- ප්‍රවීණ ලේඛිකා බෝධිනි සමරතුංග |
වෛද්‍ය බෝධිනි සමරතුංග සිය වෘත්තීය අත්දැකීම් අලළා ලියූ බ්ලොග් සටහන් පෙළ පසුකලක ‘‘අනිත් කොන’’ නමින් ප්‍රකාශයට පත් කළාය. උතුරේ ඇය සේවය කළ කාලයේ දී ලද ඉතාම සංවේදී අත්දැකීම් ද එම කෘතියෙන් ඇය පාඨකයා වෙත ගෙන එයි. කවියට ළැදි ඇයගේ පළමු කාව්‍ය කෘතිය මනුපුර සක්මන නමින් ප්‍රකාශයට පත්වන්නේ ද අනිත් කොන ප්‍රකාශයට පත් කළ සමයේ දීමය. ඉන්පසු ඇය විසින් ලියූ සායනික සටහන් නොවේ නමින් ලියූ බ්ලොග් සටහන්, තීරු ලිපි සංග්‍රහයක් ලෙස ප්‍රකාශයට පත්විය. එය කෘතියේ ඇති ලිපි මේ වන විට දමිළ භාෂාවට පරිවර්තනය කර ඉන්දියාවේ ප්‍රකාශයට පත් කර ඇත. යුද්ධය අවසන් වනවාත් සමගම ඇය උතුරට රාජකාරි සඳහා ගියාය. එහිදී ලද ජීවන අත්දැකීම් ඇය මෙම කෘතිය ඔස්සේ පාඨකයාට සමීප කරවීය.
ඇයගේ ප්‍රථම නවකතාව මගෙ පස්සෙන් එන්න නමින් පසුගියදා ප්‍රකාශයට පත් විය. එය කෘතියෙන් ඇය පාඨකයා වෙත නවමු අත්දැකීමක් සමීප කරවයි. සමාජ ප්‍රශ්න කෙරෙහි ඇයගේ සංවේදී බව හා සවිඥානික බව මෙම කෘතියෙන් දැකගත හැකිය. එම කෘතිය සහ ඇයගේ ලේඛන කටයුතු පිළිබදව ඇය සමග කරන ලද කතාබහ මෙම ලිපිය ඔස්සේ ඔබට ගෙන එමු.
මගෙ පස්සෙන් එන්න, මෙවැනි නවකතාවක් ලියන්න හිතුවේ ඇයි?
අද වැඩිහිටි අපි බොහෝ දෙනෙක් කුඩා කාලයේදී පටන් දැක්කේ නොයෙක් ප්‍රශ්න සහිත සමාජයක්, දියුණු වෙමින් පවතින රටක්. අපි හිතුවා අපි වැඩිහිටියෝ බවට පත් වෙනකොට මේ ජන සමාජය වෙනස් වෙයි කියලා. අවුරුදු තිහ හතළිහකට පස්සෙත් අපි දකින සමාජය කොයි වගේද? මේ ප්‍රශ්න එකින් එක විසඳිලා ද? තවමත් තරුණ පිරිස මෙන්ම වැඩිහිටි ප්‍රජාවද මේ ආකාරයෙන් ප්‍රශ්න කරනවා, ඇසෙනවා දකිනවා. රටක උන්නතිය වෙනුවෙන් පුරවැසියා සතු වගකීම් සමුදායක් තියෙනවා. මුලින්ම පුරවැසියා යනු කවරෙක්ද කියලා තේරුම් ගන්න ඕනේ. අද වන විට අවම පහසුකම් යටතේ ජීවත් වෙන එක ගැන හිතන්න පෙලඹිලා ඉන්නේ කර්මය හෝ ලබා උපන් හැටි කියලා. රටක සමාජය, හෝ ක්‍රමය සැකසෙන්න ඕනේ සමස්ත ජනවර්ගයාටම පහසුවක් සහනයක් ඇතිවන ලෙස. ඒත් ඒක එහෙම වෙනවද ? මේ ප්‍රශ්න ලෝකයේ විවිධ තැන්වල එක එක ආකාරයෙන් පවතින තවමත් නොවිසඳුණු ඒවා.
