දුම්රියේ ගියාට පාලක මැදිරිය දැකලා තියෙනවද?


ඔවුන් පසුවෙන්නේ පරිගණක තිරයක් මත බලාගත්වනමය. ධාවනයේ ඇති දුම්රිය තුන්සිය හතළිහකට පාර කියමින් ඔවුන් සංඥා නිකුත් කළ යුතුය. පැනලය තුළ එහා මෙහා යන රතු පැහැයෙන් දිස්වෙන දුම්රිය ගමන් මගෙන් පාලක ඇස් අහකට ගැනීමක් නැත.

එය ජීවිත රැසක් පරිස්සමට එහා මෙහා කරන වගකීම් සහගත රැකියාවකි. මොහොතක් බලා සිටින්නෙකුට එය අපූරු ක්‍රීඩාවක් ලෙස ද හැඟෙනු ඇත. මගීන් තොග පිටින් ගම්බිම් බලා යන දීර්ඝ නිවාඩු කාලයන්හි යෙදවෙන විශේෂ දුම්රියට මගීන් වන ඔබ ගොඩවෙන විට දුම්රිය මෙහෙයුම් මැදිරියේ නිලධාරීහු නින්දක් නොමැතිව සිය රාජකාරියේ නියැළෙති. 

රියැදුරු මහතාගේ තිරය  පිටුපස සිට  බරසාර මැණිකෙලා, දේවිලා, සාගරිකාලා, කුමාරිලා පරිස්සමෙන් රටේ සතරදිග්බාගෙට අනතුරකින් තොරව ධාවනයේ යෙදවීමට උරදෙන මේ නිලධාරීන් කවුරුන් ද? ඔවුන්ට පැවරෙන රාජකාරිය කුමක් ද?

දුම්රිය ගැන ඇසෙන කතා මැද නොඇසෙන කතාවක වැඩි වගකීමක් ඇති දුම්රිය පාලක මැදිරි නිලධාරීන් සොයා ඉරිදා ලංකාදීප අපි මරදානට ගියෙමු. දුම්රිය මෙහෙයුම් මැදිරියේ සංඥා නොතකා දුම්රිය ධාවනයේ යෙදීම යනු දුම්රිය මගී ජීවිත අනතුරට හෙළීමකි. 2013 වර්ෂයේ දෙසැම්බර් පස්වැනිදාවක රියැදුරු නැතිව ඉබේ දුවපු දුම්රිය එන්ජිමක සිදුවීමක් වාර්තා විය. එදා විශාල කණ්ඩායමකගේ උත්සාහයකින් අනතුර වැළකී ගියේය.

2014 මැයි 31 වැනි දින  පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර ද සංඥා නොතකා යෑමකි. 11 - 902 උතුරුකරයට  ගිය දැයට කිරුළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සහ ඵ2 - 570 පන්තියෙන් කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය එකට ගැටී සිදුවූ දුම්රිය අනතුරකි.

මගීන් හැට අටදෙනෙකුට (68) මාරාන්තික තුවාල ඇති කළ මෙය ශ්‍රී ලංකා දුම්රිය සේවයට වැඩිම හානියක් සිදු වූ අනතුරු අතරින් එකක් ලෙස සැලකෙති. එම අනතුර සංඥා නොතකා ගිය ගමනකි. අනතුරින් සිදු වූ ඇස්තමේන්තුගත හානිය රුපියල් මිලියන 75කට අධික බව පැවසෙයි. 

ඉහත අප සඳහන් කළ ආකාරයේ දුම්රිය අනතුරකට ලක් නොවී දුම්රිය ධාවනයේ යෙදවීමට දුම්රිය ‍මෙහෙයුම් මැදිරියේ සහාය නැතිව බැරිය. දුම්රිය මෙහෙයුම් මැදිරියක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. මේ දීර්ඝ හඳුන්වාදීම සිදු කළේ එහි ඇති බරපතළ බව ඔබට ඒත්තු ගැන්වීමටය. 

