දේශපාලන රැස්වීමකට ගිහින් වෙඩි කෑ මිනිහකුගේ කතාවක්


  • මල්ලී මැරුණා කියලා අපට රස්සා දුන්නේ නෑ   

 

 

ඇතැම් දේ සිදුවන්නේ අහම්බයකිනි. නමුත් එවැනි සිදුවීම් පවා විටෙක පුද්ගලයකුගේ, ප්‍රදේශයක, රටක හෝ ලෝකයේ ම අනාගතය වෙනස් කිරීමට සමත් වේ. එවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ ද සිදුවී තිබේ.   


ඒ 1993 වර්ෂයයි. 1970-77 රජය පෙරළා දමා එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූයේ තම විරුද්ධවාදීන් බිමට සමතලා කර දමමිනි. පාර්ලිමේන්තුවේ තිබූ හයෙන් පහක දැවැන්ත බලයත් අතැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරමින් පාලනය ගෙන ගිය එක්සත් ජාතික පක්ෂ බල කඳවුර බිඳ දැමීම ඒ වනවිටත් විපක්ෂයට අසීරු කරුණක් වී තිබිණි.   


ඒ වනවිට රජය කෙරෙහි ජනතාවගෙන් බලවත් විරෝධයක් මතුවෙමින් තිබිණි. 1993 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයෙන් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 26ක් හිමි වූ අතර විපක්ෂයේ පක්ෂ රැසක් එකතුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් තරග කළ පොදුජන එක්සත් පෙරමුණුට ආසන 24ක් ලැබිණි. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ ලලිත් - ගාමිණී සුසංයෝගය විසින් නිර්මාණය කළ රාජාලියා කණ්ඩායමට ආසන තුනක් හිමිවිය. ඔවුන්ගේ සහය පොදුජන එක්සත් පෙරමුණට පළ කළ බැවින් මහ ඇමතිවරයා ලෙස එහි මහ ඇමති අපේක්ෂක අමරසිරි දොඩංගොඩ මහතා පත්කර දකුණේ පාලන බලය පොදුජන එක්සත් පෙරමුණට ලබා දෙන්න යැයි ඉල්ලීම් කෙරුණ ද රජය ඊට කැමැත්තක් දැක්වූයේ නැත.   


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය උසාවියේ පිහිට පැතූ අතර උසාවියේ තීරණය වූයේත් පොදුජන පෙරමුණට පාලනය භාර දිය යුතු බවයි. නමුත් එවකට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වූ අල්හාජ් බාකීර් මාකර් මහතා අමරසිරි දොඩංගොඩ ඇතුළු කණ්ඩායමට දකුණේ අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන්නට ඇති අවස්ථාව මගහරිමින් සිටියේය.   


1993 ඔක්තෝබර් මස 12 වැනි දිනය උදා වී තිබිණි. ආණ්ඩුකාරවරයා ගාල්ලට පැමිණ ඇති බව දැනගත් පොදුජන පෙරමුණේ නායකයෝ එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ලට ඒකරාශී වූහ. නන් දෙසින් පැමිණ පොදුජන එක්සත් පෙරමුණේ සහ රාජාලියා කණ්ඩායමේ ආධාරකරුවෝ ද දහස් ගණනක් ගාල්ල නගරයට රැස්ව සිටියහ. හමුදාවත් පොලිසියත් යොදා රජය ගාල්ල නගරයේ ආරක්ෂාව තරකර තිබිණි.   