අපි මේ මහ පොළොව අපේ දරුවන්ගෙන් ණයට ගත් තැනක්, නමුත් අපි හැසිරෙන්නේ එහි උරුමය අපට ලියලා දීලා වගේ. යුරෝපයේ බොහෝ රටවල දරුවන් සලකන්නේ සම්පතක් ලෙස. දරුවන්ට පහසු, සැපවත් ජීවන ක්‍රමයක් ඇති කර දෙමාපියන්ට පහසුවක් සලසන්න සමාජ ක්‍රමය සැකසී ඇති අයුරු මා දැනට පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන ස්වීඩනයේදී පවා මම නිරීක්ෂණය කරනවා. දරුවන්ගේ ජීවිත පහසු කරන්න ඔවුන්ට ක්‍රමවත් අධ්‍යාපනයක්, සුවපහසු පරිසර සහ සෞඛ්‍ය සම්පන්න බව ඇති කරන්න අවශ්‍යයි. ඒ වගේම සමාජය ගැන කතා කරද්දී සෞඛ්‍ය ප්‍රශ්න අපට මඟ හැර යා නොහැකියි. මේ කතා කරන ප්‍රශ්න තුන්වෙනි ලෝකයේ රටවල් හෝ දියුණු වෙමින් පවතින රටවල සුලභව මුහුණ දෙන්න වෙන සෞඛ්‍ය ගැටලු. මේ ප්‍රශ්න අසමින් දකිමින් වැඩුණු මම වෛද්‍ය ශිෂ්‍ය කාලයේ තමයි මේ නවකතාවේ මුල් පරිච්ජේද ලියන්නට ගන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් සහ ඔහු වටා එකතුෙවන මිත්‍රයන් පිරිසකගේ සමාජ සාධනය වෙනුවෙන් සිදු කරන මැදිහත් වීම්, ඔවුන්ගේ ජීවිතවල හැලහැප්පීම්, සමාජ ප්‍රශ්න ආදිය වටා මේ කතාව ගොඩ නැගෙන්නේ. මෙය ඉතා දීර්ඝ කාලයක් හෙමින් ලියැවුණු පොතක්.
"සායනික සටහන් නොවේ" වගේ පොතක ඔබ වෘත්තීමය ජීවිතය තුළ ලබපු අත්දැකීම් තීරුලිපි ආකෘතියෙන් ඉදිරිපත් කර තියෙනවා. ඒ අත්දැකීම් නවකතාවකින් ඉදිරිපත් කිරීමේ දී එහි සාහිත්‍යමය බව පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඔබ ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොම ද?
වෛද්‍ය ශිෂ්‍ය කාලයේ ඉඳන් මම තේරුම් ගත් දෙයක් තමා මිනිසුන්ට තේරෙන විදිහට ඔවුන්ගේ බසින් ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ ගැටලු කියා දුන් විට ඔවුන්ට ඒවා වඩා හොඳින් තේරෙන බව. ඒ තේරුම් ගැනීමම රෝග වළක්වාගැන්මට මෙන්ම ප්‍රතිකාර කිරීමේදී ඉක්මනින් රෝගී බවින් මිදීමටත් උපකාරී වෙනවා. මේ අපට වුණත් කුඩා කාලේ ඉඳන් ඇසූ කතන්දර අදටත් මතකයි නේ. ඉතින් මම මේ සෞඛ්‍යය පිළිබඳ තොරතුරු හෝ සමාජීය කාලීන ප්‍රශ්න ගැන දැනුවත් කිරීම් සඳහා කතන්දර ලිවිම යොදා ගත්තා. මම පුරුදු වෙලා තිබුණේම සෞඛ්‍ය තොරතුරු සවිස්තරාත්මකව ලියන්නයි. ඉතින් මේ කතාව ලියද්දී විශේෂයෙන්ම මට වෛද්‍ය කතන්දර ලිවීමේදී නිරන්තරයෙන් සිදුවන