දුම්රිය මෙහෙයුම් කාර්යාලය ආරම්භ වී ඇත්තේ 1928 වර්ෂයේදීය. ඊට පෙර දුම්රිය ධාවන කටයුතු සිදු වූ බව පැවසෙන්නේ ලොක් ඇන්ඩ් බ්ලොග් සිස්ටම් එකට අනුවය. දුරකතනයෙන් පණිවිඩ නිකුත් කරමින් දුම්රිය ධාවන කටයුතු පිළිබඳව තොරතුරු අදාළ දුම්රිය ස්ථානවලට ලබා දීම අතීතයේ පැවති තවත් ක්‍රමයකි. 

දුම්රිය සේවයට විශාල සේවයක් කළ බව ප්‍රකට, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු වූ බී.ඩී. රම්පාල මහතාගේ කාලයේ පූර්ණ සංඥා ක්‍රමය හඳුන්වා දී ඇති අතර මෙහෙයුම් මැදිරි මරදානේ ස්ථාපිත කළ බව පැවසෙන්නේ 1928 වර්ෂයේය.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති, දුම්රිය පාලක ධීෂන පටබැඳිගේ මහතා : දුම්රිය ගමන් යෙදවෙන්නේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) තැන විසින් නිකුත් කෙරෙන කාලසටහනට අනුවය.

 

දුම්රිය පාලක  ධීෂන පටබැඳිගේ

ප්‍රධාන දුම්රිය 
පාලක එම්. ටී. පී. ඩයස්

දුම්රිය පාලක
පුෂ්ප කුමාර

වැගන් පාලක
දිමුතු

 

එකී කාලසටහනට අනුව, එක් එක් ධාවනාගාරවලට අදාළව ධාවනය කළ යුතු දුම්රියන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් එකී ධාවනාගාර  භාර අධීක්ෂණ කළමනාකරුවන් විසින් දුම්රිය පාලන කාර්යාලයේ වර්ණ සංඥා අධීක්ෂක වෙත ලබා දිය යුතුය. හෙට දිනයේ ක්‍රියාත්මක කෙරෙන දුම්රියන් පිළිබඳ තොරතුරු දුම්රිය මෙහෙයුම් මැදිරියෙන් නිරීක්ෂණයට ලක්වන්නේ ඒ අනුවය. ධාවනාගාර අධීක්ෂක කළමනාකරු ලබාදුන් දුම්රිය අංකයන් සංචිතයෙන් එංජිම අදාළ වේදිකාව ආසන්නයට පැමිණියේ ද එයින් පිටවූයේ ද යන්න නිරීක්ෂණය කරමින් වර්ණ සංඥා අධීක්ෂකවරුන් දුම්රිය ගමනාන්තය දක්වා වර්ණ සංඥා නිකුත් කළ යුතුය. වර්ණ සංඥා ක්‍රමය ක්‍රියාත්මක වන කොට්ඨාසයේ දුම්රියක් දුම්රිය ස්ථානයකට ඇතුළු කරගැනීම හා පිටත් කිරීම පාලනය කරනුයේ පාලක සංඥා මගිනි.

එම පාලක සංඥා ක්‍රියා විරහිත වූ අවස්ථාවලදී දුම්රිය පාලකගේ අවසරයකින් තොරව එම සංඥාව පසුකර ඉදිරියට ධාවනය කළ නොහැක. සංඥාවල කිසියම් හෝ දෝෂයක් පවතින අවස්ථාවක රියැදුරු ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය. 

දෝෂ පවතින අවස්ථාවක  පාලක සංඥාවට අදාළ දුරකතනයෙන් රියැදුරු දුම්රිය පාලක අමතා සදෝෂී සංඥා නියෝගයක් දුම්රිය පාලකගෙන් ලබා ගතයුතුයි. එම නියෝගය ලැබුණු පසු ක්‍රියාවිරහිත පාලක සංඥාව පසු කර රියැදුරුට දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට අවසර ලැබෙනු ඇත. දුම්රිය ධාවනය කරනුයේ රියැදුරු වුවද  දුම්රියේ සහ මගීන්ගේ ආරක්ෂාව දුම්රිය මෙහෙයුම් මැදිරියේ නිලධාරීන්ගේ ද වගකීමකි. 

