පිරිසකට පමණි. ඒ සඳහා භාග්‍ය හිමිකර ගන්නා හස්තීන්ට වි​ශේෂිත වූ අංගලක්ෂණ තිබිය යුතුය. එවැනි හස්ති රාජයෙකුගේ හත්වැදුම්පොළ පිහිටිය යුතුය, යනුවෙන් සඳහන්ය. ඉන් අදහස් කෙරෙනුයේ එවැනි හස්තියෙකුගේ ශරීරයේ අංග හතක් බිම ස්ප්ර්ශ විය යුතුය යන්නයි. මෑතකාලීනව සධාතකු කරඩුව වඩම්මවා ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවෙමින් ප්‍රසිද්ධියක් ඉසිලු හස්තීන් වන්නේ දළද‌ා මාලිගාවේ ඇත් පන්තියේ සිටි රාජා හස්තියා හා නැදුන්ගමුවේ රාජා හස්තියාය. දළද‌ා මාලිගාවේ මේ ඇත් පන්තියේ සිටින ඉන්දිරාජා හස්තියා ද එම කාර්ය භාරය මැනැවින් සිදු කරනු ලබයි.   


උඩරට රජ සමයේ සිට දළද‌ා කරඩුව වඩම්මවූ සද්දන්ත කුලයේ ඇත් රජවරුන් සිටි බව සඳහන්ය. එම ඇත් රජවරුන්ට ලැබී ඇත්තේ රාජකීය ගෞරව සැලකිලිය. එම හස්තීන්ට මහජන ගෞරවය රාජ්‍ය අනුග්‍රහය වර්තමානයේ ලැබෙන්නා සේම රජ සමයේ ද එය ඒ ආකාරයෙන් ලැබුණ බව සඳහන්ය.   


රජ සමයේ රජ මාලිගාව සතු ඇත් පන්තිය තිබී ඇත්තේ මහනුවර නගරයේ යටිනුවර වීදිය කළෙවර දෙවැනි සිංහ රෙජිමේන්තුව පිහිටි භූමි ප්‍රදේශයේ හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටි භූමි ප්‍රදේශයේ බව පැරණි ලේඛනවල සඳහන්ය.   


දළද‌‌ා කරඬුව වඩම්මන හස්තියෙකුගෙන් වෙනත් කිසිදු කටයුත්තක් වර්තමානයේ පවා සිදුනොකර ගන්නවා සේම රජ සමයේ රජෙකු හෝ රජුගේ ගමන් බිමන් සඳහා හෝ එවැනි අතෙකු යොද‌ා නොගත් බව ද සඳහන්ය.   
දළද‌ා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම වූ ඇතුන් අතරින් 1880 - 1900 අතර කාලය තුළ සධාතුක කරඩුව වැඩම කරවීම සඳහා භාග්‍ය උද‌ා කරගත් දුනුවිල ඇත්රාජයා එසේත් නොමැති නම් හොඬ කොටා යන අන්වර්ත නාමයෙන් හැඳින් වූ හස්තියාට ද හිමි ​ෙවන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙම ඇත් රාජයා හොඬ කොටා යන අන්වර්ත නාමයෙන් හැඳින්වීමට හේතු වී ඇත්තේ එම ඇතාගේ හොඬය අනෙක් ඇතුන්ට වඩා කොට වීමයි. ඊට හේතු වී ඇත්තේ මෙම ඇතා කුඩා කාලයේ සෙල්ලම් වයසේ සිටිය දී ඇත්ගොව්වා කිතුල් කොටයක් පලමින් සිටින විට දඟකාර ඇත්පැටවා ඊට හොඬ දැමීමයි. 

 
කෙසේ නමුත් ඇත්පැටවා කෙමෙන් කෙමෙන් තරුණ වයසට පැමිණෙත්ම දළද‌ා පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා අවශ්‍ය තේජස් ගුණය හා ශරීර ලක්ෂණ පහළ වීමත් සමග එම හස්තියාට ඒ සඳහා වරම් ලැබී තිබේ.   