වාර්තාමය ලිවීම් රටාවෙන් බැහැර වෙන්නට සිදුවුණා. මෙහි ලියැවී ඇති සමාජ අර්බුද ඔබට මට ජීවිතේ කොයි මොහොතක හෝ සම්මුඛ වී තිබෙනවා. මම බොහෝ විට මෙහි චරිත සහ දෙබස් ඔස්සේ මේ තොරතුරු ගෙනෙන්නට උත්සාහ කළා. සායනික සටහන් නොවේ, සෞඛ්‍ය තීරු ලිපි මෙන් නොව මා ලියුවේ ප්‍රබන්ධයක්. ඉතින් කියවන්නාට වෙහෙසකර නොවන්නට නීරස නොවන්නට වගබලාගත්තා.ඒ වගේම සමාජ අවබෝධය මෙන්ම පවතින අර්බුද ගැනත් කතා කරන්න මා උත්සහ ගත්තා. ලෝකයේ විවිධ රටවල සමාජ සහ සෞඛ්‍ය ගැටලු ගැන මා තුළ තිබුණු අවබෝධය ඔස්සේ ගොඩ නැඟුණු සිදුවීම් ද මෙම ප්‍රබන්ධය ගොඩ නඟන්නට උපකාරී වුණා.
අනිත් කොන බ්ලොග් සටහන් තුළ ඔබ උතුරේ දී ලබපු වෘත්තීමය අත්දැකීම් රැගෙන ආවා. එහෙම බැලුවම ඔබේ ලිවීම් වෘත්තීය සමඟ බැඳිලා තියෙනවා. ඒකට හේතුව ඔබට ඉන් පිටත සමාජය ඔබේ වෘත්තිය තුළ වඩා හොඳින් ග්‍රහණය වීම ද?
මා පශ්චාත් යුද සමයේ උතුරු කොන සේවය කරද්දී අප මුහුණ දුන් අභියෝග සහ මිනිසුන්ගේ ඛේදනීය ජීවන අරගල, බ්ලොග් සටහන් ලෙස ලීවා. එම ලිපි තමයි අනිත් කොන නමින් පොතක් ලෙස මුලින්ම ප්‍රකාශයට පත් වුණේ. රෝහලක් කියන්නේ අපේ රටේ නම් සියලු විඳීම් දැනීම් අලකලංචි ඛේදවාචක මුණ ගැහෙන තැනක්. වෛද්‍යවරයාට විවිධ සමාජ ස්තරයන්හි බොහෝ පුද්ගලයන් පිරිසක් සමග කටයුතු කරන්න සිදුවෙනවා. ලංකාව වගේ රටක වෛද්‍යවරු කියන්නේ රෝගියාගේ රෝගයට ඖෂධ නියම කරනවා පමණක් නොවේ ඉන් එහා ගොස්, විශාල කාර්ය භාරයක් සිදු කරන පිරිසක්. රෝගයකට ප්‍රතිකාර කරද්දී රෝගියා ඒ මොහොතේ පෙලෙන සියලු පීඩන ගැන අපි දැනුවත් වෙනවා. ඒවාටත් පිළියම් යොදන්න කටයුතු කරනවා. උදාහරණයකට මා ලියූ කතාවක් තියෙනවා එකම ඇඳුම හෝදන්න ඇඳෙන් බැස්ස හැටි කියලා. එකල මා උතුරු කොනේ රෝහලේ වැඩ කරද්දී නිරීක්ෂණය කළා ළදරු ඇඳුම් නැපී ලෙස ඔවුන් ගෙන එන්නේ බොහෝ විට තමන්ගේ පරණ චීත්ත හෝ සරම් කපලා බව. ඇතැමුන් ඒවාත් නැතිව එන්නේ, ඒ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න සහ අවබෝධයක් නැතිකම නිසා. ඉතින් මේ වෙලාවට අපිට සිදුවෙනවා ළදරු ඇඳුම් හොයන්නත්, ඔවුන් වෙනුවෙන් ආධාර සොයන්නත්. ඇතැම් විට ඔවුන්ගේ පුද්ගලික ගැටලුවලට පිළියම් සොයන්නෙත් අපෙන්. මේ ඔස්සේ මට හමුවෙන දකින විඳින බොහෝ දෑ තුළ ලියන්නට සමාජය දැනුවත් කරන්නට ඕනෑ තරම් කරුණු හමුවෙනවා.
