විරාගයේ අරවින්දගේ දේහය චිතකයට ඇතුල් කෙරිණි.
පසුබිමින් ඇසුණේ ෙශා්කී සංගීත රාවයකි.
චිතකයට ඇවිලුණු ගින්න කෙමෙන් අහසට නැගිණි.
පැතුම් පතන්නේ නෑ
පෙරුම් පුරන්නේ නෑ
ඇලුම් කරන්නේ නෑ
යළි කිසිදා
නිසසල සුව සදා
අර සංගීත රාවයට මේ ගී හඬ මුසුවෙන්නට විය.
හිත්වල ඉපදෙන සහසක් ප්රාර්ථනාවල හරසුන් බව, නිස්සාර බව වටහාගන්නට මීට වඩා අවස්ථාවක් කොයින්ද?
ආචාර්ය නන්දා මාලිනිය ගැයූ ඒ අරුත්බර ගීතයට පද ඇමිනුවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය.
ඉකුත් සඳුදා කාලෝ ෆොන්සේකාගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙද්දී සුළඟට මුසු වූයේ ද කාලෝගේම ගීතයකි.
ධනයට ඇයි දැඩි ආශා
මිතුරේ ධනයට ඇයි දැඩි ආශා
කන්න අඳින්නට
ඉන්න හිටින්නට
ඇති නම් මිතුරේ
ඇයි වෙහෙසෙන්නේ
ධනයෙහි සැනසුම
නැත ගැබ් වන්නේ
ධනයට ඇයි දැඩි ආශා
අාචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ භාව පූර්ණ හඬින් ගැයුණු ඒ ගීතය තම දිවිමග කෙළවර වන මොහොතේදී වාදනය කරන්නැයි ඉල්ලා සිටියේ ද කාලෝමය.
“කාලෝ සර් ඒ ගීතයට පුදුම විදිහට ආදරය කළා. ඔහු සමාජවාදියෙක්. ඔහුගේ හදවතේ රුධිරයේ විතරක් නෙමේ ඇඟේ හැම සෛලයකම වගේ තිබුණේ මේ සමාජවාදී අදහස්. ඒ නිසාම වෙන්න ඇති මළමිනියට සුදු කලිසමකුයි රතු කමිසෙකුයි අන්දවන්න කියලත් එතුමා ඉල්ලා සිටියේ.”
කාලෝ ෆොන්සේකාෙග් ලිපි ලේඛන සිංහල බසින් පිළියෙළ කරමින් ද ඔහුගේ පොත් සංස්කරණය කරමින් ද අනගි මෙහෙයක් කළ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන එම්.ඒ.එම්. දමයන්ති මහත්මිය පවසයි.
අසූ හය වෙනි වියේ පසුවූ කාලෝ මීට දෙසතියකට පමණ පෙර රෝහල්ගතව සිටියේය. ප්‍රතිකාර ලබා මඳ සුව ඇතිව නිවෙසට පැමිණි ඔහුට අාහාර කවද්දී එය ගිල දැමීම තරමක් අපහසු විය. එහෙත් පවුලේ අය බිත්තරයක් තම්බා එය ටික ටික කාලෝට කවන්නට උත්සුක වූහ.
කටට ගත්තේ බත් චුට්ටක් වූ බැවින් බිත්තරය කවාගැනීමට තරමක වේලාවක් ගතවිය.
“ඔය කිකිලි දාලා තියෙන්නෙ පැස්බර බිත්තරයක් ද?”
කාලෝ ඔහුට හුරු පුරුදු හාස්‍යය මතුකරමින් ඇසුවේය.
අසනීපයෙන් අමාරුවෙන් සිටියත් මරණ බියක් හෝ රෝ බියක් ඔහුට නොදැනිණි. ඒ ඔහු රෝග ගැනත් මනුෂ්‍ය ශරීරය ගැනත් හොඳින් දන්නා වෙදැදුරෙක් වූ නිසා විය යුතුය.
ඒ නිසාමදෝ කාලෝ කවදාවත් බේත් බොන්නට එච්චර ප්‍රිය කළ මිනිසකු ද නොවීය. ඔහු පමණක් නොව ඔහුගෙන් බේත් ගන්නට ආ බොහෝ දෙනෙකුට ද ඔහු කියන්නේ බෙහෙත් අවශ්‍ය නෑ, නිකම්ම හොඳ වෙයි කියාය. මිනිස් ශරීරය සෑදී ඇත්තේ වැළඳෙන රෝගවලින් බහුතරයක් ඉබේම සුවවන පරිද්දෙනි. ඒ සඳහා අමතර කාලයක් ගත වුවද, ඉබේ හැදෙන ලෙඩ ඉබේම සුව වෙන්නේය.