 

අවමංගල්‍ය දිනයේ දේහය සමග මව පියා සහ සොහොයුරන් දෙදෙනෙක්   

 

ආණ්ඩුකාරවරයා ගාල්ල කොටුවේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවට තොරතුරු ලැබුණෙන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායමක් ජීප් රථයකත්, පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ සෙසු මන්ත්‍රීවරු බසයකත් නැගී කොටුව දෙසට යන්නට වූහ. පොලිසිය මෙම කණ්ඩායම නැවැත්වීමට තැත් කළ ද එය ව්‍යර්ථ වූ අතර පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඔව්හු ආණ්ඩුකාර කාර්යාලය දක්වාම ගියහ.   
ආණ්ඩුකාර කාර්යාලයට ඇතුළු වූ පිරිස බාකීර් මාකර් මහතා ‍හමුවේ බලෙන් මෙන් දිවුරුම් දුන්හ. අමරසිරි දොඩංගොඩ මහතා දකුණේ ප්‍රධාන අමාත්‍යවරයා බවට එදින පත්වූයේ එක්සත් ජාතික පක්ෂයට 1977න් පසු පැහැදිලි පරාජයක් උරුමකර දෙමිනි. මෙය අහඹු සිදුවීමක් නොවේ. දකුණේ පාලන බලය නීත්‍යනුකූලව ම අල්ලාගත් පිරිස ජය ඝෝෂා නගමින් ගාල්ල නගරය දෙසට පැමිණෙන්නට වූහ. නගරයේ බස් නැවතුම්පොළේත් පොලිසිය ඉදිරිපිටත්, ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිටත් විශාල පිරිසක් ජයග්‍රහණය සැමරීමට සැදී පැහැදී සිටියහ. බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිරියට පැමිණි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් නව මහ ඇමති අමරසිරි දොඩංගොඩ මහතාත් ප්‍රමුඛ පිරිස නගරයට සේන්දුවන විටම බස් නැවතුමේ සිටි පිරිස ජය ඝෝෂා නගන්නට වූහ.   


මේ සමගම ගාල්ල පොලිසිය දෙසින් වෙඩි ශබ්ද කිහිපයක් නිකුත්වන්නට විය. ඇතැම් පිරිස් හිස් ලූ ලූ අත දිව යද්දී ගාල්ල බස් නැවතුම්පොළේ සිටි තරුණයකු ලේ විලක් මැද ඇද වැටුණේය. ඔහු සමගම තවත් තරුණයකුට ද වෙඩි වැදී තිබිණි. ඔවුන් දෙදෙනාම ලේ පෙරාගෙන එතැනම මියගොස් සිටියහ.   

 


දකුණු පළාත් සභාවේ බලය පොදුජන පෙරමුණට හිමිවූයේ රාජාලියා කණ්ඩායම සමඟ ඒකාබද්ධ වීමෙන් පසු එක් වැඩි ආසනයකින් වුව ද එදා ගාල්ල බස් නැවතුම් පොළේ දී සිදුවූ මේ ද්විත්ව ඝාතනය එක්සත් ජාතික පක්ෂ පාලනය සම්පූර්ණයෙන් ම පෙරළා දැමීමේ සටනේ දී උණුසුම් මාතෘකාවක් බවට පත්විය.   
එදා මියගිය දෙදෙනා අතරින් එක් තරුණයකු ගාල්ලේ මාමනදොළ විසූ අයෙකි. ඔවුන් දෙදෙනාගේ මරණය අවුරුදු ගණනක් ම දේශපාලන වේදිකාවේ රැව් පිළිරැව් දුන්නේය.   


මෙවර මහ මැතිවරණයේ දී ද ඇතැම් අවස්ථාවල දී ඔවුන් දෙදෙනාගේ නම් කරළියට පැමිණ තිබිණි. වෙනදා තරම් නොවූව ද අඩු වැඩි වශයෙන් ඔවුන් දේශපාලන වේදිකාවේ විකිණුනු බව නම නොරහසකි.   
“මට හිටියේ කොල්ලොම හතර දෙනෙක්. ඒ හතර දෙනා අතරින් ලස්සනම කොලු පැටියා තමා මේ මැරුණු තුෂාර පුතා. එයා තමයි පවුලේ බාලයා. පොඩි කාලේ ඉඳලාම හරිම මුඛරියි. හරිම දක්ෂයි. මේ වගේ අකාලයේ මැරේවි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. එදා දවස මතක්වෙන කොට තවමත් මට හිතේ ඇතිවෙන වේදනාව නැතිකරගන්න බැහැ. අපි තවමත් මැරි මැරී උපදිනවා.   