ඉතින් නිතැතින්ම මා වෘත්තීය ජීවිතය ඔස්සේ ලද අත්දැකීම් මුසුකොට සෞඛ්‍ය කතන්දර ගෙන එනවා. එහෙම ලියන්නේ හුදෙක් වින්දනීය හෝ නිර්මාණාත්මක කාර්යයකට නොවේ. මගේ අරමුණ සමාජය තුළ දැනුවත්භාවය ඇති කිරීමටයි. එය අපි අපේ වාට්ටු සහ සායනවලදී රෝගීන් හමුවේ අපේ කතාබහවලින් වාචිකව සිදු කරනවා. එනමුත් මම විශ්වාස කරනවා වෛද්‍යවරයෙකුගේ කාර්ය භාරය ප්‍රතිකාර කිරීමෙන් පමණක් අවසන් වෙන්නෙ නෑ . රෝග ඇතිවෙන හේතු සහ රෝග ඇතිවෙන්නට කලින් වළක්වා ගත හැකි අන්දමත් අප කියා දිය යුතුයි. ඉතින් මගේ ලිවීම නිතැතින්ම ඒ වෙනුවෙන් කැපවුණා. ඒ වගේම තමා මේ සියලු වෘත්තීය අත්දැකීම් සමඟ අපටත් ජීවිතයේ යථා ස්වරූපය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. මේ දැකීම් විඳීම් එක්ක අපත් ඇතැම් විට බොහෝ විස්සෝප වෙනවා, බිඳ වැටෙනවා. නමුත් මම තේරුම් ගත්තා මේ සංවේදනා ලිවීමෙන් සමාජ දැනුවත් භාවය ඇතිවෙනවා වගේම එය සමාජය තුළ හිතකර වෙනසක්, සහනයක් හෝ සැනසුමක් එක් කරන ව්‍යායාමයක් බව.
ප්‍රබන්ධ තරමටම මේ සෞඛ්‍ය කරුණු රැගත් කතන්දර තීරු ලිපි සමාජය කියවාවිද ? කියා සිතුවාට මේ ලිපි සති පතා අවුරුදු දෙකක් ලියවෙනවා. ඒවායින් 60ක් එකතුකර පළ කළ සායනික සටහන් නොවේ. තීරු ලිපි සංග්‍රහය මේ වන විට මුද්‍රණ වාර තුනක් පසුකර තිබෙනවා. ඒවගේම තමයි මේ පොත ශ්‍රී ලාංකික දමිළ ලේඛක සහ පරිවර්තක රිශාන් එම් ශරීෆ් විසින් දමිළ බසට පරිවර්තනය කර, එය ඉන්දියාවේ චෙන්නායිහිදී ඉන්දීය පොත් ප්‍රකාශක සමාගමක් මගින් 2023 අවුරුද්දේ පළ වුණා. ඒ ගැන ඉන්දියාවෙ පාඨක පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර ද මා විටින් විට දකිනවා. මේ සමාජයෙහි දැනුම සොයන පිරිසක් ඉන්නවා. ඔවුන් සබුද්ධිකව මේ ලිපි රචනා කියවන බව පෙනෙනවා.
මනුපුර සක්මනෙන් පසු කවිය ඔබෙන් ඈත්වෙලා ද?