දුම්රියන් මුහුණට මුහුණ හමු නො වී ධාවනය කිරීමට නම් දුම්රිය මෙහෙයුම් මැදිරියේ මගපෙන්වීමට අනුව කටයුතු කළ යුතුය. එක් එක් කලාප සඳහා වර්ණ සංඥා අංශය බෙදා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව  දුම්රිය පාලන කාර්යාල 3ක් ඇත.

ඉන් ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය කොළඹ මරදානේත් අනෙක් පාලන කාර්යල 2ක අනුරාධපුරයේ හා නාවලපිටියේත් පිහිටා ඇත.

මරදාන ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයෙන් කොළඹ සිට බෙලිඅත්ත, පුත්තලම, රඹුක්කන හා මහව දක්වා පාලනය කරනු ලබයි. මහව සිට කන්කසන්තුරය, තලෙයිමන්නාරම්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය දක්වා පාලනය වෙනුයේ ප්‍රාදේශීය අනුරාධපුර දුම්රිය පාලන කාර්යාලයෙනි.

රඹුක්කන සිට මාතලේ හා බදුල්ල දක්වා කලාපය පාලනය නාවලපිටිය ප්‍රාදේශීය දුම්රිය කාර්යාලයට පැවරුණ රාජකාරියකි. ප්‍රධාන මාර්ගයේ පල්ලෙවෙල සිට ඔරුගොඩවත්ත හා රාගම සිට මීගමුව දෙසට දුම්රිය පාලකවරු 2ක් මෙහෙයුම් භාරව සිටී. එම දුම්රිය කලාපය නිරීක්ෂණය කරමින් සංඥා නිකුත් කළ යුත්තේ ඔවුන් දෙදෙනා විසිනි.

ලෝකෝ හංදිය 1, මරදාන 1, කොටුව 1, මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදියේ සිට වාද්දුව දක්වා 1ක් වාද්දුවේ සිට බෙලිඅත්ත දක්වා කලාපය බාර තවත් පාලකවරුන් දෙදෙනෙකුටය. 

පරිපථ අංශයේ  මීරිගම සිට රඹුක්කන දක්වා එක් අයෙකුත් පොල්ගහවෙල සිට මහව දක්වා එක් අයෙකුත් යොදවා සිටිති. මීගමුවේ සිට පුත්තලම දක්වා 1 කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර සිට අවිස්සාවේල්ල දක්වා 1ක් යනාදී වශයෙන්ද පාලකවරු යොදවා සිටිති.

කෙසේ වෙතත් දුම්රිය මග සියලු‍ම පාලකවරු පොදුවේ අධීක්ෂණය කළ යුතුය.

දුම්රිය පාලක (පාලන)  පුෂ්පකුමාර මහතා 

දුම්රිය වැඩ වර්ජනයක් යනු දුම්රිය පාලකවරුන්ට වැඩ අධික අවස්ථාවකි.

බොහෝ විට වැඩ වර්ජන පටන් ගන්නේ රාත්‍රි දොළහටය. රාත්‍රි දොළහ වන විට බොහොමයක් දුම්රියන් කොළඹින් බැහැරට ගොස් අවසන්ය. එවන් විටෙක රටේ කොහේ හෝ තැනක දුම්රිය නැවතී ඇති මොහොතකි.

සැලැස්මක්, වෙලාවක්, කාලයක් රට වටේ හිටි තැනම වර්ජනයට එක්වෙන දුම්රියවලට නැත. රාත්‍රි දොළහට පිටව ගිය දුම්රියන් ඇතැම්විට නවතා ඇත්තේ එක පෙළටය. වර්ජනය අවසන් වූ සැණින් බසයක් මෙන් ධාවනය අරඹන්නට දුම්රියට නොහැක.