දේශපාලනය අපේ පවුලට අලු‍ත් දෙයක් නොවුණත් දරුවෙක් නැතිවෙනවා කියන දේ වාවන්නේ නැහැ. ඒ දවස්වල ඉඳලාම මගේ පුතාගේ මරණය ගැන හැමෝම කතා කළා. යූඑන්පී ආණ්ඩුව පැරදිලා ගෙදර යන්නත් මගේ පුතාගේ මරණය හේතුවක් වුණා. හැමෝම පුතා ගැන දේශපාලන වේදිකාවේ දී කතා කළා. ඒත් අපිට සිදුවුණු දෙයක් නැහැ. පුතාගේ මිනියවත් ගෙනැත් තියාගන්න හරි හමන් ගෙයක් අපිට තිබුණේ නැහැ. පුතාගේ මරණය තියලා තිබුණේ මේ ඉස්සරහ ඉස්කෝලේ ශාලාවක. පස්සේ අපි දාඩිය මහන්සියෙන් තමයි මේ ගෙවල් හදා ගත්තේ.”‍ තුෂාරගේ මව විජේවික්‍රම පොඩි හාමිනේ මහත්මිය (76) පවසන්නීය.   
තුෂාර එදා ගාල්ලට ගියේ තමන්ගේ පියාගේ දේශපාලන උරුමයට අනුවය. ඔහුගේ පියා වන සුබසේන කාරියවසම් මහතා මේ වනවිට 78 වැනි වියේ පසුවෙයි. ඔහු ගාල්ල හිනිදුම ආසනයෙන් 1970 දී පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරීපත් වූ හෙන්රි දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. මේ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය මේ පවුලට අරුමයක් වූයේ නැත. තාත්තාගේ අඩි පාරේම ගිය වැඩිමහල් පුතුන් ද දේශපාලනයේ ක්‍රියාකාරිකයෝ වූහ. ගමේ ශාඛා සමිතියේ ප්‍රධානත්වය ගෙන ක්‍රියා කළ ඔවුන් මැතිවරණවල දී ඡන්ද පොළ සංවිධායකවරු ද වූහ. ගම සංවිධානය කිරීමේ කාර්යයට උරදී සිටි මේ පවුල 1993 පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේ දී අමරසිරි දොඩංගොඩ මහතා දකුණේ මහ ඇමතිවරයා කිරීමට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ නමුත් ඔවුන් අපේක්ෂා කළ ලෙස දොඩංගොඩ මහතාට මහ ඇමති ධුරය ආණ්ඩුකාරවරයා විසින් ලබා නොදීම හේතුවෙන් ඔක්තෝබර් මස 12 වැනි දා ගමේ පිරිසක් ද සමග මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගේ විරෝධතාවට සහය දීමට ගාලු‍ ගියේය. ගාල්ල නාකියාදෙණියේ මාමනදොළවත්ත අවට ගම්වැසියන් සමග මේ යන ගමනට පවුලේ දෙවැනි පුත්‍රයා වූ අනුර කාරියවසම් එක්ව සිටියේය. අනුර සමග ඔහුගේ බාලම සොහොයුරා වූ තුෂාර සංජීව ද එක්වූයේය.   
අනුර කාරියවසම් මහතා (50) එදා සිද්ධිය මෙසේ විස්තර කළේය.   