මනුපුර සක්මන මා පළ කළ එකම කවි පොතයි. ඉන්පසු කවි පොතක් ලෙස එකලස් කරන්නට නොසිතුවත් සමාජ මාධ්‍ය ජාලවල සහ මා ලියූ නව කවි “ලන්ඩන් කවි සඟරාවේ” විටින් විට පළ කළා. කතා ලියන්නට කලින් මා බෙහෙවින් කවියට සමීපව හැදෑරීම් පවා කළා වෛද්‍ය ශිෂ්‍ය අවධියේදී. නමුත් පසු කාලීනව කාර්ය බහුල වීම සහ වැඩියෙන් තීරු ලිපි සහ කතන්දර ලියන්නට යොමුවීම නිසා කවිය වෙනුවෙන් හැදෑරීමක් හෝ කාලයක් වෙන් නොවෙන තරම්. මම කවි ලියන්නේත් මගේ වෘත්තීය අත්දැකීම් එක්ක එන සිදුවීම් ඔස්සේ. යම් අත්දැකීමක් එක්ක ඉබේම ලියවෙනවා මිසක යම් මාතෘකාවක් ඔස්සේ හිතලා මතලා කවියක් ලියවෙන්නේ නෑ. ඒවගේම, කවි කියැවීම සහ හැදෑරීමෙන් කවිකම් වර්ධනය කරගත යුතුයි කියා මම විශ්වාස කරනවා. මේ වන විට මම නැවත පොතක් පළ නොකළ ද නිර්මාණාත්මක පළකිරීම් සිදු කරන සමූහ තුළ කවි පළ කරනවා.
තීරු ලිපි, කවිය, බ්ලොග් සටහන් , නවකතාව කියන මාධ්‍ය අතරින් ඔබේ අරමුණු වඩාත් හොඳින් සාක්ෂාත් කරගත හැක්කේ කුමන මාධ්‍යයකින් ද?
මම මුලින්ම ලියන්න ගත්තේ බ්ලොග් සටහන්, එහිදී නිශ්චිත වචන ප්‍රමාණයක් නොතිබුණු නිසා නිදහස් ලෙස ලියන්න අවකාශ සැලසුණා. එනමුත් පුවත්පත් තීරු ලිපි ලියන විට, වචන 650 පමණ අවශ්‍ය කරුණු කියන්න සිදුවුණා. මෙහිදීත් මම තීරු ලිපි ලියන්නට යොදාගත්තේ කතන්දර කීමේ ශෛලිය නිසා වචන ස්වල්පයකින් සෞඛ්‍ය කරුණු සහ කතන්දරය ලිවීම අභියෝගයක් වුණා. එසේ මා ලියූ සායනික සටහන් නොවේ සෞඛ්‍ය කතන්දර තීරු ලිපිය සතිපතා අවුරුදු දෙකක් පළ වුණා. සතිපතා ලියන නිසා බොහෝ කාලීන ප්‍රශ්න, ඒ මොහොතේ පවතින සෞඛ්‍ය ගැටලු ගැන සමාජය දැනුවත් කිරීමට හැකි වුණා.
නවකතාවක දී රචකයාට ගෝචර ඕනෑම ආකාරයකට චරිත හැසිරවීමක් සහ සිදුවීම් ගෙතීමක් සිදු කළ හැකි නිසා වඩා නිදහසක් දැනෙන බව කිව යුතුයි. ඒ වගේම මම විශ්වාස කරනවා කලාව සාහිත්‍යයෙන් මානව සමාජයේ සෞම්‍ය සුගම සහනදායී පැවැත්ම වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ හැකියි කියලා. ඉතින් නිර්මාණයක සමාජකාර්යභාරය ගැන මම වඩාත් සැලකිලිමත් වෙනවා. මම හිතන්නේ වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස පමණක් නොවේ මනුස්සයෙක් හැටියට, පුරවැසියෙක් හැටියට මට වගකීමක් තියෙනවා මේ සමාජය, සියලු දරුවන්ට සහ වැඩිහිටියන්ට ඉන්න සුදුසු සහනදායි තැනක් ලෙස ගොඩ නැගීම වෙනුවෙන්. අන්න ඒ කාර් ය භාරය වෙනුවෙන් මේ කියන කවිය , තීරු ලිපි, බ්ලොග් සටහන් හෝ නවකතාව යන මේ කවර මාධ්‍යයකින් හෝ මගේ අදහස් එළි දක්වන්න මම කටයුතු කරනවා.