දුම්රියන් මුහුණට මුහුණ හමු නොවන සේ නැවතුණ ගමන අරඹන්නට වර්ණ සංඥා නිකුත් කළ යුතුය. එය කළ යුත්තේ සැලැස්මකට අනුවය. එසේ නොවුණහොත් මිනිස් ජීවිත රැසක් අවදානමට හෙළමින් දුම්රිය අනතුරු රැසක් සිදුවෙන්නට ඉඩ ඇත.

මග නැවතුන දුම්රියන් කොළඹට ගෙනා පමණින්  තදබදය අවසන් වන්නේ නැත. හෙට දවසේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සඳහා වර්ණ සංඥා නිකුත්කිරීම කළ යුතුය. අද දවසේ වර්ජනය නිසා කොළඹ නොපැමිණි දුම්රියන්ට වර්ණ සංඥා නිකුත් කරන අතරේ කාලසටහනේ පවතින ගමන් වාර සඳහා ද ඉඩ ලබාදිය යුතුය.

ප්‍රධාන දුම්රිය පාලක එම්. ටී. පී. ඩයස් මහතා 

දුම්රිය පාලකවරයා යනු දුම්රිය මාර්ග නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් විශිෂ්ට දැනුමකින් හා කාල කළමනාකරණයකින් යුතු අයෙකි.

ඉතා අවධානයෙන් ඉවසිලිවන්තව නිසි තීරණ ගනිමින් සේවය කිරීම එම වෘතියට තිබිය යුතුම ගුණාංගයකි. වර්තමාන ලෝකයේ දුම්රිය සේවය පවතින සෑම රටකම දුම්රිය පාලක යනුවෙන් වෙනම ශ්‍රේණි පවතී. ආසන්නතම ඉන්දියාවේ ද දුම්රිය පාලක යනු දුම්රිය ස්ථානාධිපති සේවයේ උසස් වීමකි. අපගේ බඳවාගැනීම්වලද දුම්රිය පාලක ලෙස වෙනම ශ්‍රේණියක් නැත. අප රට තුළ දුම්රිය පාලන කාර්යාලයට දුම්රිය පාලකවරයෙකු තෝරාගනු ලබන්නේ දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණියේ දෙවැනි පන්තියේ වසර  පහක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා පළමු හා දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් සමත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ය.

ඔහු මෙහෙයුම් ලෙස සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරු අතරින් සුවිශේෂී කාර්යභාරයක් කළ අය ලෙස තෝරාගන්න අය අතරින් කෙනෙකි. දුර ප්‍රදේශවල තිබෙන දුම්රියන් කොළඹට ගෙන්වාගැනීමත් කොළඹින් පිටත් වන කාර්යාල දුම්රියන් ගමනාන්තය වෙත ළඟා කරවීමත් ඔවුන්ට පැවරෙන දවසේ රාජකාරිවල ඇති කාර්යබහුලම ක්‍රියාවලියකි.

දුම්රියන් ප්‍රමාද වුවහොත් මගීන්ගෙන් බැණුම් අසන්නට වෙන්නේ දුම්රිය පාලක මැදිරියටය. කිසියම් ප්‍රදේශයක පීල්ලක් පැන ඇතැයි දැනගන්නට ලැබුණොත් දුම්රිය ගමන් මගේ සංඥා නිකුත් කිරීමේ සැලසුම වෙනස් කරමින් බාධාවකින් තොරව දුම්රිය ධාවනය කරවීම සිදු කළ යුතුය. දුම්රිය මාර්ගයේ කිසියම් හෝ ආපදා තත්ත්වයකදී සඳහා පිළියම් යෙදීම අදාළ දුම්රිය මාර්ගයේ නඩත්තු අංශයට පැවරෙනවා සේම සංඥා අංශයත් දුම්රිය මෙහෙයුම් මැදිරියේ සිට මගී පහසුව සැලසීම සිදු කළ යුතුය. මුලින්ම නැවතුම්පොළට යොමු කරන්නේ කුමන දුම්රියද පිටත් කළ යුතු දුම්රිය කුමක්දැයි තීරණය කළ යුත්තේ පාලකවරුය. නිරන්තරයෙන්ම තිරයක් මත බලාගෙන සිටින දුම්රිය සංඥා පාලකවරුන්ට මානසික සහ ශාරීරික සෞඛ්‍ය නගාසිටුවීමේ වැඩ පිළිවෙළක් නොමැති අතර ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසිය යුතුව ඇත.