“අපි ගාල්ලට ගියේ කොහොම හරි දොඩංගොඩ මහත්තයා මහ ඇමති ධුරයට පත්කර ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. මල්ලී ගමේ පොදු වැඩවලදී ක්‍රියාකාරීව හිටියා. එයා තරුණයන් සමග බොහොම එකතුයි. දේශපාලනයක් ලොකුවට නොකළත් එයාලට මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තිබුණා. අපේ පවුලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගොඩක් හිරිහැර වෙලා තිබුණා. ඒ නිසා මාත් එක්ක මල්ලිත් ගියා. අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා දකුණේ මහ ඇමතිකම දොඩංගොඩ මහත්තයාට ගන්න පුළුවන් කියලා. ඒ ධුරය ගත්තොත් රටේම පාලන බලය අල්ලන්න පුළුවන් කියන විශ්වාසයත් තිබුණා. ඒ නිසා තමයි අපි ගියේ.”‍   


ඔවුන් නිවසින් පිටවන විට මෙවැනි ඛේදවාචකයක් සිදුවනු ඇතැයි හීනෙකින්වත් නොසිතන්නට ඇත. අනුර පවසන්නේ එදා ගාල්ල බස් නැවතුම අසල ප්‍රදේශයේ තමනුත් මල්ලී ඇතුළු පිරිස රැස් වී සිටිය දී දිවුරුම් දී පැමිණ අමරසිරි දොඩංගොඩ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිස බස් නැවතුම අසල බුදු පිළිමයට මල් පූජා කර ‍විශාල පිරිසක් සමග නගරය දෙසට පැමිණෙමින් සිටි බවයි.   

 

මව සහ පියා දැන් ජීවත්වන නිවස   

 

එම අවස්ථාවේ බස් නැවතුමේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ම ආධාරකරුවන් පිරිසක් විසින් පොලිසිය කුපිත කරවීමට ඔවුන්ට ගල්වලින් පහර දුන් බව අනුර පවසයි. පොලිසිට ඒ එක්කම කඳුළු ගෑස් ගැහුවා. රබර් උණ්ඩ දාලා වෙඩි තිබ්බා. ඒ සමගම මල්ලීට වෙඩි වැදුණා. රබර් උණ්ඩ නොවෙයි ජීව උණ්ඩවලිනුත් වෙඩි තියලා තිබුණේ. මල්ලී හිටපු තැනම හිටි තව කෙනෙකුටත් වෙඩි වැදුණා. එයා අපිට සහය දෙන්න ආපු කෙනෙක් නෙවෙයි, බෙලිඅත්තේ ඉඳලා කනේ අමාරුවකට බෙහෙත් ගන්න රෝහලට ආපු කෙනෙක්. එයත් මැරුණා.   
මියගිය තුෂාර සංජීව කාරියවසම් තරුණායාගේ දේහය‍ ගෙනගොස් තබන්නට තරම් ප්‍රමාණවත් නිවසක් ඔවුනට තිබුණේ නැත. දේහය තැන්පත් කළේ නිවස ඉදිරිපිට ඇති මාමනදොල කනිෂ්ඨ විද්‍යාලයේ ශාලාවකය. අවමංගල්‍යය තනිකරම දේශපාලන අවමඟු‍ලක් බවට පත්ව තිබිණි.   


විපක්ෂ දේශපාලකයෝ අවමංගල්‍ය දිනවල මේ නිවසට අරක්ගෙන සිටියහ. ආණ්ඩුව පතුරුගහමින් කතා කළහ. දස දහස් සංඛ්‍යාත පිරිසක් මේ අවමංගල්‍යයට පැමිණ තුෂාර සංජීවට අවසන් ගෞරව දැක්වූහ. තුෂාරගේ ඝාතන සිද්ධිය විපක්ෂයේ ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් බවට පත්විය.   
තුෂාරගේ පියා සුබසේන කාරියවසම් මහතා (78) මෙසේ කීවේය. 

 
“එදා අපේ පුතා තමයි මේ පැත්තේ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වුණේ. එක්සත් ජාතික පක්ෂ රජය පෙරළාදැමීමේ දී මගේ මියගිය පුතා ප්‍රධාන හේතුවක් වුණා. මේ ඝාතනය මිනිස්සුන්ගේ හද සසල කළා. එක්සත් ජාතික පක්ෂයේ සැහැසිකම්, කෲරකම් එළිපිට පෙනෙන සිද්ධියක් බවට මෙය පත්වුණා. අපිට එක්සත් ජාතික පක්ෂයෙන් හැමදාමත් අඩන්තේට්ටම් තිබුණා.   