"සමාජයට පණිවිඩයක් දෙන්න නොවෙයි අපි ලියන්නේ" කියලා ඇතැම් ලේඛකයෝ කියනවා. ඔබත් ලියන්නේ සමාජයට පණිවිඩයක් දෙන්න නොවෙයි ද?
මම විශ්වාස කරනවා සන්නිවේදනයේදී අකුරු හරිම බලවත් කියන එක. මේ ලෝකයේ සමාජ ක්‍රම වෙනස්කම් සිදුකළ ඓතිහාසික විප්ලවවලදී පවා නවකතා කෙටිකතා සහ කවිය, ජන වර්ගයාගේ චින්තන ප්‍රවාහය වෙනස්කරන්න ඉවහල් කරගෙන තියෙනව.
මම වෘත්තීය ජීවිතය පටන් ගත් කාලයේ සිට ලියන්නේ සමාජය තුළ දැනුම බෙදාගන්න. බහුතරයක් නවකතා තුළින් සිදු කරන්නේ කියවන්නාට නොදන්නා යමක් හෝ නව දැනුමක් එකතු කිරීම නොවේද ? එය විෂයානුබද්ධ කාරණාම විතරක් නොවේ, ජීවිතාවබෝධය ඇතිකරනසුලු දැනුම විය හැකියි. උදාහරණයක් ලෙස ගත්තොත්, සමහර නවකතා ඓතිහාසික කරුණු ආශ්‍රිතව ලියැවුණු ඒවා. සමහර කතා යම් ත්‍රාසජනක සිදුවීමක් වටා ගෙතුණු ඒවා. මේ හැම එකකින්ම කියවන්නා වෙත නොයෙක් ආකාරයේ අදහස් ලබා දෙනවා. ඒවා විස්තරාත්මක ගද්‍ය, ශෝකාලාප, විකට ජවනිකා මේ ඕනෑම ආකාරයකින් ලියවෙන්න හැකියි. එනමුත් ඒ හැම කතාවකම කියවන්නා වෙත ලබාදෙන වින්දනීය කාර්යයට එහා ගිය අවබෝධයක් ජනිත කරවනසුලු දෙයක් තිබෙනවා. එය ආදර්ශයක්, අනුශාසනාවක්, අවවාදයක්, නිවීමක්, ඇවිලීමක් හෝ පණිවිඩයක් මේ ඕනෑම ආකාරයක දෙයක් විය හැකියි. මේ මොහොතේ පවතින දුෂ්කර අඳුරු කාලය අමතක කර සියල්ල හොඳින් සිදුවෙනවා යැයි මායාවක හිඳ හුදෙක් වින්දනය වෙනුවෙන් හෝ සාහිත්‍ය රසාස්වාදය වෙනුවෙන් ලියන්නට මට නොහැකියි. අත්දැකීමෙන් මා දන්නවා ඇතැම් සාහිත්‍ය නිර්මාණ නිසා මහජන මතය හැඩගැස්වීමකට ලක්වුණු බව. නිර්මාණවලින් සමාජ ගැටලු පිළිබඳ දැනුවත්භාවය ඇති කළ හැකි වන අතර කියවන්නා තුළ යම් වෙනසක් කිරීමට පෙලඹවිය හැකියි.