 අඩි නවයකින් උස්වූ මෙම හස්තියාගේ වාසභූමිය වී ඇත්තේ දුනුවිල වලව්ව. වර්තමානයේ මහනුවර මහනගර සභාව පිහිටා ඇත්තේ දුනුවිල වලව්ව පිහිටි භූමියේය. එම දුනුවිල වලව්වේ කොටසක් එහි අදට ද දැකගත හැකිය.   

 

රාජා හස්ති රාජයා දළදා මාළිගාවේ සංරක්ෂණය කර තිබෙන අයුරු

 


මේ දුනුවිල හස්තියාගේ හිමිකාරිත්වය දුනුවිල පරපුරේ විලියම් උදම්විට දුනුවිල දිසාවේට අයත් වූ බව සඳහන් වේ. එම දුනුවිල පරපුර දෙවැනි රාජසිංහ රජුගේ රාජ සභාවේ ගජනායක නිලමේ තනතුර හොබවා තිබෙන අතර එම පරපුර අලි වෙදකමටත් දක්ෂ උඩරට පරදේසක්කාරයන් ආක්‍රමණය කරන විට ඊට නොබියව මුහුණ දුන් රණශූර පරපුරක් හැටියට සැළකේ. එසේම උඩරට රජවරුන්ගෙන් ලැබෙන ඉහළ තනතුරක් වන අධිකාරම් ධුරය ද එම පපුරේ අය දරා තිබේ.   


දුනුවිල ඇතාගේ හිමිකාරිත්වය දැරූවේ දුනුවිල දිසාවේය. ඔහු බ්‍රිතාන්‍ය පාලන සමයේ දක්ෂ සිවිල් නිලධාරියෙකි. එසේම ඔහු 1888 වසරේ දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනගේ මෞර්ය මංගල්‍යයේ 50 වැනි සංවත්සරයට මෙරට නියෝජනය කරමින් සිංහල දේශීය ඇඳුමින් සැරසී සහභාගි වූ පුද්ගලයා වශයෙන් ද සැළකේ. දළද‌ා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔහුගෙන් ලැබී ඇති ද‌ායකත්වය ද ඉතිහාසයේ මැනවින් සඳහන් වේ.   


දුනුවිල පරපුරේ පමණක් නොව මහජනතාවගේ ද බ්‍රිතාන්‍ය සුදු පාලකයන්ගේ ද ආදරය දිනාගෙන සිටි මෙම දුනුවිල ඇතා දිනපතා උදේ ස්නානය කිරීමට පුරුදුව සිටි බව සඳහන් වේ. දිනපතාම දුනුවිල වලව්වෙන් පිටත් වෙන මෙම ඇත්රාජයා වර්තමානයේ ඩී.එස්. සේනානායක වීදිය, කටුගස්තොට මාර්ගය ඔස්සේ පැමිණ කටුගස්තොට අලි නාවන තොට වෙත පැමිණ (වර්තමානයේ එම ස්ථානය දැක ගැනීමට නොමැති වුවත් එම ස්ථානය එලිෆන්ට් බාත් යනුවෙන් වර්තමානයේ ද හඳුන්වනු ලබයි) හොඳින් ස්නානය කොට නැවතත් එම මාර්ගය ඔස්සේම ආපසු පැමිණීම සිරිතක් කරගෙන සිටි බව පැවසේ. ඉතා කීකරු හස්තියෙකු වූ මෙම හස්තියාට එහි දී දේශීය ජනතාවගෙන් පමණක් නොව එවකට මෙහි සිටි බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ද ආදරය කරුණාව ලැබුණු බව පැවසේ.   