හෙන්රි මහත්තයාගේ ලේකම්වරයෙකු හැටියට මම කටයුතු කළ නිසා 1977 එජාප රජය බලයට පත්වුණු වෙලාවේ අපිට ගහන්න මැරයෝ ආවා. මමයි නෝනයි දරුවෝ හතර දෙනත් එක්ක ගිහින් හැංගිලා තමයි ජීවිතේ බේර‍ගත්තේ. මේ දේශපාලනය නිසා තමයි මට මගේ පොඩි පුතා අහිමිවුණේ. ඒත් අපි දේශපාලනය අතහැරියේ නැහැ. අපි තවමත් දේශපාලනය කරනවා. මගේ පුතාලත් එහෙමයි. අපිට එයින් සිදුවූ දෙයක් නම් නැහැ. ඒත් දේශපාලනය කරනවා.”‍   


ඔහු තම දරුවන් සමග ජීවත් වූයේ නාකියාදෙණිය මාමනදොල රාජ්‍ය වතුයායේ ඉඩමකය. මේ ඉඩම හෙන්රි දිසානායක මන්ත්‍රීවරයාගේ උපදෙස් පරිදි ගැමියන් 28 දෙනකු සමග අල්ලාගෙන ඇත්තේ කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙනි. රාජ්‍ය වතුයායේ ඉඩමක ජීවත්වන ඔවුන්ට තවමත් ඒ සඳහා හිමිකම් ඔප්පුවක් හෝ ලැබී නැත. නමුත් ඔවහු එහි ජීවත්වෙති. කාරියවසම් මහතා අල්ලාගත් ඉඩමකින් කොටසක මාමනදොල කනිෂ්ඨ විද්‍යාලය ඉදිකර තිබේ. ඔහු පවසන්නේ මේ ගම්මානය ගොඩනැගුණේ එදා හෙන්රි දිසානායක මහතාගේ උපදෙස් මත පැමිණ පදිංචි වූ පිරිසගෙන් බවයි.   


“මගේ පුතා මැරුණා කියලා පුතා වෙනුවෙන් කිසිම දෙයක් ලැබුණේ නැහැ. පුතාගේ දානයට කියලා අමරසිරි දොඩංගොඩ මහතා පළාත් සභාවෙන් රුපියල් 75,000.00 ක මුදලක් දුන්නා. වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ. නමුත් පුතාගේ මරණය දේශපාලනය පුරාවටම අදටත් විකිණෙනවා.”‍ ඔහු පැවසීය.   


සුබසේන කාරියවසම් මහතාගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිමලා සුනිල් ය. ඔහු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ රියැදුරකු ලෙස සේවය කරයි. දෙවැන්නා වූ අනුර අප යනවිටත් නිවසේ සිටියේය. වරාය අධිකාරියේ සේවය කරන ඔහු වරාය බංගලා භාරකරුවෙකි. තුන්වැන්නා ගාමිණී පින්නදූව ආයුර්වේද පැළ තවානේ සේවය කරයි. “අපිට ආණ්ඩුවේ රස්සාවල් නම් ලැබුණා. ඒවා හම්බවුණේ අපේ සුදුසුකම්වලට. නැතිව මල්ලී මැරුණා කියලා අපිට රස්සාවල් දුන්නේ නැහැ. මට වරායේ රස්සාව ලැබුණේ 1995 දී චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන්. අනිත් දෙන්නටත් රස්සාව තියෙනවා. අපි ඒවයින් කාලා ඇඳලා දරුවන් හදාගෙන ජීවත් වෙනවා. අම්මට තාත්තට අපි තමයි සලකන්නේ. මල්ලී නැති අඩුව කවදාවත් පිරිමහන්න බැහැ. මල්ලී නැතිව මොනවා ලැබුණත් වැඩක් නැහැ.   

 

සටහන සහ ඡායාරූප- සජීව විජේවීර