කාලෝ උපන්නේ දිවුලපිටියේ බල්ලපාන ගමේය. එගමේ වැඩි දෙනා බෞද්ධයන් වුවද ෆොන්සේකලා කතෝලික ආගම ඇදහූහ. ඉඩම් හිමියකු වූ විත්තලගේ ජෝර්ජ් ඇල්බට් රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. කාලෝ ඔහුගේ පළමුවැනි පුත්‍රරත්නය වූයේය.
මීගමුවේ මාරිස්ටෙලා විදුහලින් ඉංග්‍රීසි සිංහල දෙබසින්ම ඉගෙන ගත් කාලෝ සිංහල භාෂා තරගවලින් නිතරම ජයග්‍රහණය ද කළේය. එහෙත් ඉංග්‍රීසි ද අතැඹුලක් සේම උගත්තේය. මාරිස්ටෙලාවෙන් මරදානේ ශාන්ත ජෝසප් විදුහලට ගිය ඔහු එහිදී සංගීත ලෝලියකු බවට ද පත් වූවේය.
“මගේ ප්‍රියතම ගායකයා වුණේ සුනිල් ශාන්ත. ගුරුවරයෙක් නැති කාල පරිච්ඡේදවලදී අපි යාලුවො එකතු වෙලා සුනිල් ශාන්තගෙ ගීත ගායනා කරනවා. මම නැවතිලා හිටිය මහම්මාගෙ ගෙදරදීත් නිතරම වගේ සුනිල් ශාන්තගෙ ගීත ගායනා කරනවා.”
කාලෝ සිය සොඳුරු ළමාවියේ රහස් හෙළිදරව් කළේ එසේය.
මේ ඇල්ම නිසාම ඔහු සිය පංති මිතුරනුත් සමග සුනිල් ශාන්තගෙන් සංගීතය ඉගෙන ගන්නටද යොමුවූහ. එහෙත් ඒ සංගීත පාඩම වැඩිකල් හදාරන්නට දෛවය ඉඩ නොදුන්නේය.
කෙසේ වුවත් එච්.එස්.සී. පංතිය සමත්වූයේ කාලෝට වෛද්‍ය විද්‍යාලයේ දොරටුව විවර කරමිනි. 1955 ජුනි මාසයේ දවසක කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලු වූ ඔහුට මහාචාර්ය සේනක බිබිලේ හමුවිය. ඔහු සමසමාජ පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු විය. ඉතින් කාලෝ ද ගුරුවරයාගේ අඩිපාරේ ගමන්කර සමාජවාදී අදහස්වලින් ඔළුව පුරෝගත්තේය. ඒ අදහස් විටෙක විප්ලවකාරී විය. උපතින්ම හිමිව තිබූ ආගම වෙනුවට බුද්ධාගමට ඇලුම් කරමින් බෞද්ධ දර්ශනය පිළිබඳව එම්.ඒ. උපාධිය ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ පවුලක උපන්නත් සමසමාජ පක්ෂයට සම්බන්ධ විය. පවුලේ විරෝධය නොතකා සිය පෙම්වතිය සමගම විවාහ වූයේය. අසරණ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරන්නට ද පටන් ගත්තේය. ඒ වෙනුවෙන් කාලෝට කැපකරන්නට සිදුවූයේ ඔහුගේ විවේක කාලයයි. වෛද්‍ය විද්‍යාලයේ දේශන පවත්වන අතරතුරත් පැමිණෙන හැම රෝගියාටම නොමිලේ ප්‍රතිකාර කළ කාලෝ අසරණ රෝගියෙක් නම් බෙහෙත් ගන්නට ද සල්ලි දුන්නේය. ඒ කාලෝගේ ‘සමාජවාදය’ නමට පමණක් සමාජවාදයක් නොවූ නිසාය.
කාලෝ වෛද්‍ය වෘත්තියේ යෙදී සිටියදී තමන්ට ලැබෙන වැටුප වැඩි බවට රජයට චෝදනා කළ බව ද ප්‍රකට කතාවකි.
කාලෝ, ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූයේ මිත්‍යාවට එරෙහි වූ නිසාය. සරල සිංහලෙන් කිවහොත් ගිනි පාගන්නට ගිය නිසාය. එහෙත් සිදුවූයේ ඒ ගිනි පෑගීම් ගිනි ඇවිලීම් බවට පත්වීමය.
දේවාල කපුවන් හැමවිටම කියා සිටියේ ගිනි පෑගීම අසීමිත දේව භක්තියේ ප්‍රතිඵලයක් බවය. මේ දේව භක්තිය පෙන්වීම සඳහා පිළියෙළ කළ ගිනි අඟුරු ගොඩවල් මතින් ඇවිද යන සමහරුන්ගේ දෙපා පිළිස්සුනු අවස්ථා ද තිබිණි.