 දශක දෙකක් පුරා (1880 - 1900) දළද‌ා පෙරහැරේ සධාතුක කරඩුව වැඩම වූ මෙම හස්තිරාජයා 1919 වසරේ දී මියගොස් තිබෙන අතර එම පින්බර හස්තිරාජයාගේ ඇත්දල යුගලය දුනුවිල පරම්පරාව සතුව අදටත් පවතින බව සඳහන්ය. මහනුවර ඓතිහාසික දළද‌ා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම්මුව හස්තිරාජයත් අතරින් ගෞරව ජනාදරයට පත් වූ තවත් හස්තිරාජයෙක් දළද‌ා මාලිගාවේ ඇත් පන්තියේ සිටි රාජා හස්තියාය.   
ඉතාමත් විනය ගරුක කීකරු හස්තිරාජයෙකු වූ රාජා හස්තියා පෙරහැරේ ගමන් කරන ගාම්භීර විලාශය දැක ගැනීමට එවකට පෙරහැර නැරඹූ බොහෝ දෙනෙකු දැඩි උනන්දුවක් දැක්වූහ.   


අඩසියවසකට ආසන්න කාලයක් දළද‌ා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම්ම වීමට තරම් පින්බර වූ මෙම හස්ති රාජයා 1986 අගෝස්තු මස 20 වැනි දින ජාතික වස්තුවක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි. මෙරට භාවිත වන රුපියල් දහසේ මුදල් නෝට්ටුවේ සිටින හස්තියා රාජා හස්තියායි. ඒ අසලින් තොප්පියක් පැළද සිටින මුස්ලිම් ජාතියකුට සමාන පුද්ගලයා හා රාජා හස්තියාගේ අතර ඇත්තේ අපූරු කතාවකි. එම රුපියල් දහසේ නෝට්ටුවේ සිටින මුස්ලිම් ජාතිකයා උමාර් ලෙබ්බේ පනික්කාර් යන අය මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වෘත්තියෙන් අලි අල්ලන්නෙකි. රජයෙන් ලබා ගන්නා බලපත්‍ර මත රජයේ රක්ෂිත කැලෑවලට ගොස් අලි පැටවුන් ඇල්ලීම ඔහුගේ ජීවෝනාපායයි.   


1925 වසරේ ජනවාරි මස 05 වැනි දින රජයෙන් ලබාගත් බලපත්‍ර අංක 1318 යටතේ මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයට යන්නේ අලි පැටවකු අල්ලා ගන්නා අදහසිනි. ඒ අනුව එදින ඔහු වයස අවුරුදු දොළහක් පමණ වූ උස අඩි හතර හමාරක ඇත් පැටවෙකු අල්ලා කැලයෙන් එළියට පැමිණේ. එසේ අල්ලාගත් ඇත්පැටවා අලෙවි කිරීම සඳහා ප්‍රභූ පවුලක් සොයමින් සිටිය දී යටිනුවර ගිරාගම වලව්වෙන් ඇත් පැටවෙකු සොයන බව උමාර් ලෙබ්බේට ආරාංචි විය. ඒ අනුව උමාර් ලෙබ්බේ අල්ලාගත් ඇත් පැටවා ද තවත් ඇත් පැටවෙකු සමග මඩකළපුව දිසාපති වෙනුවට එවකට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැති නිලධාරියකුගෙන් ලබාගත් ප්‍රවාහන බලපත්‍රයකින් මඩකළපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට පැමිණ තිබේ.   


 ඉන් අනතුරුව ගිරාගම වලව්වට පැමිණ එහි පදිංචිව සිටි විශ්‍රාම ලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට ඇත්පැටවුන් දෙදෙනාම රුපියල් 3300 ක මුදලකට අලෙවි කොට තිබේ. ඒ 1925 දෙසැම්බර් මස 11 වැනි දින දීය.   