සිංහල අවුරුදු කාලයට බොහොමයක් දෙනා ගම්බිම් බලා යන විට තිරයක් දෙස බලාගෙන මගී ආරක්ෂාව සලසන දුම්රිය පාලකවරුන් සිය පුද්ගලික ජීවිතයේ අඹුදරුවන් සහ ඥාතී මිත්‍රාදීන් සමග සිටින්නට කාලයක් නැත. ඔවුන්ට දුරකතන ඇමතුමක් ලබාගැනීමට හෝ බොහෝ විට පාලකවරුන්ට හැකියාවක් නොමැත. දුරකතන ඇමතුමක් ලබා ගත්තද එය කෙටි ඇමතුමකින් අවසන් කළ යුතුව ඇත. මන්ද ඔවුන්ගේ අවධානය වෙනත් ස්ථානයකට යෑම යනු අනතුරකට අත වැනීමකි. 

අවුරුදු සමයේ නැකැත් වෙලාවන් ඥාතීන් බැහැදකින්නට යන වෙලාවන් බොහෝ විට අනිත් අයට ලබා දෙමින් දුම්රිය පාලකවරුන් දුම්රිය මෙහෙයුම් මැදිරියේ රැඳීසිටීම දකින්නට ලැබෙන තත්ත්වයකි.

එවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය නඟාසිටුවීමට මෙන්ම පවුලේ අය සමග සතුට බෙදාගැනීමට ඇති වැඩසටහන් ඇතිවෙන්නේ නම් එය වටිනා කාරණයකි. මේ පිළිබඳව දුම්රියේ ප්‍රධාන නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි ඩයස් මහතා පවසයි.

රටවටා ජනතාවගේ පොදු අවශ්‍යතා සපුරාලන, බඩු ප්‍රවාහනය කරන දුම්රියන් මෙහෙයවීම බොහෝවිට සිදුවන්නේ රාත්‍රියේය. ප්‍රධාන වැගන් පාලක දිමුතු මහතා පවසන ආකාරයට, මගී දුම්රිය බාධාවක් නොවන ලෙස බඩු ප්‍රවාහනය කරන වැගන් දුම්රියන් ධාවනයට එක්කර ඇත. පොදු අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය වන්නා වූ තෙල්, පිටි, ත්‍රිපෝෂ වැනි ආහාර රටේ විවිධ ස්ථානයන්ට ප්‍රවාහනය කිරීම වැගන් පාලකවරයා සිදුකළ යුතුය. රාත්‍රි කාලයේ මගී ප්‍රවාහන දුම්රියන් ධාවනය යම් අඩුවක් ඇත. රාත්‍රි කාලයේ මෙහෙයුම් සිදුකරන බඩු ප්‍රවාහනයට යොදවා ඇති වැගන්වල ගමනාන්තය විවිධ දුම්රිය ස්ථානයන් වෙත යෙදී ඇත. ඒ පිළිබඳව අවධානයෙන් සිට අදාළ දුම්රිය ගමනට සිග්නල් ලබා දීම වැගන් පාලක සිදුකළ යුතුය.


සටහන | ඡායාරූප 

■ රේඛා තරංගනී ෆොන්සේකා