ලියන්නාගේ අරමුණ හුදෙක් වින්දනය හෝ සාහිත්‍යමය රසාස්වාදය පමණක් නම් ඒ නිර්මාණ රසවිඳින පිරිසක් ඉන්නවා. මිනිසුන්ගේ රුචි අරුචිකම් විවිධාකාරයි. සියල්ල සාපේක්ෂ ලොවක මේ කියන පණිවිඩයත් විවිධ ස්වරූපයෙන් විවිධ හැඩයෙන් නිර්මාණයෙහි සැඟවී තිබෙන බවයි මගේ අදහස. මම පෙර පැවසූ ලෙසම, මගේ අරමුණ කියවන්නා වෙත ජීවිතය, සෞඛ්‍යය සහ සමාජ ගැටලු පිළිබඳ දැනුවත් කිරීම. ඉතින් මම හිතන්නේ මගේ නිර්මාණවල සමාජය වෙනුවෙන් බොහෝ “පණිවිඩ” ගැබ්ව තියෙනවා.
ඔබේ පළමු නවකතාවට පාඨකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් යමක් කිව්වොත්.
බොහෝ අයගේ මතය වුණේ මේ කතාව ලියැවුණේ ද මුද්‍රණය වුනේද එය කියවන්න අවශ්‍යම කාලයක බවයි. මට හමුවූ බොහෝ පාඨකයන් මම මීට පෙර ලියූ සායනික සටහන් නොවේ හෝ අනිත් කොන කියවා එනිසාම මේ පොත සොයාගෙන ආ අය. ඒ වගේම මේ පොත කියවන පිරිස ඒ ගැන තමන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටහන් කරනවා. එබඳු ප්‍රතිචාරවලින් පොදුවේ කියන්නේ, මේ පොතේ චරිත සහ සිදුවීම් ඔස්සේ පෙන්වන කරුණු සර්වකාලීන එමෙන්ම මේ මොහොතේ වඩාත් කියවීමට අවශ්‍යම කාරණා බව යි. ප්‍රශ්න හෝ දුකම ලියනවා වෙනුවට ඒවාට යම්කිසි පිළියම් හෝ විසඳුම් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය බව ඇතැමෙක් ලියා තිබුණා. මේ මොහොතේ ජන සමාජයක් ලෙස අපි ඉන්න තැන එක්ක සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව යම් අවබෝධයක් ඉන් ලැබෙන බව කියවෙනවා.
මම මෙතෙක් ලීවේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය සහ සමාජ තත්ත්වය හිතකර ලෙස වෙනස් කරවන අරමුණෙන්. මේ පොතත් මගේ මුල් පොත් වගේම ජන විඥානය වෙත ආමන්ත්‍රණය කරනු ඇතැයි මම හිතනවා.
ඔබේ ලේඛනයට වඩාත් පෝෂණය සපයන්නේ අත්දැකීම් ද භාෂාව ද?
මම හිතන්නේ අත්දැකීම් මගේ ලේඛනයට පෝෂණය සපයනවා කියලා. භාෂාව ඒ අත්දැකීම් අන් අය සමඟ බෙදා ගන්න උපකාරී වන මෙවලමක් “tool එකක්” ලෙස මම දකින්නේ. මා අත්දැකීම් ආශ්‍රයෙන් ලියන නිසාම සෞඛ්‍ය කතන්දර වුවත් නීරස හෝ අභව්‍ය නොවන කරුණු එකතුකර ලියන්න හැකි වුණා. මගේ වෘත්තිය නිසාම, බොහොම වෙනස් පරිසරවලදී බහුතරයකට නොලැබෙන අත්දැකීම් ලබා තියෙනවා. උදාහරණයක් වශයෙන් උතුරු කොනේ පශ්චාත් යුද සමයේ ලද අත්දැකීම් මම හිතන්නේ මා සටහන් කළ නිසා, උතුරු ප්‍රදේශය සහ එහි වැසියන් ගැන රටේ සෙසු පළාත්වල පිරිස් වඩා මානුෂීය ලෙස සංවේදී වූ හැටි මා දුටුවා. ඒවගේම අත්දැකීම්වලින් යම් කරුණු පැහැදිලි කිරීමේ පහසුවක් මට දැනෙනවා.
- නවෝද්‍යා ජයවික්‍රම