මාම්පිටිය දිසාවගේ සුරතලුන් වූ මෙම ඇත් පැටවන් දෙදෙනාගෙන් ඒ ඇත් පැටවෙකුට රාජා යන නම යොද‌ා ඇති අතර අනෙක් ඇත්පැටවාට දල පූට්ටුවා වශයෙන් නම් කොට තිබේ. මාම්පිටිය දිසාවගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ හැදී වැඩුන මෙම රාජා ඇත්පැටවා කුඩා කල දැඩි ලෙස රෝගාතුර වී තිබේ. රාජා ඇත්පැටවා සුවපත් කර ගැනීම සඳහා මාම්පිටිය දිසාව අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව ද පැවසෙන අතර පසුව එම බාරය ඔප්පු කර තිබේ.   

 

රුපියල් දහසේ නෝට්ටුවේ ඇති රාජා හස්තියාගේ රුව

 


 කෙසේ නමුත් රාජා ඇත්පැටවාත් දල පූට්ටුවා ඇත් පැටවාත් පසුව මාම්පිටිය දිසාව විසින් දළද‌ා මාලිගාවට පූජා කිරීමට තීරණය කොට තිබේ.   


ඒ අනුව 1937 ජූලි මස 31 වැනි ඇසළ පුන්පොහෝ දින මාම්පිටිය දිසාව ඔප්පුවකින් ඇත්පැටවුන් දෙදෙනාගේ අයිතිය දළදා මාලිගාවටව පවරා තිබේ. 1938 වසරේ නාඹර වියේ පසු වූ රාජා හස්තියා දළද‌ා පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මවන හස්තියාගේ පරිවාර හස්තියෙකු ලෙස දළද‌ා පෙරහැරට සම්බන්ධ වී ඇත. රාජා හස්තියා වැඩි කලක් නොගොස් සධාතුක කරඬුව වැඩමවීමේ භාරධූර කාර්යයට සම්බන්ධ වී තිබේ. එතැන් පටන් අඩ සියවසකට ආසන්න කාලයක් රාජා හස්තියා එම කාර්ය ඉටු කළේය. ඒ හේතුවෙන් එම හස්තියා මෙරට බෞද්ධයන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර විය. රාජා හස්තියා වයෝවෘද්ධ 65 වැනි වියේ සිටිය දී 1987 ජනවාරි මස 01 වැනිද‌ා නොහික්මුණු රියැදුරෙකු විසින් පදවන ලද රියක් ගැටීම හේතුවෙන් රාජා ඔත්පල විය. එවකට දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතාගේ උපදෙස් පරිදි දියවඩන නිලමේවරයාගේ නිල නිවෙසේ පිටුපස වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රාජා හස්තියාගේ පිටුපස කොටස පණ නැතිවීමේ අවද‌ානමකට පැමිණි බැවින් හස්තියා කෙළින් සිටවීම සඳහා මැස්සක් ද ඉදිකර වෛද්‍ය ප්‍රතිකාර කළත් දිනෙන් දින හස්තියා දුර්වල වී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 රාජා හස්තිය මෙලොව හැර ගියේය.   


 හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතාගේ ඉල්ලීම පරිදි රාජා හස්තියාගේ සම සහ ශරීර කොටස් ලබාගෙන නැවත ප්‍රතිනිර්මාණය කොට මේ ​ෙවන වට දළද‌ා මාලිගා පරිශ්‍රයේ පැරණි රජ මාලිගාව අසල තැන්පත්කොට ඇත්තේ සියලු දෙනාට දැක ගැනීම පිණිසයි. 

 
 එසේම රුපියල් දහසේ නෝට්ටුවට රාජා හස්තියාගේ රුව යොදන විට එම හස්තියා ලෝක බෞද්ධ ජන සමාජයට උරුමකර දීමට මූලික වූ උමාර් ලෙබ්බේ පනික්කාර් මහතාට කරන ගෞරවයක් වශයෙන් ඇත් රූපය අසලින් ඔහුගේ රුව යෙදීමට පියවර ගත්තේය. 

 

 

ෂේන් සෙනෙවිරත්න   
 (තොරතුරු පොතපත සහ අන්තර්ජාලයෙනි.)